• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමෙරිකාව එවපු ඉරාන ගුග්ලියට ආණ්ඩුව අහක බලාගෙන හතරේ පාරක් ගහලා! මැච් එක කොට උඩ යයිද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

February 15, 2026
in Exclusive, Rajya Rahas
Reading Time: 12 mins read
A A
Share on WhatsAppShare on Facebook

අලුත් යුද්ධයක්

ඇමෙරිකාව සහ බංග්ලාදේශය අතර පසුගිය සඳුදා දිනයේදී තීරුබදු සම්බන්ධයෙන් අස්සන් කරනු ලැබූ අවසන් ගිවිසුම පිළිබඳ අතිවිශේෂ අනාවරණයක් පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි රටට අනාවරණ කළෙමු. වෙනත් කිසිදු මාධ්‍යයකින් ඒ සම්බන්ධයෙන් අකුරක් හෝ ලියා නොතිබුණු තත්ත්වයක් යටතේ අප කළ අනාවරණයෙන් කියා සිටියේ බොහෝ දුරට ඉන්දියාව සමග අස්සන් කළ 18%ක තීරුබදු ගිවිසුම හා සමාන ගිවිසුමක් මෙහිදී ට්‍රම්ප් සහ බංග්ලාදේශය අතර අස්සන් තබනු ඇති බවකි. එමෙන්ම එය ලංකාවට වාචිකව පනවා ඇති 20%ක තීරුබදු අගයට වඩා අඩු අගයක් ගනු ඇති බවද අප එහිදී අනාවරණ කළෙමු.Sri Lanka Latest News

අප කළ එම අනාවරණය 100%ක්ම තහවුරු කරමින් පසුගිය සඳුදා දිනයේදී ඇමෙරිකාව සහ බංග්ලාදේශය අතර තීරුබද්ද 19%ක් වන පරිදි ගිවිසුම්ගත වීමට දෙරට කටයුතු කොට තිබිණි. මෙහි ඇති සුවිශේෂම කාරණය වී තිබුණේ කලාපයේ වෙනත් කිසිදු රටකට ලබා නොදුන් ආකාරයට බංග්ලාදේශයට විශේෂ වරප්‍රසාදයක් ලබාදෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් තෝරාගත් ඇඟලුම් කාණ්ඩ රැසක් මත එම තීරුබද්ද 0% දක්වා අඩුකිරීමට කටයුතු කොට තිබීමය. කලාපයේ ඇමෙරිකාවට ඇඟලුම් අපනයනය කරන ප්‍රධානම රට වන බංග්ලාදේශයට මේ ආකාරයේ වරප්‍රසාදයක් ලබාදීම හරහා අනෙකුත් රටවල ඇඟලුම් අපනයනයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල වීම මෙහිදී වැළැක්විය නොහැක.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ඇමෙරිකාවෙන් වාචිකව පනවා තිබුණු තීරුබදු ප්‍රතිශතය 20%කි. මුල් අවස්ථාවේ 40% දක්වා එය ඉහළ නංවා තිබුණත්, පසුව එය 20% දක්වා අඩුකර ගැනීමට ලංකාවට හැකිවිය. එය ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස රටට පෙන්වීමට ආණ්ඩුව කටයුතු කොට තිබිණි. නමුත් දැන් මතුව ඇති අලුත්ම තත්ත්වය යටතේ ඇමෙරිකාව තෝරාගත් ඇඟලුම් කාණ්ඩ රැසක් සඳහා 0%ක් වන ලෙස බංග්ලාදේශයට තීරුබදු රහිත ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් ලංකාවේ ඇඟලුම් අපනයනවලට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඒත් සමගම තවමත් ලංකාව ඇමෙරිකාව සමග පැමිණ ඇති වාචික එකඟතාවන් අවසන් ලිඛිත ගිවිසුමක් දක්වා රැගෙන යෑමේ සාකච්ඡාවන්ද ආරම්භ කොට තිබූ බවක් දැකගන්නට නොතිබිණ.

කෙසේ වෙතත් පසුගිය සෙනසුරාදා වනවිට ඇමෙරිකාව සහ බංග්ලාදේශය තීරුබදු සම්බන්ධයෙන් අවසන් ගිවිසුම අස්සන් කරන බවට ආණ්ඩුවටද තොරතුරු වාර්තා වී තිබිණි. ඒ අනුව දැඩි කලබලයට පත්ව ඇති ආණ්ඩුවේ ප්‍රධානීන් දෙපාර්ශ්වය අතර ඇතිකරගෙන තිබෙන වාචික එකඟතාවන් ගිවිසුමක් දක්වා රැගෙන යෑමේ සාකච්ඡා ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවක් දැනගන්නට තිබේ. එහිදී ආණ්ඩුව පැත්තෙන් විශේෂ අවධානයක් යොමු වී ඇත්තේ ඇමෙරිකාව බංග්ලාදේශයට ලබාදුන් පරිදිම ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සඳහාද පනවා ඇති ඇමෙරිකානු තීරුබද්ද 0% දක්වා අඩුකර ගැනීමය. මන්ද යත් ලංකාවේ ඇඟලුම්වලින් 70%ක් පමණ අපනයනය කරනු ලබන්නේ ඇමෙරිකාවටය. එහිදී ලංකාවේ ඇඟලුම්වලට 20%ක තීරුබද්දක් පනවා බංග්ලාදේශයේ ඇඟලුම්වලට තීරුබද්ද 0% කිරීම හරහා ලංකාවේ ඇඟලුම්වලට ඇමෙරිකාවේ තරග කිරීම ඉතා අපහසු බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ අනුව මේ වනවිට ආණ්ඩුවේ ලොකුම උත්සාහය වී ඇත්තේ බංග්ලාදේශයට ලබාදුන්නා හා සමානවම ලංකාවේ ඇඟලුම්වලටද ඇමෙරිකාවෙන් තීරුබදු සහනයක් ලබාගැනීමය. කෙසේවෙතත් ගිවිසුම අත්සන් කිරීමේ පළමු පියවර වශයෙන් දෙපාර්ශ්වය අතර ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමටත්, ඉන් අනතුරුව දෙවැනි පියවර වශයෙන් ඇමෙරිකාවෙන් ඉදිරිපත් කර ඇති සියලු කොන්දේසිවලට එකඟතාව පළකිරීමටත් යෝජනා වී තිබේ.

ඉරානය හරහට හිටියිද?

මෙවැනි පසුබිමක් යටතේ ඇමෙරිකාව සහ ඉරානය අතර උත්සන්න වෙමින් පවතින යුද උණුසුම හේතුවෙන් තවත් විශාල අභියෝගයකට ලංකාවට මුහුණ දීමට සිදුව තිබේ. පසුගිය කාලය පුරාම ඇමෙරිකාව ඉරානය සමග ගනුදෙනු කරන සෑම රටකටම විශේෂ සම්බාධක පැනවීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව තීරුබදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවලදී මුල්ම පියවරක් ලෙස ඉරානයත් සමග සිදුකරන සියලු ගනුදෙනු අත්හිටුවන බවට ලංකාව නිල ප්‍රකාශයක් සිදුකළ යුතු බවට ඇමෙරිකාව පැත්තෙන් යෝජනා වී ඇති බවක් දැනගන්නට ඇත. නමුත් දැනට ඇති තත්ත්වය යටතේ එය සිදුකළ හැකිද යන්න පිළිබඳ ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි. ඊට හොඳම උදාහරණය වන්නේ පසුගිය සතියේ පැවැති ඉරාන නිදහස් දින සැමරුමය.

පසුගිය සතියේ මෙරට පිහිටි ඉරාන තානාපති කාර්යාලය මගින් මෙම සැමරුම ඉතා උත්කර්ෂවත් අන්දමින් සැමරීමට කටයුතු කොට තිබිණි. ඒ සඳහා ඔවුන් තෝරාගෙන තිබුණේ ගාලුමුවදොර පිහිටි අයි.ටී.සී. රත්නදීප සුපිරි හෝටලයය. ඒ අනුව ඊට ආණ්ඩුවේ ප්‍රබලයන්ට සහ විපක්ෂයේ ප්‍රබලයන්ටත්, තෝරාගත් ප්‍රභූවරුන් රැසකටත් ආරාධනා කිරීමට ඉරාන තානාපති කාර්යාල නිලධාරීන් පියවර ගෙනතිබිණි. ඒ අනුව ආණ්ඩුව නියෝජනය කරමින් ඊට සහභාගි වී සිටියේ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාය. දේශපාලන නියෝජිතයන්ට අමතරව ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ ආණ්ඩුවේ නිලධාරීන් විශාල පිරිසක්ද ඊට ආරාධනා ලැබ තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි.

මෙහිදී බොහෝ දෙනාගේ අවධානය යොමුවූයේ ඉරාන තානාපතිවරයා සිදුකළ කතාවටය. සිය කතාවේදී ඉරාන තානාපතිවරයා ඇමෙරිකාව සිය රට සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය සහ ඉරානය ඉලක්ක කොටගෙන සූදානම් කෙරෙන යුදමය ක්‍රියාන්විතයට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකානු ක්‍රියාකලාපය දැඩිව හෙළාදකිමින් ආන්දෝලනාත්මක කතාවක් සිදුකළේය. එය පැහැදිලිවම කිසිවකුත් බලාපොරොත්තු නොවූ ආකාරයේ ඇමෙරිකාව කෝපගන්වන සුළු සහ අවුස්සාලන සුළු කතාවක් ලෙස බොහෝ දෙනාට වටහාගන්නට වැඩි වේලාවක් ගියේ නැත. ඒ අනුව සියලු දෙනාම බලා සිටියේ ඉරාන තානාපතිවරයාගෙන් පසු කතා කළ ආණ්ඩුවේ නියෝජිතයා වන නලින්ද ජයතිස්ස එම කතාවට කුමන ආකාරයේ ප්‍රතිචාරයක් දක්වනු ඇද්දැයි කියාය. නොඑසේ නම් නලින්ද සිය කතාවේදී ඉරානයේ පැත්ත ගනීද, එසේත් නැත්නම් ඇමෙරිකාවේ පැත්ත ගනීද යන්න කියාය.

ඉරානය හොඳාාාාායි…

කෙසේ වෙතත් නලින්ද මෙහිදී ඉංග්‍රීසි භාෂාවෙන් කතාවක් කරමින් ඉරානයට විශේෂ ස්තුතියක් පුද කිරීමට කටයුතු කළේය. පසුගිය කාලයේදී ඉරානය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් උමාඔය ව්‍යාපෘතියට විශේෂ ස්තුතියක් පළකළ නලින්ද ඒ හරහා ලංකාවේ වාරි කර්මාන්තය විශාල පිම්මක් පැන ඇති බව සඳහන් කළේය. එමෙන්ම ලංකාව ඉරානයෙන් විශාල ලෙස පොහොර ආනයනය කරන බව කියා සිටි නලින්ද ඒ හරහාද ලංකාවේ කෘෂි ආර්ථිකයට විශාල ශක්තියක් ලැබී ඇති බවක් පෙන්වා දුන්නේය. මීට අමතරව ලංකාවේ තේවලින් විශාල කොටසක් ඉරානය මිලදී ගන්නා බව කියා සිටි නලින්ද ඒ හරහා ලංකාවේ ආර්ථිකයට විශාල වාසියක් ලැබී ඇති බව කියා සිටියේය. ඒ අනුව නලින්ද කළ කතාව හරහා ඉරානයට විශාල ස්තුතියක් පුදකරනු ලැබූ අතර, ඉරානය සමග සිදුකරන ගනුදෙනු නවත්වන ආකාරයේ කිසිදු ඉඟියක් ඒ හරහා ලබාදීමක් සිදුවූයේ නැත. ඒ අනුව නලින්ද එහිදී ලබාදුන්නේ ඉරාන ගනුදෙනු නවත්වන ලෙසට ඇමෙරිකාවෙන් එල්ල වෙමින් පවතින දැඩි බලපෑමට කිසිසේත්ම සරිලන ආකාරයේ උත්තරයක් නම් නොවේ.

කෙසේවෙතත් ලංකාවේ මෙම ප්‍රතිචාරය විවිධ මාර්ග හරහා ඇමෙරිකාවටද වාර්තා වී ඇති බව අපගේ විශ්වාසයය. ඒ අනුව මෙහි ආසන්නතම ප්‍රතිපලය විය හැක්කේ ඇමෙරිකාව සමග සිදුකිරීමට නියමිත තීරුබදු සම්බන්ධ සාකච්ඡා ලංකාවට ලේසි පහසු නොවනු ඇති බවය. යම් හෙයකින් මෙම සාකච්ඡාවලදීද ලංකාව එවැනි තද ස්ථාවරයක සිටියහොත් අපගේ අපනයන වෙළෙඳපොළ සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් නිර්මාණය වීම වැළැක්විය නොහැකිය. අනෙක් අතට පවතින වාතාවරණය යටතේ ඇමෙරිකාවෙන් ඉල්ලන සියලු දේ ලබාදිය හැකිද යන්න සම්බන්ධයෙන්ද මෙහිදී බරපතළ සංවාදයක් මතුවීම වැළැක්විය නොහැකිය.

යුද පෙරමුණු තුනක්

පසුගිය සති කීපය ලංකාවට ජාත්‍යන්තර නියෝජිතයන් විටින් විට පැමිණි සති කීපයක් බවට පත්ව තිබිණි. මෙහිදී පැමිණි යම් යම් කණ්ඩායම් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු එළියට වාර්තා නොවුණද අප වෙත ඇති තොරතුරුවලින් කියැවෙන්නේ තීරණාත්මක කණ්ඩායම් කීපයක්ම පසුගිය සති දෙක තුන තුළ ලංකාවට පැමිණ ඇති බවත්, එහිදී අතිශය වැදගත් සාකච්ඡා රැසක් සිදුව ඇති බවත්ය.

ඉන් පළමු තීරණාත්මක කණ්ඩායම වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිතයන් පිරිසක් ලංකාවට පැමිණීමය. කිසිදු මාධ්‍යයක් වාර්තා නොකළ තොරතුරු විශාල ප්‍රමාණයක් පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ එම සාකච්ඡා සමබන්ධයෙන් අපි වාර්තා කළෙමු. එම සාකච්ඡාවල ඉදිරි පියවරක් වශයෙන් ලබන ලබන 16 වැනිදා මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලීනා ජෝජියාවා මහත්මියද ලංකාවට පැමිණීමට නියමිතය. ජෝජියාවා ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හා ලංකාව අතර පැවැති සාකච්ඡා කිසිදු එකඟතාවකින් තොරව අවසන්ව තිබූ පසුබිමක වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ලබාදුන් ණය මුදලේ පස්වැනි වාරිකය ලැබීමට නියමිතව තිබුණේ පසුගිය දෙසැම්බර් මාසයේදීය. නමුත් ආණ්ඩුව විසින් මූල්‍ය අරමුදල මගින් ලබාදී තිබූ කොන්දේසි කිහිපයක් ඉටුකොට නොතිබීම මත මෙම වාරිකය ලබාදීම තාවකාලිකව කල්දැමීමට මූල්‍ය අරමුදල කටයුතු කොට තිබිණි. තවමත් මෙම පස්වැනි වාරිකය ලබාදෙන දිනක් හෝ ඊට අදාළ කාර්යමණ්ඩල එකඟතාවට එළඹෙන දිනයක් සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් මූල්‍ය අරමුදල පැත්තෙන් නිකුත් වී නොමැත.

කෙසේ වෙතත් අපට ඇති අලුත්ම තොරතුරුවලින් කියැවෙන්නේ මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලීනා ජෝජියාවාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී මෙම පස්වැනි සහ හයවැනි වාරිකයන් දෙකම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කොට ඇති බවත්, ඊට අදාළ කාර්යමණ්ඩල එකඟතාවන්ට යෑමට සැලසුම් කොට ඇති බවත්ය. නමුත් දැනට මතුව ඇති වාතාවරණය යටතේ මෙම සාකච්ඡා ජුනි – ජූලි මාස වන විටවත් අවසන් කළ නොහැකි තත්ත්වයක් දැකගන්නට තිබේ. ඊට හේතුව වී ඇත්තේ මූල්‍ය අරමුදල මගින් ලබාදී ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ඉලක්ක මේ දක්වා සම්පූර්ණ කිරීමට ආණ්ඩුව පැත්තෙන් සමත් වී නොතිබීමය. ඒ අනුව බොහෝ දුරට මූල්‍ය අරමුදල මෙම සාකච්ඡා ජුනි – ජූලි දක්වා ඇදගෙන යෑමට සැලසුම් කොට ඇත්තේ ආණ්ඩුව පැත්තෙන් එක් එක් ප්‍රතිසංස්කරණයන් සිදුකරන ආකාරය දෙස බලා තීරණයක් ගැනීමේ අරමුණෙන් විය යුතුය.

ජී.එස්.පී.ත් නැතිවෙයිද

මෙවැනි අර්බුදයක් යටතේ කිසිදු සද්ද බද්දයකින් තොරව තවත් තීරණාත්මක කණ්ඩායමක් පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ, යුරෝපා කොමිසමේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමකි. බොහෝ දෙනා නොදැන සිටියද මෙම යුරෝපා කොමිසමේ නියෝජිතයන් කණ්ඩායම හා ආණ්ඩුවේ ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡා ඉතා තීරණාත්මක වී ඇති බවක් අපට දැනගන්නට තිබේ. ඊට හේතුව වී ඇත්තේ දැනට ඇමෙරිකාව සමග මතුව ඇති තීරුබදු ප්‍රශ්නය හේතුකොට ගෙන ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අතිශය බරපතළ අවදානමකට මුහුණපා සිටිද්දී යුරෝපා කොමිසමේ නියෝජිතයන්ද ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට බලපාන ආකාරයේ සාකච්ඡාවක් ආණ්ඩුවේ ප්‍රධානීන් සමග සිදුකර තිබීමය. මන්දයත් ඇමෙරිකාවෙන් පසු ලංකාවේ ලොකුම ඇඟලුම් ආනයනකරුවා වන්නේ යුරෝපා කොමිසමය. ඒ සඳහා ලංකාවට විශේෂ සහනයක් වී ඇත්තේ යුරෝපා කොමිසම මගින් ලංකාවට ලබාදී ඇති ජී.එස්.පී. ප්ලස් සහනයය. ඒ හරහා ලංකාවේ ඇඟලුම් ඇතුළු භාණ්ඩ විශාල ප්‍රමාණයකට දැවැන්ත තීරුබදු සහනයක් ලබාදීමට යුරෝපා කොමිසම කටයුතු කොට තිබේ. සාමාන්‍යයෙන් මම සහනය වසර තුනකට වරක් යුරෝපා කොමිසම මගින් ලබාදෙන අතර, මෙවර ලබාදී තිබූ සහනය නුදුරේදීම අවසන් වීමට නියමිතය. ඒ අනුව යුරෝපා කොමිසමේ නියෝජිතයන් ලංකාවට පැමිණියේ එම සහනය තවත් වසර 3කට දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා පැවැත්වීමටය.

සාමාන්‍යයෙන් යුරෝපා කොමිසම මගින් ලබාදෙන මෙම ජී.එස්.පී. ප්ලස් සහනය කෙළින්ම සම්බන්ධ වී ඇත්තේ එම රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයත් සමගය. නැතිනම් එම රට මානව හිමිකම් ආරක්ෂා කරන ප්‍රමාණයත් සමගය. ඉකුත් මහින්ද රාජපක්ෂ රජය සමයේදී ලංකාවේ මානව හිමිකම් කඩවූ බවට ප්‍රබල චෝදනාවක් එල්ල වීම මත ජී.එස්.පී. ප්ලස් සහනය අහෝසි කිරීමට යුරෝපා කොමිසම කටයුතු කොට තිබිණී. නමුත් ඊට පසුව පැමිණි යහපාලන ආණ්ඩුව ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දෙමින් එම සහනය නැවත ලංකාවට ලබාගැනීමට කටයුතු කොට තිබිණි.

කෙසේ වෙතත් පසුගිය කාලය පුරාම යුරෝපා කොමිසමෙන් ලංකාවට ඉදිරිපත් වූ ප්‍රධානම කොන්දේසියක් වූයේ ජනතා අයිතිවාසිකම් සීමා කෙරෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු බවය. ඒ හරහා ජනතාවගේ මානව අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය වන බව පෙන්වා දී තිබූ යුරෝපා කොමිසම පැවැති ආණ්ඩු කීපයකින්ම මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසට ඉල්ලීමක් කොට තිබිණි. එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් වත්මන් මාලිමා ආණ්ඩුව නව ත්‍රස්ත විරෝධී පනතක් කෙටුම්පත් කොට ඇති නමුත්, මේ වනවිට ඊටද දැවැන්ත විරෝධයක් රට ඇතුළේ ගොඩනැගෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. විපක්ෂය, සිවිල් සංවිධාන මෙන්ම බොහෝ පාර්ශ්වයන් පෙන්වා දෙන්නේ මෙම අලුත් පනත පැවැති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතටත් වඩා මානව හිමිකම් උල්ලංඝනය වන භයානක එකක් බවකි.

ඒ අනුව ආණ්ඩුව සමග පැවැති සාකච්ඡාවලදී යුරෝපා කොමිසමේ නියෝජිතයන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ ලෙස සාකච්ඡා කොට ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහිදී ඔවුන් ආණ්ඩුවටත්, විපක්ෂටත් ඉතා පැහැදිලි පණිවුඩයක් ලබාදෙමින් පෙන්වා දී ඇත්තේ යම් හෙයකින් මෙම අලුත් ත්‍රස්ත විරෝධී පනත ක්‍රියාත්මක කළහොත් ජී.එස්.පී. ප්ලස් සහනය ලංකාවට ලබාදිය නොහැකි තත්ත්වයක් මතුවනු ඇති බවය. එමෙන්ම එම නව ත්‍රස්ත විරෝධී පනත සකස් කළ යුතු රාමුව පිළිබඳවද එහිදී යුරෝපා කොමිසමේ නියෝජිත කණ්ඩායම ආණ්ඩුව දැනුවත් කර ඇති බවක්ද ආරංචිය. ඊට අදාළව එහි විය යුතු සංශෝධන පිළිබඳවද එම කොමිසමේ නියෝජිතයන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවක්ද දැනගන්නට ඇත. නමුත් යුරෝපා කොමිසම ලබාදුන් නිර්නායකයන්ට ආණ්ඩුව කුමන ආකාරයකින් පිළිතුරු ලබාදුන්නාද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු අප සතුව නැත. කෙසේවෙතත් ඇමෙරිකාව සමග මතුව ඇති අර්බුදය හමුවේ ආණ්ඩුව යුරෝපා කොමිසම සමගද මත ගැටුමක් නිර්මාණය කොටගෙන ලංකාවට ලබාදී ඇති ජී.එස්.පී. ප්ලස් සහනය කිසිසේත්ම අහිමි කර නොගනු ඇති බව අපගේ විශ්වාසයය. ඒ අනුව රැවුලයි කැඳයි දෙකම ආරක්ෂා කොටගෙන ඉදිරියට යෑමේ බරපතළ තත්ත්වයකට ආණ්ඩුව මුහුණ දී සිටින බවක් අපට දැකගන්නට පුළුවන. ඒ අනුව ඇමෙරිකාව සමග මතුව ඇති තීරුබදු ප්‍රශ්නයත්, මූල්‍ය අරමුදල සමග මතුව ඇති ණය වාරික ලබාගැනීමේ ප්‍රශ්නයත්, යුරෝපා කොමිසම සමග මතුව ඇති ජී.එස්.පී. ප්ලස් සහනය නැවත දීර්ඝ කරගැනීමේ ප්‍රශ්නයත් යන ප්‍රශ්න තුනටම එකවර ආණ්ඩුවට මුහුණ දීමට සිදුව ඇති ආකාරයක් මේ වනවිට දැකගන්නට පුළුවන.

ප්‍රතිපත්තිත් රිවස්ද?

ආණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මේ ආකාරයේ ලිට්මස් පරීක්ෂණ තුනක් එකවර මතුව තිබියදී ජවිපෙ ප්‍රතිපත්ති සම්බන්ධයෙන්ද මේ වනවිට රට ඇතුළේ දැවැන්ත සංවාදයක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. බොහෝ පාර්ශ්වයන් චෝදනා කරන්නේ ජවිපෙ වාමාංශික පක්ෂයක් වුවද මේ වනවිට ඒ සියලු වමේ ප්‍රතිපත්ති අමතක කොට දමා අතිදක්ෂිණාංශික ලෙස කටයුතු කරමින් සිටින බවටය. තවත් සමහරු චෝදනා කරන්නේ ආණ්ඩුව බලය ලබාගැනීම සඳහා විශාල වශයෙන් බොරු කී බවත්, ඒ හේතුව නිසාම ඔවුන්ට මේ වනවිට ජනතාවට මුහුණ දිය නොහැකි ආකාරයේ බරපතළ ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුව ඇති බවත්ය. මේ අතර ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ඉන්දීය සංචාරය සම්බන්ධ මාතෘකාවද මේ කියන ප්‍රතිපත්ති පාවාදීමේ ගොඩටම දමා ඇතැමුන් කතාකරන ආකාරයක් දැකගන්නට පුළුවන.

ටිල්වින්ගේ මෙම ඉන්දීය සංචාරය සිදුකිරීමට නියමිතව තිබුණේ. දිට්වා සුළි කුණාටුව පැමිණීමට පෙරය. නමුත් වෙනත් කරුණු කීපයක් සහ සුළි කුණාටුව පැමිණීම හේතුවෙන් මෙම සංචාරය ඒ මොහොතේදී අතරමග නැවතිණි. කෙසේවෙතත් ටිල්වින්ගේ මෙම ඉන්දීය සංචාරය පිළිබඳ මුලින්ම රාජ්‍ය රහස් තීරය විසින් තොරතුරු වාර්තා කිරීමත් සමගම බොහෝ දෙනා ප්‍රශ්න කිරීමට පටන් ගත්තේ දැඩි වාමාංශික හුරුවක් සහ ආරම්භයේ සිට දැඩි ඉන්දීය විරෝධයක් සහිත පක්ෂයක ප්‍රධාන ලේකම්වරයකුට අංශක 360ක් ආපසු හැරී ඉන්දියාවේ සංචාරය කිරීමට හැකිද කියාය. බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ මාලිමා ආණ්ඩුව බලයට පත්වූ පසු ඔවුන් වාමාංශික රටක් වන චීනය සමග ගනුදෙනු කරනු ඇතැයි කියාය. ඒ බව තහවුරු කරමින් මුල් අවස්ථාවේ ජනාධිපතිවරයා පමණක් නොව, ටිල්වින්ද, බිමල් රත්නායකද චීන සංචාරයන්හි නිරත විය. මෙහිදී ටිල්වින් හා චීන බලධාරීන් අතර පැවැති සාකච්ඡාවලදී ලංකාවේ සහ චීනයේ ජනාධිපතිවරුන් දෙදෙනා අතර සමීප සම්බන්ධයක් ඇතිකරන්නේ කෙසේද යන්න පිළිබඳවත්, ලංකාව සහ චීනය අතර සමීප සම්බන්ධයක් ඇතිකරන්නේ කෙසේද යන්න පිළිබඳවත්, චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජවිපෙ අතර සම්බන්ධයක් ඇතිකරන්නේ කෙසේද යන්න පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබූ බව අප විසින් මෙම තීරයේ වාර්තා කිරීමට පියවර ගත්තෙමු.

නමුත් මේ වනවිට චීන පර්යේෂණ නෞකාවන්ට පොරොන්දු වූ පරිදි ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වීමට ආණ්ඩුව අවසර නොදීම මුල්කොට ගෙන චීනය සහ ලංකාව අතර බරපතළ මතගැටුමක් නිර්මාණය වෙමින් පවතින ආකාරයක් දැකගන්නට පුළුවන. එහි ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට සිදුකෙරෙන ඩොලර් බිලියන 3.9ක චීන ආයෝජනයක් වූ තෙල් පිරිපහදුව ඉදිකිරීම තාවකාලිකව අත්හිටුවීමටත්, මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට ලබාදෙන බවට පොරොන්දු වූ අරමුදල් අත්හිටුවීමටත්, චීන සංචාරකයන් ලංකාවට එවීම ක්‍රමානුකූලව අඩුකිරීමටත් චීනය පියවර ගනිමින් සිටින බව පසුගිය සතියේ අපි විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියෙමු.

එවැනි පසුබිමක් යටතේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සිදුකළ ඉන්දීය සංචාරය පිළිබඳ මේ වනවිට බොහෝ දෙනාගේ දැඩි අවධානයක් යොමුව තිබේ. සියල්ලන්ම දන්නා පරිදි ජවිපෙ යනු දැඩි ඉන්දීය විරෝධයක් සහිත පක්ෂයකි. 1987 පළාත් සභා ක්‍රමය ලංකාවට හඳුන්වා දුන් ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් තබද්දී ඊට එරෙහිව රට පුරා දැවැන්ත අරගලයක් දියත් කිරීමට මූලිකත්වය ගත්තේ ජවිපෙය. 88-89 වනවිට කැරැල්ලක් බවට පත්වූයේත්, ඒ හරහා 60,000කට අධික ජීවිත ප්‍රමාණයක් අහිමි වූයේත් ඉන්දීය විරෝධය මුල්කරගෙන ජවිපෙ ගෙන ගිය මේ ක්‍රියාකලාපය හේතුවෙන්ය. ජවිපෙට එවැනි ඉතිහාසයක් තිබුණද ටිල්වින් පසුගියදා සිදුකළ ඉන්දීය සංචාරය හරහා ආරම්භයේ සිට පැවැති මේ ජවිපෙ ඉන්දීය විිරෝධය නිලවශයෙන් අවසන් වූ බව බොහෝ දෙනාගේ අදහස වී තිබිණි.

ජයශංකර්ගේ සටහන

මෙහිදී ටිල්වින්ගේ මෙම ඉන්දීය සංචාරය සැලසුම් කළේ ඉන්දියාවේ සංස්කෘතික සම්බන්ධතා පිළිබඳ කවුන්සිලය හෙවත් අයි.සී.සී.ආර්. ආයතනයය. ඒ අනුව සියලු දෙනා පුදුමයට පත්කරමින් ටිල්වින් මුලින්ම හමුවූයේ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතාවය. සාමාන්‍යයෙන් ජයශංකර් සැලකෙන්නේ ඉන්දියාවේ ජනාධිපති, අගමැති හැරුණු විට ඉහළම දෙතුන් දෙනා අතර සිටින ප්‍රධාන චරිතය ලෙසටය. ඒ අනුව ජයශංකර් හමුවන්නේද විදෙස් රටවලින් පැමිණෙන ප්‍රධානම පෙළේ නියෝජිතයන් පමණි. මෙවන් පසුබිමක් යටතේ ආණ්ඩුවේ ප්‍රධාන තනතුරක් නොදරන, ආණ්ඩු බලය හිමි පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ජයශංකර් වැන්නකු හමුවූයේ කෙසේද යන්න පිළිබඳ බොහෝ දෙනාට ප්‍රශ්නයක් මතුව තිබිණි. නමුත් බොහෝ විට ඊට හේතු වී ඇත්තේ වත්මන් මාලිමා ආණ්ඩුව පැලවත්තෙන් මෙහෙයවන බවට මතයක් ජාත්‍යන්තරයට ගොස් තිබීම විය හැකිය. ඒ බව තහවුරු වන ප්‍රධාන සිදුවීමක් ටිල්වින් ඉන්දියාවට යෑමට දින කීපයකට පෙර සිදුවිය. ඒ, ආණ්ඩුවේ නාලිකාවකට පැමිණ ටිල්වින් සිදුකළ ප්‍රකාශයක් හරහාය. එහිදී රූපවාහිනී නිවේදකයා ටිල්වින්ගෙන් විමසා සිටි එක් ප්‍රශ්නයක් වූයේ ආණ්ඩුව පාලනය කරන්නේ පැලවත්තෙන්දැයි කියාය. ඊට ඍජු පිළිතුරක් දුන් ටිල්වින් කියා සිටියේ ආණ්ඩුවේ පැලවත්තෙන් පාලනය කරන බවත්, ජනතාවට බලපාන ප්‍රශ්නවලදී ජවිපෙ මූලස්ථානයේ සාකච්ඡා කොට අවසන් තීන්දු තීරණ ගන්නා බවත්ය.
දිල්ලියේදී ජයංශකර් හමුවූ ටිල්වින් ඊළඟට ගියේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන ගුජරාටි ප්‍රාන්තයටය. එහිදී ගුජරාටි මහ ඇමැතිවරයා හමුවී සාකච්ඡා කළ ටිල්වින් ගුජරාටයේ පිහිටුවා ඇති ප්‍රධාන පෙළේ කර්මාන්ත ශාලා රැසක් නැරඹීමටද ගියේය. ඉන් අනතුරුව ටිල්වින් ගියේ වාමාංශික නැඹුරුවක් ඇති කේරළ ප්‍රාන්තයටය.

කෙසේ වෙතත් ටිල්වින්ගේ ඉන්දීය සංචාරය පිළිබඳ මෙරට මාධ්‍ය පමණක් නොව ඉන්දීය මාධ්‍යද තොරතුරු වාර්තා කොට තිබුණේ ඉතා පරෙස්සමිනි. විශේෂයෙන්ම ජයශංකර් සමග පැවැති සාකච්ඡාවෙන් පසු ට්විටර් පණිවුඩයක් තබමින් ජයශංකර් කියා තිබුණේ ටිල්වින් සමග පැවැති සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වීපාර්ශ්වික සබඳතා බොහෝ ශක්තිමත් කිරීමට හැකියාව ලැබුණු බවකි. එමෙන්ම රටවල් දෙක ඒකාබද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් වූ කරුණු සාකච්ඡා වූ බවත්, ලංකාවේ සමාජ සුබසාධනයට, අර්ථික වර්ධනයට ඉන්දියාවට මැදිහත් විය හැකි ආකාරය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වූ බවද ජයශංකර් මෙහිදී සඳහන් කොට තිබිණි. මෙය ඉන්දියාව පැත්තෙන් ගත්විට අතිශය තීරණාත්මක ප්‍රකාශයක් වුවද ටිල්වින් තවමත් සිය ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් කිසිදු ස්ථානයක නිල ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ සිදුකොට නොමැති වීම විශේෂත්වයකි.

අමුල් විරෝධය

ඉන්දියාව මේ ආකාරයෙන් තමන්ට එදා සිට පසමිතුරු වුවද ඉන්දියාව ජවිපෙට යම් නිල පිළිගැනීමක් ලබාදීම ආරම්භ කළේ අද ඊයේක නොව පසුගිය ජනාධිපතිවරණයට පෙරාතුව සිටමය. මුළු රටම පුදුමයට පත්කරමින් ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා වීමට සූදානමින් සිටි අනුර කුමාර දිසානායකට හදිසියේම ඉන්දියාවෙන් නිල ආරාධනාවක් ලැබුණේ ඒ අනුවය. අනුරගේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය රට ඇතුළේ නිල පිළිගැනීම ලැබුණේ ඉන්දියාවෙන් ලැබුණු මෙම නිල ආරාධනාවය. එය රට ඇතුළේ අනුරට තිබූ පිළිගැනීම ඉහළ යෑමටත්, උතුරු නැගෙනහිර සහ වතුකරයේ දෙමළ ජනතාව අතර ඇති පිළිගැනීම ඉහළ යෑමටත්, ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය දිනාගැනීමටත් අවශ්‍ය හේතුකාරක සැපයීය.

ඒ වනවිට පැවැති රනිල්ගේ ආණ්ඩුව මෙරට ලාභ ලබමින් තිබූ මිල්කෝ ආයතනයේ 52%ක කොටස් ඉන්දියාවේ අමුල් සමාගමට ලබාදීමට පියවර ගෙන තිබිණි. ඒ, එවක කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි මහින්ද අමරවීර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් හරහාය. එදා මෙම කොටස් පැවරීමට එරෙහිව රට ඇතුළේ ලොකුම විරෝධය පළකළේ අනුර-ටිල්වින් ප්‍රමුඛ ජවිපෙය. කෙසේ වෙතත් අනුරගේ ඉන්දීය සංචාරය අතරතුරදී ඉන්දියාව සැලසුම්සහගතව අනුරව අමුල් සමාගම වෙත රැගෙන යෑමට පියවර ගත්තේය. ඒ අවස්ථාවේදී ලංකාවේ මාධ්‍යත්, විපක්ෂයත් ජවිපෙට ප්‍රහාර එල්ල කරමින් කියා සිටියේ ලංකාවේදී අමුල් සමාගමට බොරුවට විරෝධය පා අනුරලා ඉන්දියාවට ගිහින් අමුල් සමාගම නැරඹීමට කටයුතු කර ඇතැයි කියාය. කෙසේ වෙතත් ලංකාවට පැමිණි පසු අනුර කියා සිටියේ ඉන්දියාව සැලසුම් කර තිබූ පරිදි තමන් අමුල් සමාගමේ සංචාරය කළත්, තමන් බලයට පත්වූ වහා අමුල් සමාගම සමග ඇති මිල්කෝ ගිවිසුම අවලංගු කොට මිල්කෝ සමාගම යළි රජයට පවරා ගන්නවා යැයි කියාය. ඒ කී ආකාරයටම අනුර බලයට පත්වීමෙන් පසු එවක කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි විජිත හේරත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කොට අමුල් සමාගම යළි රජයට පවරා ගැනීමට කටයුතු කළේය.

මිල්කෝ යළි අමුල්ට දෙයිද?

කෙසේ වෙතත් මෙවර ටිල්වින්ගේ ඉන්දීය සංචාරයේදී පළමුව නවදිල්ලියට ගිය ටිල්වින් ඉන් අනතුරුව ගුජරාටයට ගොස් එහි පිහිටි මේ කියන අමුල් සමාගමේ නිරීක්ෂණ චාරිකාවකටද ගියේය. එහිදී අමුල් බලධාරීන් ටිල්වින්ව මහත් හරසරින් පිළිගෙන සමාගම පිළිබඳ සම්පූර්ණ විස්තරයක් සිදුකළේය. එමෙන්ම නිරීක්ෂණ චාරිකාව අවසානයේදී එහි තබා තිබූ අමුත්තන්ගේ පොතෙහි විශේෂ සටහනක් තැබීමටද ඔවුන් ටිල්වින්ට ආරාධනා කළේය. ලංකාවේ මිල්කෝ සමාගම අමුල් සමාගමට පැවරීම සම්බන්ධයෙන් කෙතරම් විරෝධයක් ඊට පෙර පළකොට තිබුණද මෙහිදී ටිල්වින් අමුත්තන්ගේ පොතෙහි මිල්කෝ සමාගම සම්බන්ධයෙන් තැබුවේ සුවිශේෂ සටහනකි. අමුල් සමාගම යනු කිරි ගොවීන්ගේ අයිතිය සුරකින ඉතා සාර්ථක ව්‍යාපාරයක් බවත්, ගොවීන් හා රජය එක්ව ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා අමුල් සමාගම හරහා විශාල ශක්තියක් ලබාදී ඇති බවත් ටිල්වින් එහි ලියා තැබුවේය. මෙය අනෙක් රටවලටද ඉතා හොඳ උදාහරණයක් බවද ටිල්වින් එහි සඳහන් කළේය. අවසන් වශයෙන් ටිල්වින් ලියා තැබුවේ රජය සහ ජනතාව එක්ව ව්‍යාපාරයක් සාර්ථකව සිදුකිරීමේ හොඳම ආදර්ශය ලෙස අමුල් සමාගම සැලකිය හැකියැයි කියාය.
ඒ අනුව බොහෝ දෙනා සඳහන් කරන්නේ අමුල් සමාගම සම්බන්ධයෙන් ටිල්වින් තැබූ මෙම සටහන ඉතා තීරණාත්මක එකක් බවකි. ඒ හරහා නැවතත් ලංකාවේ මිල්කෝ ආයතනය අමුල් සමාගමට පැවරීමේ යම් ඉඟියක් ලබාදුන්නාදැයි බොහෝ දෙනා ප්‍රශ්න කරන මට්ටමට පත්ව ඇත්තේද ඒ නිසාමය.

අනෙක් අතට ඉකුත් වතාවේ අනුර ඉන්දීය සංචාරයේ නිරත වෙද්දී මෙරට සමාජ මාධ්‍ය අනුරට වටකරගෙන ගැහුවේ බොරු ඉන්දීය විරෝධයක් පෙන්වමින් සිට අනුර ඉන්දියාවේ සංචාරයක ගියා යැයි කියාය. නමුත් මෙවර ටිල්වින්ගේ ඉන්දීය සංචාරයේදී දැකගත හැකි වූ තවත් විශේෂ සිදුවීමක් වූයේ ටිල්වින් ඉන්දියාවේ ගියද කිසිදු සමාජ මාධ්‍යයක හෝ වෙන යම් තැනක ටිල්වින් ඉලක්ක කොට කිසිදු ප්‍රහාරයක් එල්ල නොවීමය.

එමෙන්ම දැඩි ඉන්දීය විරෝධයක සිටින ටිල්වින් වැන්නකු ඉන්දියාවට පැමිණි විට සාමාන්‍යයෙන් ඉන්දීය මාධ්‍යද ප්‍රහාර එල්ල කරන ආකාරයක් දැකගත හැකි වුවත්, මෙවර කිසිදු තැනක ටිල්වින් විරෝධයක් දැකගන්නට නොලැබීමද විශේෂ සිදුවීමකි. එමෙන්ම ටිල්වින්ට ඉන්දීය මාධ්‍යවල ලොකු ප්‍රචාරයක් ලැබුණේද නැත. යම් තරමකින් හෝ ටිල්වින්ට ප්‍රචාරය ලබාදී තිබුණේ ඉන්දීය රාජ්‍ය මාධ්‍ය වූ දූරදර්ශන් නාලිකාවේ පමණකි. එයද ලබාදී තිබුණේ ඉතා ප්‍රවේශම්සහගතය. ඒ අනුව කිසියම් බලගතු පාර්ශ්වයකින් ටිල්වින් සම්බන්ධ පුවත් පළවීම දැඩි ලෙස පාලනය කර තිබූ ආකාරයක් දැකගන්නට තිබිණි.

අනුර-මෝදි-මැක්‍රොන්

කෙසේ වෙතත් ටිල්වින්ගේ මෙම ඉන්දීය සංචාරයෙන් පසු ලබන 19 සහ 20 යන දෙදින ජනාධිපතිවරයාද නවදිල්ලියේ සංචාරය කිරීමට නියමිතව ඇත. ඒ, ඉන්දියාවේ පැවැත්වෙන කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ සමුළුවකට සහභාගී වීම සඳහාය. මෙම සමුළුවට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ද සහභාගි වීමට නියමිතය. ඒ අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ඉන්දීය අගමැති මෝදි සහ ප්‍රංශ ජනාධිපති මැක්රෝන් වෙන වෙනම හමුවී සාකච්ඡා පැවැවීමට නියමිතය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම ඉන්දීය සංචාරයේදි අගමැති මෝදි සමග බොහෝ දුරට අලුත් එකඟතාවන් ඇතිකර ගැනීමට නියමිත බවක් ආරංචිය. පසුගිය කාලයේදී ඉන්දියාව හා ලංකාව අතර ඇතිවීමට තිබූ යම් යම් එකඟතාවන්ට බැරියරයක් ලෙස පැලවත්ත පෙනෙන්නට තිබුණත් ටිල්වින්ගේ ඉන්දීය සංචාරය හරහා බොහෝ දුරට එම බැරියරයන් මේ වනවිට ඉවත් වී ගොස් ඇති ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ජනාධිපති උපදේශක හාන්ස් විජේසූරිය සහ ජනාධිපතිවරයා සිදුකරන මෙම ඉන්දීය සංචාරය අතරතුරදී ඉන්දියාව සමග විශේෂ එකඟතාවන් රැසකට එනු ඇති බවක් අනුමාන කළ හැකිය.

6 දෙනාගේ රහස් සාකච්ඡාව

පසුගිය සතියේ ‘මව්රට’ පුවත්පතේ මුල් පිටුව ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය අතුරුදන් කොට ඇති බවත්, අවම වශයෙන් විපක්ෂය හෝ උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ හෝ පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන් ඉන්දියාව හෝ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා කිසිදු සටනක් දියත් කර නොමැති බවත්ය. අවම වශයෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ තේරීම් කාරකසභාව සඳහා ආණ්ඩුවේ නියෝජිතයන් 12 දෙනා හෝ මෙතෙක් පත්කිරීමට කටයුතු කර නොමැති බවද අපි එහිදී අනාවරණ කර සිටියෙමු.

අප කළ මෙම අනාවරණයෙන් පසුව ඉකුත් සතියේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සජබ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පියවර ගත්තේය. එහිදී ඔහු ආණ්ඩුවට අභියෝගයක් කරමින් කියා සිටියේ හැකිනම් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නැයි කියාය. සුජීව කළ මෙම අභියෝගයෙන් පසුව වෙනත් ස්ථානයකදී අදහස් දක්වා තිබූ නාමල් රාජපක්ෂද ආණ්ඩුවට අභියෝග කරමින් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස දැනුම් දී සිටියේය.

පසුගිය සතියේ පළාත් සභා මැතිවරණය ලබාගැනීම සඳහා තවත් ඉදිරි පියවරක් තබමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනකු කොළඹ එක්තරා මන්ත්‍රීවරයකුගේ නිවසක විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණි. රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සමග පැවැති මෙම විශේෂ සාකච්ඡාවේදී තීරණය වූයේ උතුරු නැගෙනහිර සහ වතුකරයේ සියලු දෙමළ, මුස්ලිම් පක්ෂ ද ඊට එක්කොට ගෙන දැවැන්ත සටනක් පැවැත්විය යුතු බවටය. ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු සතියේදී පළාත් සභා මැතිවරණය ලබාගැනීම සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර සහ වතුකරයේ දෙමළ මුස්ලිම් පක්ෂ සමග විශේෂ සාකච්ඡා වටයක් ආරම්භ කිරීමටද එම මන්ත්‍රීවරුන් හය දෙනා තීන්දු කර තිබේ. එමෙන්ම මෙය එක් පක්ෂයකට පමණක් සීමා නොවී විපක්ෂයේ සියලු පක්ෂවලට එක්විය හැකි සටනක් ලෙස ඉදිරියට ගෙන යෑමටද මෙම මන්ත්‍රීවරුන් තීරණය කොට ඇති බව ආරංචිය. ඒ අනුව ලබන පාර්ලිමේන්තු සතියේදී විපක්ෂයේ දේශපාලන පක්ෂවල සියලු මන්ත්‍රීවරුන් වෙන වෙනම හමුවී සාකච්ඡා පැවැත්වීමට මෙම මන්ත්‍රීවරුන් හයදෙනා එහිදී කතිකා කරගෙන තිබේ.

අලුත්ම උප්පරවැට්ටිය

පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර පැවැත්වෙන සාකච්ඡා කඩාකප්පල් කිරීම සඳහා කටයුතු කරන සූත්තර පුංචලා තුන් හතර දෙනා පිළිබඳ විශේෂ අනාවරණයක් සිදුකළෙමු. එහිදී නම් වශයෙන් සඳහන් කරමින් රාජිත සේනාරත්න සහ අජිත් මාන්නප්පෙරුම සජබ-එජාප එකමුතුව කැඩීමට කුමන්ත්‍රණ කළ ආකාරයත්, ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කළ ආකාරයත් අපි එහිදී වාර්තා කර සිටියෙමු. නමුත් එජාපය ඇතුළෙන්ම ඊට එරෙහිව නැගුණු විරෝධතා හේතුවෙන් මේ වනවිට ඔවුන් මුළුගැන්වී සිටින ආකාරයද අපි එහිදී පෙන්වා දුන්නෙමු. ඊට හේතුවී ඇත්තේ කිසිදු ජන පදනමක් නැති, ඡන්දයක් දිනා පාර්ලිමේන්තු ඒමට නොහැකි දෙතුන් දෙනකු ඊට එරෙහිව සිටියද එජාපයේ ජන පදනමක් ඇති, රට පිළිගන්නා තරුණ නායකයන් සියලු දෙනාම පාහේ මෙම එකමුතුවට පක්ෂව සජිත් ප්‍රේමදාස මහතා සහ සජබය සමග එක්ව ඉදිරි ගමන යායුතු බවට වූ ස්ථාවරයේ සිටීම නිසාය.

කෙසේ වෙතත් රාජිතලා, මාන්නප්පෙරුමලා ඉදිරියට දමා සජබ – එජාප එකමුතුව කඩන්නට නොහැකි වූ තැන මේ වනවිට අලුත් මුහුණුවරකින් එම මෙහෙයුම පසුගිය සතියේ එළියට ආ ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී හිටපු ඇමැතිවරුන් දෙතුන් දෙනකුට භාරදී ඇති කොන්ත්‍රාත්තුව වී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ සාකච්ඡා පටන්ගන්නා ලෙසටය. ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ හිටපු ප්‍රබලයකුගේ කොළඹ පිහිටි නිවසක ඒ සම්බන්ධයෙන් පළමු සාකච්ඡාව පැවැත්වී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

මෙසේ පොදු අපේක්ෂකකු ඉදිරිපත් කිරීමේ සාකච්ඡා ආරම්භ කරන ලෙසට උපදෙස් ආවේ කොතැනින්ද, එම සාකච්ඡාවට සහභාගි වූයේ කවුරුන්ද, එම සාකච්ඡාවේදී කතාබහට ලක්වූයේ මොනවාද යන්න පිළිබඳ සියලු තොරතුරු අප සතුව ඇති අතර මේ අවස්ථාවේදී අප ඒවා හෙළිදරව් කිරීමට කටයුතු නොකරන නමුත්, තීරණාත්මක අවස්ථාවකදී ඒ සියල්ල හෙළිදරව් කිරීමට කටයුතු කරන බව පමණක් මෙහිදී සඳහන් කළ යුතුව ඇත. කෙසේ වෙතත් එම සාකච්ඡාව සඳහා පාර්ශ්වයන් කිහිපයකටම ආරාධනා කර තිබුණද ඊට ඔවුන් බලාපොරොත්තු වූ සහභාගිත්වයක් නොතිබුණු බව පමණක් මෙහිදී අප සඳහන් කරමු. අපට දැනගන්නට ඇති පරිදි මෙසේ පොදු අපේක්ෂකයකු ගෙන ඒමේ අරමුණ වී ඇත්තේ එජාපයෙන්, සජබයෙන්, පොහොට්ටුවෙන් සහ ශ්‍රීලනිපයෙන් කිහිප දෙනා බැගින් කඩාගෙන සජබ සහ එජාපය අතර ගොඩනැගෙමින් පවතින එකමුතුව කඩා බිඳ දැමීමය.

සජබය පටන් ගන්නයි යන්නේ

කෙසේ වෙතත් සජබය මේ වනවිට දැවැන්ත මෙහෙයුම් තුනක් එකවර දියත් කරමින් යළිත් සිය දේශපාලන කටයුතු ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පසුගිය මාස කීපය පුරාම දිස්ත්‍රික්කයක් ගානේ යමින් ආසන සංවිධායකවරුන් සහ පාක්ෂිකයන් සමග සාකච්ඡා පැවැත්වීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව දැවැන්ත රැලි දෙකක් පැවැත්වීමට මේ වනවිට සජබය සැලසුම් කර ඇති අතර, ඉන් අනතුරුව එය දිස්ත්‍රික් මට්ටමින් රට පුරා පැවැත්වීමටද සැලසුම් කර ඇත.

මීට අමතරව සජබ – එජාප එකමුතුව සම්බන්ධයෙන්ද සජිත් එළඹෙන සතියේ තවත් ඉදිරි පියවරක් තැබීමට සූදානම්ය. මේ වනවිට සජිත් එජාපයේ මහලේකම් තලතා, නියෝජ්‍ය නායක රුවන්, උපසභාපති නවීන්, ජාතික සංවිධායක සාගල, උපනායක අකිල සමග සජබ – එජාප එකමුතුව සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා අවසානය. එමෙන්ම ඉදිරි සතියේදී තවත් විශේෂ කණ්ඩායමක් සමග සාකච්ඡාවක් පැවැත්වීමට සජිත් සැලසුම් කර ඇති ආකාරයක් දැනගන්නට ඇත.

මීට අමතරව සෙනසුරාදා දිනයේදී කිසිවකුත් නොසිතන තවත් සිදුවීමක්ද සජබ – එජාප එකමුතුව මුල්කරගෙන සිදුවීමට නියමිතය. ඒ, පක්ෂ දෙකේම බිම් මට්ටමේ සාමාජිකයන් පළමු වරට එක්වන මොහොතකි. මෙම අවස්ථාව සූදානම් කොට ඇත්තේ වෙන කවුරුවත් නොව කොලොන්නාව ආසන සංවිධායකවරයා වන සජබ මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ය. ඒ අනුව මරික්කාර් කොලොන්නාව ආසනයේ සිටින සජබ සහ එජාප සාමාජිකයන් 600කට විශේෂ සාකච්ඡාවක් සඳහා ආරාධනා කොට ඇති අතර, එය දිවා භෝජන සංග්‍රහයක්ද සහිතව සුහද හමුවක් ලෙස පැවැත්වීමට මරික්කාර් සැලසුම් කර ඇති බවක් දැනගන්නට තිබේ. මේ සඳහා සජබ නායක සජිත්ද සහභාගි වීමට නියමිත බවක් ආරංචිය. එම හමුවෙන් පසු ආසන මට්ටමෙන් සජබ සහ එජාප පාක්ෂිකයන් ඒකාබද්ධ කරන දැවැන්ත වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමටද මේ වනවිට සජබය සැලසුම් කරමින් සිටින බවක් දැනගන්නට ඇත.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

පහුගිය ආණ්ඩු කාලෙ බාලයි බාලයි කිය කියා පාරට බැහැලා කෑ ගැහුවා! මාලිමා ආණ්ඩුවත් බාල ගල් අඟුරු නැව් පහක්ම ගෙනැල්ලා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

Next Post

මුලින් ඉල්ලුවා කොමිසමෙන් වැඩි කරන්න දුන්නෙ නෑ! ඔන්න විදුලි බල මණ්ඩලේ 13.56%කින් ලයිට් බිල වැඩි කරන්න ආයෙත් ඉල්ලලා! මේ පාර කරන්ට් වදියිද? I Sri Lanka Latest News

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.