‘ඔය කතා ගිහිල්ලා කියපල්ලා කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට’ යැයි අපූරු රසවත් කියමනක් අපේ ජනවහරේ ඇත. මෙයින් අර්ථවත්වී ඇත්තේ අතීතයේ සිටි කොණ්ඩේ බැඳපු චීන මිනිසුන් යම් රැවැටීමකට ලක්කළ හැකිය යන්නය. එය කෙතරම් සත්‍යදැයි නොදනිමි.Sri Lanka Latest News
ජනගහනය අතින්ද එමෙන්ම ප්‍රමාණය අතින්ද ලෝකයේ දෙවැනි විශාලම රාජ්‍යය ලෙස සැලකෙන චීනය, නිරන්තරයෙන්ම විවිධ නව තොරතුරු ලොවට දායාද කරන රටක් වෙයි. 7 වැනි සියවසේදී නිර්මාණය කරන ලද අදටත් ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන චීන මහා ප්‍රාකාරයද අදහාගත නොහැකි විස්මිත ඉදිකිරීමකි. අතීතයේ චීන අධිරාජ්‍යයන් විසින් සිදුකළ විස්මිත දෑ පසුකාලීනව චීනයේ නූතන රාජ්‍ය පාලකයන් විසින්ද සිදුකළේය. එනම් චීනයේ කොමියුනිස්ට් රාජ්‍ය පාලනය මාඕ සේතුං නමැති විශිෂ්ට රාජ්‍ය පාලකයා විසින් ස්ථාපිත කර දැනට වසර 75ක කාලයක් ගෙවී ගොස් අවසානය. කොමියුනිස්ට් පාලනය ආරම්භයේ දුගී තත්ත්වයක තිබුණු චීනය කාලය ගතවෙත්ම ලෝකයේ ධනවත්ම රාජ්‍යයක් බවට පත්වූ අතර, ලෝක බලවතුන් දෙතුන් දෙනා අතරටද එක්වූයේය. ඇමෙරිකාවේ පවා දෙනෙත් විවර කරවන මහා විශ්මකර්ම රාශියක් දායාද කිරීමට ඔවුන් සමත් විය. ‘කොණ්ඩේ බැඳපු චීන්නු’ කලකින් ‘චීන කෙරුමෝ’ බවට පත්වූහ.
චීනයේ පුරාවෘත්තයක් ගැන ලියා තබමින් මෙම කතාව ආරම්භ කිරීමට හේතු වූයේ ඇයි? මෙයට දින කිහිපයකට ඉහතදී අපට චීනය හරහාම අසන්නට ලැබුණු එම කතාව අතිශය සුවිශේෂ පුවතක් මවන්නට සමත්ව ඇත. චීනය තුළින් ඇසුණු එම වතගොත ලෝකයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය රැසක් හරහා වාර්තා කර තිබුණේය. මෙම පුවත් මගින් අසන්නට ලැබුණු මෙම අපූරු කතාන්දරය කුමක්ද? එම පුවත් වාර්තා ශීර්ෂයන් මෙසේ ප්‍රකාශ කර තිබිණි.
‘චීනයේ විශ්වවිද්‍යාල රාශියක තිබුණු ‘යල් පැනගිය’ සාම්ප්‍රදායික උපාධි පාඨමාලා 12,000ක් අත්හැර දැමීමට කටයුතු කරයි. චීනයේ අධ්‍යාපනික බලධාරීන් විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ලෝකයේ ඉදිරි අනාගතයේදී මුහුණ දෙන අධ්‍යාපනික අභියෝගයන් සඳහා මුහුණ දීමටයි. එනම් විශේෂයෙන්ම AI නූතන (කෘත්‍රිම බුද්ධිය) තාක්ෂණය සඳහා මුහුණ දීමට නව අධ්‍යාපනික සැලැස්මක් දියත් කිරීම සඳහායි. මෙය චීනයේ නව පුළුල් අධ්‍යාපනික ප්‍රතිසංස්කරණය ලෙස රජය විසින් හඳුන්වා දී ඇත. කෙසේ හෝ මෙම පියවර 2021 සහ 2025 වසර පහක කාලය තුළ ක්‍රමයෙන් ක්‍රියාත්මක කෙරුණු අතර, 2026 වසර එහි සැබෑ කූටප්‍රාප්තිය ලෙස සැලකිය හැකිය. එනම් මෙම කාලය තුළදී විශ්වවිද්‍යාල සාම්ප්‍රදායික පාඨමාලා 12,000ක් අවලංගු කර හෝ අත්හිටුවා ඇති අතර, ඒ වෙනුවට නව උපාධි වැඩසටහන් 10,000ක් පමණ හඳුන්වා දී ඇත. එයින් අදහස් වන සුවිශේෂ කරුණ නම් රටේ විශ්වවිද්‍යාල වැඩසටහන්වලින් 30%කට වැඩි ප්‍රමාණයක් ගැළපීම්වලට භාජනය වී ඇති බවයි…’
දැන් ඔබ මෙම කතාවේ යම් සන්ධිස්ථානයකට පැමිණ සිටින්නේය. එසේනම් මෙම පුවත් හරහා අපට අවබෝධ වන්නේ කුමක්ද? චීනයේ රාජ්‍ය අධ්‍යාපනික බලධාරීන් විසින් ප්‍රකාශ කරන ලද මෙම නවතම අධ්‍යාපනික සැලසුම හරහා එරට අධ්‍යාපනික ක්ෂේත්‍රය තුළ මහා ප්‍රතිසංස්කරණයක් සිදුවන අතර, එමගින් එරට අධ්‍යාපනය උඩුයටිකුරු කරනු ඇතිය. මෙය අදියර කිහිපයක් හරහා සිදුකෙරෙන අතර, දැනට එම සැලසුම ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත. ඉදිරි අනාගත ලෝකයට ගැළපෙන ආකාරයට සිදුකෙරෙන මෙම ප්‍රතිසංස්කරණය මේ වනවිට ලෝකයේ රටවල් රැසක අධ්‍යාපනික විශේෂඥයන් සහ විශ්ලේෂකයන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත. ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි ව්‍යාපෘතියක් මෑත කාලයේ ලෝකයේ කිසිදු රටක ක්‍රියාත්මක නොකර ඇති බවයි. එම විද්වතුන්ගේ විශ්ලේෂණයන් මෙසේ කරුණු ගෙනහැර දක්වයි.
‘චීනයේ මෙම නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සැලසුම් කර ඇත්තේ එරට උසස් අධ්‍යාපනය තුළින් ජාතියේ සංවර්ධන ඉලක්ක සාර්ථක කරගැනීමේ නව ගමනක් යෑම සඳහායි. චීනයට තමන්ගේ රටේ අනාගත සංවර්ධනය දැවැන්ත ලෙස ගොඩනැගීමට වුවමනා වී තිබේ. යල් පැනගිය උපාධි වැඩසටහන් දහස් ගණනක් ඉවත් කර තිබෙන්නේ ඒ හේතුව නිසායි. මෙහිදී ප්‍රධානතම වශයෙන් AI තාක්ෂණයට මුල්තැන දෙමින් ව්‍යාපෘතිය ආරම්භ කර තිබීමත් සුවිශේෂ දෙයක්. මේ මගින් අනාගතයේදී චීනය ‘අධිතාක්ෂණික යුගයක්’ කරා යෑමට බලාපොරොත්තු වන ආකාරය පැහැදිලිවම පෙනෙනවා. එනම් ඔවුන්ගේ අනාගත කර්මාන්ත රැසක ගෝලීය ප්‍රමුඛයා වීමේ අධිෂ්ඨානය තිබෙනවා. මෙලෙස චීනයේ සාම්ප්‍රදායික උපාධි පාඨමාලා කප්පාදුව සිදුව ඇත්තේ කලා, මානව ශාස්ත්‍ර, විදේශ භාෂා වැනි ගතානුගතික ක්ෂේත්‍රයන් තුළදියි. මේ අතර මේ වනවිටත් චීනයේ විශ්වවිද්‍යාල ගණනාවකම කෘත්‍රිම බුද්ධිය (AI) විෂයට අදාළ නව විෂය මාලා ආරම්භ කර ඇත. චීනයේ තරුණ තරුණියන්ගෙන් 20%ක් පමණ රැකියා විරහිත අතර, කෘත්‍රිම බුද්ධිය මගින් රැකියා වෙළෙඳපළ වේගයෙන් පරිවර්තනය වෙමින් පවතී. උපාධිධාරීන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගොස් ඇතත් රැකියා සොයාගැනීමේදී ප්‍රශ්න මතුව තිබේ. චීනයේ වත්මන් කොමියුනිස්ට් රාජ්‍ය පාලකයන් විසින් මෙවැනි නවතම ප්‍රතිසංස්කරණයක් ගෙන ඒමට තීරණය කර තිබෙනවා. මෙවැනි විශාල අධ්‍යාපනික ප්‍රතිසංස්කරණයක් ලෝකයේ කිසිම රටක මෑත කාලයේදී සිදුව නැහැ…’
මේ ආකාරයට අධ්‍යාපනික ක්ෂේත්‍ර විද්වතුන්ගේ මහත් ප්‍රශංසාවකට ලක්වුණු චීනයේ සිදුකළ වාර්තාගත අධ්‍යාපනික පෙරළියේ තවත් තතු සොයා බලමු. ලොව ප්‍රකට සහ බලගතු රාජ්‍ය නායකයකු ලෙස සැලකෙන චීනයේ වත්මන් ජනාධිපති ෂී ජින්පින්ගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ මෙම ක්‍රියාවලිය සිදුකර ඇත. ඔහු ප්‍රකාශ කර ඇත්තේ චීනයට ඉදිරි අනාගත ලෝකය ජයගැනීම සඳහා මෙවැනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අත්‍යාවශ්‍ය වන බවයි.
දැන් ඔබ මෙම කතාවේ යම් හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ සිටින්නේය. චීනයේ මෙම ක්‍රියාවලිය හරහා එරට උසස් අධ්‍යාපනික ක්ෂේත්‍රයෙන් ඉවත් කර හෝ කපාහැර ඇත්තේ කුමන විෂයන්ද? එනම් කලා, මානව ශාස්ත්‍ර සහ භාෂා වැනි ක්ෂේත්‍රවලින් බොහෝ දුරට ඉවත් වීමට තීරණය කර ඇත. එසේම ව්‍යාපාර කළමනාකරණය, අලෙවිකරණය, රාජ්‍ය පරිපාලනය සහ මානව සම්පත් කළමනාකරණය වැනි විෂයයන්ගෙන්ද බොහෝ දුරට ඉවත්ව ඇත. මෙවැනි තීරණ ගැනීමට හේතුව ලෙස අධ්‍යාපනික බලධාරීන් හේතු ප්‍රකාශ කරන්නේ මෙම විෂයයන් රැසක්ම වර්තමානයේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හරහා සිදුකළ හැකි බවයි. එසේම මෙවැනි විෂයයන්ගෙන් උපාධි ලබාගත් උපාධිධාරීන්ට රැකියා ප්‍රශ්නයක්ද බලපා ඇති බවයි. එනම් රැකියා සොයාගැනීම අපහසු වී ඇත. මෙවැනි සාම්ප්‍රදායික විෂයයන් කපාහරින විටදී ඒ සඳහා නව විෂයයන් එකතු කිරීම සිදුකර ඇත. එනම් ප්‍රධානතම වශයෙන් AI කෘත්‍රිම බුද්ධි තාක්ෂණය, රොබෝ තාක්ෂණ විද්‍යාව, දත්ත තාක්ෂණ විද්‍යාව නූතන ගුවන් තාක්ෂණ විද්‍යාව වැනි විෂයයන් එකතු කිරීමට කටයුතු කර ඇත. චීනයේ මෙම නව විශ්වවිද්‍යාල අධ්‍යාපනය සලකන්නේ රැකියා සහතික කිරීමේ මාර්ගයක් ලෙස මිස න්‍යාය ඉගැන්වීමක් ලෙස නොවන බවට කරුණු ප්‍රකාශ වී ඇත.
චීනයෙන් අධ්‍යාපනය උදෙසා මෙවැනි විස්මිත කතා ඇසෙන විටදී පසුගියදා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ගැන අසන්නට ලැබුණේ කුමක්ද? එය අද කවුරුත් දන්නා අපගේ හයවැනි ශ්‍රේණියේ පෙළපොතකට අසභ්‍ය ලිංගික වෙබ් අඩවියක තොරතුරු ඇතුළු කර තිබීමය. මෙරට අධ්‍යාපන ඇමැති සහ බලධාරීන් නොදැන එවැන්නක් සිදුවිය හැකිද? පිළිතුර ඔබ අතෙහි ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ










