ඉදිරි වසර 05 කාලය ඇතුළත මෙරට කිරි නිෂ්පාදනය දේශීය කිරි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම දක්වා ඉහළ නන්වන බවත්, පරිභෝජනය ඉක්මවා අපනයන මට්ටමට දක්වා රැගෙන ඒමට රජයේ වැඩි අවධානයක් යොමුව ඇතැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
කිරි නිෂ්පාදනය අංශයට සම්බන්ධ අමාත්‍යවරුන් ඇතුළු එම කර්මාන්තය ආශ්රිත රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ඊයේ (17) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී මෙසේ පැවසීය.
ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය රැකගැනීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බළකාය විශේෂ අවධානයක් යොමු කර ඇති අතර ඒ යටතේ දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා මහා පරිමාණ කිරි ගොවිපොළ මෙන්ම කුඩා පරිමාණ කිරි ගොවිපොළ සංවර්ධනය කිරීමෙන් අපේක්ෂා කෙරේ.
දේශීය කිරි අවශ්‍යතාවය ලීටර් මිලියන 1200කි. දැනට නිෂ්පාදනය කරන කිරි ප්‍රමාණය ලීටර් මිලියන 420කි. ඉතිරි අවශ්‍ය කිරි ප්‍රමාණය ලීටර් මිලියන 780 වුවත් දියර කිරි භාවිතයට ජනතාව හුරු කළහොත් තවත් කිරි ලීටර් මිලියන 400කින් දේශීය අවශ්‍යතාවය සපුරාලිය හැක. කිරිපිටි කිලෝග්‍රෑම් 1ක් නිෂ්පාදනයට දියර කිරි ලීටර් 8ක් පමණ අවශ්‍ය වේ. ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑම් 1න් සෑදිය හැකි කිරි වීදුරු ප්‍රමාණයට වඩා දියර කිරි ලීටර් 8න් සෑදිය හැකි කිරි වීදුරු ප්‍රමාණය ඉතා වැඩි වේ.
කිරි මිල ගණන්, කිරි හරක් ආනයනය කිරීම, තෘණ භූමි ආරක්ෂා කිරීම, බඩ ඉරිඟු වගාව සහ ඒ වෙනුවෙන් ඉඩම් වෙන්කිරීම සම්බන්ධයෙන් ද බඩ ඉරිඟු වගාව සාර්ථක කර ගැනීම සඳහා ඵලදායී බීජ ආනයනය සහ නිෂ්පාදනය කෙරෙහිද සැලසුම් සකස් කොට තිබේ.
බඩඉරිඟු වල නිෂ්පාදන ඵළධායීතාවය හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 3.8 සිට මෙට්රීක් ටොන් 7ක් දක්වා වැඩි කළ යුතු වේ.
ඒ අනුව ඉදිරි කන්නය සඳහා කිරි ගොවීන්ට අවශ්‍ය බඩඉරිඟු වැවීම සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී අදාළ අංශවලට උපදෙස් දෙනු ලැබීය.
කොළඹ ගම්පහ ඇතුළු නගරබඳ ප්‍රදේශවල නැවුම් කිරි පරිභෝජනය වැඩිකිරීමටත් ඒ අනුව කිරි ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත වැඩිකිරීමටත් කටයුතු කෙරේ.
මේ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර සහ කනක හේරත් යන මහත්වරුන් ද රාජ්‍ය නිලධාරින් ද සහභාගී විය.










