සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද කියන්නේ හැමෝගේම හිතේ සතුට සැනසීම එකමුතුකම එකතුවෙච්ච සුන්දර කාලසීමාවක්. ගම පුරා කැවුම් කිරිබත් සුවඳ සමග සතුටු සිනා හඬ පැතිරිලා යන කාලයක්. ඒත් ඒ සතුට සමගිය පිරී ඉතිරී යන කාලයේ අපට අහන්න ලැබුණේ තරුණයෙකුගේ හිතේ බලාපොරොත්තු සුන් වෙච්ච සිදුවීමක්.Sri Lanka Latest News
ඒ තරුණයා විතරක් නෙවෙයි අහිංසක මිනිසුන් පිරිසක් තමන් හදපු වළං, අවුරුදු කැවිලි ආදිය අරගෙන නගරයේ පදික වේදිකාවට ආවේ අලුත් අවුරුද්දට කීයක් හරි හම්බකර ගැනීමේ බලාපොරොත්තුවෙන්. නමුත් මේ වළං අතර ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වෙලා අවුරුදු සතුට දුකකින් කෙළවර වුණේ බොහෝ දෙනකුගේ හදවත් කම්පනයට පත්කරමින්.
මේ පදික වෙළෙඳසල් අවට සිටින ජනතාව පවසන්නේ බලධාරීන් අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු සුන්කරන තත්ත්වයට ඔවුන්ව පත්කළා යනුවෙන්. ඔවුන් තම නිෂ්පාදන පදික වේදිකාව අසල තියාගෙන දරුවන්ගේ බඩගින්න නිවන්න කීයක් හරි හොයාගන්න වෙහෙසෙන වෙලාවේදි බොහෝ මිනිස්සු අසරණ තත්ත්වයට පත්ව තිබුණා. මේ මිනිස්සු කළේ ඔවුන්ගේ ජීවිතය ගැටගහ ගැනීමට උත්සාහ ගැනීමක්. නමුත් ඔවුන් නගරයට ගෙනා වළංවලට වටිනාකමක් නෙවෙයි ලැබුණේ ගැරහුමක් විතරයි. හදවත්වල නැගුණු වේදනාව නිසාම තමන්ම අතින් හදපු මැටි වළං මුට්ටි තමන් විසින්ම පොඩිපට්ටම් කර දමන්නට ගතවුණේ කෙටි කාලයක්. එලෙස විනාශ වී ගියේ වළං මුට්ටි විතරක් නෙවෙයි, අහිංසක දරු පවුලක අවුරුදු සැමරුමකුයි එලෙස පොඩිපට්ටම් වී ගියේ.
මේ අසාධාරණ සිදුවීම ගැන තරුණයෙක් හඬනැගුවා. වැල්ලවාය නගරයේ මේ දිනවල පවතින දැඩි අව්වත් එක්ක ඔවුන් වෙළෙඳාම් කළේ රජ සැප ලබන්න නම් නෙවෙයි. එදා වේල හරිහම්බ කරගෙන සතුටෙන් ජීවත් වන්නටයි. ඒත් වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ඔවුන්ට පදික වේදිකාවේ වෙළෙඳාම් කිරීම නවත්වන ලෙස දැනුම් දී තිබුණා. මේ නිසා නගරයේ වෙළෙඳුන්ගේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණා. එහිදී වළං මුට්ටි පොළොවේ ගසමින් වැල්ලවාය නගරයේ වෙළෙඳුන් පිරිසක් ආණ්ඩුවට දොස් නගන ආකාරයක් දැකගන්නට ලැබුණා. වැල්ලවාය පොලිසියේ නිලධාරීන් පැමිණ වළං විකුණන වෙළෙඳුන්ට පදික වේදිකාවෙන් ඉවත් කර ගන්නා ලෙස දැනුම් දුන්නා. මේ අහිංසක වෙළෙන්දන් කරකියා ගැනීමට කිසිත් නොමැතිව ඒ මේ අත ඇවිදමින් දෙස් දෙවොල් තියන්නට වුණේ අවුරුද්දට තම දරුවන්ට කිරිබතක් සකසා දෙන්නටවත් මේ නිසා නොහැකි වන බව පවසමින්.
සමහරු වළං විකුණන්න ඇවිත් තිබුණේ තමන්ගේ බිලිඳු දරුවන්වත් රැගෙනයි. එහිදී මෙම සිදුවීමට මුහුණ දුන් වළං විකුණූ තරුණයෙක් තමන්ගේ හදවතේ දැනෙන වේදනාව පිටකළේ මෙලෙසින්.
‘මම මේ බඩු ගෙනාවේ මගේ මාලේ උකස් කරලා. අපි සල්ලි කාරයොද? මොකද අපි ගෙවල් හදන්නද? උන්ට රජයේ පඩි. අපිට මොනවද තියෙන්නේ? වහ කුප්පියක් හරි බීලා මෙතන මැරිලා යනවා. ඒ තරමට හිතට වේදනායි. දැන් සභාපතිටත් නින්ද යාවි. වැඩ කරන අයටත් නින්ද යාවි. සභාපති වුණේ අපේ ඡන්දේ නිසා. පොඩි හරි මනුස්සකමක් තියෙන්න එපැයි. සභාපති එන්නේ නැහැනේ මෙතනට පොඩ්ඩක් හරි බලන්න. හොරකම් කරනවා, අහිංසක දරුවන්ට කුඩු ගංජා විකුණනවා. ඒවා අල්ලන්නේ නැහැ. මෙන්න මේවා තමයි අල්ලන්නේ. අපිට උඹලාට වගේ රජයේ පඩි ලැබෙන්නේ නැහැ. අපිට බෝනස් ලැබෙන්නේ නැහැ. අපිට පැන්ෂන් එකක් එන්නේ නැහැ. අපි දවසට 1500ක් 2000ක් හම්බකරගෙන හාල් ටික අරගෙන ගිහිල්ලා කන්නේ. උඹලට අවුරුද්දට බෝනස්. උඹලට 10 වැනිදා වෙනකොට රජයේ පඩි. අපිට කවුරුත් පඩි දෙන්නේ නැහැ. හාල් කිලෝ එකක් ගන්නවත් අපිට සල්ලි නැහැ. අපි දවස් තුනයි මෙතැනට එන්නේ. මාර ආණ්ඩුව තමා….’
වළං වෙළෙඳාමේ නිරතව සිටි තරුණියක්ද සිය විරෝධය පළකර සිටියේ මෙලෙසයි.
‘අපිට ඕනේ නැහැ. අපි හිඟාකනවා මහ පාරේ. අපි හදන මුට්ටිවල තමයි තමුසෙලා කිරි උතුරවන්නේ. හැබැයි එක මුට්ටියක්වත් වාහනවලට යන්න අවහිරයකුත් නැහැ. පාර දෙපැත්තෙන්ම ඉඩ තියලා තියෙන්නේ. ටොයිලට් එක ළඟ විකුණන්නලු. මනුස්සයෙක් එන්නේ කොහොමද? ටොයිලට් එකක් ළඟින් මිනිස්සු වළං ගනීද? පොඩ්ඩක් හිතලා බලන්න. අපිට කියනවා 5000ක් දෙන්නලු, ටොයිලට් එක ළඟට ගිහින් විකුණන්නලු….’
‘අපි හැම අවුරුද්දෙම මෙතැන වළං විකුණන්නේ. මේ අවුරුද්දේ තමයි මෙහෙම වුණේ. අපි මෙතැන පදිංචි වෙන්න එන්නේ නැහැ. අපි මැරිලා මැරිලා කීයක් හරි හොයාගන්නවා. ඒකත් කරගන්න දෙන්නේ නැහැ…’
මේ සිද්ධියෙන් පසු එය ඇතුළත් වීඩියෝව සමාජ මාධ්‍යයේ වයිරල් වෙන්නට වැඩි වේලාවක් ගතවුණේ නැහැ. ඒත් සමගම එම සිදුවීමට මුහුණ දුන් තරුණයාට සහ තරුණියට උදව් කිරීමට බොහෝ දෙනෙක් ඉදිරිපත් වී තිබුණා. තවත් වංචනිකයන් පිරිසක් එම සිදුවීම තම වාසියට හරවාගෙන මුදල් ඉපැයීමටද කටයුතු කර ඇති බවක් දැනගන්නට ලැබුණා.
‘කල දුටුකල වළ ඉහගෙන කෑම’ බොහෝ දෙනකුගේ සිරිතක්. වළං විකුණූ එම තරුණයාටද සිදුවෙලා තිබුණේ එවැන්නක්. මෙම වීඩියෝ එක වයිරල් වුණාට පස්සේ නන්නාඳුනන අය මොවුන්ට උදව් කරන්න ඉදිරිපත් වී තිබුණා. ඒ සම්බන්ධයෙන්ද අදාළ තරුණයා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.
‘අපි එදා සෑහෙන අසරණ වුණා. අපිට වුණු අසාධාරණය නිසා තමයි එදා කතා කළේ. අපිට වෙච්ච අසාධාරණයෙන් ගොඩක් කට්ටිය ප්‍රයෝජන අරන් තියෙනවා. අපේ නම් විකුණගෙන අපේ ෆෝන් නම්බර් කියලා වෙන අයගේ ෆෝන් නම්බර් දීලා. අපි වෙනුවෙන් හිටගත්ත කට්ටියට බොහොම ස්තුතියි. නමුත් ගොඩාක් කට්ටිය වංචනිකයන්ට අහුවෙලා තියෙනවා. අපි කාගෙවත් උදව්වක් බලාපොරොත්තුවෙන් නෙවෙයි මේ දේ කළේ. අපිට වෙච්ච අසාධාරණය වෙනුවෙන් අපි කතා කළේ. වැල්ලවාය ප්‍රදේශයේ තමයි මෙහෙම දෙයක් වුණේ. මීට පස්සේ මේ දේ කරන්න එපා. අපි අසරණයි. අපි අන්ත දුක් විඳලා මැටි පාගලා කිරි හට්ටි හදන එක කරන්නේ වැව්වලින් වතුර ගෙනල්ලා රෑ 12යි එකයි නිදියනකොට පෝරණුවේ ඉඳලා. පොඩි මුදලක් හොයාගන්නයි වැල්ලවාය ටවුන් එකට එන්නේ. අව්වේ ඉඳලා අසරණ වෙච්ච මනුස්සයෙක් තවත් අසරණ කරන්න එපා. කාටවත් අතපාන්න නෙවෙයි මේ දේ කළේ. අපට වෙච්ච අසාධාරණය වෙනුවෙනුයි අපි කතා කළේ.
‘මේ 074-1255247 මගේ දුරකතන අංකය. ඔය නොම්බරය දුන්නේ උදව් ගන්න නෙවෙයි. ඔය නොම්බරයට කතාකරලා මගෙන් අහන්න. ඒවාට ගොඩාක් පින්…’
ඒ වගේම මේ දේවල් කරපු වගකිව යුත්තන් මීට වඩා මනුස්සකමින් මේ අසරණ මිනිස්සු දිහා බලන්න ඕනේ කියලා මතක්කරනවා.
මත්ද්‍රව්‍ය වෙළෙඳාම් කරන ජාවාරම්කරුවන් නිදැල්ලේ සිටියදී මෙවැනි සාධාරණ වෙළෙඳාමක් කරමින් ජීවිතය ගැටගසා ගන්නා මිනිසුන්ට හිරිහැර කිරීම නම් කෙසේවත් අනුමත කරන්නට බැහැ.
මේ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ අදහස් දක්වා තිබූ බොහෝ දෙනෙක් සඳහන් කර ඇත්තේ ආණ්ඩුව පොඩි මිනිහාට එක විදියකටත්, බලවතුන්ට තවත් විදියකටත් සලකන බවයි. බලධාරීන්ට කළයුතුව තිබුණේ මේ අහිංසක මිනිස්සුන්ට සිය නිෂ්පාදන අලෙවි කරගැනීම සඳහා ජනතාව ගැවසෙන වෙනත් සුදුසු තැනක් සකසා දී ඔවුන්ව එතැනින් ඉවත් කිරීමයි. නමුත් එවැන්නක් සිදුව තිබුණේ නැති බවයි වෙළෙන්දන් පවසන්නේ.
අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු, ඔවුන්ගේ ගෞරවය නැතිකරලා ඔවුන්ව තවත් අසරණ කරන එක සුදුසු දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම අලුත් අවුරුදු දවස්වල එහෙම කරන එක කෙසේවත් අනුමත කරන්න බැහැ. ඒ නිසා, අවුරුද්ද සැබෑවටම සතුටින් පිරිපුන් වෙන්නට නම් හැම කෙනාටම සමාන අවස්ථාවන් සලසා දිය යුතු බවත් අවසාන වශයෙන් මතක් කරන්නට කැමැතියි.

නිලන්ති රේණුකා










