ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලංකාව අතර යම් යම් මතගැටුම් මතුවෙද්දී කිසිවකුත් නොසිතූ පැත්තකින් තවත් ආර්ථික අවදානමකට ලංකාවට මුහුණ දීමට නියමිතව ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ලොව බොහෝ රටවල් ඉලක්ක කර සිදුකරනු ලැබූ තීරුබදු පැනවීම්වලදී ශ්‍රී ලංකාව 20% දක්වා එම තීරුබද්ද අඩුකර ගැනීම හරහා විශාල ජයග්‍රහණයක් ලබාගැනීමට කටයුතු කොට තිබිණි. ලොව වෙනත් කිසිදු රටකට එවැනි සහනයක් ලබාදී නොතිබුණු පසුබිමක එය ඇත්ත වශයෙන්ම අනුර කුමාර රජය ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. ඇත්තටම ආණ්ඩුවට එම ජයග්‍රහණය ලැබීම සඳහා පාර කපා දී තිබුණේ වෙන කවුරුවත් නොව, ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන මහින්ද සමරසිංහය. මහින්ද සමරසිංහ සතු රාජ්‍යතාන්ත්‍රිකභාවයත්, අත්දැකීම් බහුල බවත්, සූක්ෂ්ම ලෙස සාකච්ඡා මෙහෙයවීමේ හැකියාවත් නිසා ලංකාවට එම වාසිසහගත තත්ත්වය ලබාගැනීමට හැකි වූ බව බොහෝ දෙනාගේ අදහස වී තිබිණි. නමුත් මහින්ද සමරසිංහ තිරය පිටුපස එවැනි විශාල වැඩ කොටසක් සිදු කළද එහි ක්‍රෙඩිට් එක ගත්තේ අනුර ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවය.Sri Lanka Latest News
නමුත් ට්‍රම්ප් අනෙකුත් රටවල් සමග ගනුදෙනු කළේ ලංකාව සමග ගනුදෙනු කළ ආකාරයට නොවේ. විශේෂයෙන්ම ඉන්දියාව ඇමෙරිකාවේ තීරණයට පිටුපා රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට කටයුතු කිරීම හේතුකොට ගෙන විශාල තීරුබද්දක් ඉන්දියාටව පැනවීමට ට්‍රම්ප් පියවර ගත්තේය. දෙදෙනා අතර මතගැටුම්ද වරින් වර සිදුවිය. නමුත් පසුගිය සතිය වනවිට තිරය පිටුපස පැවැති සාකච්ඡාවලදී ඉන්දීය බලධාරීන් මෙම ගැටුම විශාල වශයෙන් සමතයකට පත්කර ගැනීමට පියවර ගෙන තිබිණි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ට්‍රම්ප් සහ මෝදි අතර පැවැති දුරකතන සාකච්ඡාවකදී එකඟතා රැසකට පැමිණීමට හැකි වීමය. එහිදී ඉන්දියාව දැනුම් දී තිබුණේ රුසියාවෙන් තෙල් මිලට ගැනීම සම්පූර්ණයෙන් නවත්වා, ඇමෙරිකාවෙන් සහ වෙනිසියුලාවෙන් තෙල් ලබාගැනීමට ඔවුන් තීරණය කොට ඇති බවකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ට්‍රම්ප් ඉන්දියාවට පනවා තිබූ තීරුබද්ද 18% දක්වා අඩු කිරීමට පසුගිය සතියේ තීන්දු කළේය. එය ලංකාවට බොහෝ අනතුරුදායක ලෙස බලපානු ඇති බව බොහෝ දෙනාගේ අදහසය. මන්ද යත් ලංකාවේ විශාලම ගැනුම්කරු ලෙස කටයුතු කරන්නේ අමෙරිකාවය. ලංකාවට වඩා අඩු තීරුබදු පැනවීමක් ඉන්දියාවට ලබාදීම හරහා දැන් පළමු තර්ජනය ලංකාවට එල්ල වී තිබේ.
දෙවැනි අනතුර ලබන සඳුදා දිනයේදී ලංකාවට දැකගත හැකි වනු ඇති බව අප වෙත ලැබෙන අලුත්ම තොරතුරුවලින් දැනගන්නට තිබේ. ඒ, ලබන සඳුදා දිනයේදී ට්‍රම්ප් පරිපාලනය සහ බංග්ලාදේශය අතර තීරුබදු සම්බන්ධයෙන් අවසන් ගිවිසුම අස්සන් කිරීමට තීරණය කොට තිබීමය. අපනයන වෙළෙඳපළේදී ලංකාවේ ආසන්නතම තරගකාරීන් දෙදෙනා වන්නේ ඉන්දියාවත්, බංග්ලාදේශයත්ය. මේ වනවිටත් ඇමෙරිකාව ඉන්දියාවේ තීරුබදු ප්‍රතිශතය 18% දක්වා අඩු කොට තිබේ. බොහෝ දෙනා සඳහන් කරන්නේ බංග්ලාදේශයට ට්‍රම්ප් විසින් පැනවූ තීරුබද්ද 18%ට හෝ ඇතැම් විට ඊටත් වඩා අඩු කිරීමට පියවර ගනු ඇතැයි කියාය. එය බොහෝ දුරට ලංකාවට පැනවූ තීරුබද්දට වඩා අඩු ප්‍රතිශතයක් වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයය.
ගිවිසුම තවම නෑ
මෙහි ඇති බරපතළ කාරණාව වන්නේ බංග්ලාදේශය ඇමෙරිකානු තීරුබද්ද සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා එය ගිවිසුමක් බවට පත්කර ගැනීමට කටයුතු කළත්, ලංකාව තවම එවැනි අවසානයක් දක්වා පැමිණ නොතිබීමය. තවමත් ඇත්තේ ඇමෙරිකාව ලංකාවට 20%ක තීරුබද්දක් පැනවූ බවට ඇති වාචික එකඟතාව පමණි. එය ස්ථිර ගිවිසුමක් බවට පත්කිරීමට නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා දෙපාර්ශ්වයේම එකඟතාවන් මත දෙරට අතර ගිවිසුමක් අස්සන් කිරීමට කටයුතු කළ යුතුය. සාමාන්‍යයෙන් එවැනි කටයුත්තක් අවසන් කිරීමට මාස කීපයක් ගතවීම සාමාන්‍ය ස්වභාවයය. නමුත් අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ දෙරට අතර ආර්ථික කටයුතු සම්බන්ධ ප්‍රධාන කරුණු 5ක් 6ක් සම්බන්ධයෙන් තවමත් කිසිදු සාකච්ඡාවක් පැවැත්වී නොමැති බවකි. ඒ සම්බන්ධයෙන් භාණ්ඩාගාරය හෝ ආයෝජන මණ්ඩලය අදාළ පාර්ශ්වයන් සමග කිසිදු ආකාරයේ අදහස් හුවමාරු කරගැනීමක් හෝ සිදුව නොමැති බවක්ද ආරංචිය.
ලංකාව එවැනි තැනක සිටියද බංග්ලාදේශය ලබන සඳුදා දිනයේදී මේ සියලු අවස්ථාවන් පසුකොට එය ගිවිසුමක් දක්වා රැගෙන ඒමට කටයුතු කොට තිබීම සුවිශේෂය. බංග්ලාදේශය යනු ජනතා අරගලයකින් පසු එරට අගමැතිවරියද රටෙන් පන්නා බරපතළ දේශපාලන අස්ථාවරත්වයක පසුවූ රටකි. මොහොමඩ් යූනුස්ගේ නායකත්වයෙන් එහි අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු පළමු මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 12 වැනි දිනය. එම මහ මැතිවරණයෙන් පසු බංග්ලාදේශයට ස්ථිර ආණ්ඩුවක් ලැබෙනු ඇති බව කියැවේ. එම මැතිවරණයෙන් හිටපු අගමැතිනි කලීඩා ශියාගේ පුත්‍රයකු වන තරීක් රෙහ්මාන්ගේ බීඒපී පක්ෂය ජයග්‍රහණය කරනු ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට තිබේ. ඒ අනුව බංග්ලාදේශයට නව ආණ්ඩුවක් පත්වන විට ඇමෙරිකාව සමග ගිවිසුමද අස්සන් තබා අවසන් කොට ස්ථාවර ගමනක් සඳහා මූලික අඩිතාලම දමාගෙන තිබේ. ඒ අනුව ලංකාවට වඩා අඩු තීරුබද්දක් පනවා තිබීම හේතුකොට ගෙන බොහෝ දුරට ලංකාවේ ඇඟලුම් කම්හල් කීපයක් සිය මෙහෙයුම් අවසන් කොට බංග්ලාදේශයට යනු ඇති බවද බොහෝ දෙනාගේ අදහස වී තිබේ. එමෙන්ම ඉන්දියාවද නුදුරේදීම ඇමෙරිකාව සමග සිය අවසන් ගිවිසුම අස්සන් තබනු ඇති බවක්ද දැකගන්නට ඇත. නමුත් ලංකාව සහ ඇමෙරිකාව අතර ගිවිසුම තවමත් අස්සන් තැබීමට ප්‍රමාද වී ඇති තත්ත්වයක් යටතේ ඉතා භයානක තත්ත්වයකට මෙරට අපනයන ක්ෂේත්‍රය මුහුණපානු ඇති බවක් බොහෝ දෙනාගේ අදහස වී තිබේ.
මෙම තත්ත්වය දැනගෙනද, එසේත් නැත්නම් නොදැනද නොදන්නා නමුත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී අතිශය භයානක හෙළිදරව්වක් කළේය. එහිදී සජිත් කියා සිටියේ ලංකාවේ ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වන මාස් හෝල්ඩිංග්ස් සමාගම සතු ආයතන කීපයක් වසාදැමීමට තීරණය කොට ඇති බවකි. ඒ හරහා දහස් ගණනකගේ රැකියා අනතුරක ඇති බවද සජිත් එහිදී අවධාරණය කළේය. මෙම පුවත ඇතැම් මාධ්‍ය වර්තා කිරීමටද පියවර ගෙන තිබිණි.
මීට අමතරව අප වෙත ලැබුණු තවත් තොරතුරකින් කියැවෙන්නේ තවත් ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වසා දැමීමට මේ වනවිට තීරණය කොට ඇති බවකි. කිසියම් ආයෝජකයෙක් එම ඇඟලුම් කර්මාන්ත ශාලාව තවදුරටත් පවත්වාගෙන යෑමට ඉදිරිපත් වුවත්, රජය පැත්තෙන් ඊට නිසි සහායක් නොලැබීම හේතුකොට ගෙන එම ආයෝජකයාද මේ වනවිට සිය අදහස අත්හැරගෙන සිටින බවක් දැනගන්නට ඇත. මෙම අවදානම ලබන සඳුදා දිනයේදී ඇමෙරිකාව සහ බංග්ලාදේශය අතර අවසන් තීරුබදු ගිවිසුම අස්සන් කිරීමෙන් පසු තවදුරටත් තීව්‍ර වනු ඇති බවක්ද දැකගන්නට පුළුනව. ඒ අනුව ඉදිරි මාස කීපය ලංකාවේ බොහෝ පෙරළි සිදුවිය හැකි මාස කීපයක් වනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය. එහිදී ආර්ථික පෙරළි, දේශපාලන පෙරළි මෙන්ම ජනතා පෙරළිද දැකගත හැකි වනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය.










