වගකීම අනුර අතේ
රට පුරා හමාගිය ‘දිට්වා‘ සුළි කුණාටුව එක රැයෙන් දහසකට ආසන්න ජනතාවක් බිලිගත්තේය. ලක්ෂ ගණන් ජනතාවක් අවතැන් කළේය. බිලියන ගණන් වටිනා දේපොළක් විනාශ කර දැමුවේය. නමුත් දැන් ගංවතුර බැසගොස් සුමාන දෙකක්ද ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ස්වාභාවික ආපදාවේ අසීරුම කාල පරිච්ඡේදයට ආණ්ඩුවට මුහුණදීමට සිදුව ඇත්තේ දැන්ය. ගංවතුර පැමිණෙද්දී සියල්ලන්ම ගංවතුර දෙස බලා සිටියද කවුරුත් ඉන් සිදුව තිබූ හානිය දුටුවේ නැත. නමුත් ගංවතුරින් රටට සිදුව ඇති හානිය පේන්නේ දැන්ය. බොහෝ දෙනා පවසන්නේ ලංකා ඉතිහාසයේ සිදුවූ දැවැන්තම ස්වභාවික ආපදාව මෙය බවය. මෙවැනි ආපදාවකදී ආණ්ඩුවට සිදුකිරීමට ඇති කාර්යය අතිමහත්ය. නමුත් වත්මන් ආණ්ඩුවට ඇති අත්දැකීම් මදිකම, කළපුරුද්ද, දැකපුරුද්ද, පළපුරුද්ද මදිකම හේතුවෙන් දැනටමත් පශ්චාත් ආපදා කළමනාකරණයේදී අඩුපාඩු රැසක් සිදුවෙමින් පවතින බවට විවිධ පාර්ශ්වයන්ගෙන් මැසිවිලි නැගෙන්නට පටන් ගෙන තිබේ. එමෙන්ම විපක්ෂයට චෝදනා කළද ආණ්ඩුව යම් යම් අවස්ථාවලදී දේශපාලනය ඉදිරියට දමාගනිමින් කටයුතු කරන ආකාරයක්ද දැකගන්නට තිබේ. සාමාන්‍යයෙන් වෙනදා නම් මෙවැනි ව්‍යසනයකදී දේශපාලන වාසි ගන්නට උත්සාහ කරන්නේ විපක්ෂයය. නමුත් ඒ අතීත සාම්ප්‍රදායික විපක්ෂයත්, වත්මන් විපක්ෂයත් අතර විශාල වෙනස්කමක් ඇති බව පෙනීයන්නේ අවශ්‍ය තරම් දේශපාලන වාසි ගැනීමේ අවස්ථා මතුව තිබුණද, තවමත් විපක්ෂය එවැනි දේශපාලන වාසි ලබාගන්නා තුට්ටු දෙකේ තැනකට තල්ලු වී නොමැති වීම නිසාය. ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස සාම්ප්‍රදායික විවේචකයාගේ කාර්යභාරයෙන් මිදී වත්මන් විපක්ෂය ඉතා ඉවසිලිවන්තව, ප්‍රගතිශීලී අයුරින් ජන ජීවිතය නැවත ගොඩගැනීම ස`ඳහා අවංකවම ආණ්ඩුවට සහාය පළකරමින් සිටින ආකාරයක් දැකග හැකිය.Sri Lanka Latest News
නමුත් විපක්ෂය දිගු කළ මේ සාමයේ සහ සමගි සන්ධානයේ දෑත් ජනාධිපතිවරයා විසින් නිවැරදිව ග්‍රහණය කරගත්තේද යන්න පිළිබඳව බොහෝ දෙනාට ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි. ඒ නිසාමදෝ විපක්ෂය දිගුකළ මේ සාමයේ දෑත් ‘අනේ ප්ලීස් එපා’ කියමින් ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. එමෙන්ම ජනාධිපතිවරයා එය සිදුකර තිබුණේද සුහදශීලී ආකාරයට නොව විපක්ෂයට අපහාසයක් සිදුකරන ආකාරයටය. ඒ අනුව බොහෝ දෙනා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා කළ මෙම ප්‍රකාශය හරහා මහා ආපදාවෙන් ගොඩ ඒමට තිබූ ස්වර්ණමය අවස්ථාවක් ජනාධිපතිවරයා විසින්ම කෑලි කෑලිවලට කඩාදැමූ බවකි. එහි සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා විසින් භාරගත යුතු බවද ඔවුන්ගේ අදහස වී තිබේ. මීට අමතරව මහා ආපදාවක් හමුවේත් සුපුරුදු පරිදි උද්දච්ච කතා කියමින් හැසිරෙන මැති ඇමැතිවරුන්ද එම චෝදනාවෙන් සැලකිය යුතු කොටසක් භාරගත යුතු බව ඔවුන්ගේ අදහසය.
සජිත් අනුර හමුවක්
මෙවැනි පසුබිමක් මැද්දේ පසුගිය සඳුදා දිනයේ ජනාධිපතිවරයා විසින් නැවත වතාවක් ආපදා කළමනාකරණ කමිටුව කැඳවීමට පියවර ගෙන තිබිණි. ජනාධිපතිවරයා ‘අනේ ප්ලීස් එපා’ යැයි කියමින් විපක්ෂ නායකවරයාගේත්, සජබයේත්, විපක්ෂයේත් උදව් උපකාර ප්‍රතික්ෂේප කර තිබූ පසුබිමක සජබ බොහෝ දෙනා විපක්ෂ නායක සජිත්ට පෙන්වා දුන්නේ ඊට සහභාගි වීමෙන් වැළකී සිටින ලෙසටය. නමුත් ජනාධිපතිවරයා කෙලෙස කීවත් වගකිව යුතු විපක්ෂයක් ලෙස කටයුතු කළ යුතු බව මෙහිදී තමන්ට කතා කළ බොහෝ දෙනාට පෙන්වා දුන් සජිත්, තමන් එදිනට යොදාගෙන තිබූ සුබසාධන වැඩසටහන් සියල්ලක්ම අවලංගු කොට ඊට සහභාගි වීමට තීරණය කළේය. ඒ වනවිටත් ආපදා කළමනාකරණ රැස්වීමේ වාඩිවිය යුතුව තිබූ වේලාවටම අල්ලස් කොමිසමද සජිත්ට දැනුම්දී තිබුණේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණෙන ලෙසටය. ඒ, රාජගිරියේ පිහිටි ‘සබීතා බිල්ඩිම’ ලෙස ප්‍රකට ගොඩනැගිල්ල යහපාලන ආණ්ඩු සමයේදී කෘෂිකර්ම අමාත්‍යාංශයට කුලී පදනම මත ලබාගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමටය. ඒ, එම ගනුදෙනුව සිදුවෙද්දී සජිත් කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කිරීම හේතුකොට ගෙනය. නමුත් ආපදා කළමනාකරණ රැස්වීමද ඒ වේලාවටම යෙදී තිබීම හේතුවෙන් වහාම අල්ලස් කොමිසමේ නිලධාරීන්ට කතාකළ සජිත්, තමන්ට එදින ඊට පැමිණිය නොහැකි බවට හේතු කාරණා පැහැදිලි කරමින්, වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව, අල්ලස් කොමිසමද සජිත්ට ලබන සඳුදා දින පැමිණ අදාළ කරුණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දී සිටියේය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ‘අනේ ප්ලීස් එපා’ යනුවෙන් කීමෙන් කළ අපහාසාත්මක ප්‍රකාශයෙන් පසුව ජනාධිපතිවරයා සහ සජිත් අතර මුහුණට මුහුණ හමුවූ පළමු අවස්ථාව මෙය විය. සජිත්ට අමතරව එම රැස්වීමට අගමැතිවරියත්, බිමල් රත්නායක ඇතුළේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනකුත්, විපක්ෂය නියෝජනය කරමින් තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුත් එක්ව සිටියහ. මෙහිදී සජිත් රැස්වීමට සහභාගි වූයේම කල් තියා හොඳහැටි සූදානම්වය. විශේෂයෙන්ම පශ්චාත් ආපදා කළමනාකරණයේදී ජනතාවට ඉක්මනින් සහන ලබාදීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍යව තිබුණද තවමත් එවැන්නක් ආණ්ඩුව පැත්තෙන් දැකගන්නට නොලැබීම පිළිබඳ සජිත් මෙහිදී ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය. එවැනි යාන්ත්‍රණයක් තිබෙනවාද යන්න පිළිබඳ සජිත් කළ විමසීමට ආණ්ඩුවෙන් හරිහමන් පිළිතුරක් ලැබෙන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ඊට අමතරව පශ්චාත් ආපදා සම්බන්ධයෙන් අදාළ වගකිව යුතු ආයතනවලින් ලබාදෙන දත්තවල පරස්පරතාවක් ඇති බවද සජිත් මෙහිදී ආපදා කළමනාකරණ කමිටු නියෝජිතයන්ට පෙන්වා දුන්නේය. බොහෝ දෙනාට මෙය සජිත් ඕනෑ දේයි එපා දේයි දෙකම කතාකරනවා ලෙස පෙනේනනට තිබුණද, එහි ඇති අනතුර පෙන්වා දුන් සජිත් කියා සිටියේ එවැන්නක් හරහා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බව තහවුරු වුවහොත් එය ආධාර ලබාගැනීමේ වැඩසටහනට දැවැන්ත පහරක් විය හැකි යැයි කියාය. එමෙන්ම මේ හරහා ආධාර නොලැබී යෑමේ අවදානමක් මතු විය හැකි බව පෙන්වා දුන් සජිත්, වහාම ඒ සම්බන්ධයෙන් සොයාබලන ලෙස දැනුම් දුන්නද ආණ්ඩුව පැත්තෙන් ඊට නිසි ප්‍රතිචාරයක් ලැබුණු ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
ජනවාරි වෙනකන් අදිනවාද?
මේ සියලු කරුණු කාරණා මැද මාස අටක් තිස්සේ විගණකාධිපති ධුරය හිස්ව තැබීම සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුවට බොහෝ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වන ආකාරයක් දැකගන්නට තිබේ. ආණ්ඩුව කරන සියලු වියහියදම්වලදී විගණනය භාරව සිටින ප්‍රධාන තනතුර මෙසේ හිස්ව තැබීමෙන් ජනාධිපතිවරයා මැතිවරණ සමයේ දුන් දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීමේ පොරොන්දුව අභියෝගයට ලක්වන බව විපක්ෂයේත්, සිවිල් සංවිධානවලත් අදහස වී තිබේ. පසුගිය මාස 08 පුරාම විගණකාධිපති ධුරය හිස්ව පවතින අතර, ඊට ජනාධිපතිවරයා පළමු අවස්ථාවේදී පෙට්‍රෝලියම් ආතනයේ අධ්‍යක්ෂවරයකු වූ එච්.ටී.පී. චන්දන මහතාගේ නම යෝජනා කළද විපක්ෂය චෝදනා කර සිටියේ එම යෝජනා කළ පුද්ගලයා ජනාධිපතිවරයාගේ සමීප හිතවතකු බවත්, කැලණි විශ්වවිද්‍යාලයේ සමකාලීනයකු බවත්, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ අත්දැකීම් සහිත, සුදුසුකම්ලක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටියදී මෙවැනි අයකු පත්කිරීම පිළිගත නොහැකි බවත්ය. මීට අමතරව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතිද නිවේදනයක් නිකුත් කරමින් එම නාමයෝජනාවට විරුද්ධව අදහස් පළකළ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ජනාධිපතිවරයා නිර්දේශ කළ මෙම නම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කළ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව, වැඩබලන විගණකාධිපතිවරයකු ඊට පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබිණි. ඉන් අනතුරුව ජනාධිපතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිවරයකු වන එල්.එස්.අයි. ජයරත්න මහත්මියගේ නම ඊට යෝජනා කළද, ඒ අවස්ථාවේදීද ව්‍යවස්ථාදායක සභාව එම නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීම විශේෂ සිදුවීමක් විය. එහි අවසන් ප්‍රතික්ෂේප වීම සිදුවූයේ පසුගිය බදාදා දිනයේදීය. එහිදී ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවට එවා තිබුණේ යුද හමුදාවේ විගණන නිලධාරියා වන ඕ. ආර්. රණසිංහ මහතාගේ නමය.
ඒ ආකාරයට ජනාධිපතිවරයා දිගින් දිගටම ප්‍රතික්ෂේප විය හැකි ආකාරයේ නාමයෝජනාවක් විගණකාධිපති ධුරය සඳහා නිර්දේශ කරන්නේ ඇයි? විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඊට සුදුසුකම් සපිරී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටියදී ඊට පහළින් සිටින යම් යම් නිලධාරීන්ගේ නම් යෝජනා කරන්නේ ඇයි? මේ සම්බන්ධයෙන් සොයාගෙන යද්දී බොහෝ දෙනා සැක කරන කරුණක් වී ඇත්තේ ලබන ජනවාරි මාසයේදී ව්‍යවස්ථාදායක සභාවේ කාලසීමාව අවසන් වීමට නියමිතව ඇති බැවින්, ඒ දක්වා මේ සිදුවීම ඇදගෙන යෑමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටිනවා යැයි කියාය.
ඉකුත් යහපාලන ආණ්ඩු සමයේදී මෙවැනි ආකාරයේ බලතල සහිත ව්‍යවස්ථාදායක සභාවක් එම ආණ්ඩුව විසින් නිර්මාණය කළේ ජනාධිපතිවරයා විසින් සිදුකරන රජයේ ඉහළ නිලධාරීන් පත්කිරීමේදී යම් විනිවිදභාවයක් සහිතව දේශපාලන පත්වීම්වලින් තොර රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහාය. එහිදී ජනාධිපතිවරයාගේ නියෝජිතයන් මෙන්ම විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂ නියෝජිතයන්ද ඊට ඇතුළත් කළ අතර, සමාජය පිළිගත් සිවිල් සමාජය නියෝජනය කරන ස්වාධීන නියෝජිතයන් තිදෙනකුද ඊට ඇතුළත් කිරීමට පියවර ගැනිණි. ඒ අනුව, මේ වනවිට ව්‍යවස්ථාදායක සභාවේ නිල කාලය ලබන ජනවාරි මාසයේදී අවසන් වීමට නියමිතව ඇති බැවින් බොහෝ දෙනා සැක කරන්නේ එහිදී ව්‍යවස්ථාදායක සභාවේ බහුතර බලය ආණ්ඩුවට ලැබෙන ආකාරයට පත්වීම් සිදුකොට තමන්ට අවශ්‍ය විගණකාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා ජනාධිපතිවරයා මෙසේ කල් මරමින් සිටින බවකි. ඒ අනුව, ඇත්ත වශයෙන්ම එවැනි යටි අරමුණක් සහිතව ජනාධිපතිවරයා මේ කල් මැරීම සිදුකරනවා නම් අද අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඒ සම්බන්ධයෙන් විශේෂ සටහනක් තැබීමට සූදානම්ය. ඒ, එවැන්නක් සිදුවුවහොත් එය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට විශාල බලපෑමක් සිදුකිරීමේ විශාල ඉඩකඩක් ඇති බවය.
රනිල් පරිප්පුව කෑවා
පසුගිය ආණ්ඩු සමයන්වලදී හිටපු ජනාධිපතිවරුන් වූ මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ වැන්නවුන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළාලීම සඳහා මෙවැනිම ආකාරයේ දුෂ්ට දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. උදාහරණයක් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පති වරයා පත්කිරීමේදී මේ ආකාරයේම දුෂ්ට දේශපාලන ක්‍රියාවලියක නිරත විය. එහිදී අවස්ථා ගණනාවකදීම පොලිස්පති ධුරය සඳහා රනිල් නිර්දේශ කළ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව පිළිගත හැකි නමක් එවනවා වෙනුවට රනිල් කළේ දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීමය. එසේ ප්‍රතික්ෂේප කළත් නැවත නැවතත් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නමම ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කරමින් රනිල් උත්සාහ කළේ දේශබන්දු තෙන්නකෝන්වම පොලිස්පති ලෙස පත්කිරීමටය. අවසන් අවස්ථාවේදී ඊට පක්ෂව සහ විපක්ෂව සම ඡන්ද ප්‍රමාණයක් ලැබී තිබීම නිසා කතානායකවරයාගේ තීරක ඡන්දයද ඊට පක්ෂව ලබාදුන් බවට ප්‍රකාශ කරවා ගනිමින් රනිල් දේශබන්දුව පොලිස්පතිරවයා ලෙස පත්කළේය. ඊට එරෙහිව මේ වනවිටද අධිකරණයේ නඩු කටයුත්තක් ක්‍රියාත්මක වන ආකාරයක් දැකගත හැකිය. ඒ අනුව අප පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුවද මේ පූර්ව සිදුවීම් ආදර්ශයට ගෙන කටයුතු කළ යුතු බවකි.
මෙහිදී ව්‍යවස්ථාදායක සභාවේ එක් ස්වාධීන නියෝජිතයකු පත්කළ යුතු වන්නේ අගමැතිවරයාත්, විපක්ෂ නායකවරයාත් යම් එකඟතාවකින් යුතුවය. එම නාමයෝජනාව සඳහා දෙදෙනාගේ කැමැත්ත ලැබීමට අවශ්‍ය වීම විශේෂ සිදුවීමකි. ඉකුත් ආණ්ඩු සමයේදී හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන ඒ සඳහා යෝජනා කළේ අනුලා විජේසුන්දර මහත්මියගේ නමය. දිනේෂ්ගෙන් එම නම යෝජනා වුවද සජිත්ද ඊට එකඟතාව පළකළේ අනුලා විජේසුන්දර මහත්මිය ස්වාධීනව කටයුතු කරනු ඇති බවට විශ්වාසය තබාය. දිනේෂ්ගේ පැත්තෙන් නාමයෝජනාව සිදුවුවද, අනුලා විජේසුන්දර මහත්මිය කිසිදු අවස්ථාවක ආණ්ඩුවට පක්ෂපාතී අයුරින් කටයුතු කිරීමට සූදානම් වූයේ නැත. ඈ සෑම විටම ස්වාධීනව කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය. විශේෂයෙන්ම පොලිස්පතිවරයාගේ පත්කිරීමේදී ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට ඇයව හසුරුවා ගැනීමට කිසිවකුටත් හැකි වූයේ නැත. ඒ අනුව මේ අවස්ථාවේදීද එවැනි ස්වාධීන සිවිල් චරිතයක් නිර්දේශ කිරීමේ අවස්ථාව අගමැතිවරියට හිමිව තිබේ. ඒ අනුව බොහෝ දෙනා බලා සිටින්නේ මෙවර අගමැතිවරිය විසින් ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කරන්නට යන්නේ කවුරුන්දැයි කියාය. සාමාන්‍යයෙන් අගමැතිවරියද සැලකෙන්නේ ඉහළ උගත් සමාජය ඇසුරු කරන අයකු ලෙසටය. ඒ අනුව එවැනි රටම දන්නා කියන උගත් ස්වාධීන චරිතයක් ඊට නම් නොකොට පැලවත්තෙන් එවන කුමක් හෝ නමක් ඊට නිර්දේශ කිරීමට අගමැතිවරිය කටයුතු කළහොත් ව්‍යවස්ථාදායක සභාවේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් පොදු සමාජය ඇතුළේ ගැටලු මතුවිය හැකි බව අමුතුවෙන් කිවයුතු නැත.
රනිල්ටත් අනේ ප්ලීස් එපා
විපක්ෂය සාමයේ දෑත් විහිදද්දී ‘අනේ ප්ලීස් එපා’ යැයි කියමින් ජනාධිපතිවරයා මහා ආපදාව හමුවේ අතහැර දැමුවේ සක්විති රජකමට යෑමට ලැබී තිබුණු ස්වර්ණමය අවස්ථාවක් බව බොහෝ දෙනාගේ විශ්වාසයය. මන්දයත් විපක්ෂය විනාශයෙන් විපතට පත්වූවන්ට සහන ලබාදීම සඳහා සාමයේ දෑත් ආණ්ඩුවට දිගුකරද්දී ජනාධිපතිවරයා එම දෑත් වැලඳගත්තේ නම් ආපදාවෙන් ගොඩ ඒම සඳහා දැවැන්ත සහායක් ජාත්‍යන්තරයෙන් ලබාගැනීමේ අවස්ථාව ආණ්ඩුවට තිබිණි. එසේ කළා නම් මේ මහා ව්‍යසනයෙන් ගොඩ ඒමේ ලකුණු සම්පූර්ණයෙන්ම වැටෙන්නේ ජනාධිපතිවරයාටත්, මාලිමා ආණ්ඩුවටත් මිස වෙන කිසිවකුට නොවේ. නමුත් දුරදිග නොබලා ළඟ බැලීමේ සිල්ලර දේශපාලනයක නිරත වීම හේතුකොට ගෙන හෝ කිසිවකුගෙන් එසේ කරන ලෙසට උපදෙස් ලැබීම හේතුවෙන් ජනාධිපතිවරයා තමන්ට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් මගහැර ගැනීමට කටයුතු කොට තිබිණ.
ජනාධිපතිවරයා මෙන්ම එවැනි ස්වර්ණමය අවස්ථාවක් ලැබී එය මගහැර ගත් තවත් අයෙකුද සිටී. ඒ, වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. විදෙස් සංචාරයක නිරත වී ජනතා මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනාව හේතුකොට ගෙන රනිල්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමත් සමග ජනාධිපතිවරයාට ඉහළට යෑමට ලැබුණාට සමාන අවස්ථාවක් රනිල්ටත් හිමිවිය. වත්මන් ජනාධිපතිවරයා ‘අනේ ප්ලීස් එපා’ යැයි කියමින් එම අවස්ථාව මගහැර ගත්තා සේ හිටපු ජනාධිපති රනිල්ද එකම එක නිවුස් ප්ලාන්ට් එකකින් ඒ සර්ණමය අවස්ථාව නැතිකර ගැනීමට සමත් විය. ඉන් සිදුවූයේ රනිල් වික්‍රමසිංහ දේශපාලන වශයෙන් හතර ගාතේ දමා බිමට ඇදවැටීමය. රනිල් අත්අඩංගුවට පත්ව රෝහල්ගත කළ අවස්ථාවේ සිට ඔහුව නිදහස් කරගැනීම සඳහා සියලු වාදභේද අමතක කොට විපක්ෂ නායක සජිත් අවංකවම දේශපාලන ගේමක් ගැසුවේය. දිනපතාම රනිල්ගේ සැප දුක බැලීමට උදේ හවස බන්ධනාගාරයටත්, රෝහලටත් ගියේය. රනිල්ව නිදහස් කරගැනීම සඳහා ජනතාව ඒකරාශී කළේය. නීතිඥවරුන් රනිල්ගේ නිදහස වෙනුවෙන් කුමන තර්ක උසාවිය හමුවේ ගොඩනැගුවද රනිල්ව නිදහස් කරගැනීම සඳහා බොහෝ දුරට බලපා තිබුණේ සජිත් එළියේ ගොඩනැගූ මේ ජන බලයය. නමුත් ඊට රනිල් සජිත්ට කළගුණ සැලකූයේ කුමන ආකාරයකටද? බොහෝ දෙනා කියා සිටියේ සජිත්, රනිල්ට දිගුකළ මේ අවංකත්වයේ දෑත් පිළිගෙන ඒ අවස්ථාවේ රනිල් – සජිත් එකතු වූවා නම් මේ ආණ්ඩුවටද මෙපමණ හෝ දුරක් යෑමට නොහැකි වනු ඇතැයි කියාය. නමුත් රනිල් කළේ රෝහල්ගතව සිටියදීම තමන්ට සුපුරුදු ගේම් දේශපාලනය ක්‍රියාත්මක කරමින් සජිත්ට එරෙහිව තමන්ගේ පවුලට අයත් රුවන් විජේවර්ධනගේ පුවත්පත්වල සජිත්ට එරෙහිව නිවුස් ප්ලාන්ට් කිරීමය. අල්ලස් කොමිසම මගින් සජිත්ව අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටිනවා කියමින් අසත්‍ය පුවත් පළකිරීමය. ඒ සිදුවීමත් සමග ඇතිවෙන්නට නියමිතව තිබූ රනිල්-සජිත් දීගය රනිල් විසින්ම කඩාබිඳ දැමිණි.
ඉන් අනතුරුව රනිල්ට අවශ්‍ය වූයේ ජනාධිපතිවරණ සමයේදී සජිත්ව පසුපසට ඇදදමා අනුරව ජයග්‍රහණය කරවීමට කටයුතු කළාක් මෙන්ම විපක්ෂ භූමිකාවේදීද සජිත්ව පසෙකට ඇදදමා නාමල්ව උඩට අරන් ඒමටය. නොවැම්බර් 21 නුගේගොඩ රැලිය එජාපයේ සහ පොහොට්ටුවේ ප්‍රධානත්වයෙන් සංවිධාන වූයේ මේ අරමුණද යට තබාගෙනය. පසුගිය ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් අතිබහුතරයක් රනිල් සමග දේශපාලන ගමනක් යෑම සඳහා සිටගත්තද, රනිල්ගේ පරාජයත් සමග ඒ සියලු පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් නැවත වතාවක් නාමල් සමග දේශපාලනය කිරීම යළි ආරම්භ කොට තිබිණ. ඒ අනුව රනිල්ගේ ස්ථාවරය වී තිබුණේ සජිත් සමග දේශපාලන ගමනක් යනවාට වඩා නාමල් සහ පොහොට්ටුව සමග දේශපාලන ගමනක් යෑම එජාපයට වාසිසහගත බවය. ඒ අනුව නුගේගොඩ රැලියේදී රනිල් සැලසුම් කොට තිබුණේ සජිත්වත් නාමල්වත් ඊට ගෙන්වාගෙන තමන් එම දෙදෙනාගේම නායකයා බව රටට පෙන්වාදීමය. නමුත් රනිල්ගේ මේ ගේම් ගැහිල්ල වරින් වර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට පෙන්වා දීම නිසාත් රනිල්ගේ ගේම් දේශපාලනය පිළිබඳ හොඳින් අත්දැකීම් ඇති නිසාත් සජබය අවසන් මොහොතේදී නුගේගොඩ රැලිය වර්ජනය කිරීමට පියවර ගත්තේය.
ගේම් ඕවර්
ඉන් අනතුරුව රනිල් බැලුවේ නාමල් සමග හෝ නුගේගොඩ වේදිකාවට ගොඩවී තමන් පොහොට්ටුව සමග ඉදිරි ගමනක් යෑමට සූදානම් බව රටට පෙන්වීමටය. නමුත් නාමල්, රනිල්ගේ ඒ ලණුව කෑවේ නැත. නුගේගොඩ රැලියේ අයිතිය තනි භුක්තියට ලියාගනිමින් නාමල් එහිදී කළේ හිටපු ජනාධිපතිවරුන් කිසිවකුටත් නුගේගොඩ වේදිකාවට ගොඩවිය නොහැකි බවට දැනුම් දෙමින් රනිල්ට නුගේගොඩ රැලිය තහනම් කිරීමය. ඒ අනුව එජාපය රැස්වීම් ගණනක් තියා නුගේගොඩ රැලිය සංවිධාන කළද අවසානයේදී එහි සින්නක්කර අයිතිය තමන්ගේ නමට ලියාගැනීමට නාමල් සමත් විය. ඒ හරහා එජාපය බිමටම සමතලා වී ගිය ආකාරයක් දැකගත හැකි විය.
මෙම රැස්වීම සංවිධාන කිරීමේදී එජාපය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් පවත්වමින්, කළමනාකරණ කමිටු රැස්වීම් පවත්වමින් එජාප සියලු ජ්‍යෙෂ්ඨයන් ඊට සහභාගි වන බව කියා සිටියද එජාපයේ සිටින තරුණ නායකයකු වන නවීන් දිසානායක ඊට එරෙහිව ප්‍රසිද්ධියේම අදහස් පළකළ ආකාරයක් දැකගත හැකි විය. එහිදී නවීන් කියා සිටියේ එජාපයට පොහොට්ටුව සමග තවදුරටත් දේශපාලන ගමනක් නොමැති බවත්, තමන් රාජපක්ෂවරුන් සමග නැවත කිසිදු දිනෙක දේශපාලනය නොකරන බවත්ය. ඒ අනුව නවීන් නුගේගොඩ රැස්වීමට සහභාගි නොවූ අතර, අකිල, රුවන් වැනි ජ්‍යෙෂ්ඨයන්ද ඊට සහභාගි වූ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ඒ අනුව දැන් රනිල්ටද වැටහී ඇත්තේ තමන්ට තවදුරටත් ගේම් ගසමින් වැඩි කල් එජාප නායකත්වයේ සිටිය නොහැකි බවය. තමන් සමීපයේ ඉතිරිව සිටින එජාප ජ්‍යෙෂ්ඨයන්ද නුදුරේදීම දේශපාලන කැරැල්ලක් ගැසීමේ ඉඩක් ඇති බවක් රනිල්ටද මේ වනවිට වැටහී ගොස් ඇතිවාට කිසිදු සැකයක් නැත. මෙය කෙසේ හෝ වළක්වාලීම සඳහා සුපුරුදු පරිදි රනිල් සජබය ඇතුළේ සිටින තමන්ට හිතවත් කබීර් හෂීම් ලවා දේශපාලන ගේමක් ගැසීමට පියවර ගත්තේය. එහිදී සජබය සහ එජාපය එකතු කරන ආකාරය තමන්ට වාර්තා කරන ලෙස සජිත් කබීර්ට පැවරූ කාර්යය සිය වාසියට ගත් රනිල්, කබීර් ලවා එජාපයට වාසිසහගත වන අයුරින් වාර්තාව සකස් කිරීමට පියවර ගත්තේය. එහිදී අප රනිල් ගැසූ ගේම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණ කිරීමත් සමග කබීර්ගේ වාර්තාව නැවතුණේ සජබ කුණු බක්කියේය. ඒ අනුව සජිත් අවසන් කළමනාකරණ කමිටු රැස්වීමේදීත්, කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීත් දැනුම් දී සිටියේ සජබය සහ එජාපය එකතු කිරීමේ සාකච්ඡා තමන් විසින්ම ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බවකි. කළ යුතු දේත්, නොකළ යුතු දේත් තමන් පැහැදිලිවම දන්නා නිසා එජාපය සමග සන්ධානගත වීම තමන් විසින්ම මෙහෙයවන බවද එහිදී සජිත් පිරිසට දැනුම් දී සිටියේය. ඒ අනුව සජිත් ඉතා රහසිගත ලෙස එජාපයේ සිටින ප්‍රධාන පෙළේ තුන්දෙනකු සමග අතිශය රහසිගත සාකච්ඡා වට කිහිපයක්ම පවත්වමින් සිටින බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එම සාකච්ඡා සිදුවූයේ කොතැනකදීද, පක්ෂ දෙක එකතු වීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වූයේ මොනවාද, ඊට සහභාගි වූ එජාප ජ්‍යෙෂ්ඨයන් කවුද යන්න පිළිබඳ සියලු තොරතුරු ‘රාජ්‍ය රහස්’ තීරය සතුව ඇතත් මේ අවස්ථාවේදී අප එම නම්ගම් කිසිවක් හෙළි කිරීමට කටයුතු නොකරන්නේ මේ පක්ෂ දෙක එකතු විය යුතු බවට වූ ස්ථාවරයේ අපද සිටින නිසාය.
රනිල් අයින් වෙනවාද?
නුගේගොඩ රැලියෙන් බිමට වැටීමත් සමග රනිල් කළේ ඉන්දීය සංචාරයක නිරත වීමය. එම සංචාරයෙන් පසුව එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පළමු වරට රැස්වූයේ පසුගිය බදාදා දිනයේදීය. මෙම රැස්වීමේදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් සජිත්ව පරාජය කිරීම සඳහා අනුරට සහාය දැක්වූවා සේ මේ වනවිට විපක්ෂයේ සිටින සජිත්ව තවදුරටත් පරාජයට පත්කිරීමට සඳහා නාමල්ව ඉහළට ඔසවමින් රනිල් කටයුතු කළ ආකාරයය. ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භ වූයේ වසර 31ක් පුරා එජාපයේ නීති ලේකම්වරයා ලෙස කටයුතු කළ, අභාවප්‍රාප්ත දයා පැල්පොල මහතාට ශෝකය පළකරමින් විිනාඩි දෙකක නිශ්ශබ්ධතාවයක් පවත්වමිනි. ඉන් අනතුරුව ගංවතුරෙන් පීඩාවට පත්වූ කේ.කේ. පියදාස, චම්පිකා ප්‍රේමදාස ආදීන් පිළිබඳ කෙටි කතාබහක් සිදුවූ ආකාරයක් දැකගත හැකි විය. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී දේශපාලන කරුණු සාකච්ඡා වූයේ ඉන් අනතුරුවය.
ඒ අනුව මුලින්ම අදහස් පළකළේ ගම්පහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමය. අජිත් කියා සිටියේ ගංවතුර ව්‍යසනය මේ වනවිට ආණ්ඩුවට ව්‍යසනයක් බවට පත්ව ඇති නිසා ඉදිරියේදී බරපතළ තත්ත්වයක් ඇතිවිය හැකි බවත්, ඒ අනුව වහාම පක්ෂය බිම් මට්ටමින් ශක්තිමත් කළ යුතු බවත්ය. ඊට පිළිතුරු දෙමින් රනිල් කියා සිටියේ එම වැඩකටයුතු ආරම්භ කර ඇති බවත්, සජබය සමග එක්විය යුතු බවට පිරිසක් යෝජනා කර ඇති හෙයින් ඒ සඳහා තලතා, සාගල සහ රුවන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කොට ඇති බවත්ය. නමුත් සජිත් මේ දක්වා ඊට දක්වා ඇති ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවන බවද රනිල් එහිදී කියා සිටියේය.
‘අපි කමිටුවක් දැන් දාලයි තියෙන්නේ. නමුත් සජිත් ඒකට දක්වපු ප්‍රතිචාරය මදි. හරි නම් ඒවා මේ වෙද්දී අවසන් වෙලා තියෙන්න ඕනේ. සජිත් ඒක අතහැරියා. දැන් ගංවතුර ආපු වෙලාවෙදිත් සජිත් ඒක අතහැරලයි තියෙන්නේ. සජිත් ඒක හරියට ගත්තේ නැති නිසා නාමල් දැන් ඒක අතට අරගෙනයි තියෙන්නේ…’ යනුවෙන් කියමින් රනිල් එහිදී නාමල්ව ඔසවා තබමින් අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය.
රනිල්ගේ අහස් දැක්වීමෙන් පසු කතා කළේ ශාන්තිනී කෝන්ගහගේය. ශාන්තිනීද කියා සිටියේ ආපදාව අවස්ථාවේ පමණක් නොව, ඉකුත් කොරෝනා සමයේ සිට පවා පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු දිගටම සිදුකළ බවය. ජනතාවට එළියටවත් බැසීමට නොහැකි මොහොතක සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකළ අතීතයද එහිදී ශාන්තිනී සිහිපත් කළාය.
රංගේ යළ කරළියට
ඉන් අනතුරුව කතා කිරීමට නැගිට්ටේ හිටපු එජාප මහලේකම් රංගේ බණ්ඩාරය. පළමුව තමන්ද ගංවතුරේ වින්දිතයකු බව කියා සිටි රංගේ ආණ්ඩුවේ ආපදා කළමනාකරණ කටයුතුවල ඇති දුර්වලතාවත්, ඉකුත් යහපාලන රජය සමයේදී 2016 පැමිණි ගංවතුරේදී ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමේදී තමන්ට තිබුණු අත්දැකීමුත් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී රංගේ ඉදිරිපත් කළේය. ඉන් අනතුරුව පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ගැන කතා කළ රංගේ, වහාම එම කටයුතු සම්පූර්ණ නොකළහොත් අවසන් මොහොතේ වෙනත් කවුරුන් හෝ බලය ලබාගනු ඇති බවද පෙන්වා දුන්නේය.
‘මේ වෙද්දී අපිට කේවල් කිරීමේ ශක්තිය නැතිවෙලා තියෙනවා. අපි ඒක පහුගිය ජනාධිපතිවරණයේදිත් දැක්කා. නුවර තිබ්බ පළමු රැස්වීමේදීම අපිට තිබුණේ ස්තුති කතාව කරන්න විතරයි. රැස්වීමේ සංවිධාන කටයුතු ඔක්කොම අපි කළත් ඔක්කොම කථිකයෝ දාලා තිබ්බේ මහින්දානන්ද අලුත්ගමගේට ඕනෙ විදියට. කථිකයෝ 13ක් එදා කතා කළත් අපිට කිසිම කතාවක් දාලා තිබ්බේ නෑ. පස්සේ මම මහින්දානන්ද එක්ක කතා කරලා අපේ එක කථිකයෙක් විතරක් දාගත්තා. පස්සේ මම ඒ කතාව දුන්නේ නුවර ශාන්තිනී කෝන්ගහගේට. ඒ වගේ අපි දුර්වල වුණාම අපිට කේවල් කිරීමේ ශක්තිය නැතුව යනවා. ඒ හින්දා අපි වහාම අපේ සංවිධාන ශක්තිය ගොඩනගාගන්න ඒනේ. කේවල්කිරීමේ බලය අතට ගන්න ඕනේ….’ යනුවෙන් රංගේ කළ කතාවෙන් පසු කතා කරන්නට පටන් ගත්තේ නවීන් දිසානායකය. මෙහිදී නවීන් තමන් මෙතෙක් රැඳීසිටි ස්ථාවරයේ කිසිදු වෙනසක් නොකරමින් සජබය වහාම එකතු විය යුතු බවට නැවත වතාවක් ප්‍රසිද්ධියේම අදහස් ප්‍රකාශ කිරීම සුවිශේෂ සිදුවීමක් විය.
නවීන් තමයි මිනිහා
‘මේ වෙලාවේ අපි කරන්න ඕනේ සජබයත් එක්ක එකතු වෙලා දේශපාලනය කරන එකයි. දැනටමත් අපි ඒකට කමිටුවක් පත්කරලයි තියෙන්නේ. සජබයයි එජාපයෙයි ඉන්නේ දෙගොල්ලක් නෙවෙයි. අපි එකම කණ්ඩායමක්. එතැන ඉන්නෙත් අපේ අයම තමයි. ඒ අයත් එක්ක අපේ කිසිම වෛරයක් නෑ. තරහක් නෑ. අපි ඒ අයත් එක්ක හොඳට කතා කරනවා. අපිට එකට වැඩ කරන්න පුළුවන්. එජාපයට ඉදිරි ගමනක් යනවා නම් ඒ යන්න පුළුවන් සජබයත් එක්ක විතරයි. අපිට පොහොට්ටුවත් එක්ක ගිහිල්ලා කිසිම අනාගතයක් නෑ. පොහොට්ටුවේ අය කවදාවත් ඒ අයගේ අපේක්ෂකයන්ට මනාප ගහනවා මිසක අපේ අයට මනාපයක් ගහන්නේ නෑ. ඉතින් ඒකේ වාසිය යන්නේ පොහොට්ටුවට විතරයි. අනෙක රාජපක්ෂලා කියන්නේ පවුලක් නෙවෙයි සංස්ථාවක්. මම නම් කිසිසේත්ම එකඟ නෑ රාජපක්ෂලත් එක්ක තවදුරටත් දේශපාලනය කරන එකට. ඒක සමාජය පිළිගන්නෙත් නෑ. ඒ නිසා නාමල්ලව නායකත්වයට ගේන්න මම නම් සූදානම් නෑ. අපිට නාමල් පස්සේ යන්නත් බෑ. එහෙම වුණොත් මම දේශපාලනය අතහැරලා ගෙදර යනවා….’ යනුවෙන් නවීන් සිය ස්ථාවරය නැවත වතාවක් තහවුරු කරද්දී රනිල් තරමක් කෝප වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව තරමක් උස් හඬින් රනිල් කියා සිටියේ තමන්ට රාජපක්ෂලා සමග ගනුදෙනුවක් නැතැයි කියාය.
‘මට රාජපක්ෂලා එක්ක කිසිම දේශපාලනයක් නෑ. මම රාජපක්ෂලා බේරගන්න ගිහිල්ලත් නෑ. ඒ අයට තනතුරු දෙන්න ගිහිල්ලත් නෑ. මම ජනාධිපති වුණෙත් රාජපක්ෂලා හින්දා නෙවෙයි. ජනාධිපති වුණාම අඩුම තරමේ නාමල්ට තනතුරක්වත් දුන්නේ නෑ. ඇමැතිකමක් දුන්නේ ශෂීන්ද්‍රට විතරයි. ඒ, මොනරාගලට නියෝජනයක් දෙන්න ඕනේ නිසා. අනෙක මම රාජපක්ෂලා එක්ක ආණ්ඩු කරලත් නෑ. ඒ නිසා මට ප්‍රශ්නයක් නෑ…’ යනුවෙන් කී රනිල්, සුපුරුදු පරිදි තමන්ගේ සැඟවුණු න්‍යායපත්‍රය වූ නාමල්ව ඔසවා තැබීමේ මෙහෙයුමද කෘත්‍යාධිකාරී මණ්ඩලයට හීන් සීරුවේ ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. එහිදී රනිල් කියා සිටියේ දැන් රැල්ල නැවතත් යමින් පවතින්නේ පොහොට්ටුවටත්, නාමල්ටත් යැයි කියාය.
‘මෙතැනදී අපි බලන්න ඕනේ රැල්ල යන්නේ කොහෙටද කියලා. සජිත් මේක අතට ගත්තෙ නෑ. ඒ නිසා නාමල් දැන් සජිත්ව පරද්දලා ඉස්සරහට ඇවිත්. අපි මාලිමා ආණ්ඩුව පරද්දනවා නම් එකතු වෙන්න ඕනේ කාත් එක්කද කියලා බලන්න ඕනේ. ඒකට උපක්‍රම තෝරන්න ඕනේ. සජබයයි එජාපයයි එකතු වෙනවට මගෙන් බාධාවක් නෑ. සජිත් මාත් එක්ක හොඳ නැති නිසා තමයි මම ඒ සාකච්ඡාවලට වෙනම කණ්ඩායමක් දැම්මේ. දැන් සජිත් ඒකට එනවා නම් එයා ඒක කියන්න ඕනේ. එයා මොනවද ඉල්ලන්නේ කියලා යෝජනා ඉදිරිපත් කරන්න ඕනේ. එයා යූ.ඇන්.පී. නායකත්වය ඉල්ලනවා නම් ඒක අපි වර්කිං කමිටි එකට දාලා කතා කරන්න ඕනේ. මේ පක්ෂ දෙක එකතු වෙනවට බාධාව මම නම්, මම අයින් වෙලා යන්නම්. අපි මතක තියාගන්න ඕනේ දෙයක් තමයි 2030දී නායකත්වයේ වෙනසක් එනවා කියන එක. සමහර විට මම එතකොට මේ පුටුවේ නැති වෙන්නත් පුළුවන්….’ යනුවෙන් එහිදී රනිල් කියා සිටියේය. රනිල් එසේ කීවේ ඉකුත් පක්ෂ සම්මේලනයේදී එජාප නායකත්වය 2030 දක්වාම දීර්ඝ කරගැනීමට රනිල් කටයුතු කොට තිබීම නිසා විය හැකිය.
රනිල් අජිත් තකට තක
එහිදී රනිල්ගේ ස්ථාවරයට තවදුරටත් පොහොර දමමින් කතා කිරීම ආරම්භ කළේ අජිත් මාන්නප්පෙරුමය. අජිත් කියා සිටියේ සජබයෙන් කණ්ඩායමක් එජාපයට එක්වීමට සූදානමින් සිටින බවය. සජබ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් සජිත් සමග දේශපාලනය කිරීමට අකමැත්තෙන් සිටින බවත්, ඔවුන් ඉදිරියේදී එජාපය සමග එක්වීමට කැමැත්තෙන් සිටින නිසා වහාම එජාපය බිම් මට්ටමෙන් ශක්තිමත් කළ යුතු බවත් අජිත් මාන්නප්පෙරුම එහිදී කියා සිටියේය. අජිත් දැක්වූ අදහසට පක්ෂව රනිල්ද කියා සිටියේ ඉදිරියේදී සජබ කණ්ඩායමක් එජාපයට එක්වීමට සූදානමින් සිටිනවා යැයි කියාය.
‘අපිත් එක්ක තව කට්ටියක් එකතු වෙන්න ඉන්නවා. ඒ අය සජිත්ට කැමැති නෑ. ඒගොල්ලන් ඉන්නේ ඡන්දයක් එනකල්. හරි වෙලාවෙදී ඒ අය අපිත් එක්ක එකතු වේවි…’ යැයි කියාය. නමුත් රනිල් මෙසේ කියා කට ගන්නවාත් සමගම නැවතත් සිනාසෙමින් කතා කළේ රංගේය. ඒ, රංගේ මේ කතාව මේ විදියටම පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රසිද්ධියේම මාධ්‍යයට පැමිණ කියා අත්දැකීම් ඇති අයකු නිසාය.
‘අපි ගිය ජනාධිපතිවරණ වෙලාවෙත් ඔය කතාව ඔය විදියටම කිව්වා. සජබෙන් අච්චරක් එනවා කිව්වා, මෙච්චරක් එනවා කිව්වා, 30ක් එනවා කිව්වා, 40ක් එනවා කිව්වා. ඒක මමත් කිව්වා, අපේ සභාපතිතුමත් කිව්වා. හැබැයි අන්තිමට ආවේ කවුද? තලතයි රාජිතයි ඉෂාක් රහුමානුයි අජිත් මාන්නප්පෙරුමයි විතරයි. වෙන කිසි කෙනෙක් ආවෙ නෑ. ඒ හින්දා ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ අපේ පක්ෂය ශක්තිමත් කරලා ඉන්න එක. එහෙම නොකළොත් ඉතින් අපි මේ කතා කරන දේවල් කිසිම තේරුමක් නෑ…’ යනුවෙන් රංගේ කියද්දී රාජිතද කියා සිටියේ පක්ෂය ශක්තිමත් නොකළහොත් එජාපයට සිදුවන්නේ කුමන හෝ පක්ෂයක වල්ගයක් වීමට යැයි කියාය. ඊටද උත්තර දුන් රංගේ කියා සිටියේ, ‘වල්ගයක් නම් අඩුම තරමේ ඒක ඇඟේ හරි තියෙනවා. හැබැයි පක්ෂය ශක්තිමත් නොකළොත් අපිට වෙන්නේ කරපිංචා ගානට වැටෙන්න.’ යැයි කියාය..
කෙසේ වෙතත් මේ ආකාරයට සජබය සහ එජාපය එකතු වීම පිළිබඳ සාකච්ඡාව ඇදි ඇදී යද්දී එජාපයෙන් ඊට පත්කොට සිටින කිසිවකුත් ඒ පිළිබඳ වචනයක් හෝ කතා නොකිරීම විශේෂ සිදුවීමක් විය. එදින කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට තලතා, අකිල, වජිර, රුවන් ආදීන් සහභාගි වී සිටියද ඔවුන් කිසිවකුත් සජබය සමග එක්වීම පිළිබඳ කිසිදු අදහසක් ප්‍රකාශ කර තිබුණේ නැත. එමෙන්ම සාගල රත්නායක එදින කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දැකගන්නට නොලැබුණු නිසා ඇතැමුන් සාගල කොහේදැයි කියා සොයා බලද්දී දැනගන්නට ලැබුණේ රනිල්ගේ විශේෂ නියෝජිතයකු ලෙස පක්ෂය නියෝජනය කරමින් සාගල මහනුවර ප්‍රදේශයේ අවමඟුල් උත්සවයකට සහභාගි වීමට ගොස් ඇති බවකි. නමුත් ඒ වනවිටත් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන එජාප ආසන සංවිධායකවරුන් කිසිවකුටත් සාගලගේ මේ මහනුවර ගමන පිළිබඳ වාර්තා වී නොතිබුණු නිසා ඔවුන් එකිනෙකාගේ මුහුණු දෙස බලමින් විමතියට පත්ව සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි.
උඩින්ම අවවාදයක් ආවාද?
කෙසේ වෙතත් සජබය සහ එජාපය එකතු වීම සම්බන්ධයෙන් රනිල් මේ කතා කළේ අවංකවමද? සජබය සහ එජාපයේ එකමුතුවට ඇති බාධාව තමන් නම් තමන් ඉවත් වීමට සූදානම් බව රනිල් කෘත්‍යාධිකාරී මණ්ඩලයට කීවේ අවංකවමද? රනිල්ගේ ඉතිහාසය සහ රනිල් ගැන දන්නා කියන කවුරුත් කියන්නේ රනිල් එදා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගැසුවේත් දේශපාලන ගේමක් යැයි කියාය. රනිල් කතා කළ ස්වභාවය, රනිල්ගේ වචනවල තිබූ කෝපය සහ රනිල්ගේ හැසිරීම් විලාසය දෙස බලා සිටි බොහෝ දෙනා එදින රාත්‍රියේදී දුරකතන ඇමතුම් මගින් සම්බන්ධ වෙමින් කියා තිබුණේ රනිල් මේ කරන්නේ බොරුවක් යැයි කියාය. ‘රාජ්‍ය රහස්’ තීරය නම් රනිල්ගේ මේ දේශපාලන කපටිකම් දේශපාලන ගේම් සහ කුමන්ත්‍රණ පිළිබඳ තොරතුරු හරිහැටි වටහාගෙන ඒවා තෝරා බේරාගෙන ඕනෑ තරම් මේ තීරයේ පළකිරීමට කටයුතු කොට ඇත්තෙමු. රනිල් ගැන අප කළ ඒ අනාවරණයන් කිසිවක් මේ වනතෙක් බොරු වී නොමැති අතර, ඒවා 100%ක් තහවුරුව ඇති ආකාරයක් රනිල්ගේ හැසිරීම් රටාව දෙස බලන විට දැකගන්නට පුළුවන. නමුත් රනිල් මේ තරමින් හෝ ප්‍රකාශයක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සිදුකළේ ඇයි?
ඊට හේතු ගණනාවක්ම මේ වනවිට දේශපාලන කවයන්හි සාකච්ඡාවට බඳුන් වෙමින් තිබේ. ඉන් එකක් වන්නේ එජාපයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු රහසිගතව සජිත් හමුවී සාකච්ඡා වට කීපයක් පවත්වා ඇති බවට තොරතුරු රනිල්ගේ කනට වැටී තිබීමය. ඒ අස්සේ විශාල ස්වභාවික ආපදාවක්ද රටට සිදුවීම නිසා රනිල් කළේ මේ සාකච්ඡා කඩාකප්පල් කිරීම සඳහා ලබන අප්‍රේල් මාසය වනවිට යළිත් ආර්ථික අර්බුදයක් රට ඇතුළේ මතුවන බවට හරීන් ලවා ප්‍රකාශයක් සිදුකිරීමය. තමන්ට හිතවත් මාධ්‍ය හරහා ඊට විශාල ප්‍රචාරයක් ලබාදීමය. ඒ හරහා ජනතාව නැවතත් තමන් ඉල්ලා සිටිනු ඇති බව රටටත්, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ටත් පෙන්වීම එහිදී රනිල්ගේ යටි අරමුණ වී තිබිණි. නමුත් මෙවර පොහොට්ටුවට පාර්ලිමේන්තුව ඇතුළේ කිසිදු බලයක් නොමැති නිසා පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා බවට පත්වීමේ කිසිදු ඉඩකඩක් නොමැති බවද රනිල් හොඳහැටි දනී. ඒ අනුව මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයේ තවත් විශේෂ තොරතුරක්ද රටට හෙළිදරව් කිරීමට සූදානම්ය. ඒ, එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීමට දින කීපයකට පෙර රටේ සිටින ප්‍රබලම තානාපතිවරුන් කිහිප දෙනකු රනිල් සහ රනිල්ගේ බිරිය වන මෛත්‍රී වික්‍රමසිංහ හමුවී විශේෂ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවය. මෙම සාකච්ඡා පැවැත්වුණේ කොතැනකදීද, ඊට සහභාගි වී සිටියේ කවුරුන්ද යන සියලු තොරතුරු අප සතුව ඇති නමුත් මේ මොහොතේ අප ඒවා එළියට දැමීමට සූදානම් නැත. නමුත් පසුගිය කාලයේදී අතිශය තීරණාත්මක භූමිකාවන් කිහිපයක්ම රඟපෑ ප්‍රබල තානාපතිවරුන් කිහිප දෙනකුම මෙම සාකච්ඡාවන්ට එක්ව සිටි බව පමණක් සඳහන් කිරීමට අප සූදානම්ය. එහිදී එම තානාපතිවරුන් රනිල්ට සහ මෛත්‍රී වික්‍රමසිංහට දැනුම් දී ඇත්තේ කුමක්ද? අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ ලංකාවට ඉදිරියේදී ඇතිවීමට නියමිත අර්බුදයක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා වී ඇති බවකි. යම් හෙයකින් එවැනි අර්බුදයක් මතුවුවහොත් කිසිවකුත් නොසිතන ආකාරයේ ජාතිවාදී සහ අන්තවාදී බලවේග ඉස්මතු වීමේ අවදානමක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති බවක් ආරංචිය. එසේ වුවහොත් එය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයට අභියෝගයක් වනු ඇති බවත්, එවැනි තත්ත්වයකදී ජාත්‍යන්තරය ලංකාව පිළි නොගන්නා තත්ත්වයට පත්විය හැකි බවත් මෙහිදී සාකච්ඡා වී තිබේ. එම නිසා ව්‍යවස්ථාව පිළිගත්, රට පිළිගත්, පවතින ක්‍රමය ඇතුළේ සිටින විපක්ෂයක් වෙත එම බලය හුවමාරු වියයුතු බවත් මෙහිදී එම තානාපතිවරුන් පෙන්වා දී ඇති බවක්ද දැනගන්නට ඇත.
එහිදී ඔවුන් නොකියා කියා ඇත්තේ එවැනි අර්බූදයක් ඉස්මතු වුවහොත් දැනට පාර්ලිමේන්තුවේ සිටින ව්‍යවස්ථානුකූල සහ ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම වන සජබය අතට බලය හුවමාරු වීම ජාත්‍යන්තරය විසින් පිළිගන්නා බවකි. නමුත් සජබයට බහුතරය නොමැති වීම සහ සජබය පොහොට්ටුව සමග කිසිසේත්ම එකතු වන තත්ත්වයක් නොපැවැතීම එහි ඇති එකම ගැටලුව බවද ඔවුන්ගේ අදහස වී තිබේ. ඒ අනුව එජාපය සජබය සමග එකතු වුවහොත් විශාල පිම්මක් පැනිය හැකි නමුත්, ඊට ඇති එකම බාධාව රනිල් බවද එහි ඇති නොකියවෙන යටි පෙළය. විශේෂයෙන්ම ආපදාව හමුවේ සජිත් කටයුතු කළ රාජ්‍යතාන්ත්‍රික ස්වභාවය පිළිබඳ ජාත්‍යන්තරයේ විශාල පිළිගැනීමක් තිබෙන බවද මෙහිදී සාකච්ඡා වී ඇති බවක් දැනගන්නට තිබේ.
එජාපයේ ඉහළත් සජිත්ට
එමෙන්ම එජාප ජ්‍යෙෂ්ඨයන් බහුතරයකගේ මතය වී ඇත්තේද පක්ෂ දෙකේ එකතුවට මතුව ඇති එකම බාධකය වී ඇත්තේ රනිල් බවය. සජිත්ගේ නායකත්වය යටතේ පක්ෂ දෙක එකතු කිරීමට මේ එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ බහුතරය මේ වනවිට සිටින්නේ කැමැත්ත ප්‍රකාශ කොටය. ඒ අනුව මේ තානාපතිවරුන් රනිල්ට දැනුම්දී ඇත්තේ හැකි ඉක්මනින් සජබය සහ එජාපය එකතු කිරීමේ සාකච්ඡා අවසන් කොට මෙම අර්බුදයට මුහුණ දීමේ ශක්තිමත් සන්ධානයක් ගොඩනගා ගන්නා ලෙසටය.
නමුත් අප දන්නා කියන රනිල් නම් කිසිම අවස්ථාවකින් බලය අතහරින හෝ එජාප නායකත්වය අතහරින අයකු නොවේ. මේ අවස්ථාවේදීද රනිල් කරන්නට යන්නේ එජාප – සජබ සමගියට තමන් බාධාවක් නම් තමන් ඉවත් වීමට සූදානම් බව කියමින් සහ තමන්ට හිතවත් නිවුස් ප්ලාන්ට් කල්ලිය හරහා පවුලේ පත්තරවල පුවත් පැළකරමින් සිටීමය. ඒ හරහා රනිල්ගේ සැලසුම වී ඇත්තේ තමන් එජාප නායකත්වයෙන් ඉවත් වන බව බොරුවට පෙන්වා පාක්ෂිකයන් ලවා එජාප නායකත්වයෙන් ඉවත්ව නොයන ලෙසට රට වටෙන්ම ප්‍රකාශ කරවා ගන්නටය. සමාජ මාධ්‍ය ජාලවල විශාල කැම්පේන් එකක් නිර්මාණය කරන්නටය. දැනටමත් එය ආරම්භ වී ඇති ආකාරයක් රනිල්ට හිතවත් පක්ෂ සාමාජිකයන්ගේ ෆේස්බුක් ගිණුම්වලින් සහ රනිල්ට හිතවත් සමාජ මාධ්‍ය ජාලවලින් දැකගැනීමට පුළුවන.
ඒ කෙසේ වෙතත් සජිත් මේ වනවිට සූදානමින් සිටින්නේ අවංකවම මේ පක්ෂ දෙක එකතු කිරීමේ වැඩපිළිවෙළකය. ඒ අනුව ඉදිරි දින කීපය ඇතුළත තවත් විශේෂ සාකච්ඡාවක් සජිත් සහ එජාප මහලේකම් තලතා අතුකෝරල මහත්මිය අතර පැවැත්වීමට නියමිත බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එමෙන්ම පක්ෂ දෙකේ එකමුතුවකදී රනිල්ට ලබා දීමට නියමිත තනතුර සම්බන්ධයෙන්ද සජබය වීශේෂ තීන්දුවක් ගෙන ඇත. ඒ, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරය. ඉදිරියේදී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත්තේ එම පදනමේ සිටය.
ශ්‍රීලනිපයේත් කචල්
ලංකාවේ පැරැණිතම පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද වනවිට මුහුණදී සිටින්නේ එකම ඉරණමකටය. 1994 වනවිට වැඩිම කාලයක් රටේ බලය අත්පත් කරගෙන සිටි එජාපය 94න් පසු රනිල් වික්‍රමසිංහට පක්ෂ නායකත්වය හිමිවීමත් සමග දියවී යෑමට පටන් ගත්තේය. වසර 32ක් පුරා එක දිගට රනිල්ගේ නායකත්වය යටතේ අද වනවිට එජාපය එකදු මන්ත්‍රී ධුරයක් හෝ නොමැති තැනට නැති භංගස්තාන වී තිබේ. රනිල් යටතේ එජාපයට සිදුවූ විනාශය හා සමාන විනාශයක් පවුල් පාලනයට නතුවීම නිසා පසුගිය කාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදුවිය. රාජපක්ෂවරුන් ශ්‍රීලනිපයෙන් ඉවත්ව පොහොට්ටුව ගොඩනැගීමත් සමග ශ්‍රීලනිපයට හරිහමන් නායකත්වයක් ලැබුණේ නැත. අද වනවිට ශ්‍රීලනිපයට එරෙහිව නඩු ගණනාවක්ම අධිකරණය හමුවේ විභාග වන නිසා නිල බලයෙන් රැස්වීමක් හෝ පැවැත්වීමට නොහැකි තැනට ශ්‍රීලනිපය පත්ව තිබේ. අද ශ්‍රීලනිපයේ නායකයා ලෙස නොනිල වශයෙන් පෙනී සිටින්නේ නිමල් සිරිපාල ද සිල්වාය. නමුත් නිමල් සිරිපාල ද සිල්වා යනු රට පිළිගන්නා නායකයකු නොවේ. එවැනි තත්ත්වයක් යටතේ පසුගිය දිනෙක පක්ෂ මූලස්ථානයේ රැස්වූ ශ්‍රීලනිප නියෝජිතයන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරය මෙන්ම කොළඹ දිස්ත්‍රික් නායකත්වය විජයදාස රාජපක්ෂ මහතාට පැවරීමට පියවර ගත්තේය. පක්ෂයේ ජාතික සංවිධායක ධුරය චාමර සම්පත් දසනායක මහතාට පැවරීමට පියවර ගත්තේය.
නමුත් මෙහිදී ගැටලුව පැනනැගුණේ තනතුර භාරගැනීමෙන් පසු චාමර සම්පත්, දයාසිරිගේ නමද සඳහන් කරමින් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමගය. එහිදී චාමර කියා සිටියේ දයාසිරි වෙනත් පක්ෂයකින් පාර්ලිමේන්තුවට පැමිණ ඇති බැවින් ශ්‍රීලනිපයේ තනතුරු දැරීමට ඔහුට අයිතියක් නැතැයි කියාය. චාමර කළ එම ප්‍රකාශය එදින සවස මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමටද කටයුතු කොට තිබිණි.
චාමර මේ ප්‍රකාශය කරද්දී දයාසිරි සිටියේ ඩුබායි රටේය. ඒ අනුව වහාම දයාසිරි කළේ ඩුබායි සිටම චාමරට දුරකතන ඇමතුමක් ගැනීමය. එසේ ඇමතුමක් ගැනීමට පෙර සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට යොමුකර තිබූ ලිපියක් වට්ස්ඇප් මාර්ගයෙන් චාමරට යොමුකිරීමටද දයාසිරි කටයුතු කළේය. එම ලිපියේ සඳහන්ව තිබුණ් 2024 පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා ඍජුවම තරග කළ දේශපාලන පක්ෂ හෝ වෙනත් කණ්ඩායම් දේශපාලන පක්ෂ සමග සන්ධානගතව තරග කරනු ලැබීම පිළිබඳ සනාත කරන ලියවිල්ලකි. ඒ අනුව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සජබයෙන් තරග කරද්දී එකඟතා ගිවිසුමක් ඇතිකරගත් බවත්, ඒ අනුව දුරකතනය ලකුණ යටතේ තරග කළ බවත් එහි දක්වා තිබිණි. ඒ අනුව දයාසිරි ශ්‍රීලනිපය නියෝජනය කරන මන්ත්‍රීවරයකු ලෙස තේරීපත්ව ඇති බව එම ලිපිය මගින් රංජිත් මද්දුමබණ්ඩාර මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැනුම් දී තිබිණි.
මෙම ලිපිය වට්ස්ඇප් මාර්ගයෙන් යොමු කිරීමෙන් අනතුරුව චාමර සම්පත්ට දුරකථනයෙන් කතා කළ දයාසිරි කීවේ ‘ඔයා එදා පක්ෂ මූලස්ථානයේදී කරපු කතාවට මං ඔන්න සමගි ජන බලවේගයේ මහලේකම් මැතිවරණ කොමසාරිස් ජනරාල්ට යවපු ලියුම එව්වා. එතකොට මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ලෙස තමයි පිළිගෙන තියෙන්නේ. ඒක නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළ තනතුරු සම්බන්ධයෙන් මට ගැටලුවක් වෙන්නේ නෑ. ඒක මේ ලියුමෙන් පැහැදිලිව පේනවා. ඔයා ගෑස් සිලින්ඩරයෙන් තමයි තරග කළේ. මට එල්ල කරන තර්කයට අනුව එතකොට ඔයාටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරක් ගන්න බෑනේ. ඒ නිසා මේවා දැනගෙන කතාකරන්න..‘ යැයි කියාය.
එම දුරකතන සංවාදයෙන් අනතුරුව චාමර සම්පත් දයාසිරිට කීවේ ‘ලංකාවට ආවාට පස්සේ හමුවී මේ ගැන සාකච්ඡා කරමු‘ යැයි කියාය.










