අනුර-ජෝජියාවා කතාවක් නෑ
ලංකා ඉතිහාසයේ දැවැන්තම ස්වාභාවික විපත සිදුව මේ වනවිට සති දෙකක් ඉක්ම ගොස් තිබේ. විනාශයෙන් අවහිර වූ මහමාර්ග රැසක් යළි ගමනාගමනය සඳහා විවෘත කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇති අතර අවතැන් කඳවුරුවල රැඳී සිටි විශාල පිරිසක්ද යළිත් සිය නිවෙස් බලා ගොස් ඒවා සුද්ධ පවිත්‍රකොට සාමාන්‍ය ජීවිතය ආරම්භ කොට ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. නමුත් ආපදාවේ බරපතළම කොටසට ආණ්ඩුවට මුහුණදීමට සිදුව ඇත්තේ දැන්ය. ඒ, රට පුරාම විනාශ වූ යටිතල පහසුකම් යළි නගා සිටුවීමය. ආර්ථික අර්බූදයකට මුහුණ දී සිටියද ඒ සඳහා මෙතෙක් ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් වෙන් කර නොමැති ආකාරයේ දැවැන්ත මුදලක් ඊට වෙන් කිරීමට ආණ්ඩුවට සිදුව තිබේ. ඒ මුදල් සොයාගැනීමට ආණ්ඩුවට සිදුව තිබේ. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ ආණ්ඩුවට ඊට නිශ්චිත වැඩපිළිවෙළක් තිබේද යන්න සම්බන්ධයෙනි.Sri Lanka Latest News
පසුගිය සතියේ අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ අතිවිශේෂ අනාවරණයක් කරමින් ආපදා කළමනාකරණය මුල්කරගෙන ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ආරම්භ වූ සාකච්ඡා වටය පිළිබඳ තොරතුරු වාර්තා කළෙමු. වෙනත් කිසිදු මාධ්‍යයක පළ නොවුණු තොරතුරු රැසක් එහිදී රටට අනාවරණ කළ අප, ආණ්ඩුව ඩොලර් මිලියන 200ක අමතර මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි ආකාරයත්, රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ඉල්ලා සිටි ආකාරයත් වාර්තා කළෙමු. මීට අමතරව පත්‍රය මුද්‍රණයට ගිය සිකුරාදා දිනය වනවිට අප වෙත ලැබී තිබු තොරතුරුවලට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලිනා ජෝර්ජියාවා මහත්මිය අතර දුරකතන සංවාදයකට වේලාව වෙන්කරගෙන තිබූ ආකාරයද අපි වාර්තා කළෙමු. ඒ අනුව අප කියා සිටියේ සිකුරාදා දින දෙදෙනා අතර මේ සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වුණු බවකි.
කෙසේ වෙතත් සෙනසුරාදා පත්‍රය වෙළෙඳපළට පැමිණි අවස්ථාවේදී අප වෙත ලැබුණු තවත් තොරතුරකින් කියැවුණේ දෙදෙනා අතර පැවැත්වීමට නියමිතව තිබූ මේ සාකච්ඡාව අවසන් මොහොතේ ජනාධිපතිවරයාගේ ආර්ථික කණ්ඩායමෙන් ලද උපදෙස් හේතුවෙන් නොපැවැත්වුණු බවකි. ඒ අනුව මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ආරම්භ කරමින් අප පසුගිය සතියේ වාර්තා කළ එම පුවත නිවැරදි කිරීමට සූදානම්ය.
මූල්‍ය අරමුදලෙන් යෝජනාවක්
කෙසේ වෙතත් මේ වනවිටත් ආණ්ඩුවේ නිලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් අතර මෙම ආධාර ලබාදීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් හුවමාරු වෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. එහිදී මූලිකත්වය ලැබී ඇත්තේ ආණ්ඩුව විසින් ඉල්ලා සිටි ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක අමතර මූල්‍ය ප්‍රදානයක් ලබාගැනීමටය. මීට අමතරව මෙවර හිමිවීමට නියමිත හයවැනි ණය වාරිකය වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 333 වෙනුවට එම මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 500 දක්වා ඉහළ නංවා ගැනීම සඳහා වූ යෝජනාවක්ද ආණ්ඩුව පැත්තෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත්ව තිබේ. ඒ අනුව දැනට අප වෙත ඇති තොරතුරුවලින් කියැවෙන්නේ බොහෝ දුරට ආණ්ඩුව විසින් ආපදා කළමනාකරණය සඳහා ඉල්ලා සිටින ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදල ප්‍රදානයක් වශයෙන් ලංකාවට හිමිවනු ඇති බවකි. නමුත් අප ඉකුත් සතියේ අනාවරණ කළ ආකාරයටම ආණ්ඩුව විසින් සැලසුම් කර ඇති රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමේ යෝජනාවට තවමත් මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමිව නැත. මූල්‍ය අරමුදලේ ස්ථාවරය වී ඇත්තේ එය මේ අවස්ථාවේ සිදුකළහොත් රටේ ආර්ථිකයට එය අහිතකර ලෙස බලපානු ඇති බවකි. එමනිසා ලබන ජනවාරි මාසය වනතුරු මෙම මුදල් වෙන්කිරීමේ තීරණය පමා කරන ලෙස මූල්‍ය අරමුදල ආණ්ඩුවට දැනුම් දී ඇති බව පැවසේ. බොහෝ දුරට ජනාධිපතිවරයා පසුගිය සිකුරාදා දිනයේදී මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලිනා ජෝර්ජියාවා මහත්මිය සමග දුරකතන සංවාදයට එක් නොවූයේද දෙපාර්ශ්වය අතර මේ රුපියල් බිලියන 500 වෙන් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් මතුව ඇති පරස්පරතාව නිසා බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැත්තෙන් නම් කියැවෙන්නේ දෙපාර්ශ්වය විසින් අස්සන් කොට ඇති එකඟතාවන් අනුව මේ ආකාරයට අමතර මුදල් වැයකළ නොහැකි බවකි. නමුත් ජනාධිපතිවරයාගේ පැත්තෙන් මූල්‍ය අරමුදල ගෙන එනු ලබන මෙම තර්කය බිඳීම සඳහා ගිවිසුමේ වගන්තිවල ඇතුළත් යම් හිඩසක් සොයාගෙන ඇති බවක් දැනගන්නට තිබේ. ඒ අනුව අප වෙත ඇති තොරතුරුවලින් කියැවෙන්නේ යම්කිසි හදිසි ආපදාවකදී අමතර මුදලක් වෙන්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට තීන්දු ගැනීමේ හැකියාව එම වගන්තිවල ඇතුළත්ව ඇතැයි කියාය. ඒ අනුව ආණ්ඩුව එම වගන්තිය භාවිත කොට මෙම මුදල වෙන්කිරීමට කටයුතු කරනු ඇති බවක් දැනගන්නට තිබේ. කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැත්තෙන් ලැබී තිබෙන දැනුම්දීම වී ඇත්තේ මෙසේ ගිවිසුමේ යම් යම් වගන්තිවල වෙනස්කම් සිදුවන්නේ නම් මෙම 15 වැනිදාට ලංකාවට නිදහස් කිරීමට තිබූ ඩොලර් මිලියන 333ක හයවැනි ණය වාරිකය එදිනට නිදහස් කළ නොහැකි බවය. ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්විය යුතු බවත්, ඒ අනුව එම ණය මුදල නිදහස් කිරීම ලබන පෙබරවාරිය දක්වා කල්දැමීමට සිදුවනු ඇති බවත් මූල්‍ය අරමුදල විසින් ආණ්ඩුව වෙත දැනුම් දී ඇති බවක්ද ආරංචිය.
වන්දි කතාවේ පරස්පරයක්
කෙසේ වෙතත් මේ ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවට විරෝධය පළකළත්, ආපදාවෙන් ගොඩ ඒම සඳහා තවත් විශේෂ යෝජනා කිහිපයක් ආණ්ඩුව වෙත ඉදිරිපත් කිරීමටද කටයුතු කොට තිබිණි. එහිදී ඔවුන් ආණ්ඩුවට දැනුම්දී තිබුණේ ආපදා තත්ත්වය හමුවේ කලබල නොවන ලෙසත්, ආපදාව සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් කොට වන්දි පූර්ණය සහ විනාශයට පත්වුණු යටිතල පහසුකම් ගොඩනැගීම සම්බන්ධයෙන් කොපමණ මුදලක් අවශ්‍යද යන්න පළමුව සොයාබලන ලෙසත්ය. ඒ අනුව ජනවාරිය දක්වා කාලය ගෙන එම කටයුතු සිදුකරන ලෙසත්, ඉන් අනතුරුව එම වාර්තාව ජාත්‍යන්තරයට ඉදිරිපත් කොට ජාත්‍යන්තර මට්ටමේ ආධාර සමුළුවක් සංවිධාන කිරීමට මූල්‍ය අරමුදලට හැකියාව ඇති බවත් ඔවුන් විසින් ආණ්ඩුවට දැනුම් දී තිබේ. එය ඉතා විශිෂ්ට ගනයේ යෝජනාවක් වුවද, ආණ්ඩුව පැත්තෙන් ඇති හදිසිය නිසා මේ ස්වර්ණමය අවස්ථාව මේ වනවිට මගහැරෙමින් තිබෙන බවක්ද දැකගන්නට තිබේ.
18 වැනිදා තීරණාත්මකයි
ඒ අතරවාරයේ මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යන තවත් කතාවකින් කියැවෙන්නේ ජනාධිපතිවරයා ලබන 18 වැනිදා හදිසියේ පර්ලිමේන්තුව කැඳවීමට සූදානමින් සිටින බවය. එදිනට රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවද ආරංචිය. නමුත් එය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්ව ඇති ආකාරයක් දැකගන්නට නැත. කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් ආපදාවට ලක්වූවන්ට දෙනු ලබන බව කී වන්දි මුදල් සම්බන්ධයෙන් නම් මේ වනවිට සමාජ මාධ්‍යයේ යම් විවේචනයක් මතුවෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. ජනාධිපතිවරයා ආපදාව සිදුවීමත් සමග පාර්ලිමේන්තුවට පැමිණ සඳහන් කළේ ගංවතුරෙන් නිවස සහ ඉඩම යන දෙකම විනාශ වී ඇත්නම් රුපියල් කෝටියක වන්දි මුදලක් ලබාදෙන බවත්, නිවස පමණක් විනාශ වී ඇත්නම් රුපියල් ලක්ෂ 50ක වන්දි මුදලක් ලබාදෙන බවත්, නිවසේ තහඩුවක් හෝ ගැලවී ඇත්නම් රුපියල් ලක්ෂ 10ක මුදලක් වන්දි වශයෙන් ලබාදීමට පියවර ගන්නා බවත්ය. ඊට ජනතාවගෙන් ඒ අවස්ථාවේදී විශාල ප්‍රසාදයක් හිමිවූ බවක්ද එකල දැකගන්නට ලැබිණි. නමුත් ඉන් අනතුරුව ජනාධිපතිවරයා සහභාගි වූ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමකදී මීට පරස්පර අදහසක් ප්‍රකාශ කරනු දැකගන්නට ලැබිණි. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ අදාළ වන්දි මුදල් හිමිවීමට නම් යම් යම් කොන්දේසි කිහිපයක් සපුරාලිය යුතු බවත්, අදාළ වන්දි මුදල් වාරික වශයෙන් ලබාදීමට සැලසුම් කර ඇති බවත්ය. ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මුල්කරගෙන සමාජ මාධ්‍ය ජාලවල දැඩි විවේචනයක් එල්ල වී ඇති ආකාරයක් මේ දිනවල දැකගන්නට පුළුවන.
කෙසේ වෙතත් ආපදාව සිදුවූ මුල් අවස්ථාවේදීම ජනාධිපතිවරයා මේ ආකාරයට විශාල වන්දි මුදල් පිරිනමන බවක් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඇයි? බොහෝ දෙනා සැක මතුකරන්නේ ආපදාව සම්බන්ධයෙන් කල්තියා තොරතුරු ලැබී තිබියදීත් ඒ සම්බන්ධයෙන් වහ වහා ක්‍රියාත්මක නොවීම හේතුකොට ගෙන ආණ්ඩුව ජනතාව අතරේ අප්‍රසාදයට ලක්වෙමින් පවතින බවට ජවිපෙ මූලස්ථානයට තොරතුරු වාර්තා වී තිබීම නිසා එම දේශපාලන චෝදනාවෙන් මිදීමට මේ ආකාරයේ වන්දි මුදල් ලබාදෙන ලෙසට ප්‍රකාශ කරන ලෙසට යම් බලපෑමක් ජනාධිපතිවරයාට ජවිපෙන් ආවාදැයි කියාය. ඊට අනුගතව ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළාද යන්න පිළිබඳව බොහෝ දෙනා තුළ ඇත්තේ යම් සැකයකි. නමුත් පළමුව එම ප්‍රකාශය සිදුකොට ඉන් අනතුරුව එය වෙනස් කර වන්දි මුදල් ලබාදීමට කොන්දේසි ඉදිරිපත් කිරීම හරහා ආණ්ඩුවට ආපදාවෙන් සිදුවූ විනාශයට වඩා විශාල ව්‍යසනයකට සමාජය ඇතුළේ මුහුණ දීමේ ඉඩක්ද නැතුවා නොවේ. ඒ නිසා ආණ්ඩුව විසින් දෙනු ලබන බව කියන මේ වන්දි මුදල් ආපසු ආණ්ඩුවටම පාරාවළල්ලක් වීමේ ඉඩක් සහ අවදානමක්ද මේ වනවිට මතුව තිබේ.
ෆයිල් එකක් හැදෙනවා
එමෙන්ම ආණ්ඩුවට මේ වනවිට විපක්ෂයෙන් සහ රට ඇතුළෙන් එල්ල වෙමින් පවතින බරපතළම චෝදනාව වී ඇත්තේ ආපදාව සම්බන්ධයෙන් කල්තියා දැනගෙන ඊට නිසි ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම නිසා මේසා විශාල ජීවිත හානියක් සහ දේපළ හානියක් සිදුවූ බවය. ආණ්ඩුව තොරතුරු වාර්තා වූ මුල් අවස්ථාවේදීම නිසි ක්‍රියාමාර්ග ගත්තේ නම් දේපළ හානිය කෙසේ වෙතත් ජීවිත හානි වළක්වා ගැනීමට තිබූ බව ඔවුන්ගේ චෝදනාව වී තිබේ. විපක්ෂය එල්ල කරන මෙම චෝදනාව තව තවත් ඉහළ නැගුණේ පසුගිය සතිය අවසානයේදී කිසිවකුත් බලාපොරොත්තු නොවුණු ආකාරයට ඉන්දියාවේ ප්‍රකට පුවත්පතක් වන ‘ඉන්දියන් එක්ස්ප්‍රස්’ පුවත්පත විසින් මේ සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කර තිබීමය. එහිදී ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව විසින් සිව් වතාවක් මෙවැනි ආපදාවක් සිදුවිය හැකි බවටත්, විශාල ප්‍රමාණයේ වර්ෂාවක් ඇතිවිය හැකි බවටත් කල්තියා ලංකාවට දැනුම්දී තිබූ බවක් එම පුවත මගින් අනාවරණ කොට තිබිණි. ඒ සමගම විපක්ෂය විසින් එල්ල කළ චෝදනාව තවදුරටත් ඉහළ නැගුණු අතර, ආණ්ඩුවේ ප්‍රධානීන්ද ඊට යම් යම් තැන්වල පිළිතුරු ලබාදුන් ආකාරයක් දැකගත හැකි විය. එහිදී ආණ්ඩුවේ ඇතැම් ප්‍රධානීන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් හෝ වෙනයම් වගකිව යුතු පාර්ශ්වයන් මගින් සුළි කුණාටුවක් පැමිණෙන බවට නිල වශයෙන් දැනුම් දීමක් කර නොතිබූ බවත්, එසේ කර ඇත්නම් එය පෙන්වන ලෙසට විපක්ෂයට අභියෝග කළ ආකාරයකුත් දැකගත හැකි විය.
ආණ්ඩුව ඒ ආකාරයට දේශපාලන වශයෙන් ප්‍රතිචාර දැක්වුවත් අපට ඇති අතිශය විශ්වාසදායක තොරතුරුවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා නිල තොරතුරු ඇතුළත් විශේෂ ලිපිගොනුවක් මේ වනවිට සූදානම් වෙමින් පවතින බවය. එම ලිපිගොනුවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සහ මීට අදාළ අනෙකුත් ආයතන විසින් නිකුත් කළ සියලු නිල නිවේදන මෙන්ම ඔවුන් මාධ්‍ය හමුවේ ආපදාව සම්බන්ධයෙන් සිදුකරනු ලැබ තිබූ සියලු ප්‍රකාශ ඇතුළත් කරමින් සිටින බවක්ද දැනගන්නට තිබේ.
කෙසේවෙතත් ආපදාවට දින කීපයක් තබා, එනම් නොවැම්බර් 19 සිට 23 වැනිදා දක්වා කාලය තුළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයත් අධ්‍යාපන බලධාරීන් සමග විශේෂ සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වීමට කටයුතු කොට තිබිණ. එහිදී ඔවුන්ගේ අවධානය යොමුව තිබුණේ මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමග ඉහළ වර්ෂාපතනයක් ලංකාවට පතිත වීමේ ඉඩක් ඇති නිසා එවැනි තත්ත්වයකදී උසස් පෙළ විභාගය අඛණ්ඩව පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳවය. එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එවැනි අනතුරක් සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා හෝ ජනාධිපති ලේකම්වරයාට නිල දැනුම්දීම සිදුකළේ කුමන අවස්ථාවකදීද යන්න පිළිබඳවද මෙහිදී ගැඹුරින් විමර්ශනය වෙමින් පවතින බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. කෙසේවෙතත් විපක්ෂය නම් මෙය පාස්කු ප්‍රහාරයට සමාන කරමින් සියලු තොරතුරු ලැබී තිබියදී පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට වගකිව යුත්තන් කටයුතු නොකළා සේ මෙම ආපදාව පිළිබඳ සියලු තොරතුරු ලැබී තිබියදීත් නිසි ක්‍රියාමාර්ග නොගෙන සිටීම හේතුකොට ගෙන ආණ්ඩුවේ වගකිව යුත්තන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව දැනටමත් ප්‍රකාශ කොට තිබේ. නමුත් තවමත් එසේ අණ්ඩුවට එරෙහිව නඩු පවරන්නේ කුමන පාර්ශ්වයක්ද යන්න විපක්ෂයෙන් නිශ්චිත ප්‍රකාශයක් නිකුත්ව නැත.
උපදෙස් විපක්ෂයේ නීතී විශාරදයෙක්ගෙන්ද?
එමෙන්ම ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන්ද මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල ආන්දෝලනයක් හටගෙන තිබේ. ආපදාව සිදුවීමෙන් පැය 24ක් ඉක්ම යෑමට මත්තෙන් පළමුව මෙම ව්‍යසනය කළමනාකරණය කිරීම සඳහා 2005 සම්මත කරන ලද ව්‍යසන කළමනාකරණ පනතට අනුව හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාට මුලින්ම දැනුම් දී සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය. ජනාධිපතිවරයා මුලින් මුලින් ඊට යම් අකැමැත්තක් දැක්වුවද ආපදාවේ දිග පළල වැටහීමෙන් අනතුරුව හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කොට තිබිණි. නමුත් දැන් මතුව ඇති ගැටලුව වී ඇත්තේ ජනාධිපතිවරයා මෙසේ හදිසි නීතිය පනවා ඇත්තේ ආපදා කළමනාකරණ පනත යටතේ නොව මහජන ආරක්ෂක පනත යටතේ වීම නිසාය. මේ තත්ත්වය එළියට ආවේ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පොලිස් ප්‍රධානීන් හමුවේ සිදුකරන ලද ප්‍රකාශයක් මුල්කරගෙනය. ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය වූ කෞෂල්‍යා ආරියරත්න මහත්මිය පසෙකින් තබාගෙන එහිදී වටගල පොලිස් ප්‍රධානීන්ට උපදෙස් දුන්නේ මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවල ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනයට ලක්වන බවත්, ඒ අනුව හදිසි නීතිය යටතේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසත්ය. වටගල කළ මෙම ප්‍රකාශයට මේ වනවිට විශාල විරෝධයක් එල්ල වෙමින් පවතින අතර, එම කතාව ජාත්‍යන්තරය දක්වාම ගොස් ඇති ආකාරයක්ද දැකගන්නට පුළුවන.
වටගලගේ මෙම ප්‍රකාශයේ බරපතළකම වැටහී ඇති නිසාමදෝ ජනාධිපතිවරයා අයවැය සම්මත කරගත් පසුගිය සිකුරාදා දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණ කියා සිටියේ කිසිදු මර්දනයකට හෝ ජනතාවගේ අදහස් සීමා කිරීමකට මෙම හදිසි නීතිය උපයෝගී කර නොගන්නා බවය. ජනාධිපතිවරයා එසේ පැවැසුවද වටගල කී කතාවේ යම් සත්‍යතාවක් තිබේ. ඒ, ජනාධිපතිවරයා ආපදා කළමනාකරණ පනත යටතේ නොමැතිව මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පැනවීම හරහා එවැනි අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට යම් ඉඩකඩක් මතුව තිබීම නිසාය. ඒ අනුව දැන් ප්‍රශ්නය වී අත්තේ ආපදා කළමනාකරණ පනතේ පැහැදිලිව සඳහන් කොට තිබියදී ඊට අනුව හදිසි නීතිය නොපනවා මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පනවන ලෙසට ජනාධිපතිවරයාට උපදෙස් ලබාදුන්නේ කවුරුන්දැයි කියාය. ඒ අනුව බොහෝ දෙනා සැක මතුකරන්නේ සහ යම් යම් දේශපාලන කවයන්වල සාකච්ඡා වන්නේ නීති ක්ෂේත්‍රයට සම්බන්ධ විපක්ෂයේ නීති විශාරදයෙක් ජනාධිපතිවරයා හමුවී මෙසේ මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පනවන ලෙසට ජනාධිපතිවරයාට උපදෙස් ලබාදුන්නා දැයි කියාය. ඒ අනුව විපක්ෂය නියෝජනය කරන මෙම නීති විශාරදයා වරින් වර ජනාධිපතිවරයා හමුවී මේ ආකාරයට යම් යම් උපදෙස් ලබාදෙන්නේද යන සැකයද මේ වනවිට විපක්ෂයේ බොහෝ දෙනාට මතුව තිබේ. ඒ සම්බන්ධයෙන් සජබය ඇතුළේද පසුගිය සතියේ යම් සාකච්ඡාවක් සිදුව ඇති බවක්ද ආරංචිය. ඒ අනුව විපක්ෂයේ සිටින මේ නීති විශාරදයා පිළිබඳ ඉදිරි දිනවලදී යම් විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී සිදුවීමේ ඉඩකඩක්ද මතුව ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
කමිටුව පනතකින් එයිද?
එමෙන්ම ආණ්ඩුව ඊළඟට මුහුණදී සිටින ප්‍රශ්නය වී ඇත්තේ ආපදාවෙන් යළි ගොඩ ඒමට අවශ්‍ය අරමුදල් සම්පාදනය සහ ආපදාව කළමනාකරණය කිරීම සඳහා පත්කළ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කමිටුව පිළිබඳවය. ජනාධිපතිවරයා විසින් පත්කළ මෙම කමිටුවට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙක්ද, දේශපාලකයන් කිහිප දෙනෙක්ද ඇතුළත්ව තිබිණි. නමුත් ජනාධිපතිවරයා පත්කළ මෙම ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කමිටුව මේ වනවිට බරපතළ ප්‍රශ්නයකට ගොස් ඇත්තේ විපක්ෂය විසින් එහි නීත්‍යනුකුලභාවය පිළිබඳ ප්‍රශ්න කිරීමත් සමගය. විශේෂයෙන්ම හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ රටේ මූල්‍ය බලය ඇත්තේ පාර්ලිමේන්තුවට වන නිසා එවැනි කමිටුවක් පත්කරන්නේ නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඊට ලබාගත යුතු බවත්, එසේ නොමැති නම් එම කමිටුවේ නීත්‍යනුකූලභාවය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් පැනනගින බවත්ය. මීට අමතරව විපක්ෂයේ අනෙකුත් සාමාජිකයන් ජනාධිපතිවරයා විසින් ඊට පත්කර ඇති සාමාජිකයන්ට බරපතළ චෝදනා තිබෙන බවත්, ඇතැමුන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු විභාගයන් පැවැත්වෙමින් තිබෙන බවත් පෙන්වා දී තිබිණ. ඒ අනුව පසුගිය සතිය වනවිටම මෙම කමිටුව පිළිබඳ යම් ගැටලුවක් නිර්මාණය වෙමින් පවතින ආකාරයක් දැකගන්නට ලැබිණී.
මේ සම්බන්ධයෙන් විපක්ෂය විසින් ප්‍රශ්න කිරීමත් සමග එහි ඇති නීතිමය තත්ත්වය පිළිබඳ ආණ්ඩුව පැත්තෙන් ද සොයා බැලීමක් සිදුවිය. එහිදී ඔවුන්ටද ලැබී තිබුණු උපදෙස්වලින් කියවුණේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව මේ ආකාරයේ මුදල් එක්රැස් කිරීමේ අරමුදලක් පවත්වාගෙන යා නොහැකි බවය. එසේ කිරීමට නම් එය පාර්ලිමේන්තුවේ පනතක් ලෙස සම්මත විය යුතු බවටද එහිදී ආණ්ඩුවේ ප්‍රධානීන්ට උපදෙස් ලැබී ඇති බවක් දැනගන්නට තිබේ. නමුත් ගැටලුව වී ඇත්තේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ස්ථාපනය කරමින් ජනාධිපතිවරයා නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ මේ කරුණු සියල්ල ඇතුළත් කොට තිබීමය.
එමෙන්ම මෙම අරමුදලේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන්ද මේ වනවිට ගැටලුවක් පැනනැගී තිබේ. ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වෙද්දී පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද ආර්ථික පරිවර්තන පනත අනුව ආණ්ඩුවට වියදම් කළ හැක්කේ ආණ්ඩුවට ලැබෙන ආදායමෙන් 13%ක ප්‍රමාණයක් පමණි. පනතකින් සම්මත වී නැති නිසා රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලට ලැබෙන මුදල්ද ඇතුළත් වන්නේ එම වියදම් කිරීමේ බාධකයට යටත්වය. ඉන් මිදී ඊට ලැබෙන අරමුදල් සම්පූර්ණයෙන් වියදම් කිරීමට නම් එය වෙනම අරමුදලක් ලෙස පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුය. ඒ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී ඊට උදාහරණයක් ලෙස ආණ්ඩුවේ ප්‍රධානීන්ට පෙන්වා දී ඇත්තේ ජනාධිපති අරමුදල පවතින්නේ ඒ ආකාරයේ වෙනම පනතක් ලෙස බවය. එම අරමුදල පාර්ලිමේන්තුවේ සම්මත කොට ඇති බැවින් අවශ්‍ය තරම් මුදල් ප්‍රමාණයක් ඒ හරහා වියදම් කිරීමේ හැකියාව ඇතැයි කියාය. නමුත් මේ වියදම් කිරීමේ 13%ක බාධකය ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැකගන්නට ලැබී ඇත්තේ රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල ගැසට් කිරීමෙන් අනතුරුවය. ඒ අනුව ආණ්ඩුවේ ආදායමෙන් වියදම් කළ හැකි වන්නේ 13%ක් පමණක්ය යන බාධකයෙන් මිදීම සඳහා රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල පාර්ලිමේන්තු පනතක් ලෙස සම්මත කළ යුතු බවට වූ සාකච්ඡාවක්ද මේ වනවිට ආණ්ඩුව ඇතුළේ ආරම්භ වී ඇති බවක් දැකගන්නට පුළුවන.
ලෝක බැංකුවට බාර දුන් වැඩේ
මේ අතර, ආණ්ඩුව විපතට පත්වූවන්ට ආධාර කරන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියත් තවමත් සිදුව ඇති හානිය සම්බන්ධයෙන් නිවැරැදි තක්සේරු වාර්තාවක් නොමැති වීම බරපතළ අඩුපාඩුවක් වී තිබේ. රට පුරා සිදුව ඇති එවැනි ව්‍යසනයන් ගණනය කිරීමේදී විද්වතුන්ගේ සහ විශේෂඥයන්ගේ සහාය ලබාගෙන එය අතිශය නිවැරැදිව සිදුකිරීම අත්‍යවශ්‍යම කාරණයකි. ඒ හේතුවෙන් ආණ්ඩුව පසුගිය සඳුදා දිනයේදී ලෝක බැංකුවේ විශේෂඥයන් කණ්ඩායමක් සමග මේ පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් සිදුකිරීමට පියවර ගත්තේය. ඊට හේතුව වී තිබුණේ 2004 සුනාමිය ලංකාවට කඩාවැදුණු අවස්ථාවේදීද ඉන් සිදුවූ හානිය අතිශය නිවැරැදිව තක්සේරු කිරීමට ලෝක බැංකු විශේෂඥයන් සහාය ලබාදී තිබීමය.
ඒ අනුව පැවැති මෙම සාකච්ඡාවේදී ලෝක බැංකු නියෝජිතයන් පෙන්වා දී තිබුණේ සුනාමියට වඩා දැවැන්ත ව්‍යසනයක් මෙවර රට පුරා සිදුව ඇති බැවින් අවම වශයෙන් මෙම ව්‍යසනයෙන් සිදුව ඇති හානිය තක්සේරු කිරීම සඳහා මාස 3ක පමණ කාලයක් ගතවනු ඇතැයි කියාය. කෙසේ වෙතත් 2004 වසරේ තිබූ තාක්ෂණයට වඩා මේ වනවිට තාක්ෂණය විශාල වශයෙන් දියුණු වී ඇති බැවින් චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන අවම වශයෙන් මාස 3ක පමණ කාලයකදී එම කටයුත්ත අවසන් කළ හැකි බව ඔවුන්ගේ අදහස වී තිබේ. ඒ අනුව එම කතාවේ ඇති යටිපෙළ වන්නේ එම තක්සේරු වාර්තාව එළිදැක්වෙන තෙක් අදාළ ප්‍රදේශවල සංවර්ධන කටයුතු ආරම්භ කළ නොහැකි බවය. නොඑසේ නම් ඒ සඳහා තවත් මාස 3ක කාලයක් බලාසිටිය යුතු බවය.
හොරු ඇල්ලිල්ලත් ජයටම
ඒ අතරවාරයේ ආණ්ඩුව තමන්ගේ ප්‍රධානතම ව්‍යාපෘතියක් වූ හොරු අල්ලන වැඩේ නවතා නැති බවක්ද දැකගන්නට පුළුවන. රට මුහුණ දුන් ඉතිහාසයේ බරපතළම ස්වභාවික ව්‍යසනය හමුවේ බොහෝ දෙනා කියා සිටියේ ආණ්ඩුවේ ප්‍රධානතම ව්‍යාපෘති තුන වූ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියත්, මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ‘රටම එකට’ ව්‍යාපෘතියත්, හොරු ඇල්ලීමේ ව්‍යාපෘතියත් යන තුනම ගංවතුරට ගසාගෙන ගොස් ඇතැයි කියාය. නමුත් එය එසේ නොවන බවක් පෙනී යන්නේ ව්‍යසනයෙන් පසුව දින කීපයක් ගතවද්දීම ආණ්ඩුව නැවතත් තමන් විසින් ආරම්භ කළ එම මෙහෙයුම්වලට මූලිකත්වය ලබාදී තිබීම නිසාය. ඒ අනුව පසුගිය සතිය වනවිට අල්ලස් කොමිසම යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන් රැසක්ම අල්ලස් කොමිසම වෙත ගෙන්වා ප්‍රකාශ ලබාගන්නා ආකාරයක් දැකගත හැකි විය. එසේ ප්‍රකාශ ලබාගත් පිරිස අතර ලක්ෂ්මන් කිරිඇල්ල, තලතා අතුකෝරාල, ගයන්ත කරුණාතිලක, මහින්ද අමරවීර වැනි පිරිස් සිටීම නිසා බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් විමතිය පළකරමින් අදහස් දැක්වූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. නමුත් ඔවුන් එසේ කැඳවා තිබුණේ ඔවුන් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයකට අදාළව නොව, වෙනත් ප්‍රබල විමර්ශනයකට අදාළවය. ඒ විමර්ශනය අන් කිසිවක් නොව, යහපාලන ආණ්ඩු සමයේදී රාජගිරියේ පිහිටි ‘සබීතා බිල්ඩිම’ නමින් ප්‍රකට ගොඩනැගිල්ල දැවැන්ත මුදලකට කෘෂිකර්ම අමාත්‍යාංශයට කුලී පදනම මත ලබාගැනීමේ ගනුදෙනුවට අදාළව පැවැත්වෙන විමර්ශනයය. මේ ආකාරයට ‘සබීතා බිල්ඩිම’ කුලියට ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටින බවක් මුලින්ම රටට දැනුම් දුන්නේද ‘මව්රට’ ‘රාජ්‍ය රහස්’ තීරයය. ඒ අනුව අල්ලස් කොමිසම එවක ජනාධිපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්ද, එවක අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාගෙන්ද, එවක කෘෂිකර්ම අමාත්‍යවරයා වූ දුමින්ද දිසානායක මහතාගෙන්ද ප්‍රකාශ සටහන් කරගැනීමට කටයුතු කොට තිබිණි.
මීට අමතරව අල්ලස් කොමිසම ඉකුත් සඳුදා දින මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාටද පැමිණෙන ලෙස දැනුම් දී සිටියේය. නමුත් ජනාධිපිවරයා විසින් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම එදිනටම පැවැත්වීමට යොදාගෙන තිබූ බැවින් සජිත් කියා සිටියේ තමන්ට ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසය. ඒ අනුව අල්ලස් කොමිසම සජිත්ට දැනුම් දී සිටියේ එසේනම් ලබන සඳුදා දිනයේද පැමිණ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙසටය.
කෙසේ වෙතත් මෙම විමර්ශනයන් සිදුකරමින් යන අතරතුරේ අල්ලස් කොමිසමට විශේෂ කරුණු රැසක් අනාවරණ කරගැනීමට හැකිවිය. ඒ අනුව මෙම විමර්ශන තීරණාත්මක තැනකට පැමිණෙද්දී අල්ලස් කොමිසම අනාවරණ කරගෙන තිබුණේ යහපාලන ආණ්ඩුව සමයේ පැවැත්වූ කැබිනට් රැස්වීම් තුනකදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවය. මේ නිසා අල්ලස් කොමිසම අවසානයේදී තීන්දු කළේ එම කැබිනට් මණ්ඩල රැස්වීම් තුනටම සහභාගි වූ සියලු කැබිනට් ඇමැතිවරුන් කැඳවා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමටය. ලක්ෂමන් කිරිඇල්ල, තලතා, ගයන්ත, අමරවීර වැන්නවුන් පසුගිය සතියේ අල්ලස් කොමිසමට කැඳවා තිබුණේ ඒ අනුවය. පැය ගණන් මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ප්‍රකාශ ලබා දුන්නද ඒ කිසිවකුත් ඉන් අනතුරුව මාධ්‍ය හමුවට පැමිණ තමන් ප්‍රකාශයන් ලබාදී තිබූ කාරණාව පිළිබඳ ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකිරීමද විශේෂ සිදුවීමක් විය.
අනේ ප්ලීස් එපා..
ආපදාවෙන් පසු මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේත්, සමාජ මාධ්‍යයේත් වඩාත්ම ජනප්‍රිය වැකිය වී ඇත්තේ ‘අනේ ප්ලීස් එපා’ යන්නය. ආපදාවෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවේදී ආණ්ඩුවට අවධාරණය කොට කියා සිටියේ වහාම ජනතාවට සහන සැලසීමට කටයුතු කරන ලෙසත්, හදිසි නීතිය පනවන ලෙසත්, ජාත්‍යන්තර රටවල් කැඳවා ආධාර සමුළුවක් පැවැත්වීමට පියවර ගන්නා ලෙසත්ය. විපක්ෂයද හැකි පමණින් ඊට සහාය දැක්වීමට සූදානම් බවත්, ආණ්ඩුව එය නොකරන්නේ නම් විපක්ෂයේ මැදිහත් වීමෙන් එය සිදුකළ හැකි බවත් සජිත් එහිදී කියා සිටියේය. වචනයෙන් පමණක් නොව එය ක්‍රියාවෙන් ඔප්පු කරමින් සජිත් විදෙස් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් මුණගැසී හැකි පමණින් ලංකාවට උපකාර කරන ලෙසට ඉල්ලා සිටීමට පියවර ගත්තේය. නමුත් ජනාධිපතිවරයා සජිත් කළ මෙම කතාවට පාර්ලිමේන්තුවේදීම ප්‍රතිචාර දැක්වූයේ ‘අනේ ප්ලීස් එපා’ යැයි කියාය. ඒ අනුව සමාජ මාධ්‍ය ජාලවලත්, දේශපාලන කරළියේත් ප්‍රසිද්ධියට පත්වූයේ ජනාධිපතිවරයා කී මේ ‘අනේ ප්ලීස් එපා’ කතාවය.
ජනාධිපතිවරයා මේ ආකාරයෙන් විපක්ෂ නායකවරයාට අපහාසට මෙන් පාර්ලිමේන්තුවේදී කතා කළත් සජිත් රට වෙනුවෙන් සිදුකරන මෙහෙය සහ සිය වගකීම අතරමග නවතා ලන්නට කටයුතු නොකළේය. ඒ වෙනුවට සජිත් කළේ හැකි ඉක්මනින් අවතැන්වූ ජනතාව සිටින කඳවුරුවලට ගොස් ඔවුන්ගේ දුක සැප සොයා බලමින් ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමුකරවීමය. මහගංවතුරේ බෝට්ටුවේ නැගී මරික්කාර් සමග ගොස් ජනතාවට ආධාර බෙදීමය. එපමණක් නොව දිගින් දිගටම විදෙස් තානාපතිවරුන් හමුවී ලංකාවට ආධාර කරන ලෙස ඉල්ලා සිටීමය. එමෙන්ම පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී සජිත් නැවත වතාවක් ‘හුස්ම’ වැඩසටහන ආරම්භ කරමින් හලාවත රෝහලට රුපියල් ලක්ෂ 46ක් වටිනා රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් සහ ජංගම ආර්.ඕ. ප්ලාන්ට් එකක්ද, මාරවිල රෝහලට තවත් ලක්ෂ 46ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක්ද පරිත්‍යාග කිරීමට කටයුතු කළේය.
මේ අතරවාරයේ ආපදාවෙන් රට වහ වහා ගොඩනැගීම සඳහා සර්ව ආගමික නායකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, වෘත්තීයවේදීන් මේ වනවිට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ සහභාගි වන ජාතික සභාවක් ස්ථාපිත කරන ලෙස ඉල්ලීමක් අණ්ඩුව වෙත ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ. පසුගිය සති දෙකක කාලය තුළ මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට ගණනාවක් පැවැති අතර, ඉදිරියේදී ඔවුහු මහානායක හිමිවරුන්, කාදිනල් හිමිපාණන් හමුවී මෙම යෝජනාව උන්වහන්සේලාටද ඉදිරිපත් කිරීමට සූදානමින් සිටිති. මෙම කණ්ඩායම මෙම යෝජනාව කිරීමට සූදානම් වන්නේ කරුණු දෙකක් මුල්කර ගෙනය. ඉන් එක් කරුණක් වන්නේ සිදුව ඇති ආපදාව මෙතෙක් ඉතිහාසයේ සිදුව ඇති දැවැන්තම ස්වභාවික ආපදා ලෙස වාර්තා වී තිබීම හේතුවෙන් එය කිසිසේත්ම එක් පක්ෂයකට හෝ එක් කණ්ඩායමකට පමණක් තනිව සිදුකළ හැකි එකක් නොවන බව තහවුරු වී තිබීමය. දෙවැනි කරුණ වී ඇත්තේ ආණ්ඩුව විපක්ෂය පසෙකට දමා තනිව මෙම කටයුත්ත කිරීමට සූදානම් වන බවක් පෙනෙන්නට තිබීමය. විශේෂයෙන්ම පැලවත්තෙන් ලැබෙන උපදෙස්වලට අනුව මෙය සිදුකරන්නට යෑමෙන් විශාල ව්‍යසනයක පෙරනිමිති පෙනෙන්නට තිබීමද එ සඳහා හේතුවක් වී තිබේ. එම නිසා තත්ත්වය බරපතළ අතට පෙරළෙන්නට පෙර සියලු දෙනාම එක්ව මෙම ව්‍යසනයට එකාවන්ව මුහුණ දිය හැකි ජාතික සභාවක් නිර්මාණය කළ යුතු බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.
ලොකු හෙළිදරව්වක් එනවා
මේ අතර පසුගිය සතියේ සජිත් තවත් තානාපතිවරුන් දෙදෙනකු මුණගැසී කළ සාකච්ඡාවකදී කිසිවකුටත් හසු නොවූ විශේෂ තොරතුරක් අනාවරණ කරගැනීමට සජිත්ට හැකිවිය. ඒ අනුව ඉදිරි දින කීපය ඇතුළත සජිත් පාර්ලිමේන්තුවේදී හෝ ඉන් පිටතදී මේ කරුණ සම්බන්ධයෙන් අතිවිශේෂ හෙළිදරව්වක් සිදුකිරීමට නියමිතය. මේ දිනවල සජිත් එම තොරතුර පිළිබඳ විශේෂ අධ්‍යයනයක නිරතව සිටින බවක්ද දැනගන්නට තිබේ. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ආපදාවෙන් හානියට පත්වූ ලක්ෂ ගණනාවකට බලපාන කාරණාවක් සම්බන්ධයෙන් මෙසේ සජිත් ඉදිරි දින කිහිපය ඇතුළත විශේෂ හෙළිදරව්වක් කිරීමට නියමිත බවය.
මහින්ද යළි කොළඹට
පසුගිය සති කීපයක කාලය තිස්සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කිසිදු තැනක මාධ්‍ය වාර්තාවක් පළවූයේ නැත. ඔහුගේ ඡායාරූපයක් හෝ සමාජ මාධ්‍යයෙන් එළියට ආවේ නැත. අවසන් වරට මහින්ද ප්‍රසිද්ධියේ මාධ්‍යය හමුවට පැමිණියේ නාරාහේන්පිට අභයාරාමයේදීය. ඒ, නොවැම්බර් 21ට පෙර සිය උපන්දිනය වෙනුවෙන් අභයාරාමයට පැමිණි අවස්ථාවේය. එහිදී මහින්ද මාධ්‍යයට කියා සිටියේ තමන්ද 21 වැනිදා නුගේගොඩ රැලියට සහභාගි වනවා යැයි කියාය. නමුත් මහින්ද 21 නුගේගොඩ රැලියට සහභාගි වූයේ නැත. එමෙන්ම සුළි කුණාටුවක් පැමිණ සිදුවූ මහා විපතින් පසුවද මහින්ද ගැන කිසිදු සඳහනක් දැකගන්නට ලැබුණේ නැත.
ඒ සම්බන්ධයෙන් සොයාබලද්දී ‘රාජ්‍ය රහස්’ තීරයට මහින්ද සම්බන්ධයෙන් විශේෂ තොරතුරු දෙකක් වාර්තා විය. ඉන් එකක් වන්නේ මහින්ද මීට සති කීපයකට ඉහතදී කාල්ටන් නිවසේ සිටියදී හදිසි අනතුරකට මුහුණදී ඇති බවය. එහිදී සිදුවූ වැටීමකින් මහින්දගේ නහයට තුවාල සිදුව ඇති අතර, ඒ හේතුවෙන් මහින්දගේ නාසයට සැත්කමක් සිදුකිරීමට වෛද්‍යවරුන් කටයුතු කොට තිබිණි. සැත්කමෙන් පසුව වෛද්‍ය උපදේශය වී ඇත්තේ කාල්ටන්හි සිට නිතරම කොළඹ පැමිණීමට මහින්දට අපහසු නිසා කොළඹට නුදුරු ප්‍රදේශයක නවාතැන් ගන්නා ලෙසය.
ඒ අනුව මහින්ද සම්බන්ධයෙන් අපට ඇති දෙවැනි තොරතුර වන්නේ මේ වනවිට මහින්ද නැවත වතාවක් කොළඹ පදිංචියට පැමිණීමේ සූදානමින් පසුවන බවය. මෙම තොරතුර වාර්තා වීමත් සමග රාජපක්ෂ පවුලට සමීප හිතවතකු කොළඹට නුදුරින් මහින්දට නිවසක් ලබාදීමටද කටයුතු කොට ඇත. ඒ අනුව පසුගිය සතියේ මහින්ද කොළඹ පැමිණ මෙම නිවසේ පදිංචි වීම සඳහා සුබ නැකතින් කිරි උතුරුවා ඇති බවක්ද ආරංචිය. නමුත් මහින්දගේ හිත තවමත් කාල්ටන් නිවසේ ඇති නිසා කිරි ඉතිරවීමෙන් පසුවද මහින්ද නැවතත් තංගල්ලේ සිය මහගෙදරට ගොස් සිටින බවක්ද ආරංචිය. එසේ වුවත් ඉදිරි දින කීපය ඇතුළත නැවත කොළඹ පැමිණීමටත්, කොළඹ පාක්ෂිකයන් සමග නැවත වතාවක් දේශපාලන කටයුතු ආරම්භ කිරීමටත් මහින්ද තීරණය කොට ඇති බවක් දැනගන්නට ඇත.
ආපහු කැරැල්ලක්?
මේ දිනවල එජාපයේ සටන්කාමියා බවට පත්ව සිටින්නේ වෙන කවුරුවත් නොව උප සභාපති නවීන් දිසානායකය. නවීන් පසුගිය කාලයේදී තරමක් දේශපාලනයේ නිහඬව සිටියද 21 නුගේගොඩ රැලියත් සමග නවීන් යළිත් කලඑළි බැසීමට පියවර ගත්තේය. එහිදී එජාප නායක රනිල් පක්ෂයේ සියලු ප්‍රධානීන් නුගේගොඩ රැලියට එක්විය යුතු බවටත්, එජාපය හා පොහොට්ටුව එක්ව අලුත් දේශපාලන ගමනක් යායුතු බටවත් පක්ෂයට නියෝග කරද්දී ඊට එරෙහිව ප්‍රසිද්ධියේ කතා කළ එකම පුද්ගලයා වූයේ නවීන්ය. නවීන් පක්ෂය ඇතුළේ දැඩිව කියා තිබුණේ එජාපයට පොහොට්ටුව සමග කිසිදු දේශපාලන අනාගතයක් නැතැයි කියාය. ඒ බව තහවුරු කරමින් සිය ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් නවීන් කියා තිබුණේ මින් ඉදිරියට කිසිදු දිනෙක පොහොට්ටුව සමග තමන් දේශපාලනය නොකරන බවය. එමෙන්ම 21 නුගේගොඩ රැස්වීම සම්බන්ධයෙන්ද නවීන් සිටියේ දැඩි ස්ථාවරයකය. රනිල් ඊට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සහභාගි විය යුතු බවට නියෝග කරද්දී නවීන් පැහැදිලිවම කියා සිටියේ කවුරු සහභාගි වුණත් තමන් ඊට සහභාගි නොවන බවය. එයද නවීන් සිය ට්විටර් ගිණුමේ පැහැදිලිවම සටහන් කිරීමට පියවර ගෙන තිබිණි. ඒ කී ආකාරයටම නවීන් නුගේගොඩ රැලියට සහභාගි නොවීමට පියවර ගත්තේය. ඉන් අනතුරුව පැවැති එජාප කළමනාකරණ කමිටු රැස්වීමකදී හරීන් ප්‍රනාන්දු නවීන්ගේ මේ ට්විටර් පණිවුඩ පක්ෂයට හානිකර බව කියා සිටියත්, හරීන්ගේ කතාවට පක්ෂයේ කිසිවකුත් පක්ෂව අදහස් දැක්වූ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
මේ ආකාරයට පක්ෂය ඇතුළේ සටනක් ගෙනගිය නවීන්, පසුගිය සතියේ ප්‍රසිද්ධියේම එළියට බැස එම සටන ජනගත කිරීමට කටයුතු කළේය. ඒ, සමාජ මාධ්‍ය නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී නවීන් පැහැදිලිවම කියා සිටියේ එජාපයට පොහොට්ටුව සමග කිසිදු ඉදිරි දේශපාලන ගමනක් නැතැයි කියාය. ඒ වෙනුවට එජාප කඳවුර යළිත් ශක්තිමත් කළ යුතු බවද නවීන් එහිදී කියා සිටියේය.
මේ ආකාරයට නවීන්ගේ සටන්කාමීත්වය දුටු බොහෝ දෙනාට සිහිවන්නේ ඔහුගේ පියාණන් වූ ගාමිණීි දිසානායකය. මන්ද, ගාමිණීද කිවයුතු දේ මුහුණට කෙළින් කීමට කොන්දක් ඇති අයෙක් ලෙස ප්‍රකටය. අසාධාරණයට එරෙහිව ප්‍රසිද්ධියේම විරෝධය පළකළ අයෙක් ලෙස ප්‍රකටය. උදාහරණයක් ලෙස ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩු කාලයේදී මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ජේ.ආර්. තීරණය කළවිට ඊට එරෙහිව ප්‍රසිද්ධියේම විරෝධය පළකළ අයකු වූයේ ගාමිණී දිසානායකය. ඒ අනුව නවීන්ද සිය පියාගේ අඩිපාරේ යමින් මේ වනවිට ගාමිණී මෙන්ම සිය මතය ඍජුව ප්‍රකාශ කරන තැනකට පත්ව ඇති ආකාරයක් දැකගන්නට පුළුවන.
රනිල් තනිවෙයි
මේ ආකාරයට නවීන් රනිල්ගේ ස්ථාවරයට ඍජුව විරෝධය පළකරද්දී පසුගිය කාලය පුරාම රනිල් සමග එකට සිටිමින් දේශපාලනය කළ බොහෝ දෙනකු රනිල් අතහැර යන ආකාරයක් දැකගන්නට තිබේ. උදාහරණයක් ලෙස රනිල් ජනාධිපතිවරයාව සිටි කාලයේදී රනිල්ගේ දකුණු අතයි වම් අතයි ලෙස කටයුතු කළේ පොහොට්ටුවෙන් පැමිණි කංචන විජේසේකරත්, ශෙහාන් සේමසිංහත්ය. රනිල් කංචනට කොතරම් සමීපව කටයුතු කළාද කියනවා නම් ඔහුගේ සැලසුම වී තිබුණේ කංචනව එජාපයට ගෙන, එජාප නායකත්වය ඔහුට භාරදීමටය. එසේ රනිල් සමග සමීපව කටයුතු කළ කංචන මේ වනවිට තීරණය කර ඇත්තේ නැවත වතාවක් පොහොට්ටුව සමග එක්ව දේශපාලනය ආරම්භ කිරීමටය. ඒ අනුව පසුගිය සතියේ කංචන සහ පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අතර අතිශය රහසිගත සාකච්ඡාවක් පැවැත්වී ඇති බවක් දැනගන්නට තිබේ. එහිදී දෙදෙනා එකඟතා රැසකට පැමිණ ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව නුදුරු දිනකදීම කංචන යළිත් සිය මහගෙදර වූ පොහොට්ටුවට යෑමට නියමිතව ඇති බවක් වාර්තා වේ. එමෙන්ම රනිල්ගේ සමීපයේ සිටි ශෙහාන් සේමසිංහද මේ වනවිට ප්‍රසිද්ධියේම පොහොට්ටුව සමග එක්ව යළි දේශපාලනය ආරම්භ කර ඇති බවක්ද ආරංචිය.
එමෙන්ම රනිල්ගේ සිලින්ඩරයෙන් තරග කොට පාර්ලිමේන්තු ආ මහනුවර අනුරාධ ජයරත්න පසුගිය සතියේ ප්‍රසිද්ධියේම නාමල් සමග මහනුවර ගංවතුරෙන් අවතැන් වූවන්ගේ දුක සැප විමසීම සඳහා ගිය ආකාරයක් දැකගත හැකි විය. මීට අමතරව අලියා ලකුණෙන් පාර්ලිමේන්තු පැමිණි එකම මන්ත්‍රීවරයා වූ ජීවන් තොණ්ඩමන්ද පසුගිය සතියේ නාමල් සමග එක්ව වතුකරයේ අවතැන් වූවන්ගේ දුක සැප සොයා බලමින් සංචාරයක නිරත වූ ආකාරයක් දැකගත හැකි විය. රනිල් සමග එකට දේශපාලන ගමනක් ගිය රෝහිත අබේගුණවර්ධනද මීට මාසයකට පමණ ඉහතදී පොහොට්ටුව සමග එක්ව දේශපාලනය කරන බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කිරීමට කටයුතු කොට තිබිණි. ඒ අනුව මේ වනවිට රනිල් සමග එක්ව දේශපාලනය කළ බොහෝ පිරිසක් නැවත වතාවක් රනිල්ගෙන් ගැළවී තමන් කලින් සිටි දේශපාලන කඳවුරුවලටම ගමන් කරමින් සිටින ආකාරය දැකගන්නට පුළුවන.
මේ අතර සජබය සහ එජාපය එක්වීම පිළිබඳවද විශේෂ තොරතුරු කිහිපයක් මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිදරව් කිරීමට අප සූදානම්ය. සජබයේ සිටින ජ්‍යෙෂ්ඨයන් සියල්ලන්ම මෙන්ම දෙවැනි පෙළ නායකයන්ද, බිම් මට්ටමේ පක්ෂ සාමාජිකයන්ද සිටින්නේ එජාපය සමග එක්ව ගමනක් යායුතු බවට වූ ස්ථාවරයේය. එමෙන්ම එජාපයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් දෙතුන් දෙනකු හැරෙන්නට අනෙකුත් සියලු දෙනාම සිටින්නේද සජබය සමග එක්ව ඉදිරි දේශපාලනය සිදුකළ යුතු බවට වූ ස්ථාවරයේය. එජාපයේ එම ස්ථාවරයේ නොසිටින්නේ දෙදෙනකු පමණි. ඒ දෙදෙනා වරක් එජාප උපනායක රවී කරුණානායක විසින් හඳුන්වා දුන්නේ එජාපයත්, රනිල්වත් විනාශ කරන භූතයන් දෙදෙනා යැයි කියාය. සජබ-එජාප එකමුතුව මේ භූතයන් දෙදෙනා විසින් විනාශ කරමින් සිටිනවා යැයි කියාය. අපට ඇති තොරතුරුවලින්ද කියැවෙන්නේ එජාපයේ සිටින මේ භූතයන් දෙදෙනා හැරුණු විට අනෙක් සියලු දෙනාම පාහේ සිටින්නේ සජබය සමග එක්ව දේශපාලන ගමනක් යායුතු බවට වූ ස්ථාවරයේය. එමෙන්ම මේ භූතයන් දෙදෙනා මොනවා කළත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම එම පක්ෂ දෙක එකතු කරන බවද ඔවුන්ගේ ස්ථාවරය වී ඇති බවක් ආරංචිය.
කෙසේ වෙතත් එම සමගියට මෙම භූතයන් දෙදෙනා තවදුරටත් බාධා කරන්නේ නම් ගතයුතු විකල්ප ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳවම මේ එජාප ප්‍රධානීන් සාකච්ඡා කර ඇති බවක්ද දැනගන්නට තිබේ. එහිදී පක්ෂයක් ලෙස සජබය සමග එක්වීමට මොවුන් ඉඩ නොදෙන්නේ නම් පක්ෂ දෙක එක්කළ හැකි විකල්පයන් පිළිබඳවද එහිදී සාකච්ඡා කර ඇති බව ආරංචිය. එජාපය යනු, කැරැලි ගැසීම්, කුමන්ත්‍රණ සිදුකිරීම්වලට අලුත් තැනක් නොවේ. රනිල් එජාප නායකත්වයට පත්වූ 2004 වර්ෂයේ සිට ගෙවුණු අවුරුදු 32 පුරාම එජාපය ඇතුළේ කැරැලි කුමන්ත්‍රණ සිදුවිය. එහි ප්‍රතිඵලය වූයේ 90කට අධික මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් සිටි එජාපය බින්දුවටම වැටී එකදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ තේරී පත් නොවන තැනට පක්ෂ විනාශ වී යෑමය. ඒ අනුව මෙවර එජාපයේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනකුගේ ස්ථාවරය වී ඇත්තේ සජිත්ගේ නායකත්වය යටතේ පක්ෂ දෙකක් වශයෙන් හෝ සන්ධානයක් වශයෙන් හෝ මේ පක්ෂ දෙක එකතු විය යුතු බවය. නමුත් සමනායකකම් හෝ නායකත්ව මණ්ඩල ප්‍රායෝගික නැති බවත්, පක්ෂ ජ්‍යෙෂ්ඨයා වශයෙන් රනිල්ට ගෞරවනීය තනතුරක් ලබාදීමටත් එහිදී යෝජනා වී ඇති බවක්ද ආරංචිය.










