උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක කිරීමට යෝජිත ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන්න කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.Sri Lanka Latest News
2026 සිට 2031 දක්වා වන වසර 06ක කාලසීමාව සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1,000ක මූල්‍ය ප්‍රතිපාදන මෙරටට ලබා දීමට නියමිත අතර, ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක කිරීමට යෝජිත ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන වෙනුවෙන් යොදා ගැනීමට සැලසුම් කෙරෙනවා.
එම වැඩසටහනේ පළමු අදියර යටතේ උතුරු සහ නැගෙනහිර පළාත්වල තෝරා ගත් ප්‍රදේශයන්හි කලාපීය නිෂ්පාදන විභවයන් (සංචාරක, ධීවර ආදී) ඉහළ නැංවීම, රැකියා බිහි කිරීම හෝ පවතින රැකියා අවස්ථා වැඩිදියුණු කිරීම, ව්‍යවසායයන් සඳහා සහාය වීම, පෞද්ගලික ප්රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සහ ආයතනික සවිබල ගැන්වීම පිණිස යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවධානයක් යොමු කරන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ අනුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ලෝක බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව සිය අමාත්‍යාංශය විසින් අනෙකුත් මූලික පියවර ගැනීමටත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා.










