• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබ-එජාප එකතු කරමින් සජිත් ගහපු ‘කලම්බෝ ක්ලබ්’ ගේමට ‘භූත’ බැල්ම වැටෙයි! රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

January 4, 2026
in Exclusive, Rajya Rahas
Reading Time: 14 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඒකාබද්ධ මෙහෙයුම

අප මීට සති කීපයකට ඉහතදී සජබය සහ එජාපය එකතු කිරීමේ වැඩපිළිවෙළේ තීරණාත්මක සන්ධිස්ථානයකට රැගෙන එමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතිශය වැදගත් සාකච්ඡා කිහිපයක් සිදුකරමින් සිටින බව ‘රාජ්‍ය රහස්’ තීරයේ සඳහන් කළෙමු. ඊට සම්බන්ධ වූ පුද්ගලයන් කවුරුන්ද, එම සාකච්ඡා තිබුණේ කොහේද යන්න පිළිබඳ කිසිදු සඳහනක් නොකළ අප, එහිදී කියා සිටියේ එම සාකච්ඡාවන්හි ප්‍රතිඵල සුදුසු වේලාවේදී සියල්ලන්ටම දැකගත හැකි වනු ඇතැයි කියාය. අප කළ එම අනාවරණය තහවුරු කරමින් පසුගිය සතියේ සජබ නායක සජිත් සහ එජාපයේ ඉහළ පෙළේ නායකයන් තිදෙනකු වූ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම් සහ උපසභාපති නවීන් දිසානායක යන මහත්වරුන් අතර හමුවක් කොළඹදී විශේෂ හමුවක් සිදුවිය. ඊට අදාළ ඡායාරූප මාධ්‍යයේ පළවීමත් සමග තිරය පිටුපස සිදුවූ මේ රහස් සාකච්ඡාවන්හි තොරතුරු කිසිවක් නොදැන සිටි දසලක්ෂ ගණන් වූ සජබ සහ එජාප පාක්ෂිකයන් මහත් උද්දාමයට පත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. නමුත් මෙම තීරණාත්මක හමුව දක්වා සජිත් පැමිණි ගමන පසුපස කිසිවකුත් නොදන්නා විශාල කතාවක් තිබේ. එහි ආරම්භය සනිටුහන් වූයේ එජාපය හා සජබය අතර එකමුතුව සිදුවිය යුත්තේ කෙසේද යන්න සොයාබලා තමන්ට වාර්තා කරන ලෙස සජිත් පක්ෂ කළමනාකරණ කමිටු රැස්වීමේදී කබීර් හෂීම්ගේ නායකත්වයෙන් විශේෂ කමිටුවක් පත්කිරීමට පියවර ගැනීමත් සමගය. ඊට එස්.එම්. මරික්කාර් සහ මුජිබර් රහුමාන් යන මන්ත්‍රීවරුන් සජිත් පත් කළද, පසුව මුජිබර් ඉන් ඉවත් විය. අනතුරුව ඊට සජිත් පත්කළේ ඉරාන් වික්‍රමරත්නය. කෙසේ වෙතත් කබීර් මෙම වාර්තාව සකස් කළ ආකාරය පිළිබඳ සජබ මන්ත්‍රීවරුන් අතරම බරපතළ විරෝධයක් මතුව තිබිණි. ඊට හේතුවී තිබුණේ විපක්ෂ නායකයා සජිත් වුවද, ප්‍රධාන පක්ෂය වන සජබයේ නායකයා සජිත් වුවද මෙම වාර්තාව සකස් කිරීමේදී කබීර්, සජිත්ව පසෙකට දමා රනිල්ට නායකත්වය ලැබෙන ආකාරයට සහ රනිල්ගේ අවශ්‍යතාවන් ඉටුවන ආකාරයට අදාළ වාර්තාව සකස් කර තිබීමය. එහිදී කබීර් එම වාර්තාව සකස් කිරීමට සාකච්ඡා කොට තිබුණේ සජබයේ ප්‍රබලයන් සමග හෝ සජබ පාක්ෂිකයන් සමග නොව, එජාපයේ ප්‍රබලයන් සහ එජාපයේ හිටපු ප්‍රධානීන් සමගය. මේ බව අප කල් තියාම හෙළිදරව් කිරිමෙන් පසු අප සැක කළ ආකාරයටම වාර්තාව නිකුත් වූ අතර එහි ප්‍රතිඵලය වූයේ කබීර්ගේ මෙම වාර්තාව කුණු කූඩයට වීසි වීමය. ඒ සම්බන්ධයෙන් පැවැති පක්ෂ කළමනාකරණ කමිටු රැස්වීමේදී සජිත් කියා සිටියේ මින් ඉදිරියට සජබය සහ එජාපය එක්කිරීමේ වගකීම තමන් භාරගන්නා බවත්, ඊට අදාළ සියලු කටයුතු තමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වනු ඇති බවත්ය.Sri Lanka Latest News

සජිත් මෙසේ කියද්දී බොහෝ දෙනා සජිත්ට සිනාසුණු ආකාරයක් දැකගත හැකි විය. පෙළක් අය කියා සිටියේ සජිත්ට මෙය කිරීමට හැකියාවක් නොමැති බවත්, සාකච්ඡාවන් පවත්වාගෙන යෑමට සජිත්ට දැනුමක් නොමැති බවත්ය. සජබ එජාප එකමුතුව නොකෙරෙන තැනට සජිත් මෙම සාකච්ඡා ඇදගෙන යනු ඇති බවද ඇතැම්හු කියා සිටියහ. එම චෝදනාව සජබය පැත්තෙන් පමණක් නොව, එජාපය පැත්තෙන්ද ඉදිරිපත් වූ ආකාරයක් දැකගත හැකි විය. යම් යම් පාර්ශ්වයන් තැන් තැන්වල මෙසේ කීවද සජිත් මෙම සාකච්ඡා අතට ගෙන සතියක් ඉක්ම යෑමට මත්තෙන් ඊට අවශ්‍ය පසුබිම සකස් කිරීමට පියවර ගත්තේය. එහිදී සජිත් කළේ මීට පෙර සජබය සහ එජාපය එකමුතු කිරීමේ උත්සාහයන්වලදී පැමිණි බලපෑම් පිළිබඳ මුලින්ම ආපසු සිතාබැලීමය. විශේෂයෙන්ම එජාපයේ ප්‍රබලයකු වන රවී කරුණානායක විසින් අවස්ථා කිහිපයකදීම අනාවරණ කරන ලද සජබ එජාප එකමුතුවට වළ කපන ‘භූතයන්’ දෙදෙනා විසින් ගැසූ ගේම් පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමුකෙරිණි. ඇතැම් තැන්වලදී මේ භූතයන් දෙදෙනා පමණක් නොව, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාද එම මෙහෙයුමේම සිටි බව කිසිවකුටත් එහසක් නොවේ.

කෙසේ වෙතත් සජිත් මෙම සාකච්ඡා අතට ගැනීමෙන් අනතුරුව වැඩි සද්දයක් බද්දයක් නැතිව, කලබල නොවී, ඉතා සූක්ෂ්ම ආකාරයෙන් මෙම සාකච්ඡා ආරම්භ කරන්නේ කෙසේද යන්න පිළිබඳ සැලසුම් කළේය. ඒ අනුව සජිත් අවසානයේදී තීන්දු කළේ එජාපයේ සිටින ප්‍රබලයන් කිහිප දෙනකු තනි තනිවම මුණගැසී මෙම සාකච්ඡාවලට ආරම්භයක් ලබාගැනීමටය. ඒ අනුව පළමුව සජිත් දැනට සක්‍රීය දේශපාලනයේ සිටින එජාප ප්‍රබලයන් කිහිප දෙනකු සමග තනි තනිව හමුවී සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. ඉන් අනතුරුව ක්‍රියාකාරී දේශපාලනයේ නොමැති එජාප ප්‍රබලයන් කිහිප දෙනකු මුණගැසීම සඳහා සජිත් ඔවුන්ගේ නිවෙස්වලටම ගියේය. මේ සාකච්ඡා සම්බන්ධයෙන් වූ තොරතුරු කිසිවක් එළියට දැමීමට සජිත් කිසිදු අවස්ථාවක කටයුතු කළේ නැත. එම තොරතුරු හැකි තරම් රහසක් ලෙස තබාගැනීමට සජිත් පියවර ගත්තේ යම් හෙයකින් ඒ පිළිබඳ තොරතුරු එළියට පැමිණියහොත් එම සාකච්ඡා කඩාකප්පල් කිරීමට එජාපයේ සිටින රවී කියන ආකාරයේ ‘භූතයන් දෙදෙනා’ විවිධ උපක්‍රම යොදනු ඇති බවට සජිත්ට තිබූ සැකය නිසාය.

නමුත් මෙම තොරතුරු එළියට නොපැමිණියද අප වරින් වර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ මේ පිළිබඳ ඉඟි ලබාදෙමින් සජිත් තීරණාත්මක සාකච්ඡාවන් රැසක නිරතව සිටින බවත්, එහි ප්‍රතිඵල හෙට අනිද්දා රටටම දැනගන්නට ලැබෙනු ඇති බවත් අනාවරණ කර සිටියෙමු.

මෙම සාකච්ඡාවන්ට ආරම්භයක් ලබාගැනීම සඳහා සජිත් මුලින්ම හමුවූ එජාප නායකයන් ගොනුවේ ඉහළින්ම සිටි ප්‍රබලයකු වූයේ උපසභාපති නවීන් දිසානායකය. නවීන් මුල සිටම සිටියේ සජබය සහ එජාපය යනු පක්ෂ දෙකක් නොවන බවත්, එම පක්ෂ දෙකේම සිටින්නේ එකම සාමාජිකයන් කණ්ඩායමක් බවත්, ඒ නිසා මෙම පක්ෂ දෙක එකතු විය යුතු බවටත් වූ ස්ථාවරයේය. නවීන් මෙම අදහස පළමු වරට ප්‍රසිද්ධියේම කියා සිටියේ ඉකුත් නොවැම්බර් 21 වැනිදා නුගේගොඩ දී පොහොට්ටුවේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීම පිළිබඳ පැවැති පූර්ව සාකච්ඡාවේදීය. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නුගේගොඩ රැස්වීමට සහභාගි වීම සම්බන්ධයෙන් වූ මාතෘකාව එළියට එද්දී නවීන් ප්‍රසිද්ධියේම කියා සිටියේ පොහොට්ටුව සමග තවදුරටත් දේශපාලන ගමනක් එජාපයට නැති බවත්, තමන් මින් මතු කිසිදු දිනෙක රාජපක්ෂවරුන් සමග දේශපාලනය කිරීමට කටයුතු නොකරන බවත්ය. නමුත් රනිල් ඊට එරෙහිව අදහස් දක්වමින් එජාපය නුගේගොඩ රැස්වීමට අනිවාර්යයෙන්ම සහභාගි විය යුතු බව කියද්දී එජාප ප්‍රබලයන් වන තලතා, අකිල, රුවන් ඇතුළු කණ්ඩායමක් නිහඬව සිටි ආකාරයක්ද දැකගන්නට ලැබිණි. නමුත් නවීන් දිගටම තම ස්ථාවරයේ සිටිමින් නුගේගොඩ රැස්වීමට එජාපය සහභාගි විය යුතු නැති බවත්, යම් හෙයකින් එජාපය ඊට සහභාගි වන්නේ නම් තමන් ඊට විරෝධය පළකරන බවත් කියා සිටියේය. ඒ කී ආකාරයටම නවීන් ඒ බව ට්විටර් පණිවුඩයක් මගින්ද රටට දැනුම් දුන්නේය.

සාකච්ඡා පටන් ගනී

නවීන්ගේ මෙම ස්ථාවරය දැන සිටි නිසා සජිත් මුලින්ම සාකච්ඡා ආරම්භ කළේ නවීන් සමගය. ඉතාමත් රහසිගතව නවීන් සමග සාකච්ඡාවක් පැවැත්වූ සජිත්, එහිදී සජබය සහ එජාපය එකතු කිරීම සම්බන්ධයෙන් ඉතා ඵලදායී අදහස් රැසක් හුවමාරු කරගැනීමට පියවර ගත්තේය. මෙම පක්ෂ දෙක එකතු කරන්නේ කෙසේද, ප්‍රධාන පාර්ශ්වයන් බවට පත්විය යුත්තේ කවුරුන්ද, එකඟතාවන් ඇතිකර ගැනීමේදී මතුවිය හැකි බාධාවන් මොනවාද, ඒවා කළමනාකරණය කළ යුත්තේ කෙසේද යනාදිය සම්බන්ධයෙන් අතිශය වැදගත් තොරතුරු රාශියක් මෙහිදී නවීන් සමග සාකච්ඡා කිරීමට සජිත් පියවර ගත්තේය. නමුත් සජිත් හෝ නවීන් මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් කිසිදු තැනක වචනයක් හෝ කතා නොකිරීමට වගබලාගෙන තිබීම සුවිශේෂ සිදුවීමක් විය.

ඉන් අනතුරුව සජිත් සාකච්ඡා කළේ එජාපයේ නියෝජ්‍ය නායකයා වූ රුවන් විජේවර්ධන සමගය. රුවන්ද නොවැම්බර් 21 නුගේගොඩ පොහොට්ටුවේ රැලියට සහභාගි වීමට විරෝධය පළකළ පිරිස අතර සිටි අයෙක් විය. මේ සම්බන්ධයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡා කරද්දී රුවන් නිහඬව සිටියද, ඊට එරෙහිව අදහස් දැක්වීමට රුවන් කටයුතු කළේ නැත. නමුත් පසුව රනිල් හමුවූ රුවන් දැනුම් දී තිබුණේ තමන් තාවකාලිකව දේශපාලනයෙන් සමුගැනීමට කටයුතු කරන බවත්, පවුලේ ව්‍යාපාරික කටයුතුවලට සක්‍රීයව සම්බන්ධ වීමට කටයුතු කරන බවත්ය. ඒ අනුව රුවන් ඉන් පසු එජාපයේ පැවැති කිසිදු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකට හෝ කළමනාකරණ මණ්ඩල රැස්වීමකට සහභාගි වීමට කටයුතු කොට තිබුණේ නැත. නමුත් එක් අවස්ථාවකදී පමණක් රුවන් එජාපයේ කළමනාකරණ කමිටු රැස්වීමකට සහභාගි වීමට පියවර ගත්තේ සිය හිතවතා වූ හරීන් ප්‍රනාන්දුගේ විශේෂ ආරාධනාවකට අනුවය. 21 රැස්වීම පැවැත්වීමට ඔන්න මෙන්න කියා පැවැති මෙම සාකච්ඡාවට නවීන්ටද ආරාධනා කර තිබූ අතර, එහි අරමුණ වී තිබුණේ සියලු දෙනාම 21 නුගේගොඩ රැස්වීමට සහභාගි වන බවට ප්‍රකාශ කරවා ගැනීමය. එහිදී රුවන්ගෙන් රැස්වීමට එනවාදැයි අසද්දී තමන් ඊට සහභාගි වන බව රුවන් කීවද, අවසන් මොහොතේදී සිය ස්ථාවරයේ සිටිමින් රුවන්ද නුගේගොඩ රැස්වීම වර්ජනය කිරීමට පියවර ගත්තේය.

ඒ අනුව නවීන් සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව රුවන් සමගද අතිශය තීරණාත්මක රැස්වීමක් පැවැත්වීමට සජිත් කටයුතු කළේය. මෙම සාකච්ඡාවේදී පක්ෂ දෙක එකතු කිරීමේදී මතුවිය හැකි බාධක, ඇතිකර ගන්නා එකඟතාවන් කැඩෙන තැන් සහ කඩන තැන් මෙන්ම කඩන අය පිළිබඳවද සජිත් හා රුවන් අතර ඉතා දීර්ඝ අදහස් හුවමාරුවක් සිදුවිය. ඉතා විවෘතව පැවැති මෙම සාකච්ඡාවේදී රුවන්ද අවංකව අදහස් දක්වමින් මෙම එකමුතුව කැඩීම සඳහා ක්‍රියාත්මක විය හැකි බලවේග සහ ඒවා ක්‍රියාත්මක වී ඇති ආකාරය පිළිබඳ අදහස් දක්වා තිබූ බවක්ද ආරංචිය. පසුගිය සතියේ නවීන්, රුවන්, අකිල සමග පැවැති සාකච්ඡාවට අවශ්‍ය මූලික පදනම වැටුණේ රුවන් සමග සජිත් පැවැත්වූ මෙම සාකච්ඡාවේදීය. ඒ පිළිබඳ සජිත් රුවන්ට දැනුම් දෙද්දී රුවන්ද ඊට කොන්දේසි විරහිතව එකඟතාව පළකිරීම විශේෂ සිදුවීමක් විය.

මෙම පක්ෂ දෙක එකතු කිරීමේ සාකච්ඡාවට ආරම්භයක් ලබාගැනීම සඳහා නවීන්, රුවන්, අකිල යන තිදෙනා තෝරාගැනීමේදී යම් විශේෂත්වයක්ද තිබේ. ඒ, මොවුන් තිදෙනා දැනට එජාපය ඇතුළේ ඉතිරිව සිටින චෝදනාවලට ලක් නොවූ සහ පාරාජිකා නොවූ තරුණ නායකයන් කිහිප දෙනාගෙන් ප්‍රධාන තිදෙනකු වීමය. කිසිදු අවස්ථාවක මොවුන් දේශපාලනයේදී සිය නම කැත කරගෙන තිබුණේ නැත. දැනට ඉතිරිව සිටින ලක්ෂ දෙකහමාරක පමණ වූ එජාප පාක්ෂිකයන්ගේ ආදරය, පිළිගැනීම සහිත කිහිප දෙනා අතර මේ තිදෙනා ඉහළින්ම සිටීමද ඊට එක හේතුවක් විය. මේ තිදෙනාම තරුණ පැවැති එජාප ආණ්ඩුවලදී ඇමැතිකම් දරා රටට දැනෙන වැඩක් කළ අය වීමද ඒ සඳහා බලපා තිබිණි.

ඒ අනුව රුවන් සමග පැවැති සාකච්ඡාවේදී පක්ෂ දෙන එකතු කරන පළමු හමුව ඉකුත් අඟහරුවාදා දින පැවැත්වීමටත්, ඒ පිළිබඳ රනිල්ට දැනුම් දීමේ කාර්යය රුවන් හට පැවරීමටත් පියවර ගැණින. කෙසේ වෙතත් පක්ෂ දෙක එකතු කිරීම සඳහා රනිල් විසින් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී කමිටුවක් පත්කර තිබූ අතර, ඊට ඇතුළත් කොට තිබුණේ තලතා අතුකෝරල, සාගල රත්නායක සහ රුවන් විජේවර්ධනය. නමුත් සාගල සහ තලතා නොමැතිව නවීන් සහ අකිල සමග එක්ව සජිත් සමග සාකච්ඡා කිරීමට යෑමට රනිල් ඉඩ දෙයිද යන ගැටලුව මුලින් පැනනැගුණත්, ඒ වන විටත් මතුව තිබූ වාතාවරණය හමුවේ ඊට එකඟ නොවී සිටීමට නොහැකි වාතාවරණයක් ගොඩනැගී තිබිණී. ඒ අනුව රුවන් කළ දැනුම් දීමෙන් පසු සජිත් සමග සාකච්ඡා කිරීම සඳහා රුවන්, නවීන්, අකිල යන තිදෙනාට එකඟතාව ලබාදීමට රනිල් පියවර ගෙන තිබිණ. එම අනුමැතිය හිමිවීමත් සමග සාකච්ඡාව කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ‘කලම්බෝ ක්ලබ්’හි විශේෂ කාමරයක පැවැත්වීමට තීරණය විය. එය දිවා භෝජනය සහිත සාකච්ඡාවක් ලෙස පැවැත්වීමට තීරණය කෙරිණ. මෙහිදී සාකච්ඡා ආරම්භ කිරීම සඳහා තවත් කිහිප දෙනෙක්ම සක්‍රීය දායකත්වයක් ලබාදී තිබූ ආකාරයක්ද දැකගත හැකි විය. ඔවුන් පක්ෂ දෙකේම දේශපාලනය කර තිබූ සහ දැනටමත් දෙපාර්ශ්වය සමගම හිතවත්ව කටයුතු කරන පිරිසක් වීම විශේෂත්වයකි.

ඒ අනුව අඟහරුවාදා දහවල් ටාජ් සමුද්‍රා හෝටලයේ ‘කලම්බෝ ක්ලබ්’හි කාමරයක ආරම්භ වූ සාකච්ඡාවට සහභාගි වී සිටියේ නියෝජිතයන් පස්දෙනකු පමණි. ඒ, එජාපය නියෝජනය කරමින් රුවන්, නවීන්, අකිලත්, සජබය නියෝජනය කරමින් සජිත් සහ සජිත්ගේ ළඟම හිතවතා වූ ලකී ෆොන්සේකාත් පමණි. මෙම සාකච්ඡාව සම්බන්ධීකරණය කිරීමේදී ලකී විශේෂ වැඩකොටසක් තිරය පිටුපස සිටිමින් සිදුකර තිබීම නිසා සාකච්ඡා මේසයේ අසුනක් ඔහුටද වෙන්ව තිබිණ.

බොහෝ දෙනා අපේක්ෂා කළාටත් වඩා මෙම සාකච්ඡාව ආරම්භයේ සිටම ඉතා සුහදශීලී ආකාරයට ඉදිරියට ඇදීගිය බවක් අපට දැකගන්නට ලැබිණ. මෙහිදී සජබය සහ එජාපය එක්ව සන්ධානයක් ගොඩනගන ආකාරය පිළිබඳ දීර්ඝව සාකච්ඡා කෙරුණු නමුත් කිසිවකුත් මෙම සාකච්ඡාවේදී කතාබහට ලක්වූ කරුණු සහ ඇතිකරගත් එකඟතා පිළිබඳ එළියේ කතා නොකිරීමට වගබලා ගෙන තිබීම විශේෂත්වයක් විය.

සාකච්ඡාවේදී සජිත් මුලින්ම පෙන්වා දුන්නේ පක්ෂ දෙක එකතු කිරීමේදී අරමුණු පිළිබඳ තේරුම්ගත යුතු යැයි කියාය. පළමු අරමුණ වන්නේ මාලිමාව පරාජයට පත්කිරීම බවත්, එය හිතන තරම් ලේසි පහසු නොවන බවත් සජිත් මෙහිදී පෙන්වා දුන්නේය. පක්ෂ දෙක එකතු වන්නේ නම් සියලු දෙනාම එකාවන්ව ඉදිරියට යෑමට පියවර ගතයුතු බවත්, මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට හොර රහසේ ගේම් ගසනවා නම් හෝ පිටුපස සිට පිහියෙන් අනිනවා නම්, එය කළ නොහැකි බවත් සජිත් මෙහිදී පිරිසට පැහැදිලි කිරීමට පියවර ගත්තේය. එහිදී යම් යම් අතීත සිදුවීම් ගෙනහැර දැක්වූ සජිත්, නම් ගම් හෙළි නොකර කතාකිරීමට වගබලා ගත්තද ඒවා පසුපස සිටින්නේ කවුද කියා පිරිසට වැටහෙන ආකාරයට අදහස් දැක්වීමටද වගබලා ගත්තේය.

‘අපි ඉස්සෙල්ලාම අපිට තියෙන අභියෝගය මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. මාලිමා ආණ්ඩුව පරද්දන්න නම් අපි එකතු වෙලා වැඩ කරන්න ඕනේ. ඒකෙ කිසිම ගැටලුවක් නෑ. හැබැයි අපි එකතු වෙලා වැඩකරද්දී ගේම් ගහන්න බෑ. පිටිපස්සේ ඉඳන් පිහියෙන් අනින්න බෑ. අපි මේ ගමන ඉස්සරහට යද්දී ආයේ පිටිපස්ස හැරිලා බල බලා මේ ගමන යන්න බෑ. බොරු නිවුස් ප්ලාන්ට් කර කර මේක කඩාකප්පල් කරන්න ඉඩ දෙන්න බෑ. මොකද රනිල් අත්අඩංගුවට ගත්ත වෙලාවේ මම අවංකවම එතුමාව බේරගන්න අපේ පාක්ෂිකයෝ එක්ක පාරට බැස්සා. හැමදාම එතුමාව බලන්න ගියා. එතුමා එළියට ගන්න අපේ පාක්ෂිකයේ එක්ක අවංකවම කටයුතු කළා. නමුත් අන්තිමේදී මොකක්ද වුණේ? එතුමා ඇප ලැබිලා ඉස්පිරිතාලෙන් එළියට එන්නත් කලින් නිවුස් ප්ලාන්ට් කල්ලිය මට ගහන්න පටන් ගත්තා. මම ගැන බොරු නිවුස් පත්තරවල දැම්මා. මාව අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගන්නවා කිව්වා. එතැනින් පස්සේ වෙච්ච දේවල් ඔබතුමාලා දන්නවා. ඒ හින්දා මම කියන්නේ අපි දෙගොල්ලෝ එකතු වෙනවා නම් ආයෙත් මේ වගේ දේවල් වෙන්න ඉඩ තියන්න බැහැ…’ යනුවෙන් සජිත් කියද්දී රුවන්, නවීන්, අකිල යන තිදෙනාම එය අනුමත කරමින් අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය.

මේ ආකාරයට සාකච්ඡාව ඇතැම් ස්ථානවලදී ඉතා ගැඹුරු ආකාරයටත්, ඇතැම් තැන්වලදී ඉතා සුහදශීලී ආකාරයටත් ගලාගිය ආකාරයක් දැකගත හැකි විය. ඇතැම් අවස්ථාවලදී මේ සියලු දෙනා දේශපාලන සාකච්ඡාවෙන් බැහැරව තමතමන්ගේ පෞද්ගලික ජීවිතවල තොරතුරු පවා සිනාසෙමින් බෙදාහදා ගන්නා ආකාරයක් දැකගන්නට ලැබිණි. දිවා භෝජනය අවස්ථාවේදී පවා මේ සියලු දෙනා දේශපාලන කරුණු මෙන්ම ආගිය පෞද්ගලික තොරතුරුද හුවමාරු කරගත් ආකාරයක් දැකගත හැකි විය.

එකතුව වෙන හැටි

කෙසේ වෙතත් පක්ෂ දෙකේ එකමුතුව සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී ඍජුව පක්ෂ දෙක යළිත් ඒකාබද්ධ කරනවාද, එසේත් නැත්නම් සන්ධානයක් ලෙස කටයුතු කරනවාද යන්න සම්බන්ධයෙන් විශේෂ අදහස් හුවමාරුවක් එක් අවස්ථාවකදී සිදුවිය. එහිදී සජිත් කියා සිටියේ එක්වරම පක්ෂ දෙක එකතු කිරීම හෝ සන්ධානයක් ලෙස ඒකාබද්ධ වීම ලේසි පහසු වැඩක් නොවේ යැයි කියාය.
‘මේ පක්ෂ දෙක එකට එකතු කිරීම හරි සන්ධානයක් ගොඩනගන එක හරි ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒ හින්දා අපි ඉස්සෙල්ලාම ඒක ගැන කතා නොකර දෙගොල්ලෝ එකතු වෙලා වැඩ කරන්න බලමු. උදාහරණයක් විදියට ඉස්සරහට ආණ්ඩුවට මුහුණ දෙන්න සිද්ධ වෙන ලොකුම ප්‍රශ්නය එන්නේ මේ සුළි කුණාටුවෙන් පස්සේ ආපදා කළමනාකරණ කටයුතුවලදී. මම දැන් හැම තැනම යන නිසා මට පේනවා මේක ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් වෙන්න නියමිතයි කියලා. ඉතින් අපි මේ ප්‍රශ්නෙදි එකතු වෙලා ජනතාව වෙනුවෙන් වැඩකරන්න බාධාවක් නෑ. දැනටමත් සජබය මේ අවතැන් වෙලා ඉන්න ජනතාවට සහන දෙන වැඩපිළිවෙළක් දියත් කරලයි තියෙන්නේ. විනාශ වෙච්ච රෝහල්වලට වෛද්‍ය උපකරණ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලයි තියෙන්නේ. ඒ වගේ ජනතාව වෙනුවෙන් කරන වැඩකටයුතුවලදී අපි එකතු වෙලා ඒවා කරන්න කිසිම බාධාවක් නෑ. අපි එතැනින් පටන් ගමු. ජනතාව වෙනුවෙන් තවත් සහන දෙන්න පුළුවන් ක්‍රමවේදයන් හදමු. ඒ විදියට එකට වැඩ කරලා ඉස්සරහට යද්දී අපිට පුළුවන් මේ පක්ෂ දෙක එකතු වෙන තැනට ක්‍රමක්‍රමයෙන් අරන් යන්න…’ යනුවෙන් සජිත් කියද්දී රුවන්, නවීන්, අකිල යන තිදෙනාද ඊට එකඟතාව පළකරමින් අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය.

ඒ අතරතුර දිවා භෝජනය සඳහා සියලු දෙනාටම ඇනවුම් කර තිබුණේ චීන කෑම වේලකි. කෑම ගන්නා අතරතුරදී පවා මෙම සාකච්ඡාව ඉදිරියට රැගෙන යෑමට දෙපාර්ශ්වයම කටයුතු කළ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව අවසන් මොහොතේදී ඉතා සුහදශීලී සහ උණුසුම් අයුරින් සාකච්ඡාව අවසන් කිරීමට පියවර ගත් සජිත්, එක් සුවිශේෂ ඉල්ලීමක් සිදුකිරීමට පියවර ගත්තේය. ඒ, සමූහ ඡායාරූපයක් ගනිමු යැයි යෝජනා කරමිනි. ඊට සියල්ලන්ගේ එකඟතාව පළවීමත් සමග සජිත් මුලින්ම සාකච්ඡාවට එක්ව සිටි පස්දෙනාම හසුවන පරිදි තමන්ගේ ජංගම දුරකතනයෙන්ම සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට පියවර ගත්තේය. ඉන් අනතුරුව සිය ජංගම දුරකතනය ලක්ෂ්මන් ෆොන්සේකාට දෙමින් සජිත් කීවේ තමන් ඇතුළු කණ්ඩායම සිටින ආකාරයේ සමූහ ඡායාරූපයක් ගන්නා ලෙසටය. ඒ අනුව ගත් ඡායාරූප සියල්ලම රුවන්ටත්, අකිලටත්, නවීන්ටත් පෙන්වීමට සජිත් කටයුතු කළේය.

එහිදී සජිත් එජාප නියෝජිතයන්ගෙන් විමසා සිටියේ මෙම ඡායාරූපය මාධ්‍යයට ලබාදුන්නාට කමක් නැද්දැයි කියාය. ඊට රුවන්, නවීන්, අකිල යන තිදෙනාම එකඟතාව පළකරමින් කියා සිටියේ මෙම සාකච්ඡාව නිල සාකච්ඡාවක් බැවින් ඡායාරූප ප්‍රසිද්ධ කිරීමේ කිසිදු ගැටලුවක් නොමැති බවත්, එළියේ සිටින ලක්ෂ සංඛ්‍යාත පාක්ෂිකයන් පිරිසක් මේ සාකච්ඡාවේ ප්‍රගතිය පිළිබඳ උනන්දුවෙන් යුතුව බලා සිටින බවත්ය.

‘එහෙනම් මම මේ ෆොටෝස් ඔක්කොම ඕගොල්ලන්ටත් එවන්නම්. ඕගොල්ලෝ ඒවා කැමැති විදියට දාන්න. මමත් මේ ෆොටෝ එකයි වීඩියෝ එකයි මගෙ ට්විටර් එකේ දානවා….’ යැයි කියමින් සුහද සාකච්ඡාව අවසන් කළ සජිත් කාමරයෙන් පිටතට පැමිණෙද්දී හෝටලය ඇතුළේ සජබයට හිතවත් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෝ රැසක්ද එක්ව සිටියහ. වරුණ රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු මෙම සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් කණ්ඩායමද එදින ටාජ් සමුද්‍රා හෝටලයට පැමිණ තිබුණේද දිවා භෝජනය ලබාගැනීම සඳහාය. නමුත් මෙවැනි සාකච්ඡාවක් කලම්බෝ ක්ලබ්හි පැවැත්වෙන බව ඔවුන්ටද වාර්තා වී තිබිණි. ඒ අනුව සජිත් එළියට එද්දීම ඔහුව වටකරගත් මෙම කණ්ඩායම සාකච්ඡාවේ ප්‍රගතිය පිළිබඳ විමසද්දී සජිත් කියා සිටියේ සාකච්ඡා සාර්ථක යැයි කියාය. සජිත්ගේ මුහුණේද එම සාකච්ඡාවේ සාර්ථක බව පිරී ඉතිරී තිබිණ. ඒ නිසාම ඒ අසල අලංකාරයට තබා තිබූ පියානෝව ඉදිරියේ අසුන්ගත් සජිත් තමන් ප්‍රිය කරන ගීත දෙකක් වාදනය කිරීමටද පියවර ගත්තේය. සාකච්ඡාවේ ඡායාරූපය සහ ඒ සම්බන්ධයෙන් කෙටි සටහනක් සිය ට්විටර් ගිණුමේ පළකිරීමට සජිත් පියවර ගත්තේ ඉන් පසුවය. කෙසේ වෙතත් සජබය සහ එජාපය අතර මෙවැනි නායක මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වූ බව වාර්තා කරමින් අදාළ ඡායාරූපයද පළමු වරට රටට හෙළිදරව් කිරීමට ප්අර්ඒබැඅිගකන වෙබ් අඩවිය ඔස්සේ අපි පියවර ගත්තෙමු.

මේ ආකාරයට අප විසින් අදාළ ඡායාරූපය පළකිරීමත් සමග කඩි ගුලක් ඇවිස්සුණා සේ සියලු මාධ්‍ය අදාළ ඡායාරූපය සහ කතා පුවත වාර්තා කිරීමට පියවර ගෙන තිබිණි. ඒ සමගම රට පුරාම සිටින සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් මෙන්ම එජාප පාක්ෂිකයන් විශාල උද්දාමයකට පත්වූ ආකාරයක් දැකගන්නට ලැබුණේ මෙවර නම් පක්ෂ දෙක එකට එකතු වී ආණ්ඩුවක් තැනීමේ අවස්ථාව උදාවනු ඇති බව සක්සුදක් සේ දැකගන්නට ලැබීම නිසාය. ඒ බව හොඳටම දැකගන්නට ලැබුණේ සජිත්ට ප්‍රහාර එල්ල කළ ඇතැම් පිරිස් මෙන්ම රනිල්ට ප්‍රහාර එල්ල කළ පිරිස් පවා මෙම පුවතට සහාය පළකරමින් මහත් උද්දාමයෙන් යුතුව කමෙන්ට්ස් දැමීමට පියවර ගෙන තිබීම නිසාය. එය හරියට සජබ-එජාප එකමුතුවෙන් ජනාධිපතිවරයකු පත්වූවා හා සමාන ආකාරයක් දැකගන්නට ලැබිණි.

නමුත් පක්ෂ දෙකේ පාක්ෂිකයන් උද්දාමයට පත්වුවද අතීතයේ සිදුවූවාක් මෙන්ම මෙම එකමුතුව කඩාබිඳ දැමීම සඳහා වෙන වෙන ගේම් එක එක තැන්වල ක්‍රියාත්මක වීමේ ඉඩකඩක් ඇති බව අප නොදන්නවා නොවේ. ඒ බව සාකච්ඡා මේසයේ අසුන්ගෙන ඇති ප්‍රධාන නියෝජිතයන් සිවුදෙනාද හොඳාකාරව දැන සිටි කාරණාවකි.

මෙම ඡායාරූපය සහ පුවත පළවීමත් සමග රනිල්ගේ මල් පාරේ සිටි එජාප නියෝජිතයන් මෙන්ම සිරිකොත පක්ෂ මූලස්ථානයේ සිටි පිරිස්ද සිටියේ විශාල උද්දාමයකට පත්වය. ඒ නිසාම ඔවුන්ද එජාපයේ ඉහළ තැන්වලට කතාකොට මෙම හමුව පිළිබඳ විමසීමට පියවර ගත්හ. ඒ සමගම එජාපයෙන් සාකච්ඡාවට සහභාගි වූ අකිල, රුවන්, නවීන්ට රනිල්ගෙන් ලැබුණු පණිවුඩයකින් කියැවුණේ වහාම තමන් මුණගැසී සාකච්ඡාවේදී කතාබහට ලක්වූ කරුණු පිළිබඳ දැනුම් දීමක් කරන ලෙසටය.

මේ ආකාරයට සාකච්ඡාවේ සාර්ථක බව දැනීම නිසා රවී කරුණානායක ප්‍රසිද්ධියේ කී එජාපයේ සිටින භූතයන් දෙදෙනාටද නිකන් සිටිය නොහැකි විය. ඒ අනුව මේ දෙදෙනාගෙන් කුමන්ත්‍රණ සඳහා ප්‍රකට ‘සූත්තර භූතයා’ වහාම එජාපයේ තමන්ට හිතවත් සහ මුදල් ගෙවා සේවය ලබාගන්නා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට දැනුම්දී සිටියේ මෙම එකමුතුවට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන ලෙසටය. විශේෂයෙන්ම පක්ෂ දෙක එකතු වෙනවා නම් එහි නායකත්වය රනිල්ට හිමිවිය යුතු බව කියමින් සාකච්ඡා කඩාකප්පල් කිරීමට කටයුතු කරන ලෙසද එහිදී දැනුම්දීමක් කෙරිණි. වෙනදා නම් මේ කුමන්ත්‍රණ භූතයාගෙන් මෙවැනි උපදෙසක් ලැබුණු වහා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් උඩ පැන පැන පහර දීම සිදුකළද, මෙවර ඒ කිසිවක් දැකගැනීමට ලැබුණේ නැත. ඔවුන්ද මේ භූතයාගේ වචන ගැන වැඩි තැකීමක් නොකළේ පක්ෂ දෙකේ එකමුතුව පිළිබඳ ඔවුන්ද විශාල උද්දාමයකින් පසුවීම නිසාය. අනෙක් අතට මීට සතියකට පෙර මේ කියන එජාපය – සජබය නියෝජනය කරන සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් සහ යූටියුබ් ක්‍රියාකරුවන් කණ්ඩායමක් වරුණ රාජපක්ෂගේ නිවසේ හමුවී මධුවිත සහ රස මසවුළු සහිත සුහද හමුවක් පවත්වා තිබිණි. මීට අමතරව කොළඹ සිනමන් ලේක් හෝටලයේද තවත් එවැනිම ආකාරයේ වසර අවසාන සුහද හමුවක් පැවැත්වීමට මෙම පිරිස කටයුතු කොට තිබිණි. මේ නිසාමදෝ මෙම කණ්ඩායමේ ස්ථාවරය වී තිබුණේද මේ පක්ෂ දෙක වහාම එකමුතු වියයුතු යැයි කියාය. ඒ නිසාම කුමන්ත්‍රණ භූතයාගෙන් උපදෙස් ලැබුණද කිසිවකුත් මේ එකමුතුව කඩාකප්පල් කරන ආකාරයේ වචනයක් හෝ සමාජ මාධ්‍යයේ ලිවීමට හෝ කීමට සූදනම් වූයේ නැත. ඒ නිසාම කුමන්ත්‍රණ භූතයාගේ එම මෙහෙයුම ලත් තැනම ලොප් වූ ආකාරයක් දැකගත හැකි විය.

එමෙන්ම සජබ එජාප පාක්ෂිකයන්ගේ මොරාල් එක ඉහළ නැංවී ඇති ආකාරය එජාපය ඇතුළට කෙතරම් දැනුණාද කියනවා නම් හරීන් ප්‍රනාන්දු අල්ලස් කොමිසමට ගොස් එළියට පැමිණ කළ ප්‍රකාශයකින් එය මනාව පැහැදිලි විය. රාජගිරියේ ‘සබීතා බිල්ඩිම’ නමින් ප්‍රකට ගොඩනැගිල්ල යහපාලන ආණ්ඩුව සමයේදී කෘෂිකර්ම අමාත්‍යාංශයට කුලී පදනම මත ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා හරීන්ව අල්ලස් කොමිසමට කැඳවා තිබූ අතර, ඉන් පිටතට පැමිණි පසු හෙතෙම මාධ්‍යයට කියා සිටියේ පක්ෂ දෙක එකතු විය යුතු බවත්, එහි නායකයා වශයෙන් සක්‍රීය දේශපාලනයේ සිටින සජිත් කටයුතු කරනු ඇති බවත්ය. රනිල් අනුශාසක ධූරයේ සිටිනු ඇති බවද හරීන් එහිදී කියා සිටියේය.

සජිත් සමග පැවැති සාකච්ඡාවේ සිදුවූයේ කුමක්ද යන්න දැනගැනීම සඳහා රනිල් එජාප නියෝජිතයන් කැඳවා තිබුණේ මෙම පසුබිමේය. එහිදී රනිල් කතාබහ අරඹමින් මුලින්ම ප්‍රශ්න කොට සිටියේ අදාළ සාකච්ඡාවේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කළේ ඇයිදැයි කියාය. ඊට පිළිතුරු දුන් එජාප නියෝජිතයා කියා සිටියේ, ‘මම නෙවෙයි ෆොටෝ ගත්තේ. සජිත් එයාගෙ ෆෝන් එකෙන්මයි ෆොටෝ ගත්තේ. සජිත්ම තමයි ඇහුවේ දාන්නද කියලා. ඉතින් අපි ඒකට විරුද්ධ වුණේ නෑ…’ යැයි කියාය. ඉන් අනතුරුව රනිල් කියා සිටියේ තවදුරටත් ‘මේ ගැන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා කරලා තීරණයක් ගමු’ යැයි කියාය. එමෙන්ම ඊළඟ සාකච්ඡාවන්ට සහභාගි වන්නේ කවුරුන්ද යන්න පිළිබඳ එහිදී තීන්දු කරමු යැයිද රනිල් එහිදී කියා සිටියේය.

රනිල්ගෙන් ආ කෝල් එක

මෙම සාකච්ඡාවෙන් පසු ජනවාරි 01 වැනිදා සියලු දෙනාටම විශේෂ දවසක් විය. එදින රනිල්ගේ මල් පාරේ කාර්යාලය නම් උත්සවයක සිරි ගෙන තිබූ අතර, කිරිබත්, කැවුම් මේසයක් සකස් කොට විශාල පිරිසකට පැමිණෙන ලෙස ඊට ආරාධනා කොට තිබිණි. නමුත් එජාපය පැත්තෙන් එසේ වුවද සජබය පැත්තෙන් කිසිදු අවුරුදු කෑම මේසයක් සංවිධාන කිරීමට පියවර ගෙන තිබුණේ නැත. විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරීන් අවුරුදු කෑම මේසය පිළිබඳ විමසද්දී සජිත් කියා සිටියේ රටම විපතට පත්ව තිබියදී කිරිබත් කා උත්සව පැවැත්විය යුතු නැති බවකි. ඒ වෙනුවට සජිත් කරවනැල්ලේ ගංවතුරෙන් හානියට පත් රෝහලකට ‘හුස්ම’ වැඩසටහන යටතේ ලක්ෂ 28ක් වටිනා වෛද්‍ය උපකරණ ලබාදීමට යොදාගෙන තිබිණි. ඒ අනුව සජිත් මෙම උත්සවයට සහභාගි වී සිටියදී කොළඹ නගර සභාවේ සජබ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන තරංග අතුරලිය නම් නාගරික මන්ත්‍රීවරයාගේ අංකයෙන් සජිත්ට දුරකතන ඇමතුමක් ලැබිණි. ඒ අනුව සජිත් එම ඇමතුමට පිළිතුරු දුන්නත් එහා පැත්තෙන් ඇසුණේ තරංග අතුරලිය මන්ත්‍රීවරයාගේ කටහඬ නම් නොවේ. ඒ වෙනුවට සජිත්ට ඇසුණේ රනිල්ගේ කටහඬය.

‘සුබ අලුත් අවුරුද්දක් වේවා සජිත්…’ යැයි රනිල් කියද්දී සජිත්ද දෙවරක් නොසිතා රනිල්ට පෙරළා සුබ පැතීමට පියවර ගත්තේය.

‘ඔයා දැන් සාකච්ඡා කළානේ. ඒක සාර්ථකයිනේ.. ඔන්න එහෙනම් අපි ඒක වර්කිං කමිටි එකට දානවා…’ යනුවෙන් රනිල් නැවත කියද්දී සජිත් ඊට එකඟතාව පළකළේය. ඒ අනුව රනිල් ලබාදුන් දුරකතන ඇමතුම ඒ වචන කීපයට පමණක් සීමා විය. නමුත් තවත් මොහොතක් ගතවෙද්දී නවතත් තරංග අතුරලිය නාගරික මන්ත්‍රීවරයාගේ ජංගම දුරකතනයෙන් සජිත්ට ඇමතුමක් ලැබිණි. ඊට සජිත් පිළිතුරු දෙද්දී එහා පැත්තේ සිටියේ වෙන කවුරුවත් නොව, රනිල්ගේ හිතවතකු වන සාගල රත්නායකය. රනිල් මෙන්ම සාගලද මුලින්ම සජිත්ට සුබ පතා සජබ-එජාප සාකච්ඡා තවත් ඉදිරියට රැගෙන යායුතු බව කියා සිටියේය. එමෙන්ම තමන්ටද සජිත්ව මුණගැසීමට අවශ්‍ය බව සාගල කියද්දී ‘ඕකේ ඕකේ’ යැයි කියමින් සංවාදය අවසන් කිරීමට සජිත් පියවර ගත්තේය.

මේ ආකාරයට අලුත් අවුරුදු දවසේ රනිල් හෝ සාගල තමන්ගේ දුරකතනවලින් සජිත්ට ඇමතුම් නොගෙන තමන්ට සහ සජිත්ට හිතවත් නාගරික මන්ත්‍රීවරයකුගේ දුරකතනයකින් සජිත්ට ඇමතුම් ලබාගත්තේ ඇයි? ඊටද යම් හේතුවක් තිබේ. ඒ, පසුගිය කාලයේදී සජිත්ට එරෙහිව ව්‍යාජ පුවත් රනිල්ට හිතවත් මාධ්‍යවල පළවීමෙන් පසු සජිත් එජාපයේ ඉහළ පෙළ සිටින බොහොමයක් නායකයන්ගේ දුරකතන ඇමතුම්වලට පිළිතුරු ලබාදීමෙන් වැළකී සිටීම නිසාය.

නමුත් මේ අවස්ථාවේදීද සිදුවූයේ ඊට වඩා වැඩි යමක් නොවේ. රනිල් මෙසේ වෙනත් නාගරික මන්ත්‍රීවරයකුගේ දුරකතනයකින් සජිත්ට කතාකොට සුබ පැතුවද රනිල්ට හිතවත් මාධ්‍යවල ඔහුගේ නිවුස් ප්ලාන්ට් කල්ලිය එකී පුවත පළකොට තිබුණේ අලුත් අවුරුද්දට රනිල් සජිත්ට සුබ පැතුවා යැයි කියමිනි. නමුත් එය සිදුවූ ආකාරය පිළිබඳ පසුබිම් කතාව පිළිබඳ එම පුවතේ කිසිදු සඳහනක් දැකගන්නට නොවීම විශේෂ සිදුවීමක් විය.

කෙසේ වෙතත් සජබ – එජාප නියෝජිතයන්ගේ සාකච්ඡාවෙන් පසු පළමු වරට සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ජනවාරි 01 වැනි දින මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව නිල වශයෙන් රටට දැනුම් දීමට පියවර ගත්තේය. එහිදී මද්දුමබණ්ඩාර කියා සිටියේ පක්ෂ දෙක එකතු කිරීමට කටයුතු කරන බවත්, එහි නායකත්වය වැඩි බලයක් සහිත සජිත් ප්‍රේමදාස මහතා හට හිමිවනු ඇති බවත්ය. එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්දැකීම් පක්ෂයට අවශ්‍ය නිසා සියලු දෙනාට පිළිගත හැකි ආකාරයේ ඉහළ තනතුරක් රනිල්ට ලබාදෙන බවද මද්දුමබණ්ඩාර එහිදී කියා සිටියේය.

මද්දුමබණ්ඩාර මේ ආකාරයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවද එදිනම රනිල්ගේ කිරිබත් පාටියට සහභාගි වී සිට පිටතට පැමිණි හිටපු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මාධ්‍ය හමුවේ පැවැසුවේ නම් මීට හාත්පසින් වෙනස් කතාවකි. අජිත් මාන්නප්පෙරුම යනු රංජන් රාමනායක සිරගත වීමෙන් පසු ඒ හිස්වූ ආසනය වෙනුවට සජබයෙන් ගම්පහින් පැමිණි මන්ත්‍රීවරයාය. එසේ පැමිණියද එදා සිටම අජිත් හැසිරුණේ රනිල්ගේ අවශ්‍යතාවන්ට සහ ඔහුගේ උපදෙස්වලට අනුවය. එමෙන්ම මහමැතිවරණයට සජබයෙන් නාමයෝජනා ලබාදුන්නද හෙතෙම ගම්පහ සම්පූර්ණ ඡන්ද සටන කඩාබිඳ දමමින් අතරමැදදී සිය නාමයෝජනාව ඉල්ලා අස්කර ගැනීමට පියවර ගත්තේය. ඉන් පසු නැවත වතාවක් රනිල් සමග එක්වී මාධ්‍ය ඔස්සේ සජිත්ට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට මාන්නප්පෙරුම කටයුතු කළේය. මේ කියන මාන්නප්පෙරුම බ්‍රහස්පතින්දා දිනයේදී රනිල්ගේ කිරිබත් පාටියට සහභාගි වීමෙන් පසු මාධ්‍යයට කියා සිටියේ සජිත් මේ සාකච්ඡා ඉදිරියේදී කඩාකප්පල් කරනු ඇති බවය. එමෙන්ම පක්ෂ දෙක එකතු නොවනු ඇති බවත් මාන්නප්පෙරුම ප්‍රසිද්ධියේම කියා සිටියේය.

ඒ අනුව දැන් මෙම සාකච්ඡා ඉතා තීරණාත්මක තැනකට පත්වෙමින් ඇති බවක් පෙනෙන්නට තිබේ. පක්ෂ දෙකේම පාක්ෂිකයන් මේ සම්බන්ධයෙන් ඉතා උද්දාමයට පත්ව සිටින නිසා කිසිවකුටත් දැන් ඉන් ආපසු හැරීමට ඉඩකඩක් නැත. එමෙන්ම මෙම එකමුතුව කඩාබිඳ දැමීමට කටයුතු කරන්නන් ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීමද වැළැක්විය නොහැක. යම් හෙයකින් එජාපයේ සිටින සූත්තර භූතයන් නැවත වතාවක් ඊට උත්සාහ දැරුවහොත් ඔවුන්ගේ දේශපාලන අනාගතය කුණුබක්කියට වැටෙනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. ඒ අනුව එවැනි සූත්තර භූතයන්ට අපට කීමට ඇත්තේ එකම එක කාරණාවකි. ඒ, කිසිවකුටත් සිතාගත නොහැකි ප්‍රධාන චරිත දෙකක් ඉදිරි දින කීපය ඇතුළත සජිත් සමග මුහුණට මුහුණ සාකච්ඡාවක නිරත විමට සැලසුම් කොට ඇති බවකි. එමෙන්ම පක්ෂ දෙක එකතු කිරීම සඳහා මේ වනවිට ශක්තිමත් පදනමක් වැටී ඇති බැවින් කවුරුන් හෝ ඒ පදනම කඩාබිඳ දැමීමට උත්සාහ දරන්නේ නම් කිසිවකුත් නොසිතන සිදුවීම් මාලාවක් ඉදිරියේදී සිදුවනු ඇති බවද සඳහන් කළ යුතුව ඇත.

අගමැති ගැටුම යළිත්?

මේ ආකාරයට සජබය සහ එජාපය එකතු වීම සඳහා සාකච්ඡා ආරම්භ වෙද්දී ආණ්ඩුව ඇතුළේ කාලයක් පුරා ඉහළ පහළ යමින් පැවැති ගැටුමක් නැවත වතාවක් කරළියට පැමිණ ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඉකුත් පළාත් පාලන මැතිවරණයේ ලැබූ පසුබෑමත් සමග ජවිපෙ දෙවැනියා ලෙස සැලකෙන බිමල් රත්නායක රාජ්‍ය මාධ්‍යයට පැමිණ කියා සිටියේ ආණ්ඩුවේ එන්ජිම වෙනස් කළ යුතු බවත්, තමන්ගේද ඇතුළු අනෙකුත් ඇමැතිවරුන්ගේද වගකීම් වෙනස් විය යුතු බවත්ය. බිමල් මෙසේ නොකියා කීවේ අගමැති ධුරයද වෙනසක් විය යුතු බවය. නමුත් ඊට ආණ්ඩුව ඇතුළෙන්ම ලැබුණේ යහපත් ප්‍රතිචාරයක් නම් නොවේ. ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් වන සුනිල් හඳුන්නෙත්තිත්, නලින්ද ජයතිස්සත් ඊට දින කීපයකට පසු ප්‍රසිද්ධියේම කියා සිටියේ කිසිදු අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු නොවන බවත්, ඇමැතිවරුන් නිසි අයුරින් රාජකාරි කරන බවත්ය. ඒ අනුව අගමැති ධුරය වෙනස් කරන සාකච්ඡාව යටගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.

නමුත් දැන් නැවත වතාවක් මේ අගමැති ධුරය වෙනස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ සාකච්ඡාවක් මතුවෙමින් පවතින බවක් ආරංචිය. මෙය වඩාත් උග්‍ර වී ඇත්තේ හරිනිට අයත් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ මේ වනවිට මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙනි. 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට අසැබි වෙබ් අඩවියක යෙදුමක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් මේ වනවිට මතුව ඇති අතර, අමාත්‍යාංශ ලේකම්වරයා ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් දැමීමටද කටයුතු කොට ඇත. එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද ක්ෂේත්‍රය ඇතුළේත් රට ඇතුළේත් පවතින්නේ එතරම් පැහැදීමක් නොවේ. බොහෝ පාර්ශ්වයන් මෙන්ම මහාසංඝරත්නයද, ආචාර්ය මහාචාර්යවරුන්ද මේ වනවිටත් අගමැතිවරියගේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව අවි අමෝරා අවසානය. නමුත් පුදුමසහගත සිදුවීම වන්නේ හතර වටෙන්ම දැඩි ලෙස මෙසේ හරිනි ප්‍රහාරයට ලක්වෙද්දී ජවිපෙ කිසිදු ඇමැතිවරයකු හෝ ජනාධිපතිවරයා හරිනි වෙනුවෙන් පෙනීසිටීමට පියවර නොගැනීමය.

ඒ අනුව අපට ඇති ආරංචිවලින් මේ වනවිට කියැවෙන්නේ පක්ෂයේ බිම් මට්ටමේ සිටින කාඩර්වරුන්ගෙන් හරිනිව අගමැති ධුරයෙන් ඉවත් කරන ලෙසට පැලවත්තට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බවය. එසේම පැලවත්තෙන් ආණ්ඩුවට දෙන උපදෙස්වලට අනුව වහාම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකරන ලෙසත්, අගමැති ධුරය හරිනිගෙන් ඉවත් කොට එය ජවිපෙ ප්‍රබලයකුට ලබාදී අලුත් මුහුණුවරකින් ඉදිරියට යෑමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇති බවක්ද ආරංචිය. ඒ අනුව පැලවත්තෙන් අගමැති ධුරය සඳහා යෝජනා කොට ඇත්තේ ආණ්ඩුවේ දෙවැනියා ලෙස සැලකෙන සභානායක බිමල්ගේ නම බවද කියවේ.

නමුත් මාලිමා ආණ්ඩුව ඇතුළේ ජවිපෙට වඩා මාලිමා පිරිස වැඩි නිසා පැලවත්තෙන් ලැබී ඇති මෙම උපදේශය ක්‍රියාත්මක කළහොත් ආණ්ඩුව ඇතුළේ මත ගැටුමක් ඇතිවීමේ අවදානමක් ඇති බවට වූ ස්ථාවරයේ ජනාධිපතිවරයා සිටින බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව ජනාධිපතිවරයා මධ්‍යස්ථ තැනක සිට මේ ප්‍රශ්නය දෙස බලන බවත්, ජනාධිපතිවරයාගේ තේරීම වී ඇත්තේ හරිනි ඉවත් කරන්නේ නම් අගමැති තනතුර විජිත හේරත්ට ලබාදිය යුතු බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත. එසේ වුවහොත් හරිනිට විදේශ අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇති බවක්ද දැනගන්නට තිබේ.

මෙම වෙනස්කම සම්බන්ධයෙන් සුවිශේෂ ඉඟි දෙකක් පසුගිය දිනවලදී දැකගන්නට ලැබිණි. ඉන් එකක් වූයේ ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන ලබාදීම සඳහා විදෙස් තානාපතිවරුන් සමග පැවැති සාකච්ඡාවලදී හරිනි එහි මූලාසනය දැරීමය. විදේශ අමාත්‍ය විජිතද එම සාකච්ඡාවට සහභාගි වී සිටියත් ඔහු සිටියේ පසෙකට වීය.

ඊළඟ ඉඟිය දැකගන්නට ලැබුණේ විජිත පළකොට තිබූ ඡායාරුපයක් හරහාය. අලුත් අවුරුද්ද උදාවෙද්දීම විජිත පළකොට තිබූ මෙම විශේෂ ඡායාරූපයෙන් අවුරුදු සුබපැතුමකට එහා ගිය විශේෂ යමක් ඇති බව එය දුටු ඕනෑම අයකුට වටහා ගැනීම අපහසු නොවීය. කොටින්ම කියනවා නම් විජිත එහි සිටින්නේ අගමැතිවරයකු සිටින විලාසයෙන් ගාම්භීර පෙනුමක් ආරූඪ කරගෙනය.

මීට අමතරව බිමල් වැනි දැඩි මතධාරී ජවිපෙ නායකයකුට අගමැති ධුරය ලබාදුනහොත් ඒ හරහා ආණ්ඩුවට වාමාංශික මුහුණුවරක් ලැබීම නොවැළැක්විය හැකි බවත්, එසේ වුවහොත් ජාත්‍යන්තරයෙන් යම් යම් අර්බුද මතුවීමේ ඉඩක් මතුවනු ඇති බවත් ජනාධිපතිවරයා නොදන්නවා නොවේ. විශේෂයෙන්ම මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමේදීත්, ජාත්‍යන්තරයේ ආධාර දෙන රටවල් සමග ගනුදෙනු කිරීමේදීත්, බටහිර රටවල් සමග ගනුදෙනු කිරීමේදීත් දැඩි මතධාරී වාමාංශික අයකු අගමැති ධුරයේ සිටියහොත් එම රටවල් සහ ආයතන ලංකාවට ආධාර කිරීමේදී දෙවරක් සිතනු ඇති බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ තේරීම වී ඇත්තේ විජිත හේරත්ය. අනෙක් අතට විජිත සහ ජනාධිපතිවරයා අතර පවතින සබඳකම බොහෝ පැරැණිය. අනුරට ජවිපෙ නායකත්වය හිමිකර ගැනීමේදී ඒ සඳහා තිරය පිටුපස විශාල දායකත්වයක් දැක්වූ අයකු ලෙස විජිත ප්‍රකටය. ඒ අනුව යම් හෙයකින් මෙම අර්බුදකාරී තත්ත්වය සමනය කරගැනීම සඳහා ජනාධිපතිවරයා විජිතට අගමැති ධුරය ලබාදුනහොත් ඊට සමගාමීව ආණ්ඩුවේ ඊළඟ ප්‍රබලයා වන නලින්ද ජයතිස්සටද විශාල වගකීමක් පැවරීමේ ඉඩක්ද මතුව ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

කොළඹ කනපිට ගැසූ මෙහෙයුම

සජබය සහ එජාපය එකතු කරන මෙහෙයුම පසුගිය සතියේ එක පසෙකින් යද්දී ඊට සමගාමීව තවත් මෙහෙයුමක් ආණ්ඩුව පැත්තෙන් දියත් විය. ඒ, පළමු කියවීමේදී පරාජයට පත්වූ කොළඹ නගර සභාවේ අයවැය ජයග්‍රහණය කරවීමේ මෙහෙයුමය. ඊට හේතුවී තිබුණේ යම් හෙයකින් දෙවැනි වතාවේත් අයවැය පරාජයට පත්වුවහොත් කොළඹ නගර සභාවේ සියලු කමිටුවල බලය සජබය ප්‍රමුඛ විපක්ෂය විසින් අත්පත් කරගැනීමේ අවදානමක් මතුව තිබීම නිසාය. ඒ අනුව කොළඹ අයවැය සම්මත කරගැනීමේ මෙහෙයුම ජයග්‍රහණය කරගැනීම සඳහා පසුගිය සතියේ ජනාධිපතිවරයාම මැදිහත්ව ගේමක් ගැසූ ආකාරයක් දැකගන්නට ලැබිණි.

මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සාමාන්‍යයෙන් ජවිපෙ දේශපාලනයේ අසන්නට, දකින්නට නොලැබෙන දේශපාලන උපක්‍රම පවා යොදාගැනීමට මාලිමාව කටයුතු කොට තිබීමය. ඒ අනුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලීබා ගන්නවාට අමතරව මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඡන්ද විමසන අවස්ථාවේ සභාගැබෙන් ඉවත් කොට තැබීමද මාලිමාවේ මෙහෙයුමක් වී තිබිණි. මන්ද යත් පළමු අයවැය ඡන්ද විමසීමේදී සජබය ප්‍රමුඛ විපක්ෂය ජයග්‍රහණය කර තිබුණේ 57ට 60ක් ලෙසය. ඒ අනුව ඡන්ද 4ක් එහා මෙහා කරගතහොත් අයවැය ජයග්‍රහණය කරගත හැකි බව මාලිමාවේ තක්සේරුව වී තිබිණි.

ඊට අනුගත වෙමින් ඡන්දය විමසන දින උදෑසනම එජාපය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයකු පොලිස් අත්අඩංගුවට ගැනුණේ පහරදීමේ චෝදනාවක් මුල්කර ගෙනය. මීට අමතරව මන්ත්‍රීවරුන් බියවැද්දීම සඳහා 30 වැනිදා රාත්‍රියේ විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්වූ අතර, එහි සඳහන්ව තිබුණේ 2010 සිට 2025 අතර කාලය දක්වා නගර සභාවේ සිදුවූ සියලු ගනුදෙනු පිළිබඳ විමර්ශන කිරීම සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීමට පියවර ගත් බවකි.

එමෙන්ම ඡන්දයට පෙර දින රාත්‍රියේ නගර සභාව ඇතුළේ සුවිශේෂ මාලිමා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැඳවීමටද පියවර ගෙන තිබිණි. ඊට කෙදිනකවත් සිදු නොවූ ආකාරයට මාලිමාවේ ප්‍රබල අමාත්‍යවරයකු මෙන්ම මාලිමා මන්ත්‍රීවරයකුද, මාධ්‍යයට සම්බන්ධ තරුණ මන්ත්‍රීවරයකුද සහභාගි වී සිටියහ. එහිදීද සාකච්ඡා වී තිබුණේ අයවැය ජයග්‍රහණය කිරීමේදී දියත් කළ යුතු උපක්‍රමයන් පිළිබඳවය. පසු දින පෙරවරුවේම මේ සාකච්ඡාව පිළිබඳ තොරතුරු කොළඹ සජබ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට මෙන්ම කොළඹ සජබ ප්‍රබලයා වූ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාටද වාර්තා වී තිබිණි. එමෙන්ම මාලිමාව පැත්තෙන් සජබ මන්ත්‍රීවරුන් දෙදෙනකුට ගෙවල් ලබාදීමට පොරොන්දු වූ පුවතක්ද මුජිබර්ට වාර්තා වී තිබිණි. ඒ අනුව වහාම මුජිබර් ඇතුළු කණ්ඩායම එම මන්ත්‍රීවරුන් දෙදෙනාගේ නිවෙස්වලට ගොස් පවතින තත්ත්වය පිළිබඳ ඔවුන්ට පැහැදිලි කර දී අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට ඔවුන් එකඟ කරගැනීමට කටයුතු කර තිබිණි.

ඒ අනුව 30 වැනිදා ඡන්දය විමසන අවස්ථාවේදී සජබ මන්ත්‍රීවරුන් දෙදෙනකු ආගිය අතක් නොමැතිව අතුරුදන් වී තිබිණ. මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරියක් අයවැයට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට කටයුතු කොට තිබිණි. තවත් එක් සජබ මන්ත්‍රීවරයකු සභාගැබට පැමිණ ඡන්දය විමසීමට මොහොතක් තියා නිවසට ගොස් තිබුණේ සිය බිරියට හදිසි හෘදයාබාධයක් වැලඳී ඇති බව දැනුම් දෙමිනි. ඒ අනුව ඡන්දය විමසීමේ අවසන් ප්‍රතිඵලය වූයේ කොළඹ අයවැය දෙවැනි වර කියවීම 58ට 56ක් ලෙස වැඩි ඡන්ද දෙකකින් සම්මත කරගැනීමට මාලිමාව සමත්ව තිබීමය. කෙසේ වෙතත් විපක්ෂයේ යම් යම් මන්ත්‍රීවරුන් බිලීබා ගැනීම සඳහා විවිධ වරප්‍රසාද ලබාදෙන බවට මාලිමාවේ ප්‍රබලයන් සහ ඔවුන්ට හිතවත් පිරිස් කටයුතු කොට ඇති බවට ලොකු සැකයක් මේ ඡන්ද ප්‍රතිඵලය හරහා බොහෝ දෙනාට මතුව ඇති බවක් දැකගන්නට තිබිණි.

විමුක්ති එනවා

විමුක්ති කුමාරතුංග යනු මෙරට දේශපාලනයට ආගන්තුක නමක් නොවේ. පසුගිය දශකයක කාලය පුරා විටින් විට විමුක්ති කුමාරතුංග මෙරට මාධ්‍යවල පුවත් මවන චරිතයක් බවට පත්ව තිබිණි. ඒ, විමුක්ති කුමාරතුංග බණ්ඩාරනායකවරුන් නියෝජනය කරමින් දේශපාලනයට පැමිණීමට සූදානමින් සිටිනවා යැයි කියාය. විමුක්ති දේශපාලනයට ඔන්න එනවා මෙන්න එනවා යැයි පුවත් පළවුවද කවදාවත් විමුක්ති ලංකාවේ දේශපාලනයට පැමිණියේ නැත.

කෙසේ වෙතත් විමුක්තිගේ මව වන චන්ද්‍රිකා හා ජවිපෙ අතර පසුගිය කාලය පුරාම එතරම් සමීප දේශපාලන හිතවත්කමක් පැවැතියේ නැත. වරක් චන්ද්‍රිකා ප්‍රසිද්ධියේම කියා සිටියේ සිය සැමියා වූ විජය කුමාරතුංග මරාදැමුවේ ජවිපෙ විසින් යැයි කියාය. ඒ නිසාම චන්ද්‍රිකා හා ජවිපෙ අතර ප්‍රබල ගැටුමක් පසුගිය කාලය පුරාම දැකගන්නට තිබිණි. එසේ වුවත් දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ ආපදාවත් සමග පසුගිය කාලය පුරාම නිහඬව සිටි චන්ද්‍රිකා හිටිහැටියේම දේශපාලන කරළියට පිවිසෙමින් අගමැතිනි හරිනි අමරසූරිය හමුවී කෝටි 25ක මුදලක් බණ්ඩාරනායක පදනමේ අරමුදලින් රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලට ලබාදීමට පියවර ගත්තාය. ඒ අවස්ථාවේදී චන්ද්‍රිකා මාලිමා ආණ්ඩුවට ලොකු ක්‍රෙඩිට් එකක් ලබාදෙමින් කියා සිටියේ ආණ්ඩුවේ හොරු සිටින බවක් දැකගන්නට නොමැති නිසා තමන් මෙවැනි මුදලක් ආණ්ඩුවට ලබාදීමට කටයුතු කළ බවකි. නමුත් පසුව බොහෝ දෙනා කියා සිටියේ චන්ද්‍රිකා මෙය තමන්ගේ පෞද්ගලික අරමුදල්වලින් ලබාදුන්නක් නොව, ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක බණ්ඩාරනායක පදනමට ලැබුණු මුදලින් ලබාදුන් එකක් යැයි කියාය. චන්ද්‍රිකා ඊට සහභාගි වී ලකුණු දාගත් බවද එහිදී කියැවිණි.

කෙසේ වෙතත් මෙහිදී මාලිමා ආණ්ඩුව විසින්ම චන්ද්‍රිකාව ටොරින්ටන්හි පිහිටි නිල නිවෙසින් දොට්ට දැමීමෙන් පසු චන්ද්‍රිකා හා ආණ්ඩුව අතර තිබුණේ එතරම් හොඳ ඇයිහොඳැයියක් නොවේ. නිල නිවසින් එළියට දැමීමෙන් පසු චන්ද්‍රිකා මුලින්ම සැලසුම් කර තිබුණේ තමන්ට සහ තම සොහොයුරිය වන සුනේත්‍රාට සමසමව අයිතිය ලියා ඇති රොස්මිඩ් ප්ලේස්හි පිහිටි රොස්මිඩ් වලව්වේ නවාතැන් ගන්නටය. එම වලව්වේ මේ වනවිට ‘ටින්ටජෙල්’ නමින් හෝටලයක් ක්‍රියාත්මකය. තවත් වසර දෙකක් ඒ සඳහා ලබාදී ඇති බැවින් සුනේත්‍රා චන්ද්‍රිකාගේ මෙම යෝජනාවට කැමැති වූයේ නැත. ඒ අනුව චන්ද්‍රිකා මේ වනවිට කුලියට නවාතැන් ගෙන සිටින්නේ කොළඹ ගිල්ෆ්‍රඩ් පෙදෙසේ පිහිටි ව්‍යාපාරිකයකුට අයත් කුලී නිවසකය.

මාලිමා ආණ්ඩුව සමග එවැනි මත ගැටුමක් තිබියදී හදිසියේම චන්ද්‍රිකා කෝටි 25ක පරිත්‍යාගයක් රැගෙන අගමැති හරිනිව හමුවූයේ ඇයි? බොහෝ දෙනා ඊට හේතු කුමක්දැයි කියා විමසීමක් නොකළද අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ චන්ද්‍රිකා ලොකු දේශපාලන ගේමක් ඔළුවේ තබාගෙන මෙසේ හරිනිව ප්‍රසිද්ධියේම හමුවූ බවකි. එසේ නම් චන්ද්‍රිකා ගසන්නට යන මේ දේශපාලන ගේම් එක කුමක්ද?

අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මේ වනවිට සුනේත්‍රා රොස්මිඩ් ප්ලේස් වලව්ව චන්ද්‍රිකාට ලබාදීමට එකඟතාව පළකොට ඇති බවකි. ඒ පිළිබඳව ඇය ටින්ටජෙල් හෝටලයේ හිමිකරුවන් සමග කර ඇති සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන්ද එකඟතාව පළකර ඇත්තේ කුලී ගිවිසුම අවසන් වන 2028 වසරෙන් පසු ඉන් ඉවත් වී යෑමටය. ඒ අනුව 2028 වසරේදී චන්ද්‍රිකා නැවත වතාවක් බණ්ඩාරනායකවරුන්ගේ උරුමය යුත් සහ අගමැතිවරුන් දෙදෙනකු බිහිකළ කොළඹ රොස්මිඩ් වලව්වේ පදිංචියට පැමිණීමට නියමිතය.

එමෙන්ම මේ වනවිට තවත් විශේෂ තොරතුරක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ලැබී තිබේ. ඒ, ලන්ඩන්හි සිටින චන්ද්‍රිකාගේ පුතා වූ විමුක්ති කුමාරතුංග මේ වනවිට ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බවකි. එමෙන්ම ඔහු මේ වනවිට ලන්ඩනයේ සිට සිංහල භාෂාව හැසිරවීම සම්බන්ධයෙන් විශේෂ හැදෑරීමක් කරමින් සිටින බවක්ද ආරංචිය. ඒ අනුව චන්ද්‍රිකා මේ සූදානම් වන්නේ රොස්මිඩ් ප්ලේස් වලව්වෙන් නැවත වතාවක් දේශපාලන නායකයකු බිහිකරන්නටය. ඒ වෙන කවුරුවත් නොව විමුක්ති කුමාරතුංගය. එමෙන්ම චන්ද්‍රිකාගේ සැලසුම වී ඇත්තේ විමුක්තිව දේශපාලනයට ගෙනැවිත් ඔහුත් සමග හරිනිවද සම්බන්ධ කරවීමටය. ඒ අනුව ඉදිරි කාලයේදී අපට නැවත වතාවක් අතීතයේ දුටු දේශපාලන සාකච්ඡාවලින් පිරුණු රොස්මිඩ් වලව්ව යළිත් දැකබලාගත හැකි කාලවකවානුවක් උදාවනු ඇත.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

සිනමාවේ මුල්ම රංගනය චොකලට්…! ලොකු හදිසියක් නැහැ…! කාලෙත් එක්ක ඒවා ලස්සනට වෙයි…! රිතූ ආකර්ෂා I Sri Lanka Latest News

Next Post

හැමෝම කිව්වේ ගිය ආත්මෙක ඝණ්ටාර පූජාවක් කරලා කියලා…! ඒ කාලේ කටහඬ නිකං සීනුවක් වගේ හරි සද්දෙට තිබුණා…! දිත්තලා නළවලා එනකොට කට්ටිය ෆුල් හොල්මන්…! පුදුම දර්ශන වාර ගණනක්ගේ තිබුණේ. ඉස්පාසුවක් ඇත්තෙම නැහැ….! මැණිකේ අත්තනායක I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.