අරගලය පැවැති මැයි මස 09 වන දින නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද (11) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.Sri Lanka Latest News
ඒ අනුව මෙම සිද්ධියේ නඩු තීන්දුව ගම්පහ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී අද (11) පෙරවරුවේදී කැදවීමට නියමිතයි.
පසුගිය 2022 වසරේ මැයි මස 09 වැනිදා සිදුවූ මෙම සිද්ධියට අදාල නඩු තීන්දුව සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ගම්පහ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.
ඉකුත් 2022 වසරේ මැයි මස 09 වැනිදා මුළු රටම ගිනියම් වූ අරගලකාරී සමයේ නිට්ටඹුව නගරය හරහා ගමන් කරමින් සිටි මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ප්‍රකෝපකාරී පිරිසකගේ ප්‍රහාරයට ලක්ව මෙලෙස ඝාතනයට ලක් වුණා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලැබ තිබුණා.
දීර්ඝ සාක්ෂි විභාගයකින් අනතුරුව මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට ජනවාරි මස 14 වන දින නියම කර තිබුණා.
කෙසේ වෙතත් එදින කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද දින දක්වා කල් තැබීමට තීරණය කළා.










