වෘත්තීය රාජකාරියක් සඳහා පොලිස් ස්ථානයකට පැමිණි නීතිඥවරයෙකුට ආක්‍රමණශීලී ලෙස හැසිරෙමින්, අපහාසාත්මක භාෂාවෙන් තර්ජනය කළ වැලිමඩ පොලිසියේ එවකට වැඩබලන ස්ථානාධිපති (OIC) පොලිස් පරීක්ෂක පෙරේරා නමැත්තා පුරවැසියෙකුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කර තිබේ. Sri Lanka Latest News
සිද්ධියට මුහුණ දුන් නීතිඥ ආර්.එම්. සජිත් බණ්ඩාර විසින් වසර 10කට පෙර, එනම් 2016 වසරේදී ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් (FR) පෙත්සමක දීර්ඝ විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
වසර 10කට පෙර වැලිමඩ පොලිසියේ සිදු වූ දේ
මෙම සිද්ධියට මුල් වී ඇත්තේ 2016 පෙබරවාරි 22 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි කණු කිහිපයක් යුද හමුදා ලොරි රථයකින් පැමිණි පිරිසක් සොරකම් කිරීමේ සිදුවීමකි.
OIC කෝප වීම:
මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීමට පැමිණි හමුදා නිලධාරීන් පිරිසක් වෙනුවෙන් පෙත්සම්කාර නීතිඥවරයා එවකට වැලිමඩ වැඩබලන ස්ථානාධිපතිවරයා හමුවේ පෙනී සිට ඇත. එහිදී දැඩි කෝපයකින් සිටි පොලිස් පරීක්ෂකවරයා “මේකට කළු කෝට් කාරයෙක් ඕන නෑ” යනුවෙන් කෑගසා තිබේ.
තලගොයා සහ කබරගොයා කතාව:
මෙම හමුදා නිලධාරීන් සැකකරුවන් ද නැතහොත් ප්‍රකාශ සටහන් කරගැනීමට ආ අය දැයි නීතිඥවරයා විමසූ අවස්ථාවේදී, “මට ඕන නම් තලගොයා කබරගොයා කරන්නත් පුළුවන්, කබරගොයා තලගොයා කරන්නත් පුළුවන්” යනුවෙන් ස්ථානාධිපතිවරයා ආවේගශීලීව තර්ජනය කර ඇත. පසුව නීතිඥවරයා මේ පිළිබඳව නීතිඥ සංගමයට, නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් තිබුණි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරීක්ෂණ සහ නීතිමය ස්ථාවරය
පෙත්සම විභාග කළ අර්ජුණ ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු අර්ජුණ ඔබේසේකර පොලිසියේ බලතල සහ පුරවැසි අයිතීන් පිළිබඳව ඉතා වැදගත් නීතිමය කරුණු කිහිපයක් අවධාරණය කළේය.
බලපත්‍රයක් දී නැහැ:
නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට බලය ලබා දී ඇත්තේ මහජනතාව විසින් බවත්, මහජනයාගේ අයිතීන් අපයෝජනය කිරීමට කිසිදු පොලිස් නිලධාරියෙකුට රජයෙන් බලපත්‍රයක් ලැබී නොමැති බවත් තීන්දුවේ සඳහන් වේ.
අන්‍යෝන්‍ය ගෞරවය:
පොලිසියට පැමිණෙන ඕනෑම පුරවැසියෙකුට නිසි ගෞරවය හිමිවිය යුතුය. විශේෂයෙන්ම පොලිස් නිලධාරීන් නීතිඥවරුන්ට ආචාරශීලීව සැලකිය යුතු අතර, නීතිඥවරුන් ද ගෞරවනීය වෘත්තීය මට්ටමක් පවත්වා ගනිමින් දෙපාර්ශවය අතර අන්‍යෝන්‍ය ගෞරවය තහවුරු කළ යුතු බව අධිකරණය කියා සිටියේය.
අවසන් තීන්දුව
ඉදිරිපත් වූ සියලු සාක්ෂි විශ්ලේෂණය කිරීමේදී වගඋත්තරකාර පොලිස් පරීක්ෂකවරයා ආක්‍රමණශීලී ලෙස හැසිරෙමින් අපහාසාත්මක භාෂාවක් භාවිත කර ඇති බවත්, නීතිඥවරයාට ආචාරශීලීව සැලකීමට අපොහොසත් වී ඇති බවත් පෙත්සම්කරු විසින් සනාථ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළේය.
ඒ අනුව, පෙත්සම්කාර නීතිඥවරයාට නීතිය ඉදිරියේ ලැබිය යුතු සමාන සැලකීම අහිමි කිරීම තුළින් වගඋත්තරකාර පොලිස් පරීක්ෂකවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මඟින් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
මෙම නඩු විභාගය සඳහා පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු නීතිඥ මණ්ඩලයක් ද, වගඋත්තරකාර පොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් නීතිඥ ජේකොබ් ජෝසෆ් ද පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඉඳුනි පුංචිහේවා පෙනී සිටියාය.










