ශ්‍රී ලංකාවේ සිටි කීර්තිධර අධ්‍යාපනඥයකු වූ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ඝාතනය කළේ මෙයට වසර 37කට පෙර මාර්තු 08 වැනිදාවකය. හෙතෙම කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය කාර්යාලය තුළදීම 1989 මාර්තු 08 වැනිදා පෙරවරු 9.15ට ඝාතනයට ලක්වූයේ ජවිපෙ දෙවැනි කැරැල්ලේ කැරැලිකරුවන් අතිනි.Sri Lanka Latest News
එයට හේතුව ලෙස දක්වා තිබුණේ සරසවි සිසුන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ නිසි පියවරක් නොගැනීම සහ කොළඹ සරසවි ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරකම්වලට නිහඬව ඉඩදීම ඇතුළු හේතු කිහිපයකි. කොළඹ උපකුලපති ඝාතනයෙන් මාස හයකට පසු එනම් 1989 සැප්තැම්බර් 11 පෙරවරු 9.30ට මොරටුව සරසවියේ උපකුලපති සහ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා මහාචාර්ය සී. පටුවතවිතානද කැරැලිකරුවන් අතින් ඝාතනයට පත්විය. ජවිපෙ දෙවැනි කැරැල්ල පැවැති 1986 සිට 1990 දක්වා කැරැලිකරුවන් විසින් ඝාතනය කරන ලද 6,661 දෙනාගෙන් ප්‍රමුඛතම උගතුන් අතරට මහාචාර්ය විජේසුන්දර සහ මහාචාර්ය පටුවතවිතාන අයත්ය.
මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ඝාතනය ඇතුළු විවිධ ඝාතන සම්බන්ධයෙන් සැකපිට ලයනල් රණසිංහ ආරක්ෂක අංශ මගින් 1989 මාර්තු 14 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු විජය කුමාරතුංග ඇතුළු 41 දෙනකු මරාදැමූ කැරැලිකරුවෙකි. අවසානයේදී ලයනල් රණසිංහද 1989 ඔක්තෝබර් 04 වැනිදා ඝාතනයට ලක්විය. කොළඹ සරසවියේ උපකුලපතිවරයා ඝාතනය සඳහා ඝාතකයා වූ ලයනල් රණසිංහට මග පෙන්වන ලද්දේ රුහුණ සරසවියේ කෘෂි විද්‍යා පීඨයේ සිසුවකු වූ හම්බන්තොට දෙබරවැවදී 1959 ජූලි 23 වැනිදා උපන් කහවත්ත පල්ලියගුරුගේ ඥානසිරි හෙවත් බෙනට්ය. දෙබරවැව මහා විද්‍යාලයෙන් රුහුණ සරසවියේ කෘෂි පීඨයට 1984 ජනවාරි 23 වැනිදා ඇතුළත් වූ ඔහු 83/කෘ/143 යටතේ ලියාපදිංචි විය.
කටුනායක ගුවන් හමුදා කඳවුරට 1988 අප්‍රේල් 22 වැනිදා ප්‍රහාරයට එක්වූ ඥානසිරි හෙවත් බෙනට් ජවිපෙ දෙවැනි කැරැල්ලේ ශිෂ්‍ය අංශයේ සන්නද්ධ බළකාය වූ 1988 ජූලි 20 ආරම්භ කළ නිමල් බාලසූරිය බළකායේ 1988 දෙසැම්බර් සිට නායකයා විය. කොළඹ උපකුලපති 1989 මාර්තු මෙන්ම මොරටු උපකුලපති 1989 සැප්තැම්බර්ද ඝාතනයන් මෙහෙයවන ලද්දේ ඥානසිරිගේ නායකත්වයෙනි. නිමල් බාලසූරිය යනු අන්තරේ නායකයාව සිටියදී සරසවි විභාග වර්ජනය සාර්ථක කරගැනීම වෙනුවෙන් කටයුතු කිරීමේදී බෝම්බයක් රැගෙන ප්‍රහාරකයා වූ බන්දුල සොයිසාට අදාළ ඉලක්කය පෙන්වීමට යාමේදී එම බෝම්බය තම අතේම පිපිරී ප්‍රහාරකයා සමගම මියගිය මොරටු සරසවියේ ඉංජිනේරු පීඨයෙන් බිහිවූ සිසු නායකයෙකි. ඒ 1988 මැයි 08වැනිදා වැල්ලවත්ත කුරේ මාවතේදීය. එක් සරසවියක සේවය කළ කලා අංශයේ අංශාධිපතිගේ නිවස එම ප්‍රදේශයේ පිහිටා තිබූ එය ඔවුන්ගේ ඉලක්කය විය.
ඥානසිරි පල්ලියගුරු හෙවත් බෙනට් ගාල්ල ජවිපෙ සන්නද්ධ ලේකම්ව සිටියදී ගාල්ල ඉඳුරුවේදී 1989 අග භාගයේදී අත්අඩංගුවට ගන්නා ලදී. පසුව තෙලිජ්ජවිල ජෝන් ඩෙල්ෆ් වත්තේ තිබූ හමුදා අනුඛණ්ඩයේ රඳවා ගනු ලැබීය. සන්නද්ධ අංශයේ මාතර දිස්ත්‍රික් නායකත්වය සේකර විසින් දරන විට එහි කලාප සන්නද්ධ ලේකම්වරුන් වූයේ දෙණියාය සහ හක්මන කලාපයට වික්ටර්ද, අකුරැස්ස – කඹුරුපිටිය කලාපයට ලේකම්ගේ වික්‍රමසිංහ හෙවත් සරත්ද, වැලිගම – මාතර කලාපයට හක්මන දෙනගම පදිංචි දහම් පාසල් හිටපු ගුරුවරයකු වූ සුන්දරද, දෙවුන්දර කලාපයට දික්වැල්ලේ පහත්ගාව වඩු කාර්මිකයකු වූ ගාමිණී හෙවත් සිල්වා හෙවත් හේමන්තද විය. ගාමිණී හමුදා අත්අඩංගුවට ගැනීමෙන් පසු තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ක්ෂණික විහිදුම් බළකායේ භටයන් 4 දෙනකු සමග 1990 පෙබරවාරි 22 බෙලිඅත්ත ගලගමට රැගෙන ගියවිට ගලගම සුනිල් ඇතුළු කැරැලිකරුවන් විසින් හමුදා භටයන්ට ප‍්‍රහාරයක් එල්ලකර ඔවුන් ඝාතනය කර දික්වැල්ලේ ගාමිණීද බේරාගෙන ඝාතනය කළ හමුදා භටයන් 4 දෙනාගේ සිරුරු පාළු ළිඳකට දමා තිබිණි.
1990 පෙබරවාරි 22 බෙලිඅත්ත ගලගමදී කැරැලිකරුවන් විසින් හමුදා නිලධාරීන් 04 දෙනකු ඝාතනය කර ළිඳකට දැමීමට එරෙහිව ප්‍රතිචාරයක් වශයෙන් දෙදිනකට පසු ඥානසිරි පල්ලියගුරු හෙවත් බෙනට් සමග මාතර හිටපු ජවිපෙ දිසා ලේකම් තිහගොඩ එස්.කේ. ජයතිලක හෙවත් විජිත, දෙවුන්දර අතුල ඇතුළු සිවු දෙනකු ඉන් දෙදිනකට පසු ඝාතනය කර එම ළිඳටම දමා තිබිණි.
මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර රසායන විද්‍යාව පිළිබඳ ප්‍රථම පශ්චාත් උපාධි සමර්ථයෙකි. වසර 1947 කොළඹ සරසවියේ වෛද්‍ය පිඨයේ කථිකාචාර්යවරයකු වශයෙන් සේවයට බැඳී 1978 දී අංශ ප්‍රධාන තනතුරට පත්විය. ඉන් වසර පහකට පසු ජීව රසායන විද්‍යාව පිළිබද මහාචාර්ය ධුරයට ඔහු පත්විය. කොළඹ සරසවියේ 1979 දී උප කුලපති වශයෙන් පත්වූ අතර, 1983 දී පොදුරා්‍ය මණ්ඩලයීය විශ්වවිද්‍යාල සංගමයෙහි සභාපති විය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න










