අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවිම සම්බන්ධයෙන් රට තුළ බරපතල සංවාදයක් මතුව තිබෙන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ද මෙහි දී අධිකරණ ස්වාධිනත්වය නිතියේ ආධිපත්‍ය හා මහජන විශ්වාසය සම්බන්ධයෙන් ගැඹුරු අවධානයක් යොමු කළ යුතු බවට අවධානය කර ඇති නිසා ජාතික වැදගත්කමින් යුත් මෙම කරුණ සම්බන්ධයෙන් රජයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග 27 (2) යටතේ අද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණ ගරු විනිසුරුවන්ගේ විශ්‍රම වයස සංශෝධනයට රජය විසින් යෝජනාවක් හෝ නීති සංශෝධනයක් ගෙන එන්නේ නම් එයට පදනම් වූ නිල අවශ්‍යතා තක්සේරුවක් හෝ ප්‍රතිපත්ති වාර්තාවක් හෝ දත්තමය අධ්‍යයනයන් ඇත්නම් එවා සභාගත කරන ලෙස ඉල්ලා සිටින බවත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණ ගරු විනිසුරුවන්ගේ සංඛ්‍යාව දැනටමත් වැඩිකර ඇති පසුබිමක තවදුරටත් විශ්‍රාම වයස ඉහළ දැමිමේ අවශ්‍යතාව රජය සාධාරණීකරණය කරන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙය අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධ ගැටලුවක්
දැනට සේවයේ නිරත ගරු විනිසුරුවන්ගේ සේවා කාලය සැලසුමකින් තොරව දීර්ඝ කිරීම ගරු විනිසුරවරුන්ගේ ගෞරවයට සහ අධිකරණයේ ස්වාධිනත්වය සම්බන්ධයෙන් මහජන විශ්වාසයට අහිතකර බලපෑමක් එල්ල කළ හැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත 2026.05.25 දිනැතිව දන්වා ඇති පසුබිමක් තුළ ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ නිල ස්ථාවරය සභාවට ඉදිරිපත් කරන ලෙසත් මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ සේවා කොමිසම සහ නීති ක්ෂේත්‍රයේ වෙනත් වෘත්තිමය පාර්ශ්වය සමඟ විධිමත් උපදේශන ක්‍රියාවලියක් සිදු කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් එවැනි දෙයක් කර නොමැති නම් ජාතික වැදගත්කමක් ඇති ව්‍යවස්ථාමය සංශෝධනයක් එවැනි උපදේශනයකින් තොරව ඉදිරිපත් කිරීමම ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
උපරිමාධිකරණය විනිසුරු තනතුරු 8ක් පුරප්පාඩු වෙලා
එසේම අධිකරණ පද්ධතියේ ප්‍රමුඛ ගැටලු ලෙස නඩු ප්‍රමාදය, නඩු ගොඩගැසීම විනිසුරු හිගය සහ ජනතාවට සාධාරණය ප්‍රමාද වීම සම්බන්ධයෙන් බරපතල අර්බුධයක් නිර්මාණය වී ඇති අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ධුර 4ක් සහ අභියාචනාධිකරණ විනිසුරු ධුර 4ක් දීර්ඝ කාලයක් පුරප්පාඩු වීමට හේතුව ඉදිරිපත් කරන ලෙසත් ගරු විනිසුරුවන්ගේ පුරප්පාඩු පිරවීම වෙනුවට ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ යාම රජයේ ප්‍රමුඛතාවක් වී ඇත්තේ කුමන ජාතික අවශ්‍යතාවක් නිසාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙය අධිකරණ කටයුතු සම්බන්ධයෙන් වන භයංකාර පූර්වාදර්ශයක්
මෙම යෝජනාව ක්‍රියාත්මක කිරිම මගින් අනාගත ආණ්ඩුවලට ද තමන්ගේ දේශපාලන අවශ්‍යතා අනුව විටින් විට අධිකරණයේ ව්‍යුහය වෙනස් කිරීම සදහා වන භයංකාර පූර්වාදර්ශයක් නිර්මාණය වන බවත් අධිකරණයේ ස්වාධිනත්වය අපක්ෂපාතීභාවය සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම අධිකරණ අමාත්‍යාංශයේ වගකීමක් නම් මේ යෝජනා නිසා ඇතිව තිබෙන මහජන අවිශ්වාසය දුරු කිරිමට රජය ගන්නා නිශ්චිත ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
සුදුසුකම් ඇති විනිසුරුවරුන් රැසක් අද විශ්‍රාම ගිහින්
සරල උත්තරයක් ලබා දී මේවා අවසන් කළ නොහැකි බවත් රටක් තුළ යහපත් රාජ්‍ය පාලනයේ දී අධිකරණයේ ස්වාධීනත්වය වගවීම සහ වගකීම සිදුවිය යුතු බවත් මාස 6ක් පුරා මේ පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම නිසා දක්ෂ වෘත්තීය විනිසුරුවරුන් විශ්‍රාම ගොස් ඇති බවත් මොවුන් අධිකරණ ක්‍රියාවලියේ විශිෂ්ට සේවාවක් කළ අය වුවත් අද විශ්‍රාම ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ක්‍රමයේ වෙනස ලැබුණේ මේකට නොවේ
ක්‍රමයේ වෙනසට ජනවරම ලැබුනත් මෙය ක්‍රමයේ වෙනසක් නොවන බවත් උපරිමාධිකරණය විනිසුරුවන් පුරප්පාඩු සම්බන්ධයෙන් රජය කටයුතු නොකරන්නේ ඇයිද කියා හේතු දැක්විය යුතු බවත් නීතිඥ සංගමය මෙයට විරුද්ධ වන්නේ අසාධාරණ හේතු පදනම් කර ගෙන නොවන නිසා ත්‍රීපාර්ශ්වීය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සංවරණ හා තුලන ආරක්ෂා වන ආකාරයට කටයුතු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.










