ආචාර්ය වික්ටර් රත්නායකයන් යනු ශ්‍රී ලංකාවට ලැබුණු මහඟු ත්‍යාගයක් බවත්, එතුමන් මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉටුකළ මෙහෙවර වචනවලින් විස්තර කළ නොහැකි තරම් විශිෂ්ට බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. Sri Lanka Latest News
ඇය මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් සංවිධානය කරන ලද “සුභාවිත ගීතයේ සිටුවරයාණෝ ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය” උපහාර උළෙල අමතමින්.
ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මුනිදාස මැදිරියේදී අද (24) පැවැත්වුණු මෙම උත්සවයේදී, දශක හයකට වැඩි කාලයක් පුරා වික්ටර් රත්නායකයන් ඉටුකළ කලා මෙහෙවර ඇගයීමට ලක්කෙරුණා.
මෙහිදී වික්ටර් රත්නායකයන්ට උපහාර පිණිස ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රය තුළ ඔහුගේ ඡායාරූපයක් විවෘත කිරීම ද අග්‍රාමාත්‍යවරිය අතින් සිදු කෙරුණා.
පසුගිය පෙබරවාරි 18 වැනිදා සිය 84 වැනි ජන්ම දිනය සැමරූ වික්ටර් රත්නායකයන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළ අග්‍රාමාත්‍යවරිය, මෙවන් උපහාර උළෙලක් සංවිධානය කිරීම පිළිබඳව ගුවන්විදුලි සංස්ථාවට ස්තුතිය පළ කළා.
වර්තමාන මාධ්‍ය තරගකාරිත්වය හමුවේ වුවද, මෙරට ජීවමාන විශිෂ්ට කලාකරුවන් අගය කිරීමට ගුවන්විදුලිය ගන්නා උත්සාහය ඇයගේ විශේෂ ඇගයීමට ලක්වුණා.
මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න, ප්‍රවීණ ගේය පද රචක ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ කලාකරුවන් රැසක් එම අවස්ථාවට සහභාගී වී සිටියා.










