රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් තවදුරටත් තබා ගැනීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර අවසන් එකගතාවක් මේ වනවිට ඇතිවී තිබෙන බව දැනගන්නට තිබේ.
මහමැතිවරණයෙන් ලද බරපතළ පරාජයත් සමග පක්ෂ නායකත්වය වෙනස් විය යුතු බවට විශාල මතයක් පක්ෂය තුළ මතුවුවත් පසුගිය දින කිහිපය තුළ සිදුවූ යම් යම් සිදුවීම් මුල්කරගෙන නැවත වතාවක් පක්ෂ නායකයා වශයෙන් වික්‍රමසිංහ මහතා සමග කටයුතු කිරීමට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් තීන්දු කර ඇත.
මෙහිදී මුල් වටයේදී වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කිරීමත් සමග පක්ෂ නායකත්වය ලබා ගැනීම සදහා හිටපු කතානායක කරු ජයසූරිය මහතා තිරය පිටුපස මෙහෙයුමක් දියත් කොට තිබිණ.
සිය බෑණා වූ නවීන් දිසානායක ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු සම්බන්ධ කරගෙන කරු ජයසූරිය මහතා මෙම තිරය පිටුපස මෙහෙයුම දියත් කර තිබූ අතර නවීන් දිසානායක ලවා සිය නම එජාප නායකත්වයට යෝජනා කරවීමටද ජයසූරිය මහතා පියවර ගෙන තිබිණ.
කෙසේවෙතත් කරු ජයසූරිය මහතාගේ නමට පක්ෂයේ අතිබහුතරයක් විරෝධය පළ කිරීමත් සමග මේ වනවිට පක්ෂ නායකත්වයෙන් ජයසූරිය මහතා ඉවත්ව තිබේ.
එහිදී අතිබහුතරයක් පිරිස පෙන්වා දී ඇත්තේ ජයසූරිය මහතා වරක් එජාපය කඩාගෙන 17 දෙනකුගේ කණ්ඩායමක් සමග මහින්ද රාජපක්ෂ මහතා ශක්තිමත් කිරීමට ගිය බවත්, මේ වනවිට ජයසූරිය මහතාගේ වයස අවුරුදු 82ද ඉක්මවා ගොස් ඇති බවත්ය. දැන් එජාපයට අවශ්‍යව ඇත්තේ තරුණ නායකත්වයක් බවද ජ්‍යෙෂ්ඨයන් එහිදී පෙන්වා දී ඇත.
ඒ අනුව ජයසූරිය මහතාගේ නම නායකත්ව සටනින් ඉවත් වීමත්, එජාප ජ්‍යෙෂ්ඨයන් වූ රවි කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, දයා ගමගේ, පාලිත රංගේ බණ්ඩාර වැන්නවුන් තරගයට පිවිසීම හේතුකොටගෙන පක්ෂ අභ්‍යන්තරය තුළ යළි අර්බූදයක් මතුවීමත් සමග නව නායකත්වයක් පක්ෂයට ලබා දෙන තුරු නායකත්වයේ සිටීමට රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු කර තිබේ.
එමෙන්ම පක්ෂයට හිමිව ඇති එකම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන්ද මේ වනවිට විශාල මතගැටුමක් මතුව ඇති නිසා එම මන්ත්‍රී ධූරයෙන් තමන්ම පාර්ලිමේන්තුවට පැමිණීමට මේ වනවිට වික්‍රමසිංහ මහතා තීන්දු කර ඇති බවද වාර්තා වේ.
ඒ අනුව මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කොට ඇති වික්‍රමසිංහ මහතා තම අනුදැනුමකින් තොරව ජාතික ලයිස්තුව සම්බන්ධයෙන් කොමිසම වෙත එවනු ලබන කිසිදු ලිපියක් පිළිනොගන්නා ලෙස දැනුම් දීමක්ද කර තිබේ.
කෙසේවෙතත් මේ තත්ත්වය යටතේ නායකත්ව සටනට පිවිස සිටි පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිහඩ වීමට තිරණය කොට ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව කිසිදු මාධ්‍යයකට පිළිතුරු ලබා නොදී පසෙකට වී සිටීමටද ඒ මහතා තීන්දු කර ඇති බවද දැනගන්නට තිබේ.










