සෑම සතියේ දිනෙකම රාජගිරිය හරහා කඩුවෙල – කොල්ලුපිටිය මාර්ග අංක 177 සහ දෙහිවල – කරගම්පිටිය සිට හෙට්ටියාවත්ත බලා ධාවනය කෙරෙන මාර්ග අංක 176 බස් රථවල පැමිණ රාජ්‍ය අංශවල සහ පෞද්ගලික අංශවල රැකියා කරන බොහෝ පිරිසකට මෑතක සිට තම රාජකාරී ආයතනවල රතුඉර වදින තත්ත්වයක් උද්ගතව ඇතැයි එම සේවක පිරිස් මැසිවිලි නගති.Sri Lanka Latest News
මෙම තත්ත්වයට බෙහෙවින් බලපා ඇත්තේ රාජගිරිය හරහා පැමිණෙන ඉහත කී බස් රථවලට ආයුර්වේද හන්දියෙන් (ඇන්.ඇම්. පෙරේරා පිළිරුව) වමට හැරී කාසල් වීදියට බස්රථ යොමුකර ගැනීමේදී රථවාහන පොලිසිය මගින් ඉතාම කෙටි කාලපරාසයක් ලබාදීම නිසා බවද, උදේ රැකියා සඳහා පැමිණෙන පිරිස්වලට කොළඹ දෙසට ඇතුළු වීමට වඩා කොළඹ දෙසින් පිටවීමට අධික කාලයක් ලබාදීම නිසාද, මෙම තත්ත්වය උද්ගතව ඇති බවද ඉහත කී සේවක පිරිස් පෙන්වා දෙති.
එසේම රාජගිරිය අනෙක් පස, (ශ්‍රී ජයවර්ධනපුර මහ නගරසභාව අසල) මාර්ගයේ පැමිණෙන වාහනවලට කාසල්වීදිය හරහාත්, කෝට්ටේ පාර හරහාත් වාහන ධාවනය කරවීමටත්, රාජගිරිය හරහා කොටා පාර හරහා බොරැල්ල දෙසට වාහන ධාවනය කරවීමටත් වැඩි කාල පරාසයක් ලබාදීමත්, මෙකී තත්ත්වයට බෙහෙවින් හේතුවී ඇතැයිද මෙම සේවකයෝ චෝදනා කරති.
මෙම තත්ත්වය හේතුකොට ගෙන සතියේ බොහොමයක් දිනවලදී ආයුර්වේද හන්දියේ සිට රාජගිරිය නගරය දක්වාම රථවාහන පෝලිම දිග්ගැසී පැවැතීම රථවාහන පොලිසියට නොපෙනීම ප්‍රශ්නයක් බවද ඔවුහු වැඩි දුරටත් පෙන්වා දෙති.
නන්දන ශ්‍රී දොරකුඹුර










