දැනට වසර දෙකකට වැඩි කාලයක් සිරගතව සිටින පාකිස්තාන හිටපු අගමැති සහ 1992 ලෝක කුසලානය දිනූ සුපිරි නායක ඉම්රාන් ඛාන්ට සාධාරණ සහ මානුෂීය අන්දමින් සලකන ලෙස ඉල්ලමින්, ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ජාත්‍යන්තර නායකයින් 14 දෙනෙකු පාකිස්තාන රජයට (අගමැති ෂෙහ්බාස් ෂරීෆ්ට) විශේෂ පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.Sri Lanka Latest News
ග්‍රෙග් චැපල්ගේ මූලිකත්වයෙන් සකස් කළ මේ පෙත්සමට ඉන්දීය දැවැන්තයින් වන සුනිල් ගවස්කර් සහ කපිල් දේව් වගේම ඇලන් බෝඩර්, ස්ටීව් වෝ, ඉයන් චැපල්, බෙලින්ඩා ක්ලාක්, කීම් හියුස්, මයික් ඇතරටන්, නසීර් හුසේන්, මයික් බ්‍රියර්ලි, ඩේවිඩ් ගවර්, ක්ලයිව් ලොයිඩ් සහ ජෝන් රයිට් යන ලෝක පූජිත හිටපු නායකයින් අත්සන් තබා තිබීම විශේෂත්වයක්.
මේ පෙත්සම ඉදිරිපත් වෙන්නේ ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඉතාමත් කනගාටුදායක පුවතක් වාර්තා වී ඇති පසුබිමකයි. ඔහුගේ නීතිඥයින් පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත්තේ බන්ධනාගාර බලධාරීන් නිසි වෙලාවට වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදීම නිසා මේ වෙද්දී ඉම්රාන් ඛාන්ගේ දකුණු ඇසේ පෙනීම 15%ක් දක්වා දරුණු ලෙස අඩුවී ඇති බවයි.
ලෝක කුසලානයක් දිනූ නායකයෙකුට මෙන්ම ලෝක පූජිත ක්‍රීඩා තරුවකට මෙලෙස සැලකීම අනුමත කළ නොහැකි බව පවසන මේ හිටපු නායකයින් 14 දෙනා, වහාම ඔහුට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාදෙන ලෙසත්, නීතිමය කටයුතු සාධාරණව සහ ප්‍රමාදයකින් තොරව ඉටු කරන ලෙසත් බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටිනවා.










