ඇමෙරිකාවේ වෙනිසියුලා ආක්‍රමණය හෙළාදැක්ක රටවල් අතර චීනය ප්‍රධානය. චීන විදේශ ඇමැති පසුගියදා ට්‍රාන්සිට් සංචාරයකට ලංකාවට ආ අතර, විදේශ ඇමැති විජිත හේරත් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. එම සාකච්ඡාවලදී චීන විදේශ ඇමැති ඇමෙරිකාවේ වෙනිසියුලා ආක්‍රමණය ගැන සාකච්ඡා කළ බව එම හමුවෙන් පසු නිකුත් කළ නිවේදනයෙන් පැහැදිලිය. දෙරටේ විදේශ ඇමැතිවරුන්ගේ හමුවේදී නිකුත් කළ නිවේදනයේ එවැන්නක් සඳහන්ව තිබිණි.Sri Lanka Latest News
කෙසේ හෝ එම හමුවට පසු විදේශ ඇමැති විජිත හේරත් වෙනිසියුලා විදේශ ඇමැති සමග දුරකතනයෙන් සාකච්ඡා කර තිබිණි. එම දුරකතන සංවාදය පිළිබඳ වෙනිසියුලා විදේශ ඇමැති Gil Pinto ඔහුගේ ටෙලිග්‍රෑම් චැනලයේ සඳහන් කර තිබිණි.
ඇමෙරිකාවේ වෙනිසියුලා ආක්‍රමණය සම්බන්ධයෙන් දකුණු ආසියාවේ රටවල් ඇමෙරිකාව හෙළාදැකීමට බය විය. ඉන්දියාව පවා මේ සම්බන්ධයෙන් තම අවධානය යොමුවී ඇති බව සඳහන් කළා මිස ඇමෙරිකාව හෙළාදැක ප්‍රකාශ නිකුත් කළේ නැත. නේපාලයද සිදුකළේ එවැනි ප්‍රකාශයකි. පාකිස්තානය සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳාගත යුතු බව නිවේදනය කළේය. මාලදිවයින නිශ්ශබ්ද විය. බංග්ලාදේශයේ වාමාංශික පක්ෂ ඇමෙරිකානු ආක්‍රමණය හෙළාදැක්කා මිස ආණ්ඩුව නිවේදන නිකුත් කළේ නැත.
එහෙත් ආක්‍රමණය සිදුවූ විගසම ජවිපෙ එය හෙළාදකිමින් නිවේදනයක් නිකුත් කළේය. ඉන් පසු සභානායක සහ ඇමැති බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ඇමෙරිකාව හෙළාදකිමින් ප්‍රකාශයක් සිදු කළේය. විදේශ ඇමැති විජිත හේරත් සහ වෙනිසියුලා විදේශ ඇමැති අතර දුරකතන සංවාදය සිදුවන්නේ මේ අතරතුරදීය.
දකුණු ආසියාවේ කිසිදු රටක් වෙනිසියුලාවේ විදේශ ඇමැති සමග සාකච්ඡා කළ බවක් දැනගන්නට නැත. ඒ දකුණ ආසියානු රටවල් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තියට දක්වන බය නිසා විය හැකිය. එසේ තිබියදී ලංකාවේ විදේශ ඇමැති වෙනිසියුලා විදේශ ඇමැති සමග සාකච්ඡා කිරීමට නිර්භය වීම අගය කළ යුතුය. හැබැයි මේ සාකච්ඡාව ඇමෙරිකාව කෙසේ කියවයිද කියන එක අවිනිශ්චිතය. විදේශ ඇමැති මේ දුරකතන සංවාදය කළේ චීනය සමග මේ ප්‍රශ්නය සාකච්ඡා කිරීමෙන් පසුව නම් ඇමෙරිකාවේ ප්‍රතිචාරය යහපත් නොවනු ඇත.










