බලධාරීන්, නිලධාරීන් හා ක්‍රීඩා අමාත්‍යවරයා මොනවා කිවුවත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ නීත්‍යනුකූලව ගැසට් පත්‍රයක් මුද්‍රණය කිරීම මගින් ප්‍රකාශයට පත්වූ පසුව බව සංවිධායකයන්ගේ හා ඊට සහභාගි වූ මහජනතාවගේ පොදු අදහස වුණා. මිනිස්සු පරිසරය රැකගැනීමට උනන්දු වන්නේ ඇයි? කෙටියෙන්ම කියනවා නම් හෝමාගම, දියගම, කිරිවත්තුඩුව හා ඒ අවට ගම්වල මිනිස්සු නිදහසේ හුස්ම ගැනීමේ වටිනාකම දන්නා නිසා බව එදා රැස්ව සිටි ජනතාව දුටු විට අපට හැඟී ගිය ප්‍රධාන කාරණයක් වුණා.
වයස් භේදයකින් තොරව නොයෙකුත් බාධක තර්ජන ගර්ජන මුසාවාද හා අඩන්තේට්ටම් මැද එකී නිහඬ විරෝධතාවට රැස්වූ පොදු ජනතාවට කැලෑ කොලමේ ස්තුතිය.
කොළඹ විශ්වවිද්‍යාලයේ තරුණයන් පිරිසක් හා පර්යේෂණ කණ්ඩායමක් හා ග්‍රීන් ජැකට් සංවිධානය පෙරමුණ ගෙන මෙම නිහඬ විරෝධතාවය සංවිධාන කොට තිබුණේ, පරිසර ඇමැතිවරයාගේ ඇස් ඇරීම සඳහා හා ක්‍රීඩා අමාත්‍යවරයා වාචිකව ලබාදුන් පොරොන්දුව නිසි ක්‍රමවේදයක් තුළ ක්‍රියාත්මක කරගැනීම සඳහායි. Sri Lanka Latest News

ශාක විශේෂ 100කට වැඩි ප්‍රමාණයක් හා ඉතා ඉහළ සත්ව ඝනත්වයකින් හෙබි දියගම වැසි වනාන්තර කොටස සුරැකීම සඳහා ක්‍රියාකාරීව සහභාගි වන තරුණයන් පිරිසක් ඒ අවට ගම්මානවල සිටීම අගය කළ යුතු කරුණක්. අක්කර 50කට වැඩි භූමිභාගයක් ඊට අයත්.
මෙකී වනාන්තර පද්ධතිය තුළ වඩා වැදගත් සාධකය වන්නේ ශ්‍රී ලංකාවට පමණක් ආවේණික පහතරට තෙත් වනාන්තරවල ජීවත්වන ඒකදේශීය රත් උණහපුළුවාගේ දැඩි ඝනත්වයක් මෙකී වනාන්තර පද්ධතිය තුළ වාර්තා වීමයි. එකී තොරතුරු අපට සනාථ කරනු ලැබුවේ මේ පිළිබඳ පර්යේෂණ කරන තරුණ කණ්ඩායමට නායකත්වය දෙන කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතායි.
‘මම මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න, කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙක්.
දියගම කැලේ තියෙන සුවිශේෂත්වය තමයි මේ කැලේ ඉන්නවා සාමාන්‍යයෙන් මේ අක්කර 50ක කැලේක දකින්න නොලැබෙන තරම් ලොකු ඝනත්වයකින් ඉතාමත් සුවිශේෂ ශාක සහ සත්ව ප්‍රජාවක්. ඒකෙනුත් රෙඩ් ස්ලෙන්ඩර් ලෝරිස් (Red Slender Loris) එහෙම නැත්නම් මේ රත් උණහපුළුවා කියන සතා. විශේෂයෙන්ම අපේ රටේ සංචාරක ක්ෂේත්‍රයේ සහ බයෝඩයිවර්සිටි (biodiversity) ක්ෂේත්‍රයේ, එහෙම නැත්නම් ජෛව විවිධත්වය විදිහට හිතුවත් එහෙම නැත්නම් ඒ ආශ්‍රිත ඉකෝ ටුවරිසම් (eco-tourism) විදිහට හිතුවත් ගෝලීය වැදගත්කමක් තියෙන සතෙක්. මොකද එයාගේ වැදගත්කම තමයි අපිත් අයිති වෙන මනුෂ්‍යයාත් අයිති වෙන ප්‍රයිමේටාවුන් එහෙම නැත්නම් වඳුරන් සහ වානරයන් අයිති වෙන ක්ෂීරපායී කාණ්ඩයේ ඉන්න ප්‍රාථමිකම, එහෙම නැත්නම් වඩාත් වයසකම ප්‍රයිමේටාවුන් අයිති වෙන්නේ මෙන්න මේ ලීමර්ස් ඇන්ඩ් ලොරිසස් (Lemurs and Lorises) කියන කාණ්ඩයට. මැඩගස්කාර් කියන කාටූන් එකේ ඉන්න මැඩගස්කර් දූපතේ පමණක් ඉන්න ලීමා කියන ප්‍රාථමික වඳුරු විශේෂයි මේ ලොරිස් කියන ප්‍රාථමික වඳුරු විශේෂයි තමයි ලෝකේ ඉන්න අපේ මනුෂ්‍යයන්ට නෑකම් තියෙන ප්‍රාථමිකම, අපිට ළඟම නෑයෝ. හැබැයි ගස් උඩ ඉන්න අය වෙන්නේ ඔය වඳුරු කුලයට අයිති වෙලා.
ඒකෙනුත් දකුණු ආසියා කලාපයේ විතරක් මේ ස්ලෙන්ඩර් ලෝරිස්ලා (Slender Loris) කියන උණහපුළුවා කාණ්ඩය දකින්න ලැබෙනවා, ලෝකේ වෙන කොහේවත් දකින්න හම්බෙන්නේ නැහැ. එතැනිනුත් ලංකාවේ ඉන්නවා උණහපුළුවා ජාති දෙකක්. එකකට කියන්නේ අළු උණහපුළුවා කියලා, එයා ඉන්නේ වියළි කලාපයේ. එයා ඉන්දියාවෙයි ලංකාවෙයි කලාප දෙකේම ඉන්නවා. ඊළඟට ඉන්නවා රතු උණහපුළුවා. මේ මෙහෙත් හම්බවෙන රතු උණහපුළුවා ඉන්නේ ලංකාවේ තෙත් කලාපයේ විතරයි, ලෝකේ වෙන කොහෙවත් නැහැ. ලංකාවට ආවේණික, වඳවී යාමේ තර්ජනයට ලක්වෙච්ච සුවිශේෂ වඳුරු විශේෂයක්. මනුෂ්‍යයාට ඉතාම ළඟ නෑකම් තියෙන. හැබැයි මෙයා පුංචියි. මනුෂ්‍යයෙක්ගේ වගේ ලොකු ඇස් තියෙන, පලතුරු, සත්තු, කෘමීන් එහෙම කන නිශාචර වඳුරු විශේෂයක්.

ගෝලීයව අපේ කලාපයේ පමණක් ලෝකේ හම්බවෙන, එයිනුත් මේ විශේෂය ලංකාවේ පමණක් හම්බවෙන හින්දා මෙයාට සුවිශේෂ වැදගත්කමක් තියෙනවා. මෙයාගේ ලංකාවට තියෙන විශේෂ වැදගත්කම තමයි රත් උණහපුළුවා සාමාන්‍යයෙන් නිවර්තන වැසි වනාන්තරවල ඉන්න පහසුවෙන් දකින්න අපහසු ක්ෂීරපායී සතෙක්. ඒක හින්දම සිංහරාජය, කන්නෙලිය, යගිරල වගේ තෙත් කලාපයේ වැසි වනාන්තර ආශ්‍රිතව තමයි මෙයා දකින්න හම්බවෙන්නේ. සාමාන්‍යයෙන් ඒකෙත් උඩ වියනට ආසන්නව තමයි ඉන්නේ. ඒක හින්දා බලන්න ඉතා අපහසු සතෙක් විදිහට තමයි සැලකෙන්නේ. හැබැයි මේ දියගම ප්‍රදේශයේ ශිෂ්‍යයන්ගේ, දරුවන්ගේ සහ ඒ ප්‍රාදේශීයවාසීන්ගේ මැදිහත්වීමෙන් ඒගොල්ලෝ මේ ගැන පර්යේෂණ කරනකොට අපිට දැනගන්න ලැබිච්ච දේ තමයි ඉතා වැඩි ඝනත්වයක්, සතුන් 50ක් පමණ මේ කුඩා කැලේ ඉන්නවා කියන එක. ඉතින් අපි දන්නා තරමින් කොළඹ දිස්ත්‍රික්කයේ හෝ ලංකාවේ වෙන කොහේවත් මේ තර්ජනයට ලක්වෙච්ච මේ සත්ව විශේෂය ඉන්න තැනක් අපි දන්නේ නැහැ.
ඒ වගේම කොළඹ නගරයේ ඉඳලා ගත්තොත් කිලෝමීටර් 15ක් පමණ ඉතාම ළඟ මේ වගේ සුවිශේෂ විශේෂයක් හමුවීමම හරිම වැදගත්. ඇයි මෙයා වැදගත් වෙන්නේ? ගෝලීය සංචාරක කර්මාන්තයේදී මේ ලීමා සහ ලෝරිස් කියන සත්ව කොටස් දෙකටම ඉතාම වැඩි වාණිජ වටිනාකමක් තියෙනවා ඉකෝ ටුවරිසම්වල. එහෙම නැත්නම් සංචාරක කර්මාන්තයේ. ලංකාවට ආවේණික නොවන අළු උණහපුළුවා සම්බන්ධයෙන් ඒකටම කේන්ද්‍ර වෙච්ච සංචාරක කර්මාන්තයක් තියෙනවා සීගිරිය, දඹුල්ල ආශ්‍රිතව. හැබැයි එයා ලංකාවේ විතරක් ඉන්න සතෙකුත් නෙමෙයි. අනිත් එක එයා මෙච්චර ලස්සනත් නැහැ. මේ සතාගේ තියෙන මේ සුන්දරත්වය ඒ අළු උණහපුළුවාගේ නැහැ කියලා තමයි මට හිතෙන්නේ.

ඉතින් මෙච්චර වටිනාකමක් තියෙන සතෙක් කොළඹ ආසන්නයේ සිටීම මම හිතන්නේ කොළඹ නගරයේ අනාගත සංරක්ෂණ කටයුතුවලදී සහ නගරය අර ග්‍රීන් සිටි එකක්, එහෙම නැත්නම් හරිත නගරයක් වීමේදී, පරිසරය සහ ජන ජීවිතය ඒකාබද්ධ වෙච්ච නගරයක් බිහිවෙද්දී, මොකද කොළඹ කියන්නේ ආසියාවේ තියෙන එකම ‘රම්සා’ (Ramsar) නගරය. ‘රම්සා’ කියන්නේ ජාත්‍යන්තර තෙත්බිම් සම්මුතිය, එයින් රම්සා නගරයක් නැත්නම් රම්සා සිටි එකක් විදිහට හඳුනාගත්ත එකම නගරය. ඉතින් එහි මෙහෙම දෙයක් තිබීම මම හිතන්නේ අපි දැනටම නිධානයක් කියලා අඳුනාගත්ත පළාතක ලොකු මැණිකක් හම්බවුණා වගේ වැඩක්. ඉතින් ඒ ගෞරවය මේ ග්‍රීන් ජැකට්ස් සහ සමීර රසාංග ඇතුළු ඒ පර්යේෂකයන්ට සහ ඒ සංවිධානයට ලැබිය යුතුයි. මොකද ඒගොල්ලෝ තමයි මේක ඉස්සෙල්ලාම හොයාගෙන ඇවිල්ලා කොළඹ විශ්වවිද්‍යාලයේ ඒ සම්බන්ධ තාක්ෂණික දැනුම තියෙන අයගෙන් ඒක ඇහුවේ කොහොමද ඒක විද්‍යානුකූල ක්‍රමයකට මේගොල්ලන්ගේ ගහනය ගැන අධ්‍යයනයක් කරන්නේ කියලා.
විශේෂයෙන් රාත්‍රියේ ඉන්න සාමාන්‍යයෙන් බලන්න අමාරු සතුන් ගහනය අධ්‍යයනය කරන්න විශේෂිත ක්‍රමවේද තියෙනවා. මම ඒ සම්බන්ධයෙන් කටයුතු කරන පර්යේෂකයෙක් විදිහට මම මේ දරුවන්ට ඒකට අවශ්‍ය මූලික තාක්ෂණික දැනුම දුන්නා. ඒගොල්ලෝ ඒ දැනුම අරගෙන ගිහිල්ලා පුදුම කැපවීමකින් කටයුතු කළා. තර්ජන ගර්ජන මධ්‍යයේ, වෙඩි තියනවා කියලත් තර්ජනය කරලා තිබුණා එක අවස්ථාවක. ඒ කියන්නේ නොදැනුවත්කම මත වෙච්ච දේවල්. හැබැයි මේ ළමයි ඒකෙන් පසුබට වෙන්නේ නැතුව ඒ කරපු අධ්‍යයනයෙන් හෙළිදරව් වුණු දේ තමයි මේ සතුන් හරිම සුලබයි මෙතැන.

ඉතින් ඒක මම හිතන්නේ රජයක් විදිහට, ප්‍රාදේශීය පාලකයන් විදිහට, නායකයන් විදිහට සහ කොළඹ සැලසුම් කරන ඒ අදාළ නිලධාරීන්ට මම හිතන්නේ නුදුරු අනාගතයේදීම ඒ සම්බන්ධයෙන් වැදගත් තීරණ තීන්දු කිහිපයක් ගන්න වෙයි. මොකද මේ සතා සහ මේ පරිසරය මේ ප්‍රදේශයට මහා දායාදයක්, ආභරණයක්. ඒකෙන් අපි වැඩක් ගන්නවද රටක් විදිහට කියන එක ගැන අපි මහත් ඕනෑකමින් බලාගෙන ඉන්නවා….’
මෙකී කරුණු සියල්ල සලකා බලා දියගම වැසි වනාන්තර පද්ධතිය රැකගැනීමට පරිසර ඇමැතිවරයා ඇතුළු බලධාරීන්ගේ ඇස් පෑදේවා යනු කැලෑ කොලමේ බලාපොරොත්තුව වේ. හුදෙක් අපි මේ පිළිබඳ වාර්තා කරනු ලබන්නේ ඉදිරි අනාගතයේ දුවාදරුවන්ගේ පාරිසරික දැනුම හා ඔවුන් ගහකොළින් පිරි නිල්ල පිරුණු රටක ජීවත්වනු දැකීමට ඇති අතිමහත් බලාපොරොත්තුව නිසා බව සටහන් කිරීමට කැමැත්තෙමි.

සමන් හල්ලොලුව










