කොළඹ සන්නිය
පසුගිය සති කීපය පුරා පළාත් පාලන ආයතනවල පැවැති අයවැය ඡන්ද විමසීම්වලදී මාලිමාවට පාලන බලය හිමි පළාත් පාලන ආයතන රැසක අයවැය පරාජයට පත්වන ආකාරයක් දැකගන්නට ලැබිණි. එසේ පළාත් පාලන ආයතන රැසක බලය තමන්ට අහිමි වුවද ආණ්ඩුව පැත්තෙන් ඒ ගැන වචනයක් හෝ කතාකරන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. කොටින්ම කියනවා නම් ආණ්ඩුව සිටියේ එසේ තමන්ට බලය හිමි පළාත් පාලන ආයතනවල අයවැය පරාජයට පත්වුවද එහි කිසිදු බලපෑමක් හෝ වගේවගක් තමන්ට නැති ආකාරයටය.Sri Lanka Latest News
නමුත් මේ පළාත් පාලන ආයතනවල අයවැය පරාජයට පත්කිරීම සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ඒ ඒ අවස්ථාවලදී සාකච්ඡා කොට සිදුකළා මිස කිසිදු අවස්ථාවක එය දේශපාලන මෙහෙයුමක් බවට පත්කොට ගත් ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. නමුත් පසුගිය සඳුදා පැවැති කොළඹ මහ නගර සභාවේ අයවැය ඡන්ද විමසීම නම් ඊට හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගත්තේය. සියලු පළාත් පාලන ආයතනවල මවු රැජින, නැතහොත් පළාත් පාලන ආයතනවල හදවත ලෙස සැලකෙන කොළඹ මහ නගර සභාවේ අයවැයට දින ළංවද්දී කාටත් හොර තිරය පිටුපස දැවැන්ත දේශපාලන මෙහෙයුමක් ක්‍රියාත්මක වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.
කොළඹ මහ නගර සභාව පළාත් පාලන ආයතනවල හදවත ලෙස සැලකීම නිසා ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී කොළඹ ජයග්‍රහණය කිරීම සඳහා මාලිමාව මෙන්ම සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයද විශාල උත්සාහයක් දැරීය. එහිදී බහුතර බලයක් මාලිමාව ලබාගැනීමට සමත් වුවද කොළඹ මහ නගර සභාවේ බලය අත්පත් කරගැනීම සඳහා එය ප්‍රමාණවත් වී තිබුණේ නැත. නමුත් මාලිමාව ස්වාධීන කණ්ඩායම් මෙන්ම අනෙකුත් ප්‍රධාන පක්ෂ සමග සාකච්ඡා කොට ආසන 61ක් ලබා ගනිමින් රහස් ඡන්දයක් හරහා කොළඹ මහ නගර සභාවේ බලය අත්පත් කරගැනීමට සමත් විය. එවකදී එය මාලිමාව සැමරුවේ දැවැන්ත දේශපාලන විජයග්‍රහණයක් අත්පත් කරගත් ආකාරයටය. එමෙන්ම ඒ හරහා සජබයටද විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුවිය. එහිදී එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ සජබය සහ එජාපය දෙකට බෙදී මැතිවරණයට ඉදිරිපත් වූ බැවින් අත උඩ තිබූ දිනුමක් ලබාගැනීමට සජබයට නොහැකි වූවා යැයි කියාය.
කෙසේ වෙතත් සජබය ප්‍රමුඛ විපක්ෂය නගරාධිපතිවරයා තෝරන සටනේදී විවෘත ඡන්දයක් ඉල්ලා සිටියද කොළඹ නාගරික කොමසාරිස්වරිය වූ සාරංගිකා ජයසුන්දර එය ප්‍රතික්ෂේප කරමින් රහස් ඡන්දයක් පැවැත්වීමට පියවර ගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ ආසන 48ක් ලබා සිටි මාලිමාව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේද සහාය ලබාගෙන ආසන 61ක් දක්වා සිය ඡන්ද ප්‍රමාණය වැඩිකර ගැනීමට සමත් වීමය. එහිදී විපක්ෂයට ලැබී තිබුණේ ඡන්ද 54ක් පමණි. මේ පරාජයත් සමග සජබය ප්‍රමුඛ විපක්ෂය සඳහන් කර සිටියේ බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ විරෝධය නොතකා නාගරික කොමසාරිස්වරිය රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය කිරීමට එරෙහිව අධිකරණය හමුවට යනවා යැයි කියාය.
මුජිබර්ගෙන් කමිටුවක්
කෙසේ වෙතත් පසුගිය මාස කීපය පුරාම විවිධ පළාත් පාලන ආයතනවල අයවැය ඡන්ද විමසීමේදී මාලිමාවට බලය හිමි සභා රැසක අයවැය පරාජයට පත්වුවද පසුගිය අඟහරුවාදා කොළඹ මහනගර සභා අයවැය පරාජයට පත්වීමත් සමග හදිසියේ ඇතිවූ දිට්වා සුළි කුණාටුව මෙන්ම විශාල බලපෑමක් ආණ්ඩුවට එල්ලවූ ආකාරයක් දැකගන්නට ලැබිණි. නමුත් මේ ප්‍රතිඵලය එළියට එනතුරුම කොළඹ මහ නගර සභාවේ අයවැය මාලිමාව පරාජයට පත්වනු ඇති බවක් කිසිවකුත් සිතා සිටියේ නැත. ඊට හේතු වූයේ කොළඹ මාලිමා අයවැය පරාජයට පත්කිරීමේ මෙහෙයුම සජබය ප්‍රමුඛ විපක්ෂය ඉතා රහසිගතව දියත් කිරීම නිසාය. 22 වැනිදා කොළඹ මහ නගර සභාවේ අයවැය ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබියදී එය පරාජය කිරීමේ මෙහෙයුම ආරම්භ වූයේ ඉකුත් 15 වැනි දිනය. ඊට මුල් පියවර තැබුවේ වෙන කවුරුවත් නොව, කොළඹ සජබ ප්‍රධානියා වන මුජිබර් රහුමාන්ය. ඒ අනුව මුජිබර් පක්ෂ නායක සජිත්ට දැනුම් දී සිටියේ දැනට සජබය සහ විපක්ෂය සතුව ආසන 54ක් පවතින බවත්, යම් උත්සාහයක් දැරුවහොත් එය ආසන 60 දක්වා වර්ධනය කරගැනීමේ අවස්ථාවක් ඇති බවත්, ඒ හරහා කොළඹ මහ නගර සභා අයවැයේදී මාලිමාව පරාජයට පත්කිරීමට හැකියාව ඇති බවත්ය. ඒ අනුව මුජිබර්ගේ කතාව අසා සිටි සජිත් ඊට අනුමැතිය ලබාදුන්නේ එක් කොන්දේසියක්ද සමගය. ඒ, මෙම මෙහෙයුම ඉතා රහසිගතව සිදුකළ යුතු බවටය. යම් හෙයකින් මෙවැන්නක් සිදුවන බවක් එළියට ගියහොත් ආණ්ඩුවට ඒ තොරතුර ලැබී ආණ්ඩුවද අයවැය ජයග්‍රහණය කිරීම සඳහා ගේම් ගසනු ඇති බව පෙන්වා දුන් සජිත් කිසිදු අවස්ථාවක මෙම මෙහෙයුමේ තොරතුරු එළියට ලබාදීමෙන් වැළකී සිටින ලෙස මුජිබර්ට දැනුම් දී සිටියේය.
සජිත් මෙසේ කියද්දී ආණ්ඩුව කෙසේ වෙතත් විපක්ෂයේ යම් යම් පක්ෂද ආණ්ඩුවට සහාය දැක්වීමේ අරමුණින් ගේමක් ගසනු ඇති බවට වූ සැකය මුජිබර්ටද මතු නොවුණා නොවේ. ඒ අනුව සජිත් ලබාදුන් උපදෙස් මත කොළඹ මහ නගර සභාවේ අයවැය පරාජයට පත්කිරීමේ සටන මුජිබර් විසින් ඉතා රහසිගතව ආරම්භ කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව මුලින්ම මුජිබර් කළේ විපක්ෂයේ සෙසු පක්ෂ සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ විපක්ෂ නායක රිසා සාරුක්, රෝයි බෝගහවත්ත වැනි ජ්‍යෙෂ්ඨ කණ්ඩායමකට පැවරීමය. ඒ අනුව ඔවුන් විපක්ෂයේ කණ්ඩායම් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ අතර, එහිදී ඔවුන්ට සුවිශේෂ කාරණාවක් අනාවරණ කරගැනීමට හැකියාව ලැබිණි. ඒ, ඉකුත් වතාවේ පැවැති රහස් ඡන්ද විමසීමේදී මාලිමාවට සහාය ලබාදුන් ස්වාධීන කණ්ඩායම් කීපයකම නාගරික මන්ත්‍රීවරුන් දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින බවය. මාලිමාව බලය පිහිටුවීමේදී ඔවුන්ට ලබාදෙන බවට පොරොන්දු වූ නගර සභාවේ යම් යම් කමිටුවල සභාපති ධුරය මේ දක්වා ලබා නොදීමට මාලිමාව කටයුතු කර තිබීම ඊට හේතු වී තිබිණ. ඒ අනුව එම නාගරික මන්ත්‍රීවරුන්ට තමන්ගේ ජනතාව වෙනුවෙන් කිසිදු සේවාවක් කරගැනීමට නොහැකිව දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින බවද ඔවුන්ට දැනගන්නට ලැබිණි. ඒ අනුව සජබ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී කණ්ඩායම මුලින්ම සාකච්ඡා ආරම්භ කළේ ඔවුන් සමගය. ඒ අනුව පළමු වටයේදීම ඔවුන්ගේ සහාය මාලිමා අයවැය පරාජයට පත්කිරීම සඳහා ලබාගැනීමට මේ සජබ ජ්‍යෙෂ්ඨයෝ සමත් වූහ.
මාලිමාවෙත් ප්‍රශ්න
කෙසේ වෙතත් මේ කලකිරුණු විපක්ෂ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරද්දී තවත් සුවිශේෂ කරුණක් අනාවරණ කරගැනීමට සජබ ජ්‍යෙෂ්ඨයෝ සමත් වූහ. ඒ, මාලිමාව නියෝජනය මන්ත්‍රීවරුන් කණ්ඩායමක්ද මේ වනවිට මාලිමාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩිව කලකිරීමට පත්ව සිටින බවය. තම පක්ෂයට පාලන බලය හිමිවුවද තම පාක්ෂිකයන් වෙනුවෙන් කිසිදු වැඩකටයුත්තක් කරගැනීමට නොහැකි වීම සහ දූෂණ වංචා චෝදනා හේතුවෙන් මෙම මාලිමා මන්ත්‍රී කණ්ඩායම දැඩිව කලකිරීමට පත්ව සිටින බවත්, ඔවුන් සමග සාකච්ඡා කළහොත් අයවැයට විරුද්ධව ඡන්දය ලබාගැනීම සඳහා ඔවුන්ගේ සහායද ලබාගැනීමට හැකි වනු ඇති බවත් මෙම කලකිරීමට පත්ව සිටින මන්ත්‍රීවරු සජබ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම්දී සිටියහ. එම කණ්ඩායමට මාලිමා මන්ත්‍රීවරුන් පස් දෙනකු පමණ ඇතුළත් වන බවද මෙම මන්ත්‍රීවරු සජබ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දුන්හ.
එම තොරතුර දැනගැනීමත් සමග වහාම සජබ ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායම මුජිබර් හමුවී ඒ බව මුජිබර්ට දැනුම් දීමට පියවර ගත්හ. එහිදී මුජිබර් මෙම පිරිසට දැනුම්දී සිටියේ දැන්මම කලබල නොවන ලෙසත්, අයවැය ඡන්ද විමසීම විවෘතව සිදුකරන නිසා මෙවර අයවැයට ආණ්ඩුව පැත්තෙන් කවුරුන් හෝ විරුද්ධව ඡන්දය ලබාදුනහොත් ආණ්ඩුව ඒ හරහා කලබලයට පත්වනු ඇති බවත්, දැනට ආණ්ඩුවට සහාය දී වැට උඩ සිටින විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය පමණක් අයවැයට විරුද්ධව ලබාගැනීමට කටයුතු කරන ලෙසත්ය. ඉතා තීරණාත්මක අවස්ථාවකදී මේ කලකිරීමට පත්ව සිටින මාලිමා මන්ත්‍රිවරුන් පස්දෙනා විපක්ෂයට එක්කර ගැනීමට කටයුතු කළ හැකි බවද මුජිබර් එහිදී සජබ ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී සිටියේය.
චම්පිකත් ආවා
සජබ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී කණ්ඩායම මේ ආකාරයට ආණ්ඩුවට සහාය දී කලකිරීමට පත්ව සිටින විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරද්දී මුජිබර් සිටියේ විපක්ෂයේ සිටින අනෙකුත් ප්‍රධාන පක්ෂ නායකයන් සමග සාකච්ඡා කරමින් මාලිමාවේ අයවැය පරාජයට පත්කිරීම සඳහා අවශ්‍ය ඉලක්කම් ප්‍රමාණය තහවුරු කරගැනීමේ මෙහෙයුමකය. ඒ අනුව මුජිබර් මුලින්ම කතා කළේ පාඨලී චම්පික රණවකටය. චම්පිකගේ එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරමින් එක් නාගරික මන්ත්‍රීවරයකු කොළඹ මහ නගර සභාවේ සිටි අතර, හෙතෙම කොළඹ මහ නගර සභාව පිහිටුවීමේ ඡන්ද විමසීමේදී කිසිදු පාර්ශ්වයකට ඡන්දය ලබා නොදී සිටීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව මුජිබර් චම්පිකට කතාකොට මාලිමා අයවැය පරාජයට පත්කිරීමට හැකියාව ඇති බව දැනුම් දී ඊට සහාය දෙන ලෙස ඉල්ලද්දී චම්පික මුජිබර්ට කියා සිටියේ විපක්ෂයට එය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය මන්ත්‍රීවරු කණ්ඩායම සිටින බව තහවුරු කොට පෙන්වුවහොත් සිය නියෝජිතයාගේ සහායද ඒ සඳහා ලබාදිය හැකි යැයි කියාය.
දිලිතුත් සපෝට්
ඉන් අනතුරුව මුජිබර් කතා කළේ දිලිත් ජයවීරටය. දිලිත්ගේ සර්ව ජන බලය නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාවට මන්ත්‍රීවරුන් දෙදෙනකු පත්ව තිබිණි. කොළඹ නගරාධිපතිවරයා තෝරන සටනේදී දිලිත්ගේ එක් මන්ත්‍රීවරයෙක් නගරාධිපති ධුරය සඳහා තරගවැදීමටද පියවර ගෙන තිබිණි. කොළඹ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වූ මෙම මන්ත්‍රීවරයා එහිදී ලද පරාජයත් සමග දිලිත්ගේ පක්ෂය ඇතුළේද ප්‍රශ්න ගණනාවක් නිර්මාණය කරගැනීමට කටයුතු කොට තිබිණී. ඒ අනුව අවසානයේදී මේ මන්ත්‍රීවරයා සිය මන්ත්‍රී ධුරයට ආයුබෝවන් කියා දිලිත්ගේ පක්ෂයෙන්ද ඉවත් වීමට කටයුතු කොට තිබිණි. ඒ වෙනුවට දිලිත්ගේ පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවට පැමිණ තිබුණේ එජාපය සමග ලොකු හිතවත්කමක් පැවැති මන්ත්‍රීවරයෙකි. ඒ අනුව, දිලිත්ට කතාකළ මුජිබර් කියා සිටියේ කොළඹ මාලිමා අයවැය පරාජය කිරීමේ අවස්ථාවක් මතුව ඇති බවත්, ඒ සඳහා දිලිත්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ සහාය අවශ්‍ය බවත්ය. ඒ අනුව දිලිත්ද එම මෙහෙයුමට අවශ්‍ය සහාය ලබාදීමට මුජිබර්ට එකඟතාව පළ කළේය.
අනුර මැදිහත් වෙයි
කෙසේ වෙතත් ඉතා රහසිගත ලෙස මෙම සාකච්ඡා පැවැත්වීමට මුජිබර් සහ සජබ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී කණ්ඩායම කටයුතු කළද ස්වාධීන මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම මෙහෙයුම සම්බන්ධ තොරතුරු ආණ්ඩුවේ පැත්තටද වාර්තා වීමට පටන්ගෙන තිබිණී. නගර සභා මැතිවරණයේ ප්‍රතිපලයෙන් පසු නගරාධිපතිවරයා තේරීමේ රහස් ඡන්ද විමසීමේදී විපක්ෂය නියෝජනය කළ ස්වාධීන කණ්ඩායම්වල මන්ත්‍රීවරුන් 13 දෙනකුගේ සහාය ලබාගැනීමට මාලිමාව සමත්ව තිබිණි. ඒ අනුව මෙම තොරතුරු වාර්තා වීමත් සමග නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස කටයුතු කරන ජවිපෙ මන්ත්‍රීවරයා වහාම කළේ මේ බව පැලවත්තටත්, ජනාධිපතිවරයාටත් දැනුම්දී එම පිරිස සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් සංවිධාන කිරීමය. එම හමුව සූදානම් වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. ඒ අනුව මෙම ස්වාධීන මන්ත්‍රීවරුන් නවදෙනා ජනාධිපතිවරයා හමුවීමට ජනාධිපති ලේකම් කාර්යාලයට ගියද එහිදී ජනාධිපතිවරයාගෙන් දිස්වූයේ වෙනදා දකින සිනාමුසු මුහුණට වඩා තරමක කෝපයට පත්ව තිබූ මුහුණකි. සාකච්ඡාව අතරතුර එක් අවස්ථාවකදී ජනාධිපතිවරයා විසින් ජවිපෙ නියෝජ්‍ය නගරාධිපතිවරයාට කෝපයෙන් යුතුව උස් හඬින් කතා කොට ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ‘අරන් දුන්න බලයවත් ඕගොල්ලන්ට ආරක්ෂා කරගන්න බැහැනේ…. මට හැමදාමත් නගර සභාවේ ප්‍රශ්නවලට පැලැස්තර දදා ඉන්න බෑ…. ඕගොල්ලෝ මේක කොහොම හරි දිනවලා දෙන්න… මේ මන්ත්‍රීවරු ටික තියාගෙන ඉන්න ඕගොල්ලෝ දැනගන්න ඕනේ….’ යනුවෙන් කියමින් ජනාධිපතිවරයා මෙහිදී නියෝජ්‍ය නගරාධිපතිවරයාට සැරට අමතා ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාව පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමග ඇතැම් ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ද එම හමුවේ ඡායාරූප සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පළකරමින් වාර්තා කොට තිබුණේ ජනාධිපතිවරයා විසින් කොළඹ නගර සභා අයවැය ජයග්‍රහණය කරවීම සඳහා විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරුන් කණ්ඩායමක් කැඳවා ඔවුන්ට බුරියානි ලබාදීමට කටයුතු කොට ඇති බවය. නමුත් එහි ඇත්ත නැත්ත අප නොදන්නා නමුත්, ආණ්ඩුව කිසිදු අවස්ථාවක මේ ප්‍රචාරය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කොට තිබූ බවක් දැකගන්නට නොලැබිණි.
ඒ අනුව කොළඹ නගර සභාවේ අයවැය පරාජයට පත්කරන මෙහෙයුම ආරම්භ කොට දින තුන හතරක් ගතවෙද්දී අයවැය පරාජයට පත්කිරීම සඳහා අවශ්‍ය ඉලක්කම් ප්‍රමාණය සපුරාගත හැකි බව මුජිබර්ට වැටහී ගොස් තිබිණි. ඒ අනුව දිනපතාම පාහේ මුජිබර් එම සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ දුරකතනය ඔස්සේ සජිත් දැනුවත් කිරීමටද පියවර ගත්තේය. එමෙන්ම ආණ්ඩුව මෙහි බරපතළකම වටහාගෙන මේ වනවිට ජනාධිපතිවරයා පවා ඊට මැදිහත්ව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමග සාකච්ඡා කොට ඇති බවද මුජිබර් මෙහිදී සජිත්ට දැනුම්දී සිටියේය. ඒ අනුව සජිත් මුජිබර්ගෙන් ප්‍රශ්න කර සිටියේ තමන්ද මෙම සාකච්ඡාවන්ට මැදිහත් වීමේ අවශ්‍යතාවක් ඇතිදැයි කියාය. ඊට පිළිතුරු දුන් මුජිබර් කියා සිටියේ සජිත් ඊට මැදිහත් වුවහොත් එය අනවශ්‍ය දේශපාලන ගැටුමක් දක්වා දුරදිග යාහැකි බැවින් මේ මොහොතේ ඊට මැදිහත් නොවන ලෙසය. නමුත් ප්‍රබල දේශපාලන නායකයන් කිහිප දෙනකු සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙසත්, ඇතැම් කටයුතුවලදී මන්ත්‍රීවරුන්ට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලෙසත් මුජිබර් එහිදී සජිත්ගෙන් ඉල්ලීමක් කළේය.
පොහොට්ටුවේ ප්‍රශ්නයක්
කෙසේ වෙතත් මෙම සාකච්ඡා අතරතුරදී පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම පිළිබඳවද යම් තොරතුරක් මුජිබර්ට වාර්තා විය. ඒ, පොහොට්ටුව නියෝජනය කරන එක් මන්ත්‍රීවරයෙක් නගර සභාව සමග ව්‍යාපාරික ගනුදෙනුවක නිරතව සිටින බවත්, නගරාධිපතිවරිය වූ කැලී බල්තසාර් සමග ඉතා සමීප සබඳතාවක් පවත්වාගෙන යන බවත්ය. එම පොහොට්ටු මන්ත්‍රීවරයා නගර සභාවට විශාල මුදලක් ගෙවීමට නියමිතව ඇති බවද එහිදී මුජිබර්ට දැනගන්නට ලැබිණි. මෙම තොරතුර සජබ ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රීවරුන්ට ආවේ වෙන කාගෙන්වත් නොව, අප ලිපිය ආරම්භ කරද්දී සඳහන් කළ කලකිරීමට පත්ව සිටින මාලිමා මන්ත්‍රී කණ්ඩායම වෙතිනි. ඔවුන් සජබ ජ්‍යෙෂ්ඨයන්ට කියා තිබුණෛ් නියත වශයෙන්ම මෙම පොහොට්ටු මන්ත්‍රීවරයා සමග තවත් පොහොට්ටු මන්ත්‍රීවරුන් දෙදෙනකුද සිටින බවත්, මේ තිදෙනා අයවැය ඡන්ද විමසීම් අවස්ථාවේදී ඊට විරුද්ධව ඡන්දය නොදී, ඡන්දය ලබාදීමෙන් වැළකී සිටීමට කටයුතු කරනු ඇති බවත්ය. සජබ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් මෙම තොරතුර මුජිබර්ට දැනුම්දීමත් සමග මුජිබර් වෙනත් මාර්ගයකින් එම තොරතුරේ සත්‍යාසත්‍යතාව සොයාබැලීමට කටයුතු කළේය. එහිදී මුජිබර්ටද දැනගන්නට ලැබුණේ මාලිමා මන්ත්‍රීවරුන් ලබාදුන් එම තොරතුර 100%ක් නිවැරැදි බවත්, පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරුන් තිදෙනකු මාලිමා ආණ්ඩුව සමග ඉතා සමීපව කටයුතු කරමින් සිටින බවත්ය. ඒ අනුව මුජිබර් වහාම කළේ පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වූ නාමල් රාජපක්ෂ මහතාට ඇමතුමක් ගෙන මේ සම්බන්ධයෙන් දැනුම් දීමය. එහිදී පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරයා මාලිමා ආණ්ඩුව සමග සිදුකරන ව්‍යාපාරික ගනුදෙනු පිළිබඳවද මුජිබර් නාමල්ව දැනුවත් කිරීමට පියවර ගත්තේය.
මෙහිදී නාමල් මුජිබර්ට සහතිකයක් දෙමින් කියා සිටියේ කොළඹ පොහොට්ටුවේ නාගරික මන්ත්‍රී කණ්ඩායමේ සහාය අයවැය පරාජයට පත්කිරීම සඳහා නියත වශයෙන්ම ලබාදෙන බවත්, ආණ්ඩුව සමග ව්‍යාපාරික කටයුතු කරන මෙම මන්ත්‍රීවරයා සමග තමන් පෞද්ගලිකවම සොයාබලන බවත්ය.
ලන්ඩන් ලාල් ගේමට බැහැලා
මේ ආකාරයට මාලිමාවට බලය හිමි කොළඹ මහනගර සභාවේ අයවැය පරාජයට පත්කිරීමට මෙහෙයුමක් දියත්ව ඇති බව කලක් මෙරට දේශපාලනයේ නිරතව සිටින, දැනට ලන්ඩනයේ ජීවත්ව සිටින ලාල් පීරිස් නැමැත්තාටද දැනගන්නට ලැබී තිබිණි. මේ කියන ලාල්ට වෙනත් ප්‍රකට අන්වර්ථ නාමයක්ද පටබැඳී ඇති අතර, ඔහු සතුව දේශපාලන පක්ෂයක්ද තිබේ. එමෙන්ම එම දේශපාලන පක්ෂය නියෝජනය කරමින් ඔහුගේ පුතුන් දෙදෙනාම කොළඹ නගර සභාවට තේරීපත්ව සිටින අතර, ඉන් එක් අයකු කොළඹ නගර සභාවේ අපද්‍රව්‍ය කළමනාකරණ කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලබයි. ලන්ඩනයේ ජීවත්ව සිටියද මේ කියන ලාල් හට කොළඹ දේශපාලනය හැසිරවීමේ විශාල ශක්තියක් ඇති බව දන්නෝ දනිති. ඒ අනුව මාලිමාවේ අයවැය පරාජයට පත්කිරීම සඳහා කොළඹ නගර සභාව ඇතුළත දේශපාලන මෙහෙයුමක් දියත් වන බවට වූ තොරතුරු ලන්ඩනයේ සිටින ලාල් වෙත ලැබීමට වැඩි වේලාවක් ගියේ නැත. යම් හෙයකින් එසේ මාලිමාවේ අයවැය පරාජයට පත්වුවහොත් සිය පුත්‍රයා සභාපතිත්වය දරන අපද්‍රව්‍ය කළමනාකරණ කමිටුවේ සභාපති ධුරය අහිමි වී යනු ඇති බවද ලාල්ට දැනගන්නට ලැබිණ. ඒ අනුව ලාල් වහාම කළේ ලන්ඩනයේ සිටම සිය බලය පෙන්වමින් සජබය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ඇමතුම් ලබාදීමට පියවර ගැනීමය. එසේ ඇමතුම් ගෙන ලාල් ඔවුන්ට දැනුම්දී සිටියේ අයවැය පරාජයට පත්කිරීමට උත්සාහ නොකරන ලෙසය. ලාල්ගේ මේ ඇමතුම ලැබීමෙන් පසු සජබ නාගරික මන්ත්‍රීවරුන් කීප දෙනෙක්ම මේ බව සජබ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී කමිටුවට දැනුම්දීමට පියවර ගත්හ. සජබ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී කමිටුව වහාම කළේ මේ බව මුජිබර්ට දැනුම්දී සිටීමය. එහිදී මන්ත්‍රීවරුන් මුජිබර්ට කියා සිටියේ මේ කියන ලාල්ගේ පුතා සිය දුරකතනය සජබ මන්ත්‍රීවරුන්ට ලබාදෙන බවත්, එහිදී ලන්ඩනයේ සිටින ලාල් සජබ මන්ත්‍රීවරුන්ට විවිධ යෝජනා සිදුකරන බවත්ය. ඒ අනුව මුජිබර් කළේ මතුව ඇති මේ අලුත්ම තත්ත්වය පිළිබඳ වහාම සජිත්ව දැනුවත් කිරීමය. ඒ අනුව සජිත් සමග කතාකළ මුජිබර් ලාල්ගේ මෙහෙයුමට ප්‍රතිචාර දැක්වීමට විශේෂ ක්‍රමවේදයක් සකස් කළේය. ඒ අනුව සියලු සජබ නාගරික මන්ත්‍රීවරුන්ට දැනුම් දීමක් කෙරුණේ ලාල්ගෙන් ලැබෙන දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වන ලෙසටය. එමෙන්ම ඡන්දය පැවැත්වෙන දිනයේදී සියලු සජබ නාගරික මන්ත්‍රීවරුන්ගේ දුරකතන ක්‍රියා විරහිත කර තබන ලෙසටද උපදෙස් ලැබිණි. ඒ අනුව ඡන්දය පවත්වා අවසන් වනතෙක්ම ලන්ඩනයේ සිටින ලාල්ට කිසිදු සජබ මන්ත්‍රීවරයකු අල්ලා ගැනීමේ අවස්ථාවක් හිමිවූයේ නැත. ඒ අනුව සඳුදා පැවැති කොළඹ මහ නගර සභාවේ අයවැය ඡන්ද විමසීමේදී එය 61ට 57ක් ලෙස පරාජයට පත්කිරීමට සජබය ප්‍රමුඛ විපක්ෂය කටයුතු කළේ සජිත්, මුජිබර් ඇතුළු සජබ ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රී කණ්ඩායම තිරය පිටුපස දියත් කළ මෙම දේශපාලන මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙසටය. මේ ප්‍රතිඵලය හරහා කොළඹ නගරාධිපතිවරයා තෝරාගැනීම සම්බන්ධයෙන්ද මේ වනවිට ප්‍රශ්නයක් මතුව තිබේ. ඒ, රහස් ඡන්දයක් නොපවත්වා විවෘත ඡන්දයක් පැවැත්වූයේ නම් නියත වශයෙන්ම මාලිමාවට කොළඹ නගර සභාවේ බලය අත්පත් කරගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් සහ විපක්ෂ නියෝජිතයකු නගරාධිපතිවරයා බවට පත්කරගැනීම සම්බන්ධයෙන්ය.
දැන් මොකද වෙන්නේ?
එසේ නම් දැන් කොළඹ නගර සභාවට සිදුවන්නේ කුමක්ද? මේ වනවිට එක් වතාවක් පමණක් අයවැය පරාජයට පත්ව ඇති නිසා තවත් අවස්ථා දෙකකදී අලුත් අයවැයක් ඉදිරිපත් කිරීමට මාලිමාවට නීතියට අනුව හැකියාව තිබේ. නමුත් ඒ අවස්ථා දෙකේදීද මාලිමා අයවැය පරාජයට පත්වුවහොත් නගර සභාවේ බලය විපක්ෂය විසින් අත්පත් කරගැනීම නොවැළැක්විය හැකිය. කොළඹ මහ නගර සභාව පාලනය වන්නේ කමිටු රැසක් මගිනි. ඒ කමිටුවල සභාපති ධුර හිමිවන්නේ නගර සභාවේ බහුතර බලය හිමි කණ්ඩායමටය. නගර සභාවේ බලය පවත්වාගෙන යෑමේදී අවශ්‍ය තීන්දු තීරණ ගන්නේ මේ කමිටු මගිනි. ඒ අනුව යම් හෙයකින් ඉදිරි අවස්ථා දෙකේදීද මාලිමා අයවැය පරාජයට පත්වුවහොත් මෙම සියලු කමිටුවල සභාපති ධුරයන් සජබය ප්‍රමුඛ විපක්ෂය යටතට යනු ඇත. එවිට මාලිමා නගරාධිපතිවරිය කිසිදු බලයක් නැති නාමමාත්‍රික නගරාධිපතිවරියක බවට පත්වීමද වැළැක්විය නොහැක. ඒ අනුව මේ වනවිට ආණ්ඩුව සිය සම්පූර්ණ බලය යොදවා ඇත්තේ දෙවැනි වර ඉදිරිපත් කරන මාලිමා අයවැය කෙසේ හෝ ජයග්‍රහණය කරවීමටය. එමෙන්ම සජබය ප්‍රමුඛ විපක්ෂයද මේ වනවිට සූදානමින් සිටින්නේ සිය බහුතරයක් වූ මන්ත්‍රී කණ්ඩායම ආරක්ෂා කරගනිමින් ඊළඟ වතාවේදීද මාලිමා අයවැය පරාජයට පත්කොට නගර සභාවේ බලය තහවුරු කරගන්නටය.
කෝ මේ වටගල?
කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමේදී මාලිමාව වෙනුවෙන් සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ අයකු ලෙස මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා හැඳින්විය හැකිය. කොළඹ දේශපාලනයේදී කැලී බල්තසාර් හට විශාල අත්දැකීමක් නොතිබුණු නිසා එම හිඩැස පිරවීමට එදා කටයුතු කළේ මේ කියන වටගලය. නගරාධිපති ධුරය සඳහා පැවැති ඡන්ද විමසීමේදී සියලු සම්බන්ධීකරණ කටයුතු සිදුකළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බලයට පත්වූ මේ කියන වටගලය. එමෙන්ම මාධ්‍ය හමුවේ ප්‍රකාශ ලබාදුන්නේද වටගලය. නමුත් කොළඹ අයවැය පරාජයට පත්වීමත් සමග වටගලගේ මුහුණ දැකගැනීමට කිසිවකුටත් ඉඩක් ලැබුණේ නැත. ඊට හේතු මොනවාද යන්න කියා අප කළ සොයාබැලීමකදී අපටද දැනගන්නට ලැබුණේ කොළඹ නගර සභාවේ බලය අත්පත් කරගැනීමෙන් පසු වටගලට ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි කියාය. විශේෂයෙන්ම මාලිමා නගරාධිපතිවරිය වූ කැලී බල්තසාර් වටගලව කොළඹ දේශපාලනයෙන් ඉවත් කොට පසෙකට කර තිබූ බවක්ද ආරංචිය.
වටගල එදා කොළඹ ජයග්‍රහණය කරන දේශපාලන ගේම ගැසුවේ තනිවම නොව, කලක් කොළඹ රජකරගෙන සිටි ප්‍රබල පුද්ගලයකුගේ සහාය ඇතිවය. මේ ප්‍රබලයාගේ කොළඹ පිහිටි නිවස එදා සැලකුණේ දේශපාලන ගේම්වල මහගෙදර ලෙසය. එදා වටගලද කොළඹ දිනන ගේම් එක ගැසුවේ මේ කියන ප්‍රබලයාගේ නිවසේ සිට ඔහුගේද සහාය ඇතිවය. ඒ අනුව එදා නගරාධිපති ධුරය මාලිමාවට ලබාගැනීම සඳහා සියලු පක්ෂවල සිටින තමන්ට හිතවත් මන්ත්‍රීවරුන්ට කතාකොට සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටීමට කටයුතු කළේය. නමුත් පසුගිය කාලයේදී මේ හිටපු ප්‍රබලයාගෙන් කිසිදු මන්ත්‍රීවරයකුට දුරකතන ඇමතුම් නොලැබුණත් මාලිමා අයවැය පරාජයට පත්වීමත් සමග යළිත් වතාවක් කොළඹ නාගරික මන්ත්‍රීවරුන්ට මේ හිටපු ප්‍රබලයාගෙන් දුරකතන ඇමතුම් ලැබෙන්නට පටන්ගෙන ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඒ අනුව අප මේ හිටපු ප්‍රබලයාට කල් තියා අනතුරු අඟවන්නේ ඉතා පරෙස්සමෙන් යුතුව මේ නාගරික මන්ත්‍රීවරුන්ට ඇමතුම් ලබාදීමේදී කතාකරන ලෙසටය. මන්ද යත්, මේ ලැබෙන ඇමතුම් සියල්ලක්ම පටිගත කරන ලෙසට දැනටමත් පක්ෂයේ ඉහළ මට්ටමෙන් මේ මන්ත්‍රීවරුන්ට උපදෙස් ලැබී තිබීම ඊට හේතුවය. නගරාධිපතිවරයා තෝරන සටනේදී මෙසේ ලැබුණු ඇමතුම් පිළිබඳවත්, මාලිමාවට සහාය ලබාදෙන්නේ නම් ලබාදිය හැකි මුදල් පිළිබඳවත් විශාල චෝදනාවක් විපක්ෂය පැත්තෙන් එල්ල වී තිබිණි. ඊට අදාළ හඬපට පවා එකල ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය වූ ආකාරයක් දැකගන්නට ලැබිණී. ඒ අනුව අප මෙවර මේ දුරකතන ඇමතුම් ලබාදෙන ප්‍රබලයන්ට දැනුම් දී සිටින්නේ මෙවර මේ සියලු ඇමතුම් පටිගත කිරීමට උපදෙස් ලබාදී ඇති නිසා ප්‍රවේසමෙන් ඒ ඇමතුම්වලදී සාකච්ඡා කරන ලෙසය. යම් හෙයකින් ගනුදෙනු පිළිබඳව හෝ වෙනත් වරදාන, වරප්‍රසාද පිළිබඳව මෙම ඇමතුම්වලදී සාකච්ඡා කෙරුණහොත් එය ඊළඟ අයවැය ඡන්ද විමසීමට පෙර එළියට එනු ඇති බව සියලු දෙනාම සිහියේ තබාගනු වටී.
චන්ග්ට නෝ චාන්ස්
ලංකා දේශපාලනයේ මෑත කාලයේ ජනතාවගේ මතකයේ සිටින සිහිවටන තැබූ විදෙස් තානාපතිවරයකු සිටියේ නම් ඒ, කිසිදු විවාදයකින් තොරව ජූලි චන්ග්ය. පසුගිය අරගල සමයේදී ගෝඨාගේ ආණ්ඩුව වට්ටවා මාලිමා ආණ්ඩුව බලයට ගෙන එන තැන දක්වා ජූලි චන්ග් තිරය පිටුපස රඟදැක්වූ භූමිකාව මෙරට කිසිවකුට අමතක නැත. එමෙන්ම චන්ග් ලංකාවේ පරිසරයට, ලංකාවේ සංස්කෘතියට, ලංකාවේ සමාජ පසුබිමට ආදරය කරන අයකු ලෙසද ප්‍රකටය. සාමාන්‍යයෙන් තමන් ආදරය කරන චරිතවල නම් සහ රූප සදා මතකයේ රඳවා ගැනීමට පච්චා ලෙස සිරුරේ කොටාගැනීම ලාංකීය සම්ප්‍රදායකි. ඒ අනුව යමින්දෝ 2022 අරගලයෙන් පසු චන්ග්ද ශ්‍රී ලංකාවේ රූපය සිය පාදයේ දණහිසට පහළින් පච්චා කොටාගැනීමට කටයුතු කළාය. ලංකාව ඇගේ පාදයේ කොටාගැනීම සම්බන්ධයෙන් ඒ මොහොතේදී යම් යම් පාර්ශ්වයන් විසින් විරෝධතා එල්ල වුවද, චන්ග් එය මායිම් නොකළ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
ජූලි චන්ග් ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය ලෙස පත්ව ආවේ 2022 පෙබරවාරි මාසයේය. ගෝඨාභයගේ ආණ්ඩුවට එරෙහිව අරගලය පටන් ගත්තේ ඇය ලංකාවට ඒමට පෙරය. ඇය ලංකාවට එන විටත් තැනින් තැන විරෝධතා ව්‍යාපාර මතුවී තිබිණි. ඇය අරගලයට පක්ෂව ට්විටර් පණිවුඩ නිකුත් කිරීමෙන් අරගලයේ තරුවක් බවට පත්වූවාය. ගෝඨාට අරගලය මර්දනය නොකරන ලෙස බලපෑම් එල්ල කිරීමට ඇය සමත් වූවාය. ඇය නොසිටින්න ලංකාවේ අරගලය සාර්ථක වන්නේ නැත.
එසෛ්ම අනුරගේ ජයග්‍රහණයටද ඇය එක් හේතුවක් විය. ඇය පළමු වතාවට ජවිපෙ මූලස්ථානයට ගොස් ජවිපෙ නායකයන් හමුවූ තානාපතිය. මීට කලින් ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ ජවිපෙ අතර හොඳ සම්බන්ධතාවක් තිබුණේ නැත. එහෙත් ඇය ජවිපෙ සමග සබඳතා වර්ධනය කරගත් අතර, ජවිපෙ කෙරෙහි ඉහළ මධ්‍යම පන්තිය සහ ප්‍රභූ පන්තිය ආකර්ෂණය වීමට එය ප්‍රධාන හේතුවක් විය. 2024 මහ ඡන්දය වනවිට ඇය ලංකාවෙන් පිටත්ව යෑමට නියමිතව තිබුණද එවක ඇමෙරිකාවේ බයිඩන් ආණ්ඩුව මැතිවරණ කාලය තුළ ඇය ලංකාවේ සිටිය යුතු යැයි තීරණය කරනු ලැබීය. මේ නිසා ඇයගේ කාලය දික් කරනු ලැබීය. මහ ඡන්දය අවසන් වීමෙන් පසු බයිඩන් ආණ්ඩුව 2024 මැයි මාසයේ ලංකාවට නව තානාපතිවරියක් නම්කරනු ලැබීය. ඇය එලිසබත් කේ. හෝර්ස්ට්ය. එහෙත් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීමත් සමග ඇයගේ නාමයෝජනාව අර්බුදයකට ලක්විය. මෙහි වාසිය ජූලිට හිමිවූ අතර, ඇයගේ ලංකාවේ නිල කාලය තවත් දීර්ඝ විය. ට්‍රම්ප් ජනාධිපති වීමෙන් පසු බයිඩන් ආණ්ඩුව ලංකාවට නම්කළ එලිසබත් හෝර්ස්ට් කෙටි කාලයකට පාකිස්තානයේ වැඩබලන තානාපති ලෙස පත්කරනු ලැබීය.
ට්‍රම්ප් ලංකාවට නව තානාපතිවරයෙක් නම්කරනු ලැබුවේ පසුගිය ජූලි මාසයේය. ඒ, එරික් මේයර්ය. නමුත් විවිධ හේතු මත ඔහුගේ පත්වීමට අනුමැතිය දීම ලංකාවේ ආණ්ඩුව පැත්තෙන් කල් ගියේය. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දීමෙන් පසු නම්කරන ලද එරික් මේයර්ට ජනාධිපති අනුර කුමාර අනුමැතිය දෙන ලිපිය එව්වේය. අනුරගේ ආණ්ඩුවෙන් සිදුවූ මේ අතපසු වීමද ජූලිගේ කාලය දික් කරනු ලැබීය. නමුත් අවසානයේදී වොෂින්ටනයෙන් කළ දැනුම්දීමකට අනුව එරික් මේයර්ගේ නාමයෝජනාව පිළිගන්නා ලියවිල්ලට අස්සන් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.
හවයි ගමන කැන්සල්
ඉන් අනතුරුව ලංකාවට බලපෑ දිට්වා ව්‍යසනය හේතුකොට ගෙන මතුවූ කලබලකාරී වාතාවරණය නිසා චන්ග්ට තවත් මාස කීපයක් ලංකාවේ කටයුතු කිරීමේ අවස්ථාවක් හිමිවන ආකාරයක් දැකගන්නට ලැබිණි. එසේ තවත් මාස කීපයක් ලංකාවේ රැඳී සිටීම සඳහා කිසිකුටත් නොදැනෙන පරිදි යම් සැලැස්මක් දියත් කිරීමටද චන්ග් සූදානමින් සිටියාය. ඒ, ඉදිරියේදී හවායි නුවර පැවැත්වීමට නියමිත ඉන්දු-පැසිෆික් කලාපීය ඇමෙරිකානු තානාපතිවරුන්ගේ සමුළුව උපයෝගී කොට ගෙනය. මෙම සමුළුව අතිශය තීරණාත්මක එකක් වන අතර, ඊට ඉන්දු-පැසිෆික් කලාපය නියෝජනය කරන සියලු ඇමෙරිකානු තානාපතිවරුන්, ඇමෙරිකානු ආරක්ෂක නිලධාරීන් සහ අමෙරිකානු බුද්ධි අංශ නිලධාරීන් සහභාගි වීමට නියමිතය. එහිදී සිදුවන්නේ තමන් රාජකාරි කරන රටේ පවතින තත්ත්වය පිළිබඳ නිවැරැදි විස්තරයක් සමුළුවට ඉදිරිපත් කොට අදාළ රට සම්බන්ධයෙන් ඇමෙරිකාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ඉදිරි උපක්‍රම සකස් කිරීමය. ඒ අනුව චන්ග් සැලසුම් කොට තිබුණේ මෙම සමුළුවේදී වත්මන් මාලිමා ආණ්ඩුවේ පාලනය සම්බන්ධයෙන් යම් අකාර්යක්ෂමතාවක සිටින බව පෙන්වා එම කරුණ මත ලබන වසරේ අප්‍රේල් – මැයි වනවිට ආර්ථික අර්බුදයක් ලංකාවේ යළිත් වතාවක් නිර්මාණය වමේ අවදානමක් මතුව ඇති බවත්, ඒ සමගම දේශපාලන අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක්ද ඇති බවත් පෙන්වා එම තත්ත්වය හමුවේ ඇමෙරිකාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කිරීමටය.
හමවූ අය මෙන්න
මේ සඳහා පසුබිම සකස් කරනු වස් අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ චන්ග් පසුගිය සති කීපයේදී මෙරට විපක්ෂය නියෝජනය කරන ප්‍රබල චරිත කීපයක් හමුවී රහසිගත සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇති බවය. එම චරිත අතර මතභේදාත්මක තත්ත්වයකට මුහුණදී සිටින ඇතැම් දේශපාලන පක්ෂ නායකයන්, රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් සහ ප්‍රකට ව්‍යාපාරිකයන් කිහිප දෙනකුද සිටින බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. පෙළක් පුද්ගලයන් සිය බිරින්දෑවරුන් සමගම ගොස් ජූලි චන්ග් හමුවූ බවක් දැනගන්නට තිබේ. විපක්ෂයේ සිටින ඇතැම් ඔස්තාර්ලාද චූලි චන්ග් හමුවී දැනට සිටින පක්ෂ නායකයන් ඉවත් කොට පක්ෂයේ බලය ඇල්ලීම සඳහා අදහස් හුවමාරු කරගෙන ඇති බවත්, ඒ සඳහා අරමුදල් සපයා ගන්නා ආකාරය පිළිබඳ සාකච්ඡා කොට ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත. මේ සිදුකෙරුණු සාකච්ඡාවලදීද දෙපාර්ශ්වයේම අදහස වී ඇත්තේ ලබන අප්‍රේල් – මැයි වනවිට ආර්ථික අර්බුදයක් නිර්මාණය වීමේ වැඩි අවදානමක් පවතින බවකි. ඒ අනුව ජූලි චන්ග් සැලසුම් කළේ මෙම තත්ත්වය පිළිබඳ හවායිහි පැවැත්වෙන සමුළුවේදී කරුණු දක්වා එවැනි අවස්ථාවකදී අලුත් තානාපතිවරයකුට වඩා දැනට කාලයක් තිස්සේ ලංකාවේ සිටින තමන්ට ඒ දක්වා වූ කාලසීමාව තුළ ලංකාවේ රැඳී සිටීමටය. එමෙන්ම එම රැස්වීමට සහභාගි වූ අනෙකුත් නියෝජිතයන්ද සිතා සිටියේ එවැනි අර්බුදයක් නිර්මාණය වන අවස්ථාවක ජූලි චන්ග් ලංකාවේ තානාපතිවරිය ලෙස රැඳී සිටිනු ඇතැයි කියාය.
නමුත් මේ සියල්ල කනපිට හැරුණේ පසුගිය සතියේ සිදුකෙරුණු ජූලි චන්ග්ගේ වොෂින්ටන් සංචාරය අතරතුරදීය. චන්ග්ගේ එම සංචාරය අතරතුර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හදිසියේම මෙම හවායිහි පැවැත්වීමට නියමිත මෙම වාර්ෂික සමුළුව අවලංගු කිරීමට පියවර ගත්තේය. එමෙන්ම දැනට සේවා දිගු මත සිටින ජූලි චන්ග් ඇතුළු ඇමෙරිකානු තානාපතිවරුන් සහ නිලධාරීන් 30 දෙනකුගේ සේවා කාලය වහාම අවසන් කිරීමට ට්‍රම්ප් පියවර ගත්තේය. එමෙන්ම ඔවුන්ට ලබන ජනවාරි 16 වැනි දින වනවිට නැවත ඇමෙරිකාවට පැමිණිය යුතු බවට වූ අවසන් දැනුම්දීම සිදුකිරීමටද ට්‍රම්ප් පියවර ගත්තේය. ඒ අනුව ලබන මැයි වනතුරු ලංකාවේ රැඳී සිටිමින් තවත් දේශපාලන පෙරළි සිදුකිරීමට සැලසුම් කරමින් සිටි ජුලි චන්ග්ගේ සියලු සැලසුම් ට්‍රම්ප් සිදුකළ මෙම දැනුම්දීමත් සමග සුළඟේ ගසාගෙන ගිය ආකාරයක් දැකගත හැකි විය. මේ දිනවල වොෂින්ටන්වල සිටින ජූලි චන්ග් ජනවාරි මුල් සතියේදී නැවත ලංකාවට පැමිණීමට නියමිතව ඇති අතර, මේ වනවිටත් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරීන් චන්ග් වෙනුවෙන් සමුගැනීමේ සාදයක් සංවිධාන කරමින් සිටින බවද දැනගන්නට ඇත. ඊට මෙරට පක්ෂ විපක්ෂ දේශපාලනයේ නිරත සියලු දෙනාටම පාහේ ආරාධනා කිරීමට පියවර ගෙන ඇති බවක්ද දැනගන්නට ඇත.
ඒ අනුව ලබන 16 වැනිදාට පසු ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිවරයා ලෙස වැඩ භාරගැනීමට නියමිතව ඇත්තේ එරික් මේයර්ය. එරික් මේයර් යනු කෙළින්ම ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රබලයෙකි. ඔහු මීට පෙරාතුව ලංකාවද ඇතුළත්ව මධ්‍යම සහ දකුණු ආසියානු කලාප සම්බන්ධීකරණය කිරීමේ නිලධාරියා වශයෙන්ද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමග කටයුතු කර තිබේ. ඒ අනුව දැන් අපට බලාසිටීමට ඇත්තේ එරික් මේයර් බයිඩන් හිතවාදී ජූලි චන්ග් කටයුතු කළ ආකාරයට කටයුතු කරයිද, එසේත් නැත්නම් ට්‍රම්ප් රජයට අවශ්‍ය ආකාරයට ලංකාවේ කටයුතු මෙහෙයවයිදැයි කියාය.
කාදිනල් හිමියන්ටත්..?
මේ අතරවාරයේ මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන්ද විශේෂ තොරතුරක් වාර්තා කිරීමට අප සූදානම්ය. කතෝලික සභාවේ සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ වයස අවුරුදු 75 සම්පූර්ණ වූ පසු තනතුර දරන පුද්ගලයන් විශ්‍රාම යෑමය. නමුත් 2019 වසරේ එල්ලවූ පාස්කු ප්‍රහාරයත් සමග වතිකානුවේ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මැල්කම් රංජිත් හිමිපාණන්ට සේවා දිගුවක් ලබාදීමට පියවර ගත්තේය. ඒ, උන්වහන්සේ පාස්කු ප්‍රහාරකයන් සහ ඒ පසුපස තිබූ කුමන්ත්‍රණය සොයාගැනීමට දැවැන්ත සටනක් දියත් කර තිබීම නිසාය. මේ වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු 78ද ඉක්මවා ගොස් තිබේ.
තත්ත්වය මෙසේ තිබියදී පසුගිය සතියේ වතිකානුවේ පුදුමසහගත සිදුවීමක් සිදුවිය. ඒ, වත්මන් පාප් ධුරය දරන 14 වැනි ලියෝ පාප්වහන්සේ තමන්ට අතිශය හිතවත් සහ තමන්ව පාප් ධුරයට ඔසවා තැබීමට විශාල වැඩකොටසක් කළ තිමොති ඩෝලාන් කාදිනල් හිමියන් වයස අවුරුදු 75 සම්පූර්ණවත්ම විශ්‍රාම ගැන්වීමට කටයුතු කිරීමය. බොහෝ දෙනා සිතා සිටියේ තිමොති ඩෝලාන් කාදිනල් හිමියන් හා ලියෝ පාප්වහන්සේ අතර සමීප හිතවත්කමක් පැවැතීම නිසා පාප්වහන්සේ ඩෝලාන් හට තවත් වසර කීපයක සේවා දිගුවක් ලබාදෙනු ඇතැයි කියාය. නමුත් සියල්ලන් පුදුමයට පත්කරමින් පාප්වහන්සේ සිය හිතවතා වූ ඩෝලාන්ට පවා සේවා දිගුවක් ලබා නොදෙමින් අවුරුදු 75 සම්පූර්ණ කළ වහාම විශ්‍රාම ගැන්වීමට පියවර ගත්හ. පාප්වහන්සේ ගත් මෙම තීන්දුවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා යම් තිගැස්මකට ලක්වූ බවත්, ඩෝලාන් හිමියන් හට සේවා දිගුවක් ලබාදෙන ලෙසට වතිකානුවට පණිවුඩ යැවූ බවත් යම් යම් මාධ්‍ය වාර්තා කොට තිබූ නමුත්, පාප්වහන්සේ තමන් ගත් තීන්දුවේ ඍජුවම සිටීමට පියවර ගෙන තිබිණි.
ඒ අනුව මෙම සිදුවීමත් සමග බොහෝ දෙනා කියා සිටින්නේ පාප්වහන්සේ ගත් මෙම තීන්දුවෙන් විශාල පණිවුඩයක් කතෝලික සමාජයට ලබාදී ඇතැයි කියාය. ඒ, කිසිදු විශේෂ සැලකිල්ලකට යටත් නොකර වයස් සීමාව අවසන් වූ වහා කාදිනල් හිමිවරුන් විශ්‍රාම ගැන්වීමට පාප්වහන්සේ තීරණය කොට ඇති බවය. ඒ අනුව ලබන ජනවාරි 07-08 දින ලොව පුරා සිටින සියලු කාදිනල් හිමිවරුන්ට විශේෂ සාකච්ඡාවක් සඳහා වතිකානුවට ආරාධනා කිරීමට පාප්වහන්සේ තීරණය කොට ඇත. ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ පාප්වහන්සේගේ අවුරුදු 75න් විශ්‍රාම ගැන්වීමේ දැඩි ප්‍රතිපත්තියට අනුව සියලු කාදිනල් හිමිවරුන්ට විශේෂ දැනුම්දීමක් සිදුකිරීමට නියමිතව ඇති බවය. එහිදී මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ටද බොහෝ දුරට මෙම දැනුම්දීම සිදුකෙරෙනු ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එසේ වුවහොත් මැල්කම් රංජිත් හිමිපාණන්ටද සිය තනතුරෙන් විශ්‍රාම යෑමට මාස හයක කාලයක් ලබාදෙනු ඇති බවක් දැනගන්නට ඇත.
මීට අමතරව වතිකානුවේ පැවැත්වෙන මෙම තීරණාත්මක රැස්වීමෙන් පසු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ජර්මනිය ඇතුළු යුරෝපා සංචාරයක නිරත වීමට තීරණය කර ඇති බවක්ද වාර්තා වේ.
එක ගිවිසුමක් අවලංගුයි
සුළි කුණාටුවෙන් ආපදාවට පත්වූ ජනතාවට සහන ලබාදීම සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් ආකාරයත්, ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය අකැමැත්ත ප්‍රකාශ කළ ආකාරයත් අප මීට පෙර ‘රාජ්‍ය රහස්’ තීරයෙහි වාර්තා කර සිටියෙමු. එහිදී අප කියා සිටියේ ආපදාවේ සමස්ත තොරතුරු වාර්තා වන තෙක් ඉවසා සිටින ලෙසත්, ජනවාරි මාසය වනතෙක් මෙම බිලියන 500ක මුදල වෙන්කිරීම ප්‍රමාද කරන ලෙසත්, යම් හෙයකින් මේ මුදල නිදහස් කළහොත් ආර්ථික අර්බුදයක නැවත වතාවක් සිරවීමේ අවදානමක් ලංකාව හමුවේ ඇති බවත් මූල්‍ය අරමුදල විසින් දැනුම් දී තිබූ බවය.
කෙසේ වෙතත් ආණ්ඩුව මූල්‍ය අරමුදලේ මෙම උපදෙස් නොතකා රුපියල් බිලියන 500ක මුදල පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනීමට කටයුතු කළේය. එහි ආසන්නතම ප්‍රතිපලය වූයේ පස්වැනි වාරිකය නිදහස් කිරීම සඳහා මූල්‍ය අරමුදල සහ ආණ්ඩුව අතර ඇතිකරගෙන තිබූ කාර්යමණ්ඩල එකඟතාව වහා අවලංගු කිරීමට මූල්‍ය අරමුදල පියවර ගැනීමය. ඊට හේතු වශයෙන් මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත්තේ මේ වනවිට මතුව ඇති තත්ත්වය මත අදාළ ගිවිසුමේ වලංගුතාවයක් නොමැති බවය. මේ වනවිට රුපියල් බිලියන 500ක මුදලක් නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බැවින් අදාළ බදු මුදල් යළි එකතු කරගන්නා ආකාරය පිළිබඳව සහ අහිමි වූ ආදායම් ප්‍රවර්ධනය කරගන්නා ආකාරය පිළිබඳ ආර්ථිකමය පැහැදිලි කිරීමක් මේ වනවිට මූල්‍ය අරමුදල ආණ්ඩුව පැත්තෙන් බලාපොරොත්තු වෙමින් සිටී. එම පැහැදිලි කිරීමට අනුව ලංකාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටද මූල්‍ය අරමුදල තීරණය කොට ඇති බවත්, අලුත් කාර්ය මණ්ඩල එකඟතාවකට එළඹීමට සැලසුම් තීරණය කොට ඇති බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉදිරියේදී මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලංකාවට පැමිණීමට තීරණය කොට ඇති බවද දැනගන්නට ඇත.
ජෝජියාවාත් ලංකාවට
මීට අමතරව මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලීනා ජෝජියාවා මහත්මිය සම්බන්ධයෙන්ද විශේෂ තොරතුරක් වාර්තා කිරීමට මෙවර අප සූදානම්ය. රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කරගැනීමට ප්‍රථම ජනාධිපතිවරයා හා ක්‍රිස්ටලීනා ජෝජියාව අතර විශේෂ දුරකතන සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් කර තිබූ නමුත් අවසන් මොහොතේ ආණ්ඩුවට ආර්ථික උපදෙස් දෙන නියෝජිතයන්ගේ උපදෙස් මත එම දුරකතන සාකච්ඡාව නොපැවැත්වීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි. ඒ අනුව මේ වනවිට ජෝජියාවා සූදානමින් සිටින්නේ ලංකාවට පැමිණ මූල්‍ය අරමුදලේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සමග සාකච්ඡා කිරීමටය. බොහෝ දුරට ලබන පෙබරවාරියේදී එම සංචාරය සිදුවීමට නියමිත බවත්, එහිදී පවතින ආර්ථික තත්ත්වය සහ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන දත්ත පිළිබඳ තක්සේරුවකින් පසු මූල්‍ය අරමුදල ඉදිරි තීන්දු තීරණ ගැනීමට සූදානමින් සිටින බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
සජිත් අල්ලස් කොමිසමෙ
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සඳුදා දිනයේදී අල්ලස් කොමිසම හමුවට ගොස් පැය ගණනක දීර්ඝ ප්‍රකාශයක් ලබාදීමට පියවර ගෙන තිබිණි. සාමාන්‍යයෙන් වෙනත් මන්ත්‍රීවරයකු හෝ පක්ෂ නායකයකු හෝ හිටපු දේශපාලනඥයකු හෝ අල්ලස් කොමිසමට යන්නේ නම් ඔහු ඇතුළට යන විටත්, අල්ලස් කොමිසමේ සිට එළියට පැමිණෙන විටත් මාධ්‍යවේදීන් පිරිවරා බලා සිටින්නේ එම පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමටය. දේශපාලකයන්ද සිටින්නේ මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීමට දත කට මැදගෙනය. නමුත් පසුගිය සඳුදා දිනයේදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබාදී පැය ගණනාවකට පසු ඉන් පිටතට පැමිණියත් මාධ්‍යවේදීන් කිසිවකුත් අල්ලස් කොමිසම ඉදිරිපිටට පැමිණ නොසිටීමය. මන්ද සජිත්ගේ මෙම අල්ලස් කොමිසමට යන ගමන පිළිබඳ කිසිදු පුවතක් දෙපාර්ශ්වය විසින්ම එළියට ලබා නොදීමට පියවර ගෙන තිබීම ඊට හේතුවය.
කෙසේ වෙතත් සජිත් මේ ආකාරයට අල්ලස් කොමිසමට ගියේ කුමක් නිසාද? සජිත් එසේ ගොස් තිබුණේ ඉකුත් යහපාලන රජය සමයේ රාජගිරියේ පිහිටි ‘සබීතා බිල්ඩිම’ යනුවෙන් හැඳින්වෙන ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට කුලී පදනම මත ගැනීමේදී සිදුව ඇතැයි කියන මුදල් අවභාවිතය පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය. දැනටමත් මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එවක කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරුන් රැසකගෙන් ප්‍රකාශ ලබාගැනීමටද අල්ලස් කොමිසම කටයුතු කර ඇත.
ශ්‍රීදරන් දොට්ට
උතුරේ දේශපාලන පක්ෂ අතරත්, දමිළ ප්‍රජාව අතරත්, තමිල් අරසු කච්චි පක්ෂය ඇතුළේත් මේ දිනවල පොදුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතා සම්බන්ධයෙන් දැඩි විරෝධයක් ගොඩනැගෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. ඒ සඳහා හේතු වී ඇත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරයකු වුවද ශ්‍රීදරන් ආණ්ඩුවට පක්ෂව පසුගිය කාලය පුරාම කටයුතු කිරීමය. එය වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ඔප්පු කර තිබූ ශ්‍රීදරන් විගණකාධිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව විසින් එවූ නම් තුනටම විපක්ෂයේ මන්ත්‍රීවරුනුත්, සිවිල් සංවිධාන නියෝජිතයනුත් විරෝධය පළකරද්දී ශ්‍රීදරන් එම නම් තුනටම සිය එකඟතාව ලබාදීමට පියවර ගෙන තිබිණි. මේ සම්බන්ධයෙන් තමිල් අරසු කච්චි පක්ෂය දිගින් දිගටම විරෝධය පළකර තිබුණද ශ්‍රීදරන් එය කනකට ගත් ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
කෙසේ වෙතත් පසුගිය සතියේදී ප්‍රකට සිවිල් ක්‍රියාකාරිනියක වූ අම්බිගා සත්ගුණනාදන් මහත්මියද, මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ද ශ්‍රීදරන්ගේ ක්‍රියාකලපාය දැඩිව විවේචනය කරමින් හෙතෙම දෙමළ ජනතාවගෙන් සමාව ගතයුතු බව දමිළ මාධ්‍ය වෙත සඳහන් කර තිබිණි. එමෙන්ම තමිල් අරසු කච්චි පක්ෂයේ මඩකළපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කයන් රාසමානික්කම් මහතා ශ්‍රීදරන්ගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් වහාම ඔහුව පක්ෂයෙන් ඉවත් කරන ලෙස දැනුම් දෙමින් මෙම සති අන්තයේ පක්ෂ මහලේකම්වරයා වෙත ලිපියක් යැවීමට තීරණය කොට ඇති බවක්ද දැනගන්නට ඇත.










