ඓතිහාසික අනුරාධපුර රාජධානිය යනු හුදු නටබුන් නගරයක් නොව, අතීත හෙළයා සතු වූ අසමසම තාක්ෂණික ඥානය ලොවටම කියාපාන ජීවමාන කෞතුකාගාරයකි. මහා මාර්ග, අහස සිඹින ස්තූප සහ විස්මිත වාරි පද්ධති මධ්‍යයේ අපේ අවධානයෙන් ගිලිහී ගිය එහෙත් විස්මය දනවන තවත් ඉංජිනේරුමය ආශ්චර්යයක් වන්නේ ක්‍රිස්තුපූර්ව යුගයේ ඉදිවූ ගල් පාලම්ය. අදින් වසර දෙදහසකටත් වඩා ඈත අතීතයේදී මල්වතු ඔය හෙවත් කදම්බ නදිය හරහා දැවැන්ත ගල් පර්වත යොදාගනිමින් තැනූ මෙම පාලම, හෙළ ඉංජිනේරුවාගේ ශක්තිය සහ බුද්ධිය එක්තැන් වූ මහා නිර්මාණයකි.Sri Lanka Latest News
අබිරහස් තාක්ෂණය
මෙම පාලමේ ඇති සුවිශේෂතම ලක්ෂණය වන්නේ කිසිදු බන්ධන ද්‍රව්‍යයක් භාවිත නොකර කළුගල් පුවරු එකිනෙක සම්බන්ධ කර තිබීමයි. ගල් කණු සිදුරු කර ඒ තුළට ගල් බාල්ක සවිකරමින්, අතිශය නිරවද්‍ය ජ්‍යාමිතික මිනුම් අනුව මේවා එකිනෙක ලොක් වනසේ සකසා ඇත. වර්තමානයේ අප භාවිත කරන තාක්ෂණයට සමාන මෙම ක්‍රමය හරහා ගල් පතුරු අතර හිඩැසක් පවා නොපවතින සේ අඩි 12ක පළලට පාලම නිමවා ඇත්තේ එවක මෙරට තිබූ අසමසම වාස්තු විද්‍යාත්මක පරිණතභාවය විදහා දක්වමිනි.
ජල ප්‍රවාහයට මුහුණ දුන් ඉංජිනේරු විද්‍යාව
මල්වතු ඔයේ සැඩ පහරට වසර දහස් ගණනක් මුළුල්ලේ නොසැලී මුහුණ දීමට මෙම පාලමට ශක්තිය ලැබුණේ එහි පාදම සකසා ඇති අපූරු ක්‍රමය නිසාවෙනි. ඉංජිනේරුවන් විසින් ගංගාවේ පතුලේ වූ ස්වභාවික ගල් පර්වතය අඩි කිහිපයක් ගැඹුරට හතරැස් ලෙස සිදුරු කර, එම ‘සොකට්’ තුළට ප්‍රධාන ගල් කණු බැස්සවීම සිදුකර ඇත. අඩි 10-12ක් උසැති මෙම ස්තම්භ අතිශය ලම්බකව සහ එකිනෙකට සමාන දුරකින් පිහිටුවා ඇති නිසා, අධික ගංවතුර තත්ත්වයකදී පවා ජල පීඩනය සමබරව දරාගැනීමට මෙම ව්‍යුහයට හැකියාව ලැබී ඇත.
උත්තර පථය: අනුරාධපුරයත් යාපනයත් යා කළ රාජකීය මාවත
මෙම ගල් පාලම හුදු පාලමක් පමණක් නොව, අතීතයේ අගනුවර හා උතුරු වරායන් යාකළ මහා මාවතේ ප්‍රධාන සන්ධිස්ථානයකි. දඹකොළ පටුනේ සිට ජයශ්‍රී මහා බෝධින් වහන්සේ අනුරාධපුරයට වැඩම කරවීමේදී මෙම පාලම භාවිත කළ බවට පවතින ජනශ්‍රැතිමය සාක්ෂි මගින් මෙහි ඓතිහාසික පූජනීයත්වය තහවුරු වේ. එවක බර පැටවූ කරත්ත (සකට සේතු) මෙන්ම ඉදිකිරීම් සඳහා අවශ්‍ය දැවැන්ත ගල් කණු ප්‍රවාහනය කිරීමට තරම් ශක්තිමත් මට්ටමකින් මෙම මාවත සකසා තිබීම එකල පැවති නාගරීකරණයේ දියුණුවට හොඳම නිදසුනකි.
හෙළ පාලම් වර්ගීකරණය
අපේ පුරාවිද්‍යා සාක්ෂිවලට අනුව පාලම් වර්ග කිහිපයක් හඳුනාගත හැක. ඒදඬු වැනි කුඩා පාලම් ‘දණ්ඩක සේතු’ ලෙසත්, පස් දෙනකුට පමණ එතෙර විය හැකි පාලම් ‘ජංගා සේතු’ ලෙසත් හැඳින්වූ අතර, කරත්ත සහ අධික බර ප්‍රවාහනය කළ හැකි මෙම ගල් පාලම ‘සකට සේතු’ වර්ගයට අයත් වේ. චූලවංශය වැනි වංශකතාවල පවා මල්වතු ඔය හරහා ඉදිකළ දැවැන්ත පාලම් ගැන සඳහන් වීමෙන් පෙනී යන්නේ, මෙය රාජ්‍ය අනුග්‍රහය ලත් සුවිශේෂ ව්‍යාපෘතියක් වූ බවයි.
මග නොහැරිය යුතු ගවේෂණය
බොහෝ නරඹන්නන් හාල්පානු ඇළ අසල ඇති පාලමේ කුඩා කොටස පමණක් නරඹා හැරී ගියත්, සැබෑ විස්මය සැඟව ඇත්තේ එතැන් සිට වෙල්යාය මැදින් මීටර් 300ක් පමණ ඔබ්බට ගිය තැන පිහිටි ප්‍රධාන ගල් පාලම තුළය. හාල්පානු ඇළ සහ මල්වතු ඔය යන අංශ දෙකම යාකරමින් අතීතයේ මෙය මීටර් සිය ගණනක් දිගු දැවැන්ත පාලම් පද්ධතියක් ලෙස පැවැතෙන්නට ඇතැයි විශ්වාස කළ හැක. වර්තමානයේ මෙම කළුගල් ස්තම්භ සහ බාල්ක අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම අප කාගේත් වගකීමකි.
දිලිප් සේනානායක










