• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලන්ඩන් ගිය CID ටීම් එක ලොකු කේස් 3ක් පස්සේ පන්නයි! එක නාමල්ගේ ලන්ඩන් උපාධිය! දෙක රනිල්ගේ ලන්ඩන් ගමන! තුන හිටපු ප්‍රබල දේශපාලඥයාගේ ලන්ඩන් එකවුන්ට් එක! ගිනිකෙළි ගොඩක් ලෑස්තියි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

November 23, 2025
in Exclusive, Rajya Rahas
Reading Time: 13 mins read
A A
Share on WhatsAppShare on Facebook

ලන්ඩන් ගිනිකෙළි

පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරයෙන් විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ රාජපක්ෂ පවුලේ සඟවා ඇති වත්කම් සෙවීම සඳහා තිරය පිටුපස දැවැන්ත ගනුදෙනුවක් ආණ්ඩුව විසින් ආරම්භ කොට ඇති බවකි. පසුගිය සතියේ අප කළ එම අනාවරණයෙන් පසු ඒ සම්බන්ධයෙන් කළ වැඩිදුර සොයාබැලීම්වලදී අපට දැනගන්නට ලැබුණේ අදාළ ගනුදෙනුවේදී වොෂිංටනය සහ ආණ්ඩුව අතර මීට අදාළ තොරතුරු රැසක් ශීඝ්‍රයෙන් දෙපාර්ශ්වයට අතර හුවමාරු වී ඇති බවකි. එමෙන්ම මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතරද එවැනිම ආකාරයේ අතිශය රහසිගත ගනුදෙනුවක් තිරය පිටුපස සිදුවෙමින් පවතින බවද අපි අනාවරණ කළෙමු. එහිදී ආණ්ඩුවේ අවධානය යොමුව තිබුණේ ඉකුත් මැතිවරණ සමයේදී ජනතාවට ලබාදුන් පොරොන්දුවක් අනුව මහබැංකු හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කවරාකාරයෙන් හෝ ලංකාවට රැගෙන ඒමය. ඒ අනුව ආණ්ඩුවේ පාර්ශ්වයන් සහ අර්ජුන මහේන්ද්‍රන් අතරද විශේෂ අදහස් හුවමාරු කරගැනීමේ වටයක් ආරම්භ වී ඇති බවක්ද අප එහිදී අනාවරණ කළෙමු. එමෙන්ම සාකච්ඡා වට කීපයකින් අනතුරුව ආණ්ඩුව පැත්තෙන් ප්‍රබල නිලධාරීන් දෙදෙනකු මෙම වෑයම සාර්ථක කරගැනීම සඳහා සිංගප්පූරුව බලා යෑමට නියමිතව සිටියද අවසන් මොහොතේ මතුවූ අර්බුදයක් හේතුකොට ගෙන එය ඇණහිටි ආකාරයත්, අර්ජුන් පසුගිය මාස කීපය පුරාම යම් යම් අතරමැදියන් හරහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට විවිධ පණිවුඩ එවමින් යම් ගනුදෙනුවක් ආණ්ඩුව සමග ඇතිකර ගැනීමට මුලපුරා තිබුණු ආකාරයත් අපි පෙන්වා දුන්නෙමු. නමුත් එම සාකච්ඡාව 100%ක්ම සාර්ථක වී ඇති බවක් මේ වනවිට දැකගන්නට නැත. Sri Lanka Latest News

මේ අතර පසුගිය සතියේ තවත් විශේෂ හෙළිදරව්වක් මාධ්‍ය මගින් අනාවරණ කෙරිණි. ඒ, අතිවිශේෂ කටයුත්තක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හය දෙනකු ලන්ඩනය බලා ගොස් ඇති බවය. එම ගමන කෙතරම් රහසිගත ආකාරයට සිදුවූවාද කියනවා නම් එක් අවස්ථාවකදී සිදුවූ යම් සිදුවීමක් හේතුකොට ගෙන පමණක් එහි තොරතුරු එළියට ආ ආකාරයක් දැකගන්නට ලැබිණ. එසේ නොවන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හය දෙනකු විශේෂ කටයුත්තක් සඳහා ලන්ඩනයට ගිය ගමන මේ වන තෙක්ම කිසිවකුටත් දැනගන්නට ඉඩ ලැබෙන්නේ නැත. එහිදී යම් යම් මාධ්‍ය වාර්තා කොට තිබුණේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ නඩුවට අදාළ ලියකියවිලි කිහිපයක් තහවුරු කරගැනීම සඳහා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලන්ඩනය බලා ගොස් ඇති බවකි. එහිදී ඔවුන්ගේ ප්‍රධානම කාර්යය වී තිබුණේ හිටපු ජනාධිපති රනිල් සහ ඔහුගේ බිරිය වූ මෛත්‍රී වික්‍රමසිංහ ලන්ඩනයේ සිදුකළ සංචාරය නිල වශයෙන් සිදුවූ එකක්ද යන්න තහවුරු කරගැනීමය. එහිදී මෛත්‍රී වික්‍රමසිංහට ආචාර්ය උපාධිය ලබාදුන් වූල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ ආරාධනාව සත්‍ය එකක්ද යන්න තහවුරු කරගැනීමේ අවශ්‍යතාවද මෙම සංචාරයේ එක් අරමුණක් වී තිබිණි. කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය ප්‍රශ්න කොට තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ මෙම සංචාරය අවම වශයෙන් නීතිපතිවරයා හෝ දැනුවත් කිරීමට කටයුතු කොට නැති බවත්, ඉතා රහසිගත ලෙස මෙම පිරිස ලන්ඩනය බලා ගොස් ඇති බවත්ය.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හය දෙනා ලන්ඩනය බලා පිටත්ව ගොස් තිබුණේ රනිල්ගේ ලන්ඩන් ගමනේ තොරතුරු ලබාගැනීමට පමණක් නොව, තවත් විශේෂ කරුණු කීපයක් සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කරගැනීම සඳහාය. ඒ අනුව රනිල්ගේ ලන්ඩන් ගමන සිදුවූ කාලයේ බි්‍රතාන්‍යයේ සිටි ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය වූ සරෝජා සිරිසේන මහත්මියගෙන් ඊට අදාළ ප්‍රකාශයක් ලබාගැනීමද ඔවුන්ගේ ගමනේ එක් අරමුණක් වී තිබිණි. මීට පෙර අපස්ථාවකදී අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ මේ සම්බන්ධයෙන් කළ අතිවිශේෂ අනාවරණයකදී කියා සිටියේ එවක බි්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ සේවය කළ ඉහළ නිලධාරීන් රැසකගෙන්ම මේ ගැන ප්‍රකාශ සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කොට තිබූ බවකි. මේ වනවිට ඔවුන් බි්‍රතාන්‍යයේ රාජකාරි අවසන් කොට ඇමෙරිකාව, සිංගප්පූරුව යනාදී රටවල රාජ්‍යතාන්ත්‍රික සේවයේ නිරත වී සිටින නමුත්, ඔවුන් විශේෂයෙන් ලංකාවට කැඳවා අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කොට තිබූ බවද අපි එහිදී අනාවරණ කළෙමු. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බි්‍රතාන්‍යයේ එවක රාජකාරි කළ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය වන සරෝජා සිරිසේනටද ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙසට දැනුම් දීමක් කොට තිබිණි. නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් ලංකාවට නොපැමිණි ඇය, ලන්ඩනයේ සිටම අදාළ සිදුවීම සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක් සකස් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එවීමට පියවර ගෙන තිබිණි. නමුත් මෙම පරීක්ෂණය අතිශය වැදගත් සහ බරපතළ එකක් වන නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සරෝජාගේ දිවුරුම් ප්‍රකාශය සම්බන්ධයෙන් සෑහිමකට පත්වූයේ නැත. ඒ අනුව ඔවුන් දිගින් දිගටම සරෝජාට දැනුම් දී සිටියේ වහාම ලංකාවට පැමිණ අදාළ විමර්ශන කටයුතුවලට සහාය දක්වන ලෙසය.

නමුත් මේ වනවිට සරෝජා සිරිසේන සිටින්නේ වසර දෙකක කාලයක් සඳහා රාජකාරි නිවාඩු ලබාගෙනය. එමෙන්ම සරෝජා සිරිසේන බි්‍රතාන්‍ය පුරවැසිභාවය සහිත අයකු සමග මේ වනවිට විවාහ වී ඇති බවක්ද වාර්තා වේ. ඒ අනුව දිගින් දිගටම කළ දැනුම්දීම්වලින් අනතුරුවද සරෝජා සිරිසේන ලංකාවට නොපැමිණි නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සතියේදී සරෝජා සිරිසේනට දැනුම් දීමක් කොට තිබුණේ සිය නිලධාරීන් කණ්ඩායමක් ලන්ඩනයට පැමිණීමට නියමිතව ඇති බවත්, ඒ අනුව ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට පැමිණ රනිල්ගේ ලන්ඩන් සංචාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙසටත්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතිශය රහසිගත ලෙස මෙම ලන්ඩන් සංචාරය සංවිධාන කළද අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ සරෝජා සිරිසේනට කළ මෙම දැනුම්දීමත් සමග ඔවුන්ගේ මේ ලන්ඩන් සංචාරය පිළිබඳ රහස එළියට පැමිණි බවකි. ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල්ට ලන්ඩනයෙන් පණිවුඩය ලැබීමට මොහොතක්වත් ගතවූයේ නැත. එම තොරතුරු වාර්තා වීමත් සමග විශාල ලෙස කලබලයට පත්වූ රනිල්, වහාම ඒ සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට පටන් ගත්තේය. සිය හිතවත් නිලධාරීන් ලවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් පමණක් නොව, සිය නීතිඥවරුන් ලවා නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන්ද ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමට රනිල් කටයුතු කළේය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් හය දෙනකුගේ කණ්ඩායමක් රනිල්ගේ ලන්ඩන් ගමනේ තොරතුරු සොයාගැනීම සඳහා ලන්ඩනයට ගොස් ඇති බව තහවුරු කළ නමුත්, එම සංචාරය පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුව හෝ නීතිපතිවරයා දැනුවත් කොට නොමැති බවක් එම දෙපාර්තමේන්තුව පැත්තෙන් දැනගන්නට ලැබී තිබිණි.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම නිලධාරීන් හය දෙනා රනිල්ගේ ලන්ඩන් ගමනේ තොරතුරු සෙවීමට පමණක්ම ලන්ඩන් ගොස් නොතිබිණි. තවත් අතිවිශේෂ කරුණු දෙකක් සම්බන්ධයෙන් තොරතුරු සොයාබැලීමද ඔවුන්ගේ මේ ගමනේ විශේෂ අරමුණක් වී තිබිණි. ඉන් එකක් වූයේ හිටපු ප්‍රබල දේශපාලනඥයකුගේ බි්‍රතාන්‍යයේ ඇති අතිශය රහසිගත මුදල් ගිණුමක් පිළිබඳ තොරතුරු ලබාගැනීමය. මීට අමතරව තවත් ප්‍රබල දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකුගේ වත්කම් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම වැනි විශාල කාලසටහනකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුගේ මෙම නිලධාරීන් හය දෙනා ලන්ඩනයට ගොස් ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා උපාධිය ලබාගත් බි්‍රතාන්‍යයේ ‘සිටි ඔෆ් යුනිවර්සිටි‘ විශ්වවිද්‍යාලය මගින් ලබාදී ඇති උපාධි සහතිකයේ සත්‍යාසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම එහිදී කටයුතු කළාද යන්න පිළිබඳවද බරපතළ සැකයක් මතුව තිබේ. මෙහිදී නාමල්ගේ උපාධි සහතිකය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ලන්ඩන් සංචාරය අතර සබඳතාවක් ඇති බවක් පෙනී යන්නේ ඉකුත් බදාදා දිනයේදී ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා හිටිහැටියේම නාමල්ට ලන්ඩනයේ ‘සිටි ඔෆ් යුනිවර්සිටි‘ විශ්වවිද්‍යාලයෙන් නිකුත් කොට ඇති උපාධි සහතිකය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් ඇති බවට ප්‍රකාශ කිරීමත් සමගය.

එහිදී නලින්ද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මෙවැනි කතාවකි.

‘නාමල් සිටි යුනිවර්සිටි ලන්ඩන් කියන ආයතනයෙන් ලබාගත් උපාධි සහතිකය ඔහු ඉදිරිපත් කරල තියෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ශාස්ත්‍රපති උපාධියට ලියාපදිංචි වීම සඳහා. ඒ උපාධි සහතිකය නිකුත් කරල තියෙන්නෙ 2009 සැප්තැම්බර් 15. තමුන් ඒ සහතිකයට අස්සන් කරපු උපකුලපතිවරයා ජූලි 23 වැනිදා ඉල්ලා අස්වෙලා තියෙනවා. ඒ උපකුලපතිවරයා ඉල්ලා අස්වෙලා දින 54කට පස්සෙ තමයි, උපාධි සහතිකයේ උපකුලපති ලෙස ඒ පුද්ගලයා අත්සන් කරන්නෙ. ඒ නිසා ඔහුගේ උපාධි සහතිකය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් ඒ වෙඩ් අඩවිවලින් මතුකරලා තියෙනවා.’ යනුවෙන් නලින්ද එහිදී කියා සිටියේය.

මීට පෙර නාමල් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥ උපාධියට පෙනීසිටීම මුල්කරගෙනද මහත් ආන්දෝලනයක් රට ඇතුළේ මතුව තිබුණත් කිසිදු අවස්ථාවක නාමල්ගේ ලන්ඩන් උපාධිය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් මතුව තිබුණේ නැත. නමුත් නලින්ද හිටිහැටියේම පාර්ලිමේන්තුව ඇතුළේ දේශපාලන බෝම්බයක් පත්තු කරමින් ‘සිටි ඔෆ් යුනිවර්සිටි’ මගින් නිකුත් කර ඇති නාමල්ගේ උපාධි සහතිකය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න කීපයක්ම මතුව ඇති බවක් අනාවරණ කිරීමත් සමග එම තොරතුරු ආණ්ඩුවට ලබාදී ඇත්තේ හදිසි ලන්ඩන් සංචාරයක නිරතව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් බවට බොහෝ දෙනා තුළ සැක මතුව තිබේ. එමෙන්ම 21 වැනි දින පොහොට්ටුව ඇතුළු පක්ෂ කීපයක ප්‍රධානත්වයෙන් නුගේගොඩ පැවැත්වීමට නියමිත රැස්වීමට දින දෙකක් තබා මෙම ආන්දෝලනාත්මක තොරතුර පාර්ලිමේන්තුවේ අනාවරණ කිරීම හරහා පොහොට්ටුවට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමේ අවශ්‍යතාව ආණ්ඩුවට තිබුණු බවක්ද දැකගන්නට ලැබිණි. ඒ අනුව කඩිමුඩියේ මෙම සීමිත තොරතුරු පමණක් නලින්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් බරපතළ තොරතුරු රැසක් කරළියට පැමිණීමේ ඉඩකඩක් ඇති බවට සැකයක්ද මේ වනවිට බොහෝ දෙනා තුළ මතුව තිබේ.

නමුත් මේ සම්බන්ධයෙන් වහාම නාමල් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ආණ්ඩුව කළ මෙම චෝදනාවලට පිළිතුරු 21 වැනිදා නුගේගොඩ රැස්වීමේදී ලබාදීමට තමන් කටයුතු කරන බවකි. නලින්ද නාමල්ගේ ලන්ඩන් උපාධිය සම්බන්ධයෙන් කළ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙන්ම නාමල් ඊට ලබාදුන් පිළිතුර හරහා එම සිදුවීම 21 වැනි දිනෛන් අවසන් වනු ඇති බවක් කිසිසේත්ම සිතිය නොහැක. ඒ අනුව ඉදිරි මාස කීපය තුළ නාමල්ගේ මෙම ලන්ඩන් උපාධිය මෙරට ප්‍රධාන මාතෘකාවක් බවට පත්වනවා මෙන්ම පුවත් මවන සිදුවීමක් බවට පත්වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබේ. ඒ අනුව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තවත් බරපතළ සිදුවීම් කිහිපයක්ම සිදුවීමට නියමිතව ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමේ විශාල ඉඩකඩක් මේ වනවිට මතුව තිබේ. එමෙන්ම නාමල් නීතිඥවරයකු ලෙස කටයුතු කරන නිසා ඔහුට එරෙහිව අගවිනිසුරුවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වීමේ ඉඩකඩක්ද මතුව නැතුවා නොවේ.

ඒ අනුව දැන් බොහෝ දෙනා බලා සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ලන්ඩන් ගමනේ ඉදිරි ප්‍රතිඵලයන් දෙසය. දැනට ඇති තොරතුරුවලට අනුව රනිල්ගේ ලන්ඩන් ගමනේ තොරතුරු සෙවීමත් රනිල්ගේ ආණ්ඩුවේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකුගේ බි්‍රතාන්‍ය ගිණුමක් සම්බන්ධයෙන් තොරතුරු සොයාබැලීමත්, හිටපු දේශපාලනඥයන් සහ ප්‍රබල නිලධාරීන් රැසකගේ සඟවා ඇතැයි කියන වත්කම් සම්බන්ධයෙන් සොයාබැලීමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ලන්ඩන් ගමනේ අරමුණු වී තිබිණි. ඒ අනුව තිරය පිටුපස මේ වනවිට සිදුවීම් විශාල ප්‍රමාණයක් කඩිමුඩියේ සිදුවෙමින් පවතින බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එක්තරා සිදුවීමකින් පසුගිය සතියේ ඒ බව මනාව තහවුරු විය. ඒ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී ජනාධිපති ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමන් ඒකනායක මහතා සම්බන්ධයෙන් විභාග වූ නඩු නිමිත්තකදීය. එහිදී සමන් ඒකනායක මහතා සිය දියණියට දරුවකු ලැබීම හේතුවෙන් විදේශගත වීමට අවසර ඉල්ලා අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණ. නමුත් එහිදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සියල්ලන්ම පුදුමයට පත්කරන ආකාරයේ තොරතුරක් අධිකරණයට දැනුම් දීමට පියවර ගත්තේය. එහිදී සමන් ඒකනායක මහතාට විදෙස්ගත වීමට අවසර ලබාදීමට විරෝධය පළ කළ දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දී සිටියේ මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩු කටයුත්තට අදාළ සියලු පරීක්ෂණ අවසන් අදියරේ පවතින බවත්, මසක් වැනි කෙටි කාලයක් ඇතුළතදී ඒ සියලු පරීක්ෂණ අවසන් කොට රනිල් ඇතුළු එම සිදුවීමට සම්බන්ධ සියලු දෙනාටම එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවත්ය. එවැනි වටපිටාවකදී ජනාධිපති ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමන් ඒකනායක මහතාගේ සාක්ෂිය ඉතා ප්‍රබල එකක් වන බැවින් ඔහුට විදේශගත වීමට අවසර ලබාදීම බරපතළ තත්ත්වයක් බව දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කොට තිබිණි. එම තොරතුර දිලීප පීරිස් මහතා විසින් අධිකරණයට දැනුම් දීමත් සමග සමන් ඒකනායක මහතා වෙනුවෙන් ඉදිරිපත්ව සිටි නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයට දැනුම් දී සිටියේ විදෙස්ගත වීම සඳහා සමන් ඒකනායක මහතා අධිකරණයෙන් කර තිබූ ඉල්ලීම ඉවත් කරගැනීමට කටයුතු කරනවා යැයි කියාය. ඒ අනුව එම සිදුවීම හරහා පෙනී යන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ලන්ඩන් ගමන සාර්ථක අවසානයක් කරා පැමිණෙමින් පවතින බවය.

එජාපයේ ගිනිකෙළි

පොහොට්ටුව ඇතුළු විපක්ෂයේ පක්ෂ කීපයක ප්‍රධානත්වයෙන් 21 වැනිදා නුගේගොඩ පැවැත්වෙන රැස්වීම සම්බන්ධයෙන් කිසිදු මාධ්‍යයක් වාර්තා නොකළ අතිශය රහසිගත තොරතුරු විශාල ප්‍රමාණයක් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පාඨකයන්ට වාර්තා කිරීමට අපි කටයුතු කළෙමු. එහිදී අප මුලින්ම පෙන්වා දුන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම රැස්වීම අතට ගෙන එය එජාපයේ වැඩක් ලෙස රටට පෙන්වීම සඳහාත්, එය තමන්ගේ නායකත්වය යටතේ පවත්වන්නක් බව රටට පෙන්වීම සඳහාත් විශාල ගැටයක් ගසා තිබූ බවකි. ඒ අනුව පළමු වටයේදී මෙම රැස්වීමට සජබයත්, සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාත්, පොහොට්ටුවේ ප්‍රධානීනුත් නුගේගොඩ වේදිකාවට එක්කොට ගෙන එම පක්ෂ දෙකේ හයියෙන් විශාල ජනතාවක් කොළඹට ගෙන්වා තමන් මෙම විපක්ෂ බලවේගයට නායකත්වය ලබාදෙන බවත්, ඒ හරහා නැවත වතාවක් විපක්ෂයේ දේශපාලනය තමන්ගේ අතට ගැනීමට සැලසුම් කළ ආකාරයත් අප මෙම තීරයෙන් වාර්තා කළෙමු. රනිල් ගහන්නට ගිය මේ ගැටය පළමු වටයේදීම වටහා ගැනීම නිසා සජබය කළේ තම පක්ෂය ඊට සහභාගි නොවන බව මුල් අවස්ථාවේදීම නිල වශයෙන් දැනුම් දීමය.

කෙසේ වෙතත් අප කළ අනාවරණයෙන් පසුව රනිල් නැවත වතාවක් පොහොට්ටුව තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් උපයෝගී කරගැනීමට සූදානම් වන බවක් එම පක්ෂයේ ප්‍රධානීන්ටද වැටහී ගොස් තිබිණි. ඒ අනුව රනිල්ව නුගේගොඩ රැස්වීමෙන් ඉවත් කොට රැස්වීමේ තනි අයිතිය පොහොට්ටුව අතට ගැනීම සඳහා ලොකු ගේමක් පොහොට්ටුව පැත්තෙන් දියත් විය. ඒ අනුව නාමල් එජාපයට දැඩි කොන්දේසියක් ඉදිරිපත් කළ බව මෙම තීරයෙන් වාර්තා අප කියා සිටියේ හිටපු කිසිදු ජනාධිපතිවරයකුට නුගේගොඩ රැස්වීමට ගොඩවිය නොහැකි බවට කොන්දේසියක් නාමල් විසින් ඉදිරිපත් කළ බවය. රනිල් එම කොන්දේසිය කඩන්නේ නම් තමන් 21 වැනිදා නුගේගොඩ වේදිකාවට ගොඩ නොවන බවද නාමල් එජාප ප්‍රධානීන්ට දැනුම්දී තිබූ බවක්ද අපි එහිදී කියා සිටියෙමු. ඉන් අනතුරුව අප අනාවරණ කළේ රනිල් වේදිකාවට නැගීමට සූදානම් වන නමුත් එහි කතාවක් සිදු නොකිරීමට තීරණය කර ඇති බවකි. නමුත් ඊටද පොහොට්ටුව පැත්තෙන් ප්‍රබල විරෝධයක් එල්ල වූ ආකාරයත්, ඒ අනුව අවසානයේදී රනිල් නුගේගොඩ රැලියට එක් නොවීමට තීරණය කළ ආකාරයත් අප මෙම තීරයෙන් එකින් එක තොරතුරු වාර්තා කළෙමු.

මීට අමතරව ඉකුත් නොවැම්බර් 09 වැනිදා ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ තවත් විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ නුගේගොඩ රැස්වීමට එජාපය එක්වීම සම්බන්ධයෙන් එජාපය ඇතුළේද බරපතළ අර්බුදයක් මතුව ඇතැයි කියාය. එහිදී නම් ගම් ඉදිරිපත් කරමින් අප කියා සිටියේ එජාපයේ දෙතුන් දෙනකු පමණක් පොහොට්ටුව සමග එක්ව රනිල් කරන මෙම ගේම් දේශපාලනයට අත ඔසවන නමුත්, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක්ම ඊට එරෙහි ස්ථාවරයක සිටින බවය. විශේෂයෙන්ම එජාප ජ්‍යෙෂ්ඨයකු වන නවීන් දිසානායක එජාපය සහ පොහොට්ටුව එකතු කිරීමේ රනිල්ගේ මෙම උත්සාහයට දැඩි විරෝධයක් පළකරන බවත්, ඔහු 21 වැනිදා පොහොට්ටු වේදිකාවට ගොඩ නොවීමට තීරණය කොට ඇති බවත්, නවීන් සමග එජාප ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුම එක්ව සිටින බවත් අප එදින ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කළෙමු. පහත පළවන්නේ එදා අප කළ එම අනාවරණයය.

නොවැම්බර් 09 ‘රාජ්‍ය රහස්’ කළ හෙළිදරව්ව

රනිල්ට එරෙහිව කැරැල්ලක්
‘….රනිල් ගසන මේ දේශපාලන ගේම් දැනට එජාපය ඇතුළේ ඉතිරිව සිටින ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනාටද හොඳ හැටි වැටහී ඇති බවක් දැකගන්නට තිබේ. ඒ අනුව අප මෙවර රාජ්‍ය රහස් තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටින්නේ රනිල්ට එරෙහිව නැවත වතාවක් එජාපය ඇතුළේ බරපතළ කැරැල්ලක් නිර්මාණය වෙමින් පවතින බවය. විශේෂයෙන්ම එජාපයට අරක් ගෙන සිටින රනිල්-වජිර-සාගල යන ත්‍රිමුර්තියට එරෙහිව එජාපයේ ජ්‍යෙෂ්ඨයන් දැඩි තීන්දුවකට යෑමට තීරණය කොට ඇති බවය.

එහි පළමු ඉඟිය වී ඇත්තේ එජාපයේ නියෝජ්‍ය නායකයා වූ රුවන් විජේවර්ධන සියලු දේශපාලන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කොට තිබීමය. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ රුවන් දැනටමත් තමන් එජාපයේ නියෝජ්‍ය නායකකමෙන් ඉවත් වන බවත්, ඒ වෙනුවට වෙනත් අයකු නියෝජ්‍ය නායක තනතුරට පත්කරන්නා ලෙසත් රනිල්ට දැනුම් දී ඇති බවය. තමන් ටික කාලයකට දේශපාලනය කිරීම නවත්වා පවුලේ ව්‍යාපාර වෙනුවෙන් කාලය කැපකරන බව රුවන් පක්ෂ නායකත්වයට දැනුම්දී ඇති බවද දැනගන්නට තිබේ. මෙම දැනුම්දීමෙන් අනතුරුව මේ දක්වා රුවන් පක්ෂයේ කිසිදු කටයුත්තකට සහභාගි වී ඇති බවක් දැනගන්නට නැත.

මෙය තමන්ට එරෙහිව එල්ල වූ ප්‍රබල ප්‍රහාරයක් නිසා පසුගිය සතිය පුරාම මෙම තොරතුර පිටතට යෑම වළක්වා ගැනීම සඳහා රනිල් විශාල උත්සාහයක් දරා තිබිණි. රුවන්ගෙන් හිස්වූ නියෝජ්‍ය නායක තනතුරට වෙනත් පුද්ගලයකු පත්කළහොත් ඒ හරහා පක්ෂ අර්බුදය එළියට යන නිසා එම තනතුර හිස්ව තැබීමටද රනිල් කටයුතු කොට තිබිණි.

එමෙන්ම තවත් එජාප ජ්‍යෙෂ්ඨයකු වන නවීන් දිසාසායක දැනටමත් ප්‍රකාශ කොට ඇත්තේ තමන්ද ලබන 21 වැනිදා පැවැත්වෙන නුගේගොඩ රැලියට සහභාගි නොවන බවය. ඒ අනුව අද අප මෙම තීරය ඔස්සේ තවත් විශේෂ අනාවරණයක් කරමින් කියා සිටින්නේ ලබන 21 වැනිදා නුගේගොඩදී පැවැත්වෙන රැලියට එජාපයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක්ම සහභාගි නොවීමට තීන්දු කොට ඇති බවය. රාජිතද පසුගිය සතියේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී කියා සිටියේ පොහොට්ටුව සමග තවදුරටත් දේශපාලනය කිරීමේදී හොඳ නරක දෙපැත්තක් ඇති බවත්, තමන් ඒ බව දැනටමත් එජාපයට දැනුම් දී ඇති බවත්ය. ඒ අනුව රාජිතද බොහෝ දුරට 21 පැවැත්වෙන රැලියට සහභාගි නොවනු ඇත. ඒ අනුව 22 වැනිදා වනවිට රනිල්ට යන්තමින් හෝ ඉතිරිවී ඇති දෙතුන් දෙනාද ඔහුගෙන් ඉවත්ව රනිල්ට එරෙහිව ගසන ඊළඟ කැරැල්ලේ ඉදිරිපෙළ සාමාජිකයන් වනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය.

රනිල්ට එරෙහිව එජාපය ඇතුළේ කැරැලි ආරම්භ වූයේ අද ඊයේ නොව, 2005 සිටය. එහි ප්‍රතිඵලයක් වූයේ 100කට ආසන්න මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් සිටි එජාපය රනිල්ගේ නායකත්වය යටතේ බින්දුවටම වැටී එකදු මන්ත්‍රීවරයකුවත් නොමැති තත්ත්වයට පත්වීමය. ඒ අනුව මෙවර රනිල්ට එරෙහිව පක්ෂය ඇතුළේ ඇතිවෙමින් යන කැරැල්ල බොහෝ දුරට රනිල්ට එරෙහි අවසන් කැරැල්ල වනු ඇත. අප එසේ කියන්නේ එජාප-සජබ සමගියට ඉඩදී වහාම පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසට වූ ප්‍රබල යෝජනාවක් පක්ෂයේ ඉතිරිව සිටින ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඉතා නුදුරු දිනෙකදී රනිල්ට ඉදිරිපත් වීමට නියමිතව තිබීම නිසාය. බොහෝ දුරට මෙම යෝජනාව ඉදිරිපත් වීමෙන් පසු ඊට වැඩි ප්‍රසිද්ධියක් නොලැබෙනු ඇති බව අපගේ අදහසය. නමුත් දැනටමත් ඒ සම්බන්ධයෙන් තැන් කීපයකදීම විශේෂ සාකච්ඡා වට ආරම්භ වී ඇති බව පමණක් සඳහන් කරමින් එජාප කැරැල්ලේ පළමු අදියර අවසන් කිරීමට අපි කටයුතු කරමු…’

නවීන් සට අරඹයි

අප කළ මෙම අනාවරණය තහවුරු කරමින් මීට සති දෙකකට ඉහතදී පැවැති එජාප කළමනාකරණ කමිටු රැස්වීමේදී නවීන් නුගේගොඩ රැස්වීමට සිය විරෝධය ප්‍රසිද්ධියේම පළකිරීමට පියවර ගෙන තිබිණි. එහිදී නවීන් පැහැදිලිවම කියා සිටියේ එජාපය පොහොට්ටුව සමග තවදුරටත් දේශපාලනය කිරීමට තමන් විරුද්ධ බවත්, පොහොට්ටුව සමග තවදුරටත් කිසිදු දේශපාලනයක් සිදු නොකොට එජාපය සජබය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු සිදුකළ යුතු බවත්ය. එජාපයේ දේශපාලන සංස්කෘතිය සහ පොහොට්ටුවේ දේශපාලන සංස්කෘතිය අහසට පොළොව මෙන් බව කී නවීන්, එකම ප්‍රතිපත්තියක්, එකම දර්ශනයක් සහිත සජබය සමග එක්ව ඉදිරියට යෑමට එජාපය කටයුතු කළ යුතු බවද එහිදී කියා සිටියේය. නවීන් සිටි ස්ථාවරයේ තවත් එජාප ජ්‍යෙෂ්ඨයන් කීප දෙනකුම සිටින බවද එහිදී දැකගන්නට ලැබීම විශේෂ සිදුවීමක් විය. කෙසේ වෙතත් එම කළමනාකරණ කමිටු රැස්වීමෙන් පසුව හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැඳවමින් රනිල් තීන්දු කොට සිටියේ 21 වැනිදා නුගේගොඩ පැවැත්වෙන රැස්වීමට එජාපයද සහභාගි විය යුතු බවටය. නමුත් එම තීන්දුව ගැනීමේදීද බරපතළ ප්‍රශ්න කීපයක්ම මතුවී තිබිණි. සාකච්ඡාව ආරම්භ කරමින් රනිල් එහිදී කියා තිබුණේ ‘අපිට දැන් වෙන යන්න තැනක් නෑ. ගහන්න පුළුවන් හොඳම ගේම් එක තමයි පොහොට්ටුවත් එක්ක එකතු වෙලා පොහොට්ටුව ඇතුළට රිංගලා ගේමක් ගහන එක…’ යැයි කියාය. නමුත් රනිල් කළ එම ප්‍රකාශයටද එහි සිටි බොහෝ දෙනකුගේ විරෝධය පළවූ ආකාරය දැකගන්නට ලැබිණි. එහෙත් රනිල් එම යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවකට එක්වූ එජාප මහලේකම් තලතා අතුකෝරල මහත්මිය සඳහන් කළේ 21 වැනිදා නුගේගොඩ රැස්වීමට සහභාගි වීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දු කළා යැයි කියාය.

නමුත් එජාපය ගත් මෙම තීන්දුවට බරපතළ විරෝධයක් එල්ල කළේ වෙන කවුරුවත් නොව අප මුල සිටම තොරතුරු වාර්තා කළ නවීන් දිසානායකය. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වීමෙන් පසු නවීන් සිය ‘එක්ස්’ ගිණුමේ විශේෂ පණිවුඩයක් තබමින් කියා සිටියේ පොහොට්ටුව සමග එජාපය කරන දේශපාලනයට තමන් විරෝධය පළකරන බවත්, 21 වැනිදා පැවැත්වෙන රැස්වීමට තමන් සහභාගි නොවන බවත්ය.

නමුත් විශේෂම කාරණාව වූයේ නවීන් මෙම ‘එක්ස්’ පණිවුඩය නිකුත් කොට දවස් දෙකක් ගතවන තෙක්ම කිසිදු මාධ්‍යයක් ඒ සම්බන්ධයෙන් වාර්තා කොට නොතිබීමය. එය පළමු වාර්තා කළේ අප වෙබ් අඩවිය වන අඅඅගප්අර්ඒබැඅිගකන වෙබ් අඩවිය මගිනි. ඒ අනුව අප මෙම අනාවරණයත් සමග එය ලැව් ගින්නක් මෙන් දේශපාලන ක්ෂේත්‍රය පුරා හමායන ආකාරයක් දැකගන්නට ලැබිණි. එම අනාවරණයත් සමග රනිල්ද දැඩි කලබලයට පත්ව වහාම හරීන් කැඳවා මෙම ප්‍රශ්නය සමතයකට පත්කර ගැනීමට සහ ඉන් එජාපයට සිදුවන හානිය වළක්වා ගැනීම ඔහුට භාරදීමට පියවර ගත්තේය. ඒ අනුව හරීන් කළේ පක්ෂය ඇතුළේ කිසිදු ගැටුමක් නොමැති බව සහ සියලු දෙනාම එකමුතුව වැඩ කරන බව පෙන්වීම සඳහා විශේෂ රැස්වීමක් සංවිධාන කිරීමය. ඒ අනුව එම රැස්වීමට නවීන්ට පමණක් නොව, මේ වනවිට තාවකාලිකව දේශපාලනයෙන් සමුගෙන ඇති එජාප නියෝජ්‍ය නායකයා වූ රුවන් විජේවර්ධනටද ආරාධනා කිරීමට හරීන් පියවර ගත්තේය.

මීට සති දෙකකට ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රුවන් සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ දැනට මාස තුනක සිට රුවන් පක්ෂයේ කිසිදු දේශපාලන වැඩකටයුත්තකට සහභාගි වීමෙන් වැළකී සිටින බවය. ඒ අනුව කිසිදු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකට හෝ කළමනාකරණ කමිටු රැස්වීමකට සහභාගි නොවන බවත්, වසර 5ක කාලයක් සඳහා දේශපාලන කටයුතුවලින් ඉවත්ව පවුලේ ව්‍යාපාර කටයුතු බලාකියා ගැනීමට තමන් කටයුතු කරන බවත් රුවන් රනිල්ට දැනුම්දී තිබූ බව අප එහිදි වාර්තා කළෙමු. ඒ අනුව සිය නියෝජ්‍ය නායක තනතුරෙන් තමන් ඉවත් වීමට කටයුතු කරන බවත්, තම තනතුර පක්ෂයේ වෙනත් අයකුට ලබාදෙන ලෙසත් රුවන් විසින් රනිල්ට දැනුම් දෙනු ලැබ තිබූ බවද අපි මෙම තීරයෙන් වාර්තා කළෙමු. අප කළ එම අනාවරණය රුවන්ගේ පැත්තෙන් හෝ රනිල්ගේ පැත්තෙන් කිසිදු අවස්ථාවක ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කොට තිබුණේ නැත. කෙසේ වෙතත් පක්ෂය ඇතුළේ එකමුතු බව පෙන්විය යුතු නිසා හරීන් මෙම සාකච්ඡාවට රුවන්ටද ආරාධනා කර තිබූ අතර, හරීන් සිය හිතවතා වීම නිසාදෝ මාස තුනකට පසු රුවන් එජාපයේ මෙම සාකච්ඡාවට සහභාගි වී සිටි බවක් එහිදී දැකගන්නට ලැබිණි.

ඒ අනුව මෙම සාකච්ඡාව සඳහා කලින් සැලසුම් කළ ආකාරයට ආසන පැනවීම සිදුකිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව රනිල් සමීපයේ අකිල, තලතා, වජිර, හරීන්, රාජිත, සාගල යන අය අසුන්ගෙන තිබූ අතර, කොනක ආසනය නවීන්ට පනවා තිබූ බවක් දැකගන්නට ලැබිණි. ඒ අනුව මෙම සාකච්ඡාවේ ඡායාරූප ගෙන මාධ්‍යයට ලබාදී පක්ෂයේ සියලු දෙනා එකමුතුව එක ස්ථාවරයක සිටින බව පෙන්වීමට රනිල් ඇතුළු කණ්ඩායමට අවශ්‍යව තිබූ බවක් දැකගන්නට ලැබිණි. එමෙන්ම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් සහ කළමනාකරණ කමිටුව මගින් 21 රැස්වීමට යා යුතු බවට සම්මත කොට තිබියදී නැවත වතාවක් මෙම සාකච්ඡාවේදීද එම මාතෘකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රනිල් කටයුතු කළේය. ඒ පිළිබඳ අදහස් විමසද්දී මීට පෙර 21 රැස්වීම සම්බන්ධයෙන් සහ පොහොට්ටුව සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටිමින් අදහස් පළකළ රාජිත, සියල්ලන්ම පුදුමයට පත්කරමින් සිය ස්ථාවරය වෙනස් කොට අදහස් පළකිරීම විශේෂ සිදුවීමක් විය. සාමාන්‍යයෙන් රාජිත සැලකෙන්නේද දිනෙන් දින සිය ස්ථාවරයන් වෙනස් කරන දේශපාලනඥයකු ලෙසටය. එක දවසක රාජිත දේශපාලනඥයන්ගේ හොඳ කියන අතර, ඊළඟ දවසේ එම දේශපාලනඥයන්ට කුඩුවෙන්නට ගැසීම රාජිතගේ සිරිතය. ඒ අනුවදෝ රාජිත මෙහිදී කියා සිටියේ තමන් මෙම රැස්වීමට තමන් මෙම රැස්වීමට යෑමට තීන්දු කළ බවය.
‘දැන් මිනිස්සු පාරට බහින්නයි යන්නේ. ආණ්ඩුවට ලොකු විරෝධයක් එළියේ තියෙනවා කියලා දැන් පේන්න තියෙනවා. ඒ හින්දා මමත් 21 වැනිදා රැස්වීමට යන්න තීන්දු කළා. අනෙක දැන් සජිත් අනුරත් එක්ක ඩීල් එකක් දාගෙනයි ඉන්නේ. මට පේන්නේ සජිත්ට තියෙන කේස් ගැන දැන් එයා බයෙන් ඉන්නවා වගේ. අපි මේකත් එළියට දාන්න ඕනේ…’ යනුවෙන් කියමින් රාජිත අමුතුම ලයින් එකක් එළියට දැමීමට පියවර ගත්තේය.

කෙසේවෙතත් රාජිත මේ අයුරින් සජිත් ගැන කියද්දී බොහෝදෙනා රාජිත දෙස බලා සිටියේ ඇස් ලොකුකරගෙනය. ඊට හේතුව වන්නේ රාජිත අමාරුවේ වැටුණු සෑම අවස්ථාවකදීම සජිත් කොන්දේසි විරහිතව ඔහු වෙනුවෙන් පෙනී සිට පසුබිමක රාජිත මේ අයුරින් සජිත්ට දොස් තැබීම නිසාය. රාජිත අත්අඩංගුවේ පසුවද්දී පවා සජිත් උදේ සවස සිරගෙදරට ගොස් රාජිතගේ දුක සැප සොයාබැලීමට කටයුතු කොට තිබූ බව රාජිතට අමතකව තිබුණද එහි සිටි පිරිසට එය අමතකව තිබුණේ නැත.

මේ ආකාරයට රාජිත සිය ස්ථාවරය වෙනස් කරමින් 21 වැනිදා රැස්වීම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දැක්වීමත් සමග කලින් සැලසුම් කළ ආකාරයකටදෝ තලතා එක් එක්කෙනාගෙන් 21 වැනිදා රැස්වීමට යන්නේද යන්න පිළිබඳ විමසීමට පියවර ගත්තේය. ඒ අනුව ආසන පනවා තිබූ ආකාරයට මෙම ප්‍රශ්නයට පිළිතුරු දුන් බොහෝ දෙනා කියා සිටියේ තමන් ඊට සහභාගි වනවා යැයි කියාය. ඒ අනුව අවසාන ප්‍රශ්නය යොමුවීමට නියමිතව තිබුණේ කොනටම වන්නට ආසනය පනවා තිබූ නවීන් දිසානායකටය. ඒ අනුව සියලු දෙනාම තමන් රැස්වීමට පැමිණෙන බවට පිළිතුරු දෙන බව දන්නා නිසා නවීන්ද ඒ අනුව යමින්, ‘එහෙනම් මමත් රැස්වීමට එනවා’ යනුවෙන් කියනු ඇති බව බොහෝ දෙනා සිතා සිටියද නවීන් දන් පිළිතුරෙන් නවීන් යනු ගාමිණී දිසානායකගේ පුතා බව මේ සියලු දෙනාටම එහිදී දැකගත හැති විය. ඒ අනුව තලතා නවීන්ගෙන් 21 රැස්වීමට එනවාද කියා විමසද්දී සාකච්ඡා මේසයේ සිටි සියලු දෙනාම පුදුමයට පත්කරමින් නවීන් කෙළින්ම කියා සිටියේ තමන් කිසිසේත්ම මෙම රැස්වීමට සහභාගි නොවන බවය. සිය ස්ථාවරය කිසිසේත්ම වෙනස් නොකරන බව දැඩිව කියා සිටි නවීන් එපමණක් නොව තමන් මින් මතු කිසිදු දිනක රාජපක්ෂවරුන් සමග දේශපාලනය සිදු නොකරන බවද කියා සිටියේය. නවීන්ගේ මෙම පිළිතුරත් සමග පක්ෂයේ එකමුතුභාවය ඇති බව සහ පක්ෂයේ සියලු දෙනා එක ස්ථාවරයක සිටින බව රටට පෙන්වීමට හරීන් ගැසූ ගේම හතරගාතේ දා කඩාගෙන වැටුණු ආකාරයක් දැකගත හැකි විය.

නවීන් එතැනින් නැවතුණේද නැත. සාකච්ඡාව අවසන් වීමත් සමග නැවත වතාවක් ‘එක්ස්’ පණිවුඩයක් තැබූ නවීන් අදාළ සාකච්ඡාවේ ඡායාරූපයක්ද පළකරමින් කියා සිටියේ 21 වැනිදා රැස්වීමට යන්නේද කියා තලතා තමන්ගෙන් විමසද්දී තමන් එය නැතැයි කියමින් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළා යැයි කියාය. එමෙන්ම රාජපක්ෂලා සමග එක්ව දේශපාලනය කිරීමෙන් එජාපයට කිසිදු යහපතක් සිදු නොවන බව කියා සිටි නවීන්, තමන් පළකළ මෙම ‘එක්ස්’ පණිවුඩය ස්ක්‍රීන් ෂොට් එකක් ගසාගෙන තබාගන්නා ලෙසටද සියල්ලන්ටම දැනුම්දී තිබිණි.

නවීන් දැක්වූ මෙම දැඩි ප්‍රතිචාරයත් සමග ප්‍රසිද්ධියේ නොකීවාට එජාපයේ අතිබහුතරයක් නවීන්ගේ ස්ථාවරයේ සිටින බව හරීන්ටද තේරුම් ගියා නිසැකය. ඒ අනුවදෝ එම සාකච්ඡාවෙන් අනතුරුව හරීන් ද්විත්ව චරිතයක් රඟපාන ආකාරයක් දැකගන්නට තිබිණි. ඒ අනුව බොහෝ දෙනා 21 වැනිදා පැවැත්වෙන රැස්වීම සම්බන්ධයෙන් හරීන්ගෙන් විමසද්දී ඔහුද තම සින්දුවේ තාලය තරමක් වෙනස් කර තිබූ ආකාරයක් දැකගත හැකි විය. මුලින් නුගේගොඩ රැස්වීමට යායුතු බවට වූ දැඩි ස්ථාවරයක සිටි හරීන් මෙම සිදුවීමෙන් පසු තමන්ට කතා කළ බොහෝ දෙනාට කියා සිටියේ, ‘මමත් කැමැති නෑ නාමල්ලාට. මේ ලොක්කා කියන නිසා තමයි මම මේක කරන්නේ…’ යැයි කියාය. ඒ අනුව අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයෙන් තවත් නොවරදින ආනාවැකියක් කීමට සූදානම්ය. ඒ, තවදුරටත් එජාපය රාජපක්ෂවරුන් සමග එකට දේශපාලනය කිරීමට යන ගමනේදී දැනට එජාපයට යන්තමින් හෝ ඉතිරි වී සිටින වටිනා කියන චරිත හය හතක් ඉදිරියේදී කවුරුත් නොසිතන තීන්දු තීරණ ගැනීමට සූදානමින් සිටින බවය. දැනටමත් ඊට අදාළ සිදුවීම් ගණනාවක්ම තිරය පිටුපස සිදුවෙමින් පවතින බව පමණක් සඳහන් කරමින් මෙවර එම මාතෘකාව අවසන් කිරීමට අප සුදානම්ය.

රනිල් ලොකු පූජාවක?

මේ අතර, රනිල්ට නුගේගොඩ රැලිය තහනම් වූ පසුබිමක් යටතේ එජාප ජ්‍යෙෂ්ඨයන් රනිල්ගෙන් විමසා තිබුණේ අඩුම තරමේ රැලියේ වේදිකාවට ගොඩ නොවන්නේ නම් රැලිය බැලීමට හෝ නුගේගොඩට පැමිණෙන ලෙසය. නමුත් එහිදී රනිල් ඔවුන්ට කියා සිටියේ තමන්ට එදින නුගේගොඩට පැමිණීමට නොහැකි බවත්, එදිනම අලුයම් කාලයේ මෛත්‍රී වික්‍රමසිංහ සමග තමන් ඉන්දියාව බලා පිටත් වන බවත්ය. මේ සම්බන්ධයෙන් අප කළ සොයාබැලීමකදී දැනගන්නට ලැබුණේ රනිල් මෙසේ ඉන්දියාව බලා යන්නේ හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ මංගල උත්සවයට සහභාගි වීමට යැයි කියාය. ජීවන් තොණ්ඩමන් විවාහ වීමට නියමිතව ඇත්තේ ඉන්දියාවේ වෛද්‍යවරියක වන සීතායි ශ්‍රී නාච්චියාර් සමගය. ඇය ඉන්දියාවේ ප්‍රකට දේශපාලකයකු මෙන්ම ව්‍යාපාරිකයකුද වන ආරුගම් පිල්ලෙයි මහතාගේ මිණිපිරියක වේ. ඊට රනිල්ට අමතරව මහින්ද ඇතුළු තොණ්ඩමන් පවුලට හිතවත් දේශපාලනඥයන් කීප දෙනකුට ආරාධනා කර ඇති බව කියැවේ.

එම මංගල උත්සවය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 23 වැනි දින චෙන්නායි නුවරය. සාමාන්‍යයෙන් ලංකාවේ සිට චෙන්නායි බලා ගුවනින් යෑමට විනාඩි 45ක පමණ කාලයක් ප්‍රමාණවත් වුවත් රනිල් ඊට දින දෙකක් පෙරාතුව, නුගේගොඩ රැස්වීමද කට ළඟ තබා හදිසියේම ඉන්දියාව බලා පිටත්ව යෑමට තීරණය කර තිබීම බොහෝ දෙනාට ප්‍රශ්නයක් වී තිබිණ. ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී බොහෝ දෙනා සැක මතු කරන්නේ රනිල් සිය ඉන්දීය සංචාරයේදී බොහෝ විට තමිල්නාඩු සහ කේරළ ප්‍රාන්තවලට මායිම්ව තිබෙන අතිශය ජනප්‍රිය සහ හාස්කම් ඇතැයි කියැවෙන ගුරුවායුර් කෝවිලේ විශේෂ පූජාවකට සහභාගි වීමට මෙසේ දින දෙකකට පෙර ඉන්දියාවට ගොස් ඇතැයි කියාය.

රනිල් සහ කේරළයේ ගුරුවායුර් කෝවිල අතර පවතින්නේ ඉතිහාසගත සබඳතාවකි. රනිල් මෙසේ ගුරුවායුර් කෝවිලේ පූජාවන් සඳහා සහභාගි වන පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර පළමු වරට 2008 වසරේදී අතිශය රහසිගත ලෙස ගුරුවායුර් ශ්‍රී ක්‍රිෂ්ණ කෝවිලේ පූජාවකට සහභාගි වීමට රනිල් ඉන්දියාව බලා ගියේය. ඒ 2008 ජුනි මාසයේදීය. එදින අලුයම 5.00ට කිසිවකුටත් නොදන්වාම ගුරුවායුර් කෝවිල වෙත පැමිණි රනිල්, විශේෂ පූජාවකට සහභාගි වීමට පියවර ගෙන තිබිණි. මෙම ගමන පසුව මාධ්‍ය වෙත වාර්තා වුවද 2008ට පෙරද එක් වතාවක් රනිල් ඉතා හොර රහසේ ගුරුවායුර් කෝවිලට ගොස් විශේෂ පූජාවක නිරතව තිබිණි. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු තැනක තොරතුරු වාර්තා නොවීමට රනිල් වගබලාගෙන තිබිණි.

ඉන් අනතුරුව 2015 සිය බිරිය වූ මෛත්‍රී වික්‍රමසිංහ සමගද රනිල් ගුරුවායුර් කෝවිලේ විශේෂ පූජාවකට සහභාගි විය. 2015 අප්‍රේල් 18 වැනි දින දහවල් 11.15ට ගුරුවායුර් කෝවිලට ගිය රනිල්, එදින කෝවිලේ විශේෂ පූජාවක් ලෙස සැලකෙන ‘තුලාබරම්‘ පූජාවට සහභාගි වීමට පියවර ගත්තේය. එම පූජාවේ විශේෂත්වය වන්නේ කෝවිලේ ඇති විශාල තරාදියේ එක් පසෙක රනිල් වාඩිවී සිටිද්දී ඔහුගේ බරට තරාදියේ අනෙක් පස සඳුන් දර පූජා කිරීමය. ඒ අනුව එදා රනිල් තමාගේ බර වූ කිලෝ 77ට සමාන බරකින් ගුරුවායුර් කෝවිලට සඳුන් දර පූජා කිරීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් ගුරුවායුර් කෝවිලේ ලොකුම පූජාව ලෙස සැලකෙන්නේ අලියකු කෝවිලට පූජා කිරීමය. ඒ අනුව එසේ කෝවිලට පූජා කළ අලින් විශාල ප්‍රමාණයක් කෝවිල අවට ගැවසෙන ආකාරය දැකගැනීමට පුළුවන. මෙවර පක්ෂය ඇතුළෙන් නායකත්වයට එරෙහිව තවත් කැරැල්ලක් නිර්මාණය වී ඇති පසුබිමක සහ විපක්ෂයේ රැලියෙන් රනිල්ව එළියට දැමූ පසුබිමක මෙසේ රනිල් හදිසියේම ජීවන්ගේ මංගල්‍යයට දින දෙකක් තබා ඉන්දියාව බලා පිටත්ව ගියේ ගුරුවායුර් කෝවිලට අලියකු පූජා කරන්නට දැයි කියන්න දන්නේ නැත.

සුමන්තිරන්ලා අනුරව හමුවෙයි

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව තමිල් අරසු කච්චි පක්ෂය සමග පැවැත්වූ දෙවැනි සාකච්ඡාව පසුගිය බදාදා දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මේ ආකාරයට සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යොමුකොට මාස 06කට පසු ජනාධිපති කාර්යාලය පැත්තෙන් මෙම සාකච්ඡාව දෙමළ සන්ධානයට ලබාදීම විශේෂත්වයකි. ඒ අනුව සාකච්ඡාවට යෑමට පෙර තමිල් අරසු කච්චි පක්ෂ මන්ත්‍රීවරු විශේෂ සාකච්ඡාවක් පවත්වමින් ජනාධිපතිවරයා ලබාදී තිබූ කාලවේලාව ඵලදායී ආකාරයට, ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන ආකාරයට යොදාගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වූහ. ඒ අනුව ආරම්භයේදීම සුමන්තිරන් ඇතුළු තමිල් අරසු කච්චි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සියලු දෙනාම දැනුම්දී සිටියේ අනවශ්‍ය කරුණු හෝ අවශේෂ ප්‍රශ්න ජනාධිපතිවරයාට ඉදිරිපත් කොට කාලය කා නොදමා දෙමළ ජනතාවට බලපාන ප්‍රධානම ප්‍රශ්න දෙක වූ පළාත් සභා මැතිවරණය සම්බන්ධ ප්‍රශ්නයත්, අලුත් ව්‍යවස්ථාවක් හරහා උතුරු-නැගෙනහිරට දේශපාලන විසඳුම සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවය. ඊට හේතුවී තිබුණේ ඉකුත් වතාවේ ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී ප්‍රධාන කරුණු පසෙක තිබියදී ශ්‍රීදරන් මන්ත්‍රීවරයා උතුරේ ගංවතුර ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කතාවක් ඇදගෙන සාකච්ඡාවෙන් විශාල කාලයක් කාදැමීම නිසාය. ඒ අනුව සුමන්තිරන් සාකච්ඡාවට සූදානම් වෙමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සහ උතුරු-නැගෙනහිරට ලබාදෙන දේශපාලන විසඳුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අතීතයේ කළ ප්‍රකාශ, ලියකියවිලි සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී යෝජනා සියල්ල ලිපිගොනුවක් ලෙස සකස් කරගැනීමට පියවර ගත්තේය.

ඒ අනුව ජනාධිපතිවරයා සමග සාකච්ඡාව ආරම්භයේදීම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මාතෘකාව තමිල් අරසු කච්චි පක්ෂයෙන් ඉදිරිපත් කෙරිණි. එහිදී දැනට පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් තර්කානුකූලව කරුණු සහ නෛතික ප්‍රතිපාදනයන් ගෙනහැර දැක්වීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. ජනාධිපතිවරයා කියා සිටියේ පවතින නීතිමය තත්ත්වය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ වාතාවරණයක් සහ නීතියක් නොමැති බවකි. එමෙන්ම පැරැණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බවට නිර්දේශයක් ඇති බව කී ජනාධිපතිවරයා එම නිසා එය ඉරා වීසිකළ නොහැකි බවත්, නව ක්‍රමයකට මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අලුත් සාකච්ඡාවක් ආරම්භ කළ යුතු බවත් පෙන්වා දුන්නේය.

නමුත් එහිදී ජනාධිපතිවරායගේ තර්කය බිඳහෙළමින් සුමන්තිරන් කියා සිටියේ එම කරුණ අසත්‍යයක් යැයි කියාය. එවැනි නිර්දේශ කිසිවක් නොමැති බව කී සුමන්තිරන් අධිකරණයද ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කොට ඇති බවද කියා සිටියේය. එමෙන්ම සිය ලිපිගොනුවෙන් විශේෂ ලිපියක් ගත් සුමන්තිරන් 09 වැනි පාර්ලිමේන්තුවේදී ඔහු විසින් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවද ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය. ඊට අනුව ඡන්දය පැවැත්විය හැකි බවත්, එම යෝජනාවට එදා ජවිපෙ සහාය දැක්වූ බවත් සුමන්තිරන් අවධාරණය කළේය. නමුත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ එම අවස්ථාවේදී ඊට බෙදීමක් තිබුණේ නැති බවකි. නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් වහාම සුමන්තිරන් කියා සිටියේ එසේ නම් එම යෝජනාව සාකච්ඡා අවස්ථාවේ පැවැතියදී ජවිපෙ නියෝජිතයා වශයෙන් විජිත හේරත් පැමිණ ඊට විරුද්ධ නොවූයේ මන්දැයි කියාය. ඊට ජනාධිපතිවරයාගෙන් නිශ්චිත පිළිතුරක් ලැබෙන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. නමුත් අවසානයේදී ජනාධිපතිවරයා කියා සිටියේ පළාත් සභා ඡන්දය පවත්වන්නේ කුමන ක්‍රමයකටද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කර ඇති කමිටුවට තමිල් අරසු කච්චි පක්ෂයේ යෝජනා ලබාදෙන ලෙසටය.

ඉන් අනතුරුව සාකච්ඡා කෙරුණේ අලුත් ව්‍යවස්ථාවක් සම්බන්ධ මාතෘකාවය. එහිදීද සුමන්තිරන් තමන් රැගෙන ආ ලිපිගොනුවේ අලුත් ව්‍යවස්ථාවක් සහ දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මාලිමාව මැතිවරණ සමයේදී දැරූ ස්ථාවරය සම්බන්ධයෙන් වූ ප්‍රකාශ සහ සාක්ෂි ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. ඊට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් වූ ක්‍රියාමාර්ගවලට යොමුවීමට ආණ්ඩුව සූදානමින් සිටින බවකි.

පසුව සාකච්ඡා වූයේ මේ දිනවල ත්‍රිකුණමලයේ බුදු පිළිමයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්ය. එහිදී ශානක්‍යයන් රාසමානික්කම් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ අවශ්‍ය නම් ඊට එරෙහිව විරෝධතා පැවැත්වීමට හැකියාව තිබුණත් උතුරේ හෝ නැගෙනහිර කිසිදු තැනක ජනතාව පාරට බැස්සවීමට හෝ උද්ඝෝෂණ කිරීමට සිය පක්ෂය කටයුතු නොකළ බවකි. ඊට ජනාධිපතිවරයා විශේෂ ස්තුතියක් පළකළ ආකාරයක්ද දැකගත හැකි විය.

ලංකාදීප බොරුව

සජිත් එජාපයේ සිටියදීත්, එජාපයෙන් ඉවත් වූ පසුවත් එජාප නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා සජිත්වත්, සජබයත් විනාශ කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගත්තේය. රනිල් ජනාධිපතිවරයා වූ පසු පක්ෂයෙන් 40ක පමණ කණ්ඩායමක් කඩාගෙන නැවත එජාපයට එක්කර ගැනීමට ගේම් ගැසුවේය. සජබයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ට විමධ්‍යගත අරමුදල් ලබාදුන්නේය. තවත් සමහරුන්ට බාර් ලයිසන් ලබාදුන්නේය. තවත් සමහරුන්ට ඉඩම්, ඉන්ධනහල් ලයිසන් ලබාදුන්නේය. නමුත් සජබයෙන් එක් අයකු හෝ කඩාගැනීමට රනිල්ට හැකියාව ලැබුණේ නැත.
මීට අමතරව සිය පවුලට සහ රුවන් විජේවර්ධනට අයත් ලංකාදීප, සන්ඩේ ටයිම්ස් පුවත්පත් සමූහය උපයෝගී කරගනිමින් සජිත් සහ සජබයට එරෙහිව අසත්‍ය පුවත් පළකොට දැවැන්ත මඩ ප්‍රචාරයක් ගෙන ගියේය. සජිත් සහ සජබය අපහසුතාවට පත්වන ආකාරයේ පුවත් පළ කළේය. පසුගිය කාලය පුරාම අප ලංකාදීපයේ සහ සන්ඩේ ටයිම්ස් පුවත්පත්වල පළවූ එවැනි ආකාරයේ අසත්‍ය පුවත් රැසක් ‘රාජ්‍ය රහස්’ තීරයේ පළකිරීමට පියවර ගත්තෙමු.

මෙවර අප පළකිරීමට යන්නේ ලංකාදීප පුවත්පත පසුගිය සතියේ පළකළ තවත් එවැනි අසත්‍ය පුවතක් පිළිබඳවය. පසුගිය අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී සජබ සන්ධානයේ සිටින මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් සහ රාධක්‍රිෂ්ණන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම මුල් කරගෙන අයවැයට පක්ෂව ඡන්දය ලබාදීමට පියවර ගත්තේය. එම තීරණය ඔවුන් ගෙන තිබුණේ සජිත් සහ සජබය සමගා සාකච්ඡා කර පූර්ව එකඟතාවකින් යුක්තවය.

නමුත් එම සිදුවීමෙන් පසු ලංකාදීපය පුවතක් පළකරමින් කියා සිටියේ අයවැයට පක්ෂව ඡන්දය දුන් මනෝ ගනේෂන්ට එරෙහිව සජබය විනය පරීක්ෂණයක් පැවැත්වීමට සූදානමින් සිටිනවා යැයි කියාය. මේ පුවත පළවීමත් සමග සජබ බිම් මට්ටමේ පාක්ෂිකයන් සහ ආසන සංවිධායකවරුන් පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට කතාකොට මෙම කතාවේ ඇත්ත නැත්ත විමසා සිටීමට පියවර ගත්තේය. මෙහිදී ඒ සියලු දෙනාම කියා සිටියේ ලංකාදීපයේ පළකළ එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවය. ඒ අනුව ඊට එරෙහිව සජිත් සිය ලිපි ශීර්ෂය යටතේ නිවේදනයක් පළකිරීමට පියවර ගත්තේය. පහත පළවන්නේ එම නිවේදනයය.

‘අයවැයට පක්ෂව ඡන්දය දුන් මනෝට විනය ක්‍රියාමාර්ගයක්’ මැයෙන් ලංකාදීපයේ වාර්තා කළ ප්‍රවෘත්තිය මා තරයේ හෙළාදකිමි.

සමගි ජන සන්ධානය නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මනෝ ගනේෂන් මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂය තුළ ඉල්ලීම් ඉදිරිපත්වී ඇති බවට ලංකාදීප පුවත්පත හරහා වාර්තා කර ඇති ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත්, එය පදනම් විරහිත නිර්මාණයක් බවත් මා සමගි ජන සන්ධානයේ නායකයා ලෙස අවධාරණය කරමි.

සමගි ජන බලවේගයේ කිසිදු ක්‍රියාකාරිකයකු හෝ කණ්ඩායමක් විසින් ගරු මනෝ ගනේෂන් මන්ත්‍රීතුමාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවත්, එවැනි පියවරක් ගැනීමට කිසිසේත්ම බලාපොරොත්තු නොවන බවත් මා ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි.

රට බරපතළ අර්බුදයක පවතින මොහොතක එම තත්ත්වය යටපත් කරමින් විපක්ෂයේ සමගිය බිඳදැමීමේ සහ මහජනතාව නොමග යැවීමේ නීච අරමුණෙන් ක්‍රියාත්මක වන ඇතැම් ‘මාධ්‍ය කොන්ත්‍රාත්කරුවන්’ගේ මෙවැනි අභූත චෝදනා සහ නොමග යැවීම් මා පිළිකුලෙන් යුතුව හෙළාදකිමි.

මීට පෙරද මොවුන් විසින් අවස්ථා ගණනාවකදී සමගි ජන බලවේගයේ නායකයා වන මා හට එරෙහිවද මඩ ප්‍රචාර දියත් කරමින් සමගි ජන බලවේගය තුළ අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සාහ දැරූ අතර, එය ඉටු නොවූ කල යළිත් වටයකින් සමගි ජන සන්ධානයට සම්බන්ධ පක්ෂ නායකයන් සහ අප අතර විරසකයක් නිර්මාණය කිරීමට කුමන්ත්‍රණ දියත් කරමින් සිටින බව මෙවැනි ප්‍රවෘත්ති හරහා හොඳින්ම පැහැදිලි වේ.

ජනතාව ප්‍රතික්ෂේප කළ පරාජිත දේශපාලකයන්ගේ අරමුණ වී ඇත්තේ පිරිසිදු දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් අප සමග පෙළගැසී සිටින විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් අතර ගැටුමක් නිර්මාණය කර යළිත් වටයකින් එහි වාසිය ජනතාව තලාපෙළන රජයට ලබාදීමය.

ජනාධිපතිවරණයේ සිටම ඔවුන්ට අවශ්‍යව තිබුණේ කුමක්ද යන්න මේ රටේ බුද්ධිමත් ජනතාවට දැන් හොඳින්ම පැහැදිලි වෙමින් තිබේ. කලක් මෙම මාධ්‍ය ආයතනය තුළ සේවය කළ පුද්ගලයන් වර්තමානයේ එම පරාජිත දේශපාලනඥයන්ගේ මාධ්‍ය කොන්ත්‍රාත්තුව භාරගෙන සිටින බවද අපි දනිමු.

මා හට මෙන්ම සමගි ජන බලවේගය සමබන්ධවද අසත්‍ය පුවත් මැවීම හරහා එම පුවත්පත් ආයතනය මේ වනවිට ජනතාව අතර ප්‍රතික්ෂේප වී ඇති අයුරු මුළු රටටම පෙනෙන්නට තිබේ.
බංකොලොත් දේශපාලනයේ අවශ්‍යතා ඉටුකිරීමේ ප්‍රතිඵල ලෙස අද එම ආයතනයට සේවක වැටුම් ගෙවීමට පවා නොහැකිව, සේවක අයිතීන් උල්ලංඝනය කරමින් සිටින පසුබිමක, ඔවුන්ට අවධාරණය කිරීමට ඇත්තේ බොරු ප්‍රචාර ඔස්සේ මා ඇතුළු සමගි ජන බලවේගය කිසිදු ලෙසකින් බිඳදැමීමට නොහැකි බවයි.

සමගි ජන බලවේගයේ නායකයා ලෙස සහ විපක්ෂ නායකවරයා ලෙස මෙවැනි අසත්‍ය සහ ද්වේෂසහගත ප්‍රචාරණයන් මා තරයේ හෙළාදකින අතර, මෙලෙස අසත්‍ය තොරතුරු ජනගත කරමින් ජනතාව මුළා කිරීම්වලට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද අදාළ මාධ්‍ය ආයතනවලට සහ පුද්ගලයන්ට අවධාරණය කර සිටිමි.

සජිත් ප්‍රේමදාස
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

පට්ට සතුටෙන් ආදරයෙන් ඉන්න… ! මේ දවස් ටික මගහැර ගන්න එපා..! Sri Lanka Latest News

Next Post

කඩුගන්නාවේ සිද්ධියෙන් සජිත් කම්පා වෙයි! ජීවිත අහිමිවූ පවුල්වලට ශෝකය පළකරමින් විශේෂ පණිවුඩයක් තියයි! I Sri Lanka Latest News

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.