දයාසිරි ජයසේකර කියනවා මාලිමා ආණ්ඩුව පරද්දන්න නම් ජාතිවාදීන්, හොරු, මංකොල්ලකාරයෝ සහ දූෂණ චෝදනා තියෙන හැමෝම එකතු වෙන්න ඕන කියලා. ඔය කියපු උන්ව රොත්ත පිටින් ගෙදර ඇරියේ මේ රටේ පුරවැසියෝ. Sri Lanka Latest News
මේ වැඩබැරි ආණ්ඩුව බලයට ගේන්න පාර කැපුවේ ඔය ජාතිවාදීන්, හොරු, මංකොල්ලකාරයෝ සහ දූෂිතයෝ. ජනතාව උන්නේ ඔය කියන හැතිකරය ගැන අප්පිරියාවෙන්, ද්වේශයෙන්.
මාලිමාව හෝ අනුර බලයට ආවේ ජනතාව විසින් තෝරාගත් නිසා නෙවේ. දයාසිරි විසින් සඳහන් කරපු ත්‍රාඩ රැළ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ නිසා.
අනුර සහ මාලිමා ආණ්ඩුවට වලංගුභාවය දිගින් දිගටම හදලා දෙන්නේ දයාසිරිලා වගේ උදවිය සැරින් සැරේ කරන මේ වගේ ප්‍රකාශයන්. මේ රටට ඇත්තටම ආදරේ මිනිස්සු ඉන්නේ අද වැලේ වැල් නැතුව. ඒ මිනිස්සුන්ට පේනවා අනුරලාට බැරි බව. මාලිමාව ආණ්ඩුකරණය ඇතුළේ ෆේල් බව. ඒත් ඒ මිනිස්සු විටින් විට සතුටට පත්වෙනවා හොරු, මංකොල්ලකාරයෝ සහ දූෂිතයන්‍ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙද්දි.
ඒ සියල්ල අතරේ ඒ පුරවැසියෝ බලාගෙන ඉන්නවා විපක්ෂය දිහා. මාලිමාව සහ අනුර ෆේල් වෙන තැන්වලට විපක්ෂය ආදේශ කරලා බලද්දි ඒ මිනිස්සුන්ට පේන්නේ අමු හොරු රැළක් නම් වරද කාගෙද? විපක්ෂයේ…
දැන් පේන එක ඉක්මවා ගිහින් දයාසිරිලා වගේ චෝදනා නැති, ඒ වගේම ජනාධිපති හීනවල ඉන්න අයත් කියන්නේ හොරු, මංකොල්ලකාරයෝ, ජාතිවාදියෝ සහ දූෂිතයෝ එකතු වෙලා මාලිමාව පරද්දන්න කියලා නම්, ඒ කරන්නේ ජනතා අභිලාෂය උස්සලා පොළොවේ ගහන එක.
විපක්ෂය තේරුම් ගන්න ඕනෙ දේ තමයි හුදු මාලිමා විරෝධය එක තැනකට ගෙනල්ලා මාලිමාව පරද්දන්න බෑ කියන එක. මාලිමාව පරද්දන්න නම් මාලිමාවට ඡන්දය දුන්න මිනිස්සුන්ගේ අභිලාසයන්ට සංවේදී වෙන්න ඕනෙ.
දයාසිරි පෙන්නුවේ ඒ මිනිස්සු මේ විපක්ෂය දිහා හැරිලාවත් නොබැලිය යුත්තේ ඇයි කියන එක.
නදීශ ද සිල්වා










