පොසොන් පෝය හඳ පායලා මුළු ලෝකෙම ලස්සනයි. වලාකුළු රිදී තිර අස්සෙන් හඳ එබිලා බලනවා. මීට අවුරුදු ගානකට කලින් මිහින්තලාවට පායපු හඳම අදත් අපේ ගංතුලානවලට ඉහළ අහසේ පායලා. එදා දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ මුවෙක් පස්සෙන් පන්නගෙන පන්නගෙන පන්නගෙන පන්නගෙන ගිහිල්ලා නතර වෙච්ච තැනින් පටන් අරගෙන අපි දුවනවා. අපේ රටේ මිනිස්සු මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ගෙනල්ලා දුන්න ධර්මය ආදරයෙන් වැලඳගත්ත බව අපි හැම තැනකදීම වගේ ආඩම්බරයෙන් කියනවා. Sri Lanka Latest News
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ සද්ධර්මය මේ රටට අරගෙන ඇවිල්ලා වපුරන්න උත්සාහ කරපු සාරධර්ම කෙත දැන් පරණ පුරුදු විදිහටම තියෙනවද? ඒක අස්වැදිලද? රන් කරල් කැපිලා අස්වනු ගෙට ගන්න පුළුවන් තරම් අපි සාරධර්ම පැත්තෙන් දියුණුයිද? එහෙම නැත්නම් ඒ සාරධර්ම කෙත කොතැන හරි තැනකදී අපට මග වැරදිලා පුරන් වෙලා ගිහිල්ලද? පුරන් වෙච්ච සාරදම් කෙත ආයෙත් අස්වද්දන්න බුදුහාමුදුරුවන්ටම වඩින්න වෙයිද? මේවා හිතන්න ගියොත් ලොකු ප්‍රශ්නයක් හිතේ ඉතිරි වෙනවා. ඒ නිසා ඒවා ගැන හිතන එක පැත්තකින් තියලා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා මේ සද්ධර්මය රැකගන්න සූසැට කුලයක ශිල්ප ශ්‍රේණි අරගෙන ආපු කතාවෙන් මේ කොටස පටන් ගන්නවා.
උන්වහන්සේ දැනගෙන හිටියා බුදු සසුන රැකෙන්න නම් මේ බුදු සසුන සඳහා අවශ්‍ය කරන කලා කෘතීන් මේක වටේ ඉදිවෙන්න ඕනේ කියලා. ඒ වෙනුවෙන් අපේ රටේ ශිල්පීන් හිටියත් ශිල්පීන්ට අවශ්‍ය කරන නිවැරදි ශිල්ප ඥානය ලබාදෙන අදහසින් උන්වහන්සේ දඹදිව් තලාවට යළි පණිවුඩයක් යැව්වා. පණිවිවුඩය බාර අරගෙන මිහිඳු මහරහතන් වහන්සේගෙම නැගණිය සංඝමිත්තා රහත් තෙරණිය සූසැට කුලයක ශිල්ප ශ්‍රේණි සමග නැව් නැග්ගා. එදා උන්වහන්සේ ජයසිරි මහා බෝධි ශාඛාවක් සමග මේ ශිල්පීන් කැඳවාගෙන ආවා. අදත් විහාර ගම්මානවල පදිංචි වෙලා බෝධි භාරකාරත්වය දරමින් මහ සෑයේ, මහා බෝධියේ රාජකාරී ඉෂ්ට කරන්නේ මේ උදවිය. ඒ උදවිය ලංකාවට ඇවිල්ලා අපිට ලබාදුන්නේ ශිල්ප ශ්‍රේණි අප කාලයක් තිස්සේ ආරක්ෂා කරගෙන ඉදිරියට අරගෙන ආවා. ඒවායේ උපරිම අවස්ථාව අපට දැක බලාගන්න පුළුවන් වෙනවා වෙහෙර විහාරස්ථානවල, පන්සල්වල, ඒ වගේම වෙසක් පෝයට පොසොන් පෝයට සමහර විට ඇසළ පෝයට දැන් දැන් වෙනත් පෝයවල්වලටත් අපි ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා ආදියෙන් තිලොවග සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවා. උන්වහන්සේ වගේම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේත් වන්දනා කරනවා. අපි මිහිඳු මහරහතන් වහන්සේට අනුබුදු කියන නමින් හඳුන්වන්නේ බුදුන් වහන්සේට පමණක් දෙවැනි වූ නිසාවෙන්. අපිට තිලොවග සම්මා සම්බුදුරජාණන් වහන්සේ තෙවරක් මේ බිමට වැඩලත් නිශ්චිතව ආරක්ෂා කරගන්න බැරුව ගිය බුදු සසුන ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙළ නිවැරදිව සකස් කරන්නේ මිහිඳු මහරහතන් වහන්සේ හින්දා.
මේ දීර්ඝ කතාව ඔබට කිව්වේ මිහිඳු මහරහතන් වහන්සේගේ සිරිලක වැඩමවීම සිහිපත් කරමින් පොසොන් පෝය වෙනුවෙන් ඉදිකෙරුණු බොහෝ දේ ගැන කතාකරන්න අපට තියෙන නිසා. ඒ අතරින් මේ කතා කරන්නේ ලෝකයේ ලොකුම පහන් කූඩුව ගැන. ලෝකෙ ලොකුම කියලා කිව්වම අපි දන්නවා ඒක වාර්තාවක්. මේ වාර්තාව ගිනස් පොතට යා යුතුයි. ලංකාවේ ගිනස් වාර්තා කමිටුවේ මහත්වරු මේ ලිපිය කියවනවා නම් ඇවිල්ලා බලන්න. මේ කූඩුව අඩි 65ක් උස පහන් කූඩුවක් විදිහට තමයි සලකන්නේ. ඒ කියන්නේ ලංකාවේ එතෙක් මෙතෙක් ඉදිවුණු දැවැන්තම කූඩුව. සාමාන්‍යයෙන් මීට කලින් අඩි හැටකට ආසන්න ප්‍රමාණයක පහන් කූඩුවක් ඉදිවෙලා තියෙන වග අපිට දැනගන්න ලැබුණා. නමුත් මේ පහන් කූඩුව ඊට වඩා උසයි. ඊට වඩා පළලයි සහ ඊට වඩා දැවැන්තයි.
ඒ වගේම මේ පහන් කූඩුව ඉතාම නිර්මාණශීලී විදිහට ඉදිරිපත් කරන්න මේ අය සමත් වෙලා තියෙනවා. මේ පහන් කූඩුවට කියන්නේ සක්වළ පහන් කූඩුව කියලා. සක්වළ නිර්මාණය වන ආකාරය සහ එහි සම්පූර්ණ කතන්දරය මේ කූඩුවට සමගාමීව ඉදිරිපත් කරමින් මේ කූඩුව නැරඹීමට පවා අපිට නිවැරදි ක්‍රමවේදයක් නිර්මාණය කරලා දෙනවා මේ පහන් කූඩුව සංවිධාන කරපු අය. මේකෙ විශේෂත්වය තමයි මේ පහන් කූඩුව හදන්න අවුරුද්දකුත් මාස දහයක් ගතවෙලා ගිහිල්ලා තියෙනවා. මේ කූඩුවේ ප්‍රධාන නිර්මාණ ශිල්පියාගේ නම සුරංග. සුරංග මේ කූඩුවට තමන්ගේ මුළු ජීවිතයම කැපකරපු කෙනෙක් විදිහටත් හඳුන්වා දෙන්න ඕනේ.
ඒකට හේතුව සුරංග එකවරක් දෙවරක් නෙවෙයි, මේ කූඩුවත් එක්ක ඔට්ටු වෙලා සමහර වෙලාවට ජීවිතය පවා නැති කරගන්න හිතිච්ච කෙනෙක්. ඒකට හේතුව වරක් මේ පහන් කූඩුව පිළිබඳ කතා කරන ගෞරවනීය ස්වාමින් වහන්සේ නමකගේ දේශනාවකින් අපිට අහන්න ලැබුණා. උන්වහන්සේ මෙහෙම කියනවා. දවසක් සුරංගගේ අම්මා පන්සලට ආවා. හාමුදුරුවනේ අපි ඉවරයි කියාගෙන. මං ඇහුවා ඇයි කියලා. උත්තරේ තමයි හාමුදුරුවනේ කූඩුව කඩන් වැටුණා. මොනා වෙලාද? දිට්වා සුළි කුණාටුව නිසාවෙන්. දිට්වා සුළි කුණාටුව නිසාවෙන් පහන් කූඩුව සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා. නමුත් සුරංගගේ ශක්තියෙන් සුරංගගේ වටේ එකතු වුණු මිනිස්සුන්ගේ ශක්තියෙන් නවලෝක හන්දියේ විතරක් නෙමෙයි අහල පහළ ගම්මාන රැසක මිනිස්සු මේ වටේ එකතුවෙන්න පටන් ගන්නවා. කඩන් වැටිච්ච කූඩුව දිට්වා සුළි කුණාටුව වගේ ශක්තිමත්ව නැගිටින්න පුළුවන් මිනිස්සු ටිකක් එක්ක සුළි කුණාටුව පරද්දලා නැගිටිනවා. ඒත් වෙසක් පෝය වෙද්දි සුරංගට මේ වැඩේ ඉවර කරගන්න බැරි වෙනවා. සුරංගට මේ වැඩේ අතහැරලා දාන්න හිතෙනවා. සුරංගට මේ වැඩේ විතරක් නෙමෙයි සුරංගට ජීවිතය පවා අතහැරලා දාන්න හිතෙනවා. මොකද මේක කරන්න බැහැ කියලා සුරංගට දැනෙන්න පටන් අරගත්ත නිසා. සුරංගගේ හිත ගැස්සෙනවා. අවුරුද්දක් තිස්සේ ලක්ෂ ගණනක මුදල් වියදම් කරලා, ශ්‍රමය කැප කරලා, ජීවිතයේ සම්පූර්ණ තරම් එකම වැඩේ මේක කරගෙන මහන්සි වෙච්ච සුරංගට කූඩුව අතැරලා දාන්න සිදුවුණොත් මොකද වෙන්නේ. ඒත් සුරංග වටේ එකතු වෙච්ච ගංතුලානවල මිනිස්සු එක පවුරක් වගේ එකට අල්ලගෙන ඉන්නවා. සුරංගගෙ අහල පහළ ඉන්න ශාන්ත මහත්තයා මට මේ කතාව කිව්වේ ඒ විදිහට.
භික්ෂුන් වහන්සේලා සිල් මෑණිවරුන්, ගමේ තරුණ තරුණියෝ ඔක්කොම මේ වටේ එකතු වෙලා ඉන්නේ. මේ කූඩුව තියෙන්නේ කොළඹ 5 කුරුණෑගල පාරේ. ගල්කන්ද හන්දියට ආසන්නයේ නවලෝක හන්දිය කියන ප්‍රදේශයේ. ඔබට මිනුවන්ගොඩ ඉඳලා දිවුලපිටිය පැත්තට යනකොටත් දිවුලපිටියේ ඉඳලා මිනුවන්ගොඩ පැත්තට යනකොටත් එහෙම නැත්නම් ඔබ ගම්පහ ඉඳන් එනවා නම් ගල්කන්ද පන්සල පාරෙන් ඇවිල්ලා වමට හැරුණමත් දූනගහ මීගමුව පැත්තෙන් එනවා නම් දිවුලපිටියෙන් ඇවිල්ලා දකුණට හැරුණට පස්සෙත්, කොළඹ ඉඳන් එන කෙනෙකුට මිනුවන්ගොඩට ඇවිල්ලා මිනුවන්ගොඩින් දකුණට හැරුණට පස්සේ කෙළින්ම පාරේ ගියාම මේ පහන් කුඩුව තියෙන තැන දැක බලාගන්න පුළුවන්. පහන් කූඩුවේ විශේෂත්වය තමයි රුපියලක්වත් අය නොකිරීම.
පහන් කූඩුව පෙන්නන්නේ මුදල් අයකරලා ටිකට් ගහලා නෙමෙයි සහ පහන් කූඩුව නිර්මාණය කරලා තියෙන්නෙත් ධර්මය දේශනා කිරීම සඳහා. සක්වළක් ඇතිවෙන ආකාරය, විනාශ වෙන ආකාරය, ලෝකය ගොඩනැගෙන ආකාරය, මිනිසුන් පින් කළ යුතු ආකාරය පැහැදිලි කරන්න. ඒ නිසා ඔබත් පුළුවන්කමක් තියෙනවා නම් ලෝකයේ ලොකුම පහන් කූඩුව බලලා සද්ධර්ම කාරණා අවබෝධ කරගෙන මේ මහානර්ඝ කර්තව්‍යයට ඔබේ දායකත්වය ලබාදෙන්න. ඔබත් මේ දැවැන්ත කාර්යයේ සාක්ෂිකාරයෙක් වෙන්න.

ජීවන පහන් තිළිණ










