අලුතින් ලියාපදිංචි කරන ලද යතුරුපැදි ඇතුළු රථ වාහන ලක්ෂ දෙකහමාරකට අධික සංඛ්‍යාවකට තවමත් අංක තහඩු නිකුත් කර නැතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
Sri Lanka Latest News
දිගු කලක් අංක තහඩු සැපයූ ආයතනය සමග ඇති කරගෙන තිබූ ගිවිසුම ඉකුත් 2024 අප්‍රේල් මස 30 වන දායින් අවසන් වී තිබූ අතර විවිධ හේතූන් මත අදාළ සේවා සැපයුම්කරුවෙකු නොමැති වීමෙන් මෙම තත්ත්වය උද්ගතව තිබේ.
කෙසේ වෙතත්, මෙම පොරොත්තු ලැයිස්තුවේ ඇති නව මෝටර් රථ සඳහා ඉදිරි මාස තුන ඇතුළත අංක තහඩු නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ වන විට කැබිනට් අනුමැතියකින් නව සැපයුම්කරුවෙකු තෝරාගෙන එම සැපයුම්කාර ආයතනය සමග ඒ සඳහා වූ ගිවිසුමට පසුගිය සතියේ අත්සන් කර අවසන් වූ බවත් ඒ අනුව ඉදිරි මාර්තු මාසයේදී පමණ අංක තහඩු නිකුත් කිරීමට හැකිවනු ඇති බවත් එම ප්‍රකාශකයා කීය.
රථ වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට ගෙන්වා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අලුතින් ලියාපදිංචි වී ඇති වාහනවලින් වැඩිම ප්‍රමාණය යතුරුපැදි හා මෝටර් කාර් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පසුගිය (2025) වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ යතුරුපැදි 2,54,817ක් මෝටර් කාර් 68,047ක් අලුතින් ලියාපදිංචි කර ඇත.
මෙයට අමතරව ත්‍රිරෝද රථ 17,332ක්, ද්විත්ව කාර්ය වාහන 6,936ක්, සින්ගල් කැබ් 2,642ක්, බස් රථ 2,096ක් ඉඩම් වාහන 6,027ක් ආදී වශයෙන් පසුගිය වසරේ දෙසැම්බර් දක්වා කාලය තුළ පමණක් විවිධ කාණ්ඩයන්ට අයත් වාහන 3,62,100ක් අලුතින් ලියාපදිංචි කර තිබේ.
කෙසේ වෙතත්, පසුගිය වසරේ වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු 2025 අප්‍රේල් මාසයේ සිට ආනයන කරනු ලැබූ රථ වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීමට ඇති අතර යතුරුපැදි සඳහා ජනවාරි මාසයේ සිට අංක තහඩු නිකුත් කිරීමට හැකි බව මෝටර් රථ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ය.
කොවිඩ් අර්බුදය සහ ඉන්පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් රට විදේශ විනිමය හිඟයකට මුහුණ දීම නිසා රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස වාහන ආනයනය නවතා දැමුණේ 2020දී ය.
2025 ඉකුත් ජනවාරි මස 28 වන දා රජය වාහන ආනයනය සඳහා නැවත අවසර ලබා දුන්නේ වසර පහකට පසුව ය.










