ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ පාලක පක්ෂයේ ඇතැම් නාගරික මන්ත්‍රීවරුන්ගේ බලපෑම් සහ ඇතැම් නිලධාරීන්ගේ නීති විරෝධී සන්තෝසම් ලබා ගැනීමේ ක්‍රියාකාරකම් හේතුවෙන් බවට නුවරඑළිය මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු චෝදනා කරති.Sri Lanka Latest News
මහ නගර සභා ආඥා පනත යටතේ මහ නගර සභාවට තම බල ප්‍රදේශය තුළ සිදුකරන ගොඩනැගිලි ඉදිකිරීම් පාලනය කිරීමටත්, අනුමැතියකින් තොරව හෝ නීතිවිරෝධී ලෙස ඉදිකරන ගොඩනැගිලි සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටත් බලතල පවරා ඇති බව විපක්ෂ මන්ත්‍රීවරු පෙන්වා දෙති.
එහෙත් පරිසරවේදීන්, පරිසර හිතකාමීන් සහ විපක්ෂය විසින් අනාවරණය කරනු ලබන ඇතැම් අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් එම බලතල නිසි ලෙස භාවිත නොකරන බව ඔවුහු සඳහන් කරති.
සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී නුවන් පෝරුතොට සහ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී ඉවෝන් මැදගම මහත්ම මහත්මීන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නගර සභාව මගින් නිවේදන නිකුත් කළද එලෙස නිකුත් කරනු ලබන නිවේදන අනවසර ඉදිකිරීම් පිළිබඳ අනාවරණය කරන පුද්ගලයන්ගේ සිත සනසන්නට මිස ඒවා ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමාදයක් හා ඒ තුළ කූට සැලසුම් දක්නට ලැබෙන බවයි.
නාගරික කොමසාරිස්වරයාගේ අත්සනින් නිකුත් කරන ලද ඇතැම් නිවේදන මගින් සති දෙකක කාලයක් තුළ අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස දැනුම් දී තිබුණද, මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් එම ඉදිකිරීම් ඉවත් කර නොමැති බව ඔවුහු පැවසූහ.
ඇතැම් ස්ථානවල නිකුත් කළ නිවේදන ඉවත් කරමින් ඉදිකිරීම් කටයුතු තවදුරටත් සිදුකරන බවත්, මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකර නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ මන්ත්‍රීවරු අවධාරණය කළහ.
ඔවුන් වැඩිදුරටත් චෝදනා කළේ, මහ සභා රැස්වීම්වලදී කිසිදු පුද්ගලයකුට විශේෂ සැලකිල්ලක් නොදක්වා නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළද, ප්‍රායෝගික තත්ත්වය ඊට වෙනස් බවයි.
මේ අතර, විපක්ෂය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතා පැවසුවේ 2010 වසරේ සිට නුවරඑළිය නගර සීමාව තුළ සිදුකර ඇති අනවසර ඉදිකිරීම් පිළිබඳ සොයා බැලීම සඳහා අවශ්‍ය ලේඛන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාර දී ඇති බවයි.
මෑතකදී සිදු වූ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන්ද විමර්ශනය කර, කිසිදු තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව නගරාධිපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම අනවසර ඉදිකිරීම් පිටුපස මහ නගර සභාවේ මහජන නියෝජිතයන් හෝ රාජ්‍ය නිලධාරින් සම්බන්ධ බව අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.






















