සැබෑ පියෙකි දරු දහසකි – මුළු රටේම ලේ නෑයෙකි
අපේ එකෙකි සිය දහසකි – මේ දරු හට මවු දහසකි
මිනිස් ඉතිහාසයේ ලියැවුණු උතුම්ම පරිච්ඡේද අතර තම දේශය, ජාතිය හා නිදහස වෙනුවෙන් සටන් වැදුණු වීරයන්ගේ කතාවට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. ශ්‍රී ලංකාව ලෙස අපටද ඒ අභිමානවත් ඉතිහාසයට හිමිකම් කීමට පුළුවන. දශක ගණනාවක් මුළුල්ලේ රටේ ස්වෛරීත්වය උදෙසා ගෙනගිය දුෂ්කර සටන අවසන් කිරීමට තම ජීවිත පරදුවට තබා කටයුතු කළ අපගේ විරෝදාර රණවිරුවන් ඒ අභිමානයේ සංකේතයයි. අවාසනාවකට මෙන් යුද්ධය අවසන් වී කාලය ගෙවීයන සමයක බොහෝ දෙනා හට මෙම කැපකිරීම් අමතක වී ඇත. සමහරුන්හට රණවිරුවා යනු අතීතයට අයත් වූ චරිතයකි. ඇතැම් විට රණවිරුවා ‘සොල්දාදුවන්’ ලෙසත් ‘සෙබළු’ ලෙසත් ආමන්ත්‍රණය කිරීමට නොයෙක් චරිත උත්සුක වේ. එහෙත් අපගේ දෑස් ඉදිරිපිට තවමත් තමන්ගේ ශරීර වේදනාවෙන් සිටින විරුවන් සිටීමත්, ඔවුන් මෙන්ම ජීවිත පුදකළ රට වෙනුවෙන් කැපවූ වීරයන් විරෝදාර රණවිරුවන් ලෙස පිළිගැනීමට සියලු දෙනා කටයුතු කළ යුතුය.Sri Lanka Latest News
රටේ අමරණීයම වූ ස්ථානයක් ගනු ලබන ‘රණවිරුවන්’ හෑල්ලුවට ලක්කොට දැමූ පුවතක් මෙහිදී සඳහන් කළ යුතුමය. ඒ කුමක්ද යත් පසුගිය මැයි මස 19 වැනි දින පැවැති ජාතික රණවිරු සැමරුම් උත්සවයේදී තිස් අවුරුදු යුද ජයග්‍රහණයට උරදුන් රණවිරුවන් හෑල්ලුවට ලක්කර ඇති බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අදහස් දක්වා ඇත. උත්සවයට පැමිණීමද ජනාධිපති විසින් අදිමදි කරවූ බැව් එකල මාධ්‍ය හරහා වාර්තා විය. මන්දයත් උත්සවයේ ආරාධනා පත්‍රයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නම්කොට තිබුණේ ‘ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ප්‍රධානත්වයෙන්’ යනුවෙනි. ජනතා දොස් හේතුවෙන් එම වරද සන්නිවේදන ගැටලු යැයි පවසා ජනාධිපතිවරයා අවසානයේ උත්සවයට පැමිණි බවක් දැකගන්නට ලැබිණි.
එහිදී ‘රණවිරු’ යන වචනය නොකියවිණි. ජීවිත පරිත්‍යාග කළ ‘සොල්දාදුවන්’ ලෙස රණවිරුවන්ව එහිදීි හැඳින්විය. මේසා රට වෙනුවෙන් අනන්ත අප්‍රමාණ වූ කැපවීම්, ජීවිත පරිත්‍යාග කෙරූ, මරණය පෙනි පෙනී මරණයට නොබියව මුහුණ දෙමින්, මවුපියන්, දූදරුවන්, නෑ හිත මිතුරන්, බිරින්දෑවරුන් ගැන හෝ නොසිතා, රටට පණ දෙමින්, ත්‍රස්තයන්ගෙන් රට මුදාගනිමින් දැවැන්ත මෙහෙවරක් කළ විරෝදාර රණවිරුවන් හට ‘සොල්දාදුවන්’ ලෙස ආමන්ත්‍රණය විය. මන්දයත් අප රටට ආදරය කෙරූ රණවිරු පවුල්වල රණවිරුවන් ඇතුළු විශ්‍රාම ගිය රණවිරුවන් සියලු දෙනා එක්වී දැඩි බලාපොරොත්තුවෙන් යුතුව පත්කොටගත් රජයකින් මෙලෙස කතා ඇසීමට සිදුවීම ඔවුන්ට කරන්නා වූ විශාල අගෞරවයක් ලෙස සැලකිණි.
තිස් වසරක යුද්ධය නිමාවෙන් රටම වැඳුම් පිදුම් කරන්නා වූ රණවිරුවන් හට ‘සෙබළ, සොල්දාදුවන්’ ලෙස අර්ථකථනය කිරීම විපක්ෂය හෙළාදුටුවද ආණ්ඩුව හුදෙක් ඒ නිවැරදි කිරීමට උත්සුක වූයේ නැත. එනමුත් වර්තමානය තුළ ඇතිවී තිබෙන්නා වූ ගංවතුර හා නායයෑම් ව්‍යසන හමුවේ පළමුව මිනිසුන් වෙනුවෙන් පයින්ම කිලෝමීටර් ගණනාවක් වතුරේ බැස මිනිසුන් බේරීමට උත්සුක වූයේ විරෝදාර රණවිරුවන්ය. පාලම් ප්‍රතිසංස්කරණය කරමින්, ගෙවල් ශුද්ධ පවිත්‍ර කරමින් ජනතාවට ආහාර පාන ලබාදී බඩගින්න නිවාලීමට මුලින්ම පියවර ගනු ලැබුවේ රණවිරුවන්ය. එවැනි තත්ත්වයක් හමුවේ එක් ගුවන් නියමුවකු හට දිවි අහිමි වූයේද, යාපනයේ නාවික හමුදාවේ පස්දෙනකු හට දිවි අහිමි වූයේද ඔවුනගේ තිබූ මාතෘ භූමියට ඇති ආදරය, ගෞරවය නිසාවෙනි. එවන් උතුම් ශ්‍රේෂ්ඨතම විරුවන් හට ‘සෙබළා’ යැයි ආමන්ත්‍රණය කිරීම පිළිගත නොහැකිය.
රට වෙනුවෙන් දිවිදුන්, තම සිරුරේ කොටස් පුද දෙමින් රටට සේවය කළ විරෝදාර රණවිරුවන් හට අප බොහෝ ගෞරව කළ යුතුය. අප ඔවුන්ට ණයගැතිය. එම ණය අපගේ ජීවිත කාලය පුරාම ගෞරවයෙන්, ආදරයෙන්, රැකවරණයෙන් යුතුව ගෙවිය යුතු විනා ඔවුනට අපහාස වන්නා වූ, නින්දාවන්නා වූ, හෑල්ලු කරන්නාවූ, අගෞරව කරන්නා වූ කිසිවක් සිදු නොකළ යුතුය. එනයින් මෙම ලිපිය අප විරෝදාර රණවිරුවන් ඇගයීමටත්, ඔවුන්ගේ සුබසාධනය තවදුරටත් තහවුරු කිරීමටත් සමස්ත රටේම අවධානය යොමුවනු ඇතැයි විශ්වාස කරන්නෙමු. අප දේශය වෙනුවෙන් සටන් කොට දේශය බේරාගත් විරෝදාර රණවිරුවන් වෙනුවෙන් ජාතියේ උත්තම ගෞරවය මෙහිදී පුදකර සිටින්නෙමු.

පී.එම්. සඳලි සත්සරණි රත්නායක
ජන සන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.










