අනූනව අවුරුදු බද්ද යටතේ ලබාදී, නැවත වංචනිකව පවරා ගැනීමට කටයුතු කළ යාල, පලටුපාන ඉඩම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)ට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් අද දින (4) අතුරු තහනම් නියෝගය ලබාදීම සිදුවිය.
කොළඹ දිසා අධිකරණ විනිසුරු අමාලි රණවීර විසින් මෙම අතුරු තහනම් නියෝගය ලබාදුන්නේ ඇස්කොට් ලෙෂර් පුද්ගලික සමාගම (දැන් ලංකා රියල්ටි ලෙෂර් පුද්ගලික සමාගම) විසින් ගොනු කර තිබූ ඉල්ලීමක් සලකා බලමිනි.
මේ අනුව 99 අවුරුදු බද්ද යටතේ අදාළ සමාගමට ලබා දී තිබූ ඉඩම, රුපියල් මිලියන 30 ක මූලික ගෙවීමක් සහ 2020 දෙසැම්බර් මාසය දක්වාම බදු මුදල් ද ගෙවා තිබියදී SLTDA සභාපතිනිය ඩිල්මා Dilmah/M J F සමාගම වෙත ඉඩම ලබාදීම සඳහා එය හොර රහසේ නැවත පවරාගැනීමට උත්සාහ කළ බවට අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කොට තිබිණ.
SLTDA සභාපතිනිය වන කිමාලි ප්‍රනාන්දු, Dilmah සමාගමේ සභාපති මෙරිල් ජේ. ප්‍රනාන්දු පවුලේ ලේලිය වීම ද විශේෂත්වයකි.
ඇගේ මූලිකත්වයෙන් SLTDA විසින් බදු ගිවිසුම නීත්‍යානුකූල ලෙස අවසන් කිරීමකින් තොරව ‘ප්‍රකාශන ඔප්පුවක්‘ සකස් කර එය ලියාපදිංචිය සඳහා යොමු කර තිබිණි.
මේ අනුව මෙම ඉඩම SLTDA විසින් නීති විරෝධී ලෙස නැවත පවරාගැනීම අභියෝගයට ලක් කරමින් 2020 ජූනි 16 වැනිදා Lanka Realty Leisure (Private) Limited සමාගම විසින් දිසා අධිකරණය හමුවේ තහනම් නියෝගයක් ඉල්ලා සිටීම සිදුවිය.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ෆ්‍රනෑන්ඩෝ, එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ, භාණ්ඩාගාර අධ්‍යක්ෂිකා අනෝමා නන්දනී ඇතුළු සංචාරක සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන් ගණනාවකට එරෙහිව මෙම නඩුව විභාග විය.
පැමිණිල්ල (Lanka Realty Leisure (Private) Limited) වෙනුවෙන් නීතීඥ ෆ්‍රැන්සිස් ජුලියන්පතිගේ උපදෙස් මත නීතීඥ රුවන්ත කුරේ, නීතීඥ නාමිත් නෆාඩ්, නීතීඥ නලින්ද අල්විස් සමග ජනාධිපති නීතීඥ අලි සබ්රි පෙනී සිටියේය.
එදින වාරණ ආඥාවක් ලබාදීම සිදුවූ අතර, ජූනි 30 වැනිදා ලිඛිත කරුණු සැළකිරීම් සිදුකෙරිණි. එහිදී ජූලි 13 දක්වා වාරණ ආඥාව දීර්ඝ කිරීමට නියෝග කෙරිණි.
එහිදී එහි සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ද නොතකා හරිමින් SLTDA වෙනුවෙන් පෞද්ගලික නීතීඥයෙකු පෙනී සිටීම බොහෝ දෙනාගේ විමතියට හේතු විය.
එමෙන්ම අදාළ සමාගමට යාබද ඉඩම, ඩිල්මා සමාගමට නොමිලේ ලබාදීමට ද අදාළ සභාපතිනිය කටයුතු කර ඇති බවද මීට පෙර වාර්තා වී තිබිණ.
මෙම අතුරු තහනම් නියෝගය මගින්, SLTDA විසින් සිදුකර ඇති හෝ සිදුකිරීමට උත්සාහ කර ඇති, ඇස්කොට් ලෙෂර් පුද්ගලික සමාගම (දැන් ලංකා රියල්ටි ලෙෂර් පුද්ගලික සමාගම)ට නීත්‍යානුකූල ලෙස හිමිකම ඇති ඉඩම බලයෙන් නැවත පවරාගැනීම අවලංගු වේ.










