මූල්‍ය අරමුදලට යන්න කියයි
පසුගිය සතියේ ‘මව්රට’ මුල් පිටුවේ විශේෂ පුවතක් මගින් අප අනාවරණ කර සිටියේ ලංකාවට ලබාදීමට නියමිත පස්වැනි සහ හයවැනි වාරික මුදල් නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව බදාදා (27) දිනයේදී රැස්වන බවත්, එහිදී ඩොලර් මිලියන 700කට ආසන්න මුදලක් ලංකාවට නිදහස් කිරීමට මූල්‍ය අරමුදල කටයුතු කරනු ඇති බවත්ය. අප පුවත්පත වෙළෙඳපළට පැමිණි සෙනසුරාදා දිනයේ වාර්තා කළ ආකාරයටම බදාදා දිනයේ රැස්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව එම වාරික මුදල් නිදහස් කිරීමට පියවර ගෙන තිබිණි. එය මේ වනවිට යම් ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාවට මහත් අස්වැසිල්ලක් බව බොහෝ පාර්ශ්වයන්ගේ අදහස වී තිබේ. ඒ අනුව ඉදිරියේදී ලැබීමට නියමිත ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් ප්‍රමාණයන් සමග ගත්විට මෙය ඩොලර් බිලියනයකට ආසන්න අගයක් ගනු ඇති බව බොහෝ පාර්ශ්වයන්ගේ මතය වී ඇත.Sri Lanka Latest News
කෙසේ වෙතත් දැන් මතුවී ඇති ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාව තවදුරටත් මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගයන් මොනවාද යන්න සම්බන්ධයෙන්ය. මීට සති දෙකකට ඉහතදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී සුවිශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ලබන මාර්තු මාසයේදී මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා ගිවිසුම අවසන් වන බවත්, ඒ අනුව අලුත් ආර්ථික අර්බුදයක් ආරම්භ වීමට ප්‍රථම වහාම මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට අනුප්‍රාප්තික ගිවිසුමකට යෑමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත්ය. එය සිදු නොකළහොත් ආර්ථිකය නැවත වරක් කඩාවැටීමේ දරුණු අර්බුදයකට ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇති බවද සජිත් අවධාරණය කොට සිටියේය. සජිත් මේ බව ප්‍රකාශ කළේ ආවාට ගියාට නොව, කාලයක් තිස්සේ මූල්‍ය අරමුදලේ රාජකාරි කළ හිටපු ප්‍රබල නිලධාරීන් කිහිප දෙනකු සමග සිදුකළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුවය. නමුත් සජිත් කළ මෙම ප්‍රකාශයට ආණ්ඩුව පැත්තෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු නමුත් බංග්ලාදේශය පසුගිය සතියේදී සජිත් අනාවරණ කළ පරිදිම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අලුත් ගිවිසුමකට යෑමට කටයුතු කොට තිබිණි.
කෙසේ වෙතත් විපක්ෂ නායකවරයා කල්තියාම මෙම අනතුරු ඇඟවීම කරද්දීත් ආණ්ඩුව නිහඬව සිටියේ ඇයි? ආණ්ඩුවේ දේශපාලන න්‍යායපත්‍රය කුමක්ද? ඒ අනුව අපද ආණ්ඩුවේ මේ නිහඬතාව සම්බන්ධයෙන් පසුගිය සතියේ විශේෂ සොයාබැලීමක නිරත වීමු. එහිදී අපට ලැබුණු තොරතුරුවලින් දැනගන්නට ලැබුණේ ආණ්ඩුව මෙසේ නිහඬව සිටින්නේ කිසියම් දිගුකාලීන දේශපාලන සැලැස්මක් ඔළුවේ තබාගෙන බවය. ඒ අනුව ආණ්ඩුව තීන්දු කොට ඇත්තේ ලබන මාර්තුවේදී මූල්‍ය අරමුදලේ ගිවිසුම අවසන් වූ වහාම අලුත් ගිවිසුමකට නොයා එය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමටය.
එසේ නම් ආණ්ඩුව එවැනි බරපතළ තීන්දුවකට යෑමට තීන්දු කොට ඇත්තේ ඇයි?
2027 මාර්තුවලින් පසුව එන්නේ ආණ්ඩුවේ අවසන් භාගයය. ජනාධිපතිවරයාට නම් 2027න් පසු ඊළඟ ජනාධිපතිවරණය කැඳවීමට තවත් ඉතිරිව ඇත්තේ වසර 2ක් පමණි. එමෙන්ම මෙම කාලය ඇතුළත ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයද හිමිවේ. මැතිවරණ කොමිසමටත්, දේශපාලන පක්ෂවලටත්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු දේශපාලනය සම්බන්ධයෙන් උනන්දු වන අයටත් මැතිවරණ උණුසුම දැනෙන්නට පටන්ගන්නේ 2027 අප්‍රේල් – මැයි කාලය වනවිටය.
නමුත් හදිසි ජනාධිපතිවරණයකට හෝ හදිසි මහ මැතිවරණයකට යෑමට ආණ්ඩුවට ඇති ලොකම බාධාව වී ඇත්තේ මේ කියන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අස්සන් කළ ගිවිසුමය. මන්ද යත් එහි ඇති කොන්දේසිවලට අනුව ආණ්ඩුවට හිතුමනාපයේ මුදල් වියදම් කළ නොහැක. ජනතාවට සහනාධාර ලබාදිය නොහැක. බදු ආදායම අඩු කරගත නොහැක. බදු ප්‍රතිශතයන් අඩුකරගත නොහැක. ඉන්ධන මිල, විදුලි බිල ආදියේ වියදමට අනුපාත වන ආකාරයට සකස් කළ යුතුය. භාණ්ඩාගාරයේ ටි්‍රලියන ගණනින් මුදල් එකතුවී පවතින මොහොතක පවා අවශ්‍ය ආකාරයට ජනතාවට අත දිග හැර සහන ලබාදීමට ආණ්ඩුවට නොහැකි වී ඇත්තේ මූල්‍ය අරමුදල සමග අස්සන් කර ඇති මෙම ගිවිසුම නිසාය.
ඊට හොඳම උදාහරණය වන්නේ දිට්වා සුළි කුණාටුවෙන් පසු රට ඇතුළේ මතුවූ තත්ත්වයය. එහිදී ආණ්ඩුවට රුපියල් බිලියන 500ක මුදලක් ආධාර වශයෙන් ජනතාවට ලබාදීමට අවශ්‍යතාව තිබුණත්, ඊට මූල්‍ය අරමුදලෙන් දැඩි විරෝධයක් එල්ල විය. ඔවුන් ආණ්ඩුවට දැනුම්දී තිබුණේ එසේ මුදල් වියදම් කළ නොහැකි බවත්, එම වියදම් කරන මුදල් යළි සොයාගන්නා ආකාරය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ යුතු බවත්ය. අවසානයේදී ආණ්ඩුව සහ මූල්‍ය අරමුදල අතර මතුවූ මෙම මතගැටුම හේතුවෙන් ඉකුත් දෙසැම්බරයේ ලංකාවට ලබාදීමට නියමිතව තිබූ පස්වැනි වාරිකය මේ මැයි මාසය දක්වාම කල්දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කොට තිබිණි.
ඒ අනුව ආණ්ඩුව මේ වනවිට නිහඬවම තීන්දු කොට ඇත්තේ ලබන මාර්තු මාසයේ මූල්‍ය අරමුදල සමග අස්සන් කළ ගිවිසුම අවසන් වූ වහා අලුත් ගිවිසුමකට නොයා ඉන් ඉවත් වීමටය. එතැන් සිට ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය ඉලක්ක කොට භාණ්ඩාගාරයේ පිරී ඇති මුදල් අත දිගහැර වියදම් කිරීම ආණ්ඩුවේ සැලසුම වී ඇති බව ආරංචිය. එවැනි පසුබිමක් යටතේ සජිත් එක් වතාවක් නොව දහදොළොස් වතාවක් ආණ්ඩුවට මූල්‍ය අරමුදල සමග අලුත් ගිවිසුමකට යන ලෙස දැනුම් දුන්නද, ආණ්ඩුව එය තඹයකට මායිම් නොකර සිටින්නේ මේ අරමුණ ඔළුවේ තබාගෙනය.










