ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සිය දැඩි විරෝධය පළ කරමින් 2026 ජූලි 22 දින අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත නිල ලිපියක් යොමු කර තිබෙනවා.Sri Lanka Latest News
මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත් තමන්ට ද පෞද්ගලිකව සේවා කාලය දීර්ඝ වීමේ වාසිය හිමිවන පසුබිමක පවා, අධිකරණ සේවා සංගමයේ විශේෂ මහා සභා රැස්වීමට සහභාගී වූ විනිසුරුවරුන් 65 දෙනාම රහස් ඡන්දයකින් ඊට එරෙහිව ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කර තිබීම මෙහි ඇති විශේෂම කරුණයි.
මෙම සංශෝධනය හේතුවෙන් ඉදිරි වසර දෙකක කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මහෙස්ත්‍රාත් අධිකරණය දක්වා වූ සමස්ත උසස්වීම් දාමයම සම්පූර්ණයෙන්ම ඇණහිටින අතර, වෘත්තීය නිලධාරීන්ගේ අභිප්‍රේරණය දැඩි ලෙස පිරිහී යනු ඇති බවට එම සංගමයේ අදහසයි.
දැනටමත් අධිකරණ නිලධාරියෙකුට මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස උසස්වීම් ලැබීමට අවම වශයෙන් වසර 17ක් පමණ ගතවන අතර, මෙම සංශෝධනය නිසා එම කාලය එකවරම වසර 19ක් දක්වා දීර්ඝ වන බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මහාධිකරණ පත්වීම් ලැබෙන වේගයට සාපේක්ෂව වෘත්තීය විනිසුරුවරුන් පසුපසට යාම නිසා, අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණයට වෘත්තීය විනිසුරුවරුන් පත්වීමට දැනට ඇති 20%ක සීමිත අවස්ථාව ද අහෝසි වී යනු ඇති බවද එම නිවේදනයේ සඳහන්.
තවද උසස්වීම් ලැබීමට දශක දෙකකට වඩා ගතවන පසුබිමක, දක්ෂ තරුණ නීතිඥයින් අධිකරණ සේවයට එක්වීමෙන් වැළකී සිටිනු ඇති බවත්, එමඟින් විනිශ්චයාසනයේ ගුණාත්මකභාවය පහළ වැටීමේ අවදානමක් මතුවන බවත් මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට නම් පනත් සංශෝධනය කළ යුතු අතර, එය සෙසු මිලියන 2කට ආසන්න රාජ්‍ය සේවකයින් අතර ද විශ්‍රාම වයස පිළිබඳ අසමතුලිතතාවයක් සහ වෘත්තීය ගැටලු නිර්මාණය කිරීමට හේතු විය හැකි බවත් සංගමය පෙන්වා දෙනවා.
එසේම අධිකරණ පද්ධතියට බලපාන මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයක් දේශපාලනමය හා පටු විවේචනවලට ලක්වීම තුළින් අධිකරණයේ ස්වාධීනත්වය සහ ඒ කෙරෙහි ඇති මහජන විශ්වාසය පළුදු වන බවත් නඩු විභාග ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව විනිසුරුවරුන්ගේ හිඟකම නොව, අධිකරණ කාර්ය මණ්ඩලවල පවතින 40%ක පමණ පුරප්පාඩු සහ ගොඩනැගිලි හා යටිතල පහසුකම් හිඟය බවත්, එසේම අධිකරණ ක්ෂේත්‍රයේ බුද්ධි ගලනයක් සිදු වී නොමැති බව ද සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා.
එසේම 2015 වසරේ සිටම අධිකරණ සේවා සංගමය මෙම ප්‍රතිපත්තිමය ස්ථාවරයේම රැඳී සිටින බව අවධාරණය කරන සංගමයේ සභාපති චාමර වික්‍රමනායක සහ ලේකම් සුරංග මුණසිංහ, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට, ගෞරවයට සහ මහජන විශ්වාසයට හානි පමුණුවන මෙම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව තවදුරටත් ඉදිරියට නොගෙන යන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.











