1969 ජූලි 20 වැනිදා නීල් ආම්ස්ට්‍රෝන් හඳේ පය තියලා කිව්ව මේ කතාව අපි හැමෝම අහලා තියෙනවා. හැබැයි ඒ ඓතිහාසික ගමන ඉවර කරලා, ඇපලෝ 11 යානය ආපහු පොළොවට එද්දී ඒකෙ හඳේ පස් කිලෝ ගණනාවක් තිබුණා.Sri Lanka Latest News
මේ පස් ටික පරීක්ෂා කරලා, හඳේ ජීවීන් ඉන්නවද? එහෙම නැත්නම් ජීවයක් තිබුණද? කියලා ලෝකෙටම කියන්න නාසා එකට ඕනෙ වෙනවා සුපිරි වැඩකාරයෙක්. හැබැයි මෙච්චර ලොකු වැඩක් කරන්න ඔහු අතිදක්ෂයෙක් වෙන්න ඕනෙ. නාසා එකේ කට්ටිය කතාවෙන්න පටන් ගත්තා. ‘ඕක කරන්න පුළුවන් එක්කෙනෙක් විතරයි ලෝකේ ඉන්නේ… ඒ ලංකාවේ අර මහාචාර්යවරයට විතරයි…’ හැමෝගෙම මතය වුණේ ඒක.
ඉතින් අන්න ඒ විදියට එම භාරදූර වගකීම පැවරුණේ අපේ ලාංකිකයකුට. ඔහු නමින් මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම.
සිරිල් පොන්නම්පෙරුම මහත්මයා ඉපදුණේ ගාල්ලේ. ගාල්ලේ ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබලා, පස්සේ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යාව හදාරලා තමන්ගේ ගමන ආරම්භ කරනවා.
ඔහුගේ දක්ෂතාව කොච්චරද කියනවා නම්, කෙටි කාලයකින්ම ඔහු ලෝකයේ ඉහළම විද්‍යාඥයන් අතරට පත්වුණා. ඔහු ප්‍රධාන වශයෙන්ම උනන්දු වුණේ ජීවයේ සම්භවය ගැන හොයන්න. සරලවම කිව්වොත්, රසායනික ද්‍රව්‍ය එකතු වෙලා පණ තියෙන සෛලයක් හැදුණේ කොහොමද කියන රහස හොයන්න ඔහුට හැකි වුණා.
ඇපලෝ මෙහෙයුම් හරහා හඳෙන් ගෙනාපු සාම්පල පරීක්ෂා කරන්න නාසා ආයතනය විසින් පිහිටුවපු කණ්ඩායමේ ප්‍රධාන විද්‍යාඥයා වුණේ අපේ මේ ලාංකිකයා.
හිතන්න, ලෝකේ බලවත්ම රටවල සුපිරිම විද්‍යාඥයෝ ඉද්දි, නාසා එක මේ වගකීම අපේ රටේ මනුස්සයෙක්ට දුන්න එක මොන තරම් ගෞරවයක්ද?
හඳේ පස්වල ඇමයිනෝ අම්ල තියෙනවද? එහේ ජීවයක් තිබුණද? පෘථිවියේ ජීවය ඇති වුණු හැටි තේරුම් ගන්න හඳේ පස් උදව් වෙයිද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර හෙව්වේ සිරිල් පොන්නම්පෙරුම ඇතුළු කණ්ඩායම. ඔවුන් පුදුම හිතෙන කරුණු ගොඩක් ලෝකයට හෙළිකළා.
එතෙක් ලෝකය පුරා තිබුණු ලොකුම කුතුහලය වුණේ හඳේ ක්ෂුද්‍ර ජීවීන් හෝ යම් කිසි ජීවයක් තිබේද යන්නයි. සිරිල් පොන්නම්පෙරුම මහතාගේ පරීක්ෂණ මගින් තහවුරු කළා හඳේ මතුපිට කිසිදු ජීවියෙක් හෝ ක්ෂුද්‍ර ජීවියෙක් ජීවත් නොවන බව. ඔහු හඳේ පස්වල ඉතාමත් සුළු ප්‍රමාණවලින් ඇමයිනෝ අම්ල පවතින බව සොයාගත්තා. ඇමයිනෝ අම්ල කියන්නේ ප්‍රෝටීන සෑදීමට අවශ්‍ය මූලික ඒකකය, ඒ කියන්නේ ජීවයේ මූලික තැනුම් ඒකකය වගේ දෙයක්.
හැබැයි ඔහු පෙන්වා දුන්නා මේවා හඳේ ස්වභාවිකව හැදුණු ඒවා නෙවෙයි, පෘථිවියෙන් ගිය දූවිලි හෝ උපකරණ හරහා සිදුවූ පරිසර දූෂණය වීමක් නිසා සිදුවූවක් විය හැකි බව. ඒ තරම් සියුම් විදිහට ඔහු මේවා විශ්ලේෂණය කළා.
හඳේ පස්වල පෘථිවියේ වගේ සංකීර්ණ කාබනික අණු නොමැති බවත්, ඒ නිසා හඳේ ජීවය ඇතිවීමට අවශ්‍ය රසායනික පරිසරයක් නොමැති බවත් ඔහු විද්‍යාත්මකව ඔප්පු කළා. හඳේ පස්වල ඇති රසායනික මූලද්‍රව්‍ය පරීක්ෂා කිරීමෙන්, සූර්යයාගෙන් නිකුත් වන කිරණ සහ සූර්ය සුළං හඳේ මතුපිටට බලපාන ආකාරය ගැනත් ඔහු තොරතුරු අනාවරණ කරගත්තා.
කෙටියෙන් කියනවා නම් මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා කළේ හඳේ ජීවය සෙවීමට වඩා ජීවයක් ඇති වීමට අවශ්‍ය රසායනික පසුබිමක් හඳේ තිබේද යන්න සෙවීම. පරීක්ෂණය අවසානයේ ඔහුගේ නිගමනය වුණේ හඳ කියන්නේ ජීවයකින් තොර, නිසරු තැනක් බව. මෙය අභ්‍යවකාශ විද්‍යාවේ ඉදිරි ගමනට ඉතා වැදගත් වුණා. මොකද එතැන් සිට විද්‍යාඥයන් තමන්ගේ අවධානය අඟහරු වැනි වෙනත් ග්‍රහලෝක වෙත යොමුකිරීමට මේ සොයාගැනීම බලපෑවා. ඒ වගේම ඔහුගේ පර්යේෂණ කෙතරම් නිවැරදිද කියනවා නම්, එදා ඔහු භාවිත කළ තාක්ෂණයන් අදටත් අභ්‍යවකාශ පර්යේෂණ සඳහා පදනමක් ලෙස භාවිත වෙනවා.
ඔහු හඳේ පස් ගැන විතරක් නෙවෙයි, ඔස්ටේ්‍රලියාවට වැටුණු Murchison උල්කාපාතය ගැනත් පරීක්ෂණ කළා. ඒ හරහා ඔහු ඔප්පු කරලා පෙන්නුවා පෘථිවියට පිටතින් අභ්‍යවකාශයේ පවා ජීවයට අවශ්‍ය මූලික රසායනික සංයෝග තියෙනවා කියලා. මේක මුළු ලෝකයම හොල්ලපු සොයාගැනීමක්.
ඔහු ලෝක ප්‍රසිද්ධ වුණත් තමන් ඉපදුණු රට අමතක කළේ නැහැ. ලංකාවේ විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රය දියුණු කරන්න ඔහු විශාල උත්සාහයක් ගත්තා. ජනාධිපති උපදේශකයෙක් විදිහටත් කටයුතු කරමින් අපේ රටේ තරුණ විද්‍යාඥයන්ට පාර පෙන්වන්න ඔහු හැමවිටම කැපවුණා.
1994 දී මේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා අපෙන් සමුගත්තා. නමුත් ඔහු තියපු සලකුණ අභ්‍යවකාශ විද්‍යාව තියෙනකම් මැකෙන්නේ නැහැ. අදටත් නාසා එකේ හෝ ලෝකයේ ඕනෑම තැනක ජීවයේ සම්භවය ගැන කතාකරද්දී මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම කියන නම අනිවාර්යයෙන්ම කියවෙනවා.
ලංකාව කියන්නේ නිකම්ම නිකම් දූපතක් නෙවෙයි, ලෝකයම පාලනය කරන දැනුම තියෙන මිනිස්සු ඉපදුණු රටක් කියන්න සිරිල් පොන්නම්පෙරුම මහත්මයා හොඳම උදාහරණයක්.










