ජවිපෙ දෙවැනි කැරැල්ල තුළ එනම් 1986 සිට 1990 දක්වා ක්‍රියාත්මක වූ දිස්ත්‍රික්ක 19 තුළ වසර 1986 සිට 1989 දක්වා කටයුතු කළ සන්නද්ධ දිස්ත‍්‍රික් ලේකම්වරුන් අතරින් එකම භික්ෂුන් වහන්සේ වන්නේ උඩුගම්පොල චන්ද්‍රානන්ද හිමි හෙවත් තාරකය. සිය ගණනක් භික්ෂූන් උපැවිදිවී කැරැල්ලට එක්වුවද චන්ද්‍රානන්ද හිමි අවසානය තෙක් උපැවිදි නොවීය. එහෙත් එම කාලය තුළ තාරක නමින් ගිහියකු ලෙසින් පෙනීසිටි අයෙකි. මම උන්වහන්සේ පොල්ගහවලදී මෙන්ම කැලණි සරසවියේද දශක 3කට පමණ පෙර දෙවරක් හමුවී ඇත.
ළමා කාලයේදී දරිද්‍රතාවයෙන් දැඩිව පීඩා විඳි උන්වහන්සේ උපදින විට සිය පියා මව හැරදා ගොස් තිබිණි. කුලී වැඩ කරමින් දැඩි දුෂ්කරතා මධ්‍යයේ සිය පුතු හදාවඩාගත් මවද රෝගී වීමෙන් පසු ඇය විසින්ම සිය පුතු පන්සලට මහණ කිරීම සඳහා යොමු කළාය. පිරිවෙන් අධ්‍යාපනයෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ශාස්ත‍්‍ර පීඨයේ අධ්‍යාපනය හැදෑරූ උන්වහන්සේ අනතුරුව ජවිපෙ පූර්ණකාලීනයකු වූහ.
කරාතේ ශිල්පය හොදින් ප‍්‍රගුණ කළ චන්ද්‍රානන්ද හිමි දෙසතියක සන්නද්ධ පුහුණුවක් ලැබුවේ හම්බේගමුව රක්ෂිතයේ ජවිපෙ කඳවුරකදීය. අනතුරුව මාතලේ දිස්ත්‍රික්කයේ එක් කලාපයක සන්නද්ධ නායකයා වශයෙන් දඹුල්ලේ පන්සලක සිට මෙහෙයවීම් කළ උන්වහන්සේ 1988දී නුවරඑළිය දිස්ත්‍රික් සන්නද්ධ ලේකම් බවට පත්වූහ. නුවරඑළිය පන්සලක සහ රාගල නිවසක සිට එම කටයුතුවලට ක්‍රියාකාරීව එක්වූ චන්ද්‍රානන්ද හිමි ඒ පිළිබඳ ආරක්ෂක අංශ අවධානය යොමුවීමත් සමගම නායක උපදෙස් පරිදි සන්නද්ධ ලේකම්කමින් ඉවත්ව සමාජ ක්‍රියාකාරකම්වල නිරත වූහ.
දායකයන් අතර ජනප්‍රියව සිටි උඩුගම්පොල චන්ද්‍රානන්ද හිමි අලව්ව තුඹුල්ල පන්සලේ වැඩසිටියදී 1989 මැයි 18 වෙඩිතබා ඝාතනයට පත්කරන ලදී. ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ අතුකෝරලපුර (කුරුණෑගල) දිසා සංවිධානය 1989 මැයි 27 පුවත්පත් නිවේදනයකින් කියා සිටියේ ‘ප‍්‍රා සංවිධානය’ එයට වගකිව යුතු බවය. ජවිපෙ විසින් නුවරඑළිය දිස්ත්‍රික් සන්නද්ධ අංශය පසුව ‘චන්ද්‍රානන්ද බළකාය’ ලෙස නම්කරන ලදී.
අවසානයේ තමන්ට එරෙහිව පමණක් නොව එජාපයට සහ සෙසු වාමාංශික පක්ෂවලට සහාය දුන් භික්ෂුන්ද ඝාතනය කිරීමට ජවිපෙ කැරලිකරුවන් කටයුතු කළේය. එසේ ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් ජවිපෙ දෙවැනි කැරලි සමයේදී එනම් 1986 සිට 1990 දක්වා එසේ ඝාතනය කරන ලද බෞද්ධ භික්ෂුන් සංඛ්‍යාව 41කි. කතෝලික පූජකවරුන් සංඛ්‍යාව 2කි. ආණ්ඩුවේ ආරක්ෂක අංශ සහ අතුරු හමුදා කණ්ඩායම් 13ක් මගින් ඝාතනය කරන ලද බෞද්ධ භික්ෂුන්ගේ සංඛ්‍යාව 681කි. මේ අනුව ජවිපෙ දෙවැනි කැරලි සමයේදී ඝාතනයට ලක්වූ පූජකවරුන්ගේ සංඛ්‍යාව 724ක් වන අතර, ඉන් 722ක් බෞද්ධ භික්ෂුන්ය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
ධර්මන් වික්‍රමරත්න










