• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔක්සිජන් 85ට බැහැලා! සිහියක් නෑ! සජිත් රාගම ඉස්පිරිතාලෙදි දුටු නන්දනගේ අන්තිම මොහොත! රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

January 25, 2026
in Exclusive, Rajya Rahas
Reading Time: 15 mins read
A A
Share on WhatsAppShare on Facebook

නන්දනත් ආණ්ඩු පෙරළයිද?

ස්වභාවික මරණ හෝ වේවා ඝාතන හෝ වේවා කාලයෙන් කාලයට ලංකාවේ දේශපාලනය සම්පූර්ණයෙන්ම වෙනස් කළ දේශපාලන මරණ ඉතිහාසයේ සිටම දැකගන්නට තිබිණි. 1956 බලයට පත්වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතනයෙන් පසු දේශපාලනයට කිසිදු සම්බන්ධයක් නොතිබුණු සිරිමාවෝ මැතිනියට දේශපාලනයට පැමිණීමට පාර කැපිණි. ඩඩ්ලි සේනානායකගේ ස්වභාවික මරණයෙන් පසු ජේ.ආර්. ජයවර්ධනට බලයට පැමිණීම සඳහා පාර කැපිණි. විජය කුමාරතුංගගේ ඝාතනයෙන් පසු දේශපාලනයේ නොසිටි චන්ද්‍රිකා කුමාරතුංගට දේශපාලනයට පැමිණීම සඳහා පාර කැපිණි. මේ ආදී වශයෙන් දේශපාලනයේදී ස්වභාවික මරණයක් හෝ වේවා ඝාතනයක් හෝ වේවා එය සුළු කොට තැකිය නොහැකි එකක් බව අතීත සිදුවීම්වලින් තහවුරු කොට තිබේ. එනයින් ගත් කල පසුගිය සතියේ සිදුවූ නන්දන ගුණතිලක මහතාගේ මරණයද මේ වනවිට දේශපාලන මරණයක් බවට පත්වන ලකුණු පහළ කොට තිබේ.Sri Lanka Latest News

නන්දන ගුණතිලක යනු ජවිපෙ 88-89 කැරැල්ලේ සිටි මුල් පෙළේ සාමාජිකයෙකි. විජේවීරගේ මරණයෙන් පසු ජවිපෙ යළි රට ඇතුළේ ගොඩනැගීම සඳහා සිය ජීවිතයම කැපකළ නායකයෙකි. 89 සිට යටිබිම්ගත සැඟවුණු දේශපාලනයේ නිරත වූ නන්දන පක්ෂය යළිත් ජනතාව අතරට ගෙන යෑම සඳහා කරළියට පිවිසි ප්‍රධාන පුරුකය. ඒ අනුව 1999 ජනාධිපතිවරණයේදී නන්දන ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණ තරග කළේය. ජවිපෙ යළි ජනතාව අතරට රැගෙන යෑමට සිය ජීවිතයම කැපකළ එහෙව් නන්දන ජවිපෙ ආණ්ඩුවක් යටතේම මරණයට පත්වීම විශේෂ සිදුවීමක් වන අතර, මේ වනවිට එය ස්වභාවික මරණයක්ද, එසේත් නැත්නම් ඝාතනයක්ද යන්න සැක සිතෙන තරමට විශාල කතාබහක් සමාජය ඇතුළේ නිර්මාණය වී තිබීමද විශේෂිතය.

ජවිපෙට ප්‍රහාර

පසුගිය කාලයේ යම් දේශපාලන නිහැඬියාවක සිටියද ජවිපෙ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව බලයට පත්වීමත් සමග නන්දනද හිටි අඩියේ යළිත් මතුවිය. ජවිපෙන් සිය දේශපාලනය ආරම්භ කළද පසුව නන්දන මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්විය. ඉන් පසුව ජවිපෙන් ඉවත්වී විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ සමග එක්විය. අවසානයේදී ඉන් ද ඉවත් වූ නන්දන එජාපයට එක්වී පානදුර එජාප නගරාධිපතිවරයා බවටද පත්විය. ඉන් අනතුරුව කලක් නිහඬව සිටි නන්දන ජවිපෙ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව බලයට පත්වීමත් සමග න්‍යායාත්මකව ජවිපෙ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීමට පියවර ගත්තේය. එමෙන්ම ජවිපෙ සම්බන්ධයෙන් දැවැන්ත හෙළිදරව් කිරීම් රැසක් සිදුකිරීමටද නන්දන කටයුතු කළේය. ඉන් ප්‍රධානතම හෙළිදරව්වක් වූයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සම්බන්ධයෙන් සිදුකළ චෝදනාවය. පසුගිය කාලයේදී දේශපාලනඥයන් රැසක්ම පෝලිමේ අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසම කටයුතු කරද්දී ඒවා දේශපාලනික සහ පක්ෂග්‍රාහී අත්අඩංගුවට ගැනීම් බව ප්‍රකාශ කළ නන්දන ජවිපෙ සහ රංග දිසානායක මහතා අතර අතීත සම්බන්ධයක් ඇති බව හෙළිදරව් කර සිටියේය. එහිදී නන්දන කළ චෝදනාව වූයේ රංග දිසානායක අතීතයේදී ජවිපෙ නීති කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති බවය. නන්දනගේ මෙම හෙළිදරව් කිරීමත් සමග ඊට විශාල ප්‍රචාරයක් ලැබුණු අතර, රංග දිසානායක මහතා ඇතුළු පාර්ශ්වයන් කිහිපයක් එය ප්‍රතික්ෂේප කළ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. එහිදී නන්දනට එරෙහිව නඩු පවරන බව ප්‍රකාශ වුවද, එවැනි නඩුවක් පැවරුණේද යන්න සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබුණේ නැත.

මීට අමතරව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සම්බන්ධයෙන්ද, ජවිපෙ අභ්‍යන්තර ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ද බරපතළ විවේචනයක් නන්දන සතුව තිබිණි. ජවිපෙන්ද ඊට පෙරළා නන්දනට ප්‍රසිද්ධියේ පහර දීමක් සිදුකෙරුණු අතර, ජවිපෙ සාමාජිකයන් අතර නන්දන ද්‍රෝහියෙක් ලෙස සැලකිණි.

ඉකුත් මැතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දුවක් අනුව මාලිමා ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට සූදානම් වෙද්දී ඊට එරෙහිවද නන්දන ප්‍රබල ප්‍රහාරයක් දියත් කළේය. එහිදී නන්දන කියා සිටියේ තමන්ට වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් නොමැති බවත්, තමන් ජීවත් වන්නේ මන්ත්‍රී විශ්‍රාම වැටුපෙන් බවත්ය. යම් හෙයකින් ආණ්ඩුව විශ්‍රාම වැටුප අහෝසි කිරීමට කටයුතු කළහොත් තමන් සියදිවි නසාගන්නා බවද නන්දන ප්‍රසිද්ධියේ කියා සිටියේය. දෛවෝපගත සිදුවීම වන්නේ ආණ්ඩුව මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනැවිත් දින කිහිපයක් ගතවූ තැන අබිරහස් ලෙස නන්දන මරණයට පත්වීමය. එහිදී නන්දනත් සමග සිටි බොහෝ දෙනා ප්‍රසිද්ධියේම චෝදනා එල්ල කරමින් කියා සිටියේ එය ස්වභාවික මරණයක් නොව දේශපාලන ඝාතනයක් බවත්, ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්ය. එහිදී තමන්ට මරණ තර්ජන ඇති බවට නන්දන ‘ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය’ට පැමිණිලි කළ බවක්ද වාර්තා විය. ඒ බව තහවුරු කරමින් නන්දනගේ මරණයෙන් පසු එහි විධායක අධ්‍යක්ෂවරිය මාධ්‍යයට ප්‍රකාශයක් ද සිදුකර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා පොලිස්පතිවරයාට ලිපියක් පවා යොමුකිරීමට කටයුතු කොට තිබිණි. එමෙන්ම අවමඟුල් උත්සවයේදී මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශ කීපයක්ම සිදුකරමින් නන්දනගේ සමකාලීන සටන් සගයකු වන විමල් වීරවංශ නන්දන විසින් ඔහුට අවසන් වශයෙන් එවන ලද වට්ස්ඇප් පණිවුඩයක් ප්‍රකාශයට පත්කිරීමටද පියවර ගත්තේය. එහි සඳහන් වූයේ තමන් ඝාතනය කිරීමට යොදාගත හැකි උපාය මාර්ග කිහිපයක් ඇතැමුන් විසින් තෝරාගෙන ඇති බවය. විමල් සිය කතාව අවසන් කළේ ජවිපෙ යනු එවැන්නක් කළ හැකි පක්ෂයක් බවට තමන් අත්දැකීමෙන් දන්නා බවද ප්‍රකාශ කරමිනි.

දැන් තමයි පටන් ගන්නේ

කෙසේ වෙතත් දැන් නන්දන මියගොස් අවසානය. ඒ අනුව නන්දනගේ මරණයත් සමග සියල්ල අවසන් වනු ඇති බව කවුරුන් හෝ සිතා සිටියද අපට කීමට ඇත්තේ අනෙකුත් දේශපාලන මරණ මෙන්ම මෙම දේශපාලන මරණයද එසේ අවසන් නොවන බවය. යම් හෙයකින් වත්මන් ජවිපෙ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව බලයට පත්වී කෙදිනක හෝ වෙනත් ආණ්ඩුවක් බලයට පත්වූ දිනක නන්දනගේ මරණය යළි කරළියට පැමිණීම අනිවාර්යය. නන්දනගේ මරණය දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වීම අනිවාර්යය. ඉදිරි ආණ්ඩුවකදී ජනාධිපති විමර්ශන කමිටු හෝ වෙනත් කමිටුවක් පත්කොට නන්දනගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමද නියත වශයෙන්ම සිදුවනු ඇත. ඒ අනුව නන්දනගේ මරණයත් සමග සියල්ල අවසන් වනු ඇති බව බොහෝ දෙනා සිතා සිටියද එය ඉදිරි කාලයේදී දිගින් දිගටම කතා කරන දේශපාලන මරණයක් බවට පත්වීම කිසිසේත්ම වැළැක්විය නොහැක. මුලින් ආදාහනය කිරීමට තීරණය වී පසුව නන්දනගේ දේහය භූමදානය කිරීමට පවුලේ ඥාතීන් විසින් තීරණය කළේද මෙම අරමුණ සිතේ තබාගෙන විය යුතුය.

නන්දන අසරණ වූ අන්තිම පැය

කෙසේ වෙතත් අද අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ නන්දනගේ අවසන් මොහොත සම්බන්ධයෙන් කිසිවකුත් නොදැන සිටි තවත් විශේෂ තොරතුරු කිහිපයක් හෙළිදරව් කිරීමට සූදානම්ය. නන්දන ගුණතිලක මරණයට පත්වූ පසු බොහෝ දෙනා රූපවාහිනියේ නන්දන අවසන් වරට දේශපාලනය කළ එජාපයේ නායකයන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන් උදව් උපකාර කරනු, ප්‍රකාශ නිකුත් කරනු දැකිය හැකි වුවද නන්දනගේ අවසන් මොහොත සිදුවන විට ඒ කිසිදු පුද්ගලයකු ළඟ සිටි ආකාරයක් දැකගන්නට නොවීය. නන්දනගේ අවසන් මොහොත ඒ තරමටම දුක්මුසු සහ අසරණ එකක් බවට පත්විය. හදිසියේ මතුවූ රෝගී තත්ත්වයක් හේතුකොට ගෙන නන්දන මුලින්ම ඇතුළත් කෙරුණේ ජයවර්ධනපුර රෝහලටය. දින කීපයක් එහි ප්‍රතිකාර ගත්තද රෝහල් බිල්පත ගෙවාගැනීමට තරම් හෝ වත්කමක් නොතිබීම හේතුවෙන් අවසානයේදී නන්දනගේ පවුලේ ඥාතීන් ජයවර්ධනපුර රෝහලෙන් ටිකට් කපාගෙන නන්දන රාගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තේය. ජයවර්ධන පුර රෝහලේ ලක්ෂ හතරහාමරක බිල පවා ඔවුන් ගෙවනු ලැබූවේ එකඑක්කෙනාගෙන් ඉල්ලා ගත් මුදලිනි.

නමුත් රාගමදීද නන්දනට හරිහමන් ප්‍රතිකාරයක් ලැබෙනවාද ඔහුගේ තත්ත්වය කෙසේද යන්න පිළිබඳ හෝ සොයා බැලීමට නන්දන අවසන් වරට නියෝජනය කළ දේශපාලන පක්ෂයේ කිසිවකුත් කටයුතු කර තිබුණේ නැත. අවසානයේදී නන්දනගේ උදව්වට පැමිණියේ නන්දන සමග කිසිදු දිනෙක දේශපාලනය නොකළ, ඇතැම් අවස්ථාවල නන්දනගේම විවේචනයට ලක්වූ දේශපාලන නායකයෙකි. ඒ, අන් කිසිවකු නොව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය.

සජිත්ට ලන්ඩන්වලින් පණිවුඩයක්

පසුගිය සතියේ නන්දන සම්බන්ධයෙන් සජිත්ට පළමු ඇමතුම ආවේ ලන්ඩනයේ සිටින සිය හිතවතෙකුගෙනි. එහිදී සජිත්ට දුරකතන ඇමතුමක් ලබාදී තිබූ එම හිතවතා කියා සිටියේ නන්දනගේ තත්ත්වය ඉතා අයහපත් බවත්, නන්දන මේ වනවිට රාගම රෝහලේ ජීවිතයත් මරණයත් අතර සටනක සිටින බවත්, අවම වශයෙන් නන්දන අවසන් වරට නියෝජනය කළ පක්ෂයෙන් හෝ කිසිදු උදව්වක් ඔහුට නොලැබෙන බවත්ය. නන්දනත් සමග එකට සිටි ‘රටේ රාළ’ යන ආරූඪ නාමයෙන් සමාජ මාධ්‍යයේ ජවිපෙට ප්‍රහාර එල්ල කරමින් ලිපි ලියන අයකු තමන්ට මේ බව දැනුම් දුන් බවත්, හැකි නම් නන්දනට උදව් කරන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවත් මෙහිදී නන්දනගේ හිතවතා සජිත්ට දැනුම් දී සිටියේය. එහිදී සජිත් සිය හිතවතාට පෙරළා කියා සිටියේ තමන් නන්දන සමග පෞද්ගලිකව හෝ කිසිදු හිතවත්කමක් හෝ නොමැති බවත්, තමන් සමග දේශපාලන සිදුකොට නොමැති නමුත් නන්දන යනු අවංක දේශපාලකයකු බවට තමන් හඳුනාගෙන ඇති බවත්ය. ඒ අනුව වහාම පවුලේ ඥාතියකු ලවා තමන්ට ඇමතුමක් දෙන ලෙසද සජිත් එහිදී සිය ලන්ඩන් හිතවතාට දැනුම් දී සිටියේය

ඒ අනුව පසුගිය සිකුරාදා (16) සිය දේශපාලන වැඩකටයුතු අවසන් කොට නිවසට පැමිණ සුළු මොහොතකට පසු නන්දනගේ පවුලේ ඥාතීන්ගෙන් සජිත්ට දුරකතන ඇමතුමක් ලැබිණි. එහිදී නන්දනගේ තත්ත්වය ඉතා අයහපත් බවත්, හැකි නම් නන්දනට උපකාර කරන ලෙසත් කළ දැනුම්දීමකට අනුව දවසේ වැඩකටයුතු සිදුකොට තිබූ වෙහෙස හෝ නොසිතා සජිත් කියා සිටියේ තමන් මේ මොහොතේම රාගම රෝහලට ගොස් නන්දනට කළ හැකි සෑම උපකාරයක්ම සිදුකිරීමට කටයුතු කරන බවය. ඒ කී ලෙසටම සජිත් වහාම හැඳ පැලඳගෙන සිය රියැදුරු සමගින් ඒ මොහොතේම රාගම රෝහලට යෑමට කටයුතු කළේය. එලෙස ගොස් බලන විටද නන්දන සිටියේ අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව රෝහලේ සාමාන්‍ය වාට්ටුවකය. ඒ අනුව වහාම රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා දුරකතනයෙන් සම්බන්ධ කරගත් සජිත්, රෝහලේ සාමාන්‍ය ඇඳක නන්දන ගුණතිලක අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත්, ඔහු රටට වටිනා අවංක දේශපාලන චරිතයක් බවත්, හැකි නම් ඉහළ අවධානයක් ලබාදී නන්දනගේ ජීවිතය බේරාගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් සජිත් රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඔක්සිජන් 85ට බහී

සජිත්ගේ එම දුරකතන ඇමතුමෙන් පසු එතෙක් පැවැති තත්ත්වය වෙනස් වී රෝහල පැත්තෙන් නන්දනට දැඩි අවධානයක් යොමුවූ ආකාරයක් දැකගත හැකි විය. ඒ වනවිටත් නන්දනගේ සිරුරේ ඔක්සිජන් ප්‍රමාණය 85ට පමණ අඩුවී තිබීම හේතුවෙන් ඔහු සිටියේ සිහිසුන්වය. ඒ අනුව වහාම නන්දනව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට යෝජනා වුවත් ඒ මොහොතේ දැඩි සත්කාර ඒකකයේ නන්දන වෙනුවෙන් ඇඳක් සොයාගැනීමට හෝ නොහැකි තත්ත්වයක් තිබිණි. නමුත් සජිත්ගේ මැදිහත් වීම මත රෝහල් පාලනාධිකාරිය වහාම නන්දන වෙනුවෙන් දැඩි සත්කාර ඒකකයේ ඇඳක් ලබාදීමට විනාඩි කීපයක් ඇතුළත කටයුතු කෙරිණි. ඒ අනුව නන්දනව වහාම දැඩි සත්කාර ඒකකයට යොමුකිරීමට රෝහල් බලධාරීන් පියවර ගත්තේය. නන්දන දැඩිසත්කාර ඒකකයට යොමුකොට ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලැබෙන බව තහවුරු කරගැනීමෙන් පසු සජිත් රාගම රෝහලෙන් පිටවෙද්දී මධ්‍යම රාත්‍රියද පසුවී බොහෝ වේලාවක් ගතවී තිබිණි.
කෙසේ වෙතත් අවසන් මොහොතේ හෝ නන්දන ගුණතිලකගේ ජීවිතය බේරාගැනීමට සජිත් මැදිහත්වී උත්සාහයක් දැරුවද ඔහුගේ ජීවිතය බේරාගැනීමට නොහැකි වූයේ ඒ වනවිටත් ඔහු ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවීම නිසාය. තමන් ඊට පෙර නන්දන සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කවුරුන් හෝ කටයුතු කළේ නම් ඔහුගේ ජීවිතය බේරාගැනීමට අනිවාර්යයෙන් හැකියාව තිබූ බව නන්දනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි සජිත් කියා සිටියේ ඒ නිසාය. කෙසේ වෙතත් අවසන් මොහොතේ හෝ කළ දැනුම්දීමෙන් පසු නන්දනගේ ජීවිතය බේරාගැනීමට ඉදිරිපත් වූ එකම දේශපාලන නායකයා සජිත් වීම නිසා නන්දනගේ පවුලේ ඥාතීන්ගෙන් සජිත්ට හිමිවූයේ කිසිවකුටත් නොලැබුණු විශේෂ ස්තුතියකි.

රටේ රාළගේ කතාව

මේ බව පැහැදිලිව දැකගන්නට ලැබුණු අනෙක් සිදුවීම වූයේ ‘රටේ රාළ’ ලෙස සමාජ මාධ්‍යයේ දේශපාලන ලිපි ලියන හිටපු ජවිපෙ සාමාජිකයා නන්දනගේ මරණයට පෙර සහ නන්දනගේ මරණයට පසු පළකර තිබූ දේශපාලන ලිපිවල සජිත් සම්බන්ධයෙන් කර තිබූ අදහස් පළකිරීම්ය. එහිදී නන්දනගේ මරණයට පෙර ‘රටේ රාළ’ගේ දැඩි විවේචනයට සජිත්ව ලක්ව තිබිණි. නමුත් නන්දනගේ අවසන් මොහොතේදී සජිත් කටයුතු කළ ආකාරය සහ නන්දන දේශපාලන කටයුතු කළ පක්ෂයේ පිරිස් හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් ‘රටේ රාළ‘ සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තැබීමට කටයුතු කොට තිබිණි. පහත පළවන්නේ ‘රටේ රාළ‘ නන්දන ගනුදෙනු නොකළ සජිත් සම්බන්ධයෙන් ලියා තිබූ ආකාරයය.

සජිත් ගැන ලියපු දේ!

‘රටේ රාළගේ UK ඉන්න යාළුවෙක් වුණු නීතිඥ ජනක පීරිස් කතා කරලා කිව්වේ සජිත් ප්‍රේමදාස නන්දනගේ නංගිගේ phone number එක ඉල්ලනවා කියලා. මම එයාට නම්බරය දීලා අක්කට මැසේජ් එකක් දැම්මා Sajith will call you කියලා.

ඒ සැණින් සජිත් අක්කට කෝල් එක අරන් තිබුණා. ඒ වගේම රාගම රෝහලේ ඩිරෙක්ටර් කොන්ෆරන්ස් කෝල් එකට අරන් තිබුණා. අක්කා ඉල්ලලා තිබුණා මට රෝහලේ ඉන්න අවසර දෙන්න කියලා. ඒකට අධ්‍යක්ෂ ok කරලා එන්න කියලා තිබුණා. අක්කා එහෙන් පිටත් වෙද්දී සජිත් රාගමට ඇවිත්. සජිත් එනකොට ප්‍රතිකාර යම් පමණකට පටන් අරන්. එතකොටත් නන්දන රාගම HDU එකට මාරුකරලා තිබුණේ. සජිත්ගේ මැදිහත්වීමත් එක්ක සියලු දේ වේගවත් වුණු බව කියන්න ඕනි ඇත්තටම සජිත් එච්චර සංවේදී කෙනෙක් කියලා රටේ රාළ හිතුවේ නෑ. සජිත් එක්ක දේශපාලන මතගැටුම් තියෙනවා. ඒත් මේ විශිෂ්ට මනුෂ්‍යත්වය අගය කරන්න රටේ රාළ කිසිසේත් පසුබට වෙන්නේ නෑ. හදවතින්ම ස්තුතියි සජිත්….’

රන්වල වදයක් වෙයි

නන්දනගේ මරණය ඉදිරි කාලයේදී ජවිපෙ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව දේශපාලන වශයෙන් වරින් වර කොනිත්තන සිදුවීමක් බවට පත්වීමේ වැඩි ඉඩක් පවතිද්දී මාලිමා ආණ්ඩුව පත්වූ දින සිට මේ දක්වාම ආණ්ඩුව දේශපාලන වශයෙන් කොනිත්තන තවත් සිදුවීමක්ද දැකගන්නට තිබේ. ඒ, හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ උපාධි සහතිකය සම්බන්ධ සිද්ධියය. ඉකුත් මැතිවරණ සමයේදී අශෝක රන්වල ගම්පහින් මාලිමාව යටතේ තරග කළේ ‘ආචර්ය අශෝක රන්වල’ ලෙස හඳුන්වා ගනිමිනි. ඒ අනුව ගම්පහින් ඉහළින් ජයග්‍රහණය ලබා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස ජවිපෙ තේරීම වූයේ මේ කියන ආචාර්ය අශෝක රන්වලය. මාලිමා ආණ්ඩුව බිහිකොට පැවැති පළමු පාර්ලිමේන්තු රැස්වීමේදී අගමැතිනි හරිනි අමරසූරිය කතානායක ධුරය සඳහා නාමයෝජනාව සිදුකළේද ආචාර්ය අශෝක රන්වල මහතා ඊට නම්කරන බව කියමිනි. ඒ අනුව ආචාර්ය අශෝක රන්වල කතානායක ධුරය සඳහා තේරී පත්වුවත් ඉතිහාසයේ එම තනතුර අඩුම කාලයක් දැරූ කතානායකවරයා ලෙස වාර්තා පොත් අතරට එක්වෙමින් ඔහුට දින කිහිපයකට පසු ඉන් ඉල්ලා අස්වීමට සිදුවිය. ඒ, විපක්ෂය විසින් අශෝක රන්වලට ආචාර්ය උපාධියක් නොමැති බවට චෝදනා කිරීම හේතුකොට ගෙනය. එහිදී රන්වලට සිය උපාධි සහතිකය ප්‍රසිද්ධ කිරීමට නොහැකි වූ අතර, කතානායක ලිපි ශීර්ෂයේම නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ සිය උපාධි සහතිකය ඉදිරියේදී ජනතාවට ලබාදීමට කටයුතු කරනවා යැයි කියාය. එහිදී කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයන්ද මාධ්‍ය හමුවේ කියා සිටියේ අශෝක රන්වලට ආචාර්ය උපාධියක් ඇති බවත්, එහි සහතිකය නොබෝ දිනකින්ම ඔහු රටට හෙළිදරව් කරනු ඇති බවත්ය.

කෙසේ වෙතත් මේ දක්වා අවුරුද්දකට අධික කාලයක් ගතව තිබුණද රන්වලගේ ආචාර්ය උපාධි සහතිකය රටට ඉදිරිපත් කිරීමක් සිදු නොවුණි. වරින් වර මාධ්‍ය ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් ඒ පිළිබඳ විමසද්දී නිශ්චිත පිළිතුරක් වෙනුවට ඔවුන්ගෙන් ලැබුණේ ප්‍රශ්නයෙන් ලිස්සා යන ආකාරයේ පිළිතුරුය. එම කාලය අතරතුර අශෝක රන්වල රිය අනතුරක් කිරීමේ සිදුවීමක් මුල්කරගෙන සමාජයේ විශාල මාතෘකා මැව්වේය. ඉන් අනතුරුව ඔහුගේ බිරියද රිය අනතුරක් සම්බන්ධයෙන් රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය.

බිමල් තිත තියයි

නමුත් මේ දක්වා නිශ්චිත අවසානයකින් තොරව ඇදි ඇදී ආ රන්වලගේ උපාධි ප්‍රශ්නයට තිත තැබීමට පසුගිය සතියේ ආණ්ඩුවේ සභානායක බිමල් රත්නායක මහතා පියවර ගත්තේය. ඒ, දෙරණ නාලිකාවේ 360 දේශපාලන සංවාදයට එක්වෙමිනි. සාමාන්‍යයෙන් බිමල් රූපවාහිනී දේශපාලන සංවාදවලට සහභාගි වන්නේ ඉතාම අඩුවෙනි. අවශ්‍යම අවස්ථාවකදී පමණක් රූපවාහිනී සංවාදයකට පැමිණ අදහස් දැක්වීම බිමල්ගේ සිරිතය. බිමල් එසේ පැමිණ කරන්නේද එසේ මෙසේ දේශපාලන ප්‍රකාශ නොව, රටේ සාකච්ඡාවට බඳුන් වන ආන්දෝලනාත්මක ප්‍රකාශය. ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ලැබූ දරුණු පසුබෑමෙන් පසු ආණ්ඩුවේම ස්වාධීන රූපවාහිනියට පැමිණි බිමල්, ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. එහිදී බිමල් කියා සිටියේ ආණ්ඩුවේ එන්ජිම වෙනස් කිරීමට කාලය පැමිණ ඇතැයි කියාය. එම ප්‍රකාශයෙන් බිමල් නොකියා කීවේ අගමැති ධුරයේ වෙනසක් සිදුවිය යුතු බවය. එමෙන්ම තමන් ඇතුළු අනෙකුත් අනෙකුත් ඇමැතිවරුන්ගේ වගකීම්ද වෙනස් විය යුතු බව එහිදී බිමල් කියා සිටියේය.

නමුත් බිමල් එම ප්‍රකාශය කොට පැය 24ක් ඉක්ම යෑමට මත්තෙන් ආණ්ඩුවේම ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකු වූ සුනිල් හඳුන්නෙත්තිත්, නලින්ද ජයතිස්සත් බිමල් කළ ප්‍රකාශයට හාත්පසින්ම වෙනස් ප්‍රකාශයන් සිදුකිරීමට පියවර ගත්තේය. එහිදී තිදෙනාම කියා සිටියේ අගමැති ධුරයේ වෙනසක් සිදු නොවන බවත්, අමාත්‍ය මණ්ඩලයේ වෙනසක් හෝ සිදු නොකරන බවත්ය. හඳුන්නෙත්ති සහ නලින්ද කී ආකාරයටම ආණ්ඩුව ඇතුළේ කිසිදු වෙනසක් සිදු නොවූ අතර, සිදුවූ එකම වෙනස්කම වූයේ බිමල් යටතේ තිබූ වරාය සහ නාවික අමාත්‍යාංශය ඔහුගෙන් ඉවත් කිරීම පමණි.
එදා ලක්ෂ 20කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් මාස 05ක් ඇතුළත අහිමි කරගැනීමෙන් පසු බිමල් රාජ්‍ය මාධ්‍යයට පැමිණ ඒ ප්‍රකාශය කළා හා සමානවම මෙදාද බිමල් දෙරණ 360ට පැමිණ අදහස් දැක්වීමක් කළේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය ටිකෙන් ටික හීන වෙමින් යන කාලවකවානුවකය. ආණ්ඩුවට හතර වටෙන්ම ප්‍රශ්න මතුවෙමින් තිබෙන කාලවකවානුවකය. ඒ අනුව මෙදා දෙරණට පැමිණි බිමල්ගෙන් මාධ්‍යවේදී කලිඳු කරුණාරත්න අශෝක රන්වලගේ උපාධිය පිළිබඳවද ප්‍රශ්න කිරීමට පියවර ගත්තේය. එහිදී මෙතෙක් ඇදි ඇදී ආ ප්‍රශ්නයකට තිත තියමින් බිමල් කියා සිටියේ අශෝක රන්වලට උපාධි සහතිකයක් නොමැති බව තමන් සිතන බවය. ඊට දඬුවමක් ලෙස කතානායක ධුරයෙන් අශෝක රන්වලව ඉවත් කළ බව කියා සිටි බිමල් එය ඔහුට ලබාදුන් ඉහළම දේශපාලන දඬුවම බවද කියා සිටියේය. එමෙන්ම තවත් දැඩි ප්‍රකාශයක් කරමින් බිමල් කියා සිටියේ යම් වරදක් සිදුකරන්නේ නම් පක්ෂයේ නිර්මාතෘවරයා වුවද ඔහුව පක්ෂයෙන් ඉවත් කිරීමට ජවිපෙ පසුබට නොවන බවය.

බිමල්ගේ තිතට නලින්දගෙන් කොමාවක්

බිමල්, අශෝක රන්වල සම්බන්ධයෙන් මෙවැනි ඍජු පිළිතුරක් දෙරණට පැමිණ ලබාදුන්නද පැය 24ක් යෑමට මත්තෙන් ආණ්ඩුවෙන් ලැබුණේ ඉකුත් වතාවේ මෙන්ම බිමල්ගේ ප්‍රකාශයට පරස්පර විරෝධී පිළිතුරකි. සඳුදා රාත්‍රියේ බිමල් මෙම ප්‍රකාශය කිරීමෙන් අනතුරුව අඟහරුවාදා පෙරවරුවේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී බිමල් කළ ප්‍රකාශය උපුටා දක්වමින් මාධ්‍යවේදීන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්දගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමක් කළේය. බිමල් පෙර දින රාත්‍රියේ අශෝක රන්වලගේ උපාධි සහතිකයේ ප්‍රශ්නයට තිත තැබුවද, කැබිනට් මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්ස බිමල් තැබූ එම තිත නැවත කොමාවක් බවට පත්කිරීමට පියවර ගැනීම විශේෂ සිදුවීමකි. එහිදී නලින්ද කියා සිටියේ අශෝක රන්වල තමන්ට උපාධි සහතිකයක් නොමැති බව තවමත් පක්ෂයට දැනුම්දී නැති බවත්, සිය උපාධි සහතිකය පෙන්වීමට අශෝක රන්වලට තවමත් අවස්ථාව ඇති බවත්ය. අවශ්‍ය නම් මාධ්‍යවේදීන්ට ඒ සම්බන්ධව අශෝක රන්වලගෙන් විමසා සිටිය හැකි බවද නලින්ද එහිදී සඳහන් කර සිටියේය. නලින්දගේ මෙම ප්‍රකාශය හරහා ඉකුත් වතාවේ මෙන්ම මේ වතාවේදීද ආණ්ඩුව ඇතුළේ බිමල් සමග යම් මත ගැටුමක් පවතින ආකාරයක් මාධ්‍යවේදින්ට දැකගත හැකි විය.

හරිනිටත් ප්‍රශ්නයක්

මීට අමතරව පසුගිය සතියේ ආණ්ඩුව ඇතුළේ තවත් ගැටුම් ගණනාවක්ම එළියට පැමිණි සිදුවීම් කිහිපයක් දැකගන්නට ලැබිණි. ඉන් ප්‍රධානම එකක් වූයේ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය මුල්කරගෙන මතුව තිබූ ප්‍රශ්නයය. මෙහිදී ගුරු සංගම් සහ විපක්ෂය දිගින් දිගටම එම මොඩියුලයේ අසභ්‍ය වෙබ් අඩවියක නමක් සඳහන්ව ඇති බව ප්‍රකාශ කරද්දී ආණ්ඩුව මුලින් කියා සිටියේ ඊට අදාළ පිටු ඉවත් කොට මොඩියුලය ලබාදෙන බවය. එයද ඇතුළු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිසිසේත්ම හකුලා නොගන්නා බවය. අගමැතිවරිය පමණක් නොව, ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ද, ජනාධිපතිවරයාද මේ බව අවධාරණය කොට තිබිණි. කෙසේ වෙතත් පසුව ජනාධිපතිවරයා අඩියක් පසුපසට ගනිමින් ප්‍රකාශ කොට තිබුණේ 6 වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීම පමණක් 2027 වසර දක්වා කල්දමන බවය.

හරිනි හලලා

මේ අතරවාරයේ පසුගිය සතියේ අගමැති හරිනි අමරසූරිය ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික සමුළුවට සහභාගි වීම සඳහා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරට ගොස් තිබිණි. මෙම සමුළුවට පසුගිය වසරේ ආණ්ඩුව නියෝජනය කරමින් සහභාගි වූයේ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වූ කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිය. එම සමුළුවේදී හඳුන්නෙත්ති ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වූ ආර්ථික සංවාදයකටද සහභාගි විය. එහිදී හඳුන්නෙත්ති ඉංග්‍රීසියෙන් කළ ප්‍රකාශයන්ට මහත් ප්‍රසිද්ධියක් ලැබුණු අතර, බොහෝ දෙනා චෝදනා කර සිටියේ හඳුන්නෙත්තිගේ එම ප්‍රකාශයන් හේතුකොට ගෙන ලංකාව ලොවක් ඉදිරියේ අපහසුතාවට පත්වූ බව සහ ආර්ථික සමුළුවෙන් ලංකාවට ලබාගැනීමට හැකිව තිබූ දැවැන්ත අවස්ථාවන් අහිමි වී ගිය බවත්ය. ඒ හේතුව නිසාද, එසේත් නැත්නම් වෙනත් හේතුවක් නිසාද යන්න පැහැදිලි නැති නමුත් මෙවර ලෝක ආර්ථික සමුළුවට සහභාගි කරවීමට ආණ්ඩුව පියවර ගෙන තිබුණේ අගමැතිනි හරිනි අමරසූරියය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් හරිනි මුල සිටම සිටියේ ඉතා දැඩි ස්ථාවරයකය. ඒ, කුමන විරෝධතාවක් එල්ල වුවද දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකළ යුතුම බවට වූ ස්ථාවරයේය. කෙසේ වෙතත් අගමැතිවරිය ස්විට්සර්ලන්තයේ සිටියදී ජනාධිපතිවරයා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ කණ්ඩායමක් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවීමට පියවර ගෙන තිබිණ. හරිනි නොමැතිව පැවැති එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කියා සිටියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත්කරන බවකි. ඒ හරහා පෙනෙන්නට තිබූ කරුණු දෙකක් වූයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී එවැනි කමිටුවක් පත්කොට නොතිබීම හරහා හරිනි අතින් යම් අතපසු වීමක් සිදුවූ බවකි. එමෙන්ම ඉකුත් වතාවේ මෙය නිසි අයුරින් සිදුකොට නොමැති බවක් ජනාධිපතිවරයාගේ එම තීරණය හරහා දැකගන්නට තිබීමය. ඒ අනුව, ජනාධිපතිවරයා ගත් මෙම ක්‍රියාමාර්ගයත් සමග ආණ්ඩුව ඇතුළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් පවතින බවක්ද තහවුරු විය.

මහබැංකුවත් කඹ ඇදිල්ලක

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් මැතිවරණ වේදිකාවක් වේදිකාවක් ගානේ රටට දුන් ප්‍රධාන පොරොන්දුවක් වූයේ තමන්ට ජනවරම ලැබුණහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලංකාව අස්සන් කළ ගිවිසුම රටට සහ ජනතාවට හිතකර වන පරිදි වෙනස් කරනවා යැයි කියාය. මේ බව රටට පමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් පවා මුණගැසුණු අවස්ථාවේ සජිත් නොබියව ඔවුන්ගේ මුහුණටම පැවැසීමට කටයුතු කොට තිබිණි. එමෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් පසුව ඩොලර් බිලියන 4 ඉක්මවා ගිය විනාශයක් රටට සිදුවූ පසුවද සජිත් කියා සිටියේ වහාම මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට ලංකාවට සහන සැලසෙන ආකාරයේ ගිවිසුමකට එළඹෙන ලෙසය. ආණ්ඩුවට එය කළ නොහැකි නම් විපක්ෂයක් ලෙස ඊට සහාය දැක්වීමට සූදානම් බවද සජිත් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට දැනුම් දුන්නේය. නමුත් එහිදී ජනාධිපතිවරයා එය හාස්‍යයට ලක්කරමින් පාර්ලිමේන්තුවේදී ඊට පිළිතුරු දුන්නේ ‘අනේ ප්ලීස් එපා’ යැයි කියාය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අස්සන් කළ ගිවිසුම සංශෝධනය කිරීමේ කතාබහ යට ගියේය.

නමුත් පසුගිය සතියේ යළිත් වතාවක් මෙම මාතෘකාව කරළියට පැමිණියේ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මූල්‍ය අරමුදල සමග අස්සන් කළ ගිවිසුම සංශෝධනය කළ යුතු බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කිරීමත් සමගය. නන්දලාල් එහිදී කියා සිටියේ දිට්වා කුණාටුවෙන් සිදුවූ බරපතළ ව්‍යසනය හේතුකොට ගෙන මූල්‍ය අරමුදල විසින් ලබාදී ඇති ආර්ථික ඉලක්ක සම්පූර්ණ කිරීම අසීරු විය හැකි නිසා ඊට අදාළ වගන්ති වෙනස් කළ යුතු බවත්, මූල්‍ය අරමුදල සමග ඒ සම්බන්ධව සාකච්ඡාවක් කළ යුතු බවත්ය. ඒ අනුව නන්දලාල්ද කීවේ සජිත් පෙර සිටම කී කතාවමය.

ආණ්ඩුව වෙන පාරක?

නමුත් අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ ආණ්ඩුව මූල්‍ය අරමුදල සමග අස්සන් කොට ඇති ගිවිසුම සංශෝධනය කරනවා වෙනුවට තියෙන ආකාරයටම තවදුරටත් ඉදිරියට යෑමට තීරණය කොට ඇති බවය. මූල්‍ය අරමුදල සමග අස්සන් කළ ගිවිසුමට අනුව පස්වැනි වාරිකය නිදහස් කිරීමේ සමාලෝචනයට අදාළ කාර්ය මණ්ඩල එකඟතාව පසුගිය දෙසැම්බර් මාසයේ අස්සන් කිරීමට නියමිතව තිබුණද මතුව ඇති අර්බුදකාරී තත්ත්වය යටතේ එය ලබන මාර්තු හෝ අප්‍රේල් මාසය දක්වා කල්දැමීමට මූල්‍ය අරමුදල කටයුතු කොට තිබිණි.

නමුත් ගංවතුරෙන් වූ හානියට සහන ලබාදීම සඳහා ආණ්ඩුව මූල්‍ය අරමුදලේ එකඟතාවකින් තොරව රුපියල් බිලියන 500ක මුදලක් පරිපූරක ඇස්තමේන්තුවක් මගින් වෙන්කර ගැනීමට කටයුතු කිරීමත් සමග ආණ්ඩුව සහ මූල්‍ය අරමුදල අතර ඇති මත ගැටුම මේ වනවිට තීව්‍ර වී ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන. අදාළ මුදල යළි සොයාගන්නා ආකාරය පිළිබඳ කරුණු දක්වන ලෙසට මූල්‍ය අරමුදල අවස්ථා ගණනාවකදී ආණ්ඩුවට දැනුම් දී සිටියද ආණ්ඩුව මෙතෙක් ඊට ප්‍රතිචාර දක්වා නැති බවක්ද ආරංචිය. ඒ අනුව දැන් දැන් ආණ්ඩුව සහ මූල්‍ය අරමුදල අතර ඇති ගැටුම ඔඩුදුවමින් පවතින ආකාරයක් දැකගැනීමට පුළුවන.

අනෙක් අතට මහබැංකුව පැත්තෙන් අපට ලැබෙන තොරතුරුවලින් කියැවෙන්නේ මූල්‍ය අරමුදල සමග අස්සන් කළ ගිවිසුමේ තවදුරටත් රැඳී සිටීමට මහබැංකුව කැමැත්තෙන් පසුවන බවකි. ඇත්ත වශයෙන්ම මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීමේදීත්, ඊට අදාළ ආරම්භක සාකච්ඡා පැවැත්වීමේදීත් මහබැංකුව දැවැන්ත කාර්යභාරයක් ඉටු කළේය. මහබැංකුව පෙන්වා දුන්නේ මූල්‍ය අරමුදල සමග ඇති එකඟතා කඩවුවහොත් ඔවුන් ගිවිසුමෙන් ඉවත් වීමට ඉඩ ඇති බවත්, ඒ හරහා යළිත් ආර්ථික අර්බුදයක් රට ඇතුළේ මතුවිය හැකි බවත්ය. නමුත් ආණ්ඩුව පැත්තෙන් එන තොරතුරුවලින් කියැවෙන්නේ කුමන මතගැටුම් පැවැතියත් මූල්‍ය අරමුදල අතරමගදී එම ගිවිසුමෙන් ඉවත් වීමට කටයුතු නොකරනු ඇති බවට වූ ස්ථාවරයේ ආණ්ඩුව සිටින බවය. රුපියල් බිලියන 500ක මුදල සොයාගන්නා ආකාරය පිළිබඳ තොරතුරු විමසා සිටියද ආණ්ඩුව ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුකොට නොමැත්තේද ඒ නිසා විය යුතුය. එමෙන්ම මේ වනවිට මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක්ද ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඒ අනුව ආණ්ඩුවේ නියෝජිතයන් සහ මහබැංකුවේ නියෝජිතයන් සමග පවත්වන සාකච්ඡාවල ප්‍රගතිය මත පස්වැනි වාරිකය සඳහා වූ කාර්යමණ්ඩල ගිවිසුම අස්සන් කිරීමේ පසුබිම සැකසෙනු ඇත. එසේ නොවුණහොත් මූල්‍ය අරමුදල සමග මතගැටුම් උග්‍ර වී රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අර්බූදයක් මතුවනු නොඅනුමානය.

නීතිපති ගැටුම

ආණ්ඩුව සහ මූල්‍ය අරමුදල අතර මෙන්ම මේ වනවිට ආණ්ඩුව සහ නීතිපතිවරයා අතරද යම් මතගැටුමක් නිර්මාණය වෙමින් පවතින ආකාරයක් මේ දිනවල දැකගැනීමට පුළුවන. මීට අදාළ සිදුවීම් මේ සතියේ සියලු දෙනාටම දැකගන්නට ලැබුණත් මේ සම්බන්ධ තොරතුරු ‘රාජ්‍ය රහස්’ තීරය වෙත වාර්තා වූයේ මීට සති දෙකකට පමණ පෙරාතුවය. ඒ අනුව ඉකුත් ජනවාරි 10 වැනි දින මේ සම්බන්ධයෙන් යම් ප්‍රබල ඉඟියක් රටට දෙමින් ‘මව්රට’ පුවත්පත සිය මුල් පුවත මගින් වාර්තා කළේ මෙවැන්නකි.

‘මේ වනවිට ආන්දෝලනයකට තුඩුදී සිටින රජයේ ඉහළ පෙළේ ප්‍රබල නිලධාරියකු එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා දෝෂාභියෝග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් ‘මව්රට’ පුවත්පතට වාර්තා වේ.

මෙම ප්‍රබල නිලධාරියාට එරෙහිව එල්ලවී ඇති බරපතළ චෝදනා කීපයක් මුල්කරගෙන අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.
දැනටමත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව නීති උපදෙස් ලබාගෙන ඇති බවක් වාර්තා වන අතර දෝෂාභියෝග යෝජනාව කෙටුම්පත් කරමින් පවතින බවක්ද දැනගන්නට ඇත.

ඒ අනුව, ඉදිරි සති දෙක ඇතුළත අදාළ දෝෂාභියෝග යෝජනාව සම්පූර්ණ කොට එය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇති බවත්, ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඊට අස්සන් තැබීමට නියමිතව ඇති බවත් ‘මව්රට’ පුවත්පතට ආරංචිය.’

ඉස්සරත් එහෙමයි

මේ ආකාරයට නීතිපතිවරුන් සහ ආණ්ඩුව අතර ගැටුම් ඇතිවූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර යහපාලන ආණ්ඩු සමයේ එවක ආණ්ඩුව සහ නීතිපති යුවන්ජන විජේතිලක අතරත්, එසමයේම ආණ්ඩුව සහ නීතිපති සුහද ගම්ලත් මහතා අතරත් මතගැටුම් ඇතිවිය. මීට අමතරව ගෝඨාභය සහ එවක නීතිපති දප්පුලද ලිවේරා මහතා අතරද ගැටුම් ඇතිවිය. එම සියලු ගැටුම් ඇතිවූයේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට නීතිපතිවරයා කටයුතු නොකරන බවට වූ චෝදනා හේතුවෙනි. උදාහරණ ලෙස සුහද ගම්ලත් නීතිපතිවරයා ලෙස කටයුතු කරද්දී අධිකරණ අමාත්‍යවරිය වශයෙන් කටයුතු කළේ තලතා අතුකෝරාලය. සුහද ගම්ලත් යනු නීති ක්ෂේත්‍රයේ ඉහළ පිළිගැනීමක් තිබූ අයෙකි. නමුත් රාජපක්ෂවරුන්ට එරෙහි චෝදනා විමර්ශනය කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව වැඩි උනන්දුවක් නොදක්වන බවට වූ බරපතළ චෝදනාවක් එදා නීතිපති දෙපාර්තමේන්තුවටත්, නීතිපති සුහද ගම්ලත්ටත් එල්ලවී තිබිණි. එහිදී අධිකරණ අමාත්‍යවරිය වශයෙන් කටයුතු කළ තලතා අතුකෝරාල මහත්මිය නීතිපතිවරයා ඉවත් විය යුතු බවට දැඩි ස්ථාවරයක සිටියාය.

මෙවර සිදුවෙමින් පවතින්නේද ඊට වඩා වැඩි යමක් නොවේ. මෙවර නීතිපති පාරින්ද රණසිංහ ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවට එල්ලවී ඇති චෝදනාව වන්නේද පැවැති රජයේ සිටි ප්‍රබලයන්ට එරෙහිව සිදුකෙරෙන පරීක්ෂණ මන්දගාමීව කරමින් තිබෙන බවය.

සති කිහිපයක් තිස්සේ තිරය පිටුපස පැවැති මෙම ගැටුම පුපුරා ගියේ පසුගිය සතියේ මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් සංවිධාන කණ්ඩායමක් නීතිපතිවරයාට එරෙහිව අලුත්කඩේ අධිකරණ භූමිය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමත් සමගය. ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වීමත් සමග නීතිපතිවරයාට පක්ෂව නීතිඥවරුන් කණ්ඩායමක්ද එදිනම සවස් වරුවේ නීතිපතිවරයා මුණගැසී සාකච්ඡා පැවැත්වීමට පියවර ගෙන තිබිණි. මෙහිදී විශේෂම සිදුවීම සිදුවූයේ නීතිපතිවරයා සහ එම නීතිඥවරුන් කණ්ඩායම අතර පැවැති කෙටි හමුවේදීය. එහිදී නීතිඥවරුන් නීතිපතිවරයාට පක්ෂව අදහස් දක්වද්දී නීතිපති පාරින්ද රණසිංහ මහතා ඔවුන් හමුවේ කර සිටියේ ඉතා කෙටි ප්‍රකාශයකි. ඉංග්‍රීසි භාෂාවෙන් කළ එම ප්‍රකාශයෙන් කියැවුණේ තමන් නීතියට ඉහළින් නොමැති බවත්, තමන් වරදක් කර ඇත්නම් තමන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඕනෑම අයකුට නඩු පැවරිය හැකි බවත්ය.

නීතිපතිවරයා කළ මෙම ප්‍රසිද්ධ ප්‍රකාශයත් සමග ක්ෂේත්‍රයේ බොහෝ දෙනා මේ වනවිට පෙන්වා දෙන්නේ එය ආණ්ඩුවට ප්‍රසිද්ධියේ කළ අභියෝගයක් ලෙසටය. එසේත් නැත්නම් ආණ්ඩුව පැත්තෙන් හෝ වෙනත් පාර්ශ්වවලින් එල්ල වන බලපෑම්වලට තමන් නොබියව මුහුණ දීමට සූදානම් බවට වූ පණිවුඩය නීතිපතිවරයා මෙම ප්‍රකාශය හරහා සිදුකළ බව බොහෝ දෙනාගේ අදහසය.
තත්ත්වය මෙසේ තිබියදී පසුගිය සතියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාද නීතිපතිවරයා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කළේය. එහිදී හර්ෂණ කියා සිටියේ නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බවකි. ඒ අනුව මේ වනවිට මාලිමා පාක්ෂිකයන්ගේ උදහසට හර්ෂණ නානායක්කාර හසුව සිටින බවක්ද දැකගන්නට පුළුවන.

කව්ද මේ අබිරහස් කාන්තාව?

මේ අතරවාරයේ පසුගිය සතියේ තවත් විශේෂ යමක් සිදුවිය. ඒ, ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටි මෙලනි ද සිල්වා නමැති අයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හදිසියේම ලංකාවට රැගෙන ඒමය. ඒ සමගම තවත් දෙදෙනකු ලංකාවට රැගෙන ආ අතර ඊට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක්ද ලබාදුන් ආකාරයක් දැකගන්නට ලැබිණි. සාමාන්‍ය කතාවට කියවෙන්නේ ලංකාවෙන් පලාගිය ප්‍රධාන පෙළේ පාතාල නායකයන් බොහෝ දෙනකු ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිනවා යැයි කියාය. පසුගිය කාලයේදී එසේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි පාතාල නායකයන් සහ පාතාල සාමාජිකයන් කිහිප දෙනකුම ලංකාවට රැගෙන ආ ආකාරයක්ද දැකගත හැකි විය. නමුත් වැඩි ප්‍රසිද්ධියක් නොමැති සහ කවුරුත් නොදන්නා මෙලනි ද සිල්වා නමැති කාන්තාව ඩුබායිහි සිට ලංකාවට රැගෙන ආවේ කුමක් නිසාද, ඊට විශාල ප්‍රචාරයක් ලබාදුන්නේ කුමක් නිසාද යන්න පිළිබඳව බොහෝ දෙනකුට තිබුණේ ප්‍රහේලිකාවකි.

ඇය කලක් අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ගිණුම් අංශයේ ලිපිකාරිනියක වශයෙන් කටයුතු කර තිබූ අතර මූල්‍ය වංචාවකට චෝදනා ලැබ පසුව සේවයෙන් ඉවත් කර සිටි අයකු බව කියවේ. බොහෝ දෙනා කියන්නේ මේ කාන්තාවට මෙරට අතිශය වැදගත් ක්ෂේත්‍ර කිහිපයක පුද්ගලයන් සමග ඥාති-හිතමිත්‍ර සබඳතා පවතින බවකි. ඒ අනුව දේශපාලන ක්ෂේත්‍රයේ යන කටකතාවකින් කියැවෙන්නේ කිසිවකුත් නොදන්නා සහ කිසිදු ප්‍රසිද්ධියක් නොමැති මෙම කාන්තාව හදිසියේම ලංකාට ගෙන්වීම පසුපස ආණ්ඩුව පැත්තේ විශාල සැලසුමක් පවතිනවා යැයි කියාය. හෙට අනිද්දා වනවිට එම සැලසුමේ සියලු තොරතුරු මෙරට ජනතාවට දැනගැනීමට හැකි වනු ඇති බවද පැවසේ.

ඩබල් ඇක්ටින් හරිනි

මේ අතර ආණ්ඩුවට මේ දිනවල අධ්‍යාපන ප්‍රතිස්සංකරණ හේතුවෙන් මුහුණ දීමට සිදුව ඇති ගැටලුවලට අමතරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමගද ප්‍රශ්නයකට පැටලී තිබේ. ඒ, විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව මේ දිනවල කටයුතු කරමින් සිටීම හේතුවෙනි. මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් පෙන්වා දෙන්නේ අගමැතිවරිය ප්‍රමුඛ ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත සංශෝධනවලදී පීඨාධිපතිවරුන් හා අංශාධිපතිවරුන් පත්කරන ක්‍රමවේදය පෙන්වා දී ඇති නමුත් උපකුලපතිවරුන් පත්කිරීම සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු කොමිසමේ සාමාජිකයන් පත්කිරීම සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොමැති බවත්, ඒ හරහා විශ්වවිද්‍යාල පද්ධතියේ ස්වාධීනත්වය සහ නිදහස සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට කටයුතු කරන බවත්ය.

ඒ අනුව පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා දෙකක් පැවැත්විණි. ඉන් පළමුවැන්න වූයේ අධ්‍යාපනය පිළිබඳ ආංශික කාරක සභා රැස්වීමය. හේෂා විතානගේ මන්ත්‍රීවරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ආංශික කාරකසභාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර, එහි සංයුතිය ආණ්ඩුවට බහුතරයක් හිමිව තිබීම හේතුවෙන් එය සම්මත වීමේ වැඩි ඉඩකඩක් ඇති ආකාරයක් දැකගන්නට ලැබිණි.

දෙවැනි හමුව පැවැත්වුණේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විපක්ෂ නායක සජිත් අතරය. එය පැවැත්වුණේද පාර්ලිමේන්තු සංකීර්ණයේදීය. එහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සජිත්ට දැඩිව කියා සිටියේ ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන සංශෝධන හරහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ස්වාධීනත්වයට අහෝසි වී යනු ඇති බවකි. මෙහිදී තවත් විශේෂ කරුණක්ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සජිත්ට පෙන්වා දුන්නේය. ඒ, වත්මන් අගමැති හරිනි විසින් 2015දී පමණ එළිදක්වා ඇති වාර්තාවක අඩංගු කරුණුය. University governance autonomic accountability directions of change නමැති වාර්තාව සකස් කරද්දී හරිනි අධ්‍යාපනයට 6%ක් වෙන්කළ යුතු බවටත්, උපකුලපතිවරයා පත්කිරීමේ සිට විශ්වවිද්‍යාලයේ සියලු කටයුතු නිර්දේශපාලනීකරණය විය යුතු බවටත් සඳහන් කොට ඇති බව විශ්වවිද්‍යාල අචාර්යවරු මෙහිදී සජිත්ට පෙන්වා දුන්හ. නමුත් අද වනවිට ඇය තමන් එදා සිටි ස්ථාවරය වෙනස් කොට සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බව ඔවුහු සජිත්ට පෙන්වා දුන්හ. එහිදී විපක්ෂ නායකවරයා කියා සිටියේ තමන් ඊට මැදිහත් වන බවකි.

එමෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සජිත් සමග මෙම සාකච්ඡාවට සහභාගි වීමට ප්‍රථම ජනාධිපතිවරයා සමගද සාකච්ඡාවක් පවත්වා තිබූ අතර, එහිදී ඊට ඇතුළත් විය යුතු සංශෝධන පිළිබඳවද සාකච්ඡා පවත්වා තිබිණි. ඒ අනුව එම සංශෝධන පනතට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද අවධානයෙන් කටයුතු කළ යුතු බවද මෙහිදී අවධාරණය කෙරිණි.

හරිනි-සජිත් එකඟතාවක

මේ අතර ලෝක ආර්ථික සංසද සමුළුවට සහභාගි වීම සඳහා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරට ගොස් සිටි අගමැති හරිනි පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී යළි දිවයිනට පැමිණීමට කටයුතු කළාය. ඒ අනුව සිකුරාදා දිනයේදී හරිනි සහ සජිත් අතර විශේෂ හමුවක් සිදුවිය. ඒ, කල් ඇදි ඇදී ගිය ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සාමාජිකයන් තිදෙනාගේ පත්වීම් සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහාය.

අප මීට පෙර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කළේ මෙම සිවිල් සාමාජිකයන් තිදෙනා පත්කිරීම සම්බන්ධයෙන් හරිනි සහ සජිත් අතර සාකච්ඡා වට දෙකක් පැවැති නමුත් එහිදී ඉදිරිපත් වූ නම්වලට දෙපාර්ශ්වයේම එකඟතාවක් ඇති නොවූ බවකි. මෙහිදී දෙවැනි සාකච්ඡාවේදී නම් දෙකකට දෙදෙනාගේම එකඟතාව පළ වුවත්, සිවිල් සේවයේ නිරතවූ අයකු සම්බන්ධ නමකට එකඟතාව පළ නොවීය. ඒ අනුව සිකුරාදා පැවැති සාකච්ඡාවේදී මෙම මත ගැටුම අවසන් කරගැනීමට හරිනි සහ සජිත් සමත්වූහ. එදින ව්‍යවස්ථාදායක සභාවේ අලුත් සිවිල් සාමාජිකයන් තිදෙනා එකඟත්වයකින් යුතුව පත්කර ගැනීමට දෙදෙනාටම හැකියාව ලැබිණි.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

ඉන්දියාව එක්ක බෑ! බංග්ලාදේශය T20 ලෝක කුසලානයෙන් අයින් වෙයි! ස්කොට්ලන්තය ඇතුළට එයි!  I Sri Lanka Latest News

Next Post

පන්දු යවන්නේ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර! පන්දුවට පහර දෙන්නේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස! මෙන්න පන්දුව යොමු කළා..! ඉහළින් පුල් පහරක් එල්ල කරනවා..! අලංකාර හයේ පහරක්! මේ දැන් පන්දුව ඩීප් මිඩ්විකට් කලාපයට ඉහළින්ම ඇදීගියා..! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.