ජේ.ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාසගේ අවුරුදු 17ක දූෂිත, බියකරු පාලනයකින් පස්සේ 1994දී චන්ද්‍රිකා බලයට ආපු වෙලාවෙත් 2024 සැප්තැම්බරයේ අනුර ජනාධිපති පදවියට පත්වුණු වෙලාවේ වගේම උතුරේත්, දකුණේත් ජනතාව දැවැන්ත වෙනසක් ගැන ලොකු බලාපොරොත්තු දල්වාගෙන හිටියා. එදා උතුරේ කාන්තාවෝ චන්ද්‍රිකාට පොට්ටු තියන්න පොරකෑවා. අද උතුරේ තරුණ, තරුණියෝ අනුර එක්ක සෙල්ෆි ගහන්න පොරකනවා.Sri Lanka Latest News
දශක ගණනාවක දූෂිත පාලන ක්‍රමවේදය වෙනස් කරලා, ‘ගෝල්ෆේස් ගෙනිහින්’ දූෂිතයන්ට දඬුවම් දේවි කියල 1994දීත්, 2024දීත් දකුණේ මිනිස්සු ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියා.
එදා චන්ද්‍රිකා බලයට ගෙනාවේ ශ්‍රීලනිපය විතරක් නෙවෙයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, අභාවප්‍රාප්ත මාධ්‍යවේදී වික්ටර් අයිවන් ප්‍රමුඛ ‘රාවය’ කණ්ඩායම, ප්‍රේමදාසගේ ‘භීෂණ යුගයට’ විරුද්ධව නොබියව පාරට බැහැපු සිවිල් සමාජ කණ්ඩායම් ඇතුළු පුළුල් බහුජන ව්‍යාපාරයක ප්‍රතිඵලයක් හැටියට. නමුත් පැය විසිහතරෙන් හොරු අල්ලනවා වෙනුවට දිනලා පැය විසිහතරක් යන්නත් කලින් චන්ද්‍රිකාගේ වැඩපිළිවෙළ වෙනස් වුණා.
වික්ටර් අයිවන් සමහර දේවල් අතිශයෝක්තියෙන් ලියලා තිබුණත්, සමස්තයක් විදියට තමන් බලයට ගෙනාපු බලවේග පැත්තකට විසි කරලා, පැත්තක හිටපු චෞර වෙළෙන්දන් ඇතුළු කණ්ඩායම් ළංකරගෙන චන්ද්‍රිකා තමන් බලයට ගෙනාපු බලවේගවලත්, ජනතාවගේත් අසීමිත බලාපොරොත්තු සුන්නත්දූලි කරපු හැටි ඔහු දීර්ඝව විස්තර කරලා තියෙනවා. අත්දැකීම් බහුල, පළපුරුදු නිලධාරීන් පිරිසක් ළංකරගන්නවා වෙනුවට සනත් ගුණතිලක වගේ පළපුරුද්දක් නැති, දූෂිත චරිතවලට අසීමිත බලයක් දීලා පරිපාලනය අවුල් කරගත්ත හැටිත් අපි දැක්කා.
ජනතා බලාපොරොත්තු ඉටුකරනවා වෙනුවට අන්තිමට චන්ද්‍රිකා පුටුවෙන් බැහැලා ගියේ කාන්තාවෝ නිරුවත් කරපු කුප්‍රකට වයඹ මැතිවරණයේත්, රූකාන්තලගේ හිස බූගාපු, පාතාලෙ මැරවරයෝ ගෙනත් පී.එස්.ඩී. එකට දාපු, සරත් සිල්වා අගවිනිසුරු කරපු, නිමලරාජන් සහ රෝහණ කුමාර වගේ මාධ්‍යවේදීන් ඝාතනය කරපු කුප්‍රකට වාර්තාවක් ඉතිරි කරලා විතරක් නෙවෙයි තමන්ගේ පක්ෂයේ නායකයො පවා තරහා කරගෙන.
මේ ටික කියන්න හිතුවේ පහුගිය දවස් ටිකේ ජවිපෙ සහෝදරවරු කිහිප දෙනෙක් එක්ක කරපු කතාබහෙන් පස්සේ අනුරත් යමින් ඉන්නේ චන්ද්‍රිකා ගිය පාරෙමද කියල මට හිතුණ නිසා. ඔවුන් කියන්නේ දැන් අනුර වැඩකරමින් ඉන්නේ ජවිපෙට අවශ්‍ය විදියට හෝ ජවිපෙත් එක්ක කතාබහ කරලා නෙවෙයි කියලා.
ඒ ජවිපෙ සාමාජිකයන් මාත් එක්ක කිවුව විදියට අනුර සහ මාලිමා ආණ්ඩුව බලයට ගේන්න දරදිය ඇදපු ජවිපෙ නායකයින් (සහ මාලිමා නායකයන්) වෙනුවට ජනාධිපති අනුර දැන් වැඩකරන්නේ මැතිවරණය වෙලාවේ පළාතකවත් හිටියේ නැති උපදේශකයෝ පිරිසක් කියන විදියට. ඇත්තටම ඒ උපදේශකයෝ කවුද කියල කියන්නවත් අපි දන්නේ නැහැ කියල ඔවුන් කියනවා. සමහර විට මැතිවරණයේදී ජවිපෙ පරාජය කරන්න උපරිම උත්සාහ දරපු දූෂිත ව්‍යාපාරිකයන් පිරිසක් වෙන්න පුළුවන් කියලත් ඔවුන් සැක කරනවා.
මේ ගැන ආසන්නතම උදාහරණය අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර පසුගියදා ඉදිරිපත් කරපු ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ඔවුන් කියන විදියට මේ කෙටුම්පත ගැන කිසිම දෙයක් ජවිපෙ නායකයන් දන්නේ නැහැ. ඒ ගැන ජවිපෙ එක්ක කිසිම සාකච්ඡාවක් කරලා නැහැ. ත්‍රස්ත විරෝධී පනතෙන් දරුණුවට බැටකාපු පක්ෂයක් මෙහෙම පනතක් සම්මත කරන්නේ කොහොමද කියලා ඔවුන් මගෙන් අහනවා.
මම දැක්කා දුමින්ද නාගමුවත් ඒ කතාවම කියල තියෙනව. මේ පනත සම්මත කළොත් ආණ්ඩුව දෙකඩ වේවි කියල ඔහු කියනවා.
එක ක්‍රියාකාරී ජවිපෙ සාමාජිකයෙක් මාත් එක්ක කිවුවේ, රටේ සියලු කටයුතු මෙහෙයවන්නේ පැලවත්තෙන් කියලා අනුරගේ සමීපතම මිත්‍රයෙක් බව පැවසෙන මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය කියන කතාවට කිසිම පදනමක් නැහැ කියල. අනුරට උපදෙස් දෙන්න ටිල්වින් සහෝදරයා සහ පක්ෂය තරමක් දුරට උත්සාහ කරන්න ඇති, නමුත් අනුර මේ වෙනකොට හැසිරෙන්නේ පක්ෂයට අවශ්‍ය විදියට නෙවෙයි කියල ඔහු කියනවා.
පී.එස්.ටී.ඒ. එක උදාහරණයක් විතරයි. ඔවුන්ගේ ප්‍රධානම විවේචනය තමයි, අවශ්‍යම මොහොතේ තමන්ගේ වටේ හිටපු හැම දෙනාම අනුරට දැන් අමතක වෙලා කියන එක. ඒ වෙනුවට අලුතෙන්ම පහළවෙච්ච කණ්ඩායමක් ඔහුගේ උපදේශකයන් බවට පත්වෙලා ඔහු වටකරගෙන ඉන්නවා කියන එක.
ජවිපෙ ක්‍රියාකාරිනියක වන දසාරා සෙනෙවිරත්න බොහොම ආවේගයෙන් මෙහෙම සටහනක් තියල තිබුණා.
‘අවශ්‍යතාව වුණේ ඔබ වටා ඉන්න සමහරක් මන්ද බුද්ධිකයන්ගෙ අත්තනෝමතික ක්‍රියාවන් නිසා සිදුවී ඇති සහ සිදුවිය හැකි යම් යම් අගතීන් ගැන ඔබව දැනුවත් කරන්නයි. මන්ද පක්ෂය හෝ ආණ්ඩුව ජනාධිපතිගෙවත්, මහලේකම්ගේවත්, ඔබ වටා කඳවුරු බැඳ සිටින ඊනියා ගජමිතුරන්, අවස්ථාවාදී සංවිධායකයන් හෝ පක්ෂයේ ගෙවලයන් ලෙස හැසිරෙන සර්වබලධාරී යැයි සිතා සිටින උද්ධච්ච, ගුණමකු, අවස්ථාවාදී, වනචාරී, ගෝත්‍රික, අන්ධභූත පිරිමින් සහ ගැහැනුන් කවරකුගේවත් නොවන නිසා.’
මේක දසාරා විතරක් නඟන මැසිවිල්ලක් නෙවෙයි. මාත් එක්ක කතා කරපු කිහිප දෙනෙක්ම කිවුවේත් ඒ කතාවමයි.
මැතිවරණයට කලින් දීපු පොරොන්දු සහ ප්‍රමුඛතාව දියයුතු කරුණු බොහොමයක් අනුරට දැන් අමතක වෙලා කියලත්, ‘පිස්සු බල්ලන් බැඳ තබා ගන්න’ කියලත් දසාරා කියන කතාවම ඒ වචනවලින්ම නොවුණත් කලකිරීමට පත්වෙලා ඉන්න ජවිපෙ සාමාජිකයනුත් මාත් එක්ක කිවුවා.
මම හිතන්නේ දසාරාගේ මේ විවේචනය ගැන විශ්‍රාමික මහාචාර්ය නවරත්න බණ්ඩාර කරලා තියන පහත ප්‍රකාශය, සාධනීය විවේචනයක් භාරගන්න තවමත් සූදානම් නම්, අනුර හොඳින් වටහාගත යුතුයි කියලා.
‘සෑම ආණ්ඩුවක්ම බලය ලබාගෙන වසර දෙකකට පසුව වැටෙන තැනට වත්මන් ආණ්ඩුවත් පත්වී තිබෙන බව තමා මේ පක්ෂයට ඉතා ළැදිව සිටි කෙනකුගේ ප්‍රකාශයෙන් පෙනෙන්නේ…’ මහාචාර්ය නවරත්න බණ්ඩාර කියනවා.
ජාජබ ආණ්ඩුව බලයට පත්කරවීමට මතවාදීව ජීවිත අවදානමක ඉඳගෙන ‘ඇඟිලි කොරවෙන තුරු ලිව්ව මිනිසුන් බොහෝ දෙනකුගේ’ මේ කලකිරීම ගැන අනුර වහාම අවධානය යොමු නොකළොත් ප්‍රතිඵලය ඉතා භයානක වෙන්න පුළුවන් කියල ජවිපෙ හිතවාදී ලේඛක ලොකුලියන කීර්තිත් කියනවා. ඔහු කරන පහත ප්‍රකාශය ඉතාමත්ම වැදගත් කියලා මට හිතෙනවා. මොකද මේ ආණ්ඩුවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන ගණනාවක් ගැන මට අහන්න ලැබුණෙත් කීර්ති කරන පහත ප්‍රකාශයමයි.
‘දැන් ජාජබ ආණ්ඩුවෙ හුරතල්ලු උපදේශකයො සමීපතමයො මචං සහෝදරුවරු වෙලා ඉන්නෙ රාජපක්ෂලා එක්ක එක පතේ කාපු බීපු රීපු උන්…’
කොටින්ම ජනාධිපති අනුර කුමාර දිසානායක කියන තමන්ගේ පක්ෂේ නායකයා ගැන, තමන් ආදරෙන් අමතපු අනුර සහෝදරයා ගැන, පක්ෂ සාමාජිකත්වය මතුකරන මේ චෝදනා දැන් පුංචි කෙඳිරිල්ලක් හෝ මැසිවිල්ලක් විතරක් නම් නෙවෙයි. අනුර මේ තත්ත්වය වටහා නොගත්තොත්, දැන් මේක මුළු රටම අර්බුදයකට තල්ලුකිරීමට පවා ඉඩ තියන බරපතළ තත්ත්වයක්.
අවසාන වශයෙන් අනුර සහෝදරයට මේ පණිවුඩය දෙන්න කියලත් ඔවුන් මගෙන් ඉල්ලා සිටියා.
‘මේ විදියට දිගටම ගියොත් අපි නම් ආයෙත් වතාවක් අනුර දිනවන්න වැඩකරන්නේ නෑ.’
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියල පොරොන්දු දුන්නට ඊළඟ වතාවෙත් ජනපතිවරණයට තරග කරන්න සැලසුම් කරමින් ඉන්න නිසා ජවිපෙ කාඩරය කරන මේ විවේචන ගැන අනුරට බැරෑරුම්ව සිතා බලන්න සිද්ධ වේවි.
සරෝජ් පතිරණ










