සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ සන්ධානගත වීම සම්බන්ධයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවට එක්වූ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නවීන් දිසානායක මහතා, හිරු ටීවී නාලිකාව සමග පැවැත්වූ කෙටි සාකච්ඡාවකදී පළකළ අදහස් පහත දැක්වේ.
ප්‍රශ්නය
මොනවද ඔබයි, රුවනුයි, අකිලයි, සජිත් ප්‍රේමදාස මහත්තයා හම්බවෙලා කතා කළේ?
නවීන් දිසානායක
කතා කළේ ඇත්ත වශයෙන්ම මේ පක්ෂ දෙක එකට වැඩකරන්නෙ කොහොමද කියන මතය.
ප්‍රශ්නය
මේ සාකච්ඡාව රනිල් වික්‍රමසිංහ මහත්මයා දැනුවත්ව කරපු සාකච්ඡාවක්ද?
නවීන් දිසානායක
පැහැදිලිවම.
ප්‍රශ්නය
මෙහෙම සාකච්ඡාවක් කරනවයි කියලා කවුද දැනගෙන හිටියේ?
නවීන් දිසානායක
මමයි, රුවනුයි, සජිතුයි, අකිලයි, නායකතුමයි.
ප්‍රශ්නය
මීට ඉස්සෙල්ලත් ඔය වගේ සාකච්ඡා තිබ්බනේ. ඒ සාකච්ඡාවල නොගත්තු, මේ සාකච්ඡාවේ ගත්තු තීරණ මොනවාද?
නවීන් දිසානායක
සජිත් ප්‍රේමදාස මහත්තයා අපිට කිව්වේ එතුමා මේවා මේ කරන්න කැමැතියි කෙළින් කතා කරලා, ගේම් ගහන්නේ නැතුව, පක්ෂ දෙක අතර විශ්වාසය ගොඩනගන එක. ඉතින් ඒකට තමයි මූලික වශයෙන් එතුමා අපි තුන් දෙනාව තෝරාගත්තේ කතාකරන්න. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පැත්තෙනුත්, එතුමා අපිව මෙතැනට එවන්නේ එකක් දක්ෂ, පළපුරුදු කට්ටියක්. මම දැන් අවුරුදු 20ක් පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. එතකොට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහත්මයත්, ඒ වගේම එතුමාට විශ්වාසවන්ත පුද්ගලයෙක් වන අකිල විරාජ් මහත්මයාව.
ප්‍රශ්නය
එකතු වෙනවා නම් එකතු වෙන්නේ තනි පක්ෂයක් විදිහටද, නැත්නම් සන්ධානගතවද?
නවීන් දිසානායක
මගේ මොඩ්ල් එක ඇත්ත වශයෙන්ම එම්.ඕ.යූ. එකක්. අවබෝධතා ගිවිසුමක් අස්සන් කරන්න නායකයෝ දෙන්නා අතර ඉලෙක්ටොරල් පැක්ට් එකකට. ඒ කියන්නේ විශේෂයෙන්ම පළවෙනි මැතිවරණය එනවා නම් එන්නේ පළාත් සභා මැතිවරණය හෝ මහ මැතිවරණයක්. එතකොට අපිට දිස්ත්‍රික් මට්ටමේ තීරණය කරන්න පුළුවන් යූ.ඇන්.පී. එකට කී දෙනෙක්ද, සජබයට කීදෙනෙක්ද කියන එක. ඒක එක. දෙක, මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න සාමූහිකව වැඩකරන්න පුළුවන් මැනේජ්මන්ට් කමිටි එකක්, ලීඩර්ෂිප් කවුන්සිල් එකක්. ඉතින් ඒකට එක්සත් ජාතික පක්ෂයෙන් හතර දෙනෙක් හෝ පස් දෙනෙක්, සජබෙන් හතර දෙනෙක් හෝ පස් දෙනෙක්. ඒගොල්ලන්ට ඕනෙනම් තනතුරු ටිකකුත් අපිට ක්‍රියේට් කරන්න පුළුවන්. පක්ෂ දෙකටම විශ්වාස කරන්න පුළුවන් මහලේකම් කෙනෙක්.
ප්‍රශ්නය
සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අදහස මොකක්ද ඒ ගැන?
නවීන් දිසානායක
මම දැක්කා සජබයෙ දෙන්නෙක් තුන්දෙනෙක් කියනවා සජිත් නායකයා විය යුතුයි මේ සන්ධානයේ. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම ප්‍රශ්නයක් නැහැ. මොකද සජබෙට තමයි වැඩි පිරිසක් ඉන්නේ, වැඩි ඡන්ද තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය ඒක යථාර්ථයක් හැටියට පිළිගත යුතුයි.
ප්‍රශ්නය
ඒ කියන්නේ සජිත් නායකයා විදිහට පිළිගන්න ඔබතුමා සූදානම්?
නවීන් දිසානායක
ඔව්, පොදු සන්ධානයේ නායකයා හැටියට ඒක අපිට ගැටලුවක් නැහැ.
ප්‍රශ්නය
එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා?
නවීන් දිසානායක
එතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට ඉන්න පුළුවන්.
ප්‍රශ්නය
ඒකට රනිල් වික්‍රමසිංහ මහත්මයා කැමැතිද?
නවීන් දිසානායක
මම හිතන්නේ දැන් වෙනසක් තියෙනවා එතුමාගේ. එතුමාට පේනවා මේ පොදු පාක්ෂිකයාගේ මතය මොකක්ද කියලා.
ප්‍රශ්නය
සමහරුන්ගේ මතයක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ සැරෙත් ගහන ගැටයක්ද කියලා?
නවීන් දිසානායක
නැහැ, මම හිතන්නේ නැහැ ගැට ගහලා හැමදාම ඉදිරියට යන්න පුළුවන් කියලා.
ප්‍රශ්නය
රවී කරුණානායක මහත්මයා කියනවා භූතයෝ දෙන්නෙක් පක්ෂේ ඉන්නවා කියලා. කවුද භූතයෝ දෙන්නා?
නවීන් දිසානායක
මම හිතන්නේ රවී තමයි ඕක කිව්වේ. ඉතින් රවීගෙන්ම ඒක ඇහුවොත් හොඳයි.
ප්‍රශ්නය
ඔය එකතු වීමට වජිර අබේවර්ධන මහත්මයා, එතකොට සාගල රත්නායක මහත්තයා කැමැතිද?
නවීන් දිසානායක
ඇත්ත වශයෙන්ම ඒගොල්ලොත් එක තැනකට එන්න අවශ්‍යයි. මොකද මේ පක්ෂයේ බහුතරය කෘත්‍යාධිකාරී මණ්ඩලය එක තැනක ඉන්නවා නම්…
ප්‍රශ්නය
ඔවුන් මොන තැනද ඉන්නේ?
නවීන් දිසානායක
ඒක මං දන්නේ නැහැ. ඒක ඔවුන්ගෙන් අහන්න, මං ඒක දන්නේ නැහැ. පොහොට්ටුවත් එක්ක නම් අපිට ගමනක් යන්න බැහැ. පොහොට්ටුව කියන්නේ ඉතින් රාජපක්ෂලා. ඉතින් රාජපක්ෂලාත් එක්ක එහෙම ගමනක් යන්න, මහින්ද රාජපක්ෂ මහත්මයා තාමත් ඉන්නවා චරිතයක් හැටියට. ගොඩක් කට්ටිය කියනවා මේ පොහොට්ටුවත් එක්ක ගමනක් යන්න පුළුවන් කියලා. ගොඩක් කට්ටිය කියනවා බැහැ කියලා. නමුත් හැමෝම කියනවා යූ.ඇන්.පී. එකයි සජබයයි එකතු වුණොත් ගේම් එකක් ගහන්න පුළුවන් කියලා.










