ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.Sri Lanka Latest News
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ආසන 49ත් 54ත් අතර ප්‍රමාණයකින් යුත් Standard මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීම සඳහා 2026 වසරේ රජයේ ආයෝජන වැඩසටහන යටතේ රුපියල් මිලියන 14,400ක අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබුණි.
නමුත් 2025–2026 මාර්ග ආරක්ෂණ සැලැස්ම යටතේ මගී ප්‍රවාහන බස් රථ සඳහා නව ආරක්ෂිත පිරිවිතර හඳුන්වා දී තිබෙන අතර ඒ යටතේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා Deluxe මාදිලියේ වායුසමනය කළ බස් රථ යොදාගත යුතු බවට තීරණය කර තිබේ.
ඒ අනුව දැනට වෙන් කර ඇති ප්‍රතිපාදන යටතේ Standard මාදිලියේ බස් රථ 600ක් වෙනුවට වඩාත් සුවපහසු Deluxe මාදිලියේ වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
රාජ්‍ය රහස් හෙළිදරව්ව
අනුර මොනවද කරන්නේ?
මේ සියලු කරුණු මැද්දේ ජනාධිපතිවරයා මේ දිනවල සිදුකරන්නේ කුමක්ද?
වෙනදා නම් ජනාධිපතිවරයා විවිධ දේශපාලන සිදුවීම් මුල්කරගෙන ප්‍රසිද්ධියේ විවිධ උත්සව අවස්ථාවලදී අදහස් දක්වන ආකාරයක් දැකිය හැකි වුවත්, පසුගිය සති කිහිපය පුරා විවිධ දේශපාලන සිදුවීම් සිදුවුවත් ජනාධිපතිවරයා යම් නිහඬතාවක සිටින ආකාරයක් බොහෝ දෙනාට දැකගන්නට ලැබිණි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණියද එහිදීද අදහස් දැක්වූ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
කෙසේ වෙතත් ප්‍රසිද්ධියේ ජනාධිපතිවරයා අදහස් දැක්වීමක් සිදු නොකළද, පසුගිය සතියේ ජනාධිපතිවරයා අතිශය තීරණාත්මක සාකච්ඡා දෙකක් අප්‍රසිද්ධියේ පැවැත්වීමට පියවර ගෙන තිබිණි. ඉන් එක් සාකච්ඡාවක් ජනාධිපතිවරයා පැවැත්වූයේ ජවිපෙ සහ මාලිමාව සමගය. දෙවැනි තීරණාත්මක සාකච්ඡාව ජනාධිපතිවරයා පැවැත්වූයේ මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරයේ ආර්ථික උපදේශකවරුන් සමගය.
මෙහිදී පළමු සාකච්ඡාව ජනාධිපතිවරයා පැවැත්වූයේ මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් සමගය. එහිදී අතිශය වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබිණි. විශේෂයෙන්ම 2027 වසරේ අයවැය එළැඹෙන නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බැවින් මෙම සාකච්ඡාවලදී ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිලධාරීන්ට පැහැදිලිව දැනුම් දීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි.
මෙහිදී ජනාධිපතිවරයා පළමුවෙන්ම නිලධාරීන්ගෙන් විමසා සිටියේ පසුගිය අයවැයවලදී ආණ්ඩුව වැඩි වශයෙන් වියදම් කොට තිබූ ක්ෂේත්‍රයන් මොනවාදැයි කියාය. එහිදී නිලධාරීන් දැනුම් දී තිබුණේ ආණ්ඩුව වැඩි වශයෙන් වියදම් දරා තිබුණේ සෞඛ්‍යය සහ අධ්‍යාපනය වෙනුවෙන් යැයි කියාය. එහිදී ජනාධිපතිවරයා නැවතත් නිලධාරීන්ගෙන් විමසා සිටියේ ආණ්ඩුව පසුගිය කාලවලදී ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනුවෙන් කොපමණ මුදලක් වෙන්කොට තිබුණාදැයි කියාය. ඊට ප්‍රතිචාර දක්වමින් නිලධාරීන් කියා සිටියේ අවම වශයෙන් අයවැයෙන් 1%ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් ප්‍රවාහනය වෙනුවෙන් වෙන් කිරීමට මෙතෙක් පැවැති ආණ්ඩු කටයුතු කොට තිබූ බවකි. නමුත් මෙහිදී නිලධාරීන්ගෙන් ලැබුණු මෙම පිළිතුරත් සමග ජනාධිපතිවරයා ලබාදුන්නේ සියලු දෙනාම මවිත වන ආකාරයේ පිළිතුරකි.
‘ප්‍රතිපත්තියක් විදියට මමත්, අපේ ආණ්ඩුවත් මේ වෙද්දී තීන්දුක් අරන් තියෙනවා ප්‍රවාහනය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරන්න. අපේ රටේ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ප්‍රවාහනය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නය. ඊළඟ අයවැයේදී අපි ප්‍රවාහනය පැත්තෙන් ලොකු වෙනසක් කරන්න ඕනේ. බස් සේවය, දුම්රිය සේවය ඉහළම තැනකට ගේන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. සාමාන්‍ය ජනතාවට හොඳ ප්‍රවාහන සේවයක් ලැබෙනවා නම් වාහන ගන්න කෝටි ගණන් සල්ලි වියදම් කරන්න ඕනේ නෑ. අපේ අසල්වැසි රටවලත්, ලෝකයේ වෙනත් රටවලත් ඉහළ මට්ටමේ පොදු ප්‍රවාහන සේවයක් තියෙනවා. හැබැයි අපේ තාමත් තියෙන්නේ පොදු ප්‍රවාහන සේවය කිසිසේත්ම පිළිගන්න පුළුවන් තැනක නෙවෙයි. අපේ ඉලක්කය තමයි තව අවුරුදු 8ක් ඇතුළත මේ තියෙන සියලු පරණ බස් පාරෙන් ඉවත් කරන එක. ඒක අවුරුද්දෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා අපි දන්නවා. හැබැයි දැනටමත් අපි ඒකට ආරම්භය අරගෙනයි තියෙන්නේ. මේ වෙද්දී සියලු මාර්ගවලට ජනතාවගේ ගමනාගමන පහසුව සඳහා අපි මෙට්‍රෝ බස් ගේන්න සැලසුම් කරලයි තියෙන්නේ. ඒක අපි ඉදිරි අවුරුදු 8 ඇතුළත දිගටම ක්‍රියාත්මක කරනවා. මේ තියෙන පරණ බස් ඔක්කොම අයින් කරලා ජනතාවගේ පහසුවට අලුත් ප්‍රවාහන සේවයක් මේ රටේ ඇතිකරනවා…’ යැයි කී ජනාධිපතිවරයා දුම්රිය සේවය දියුණු කරන ආකාරය සම්බන්ධයෙන්ද නිලධාරීන් හමුවේ අහස් පළ කළේය.
‘ඒ වගේම විශාල ජනතාවක් කාර්යාලවලට එන කොටුව – රාගම, කොටුව – පානදුර, කොටුව – කොට්ටාව යන ප්‍රදේශ මුල්කරගෙන විදුලි දුම්රිය සේවයක් ක්‍රියාත්මක කරන්න අපි තීන්දු කරලා තියෙනවා. දැනටමත් අපි දුම්රිය දෙපාර්තමේන්තුවත් එක්ක මේ ගැන සාකච්ඡා කරලයි තියෙන්නේ. ඒ ව්‍යාපෘතිය අවුරුදු 4කින් අවසන් කරන්න අපිට පුළුවන් කියලා දැනුම් දීමක් කරලා තියෙනවා. ඒක කාර්යාලවලට එන ජනතාවට විශාල ප්‍රයෝජනයක් වේවි…’ යනුවෙන් ජනාධිපතිවරයා එහි නිලධාරීන්ට කියා සිටියේය.










