කෘෂිකර්ම හා කර්මාන්ත අංශවල නියුතු තරුණ ව්‍යවසායකයින් වෙනුවෙන් රජය මගින් ලබා දෙන අඩු පොලී බැංකු ණය පහසුකම් තවදුරටත් තරුණයන් අතර ප්‍රවර්ධනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ජනාධිපති කාර්යාලයේ පැවති කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ව්‍යාපෘති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.Sri Lanka Latest News
මෙහිදී සාකච්ඡා කෙරුණු ප්‍රධාන කරුණු:
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳව මෙහිදී සමාලෝචනය කෙරිණි. කාර්යක්ෂමතාව මත ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
දිස්ත්‍රික් මට්ටමින් ස්ථාපිත ඒකකයක් මගින් දිවයින පුරා පවතින සියලුම වාරි ව්‍යාපෘති නියාමනය කිරීමටත්, එම වාරි ප්‍රතිසංස්කරණ සිතියම්ගත කිරීමටත් පියවර ගන්නා ලෙස උපදෙස් දෙන ලදී.
අමාත්‍යාංශ කිහිපයක් යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සේවා ඒකාබද්ධ කර විධිමත් ලෙස පවත්වාගෙන යාමට යෝජනා ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් අතර, අපනයන කෘෂි භෝග සහ ආශ්‍රිත නිෂ්පාදන ඉහළ නැංවීමට නව ව්‍යාපෘති යෝජනා කරන ලෙස ද උපදෙස් ලැබිණි.
විදේශ ණය ආධාර යටතේ ආරම්භ කර නිම කළ යුතු කාලසීමාව ඉක්මවා ඇති ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමටත්, අනාගතයේදී පැහැදිලි ප්‍රතිඵලයක් පිළිබඳ අවබෝධයකින් තොරව කිසිදු නව විදේශ ණය ව්‍යාපෘතියක් අනුමත නොකිරීමටත් තීරණය කෙරිණි.
පසුගිය වසරවල නිසි කලට අවසන් නොවීම නිසා රජයට බරක් වූ ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. යල් පැන ගිය, ප්‍රතිඵල රහිත ව්‍යාපෘති වෙනුවට වඩාත් ඵලදායී කෘෂිකාර්මික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මෙම රැස්වීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නාමල් කරුණාරත්න, අරවින්ද සෙනරත් යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.










