මැදපෙරදිග යුදමය වාතාවරණය මත ලොව ප්‍රමුඛතම Cloud Services සපයන්නා වන ඇමසන් සමාගමේ දත්ත මධ්‍යස්ථාන කිහිපයකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.Sri Lanka Latest News
එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි දත්ත මධ්‍යස්ථාන දෙකකට හානි සිදුව තිබෙන අතර බහරේනයේ පිහිටි මධ්‍යස්ථානයකට ද ඉන් බලපෑම් එල්ල වී තිබෙන බව සඳහන්.
මෙම සිදුවීමෙන් මැදපෙරදිග කලාපයේ බැංකු කටයුතු, වෙබ් අඩවි සහ ජංගම දුරකථන යෙදුම් රැසක ක්‍රියාකාරිත්වය අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ.
අදාල ප්‍රහාරවලින් ගොඩනැගිලිවලට හානි සිදුව ඇති අතර විදුලි පද්ධති අක්‍රිය වීම නිසා දත්ත සැකසීමේ කටයුතු නතර වී ඇති බව වාර්තා වනවා.
එමෙන්ම ගිනි නිවන පද්ධති ක්‍රියාත්මක වීම හේතුවෙන් තාක්ෂණික උපකරණවලට ජලයෙන් හානි සිදුවී ඇති බවයි එම සමාගම ප්‍රකාශ කර ඇත්තේ.
මේ අනුව පවතින තත්ත්වය හමුවේ මැදපෙරදිග කලාපයේ තම සේවාවන් භාවිතා කරන ආයතන වෙත වහාම තම දත්ත යුරෝපය හෝ අමෙරිකාව වැනි ආරක්ෂිත කලාපවල පිහිටි සර්වර් වෙත මාරු කරන ලෙසයි ඇමසන් සමාගම උපදෙස් ලබා දී තිබෙන්නේ.
දැනටමත් එමීර් රාජ්‍යයේ ප්‍රධාන පෙළේ බැංකු කිහිපයක ඩිජිටල් ගනුදෙනු පද්ධති අක්‍රිය වී තිබෙන අතර එමගින් දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බව සඳහන්.
මේ සිදුවීම ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගමක දත්ත යටිතල පහසුකම්වලට යුදමය ප්‍රහාරයක් එල්ල වූ ප්‍රථම අවස්ථාවලින් එකක් ලෙස සැලකෙනවා.
එමෙන්ම මේ සිදුවීමත් සමග කලාපයේ ඩිජිටල් ස්ථාවරත්වය පිළිබඳ දැඩි ගැටලුවක් මතුව තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.










