පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPE) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPA) මගින් අනාවරණය කරගනු ලබන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සෘජුවම නීතිමය පියවර ගැනීමට බලය ලබා දෙන නව ස්ථාවර නියෝග සංශෝධන දෙකක් ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවේදී අනුමත කිරීමට නියමිතය.Sri Lanka Latest News
මෙම නව නීති සංශෝධන මගින් සිදුවන ප්‍රධාන වෙනස්කම් මෙසේය.
රජයේ විගණකාධිපතිවරයා ඉදිරිපත් කරන වාර්තා පරීක්ෂා කිරීමේදී යම් රාජ්‍ය ආයතනයක බරපතළ මූල්‍ය වංචා, අල්ලස් හෝ දූෂණ සිදුව ඇති බවට කාරක සභා නිගමනය කළහොත්, එම වාර්තා සභාගත කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ තීරණයකට යටත්ව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හෝ පොලිස්පතිවරයා වෙත යොමු කිරීමට මෙමගින් බලය හිමිවේ. මෙතෙක් මෙම කමිටුවලට පැවතියේ අදාළ අක්‍රමිකතා විමර්ශනය කර වාර්තා කිරීමේ බලය පමණක් වූ අතර, ඒවා විමර්ශන අංශ වෙත පැවරීමට නීතිමය බලයක් නොතිබුණි.
මීට අමතරව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ වේතන සහ සේවා කොන්දේසි තීරණය කිරීම පිළිබඳ යෝජනාවක් ද එදිනම පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට නියමිතව ඇත. මෙම නව බලතල හිමිවීමත් සමඟ රාජ්‍ය ආයතනවල සිදුවන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී කෝප් සහ කෝපා කමිටු වඩාත් ශක්තිමත් වනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.










