මමත් ඇතුළුව බොහෝ දෙනකු ජවිපාණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ උද්දච්චකම ගැන අපැහැදීමෙන් කතාකරන බව ඔබට දැකිය හැක. එහෙත් උද්දච්ච ජවිපා දේශපාලකයන් පමණද?Sri Lanka Latest News
යූ.එන්.පී. ආණ්ඩුවේ සිටි අනුරාධපුර ප්‍රාදේශීය නායකයන් වූ ඒ.එම්.එස්. අධිකාරී, චන්ද්‍රා බණ්ඩාර, ජී.ඩී. මහින්දසෝම, ඩබ්.බී. ඒකනායක වැන්නන් සිටියේ පුදුමාකාර අහංකාරකමකිනි. ඉන්පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවල සිටි සී.වී. ගුණරත්න, රිචඩ් පතිරණ, මංගල සමරවීර, එස්.බී. දිසානායක, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ වැන්නන්ගේ උද්දච්ච හැසිරීම් ඔබට අමතක නැතැයි සිතමි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයේ සිටි මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ෆර්නැන්ඩෝ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන වැන්නන්ගේ කටහැකර කතා අද සිටින ඈයින්ට වඩා නින්දිත බව ඔබට හොඳින් වැටහේවි.
රනිල් වික්‍රමසිංහගේ කෙටිකාලීන ආණ්ඩුවේ ඈයින්නම් කට පරිස්සම් කරගෙන හිටියේ එසේ නොකර බැරි නිසාවෙනි.
ඉතින් අපිට නලින්ද ජයතිස්ස, සුනිල් හඳුන්නෙත්ති, සමන්ත විද්‍යාරත්න, කේ.ඩී. ලාල්කාන්ත, බිමල් රත්නායක වැන්නන්ගෙන් ශාන්තුවර හැසිරීමක් බලාපොරොත්තු විය හැකිද? උත්තරය ‘බැහැ’ යන්නය. ඔවුන්ද තව අවුරුදු හතරකින් ඡන්දයකට යායුතුය. අපේ ඡන්දදායකයන්ගේ මනෝභාවයන් අනුව ඔවුන් ඡන්දය දෙන්නේ, ‘අපේ (හිස්තැනක්) සහෝදරයා පාර්ලිමේන්තුවේ/ටීවී එකේ/රැස්වීමේ ඇට්ටි හැලෙන්න දුන්නා’ කියා හිතන කෙනාට මිස වෙන කිසි ලබ්බකට නොවෙන බව වත්මන් ජවිපා දේශපාලකයෝ හොඳින්ම දනිති. ඔවුන් තම කාඩරයට හෝ ඡන්දදායකයන්ට කිසිදා දේශපාලන සාක්ෂරතාවක් ලබා නොදෙන්නේ ඒ නිසාය.
ඔබ වත්මන් දේශපාලකයන්ගෙන් සැබෑ වෙනසක් බලාපොරොත්තු වූයේ නම් ඔවුන්ගේ හැසිරීම ගැන කනස්සලු වනු ඇත. මම කිසිදා එවැන්නක් ඔවුන්ගෙන් බලාපොරොත්තු නොවුණු නිසා කිසිදු කම්පනයක් මට නැත.
නන්ද වන්නිනායක










