පසුගිය සතියේ අපට අසන්නට ලැබුණේ ඉතාම කනගාටුදායක හදවත කම්පනයට පත්කරන ශෝචනීය පුවතක්. ජීවිතය හඳුනාගන්නටත් පෙර ලෝකය හඳුනාගන්නටත් පෙර මල් කැකුලකට අකාලයේ මිලින වන්නට සිදුවුණේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක පාලිකාවකගේ නොසැලකිල්ල නිසායි. මිද්දෙණිය තෝරකොළයාය ප්‍රදේශයෙන් තමයි මේ ශෝචනීය පුවත අසන්නට ලැබුණේ. මේ සිදුවීම දරුවකුගේ ආරක්ෂාව ගැන දෙවරක් සිතා බලන්නට අපට මතක්කර දෙන සිදුවීමක් වුණා.Sri Lanka Latest News
එවෝන් ධීසර බිලිඳා පදිංචිව සිටි නිවස තිබුණේ මැදමුලන කදමඩිත්ත ප්‍රදේශයේයි. මේ දරුවාගේ වයස අවුරුද්දයි මාස 8ක් පමණ වන අතර, තවමත් හරි හැටි ඇවිදීමටත් ඔහුට නොහැකියි. දරුවාගේ මව වුණේ මධුෂි දිල්හානියි. ඇය මිද්දෙණිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන කාන්තාවක්. ඇගේ දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානය අසල පොකුණකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබුණා. මේ කනගාටුදායක සිදුවීම ඒ අසල තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණා. පසුගිය 09 වැනි සඳුදා දරුවා විනාඩි 25ක කාලයක් පාලක අවධානයෙන් ගිලිහී ඇති බවයි අනාවරණ වී තිබුණේ. මෙම මව සිය දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානයට භාරදී තිබුණේ මීට මාස 03කට පමණ පෙරදියි. පවුලේ ආර්ථික අගහිඟකම් මත දෛනික වියදම දරාගැනීමට නොහැකි නිසා ඇය රැකියාවක් කිරීමට තීරණය කර තිබුණා.
මොවුන් ජීවත් වුණේ කටුමැටි ගැසූ බිත්ති සහිත නිවසකය. එදා මෙම කාන්තාව දිවා සුරැකුම් මධ්‍යස්ථානයට තම දරුවා භාරදුන්නේ ඉන් දරුවාට හොඳ ආරක්ෂාවක් ලැබෙතැයි යන වශ්වාසයෙනි. දරුවා ඉතා සතුටෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ මිදුල පුරා දුව ඇවිදිමන් සිටියා. තමන් ඉන්නේ කොහේදවත් නොදන්නා දරුවා මිදුලේ වැටී තිබූ ප්ලාස්ටික් බෝතලයක් අහුලාගෙන එයට ජලය පිරවීමට පොකුණ දෙසට යන අයුරු ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණා. මේ අවස්ථාවේ දුරකතනයක් නාද වී උස් හඬින් කතාකරන අයුරුත් මේ දර්ශනවල සටහන්ව තිබුණා. මේ දර්ශන දකින ඕනෑම කෙනකුට දැනෙන්නේ තමන්ට භාරදුන්න දරුවො ගැන බලන්නේ නැතුව දුරකතනයට අවධානය යොමුකර ඇති බවයි. මේ සිදුවීම මවුපියන් කෙසේ දරාගත්තාද යන්න මේ දර්ශන දකින ඕනෑම කෙනෙකුගේ සිතට දැනෙයි. මේ පුංචි පුතා පොකුණට ඇදවැටී ජීවිතයත් මරණයත් අතර සටනක නියැළී පොකුණ තුළම ජීවිතයෙන් සමුගෙන තිබුණා.
දරුවාගේ මව ඇඟලුම් කම්හලේ රාත්‍රී සේවා මුරයට යෑමට පිටව ගොස් ඇති අතර, සවස 2 සිට රාත්‍රී 10 දක්වා කාලය ඇගේ සේවා මුරය බවයි දැනගන්නට ලැබුණේ. දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානයට භාරදී දිනපතා රැකියාවට යෑම මේ මව පුරුද්දක් කරගෙන තිබුණා. පොකුණට වැටී මියගිය දරුවාට අමතරව තවත් දරුවන් තිදෙනකු මේ මධ්‍යස්ථානයේ රැකවරණය ලබන බව පොලිසිය අනාවරණ කර තිබුණා. අනතුර සිදුව විනාඩි 20කට පමණ පසුවයි පාලිකාව දැනගන්නේ දරුවා අතුරුදන් බව. ඒ අනුව සොයා බලන විට පාලිකාවගේ සැමියාට දැකගන්නට ලැබී තිබුණේ පොකුණේ ගිලෙමින් සිටි දරුවායි. පසුව වහාම දරුවා රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වන විටත් දරුවා ජීවිතයෙන් සමුගෙන තිබුණා.
දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ පාලිකාව මෙම දරුවන් සිවුදෙනාම පිරිසිදු කර නාන කාමරයෙන් පිටත කොරිඩෝවේ තබා නාන කාමරයට ගොස් නැවත පැමිණෙන විට එක් දරුවෙක් පෙනෙන්නට නොමැති නිසා ඒ ගැන විපරම් කර බලා ඇති බව විමර්ශනවලදී හෙළිව තිබුණා. පසුව පොකුණේ වැටී සිටි දරුවා පාසල් ගුරුවරයකුගේ ත්‍රිරෝද රථයකින් ගෙනගොස් රෝහල්ගත කළ බවද ඇය පොලිස් විමර්ශලවලදී හෙළිකර තිබුණා.
අදාළ පාලිකාව 37 වැනි වියේ පසුවන අතර, දරුවන් සිවුදෙනකුගේ මවකි. ඇගේ දරුවන් තිදෙනකු නිවුන් දරුවන් වන බවයි අනාවරණ වී තිබුණේ. මියගිය දරුවාගේ මව ඇඟලුම් සේවිකාවක් වන අතර දරුවාගේ පියා ගොවිතැන් සහ කුලී වැඩ කිරීමෙන් ජීවිකාව ගෙනයන බවද දැනගන්නට ලැබුණා. ඔවුන්ට මියගිය දරුවාට අමතරව තවත් දරුවකුද සිටින බව දැනගන්නට ලැබුණා.
හයක් හතරක් නොතේරෙන මේ දරුවා වතුරේ ගිලෙන අවස්ථාවේ කෑගැසුවේ ‘අනේ අම්මේ…. අම්මේ……’ යනුවෙනි. දරුවා ඒ අවස්ථාවේ කොයි තරම් අසරණ තත්ත්වයකට පත්වන්නට ඇතිද? දරුවන් බලාගන්නට බැරි නම් දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන නොයා යුතුයි. මේ නිසා අසරණ වෙන්නේ අහිංසක දරු පැටව්. දරුවන් කියන්නේ ජීවිතයක ආරම්භයක්. ඔවුන්ට නොතේරෙන කාලේ කොයි තරම් ආරක්ෂිතව බලාගත යුතුද? දරුවෙක් දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට භාරගන්නේ ඒ වගකීම ඉෂ්ට කිරීමට පුළුවන් නිසා නේද?
නොසැලකිලිමත්කම හේතුවෙන් දරුවකු මියයාම යන චෝදනාව යටතේ අදාළ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ පාලිකාව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බව ඇඹිලිපිටිය පොලිසිය සඳහන් කර තිබුණා. රත්නපුර දිසාව භාර පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් පරිදි ඇඹිලිපිටිය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.කේ.සී.එස්. දයාවංශ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ සිදුකරනු ලබයි.
මියගිය බිලිඳාගේ පියා වන ඒ.ජී. මහේෂ් මහතාද තම හදවතේ කැකෑරෙන වේදනාව පිටකළේ මෙලෙසයි.
‘මම එදා නෝනාවයි පුතාවයි පාරට ගිහින් ඇරලුවා. හවස 2ට තමයි ට්‍රාන්ස්පෝට් එක එන්නේ. ලොකු පුතයි මායි ගෙදර හිටියේ. හවස 6ට විතර මම මල්ලිලාගේ කඩේ ගාවට ගියා. එතකොට කෝල් එකක් ආවා නෝනාගෙන්, පුතා තලාව හොස්පිටල් එකේ නතර කළා කියලා. ඊට පස්සේ මම මගේ බයික් එකෙන් තව යාළුවෙකුත් එක්ක තලාව හොස්පිටල් එකට ගියා. එහෙට ගියාට පස්සේ තමයි මට දැනගන්න ලැබුණේ පුතා මාව දාලා ගිහිල්ලා කියලා. මම කියන්නේ පොඩි දරුවන්ට තේරෙන්නේ නැහැ. පොඩි දරුවෝ පණ වගේ රැකගන්න කියලයි හැමෝගෙන්ම ඉල්ලන්නේ…’
මියගිය බිලිඳාගේ පියාගේ සහෝදරිය වන මධුෂානි දිල්රුක්ෂි හැඬූ කඳුළින් පැවැසුවේ මෙවැන්නකි.
‘ඩේ කෙයාර්වල ඉන්න කට්ටිය මීට වඩා සැලකිල්ලෙන් පොඩි අය බලාගත යුතුයි. ඔය වගේ අනතුරුදායක දේවල් ඒ තැන්වලින් අයින් කළ යුතුයි. මගේ අයියගේ දරුවට වුණු දෙයින් හැමෝම පාඩමක් ඉගෙන ගන්න…’
මූලික පරීක්ෂණවලින් අනාවරණ වුණේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ පාලිකාවගේ අවධානය ගිලිහී ගිය මොහොතක මෙම අනතුර සිදුව ඇති බවයි. දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ඔවුන් මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බව අවබෝධ කරගත යුතුයි. කුඩා දරුවකුට පුංචි ජල පහරක වුවද අනතුරක් සිදුවීමේ අවදානම වැඩියි. අනතුරුදායක ස්ථානවල උඩින් ආවරණ යෙදිය යුතුයි. සෑම විටම පුංචි දරුවන් ඇස් මානයේ තබාගත යුතුයි.
මවුපියෝ දරුවෙක් දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට භාරදෙන්නේ තමන්ට වැඩිය හොඳින් එහිදී දරුවා රැකබලා ගනීවි යන අපේක්ෂාවෙනි. ඒ නිසාම තමයි මුදල් ගෙවලා මේ වාගේ ස්ථානයකට දරුවෝ භාරදිලා යන්නේ. ඒත් කොතැනින්ද මේ විශ්වාසය පලුදු වුණේ?
දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ අප සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් තිබේ. දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ළිං, පොකුණු, ටැංකි, ජලය ගලායන තැන් තිබේ නම් ඒවා දරුවන්ට ළංවිය නොහැකි ලෙස පවත්වාගෙන යා යුතුයි. එහෙම නොවුණොත් ඒවාට බිලිවන්නේ අපේම ආදරණීයයන්. දරුවකු දිවා සුරැකුම් මධ්‍යස්ථානයට භාරදීමට පෙර මවුපියන් වශයෙන් එහි ඇති ආරක්ෂිත බව ගැන පෞද්ගලිකව සොයා බැලිය යුතුය. මෙවැනි අකල් මරණයක් මින් ඉදිරියට අත් නොවීමට නම් අපි සැවොම වඩාත් අවධානයෙන් සහ වගකීමෙන් කටයුතු කළ යුතුයි. දරුවකු කියන්නේ එක පවුලක පමණක් නොව සමාජයේම අනාගතයක්. එවන් ජීවිතයක් අහිමි වීම අපට සමාව දෙන්න පුළුවන් කාරණයක්ද? මේ අහිමි වුණේ මුදල් නොව ජීවිතයක්. දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යන සියලු දෙනාම මෙය ආදර්ශයට ගෙන දරුවන් ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වීම වගේම ආරක්ෂිත ස්ථායක් බවට පත්කරගැනීමට අවධානයට යොමුකළ යුතුයි. ‘අම්මේ’ කියන ඒ පුංචි හඬ සෑම මවකගේම හදවත තුළ රැව් දෙනවා. ඒ හඬ නිහඬ නොවන්නට රැකබලා ගැනීමට අපි සැවොම වගබලාගත යුතුයි.

නිලන්ති රේණුකා










