පැවිද්ද යනු, දුර්ලභ වූ මනුෂ්‍ය භවයක උත්පත්තිය ලද්දවුන් අතරිනුත් අතිදුර්ලභ වූ පුණ්‍යවන්තයන් සීමිත පිරිසකටම පමණක් උරුමකම් කීමට හිමිවන මහා භාග්‍යයකි. බුදුරජාණන් වහන්සේ ඒ බව සූත්‍ර ගණනාවකම සඳහන් කොට ඇත. සසරෙහි බිය දැක, ඒ බියකරු සසරෙන් එතෙර වීමට සැබෑම වුවමනාවක් සහිත සත්පුරුෂයෝ සම්බුද්ධ පණිවුඩය අසා ඒ උතුම් ප්‍රව්‍රජ්‍යාවට හෙවත් පැවිදි දිවියට ඇතුළත් වෙති. එය, ශ්‍රී ලංකාවේද, යුරෝපයේද, ආසියාවේද කියා වෙනසක් නැත. සත්‍යාවබෝධය කිරීමේ වුවමනාව සහිත ලොව ඕනෑම රටක වෙසෙන අයකුට බුදු සසුනේ පැවිදි වීමට අවස්ථාව පවතී. ආරණ්‍ය සේනාසන හෝ විහාරස්ථාන භේදයකින් තොරව සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂාව තුළ හික්මෙමින් නිවන් මග වඩන ඒ ගෞරවනීය මහා සංඝරත්නය දහස් සංඛ්‍යාත පිරිසක් මේ මොහොතේද දිවයින පුරාත්, ලෝකය පුරාත් විසිරී වැඩවාසය කරති.Sri Lanka Latest News
අද අප මේ ලිපියෙන් ඔබට කීමට සැරසෙන්නේ සංකීර්ණ ජීවන රටාවකට අනුගතව අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් සේවනය කරමින්, අනවරතව ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පසුපස හැල්මේ දුවන ජනී ජනයාට, ඒ වෙහෙසකර ගමනෙන් කෙටි කලකට හෝ වෙන්ව ජීවිතයට සැබෑම සැනසිලිදායක බවක් ලබාදෙන, මනුෂ්‍යාත්මභාවයක් ලැබූ සෑම කෙනකුගේම ජීවිතයේ ඒකායන අරමුණ විය යුත්තේ කුමක්ද යන්න අවබෝධ කර දෙන ඒ උත්තරීතර පැවිදි දිවියට තාවකාලිකව ඇතුළත් වීමට මඟ පාදන පුණ්‍ය භූමියක් පිළිබඳවය. මහනුවර දිස්ත්‍රික්කයේ හුන්නස්ගිරිය නගරයේ සිට කි.මී. 27ක දුරක් ගිය පසු හමුවන මීමුරේ ආරණ්‍ය සේනාසනය එකී පුණ්‍ය භූමියයි.
අතිශය රමණීය පරිසර කලාපයක් ලෙස ප්‍රකට, ස්වභාව සෞන්දර්යයෙන් පරිපූර්ණ වූ මීමුරේ ගම්මානය මෙරට පිහිටි වටිනාම සහ සංවේදීම ජෛව විවිධත්වයකට උරුමකම් කියන බිම්කඩකි. එවන් සුවිශේෂ මහා ඝන වනාන්තරය මධ්‍යයේ සුන්දර උස් භූමියක පිහිටා ඇති මීමුරේ ආරණ්‍ය සේනාසනය මගින් මීට වසර කිහිපයකට පෙරාතුව මෙම තාවකාලික පැවිදි පුහුණු වැඩසටහන ආරම්භ කරන්නට යෙදිණි. ‘සසුන් පිළිවෙත් පුරමු’ ලෙසින් නම්කළ එම වැඩසටහනට එක්ව, බුද්ධ භාෂිතය අනුව සිදුකෙරෙන විනයානුකූල පැවිදි කිරීමේ චාරිත්‍ර සියල්ලම ඒ අයුරින්ම ඉටුකර ඒ උතුම් පැවිදි දිවියට එළැඹ දින 21ක කාලයක් සසුන් පිළිවෙත් පිරූ පුණ්‍යවන්තයන් සංඛ්‍යාව මේ වනවිට දහසකට ආසන්නය. පැවැත්වූ වැඩසටහන් සංඛ්‍යාව 11කි. එලෙස පැවිදි වන්නන්ට ආරණ්‍ය සම්ප්‍රදායට අයත් සුවිශේෂ පිළිවෙත් වන පිණ්ඩපාත වත, දෛනික බුද්ධ වත සහ වන්දනා, ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා සිදුකිරීමට මෙන්ම සමථ-විදර්ශනා භාවනාවල යෙදීමට සහ භාවනා අත්දැකීම් පිළිබඳ සාකච්ඡා කොට කර්මස්ථාන ලබාගැනීමටද අවස්ථාව උදාවේ.
එළැඹෙන මැයි මස 27 වැනි දින මෙම තාවකාලික පැවිදි වැඩසටහන් මාලාවේ 12 වැනි අදියර ආරම්භ කිරීමට මීමුරේ ආරණ්‍ය සේනාසනයේ, සේනාසනාධිපති පූජ්‍ය හේනේගෙදර පඤ්ඤාරතන ස්වාමින්වහන්සේ කටයුතු සූදානම් කර ඇත. ඒ සම්බන්ධයෙන් සහ ‘සසුන් පිළිවෙත් පුරමු’ තාවකාලික පැවිදි පුහුණු වැඩසටහනේ පෙළගැස්ම සම්බන්ධයෙන් උන්වහන්සේ සමග අදහස් හුවමාරු කරගැනීමට ‘මව්රට’ පුවත්පතේ අප පසුගියදා කටයුතු කළෙමු. මේ, පඤ්ඤාරතන ස්වාමින්වහන්සේ ඒ සම්බන්ධයෙන් සිදුකළ අදහස් දැක්වීමයි.
‘ථේරවාදී සම්ප්‍රදායට අනුව කෙටි කාලයකට සාමණේර භික්ෂුවක් විදිහට පුහුණු වීමේ වැඩසටහනක් තමයි මේ තාවකාලික පැවිද්ද කියලා කියන්නේ. ඒක අපේ සමාජයට අලුත් අදහසක්. අලුත් වැඩසටහනක්. නමුත් තායිලන්තය, බුරුමය වගේ රටවල සෑම බෞද්ධයෙක්ම සෑම තරුණයෙක්ම තමන්ගේ ජීවිතයේදී එක්තරා කාලයකදී තාවකාලික පැවිදි දිවියට එළැඹීමේ සම්ප්‍රදායක් පවතිනවා.
මීමුරේ ආරණ්‍ය සේනාසනයෙන් සිදුකරන ‘සසුන් පිළිවෙත් පුරමු’ කියන තාවකාලික පැවිදි වැඩසටහනට පින්වතුන්ව සම්බන්ධ කරගන්නා ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි, අපි මුලින්ම ‘මීමුරේ ආරණ්‍ය සේනාසනය’ (Meemure Aranya Senasanaya) කියන අපේ ෆේස්බුක් පිටුවේ ඒ වැඩසටහන ආරම්භ කරන දිනය සහ ඊට ඇතුළත් වීමට අපේක්ෂා කරන අය සම්පූර්ණ කළ යුතු ඉල්ලුම් පත්‍රයක් (Google Form Application) පළකරනවා. යම් කෙනෙක් ඒ ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කළාට පස්සේ අපි ඔහු සමග දුරකතනය ඔස්සේ කෙටි අදහස් හුවමාරු කරගැනීමක් සිදුකරනවා, ඔහුගේ අපේක්ෂාව සහ අදහස් දැනගැනීම සඳහා. රටේ පවතින නීතියට අනුකූලව ඕනෙම කෙනකුට මේ සඳහා සහසම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියේ අධීක්ෂණයක් යටතේ තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ.

ඉන් පසුව ඒ පින්වතුන් අපේ ආරණ්‍යයට ආවාම පළමු දින හතර අපි පැවිදි ජීවිතයට අදාළ දේවල් ක්‍රමානුකූලව පුරුදු කරනවා. එතැනින් එහාට මේ වැඩසටහනේ සිදුවන විශේෂම දේ තමයි භාවනාව සහ පිණ්ඩපාතය වැඩමකිරීම. සාමණේර භික්ෂුන්වහන්සේ නමකගේ ජීවිතයේ ප්‍රධාන අංගයක් වන දස සීලය වගේම සේඛියා ගැනත් හොඳ අවබෝධයක් අපි ලබාදෙනවා. දානය වළඳන්නේ කොහොමද, ප්‍රත්‍යාවේක්ෂා කරන්නේ කොහොමද කියන දේවල් කියලා දෙනවා. ආරණ්‍ය සම්ප්‍රදායේ වත් ගණනාවක් තියෙනවා. ඇමදුම් වත්, උපාධ්‍යයන් වහන්සේලාගේ වත්, පිණ්ඩපාත වත්, දානශාලා වත්, වැසිකිළි වත් මේ වගේ වත් බොහෝ ප්‍රමාණයක් තියෙනවා බුද්ධ ශාසනය තුළ. ඒ හැම දෙයක්මත් අපි කියලා දෙනවා.
වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ අපි මේ පැවිදි පුහුණු වැඩසටහන පවත්වාගෙන එනවා. මේ වෙද්දී අපි වැඩසටහන් 11ක් සාර්ථකව අවසන් කරලා තියෙනවා. අවසන් වැඩසටහන පසුගිය වසරේ දෙසැම්බර් මාසේ 25 වැනිදා තමයි නිමා වුණේ. ඊට පසුව රටටම බලපාපු දිට්වා සුළි කුණාටුවෙන් අපේ ආරණ්‍යයට පිවිසෙන මාර්ගයට වගේම මීමුරේ අවට ගම්මානවලට දැඩි හානියක් සිදුවුණා. ඒ නිසා අපි අපේ දායක පින්වතුන්ගේ වගේම, රාජ්‍ය ආයතන සහ ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ලබාගෙන ඒ ගම්මානවල අවතැන් වූ ජනතාවට අවශ්‍ය සහන සලසන්න විශාල වෙහෙසක් ගත්තා. ඒ ව්‍යසනය නිසා මාස තුනකින් විතර අපිට මේ තාවකාලික පැවිදි වැඩසටහන පවත්වන්න හැකිවුණේ නෑ. නමුත් ලබන මැයි මාසේ 27 වැනිදා සිට ජුනි මාසේ 14 වැනිදා දක්වා එහි 12 වැනි පියවර සිදුකරන්න අපි කටයුතු යොදලා තියෙනවා. ඒ ගැන අපි අපේ ෆේස්බුක් පිටුව හරහා මේ වනවිටත් දැනුම් දීලා තියෙනවා.

මේ වෙද්දී සමාජයේ විවිධ තරාතිරම්වල අය මේ සඳහා සහභාගි වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, රාජ්‍ය නිලධාරීන්, ඒ වගේම ආරක්ෂක අංශයේ විවිධ නිලතල දරපු අය, පාසල් අධ්‍යාපනය හදාරන සහ උසස් පෙළ අවසන් කරපු තරුණයන් වගේ සමාජයේ සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය කළ විශාල පිරිසක් ඒ අතර හිටියා.
ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මෙතැනට එන අය රටේ පවතින නීතියට යටත්ව සාමකාමී ජීවිත ගතකරන අය විය යුතුයි. ඒකට හේතුව තමයි ඇතැම් වෙලාවට දරුණු අපරාධයක් කරලා, ඉන් සැඟවීම අරමුණු කරගෙනත් මෙතැනට ඇවිල්ලා තාවකාලිකව පැවිදි වෙලා ඉන්න පුළුවන් යම් කෙනෙක්. ඒ නිසයි අපි මෙතැනට පැමිණෙන අයගෙන් පොලිස් සහතිකයක් ඉල්ලා සිටින්නේ.

තවත් දෙයක් තමයි, අපි මේ තාවකාලික පැවිදි කිරීම දින 20කට සීමා කළත්, ඇතැම් අය එය ස්ථිර පැවිද්දක් බවට පත්කර ගන්නවා. අපේ ජීවිතය පවා තාවකාලික බව අපි හැමෝම දන්නවා. ඉතින් පැවිද්ද වුණත් ස්ථිර වෙන්නේ නැහැ. කොයි මොහොතේ මේ සියල්ල අතහැරලා දාලා අපට මරණය කරා යන්න වෙයිද කියලා කාටවත් කියන්න බැහැ. නමුත් තාවකාලිකව පැවිදි වෙන්න ඇවිත්, දීර්ඝකාලීනව පැවිදි දිවියේ ගතකරන්න තීරණය කරපු ස්වාමින්වහන්සේලා කිහිප නමක්ම අපේ සේනාසනයේ පිළිවෙත් පුරමින් දැන් වැඩසිටිනවා. පැවිදි ජීවිතය ගැන සහ මීමුරේ ආරණ්‍ය සේනාසනය ගැන උන්වහන්සේලා තුළ ඇතිවූ අවබෝධය සහ පැහැදීම තමයි, ගිහි ගෙදර බැඳීම් සහ දේපළ වස්තුව අතහැරලා දිගටම පැවිදි ජීවිතයේ රැඳී ඉන්න උන්වහන්සේලාට හේතුව වුණේ.

ගිහි ජීවිත ගතකරන බොහෝ දෙනෙක් ඉන්නේ දුකෙන්, පීඩාවෙන්. ඇයි ඒ? අතෘප්තිකර ගමනකනේ ඔවුන් යෙදිලා ඉන්නේ. මුදල් පසුපස, සතුට පසුපස දුවන ගමන මැරෙන තුරුම අවසන් වෙන්නේ නෑ. මැරිලත් අවසන් වෙන්නේ නෑ. ඒක තමයි යථාර්ථය. ඉතින් අන්න ඒ අතෘප්තිකර බවෙන් මිදෙන්න, ඇයි අපේ හිත දුක-සැප දෙක තුළම දෝලනය වෙන්නේ කියන එක අවබෝධ කරගන්න සුදුසුම තැන තමයි උතුම් පැවිද්ද. ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශය මීමුරේ ආරණ්‍ය සේනාසනයේ වැඩසිටින ගෞරවනීය ස්වාමින්වහන්සේලා විසින් ඉතා හොඳින් සම්පාදනය කරලා දෙනවා. ඉතින් ඔබත් ගිහි ජීවිතය තුළ හෙම්බත් වෙලා නම් ඉන්නේ, ආධ්‍යාත්මිකත්වයට නැඹුරු වීමේ පළමු පියවර විදියට ‘සසුන් පිළිවෙත් පුරමු’ වැඩසටහනට යොමුවෙන්න කියලා මම ඉතා ඕනෑකමින් ආරාධනා කරනවා. ඒ වගේම මෙම වැඩසටහන් සඳහා සහභාගි වන අයගෙන් කිසිදු මුදලක් අය නොකරන බවත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ.

මීමුරේ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය හේනේගෙදර පඤ්ඤාරතන හිමි
අපි මීට පෙර පැවැත්වූ පැවිදි පුහුණු වැඩසටහන්වල වීඩියෝ සහ ඡායාරූප රාශියක් අපේ ෆේස්බුක් පිටුවේ පළකරලා තියෙනවා. ඒ දේවල් නරඹලා වැඩසටහන ගැන යම් අවබෝධයක් ලබාගන්නත් ඔබට අවස්ථාව තියෙනවා. 070 525 2121 / 077 174 8277 යන අංකවලට වට්ස්ඇප් හෝ සාමාන්‍ය ඇමතුමක් ලබාදීම මගිනුත් ඔබට අවශ්‍ය තොරතුරු ලබාගන්න පුළුවන්.’
සාකච්ඡාව සහ සටහන :
චානක ලියනගේ










