රටක පරිසර පද්ධතිය කියන්නේ ඒ රටේ ජීවනාලියයි. එය රැකුණොත් ඒ රටේ අනෙකුත් සියලු සත්වයන් සුරක්ෂිත වන බවද, එය පිරිහී විනාශ වුවහොත් අනෙකුත් සාධක සියල්ලම විනාශ වන බවද නියතයකි. මෙකී සදාතනික සත්‍යය තේරුම් ගන්නා රටක ජීවත්වන පුරවැසියන් ඉතා වාසනාවන්ත වේ. නීතිරීති අණපනත් මගින් රටක පරිසරය ආරක්ෂා කරන්න පාලකයන් හා අවශේෂ වගකිවයුතු නිලධාරීන් ක්‍රියාත්මක වනවා දැකීම පරිසරයට ආදරය කරන පුරවැසියන් වශයෙන් එකී ක්‍රියාදාමය ඇගයීම හා සහයෝගය ලබාදීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයකි. අද ‘කැලෑ කොලමේ’ පූර්විකාව වෙන්වන්නේ පරිසරය සුරක්ෂිත කිරීම සඳහා ගත් එක් එක් සාධනීය පියවරයන් පැසසුම් කොට සාකච්ඡා කිරීමයි.Sri Lanka Latest News

වනාන්තර පද්ධතියේ 86%ක් පමණ රක්ෂිත වනාන්තර බවට පත් කිරීමට ගැසට් කිරීම, තෝරාගත් අලිමංකඩ කීපයක් නැවත ප්‍රතිස්ථාපනය කිරීමට වැඩකටයුතු සැලසුම් කිරීම, ජෛව විවිධත්වය අනුව ඒ ඒ අදාළ කලාප සුරක්ෂිත කිරීම, ජල මූලාශ්‍ර ආශ්‍රිත ප්‍රදේශ හඳුනාගනිමින් අවශේෂ ඒ පද්ධතියන් සුරක්ෂිත කිරීමට කටයුතු කිරීම, අලි – මිනිස් ගැටුම විසඳාලීම සඳහා පිළියෙල කර ඇති 2020 ක්‍රියාකාරී සැලැස්ම ගැන අවධානය යොමුකිරීම හා ඒවායේ අඩුපාඩු ඇත්නම් යාවත්කාලීන කිරීම සඳහන් කළ හැකිය.
පසුගිය ජුනි 05 වැනිදා තවත් එක් ලෝක පරිසර දිනයක් උදාවිය. ඊට සමගාමීව මෙරටද විවිධ වැඩසටහන් හා සමුළු සම්මන්ත්‍රණ ක්‍රියාත්මක විය. සෑම පරිසර දිනයකම ක්‍රියාත්මක වන දේට වඩා ඉන් ඔබ්බට ගිය තීන්දු තීරණ කීපයක් ගැනීමට පරිසර අමාත්‍යාංශය කටයුතු කිරීම ඉතා ප්‍රශංසනීය කටයුත්තක් බවද, පවතින පරිසර ආඥා පනත අවශ්‍ය පරිදි කාලීනව සංශෝධනය කොට ජුනි මස අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට කටයුතු කිරීම කාලෝචිත ක්‍රියාවකි.
යල් පැනගිය නීති වෙනස් කොට වර්තමාන පරිසරයට හා සමාජයට අනුරූප වන අයුරින් අණපනත් සම්මත කරගැනීම සෑහෙන කාලයක සිට ප්‍රමාදව පැවැතීම නිසා පරිසරයේ සිදුවූ අලකලංචි බොහෝය. ඒවා දැන්වත් නිසි ලෙස කළමනාකරණය කිරීම පාලකයන් හා නිලධාරීන්ගේ වගකීම බව අවධාරණය කරන අතර, එය තේරුම් ගෙන කටයුතු කිරීම ගැන පරිසර බලධාරීන්ට පැසසුම් කළ යුතුය.
අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා අවශ්‍ය මූලික අවධානය යොමුකර, 2020 ක්‍රියාකාරී සැලැස්ම අධ්‍යයනය කොට රාජ්‍ය නිලධාරීන් ඒ සඳහා උනන්දු කිරීම අත්‍යාවශ්‍ය සාධකයක් වන අතර, ඊට අවශ්‍ය නීතිරීති යාවත්කාලීන කිරීම හා අනෙකුත් පාර්ශ්වයන්ගේ සහාය ලබාගැනීමද පැසසිය යුතු කාරණයකි. පරිසරයට හා එහි වෙසෙන සියලු සතුන්ට, විශේෂයෙන්ම අලි ඇතුන් ගැන නිරන්තර අවධානය හා දත්ත එක්රැස් කොට ඔවුන්ගේ සංරක්ෂණය උදෙසා කැපවෙන කුෂාන් සමීර ඇතුළු ‘වයිල්ඩ් ටස්කර්ස්’ සංවිධානයේ සාමාජිකයන්ද මෙකී වැඩපිළිවෙළ සඳහා සහයෝගය ලබාදීම අගය කළ යුතුය. සැඟවුණු අරමුණුවලින් තොරව ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික පාරිසරික සංරක්ෂණ වැඩපිළිවෙළකට ඔවුන් නිරන්තරයෙන්ම සූදානම් බවද සඳහන් කළ යුතුය.
වාණිජ අවශ්‍යතා හා පුද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීමට උත්සාහ දරන සුළු පිරිසක් අතරේ, අලි ඇතුන් මියයාමට පෙර කෙසේ හෝ ඔවුන්ගේ ඡායාරූප ගැනීමට කැසකවන්නන් ඉන්නා සමාජයක පටු ආකල්පවලින් බැහැරව රාජ්‍ය තන්ත්‍රය හා නිලධාරීන් සමග එක්ව අනාගත පාරිසරික සංරක්ෂණ කටයුතු සඳහා කුෂාන් ඇතුළු මෙකී කණ්ඩායමේ දායකත්වය පරිසරයට ආදරය කරන අප සැමගේ පැසසුමට ලක්විය යුතු බව ‘කැලෑ කොලමේ’ අදහස වේ.
මෑතකදී පරිසර විනාශයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවද ඉතාමත් වටිනා එකකි. එය අනාගතයට පූර්වාදර්ශයක් වනු ඇත. දශක ගණනාවක් ඇදි ඇදී විවිධ හැලහැප්පිලිවලින් පිරි පාරිසරික ප්‍රශ්න එක රැයකින් විසඳාලිය නොහැකි බව ‘කැලෑ කොලම’ අවධාරණය කරන අතර, තත්ත්වය එසේ වුවත් රටක පාරිසරික ප්‍රතිපත්තිය ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා නීතිගත කළ යුතු බවද අවධාරණය කරන්නෙමු. පාලකයන්ට හිතුමනාපේ සංවර්ධන ව්‍යාපෘති හිතූ හිතූ තැන්වල ඉදිකිරීමට අවසර නොදී නිසි පාරිසරික වාර්තාවන් ඇතුළු සියලු අනුමැතීන් නිසි පරිදි අනුමැතිය ලබාගෙන නිවාස සංවර්ධන ව්‍යාපෘති, කෘෂිකාර්මික ඉඩම් ව්‍යාපෘති හා අනෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. වර්ග සැතපුම් 65,000ක පමණ භූමි ප්‍රදේශයක ජීවත්වන අප සියලු දෙනා මෙකී පරිසරයේ කොටස්කරුවන් බවත්, ඉදිරි අනාගතයේදී මෙරට වෙසෙන සියලු ජීවීන්ට තිරසාර පාරිසරික ප්‍රතිපත්තියක් තුළ නිදහසේ ජීවත් වීමට හැකි පරිසරයක් නිර්මාණය කළ යුතු බවත් ‘කැලෑ කොලමේ’ අපි දැඩිව විශ්වාස කරමු.

සමන් හල්ලොලුව










