ඉදිරි දශකය ඉතා අස්ථාවර සහ අවිනිශ්චිත කාල පරිච්ඡේදයක් වනු ඇති බව ලෝක ආර්ථික සංසදය පවසනවා.Sri Lanka Latest News
ඒ 2026 වසරේ ගෝලීය අවදානම් පිළිබඳ වාර්තාව නිකුත් කරමින්.
ලොව පුරා විසිරී සිටින විශේෂඥයන් 1,300කට අධික පිරිසකගේ අදහස් අනුව සකස් කළ මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකාව වැනි රටවලට ද බලපාන වැදගත් කරුණු රැසක් ද අනාවරණය කර තිබුණා.
ඉදිරි වසර දෙක තුළ මෙරටට එල්ල වන ප්‍රධානතම තර්ජන වන්නේ ආර්ථික පසුබෑම, ආර්ථික අවස්ථාවල හිඟකම හෝ විරැකියාව, දක්ෂ ශ්‍රමික හිඟය සහ කම්කරු හිඟකම, උද්ධමනය, ණය බර එනම් රාජ්‍ය, පුද්ගලික සහ නේවාසික ණය මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.
මෙම වාර්තාවට අනුව ලෝකයේ සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 251 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙය ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 235% ක්.
මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව වැනි ණය බරින් පීඩා විඳින රටවලට විදේශ ආයෝජන ලබා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වඩාත් අසීරු වනු ඇති බවයි වාර්තාවේ දැක්වෙන්නේ.
ගෝලීයව බලපාන පීඩනය සහ ණය අර්බුදය, වැරදි තොරතුරු සහ තාක්ෂණික තර්ජන, පරිසර අවදානම් යන කරුණු ද අදාළ වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.
වාර්තාවට අනුව විශේෂඥයන්ගෙන් 50% ක් ඉදිරි වසර දෙක ලෝකයට ඉතා අස්ථාවර හෝ කුණාටු සහිත කාලයක් වනු ඇතැයි අපේක්ෂා කරනවා.
ඉදිරි වසර 10 තුළ එම අගය 57% දක්වා ඉහළ යනු ඇති බව ද ඔවුන් පවසා තිබෙනවා.
ලෝකය සාමකාමී වනු ඇතැයි සිතන්නේ 1% ක් වැනි ඉතා සුළු පිරිසක් පමණයි.
රටවල් අතර පවතින සහයෝගීතාවය සහ විශ්වාසය පළුදු වෙමින් පවතින අතර, සහයෝගීතාව වෙනුවට ගැටුම්කාරී බව ඉහළ යමින් පවතිනවා.
මින් පෙර පැවති ඒකීය ලෝක පාලනය වෙනුවට බලවතුන් අතර බෙදී ගිය සහ තරඟකාරී පාලන ක්‍රමයක් ඇති වනු ඇතැයි 68% ක් විශ්වාස කරනවා.
2026 වසරේ ලෝකයට එල්ල වන ප්‍රධානතම තර්ජනය ලෙස භූ-ආර්ථික ගැටුම් හඳුනාගෙන තිබෙනවා.
එය ලෝක අර්බුදයකට මුල පිරිය හැකි බව 18% කගේ අදහසයි.
රාජ්‍යයන් අතර සන්නද්ධ ගැටුම් දෙවැනි ප්‍රධාන අවදානම ලෙස මෙමගින් නම් කර තිබෙනවා.
මෙම වාර්තාව පෙන්වා දෙන්නේ ආර්ථික පසුබෑම සහ උද්ධමනය යන අවදානම් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 8 කින් ඉහළ ගොස් ඇති බවයි.
ණය තිරසාරභාවය පිළිබඳ ගැටලු සහ ආර්ථික බුබුළු පිපිරීමේ අවදානම ඉදිරි වසර දෙක තුළ සමාජ සහ ව්‍යාපාර අස්ථාවර කිරීමට හේතු විය හැකි බව ද එහි සඳහන්.
මෙය ණය අර්බුදයෙන් ගොඩ ඒමට උත්සාහ කරන ශ්‍රී ලංකාව වැනි රටවලට සෘජුවම බලපාන බවයි එහි දැක්වෙන්නේ.
ධනවත් සහ දුප්පත් පරතරය ඉහළ යාම හෙවත් අසමානතාව ලෝකයේ වඩාත්ම බැඳී පවතින අවදානම ලෙස පවතිනවා.
ප්‍රභූන් සහ සාමාන්‍ය ජනතාව අතර පවතින මත ගැටුම් සහ පාලකයන් කෙරෙහි ඇති විශ්වාසය පළුදු වීම නිසා ජනතාව පාලන තීරණවලින් බැහැර වී ඇතැයි හැඟීමක් ඇති වී තිබෙන බව වාර්තාවේ දැක්වෙනවා.
අසත්‍ය සහ වැරදි තොරතුරු ප්‍රචාරය වීම ඉදිරි වසර දෙකේ ඇතිවන දෙවැනි ප්‍රධාන අවදානම බවයි වාර්තාවෙන් අවධාරණය කරන්නේ.
එසේම සයිබර් අනාරක්ෂිතභාවය 6 වැනි ස්ථානයේ පසුවනවා.
කෘතිම බුද්ධිය (AI) නිසා ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල ඉදිරි වසර 10 තුළ 5 වැනි ප්‍රධාන අවදානම බවට පත්වනු ඇතැයි ගණන් බලා තිබෙන්නක්.
කෙටි කාලීනව පරිසරය පිළිබඳ අවධානය අඩු වී ඇති බව පෙනී ගියද, ඉදිරි වසර 10 තුළ ලෝකයට ඇති ලොකුම තර්ජනය අහිතකර කාලගුණික තත්ත්වයන් වනු ඇති බවට එමගින් අනාවැකි පළකරනවා.
විශේෂඥයන්ගෙන් 75% ක් පමණ පරිසර අවදානම් පිළිබඳ ඉතා අසුබවාදී ආකල්පයක පසුවන බව සඳහන්.
ඉදිරි වසරවලදී ජාතික අවශ්‍යතාවලට මුල්තැන දීම නිසා දේශගුණික විපර්යාස, ගෝලීය සෞඛ්‍ය සහ ආර්ථික ස්ථාවරත්වය වැනි පොදු අභියෝග ජය ගැනීමට ඇති හැකියාව පිළිබඳව දැඩි අවිශ්වාසයක් පවතින බව වාර්තාව අවධාරණය කරනවා.










