වොෂින්ටන් ඩී.සී. ප්‍රදේශයේ සහ කැලිෆෝනියාවේ බෞද්ධ විහාරස්ථාන නියෝජනය කරන්නාවූ මහා සංඝරත්නය, තානාපති මහින්ද සමරසිංහ මහතාට උපහාර වශයෙන්, 2026 ජූලි 11 වන දින වොෂින්ටන් බෞද්ධ විහාරයේදී සමුගැනීමේ උත්සවයක් පැවැත්වූ අතර, එතුමා ආගමික ආයතන, ශ්‍රී ලාංකික ප්‍රජාව සහ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා සිදු කළ සේවාව සහ දිගුකාලීන සහයෝගීතාවය එහිදී උන්වහන්සේලා අගය කළහ.Sri Lanka Latest News
එක්සත් ජනපදයේ පළමු ථෙරවාද බෞද්ධ විහාරස්ථානය වන වොෂින්ටන් බෞද්ධ විහාරයේ විහාරාධිපති අති පූජ්‍ය මහරගම ධම්මසිරි හිමියන් සිය අදහස් දැක්වීමේදී, තානාපතිවරයාගේ ආදර්ශමත් සේවය, මිත්‍රත්වය සහ බෞද්ධ ප්‍රජාව සඳහා ලබාදුන් නොසැලෙන සහයෝගය අගය කළ සේක. එමෙන්ම එක්සත් ජනපදයෙන් පිටව යන ශ්‍රී ලංකා තානාපතිවරයෙකුගේ සේවයට උපහාර දැක්වීම සඳහා මෙම අගනගර ප්‍රදේශයෙන් සහ ඉන් ඔබ්බට ව්‍යාප්තව සිටින පූජ්‍ය මහා සංඝරත්නය එක්රැස් වූ පළමු අවස්ථාව මෙය බව උන්වහන්සේ සඳහන් කළ සේක. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු, ප්‍රජා සේවය සහ බෞද්ධ වටිනාකම් ප්‍රවර්ධනය සඳහා තානාපතිවරයාගේ දායකත්වය ඉස්මතු කරමින් පූජ්‍ය මහා සංඝරත්නය සහ සම්භාවනීය අමුත්තන් සිය අදහස් දක්වන ලදහ.
රැස්ව සිටි පිරිස ඇමතූ තානාපති සමරසිංහ මහතා, වොෂින්ටන් ඩී.සී. හි තම සේවා කාලය තුළ ලැබූ අත්දැකීම් සහ තමා මුහුණ දුන් අභියෝග බෙදා ගත් අතර, තම රාජකාරි සාර්ථකව ඉටු කිරීමේදී මහා සංඝරත්නය සහ ශ්‍රී ලාංකික ප්‍රජාව දැක්වූ සහයෝගය අගය කළේය. සිය මාතෘ භූමිය වෙනුවෙන් සිය සේවය තවදුරටත් ලබාදීමට කැප වන බව තානාපතිවරයා මෙහිදී නැවත තහවුරු කළේය.
වොෂින්ටන් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය මහරගම ධම්මසිරි හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම උත්සවය සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා 16 නමක්, ශ්‍රී ලාංකික ප්‍රජාව සහ සුබ පතන්නන් රැසක් සහභාගී වූහ.
මහින්ද සමරසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කෙරුණු අතර ඔහුගෙන් රටට සිදුවූ මෙහෙය හේතුකොටගෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සමරසිංහ මහතා තානාපති ධූරයේ තබනු ලැබීය. ඉන් අනතුරුව බලයට පැමිණි අනුර කුමාර දිසානායක මහතා යටතේ වසර 2ක කාලයක් තානාපති තනතුර හෙබවූ මහින්ද සමරසිංහ මහතා මේ වනවිට සිය තනතුරින් ඉවත් වී නැවත ලංකාවට පැමිණීමට තීරණය කොට ඇත.





ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ධූරයෙන් ඉවත්වී යන ගරු තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා හට, වොෂිංටන් ඩීසී හී බෞද්ධ විහාරස්ථානයේදී සංවිධානය කර තිබූ උපහාර පිදීමේ හා ආශිර්වාද කිරීමේ උත්සවයේදී එතුමා විසින් සභාව අමතා සිදුකල කථාව.










