මීට සති කිහිපයකට ඉහතදී ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණ ජනාධිපතිවරයාත්, ආණ්ඩුවේ ප්‍රධානීන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් හමුවී සාකච්ඡා පැවැත්වීමට පියවර ගෙන තිබිණි. එහිදී නිල වශයෙන් සාකච්ඡා වූ කරුණු මාධ්‍ය මගින් සියල්ලන්ටම දැකගත හැකි විය. නමුත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිදරව් කිරීමට සූදානම් වන්නේ මෙතෙක් කිසිදු මාධ්‍යයක සඳහන් නොවුණු ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරයට අදාළ සිදුවීමකි.Sri Lanka Latest News
ජනාධිපතිවරයා සහ ජයශංකර් අතර පැවැති හමුවේදී දෙපාර්ශ්වයේම ඉහළ පෙළේ නිලධාරීන් ඊට සහභාගි වී සිටි අතර, සාකච්ඡාව අවසාන භාගයේදී අනෙකුත් සියලු නිලධාරීන් ඉවත් කොට ජනාධිපතිවරයා සහ ජයශංකර් අතර පමණක් මුහුණට මුහුණ පැය භාගයක පමණ විශේෂ හමුවක් සිදුවිය. මෙහිදී ජයශංකර් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් ලබාදී තිබූ අතිවිශේෂ පණිවුඩයක් ජනාධිපතිවරයා වෙත ලබාදීමට කටයුතු කොට ඇති බවක් ආරංචිය. එහිදී ශ්‍රී ලංකාව බලාපොරොත්තු නොවුණු ආකාරයට ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජයක් ලංකාවට ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද ජයශංකර් වෙත ස්තුතිය පළකිරීමට කටයුතු කළ බවක්ද දැනගන්නට ඇත.
ජයශංකර් ලංකාවෙන් පිටව යෑමට පෙරම චීන රජයේ ඉහළ පෙළේ විශේෂ නියෝජිතයකුද ඒ අවස්ථාවේ ලංකාවට පැමිණියේය. ඒ, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරකසභාවේ සාමාජික සහ ෂිෂැන්ග් ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් වැන්ග් ජුන්ෂෙන්ග් මහතාය. ඒ වනවිට දිට්වා සුළි කුණාටුවෙන් ලංකාවට දැවැන්ත හානියක් සිදුව තිබීම නිසා වැන්ග් ජුන්ෂෙන් මහතා ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණේ දැවැන්ත ව්‍යාපෘතියක් සඳහා අධාර උපකාර ලබාදීමට චීනය සූදානම් යැයි කියාය. එම ව්‍යාපෘතිය කුමක්ද යන්න පිළිබඳ ඉදිරියේදී දැනුම් දෙන බවද චීන විශේෂ නියෝජිතයා ජනාධිපතිවරයා වෙත දැනුම් දී සිටියේය.
ඒ අනුව හෙට දින චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ලංකාවට පැමිණීමට නියමිතය. ඒ, අප්‍රිකානු රටවල් 4ක සිදුකරන නිල සංචාරය අතරතුරදී අතරමැද ගමනාන්තයක් (ට්‍රාන්සිට්) ලෙසටය. ඒ අනුව චීන විදේශ අමාත්‍යවරයා කටුනායකින් ගොඩබසිද්දී ඔහුව පිළිගැනීමට ජනාධිපතිවරයාත්, අගමැති හරිනි අමරසූරියත්, විදේශ අමාත්‍ය විජිත හේරතුත් ගුවන් තොටුපළ බලා යෑමට නියමිත බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහිදී විජිත සමග චීන විදේශ අමාත්‍යවරයා උදෑසන ආහාරය සහිත සාකච්ඡාවකට එක්වීමට නියමිතව ඇති බවද සදහන්ය. කෙසේ වෙතත් මෙහිදී චීන විදේශ අමාත්‍යවරයා සමග සිදුකරන සාකච්ඡාවේදී චීනය විසින් භාරගනු ලබන ව්‍යාපෘතිය පිළිබඳ නිල වශයෙන් දැනුම් දීමක් සිදුකරනු ඇති බවක්ද දැනගන්නට තිබේ.










