ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ඓතිහාසික සේරුවිල පුරාණ විහාරස්ථානයට නුදුරින් මහා වනාන්තරයක නිහඬතාව මැද අදත් කුඩා වාරි කඩුල්ලක් බලා සිටී. ඒ ‘මාවිල් ආරු සොරොව්ව’යි. සැබැවින්ම එය ගඩොලින් හා සිමෙන්තිවලින් තැනූ පණ නැති ව්‍යුහයක් නොවේ. එහි එක් එක් ගල් කැටයක් පාසා සඟවාගෙන සිටින්නේ මේ පොළොවේ ඉතිහාසය අහිංසක මිනිසුන්ගේ කඳුළු සහ අපේ වීරෝදාර රණවිරුවන්ගේ උණුසුම් රුධිරයෙන් තෙත් වූ අතිශය සංවේදී අභිමානවත් කතාවකි. එය ප්‍රමාණයෙන් කුඩා සොරොව්වක් විය හැකිය නමුත් එය මුළුමහත් ජාතියකගේම හෘද ස්පන්දනය නැවත අවදි කළ නිදහසේ මහා සංකේතස්ථානයයි.
2006 ජූලි මස 20 වැනිදා එය සාමාන්‍ය දිනයක් ලෙස උදාවුවද මුළු මහත් ලංකාවම කම්පා කරවන මහා ඛේදවාචකයක ආරම්භය සනිටුහන් කළේය. ලොව අංක එකේ කුරිරු ත්‍රස්තවාදීන් වූ එල්.ටී.ටී.ඊ. කල්ලිය අහිංසක ජනතාවගේ ජීවනාලිය බඳුවූ මේ වාරි දොරටුව සදහටම වසා දැමීය. ඔවුන්ට වුවමනා වූයේ තමන්ගේ දේශපාලන බලය පෙන්වීමටය. නමුත් එහි විපාකය වින්දේ කවුද?
සේරුවිල, මුත්තූර්, ඉච්චලම්පට්ටුව ඇතුළු ගම්මාන රැසක ජීවත් වූ දහස් සංඛ්‍යාත දෙමළ, සිංහල සහ මුස්ලිම් අහිංසක වැසියන්ට තමන්ගේ පණ රැකගන්නට තිබූ එකම දිය බිඳ අහිමි විය. කිරි සප්පයන් හඬා වැටුණේ උගුර කට වේළිලාය. මවුවරුන්ගේ දෑස්වල කඳුළු වියළී ගියේ හඬා වැටෙන තමන්ගේ කිරි කැටියාගේ පිපාසය සංසිඳුවන්නට එකදු දිය බිඳක් සොයාගත නොහැකි වූ මහා අසරණකම හමුවේය. දහඩිය හෙළා වගාකළ සරුසාර කෙත්වතු හිරු රශ්මියට පිලිස්සී අළුවී යද්දී ගොවි මහතුන් අහස දෙස බලා හූල්ලන්නට විය. ත්‍රස්තවාදය තමන්ගේ කුරිරු මුහුණ මුළු ලෝකයටම පෙන්වූයේ මිනිසුන්ව පිපාසයෙන් මරාදමන්නට සැරසෙමිනි.
දින හතක් පුරා එවක රජය අතිශය ඉවසීමෙන් සහ විනයගරුකව සාකච්ඡා කළේය. නෝර්වේ රාජ්‍යය එස්.එල්.එම්.එම්. නිරීක්ෂකයන් මැදිහත් විය. නමුත් ගල් හදවත් ඇති ත්‍රස්තයන්ගෙන් ලැබුණේ එකම පිළිතුරකි.
‘අපේ ඉල්ලීම් නොදෙන්නේ නම් උන්ට බොන්නට වතුර නැත’
මිනිසුන්ව පිපාසයෙන් මරණයට ඇද දැමීමේ මේ නින්දිත කුමන්ත්‍රණය හමුවේ මුළු රටම අසරණව බලා සිටියේය. නමුත් මවුබිමේ සහ ජනතාවගේ වේදනාව හඳුනන නායකත්වය එදා තීරණාත්මක තීන්දුවක් ගත්තේය. ‘ජලය යනු මානව හිමිකමකි. එය ත්‍රස්තවාදීන්ගේ ආයුධයක් විය නොහැක…’ එවක සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයෙන් 2006 ජූලි 26 වැනිදා ‘ඔපරේෂන් වෝටර්ෂෙඩ්’ මානුෂීය මෙහෙයුම ආරම්භ විය.
අපේ සිංහ පැටවුන් ශ්‍රී ලංකා යුද හමුදාව මරණය පෙනි පෙනී සතුරු මෝටාර් සහ ප්‍රහාරක ගිනි වැස්ස නොසලකා ඉදිරියටම ඇදුණහ. ඒ යන මාවතේ සෑම බිම් අඟලක්ම ලේවලින් තෙත් විය. අපේ වීරෝදාර සොහොයුරන් කී දෙනෙක් නම් මවුබිම වෙනුවෙන් අනුන්ගේ පිපාසය නිවන්නට තමන්ගේ ජීවිතය පූජා කළාද?
ඔවුන් තැබූ සෑම පියවරක්ම මරණය දෙසට වූ නමුත් එය අසරණ ජනතාවගේ ජීවන බලාපොරොත්තුව විය. දින 22ක අතිශය බිහිසුණු වීරෝදාර සටනකින් පසුව 2006 අගෝස්තු 10 වැනිදා රාත්‍රී 8.00ට අපේ විරුවෝ මාවිල්ආරු සොරොව්ව අත්පත් කරගත්තහ.
සොරොව්ව විවෘත වී රිදී දිය දහරාවන් නැවත ගලායද්දී මුළු මහත් නැගෙනහිරම සැනසුම් සුසුම් හෙළීය. දහස් ගණන් මවුවරුන්ගේ දෑසින් සැනසුමේ කඳුළු කඩාවැටුණේ මාවිල්ආරු දිය දහරාවට මුසු වෙමිනි. නමුත් ඒ දිය දහරාව මුළු රටටම රහසින් කියා සිටියේ එකම දෙයකි.
‘මේ නිමාව නොවේ… මේ වනාහී ශාපලත් ත්‍රස්තවාදය මේ පොළොවෙන් අතුගා දැමීමේ මහා යුද්ධයක ආරම්භයයි…’
එදා මාවිල්ආරුවෙන් ඇවිළී ගිය නිදහසේ ගිනිසිළුව වසර 2යි මාස 9ක් පුරා මුළු උතුරුකරය පුරාම සත්‍යයේ සහ යුක්තියේ ආලෝකය පතුරුවමින් ඉදිරියටම ඇදුණි. වන්නි වනාන්තරය, ඔඩ්ඩුසුඩාන්, තෙරවිල්, පුදුකුඩිරිප්පු වැනි රණවිරුවන්ගේ උණුසුම් රුධිරයෙන් සහ දහඩියෙන් තෙමුණු ඓතිහාසික භූමි එකින් එක නිදහස් කරගනිමින් අපේ වීරෝදාර සේනාංක අවසානයේ නන්දිකඩාල් කළපුව වෙත සේන්දු විය.
2009 මැයි 18 වැනිදා උදෑසන උදාවත්ම නන්දිකඩාල් කළපු තීරය ගිනිගෙන දැවෙන්නට විය. ඒ මවුබිම දෙකඩ කරන්නට හැදූ ශාපලත් ත්‍රස්තවාදයේ අවසාන හෝරාවයි. මුළු දවස පුරාම ඇසුණු මහා වෙඩි හඬ සැඳෑ යාමයේ නිහඬ වෙද්දී මුළු ලෝකයම දෑස් අදහාගත නොහැකිව බලා සිටියේය. වසර තිහක් මුළු රටක් ලේ කඳුළින් නැහැවූ ලොව බිහිසුණුම ත්‍රස්ත නායකයාගේ නිසල දේහය නන්දිකඩාල් කළපු ඉවුරේ වැටී තිබිණි
එදා රාත්‍රියේ නන්දිකඩාල් කළපුව රතු පැහැයෙන් දිස්විය. ඒ රුධිරයෙන් නොවේ වසර 30ක අඳුරු ශාපලත් යුගයක නිමාව සනිටුහන් කරමින් ලක් මවගේ නිදහසේ අලුයම් හිරු රැස් ඒ දිය මත පිළිබිඹු වූ නිසාය. සොරොව්වක් වසා දමා මිනිසුන් පිපාසයෙන් මරා දමන්නට හැදූ බිහිසුණු ත්‍රස්තවාදය කළපුවක් අද්දරදී සදහටම පස් යට වැළලී ගියේය
අද මාවිල්ආරු සොරොව්වෙන් ජලය ඉතා නිදහසේ සන්සුන්ව ගලා බසී. ඒ දිය බිඳු අදටත් එදා මෙන්ම මිහිරිය. නමුත් අද ඒ සොරොව්ව දෙස බලන සෑම සැබෑ ලාංකිකයකුගේම දෑසට කඳුළක් උණයි. ඒ කඳුළු පිපාසයේ කඳුළු නොවේ මේ නිදහස් පොළොව අපට උරුම කර දීම වෙනුවෙන් තමන්ගේ තාරුණ්‍යය දෑත්, දෙපා සහ ජීවිතය පූජා කළ අපේම අම්මලාගේ වීරෝදාර රණවිරු පුතුන් වෙනුවෙන් උපදින අසීමිත ගෞරවයේ ආදරයේ සහ කෘතඥතාවයේ උණුසුම් කඳුළුය.
මාවිල්ආරු සොරොව්ව සහ නන්දිකඩාල් කළපුව යනු එකම ඉතිහාසයක එකම කාසියේ දෙපැත්තකි. එකකින් ත්‍රස්තවාදයේ අතිශය කුරිරු අමානුෂීය මුහුණ පෙන්වද්දී අනෙකෙන් කියාපාන්නේ ඒ කුරිරුකම සදහටම දණගැස්වූ අභිමානවත් ජාතියක එකමුතුකමේ මහා බලයයි.
අප රටවැසියන් වශයෙන් සදාකාලිකවම අභිමානවත් විය යුතුය. අප එකට එකතු වූ විට සොරොව්වක් වසා දැමූ ඒ නින්දිත ත්‍රස්තවාදී හස්තයට වඩා එය නැවත විවෘත කළ ජාතියේ ඒකාබද්ධ හස්තය කොතරම් බලවත්ද කියා ලෝකයටම ඔප්පු කර හමාරය. අප එක්සත් වූ විට නන්දිකඩාල් කළපුව යනු පරාජයේ නිමාව නොව ජයග්‍රහණයේ උත්තුංග විජයග්‍රාහී ධජය බව අප වටහාගත යුතුය.
‘පිපාසයෙන් මිනිසුන් මැරෙන්නට හැර ඉල්ලීම් දිනන්නට හැදූ තැන අද මුළු මහත් ජාතියේම පිපාසය නිවාලන නිදහසේ මහා ශක්තිය මේ පොළොවට අත්පත් වී තිබේ’
ඒ අපේ විරුවන් තමන්ගේ ජීවිතවලින් ලියා තැබූ අමරණීය විජයග්‍රාහී ගාථාවයි. මවුබිමට ආදරය කරන සෑම සැබෑ ලාංකිකයකුගේම හදවතේ මේ මහා පූජාවේ කතාව සදාකාලිකවම රන් අකුරින් ලියැවී තිබෙනු ඇත.
CHAMATH VLOGS










