ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි විප්ලව චතුරස්‍රයට (Revolution Square) පෙර නොවූ විරූ අතිවිශාල ජනකායකගෙන් පිරී ගොස් තිබේ. විදේශීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත්ව සිටින මොජ්ටබා අලි කමේනි (Mojtaba Ali Khamenei) වෙත සිය පක්ෂපාතීත්වය පළ කිරීම සඳහා මෙම දැවැන්ත ජන ඒකරාශී වීම සිදුව ඇති බවයි.Sri Lanka Latest News
පවතින යුදමය වාතාවරණය හමුවේ මෙම ජන රැළිය ප්‍රධාන අරමුණු දෙකක් පෙරදැරි කරගෙන පවත්වා තිබේ. එහි පළමු වැන්න වන්නේ අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු රටේ නායකත්වයට පත් වූ ඔහුගේ පුත් මොජ්ටබා කමේනි වටා ජනතාව රොද බැඳ සිටින බව ලොවට ප්‍රදර්ශනය කිරීමයි. දෙවනුව, ඉරානයට එරෙහිව ඊශ්‍රායලය සහ ඇමරිකාව දියත් කර ඇති ‘Operation Epic Fury’ ඇතුළු යුදමය ක්‍රියාමාර්ග දැඩි ලෙස හෙළා දැකීම මෙම විරෝධතාවයේ ප්‍රධාන තේමාව වී තිබේ.
විරෝධතාකරුවන් ඉරාන ධජ සහ නව නායකයාගේ රුව රැගත් පුවරු ප්‍රදර්ශනය කරමින්, ආක්‍රමණික හමුදාවන්ට එරෙහිව අවසානය දක්වා සටන් කරන බවට මෙහිදී ප්‍රතිඥා දී ඇත. ඉරාන රජයේ නිල පුවත් සේවා පවසන්නේ මෙම ජන ගඟ ඉරාන වැසියන්ගේ නොසැලෙන ධෛර්යය සහ එක්සත්භාවය පෙන්නුම් කරන බවයි. කෙසේ වෙතත්, නගරය පුරා දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති අතර, ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාර එල්ල විය හැකි බවට පවතින අවදානම හමුවේ ගුවන් ආරක්ෂක පද්ධති ද සක්‍රිය කර තිබේ.
මෙම ජනතා සහයෝගයත් සමඟ නව නායක මොජ්ටබා කමේනි විසින් ඉදිරියේදී ඇමරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර තවදුරටත් දැඩි කරනු ඇති බවට යුද විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.
දර්ශන උපුටා ගැනීම: Shaykh Sulaiman, Press TV, Al Jazeera සහ ජාත්‍යන්තර පුවත් සේවා ඇසුරින්










