• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අර්ජුන් මහේන්ද්‍රන්.. රාජපක්ෂලාගේ අමෙරිකානු වත්කම්..! ආණ්ඩුව ගහපු ගේමක ප්‍රතිපල හෙට අනිද්දා එළියට එන්නයි යන්නේ…! රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

November 16, 2025
in Exclusive, Rajya Rahas
Reading Time: 12 mins read
A A
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවත් සටනට

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේදී රටට දුන් ප්‍රධාන පොරොන්දු දෙකක් විය. ඉන් එකක් වූයේ මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වැරැදිකරුවන් කනෙන් අල්ලාගෙන විත් දඬුවම් ලබාදෙන බවය. දෙවැන්න රාජපක්ෂ පවුල පිටරටවල සඟවා ඇති ධනය යළි මෙරටට රැගෙන එන බවය. ආණ්ඩුව බලයට පත්ව වසරක් ගතවී ඇතත්, තවමත් මේ සම්බන්ධයෙන් ඇඟට දැනෙන, ඇහැට පෙනෙන කිසිවක් කොට නොතිබූ නිසා විපක්ෂයේ කණ්ඩායම් බොහෝ අවස්ථාවලදී නෝන්ඩියට මෙන් ආණ්ඩුවේ වගකිවයුත්තන්ගෙන් අසා සිටියේ ‘කෝකියපු විදිහට මහබැංකුව කඩපු අර්ජුන මහේන්ද්‍රන් අල්ලගෙන ආවද…?’ ‘රාජපක්ෂලා උගන්ඩාවේ හංගපු සල්ලි ගෙනාවද…?’ යැයි කියාය. ආණ්ඩුව පැත්තෙනුත් මේ චෝදනාවලට නිසි පිළිතුරක් ලබා නොදුන් නිසා හැමෝම පාහේ සිතා සිටියේ ආණ්ඩුවේ මේ පොරොන්දු දෙකම තවත් කඩවුණු පොරොන්දු ලෙස හමස් පෙට්ටියට දමා කාලයේ වැලිතලාවෙන් වසා දමනු ඇතැයි කියාය.Sri Lanka Latest News

නමුත් මෙවර අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ මේ කරුණු දෙක සම්බන්ධයෙන් පළමුවරට අතිවිශේෂ හෙළිදරව්වක් රටට සිදුකිරීමට සූදානම්ය. අප මේ හෙළිකරන්නේ මෙතෙක් කිසිදු මාධ්‍යයකින් අනාවරණ නොකළ අතිවිශේෂ තොරතුරු කීපයකි. ඒ අනුව පසුගිය කාලයේදී මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එළියට නොපෙනුණද ඉතා සියුම් විමර්ශනයක් සහ අතිශය රහසිගත ගනුදෙනුවක් ආණ්ඩුව ඇතුළේ සිදුවෙමින් පවතින බවට රාජ්‍ය රහස් තීරය වෙත තොරතුරු ලැබී තිබේ. මේ ගනුදෙනුව ආරම්භ වූයේ මීට සති කීපයකට පෙරාතුව ආණ්ඩුව සමග ඉතාම හිතවත්ව කටයුතු කරමින් ලන්ඩනයේ වාසය කරන මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ පළකළ ආන්දෝලනාත්මක ඡායාරූපයක් සමගිනි. එම ඡායාරූපයේ දැක්වුණේ මහබැංකුවේ හිටපු අධිපතිවරයා වූත්, බැඳුම්කර වංචාවට ප්‍රධාන චූදිතයා වූත් අර්ජුන මහේන්ද්‍රන්ය. ඔහුගේ උඩුකය නිරුවත් ඡායාරූපයක් පළකරමින් උවිඳු සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණේ අර්ජුන තමන් සමග විනාඩි ගණනාවක වීඩියෝ ඇමතුමක් ලබාගෙන ආගිය තොරතුරු කතා කළ බවත්, ඔහුගේ අවසරය ඇතිව තමන් එම වීඩියෝ ඇමතුමේ ඡායාරූපයක් සිය ෆේස්බුක් පිටුවේ පළකරන බවත්ය. එමෙන්ම අර්ජුන තමන්ට කතා කළේ ජනාධිපතිවරයාට පණිවුඩයක් ලබාදීමට බව කියා තිබූ උවිඳු, එම පණිවුඩය කුමක්ද යන්න සඳහන් නොකිරිමට වගබලාගෙන තිබිණි. අර්ජුන මහේන්ද්‍රන් ලංකාවෙන් පිටව ගිය පසු ඔහුගේ සජීවී ඡායාරූපයක් සමාජ මාධ්‍යයක පළවූ පළමු අවස්ථාව මෙය විය.

අර්ජුන යනු සිංගප්පූරු වැසියකු වීම හේතුකොට ගෙන බැඳුම්කර පරීක්ෂණ සම්බන්ධයෙන් අදාළ විමර්ශනවලට ඔහු ගෙන්වා ගැනීමට මහත් බාධාවක් වී තිබුණේ සිංගප්පූරුවේ පවතින නීතිරීතිය. මෙම නීතිරීති නිසා පසුගිය කාලයේදී කියැවුණේ අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන ඒමට නොහැකි බවත්, එම නිසා බැඳුම්කර විමර්ශන අතරමග නැවතී ඇති බවත්ය. මේ නිසා බොහෝ දෙනා සිතුවේ ආණ්ඩුව පොරොන්දු වුවද මහබැංකු වංචාවේ ප්‍රධාන වගකිවයුත්තන්ට කිසිදු දිනෙක දඬුවම් ලබාදිය නොහැකි වනු ඇතැයි කියාය. නමුත් මේ වනවිට අපට ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ අර්ජුන මහේන්ද්‍රන්ගේ එම ඡායාරූපය එළියට පැමිණීමෙන් පසු කිසිවකුත් නොසිතූ ආකාරයට මහබැංකු වංචාවේ විමර්ශන අවසන් අදියරට පැමිණෙමින් තිබෙන බවය. ඒ අනුව කිසිවකුත් නොසිතන අතිවිශේෂ සිදුවීමක් නුදුරු දිනෙකදීම මෙරට බොහෝ දෙනාට දැකගන්නට හැකිවනු ඇති බවත්, මහබැංකු බැඳුම්කර වංචාවේ මහමොළකරුවන් කවුද, එම වංචාකාරී ගනුදෙනුව සිදුවූයේ කෙසේද යන්න පිළිබඳ සියලු තොරතුරු ජනතාවට දැකගත හැකි වනු ඇති බවත් අපගේ විශ්වාසයය.

ඒ අනුව නුදුරු දිනෙකදීම මහබැංකු වංචාව සම්බන්ධයෙන් විමර්ශන කරන ආයතනයකට අදාළ ප්‍රබලම චරිත දෙකක් සිංගප්පූරු සංචාරයක නිරත වීමට සැලසුම් සකස් කොට තිබේ. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ අතිශය රහසිගත සාකච්ඡාව වට කිහිපයකට මෙම ප්‍රබලයන් දෙදෙනා සිංගප්පූරුවේදී සහභාගි වීමට නියමිතව ඇති බවකි. මෙහි වැඩිදුර තොරතුරු අප සතුව නැතත්, කිසිවකුත් නොසිතන ප්‍රතිඵලයකට සහ අවසානයකට මේ සාකච්ඡා කේන්ද්‍රගත වනු ඇති බව පමණක් මෙහිදී අපට ලියා තැබිය හැකිය. යම් හෙයකින් එම සාකච්ඡා සාර්ථක වුවහොත් මහබැංකු බැඳුම්කර වංචාවේ පරීක්ෂණ කිසිවකුත් නොසිතන අවසානයකට ළඟාවනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයය. එමෙන්ම ආණ්ඩුව එය ඔවුන්ගේ විශාල දේශපාලන ජයග්‍රහණයක් ලෙස සහ ඉදිරි දේශපාලනය සඳහා ගැසිය හැකි ප්‍රබල දේශපාලන තුරුම්පුවක් ලෙස මේ ප්‍රතිඵලය යොදාගන්නවා නිසැකය.

එපමණක් නොව ආණ්ඩුව මැතිවරණ සමයේදී ජනතාවට ලබාදුන් රාජපක්ෂවරුන්ගේ විදේශයන්හි සඟවා ඇති දේපළ අත්පත් කරගැනීම සම්බන්ධයෙන් තවත් ප්‍රබල තොරතුරක් හෙළිකිරීමට මෙවර අප සුදානම්ය. ඒ අනුව අතිශය රහසිගත ආකාරයට ඇමෙරිකානු රජයේ යම් යම් ප්‍රබල ආයතන සමග එරට ඇති රාජපක්ෂ පවුලට අයත් වත්කම් සම්බන්ධයෙන් ලොකු ගනුදෙනුවක් සහ සාකච්ඡාවක් ආණ්ඩුව පවත්වමින් සිටින බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහිදී අතිශය රහසිගත තොරතුරු රැසක් මේ වනවිටත් දෙපාර්ශ්වය හුවමාරු වී ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව අද අප අතිවිශේෂ හෙළිදරව්වක් ලෙස වාර්තා කර සිටින්නේ කිසිදු ප්‍රචාරයක් නොමැතිව ඇමෙරිකානු ආයතන සමග තිරය පිටුපස මෙම සාකච්ඡා සිදුවෙමින් පවතින බවකි. ලංකාව පැත්තෙන් ඊට අවශ්‍ය තොරතුරු ලබාදෙද්දී ඇමෙරිකාව පැත්තෙන්ද රාජපක්ෂවරුන්ගේ නම්වලට ඇති ඇමෙරිකානු දේපළ පිළිබඳ විශාල තොරතුරු ප්‍රමාණයක් ලබාදී ඇති බවක් දැනගන්නට ඇත. ආණ්ඩුව පැත්තෙන් හෝ ඇමෙරිකාව පැත්තෙන් මේ සම්බන්ධයෙන් කිසිදු නිල තොරතුරක් ප්‍රසිද්ධ කර නොමැති නමුත් ඉදිරියේදී ඊට අදාළ බරපතළ අනාවරණයක් සිදුකිරීමට නියමිතව ඇති බවක් දැනගන්නට ඇත. එසේ වුවහොත් ආණ්ඩුව එයද දේශපාලන වේදිකාවේ විශාල තුරුම්පුවක් ලෙස භාවිත කිරීමට කටයුතු කරන බව නිසැකය.

එමෙන්ම රාජපක්ෂවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් පැවැත්වෙන මෙම පරීක්ෂණයේ යම් සාර්ථක අවසානයක් ළඟා කරගත හැකි වුවහොත් ආණ්ඩුව මේ වනවිට සැලසුම් කර ඇත්තේ නිසැක වශයෙන්ම ලබන වසරේ තුන්වැනි කාර්තුවේ පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමටය. එහිදී ආණ්ඩුව පැත්තෙන් මැතිවරණ වේදිකාවේ ප්‍රධාන තුරුම්පු දෙක ලෙස පාවිච්චි කරනු ඇත්තේ මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ආණ්ඩුව අත්පත් කරගත් ජයග්‍රහණයත්, රාජපක්ෂවරුන්ගේ සඟවා ඇති දේපළ සම්බන්ධයෙන් අත්පත් කරගත් ජයග්‍රහණයත්ය.
ඒ සමගම පසුගිය සතිය වනවිට තවත් ප්‍රබල ගනුදෙනු කීපයක් සම්බන්ධයෙන් පැවැති පරීක්ෂණ අවසන් කිරීමට අදාළ විමර්ශන අංශ කටයුතු කොට ඇති බවද ආරංචිය. ඒ අනුව ඔවුන් සූදානමින් සිටින්නේ ඉදිරි දින කීපය ඇතුළත මෙම සිදුවීම්වලට අදාළව ප්‍රබල චරිත කිහිපයකට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමටය. මෙම නඩු පැවරීම්ද කිසියම් කාලසටහනකට අනුව සිදුවීමට නියමිතව ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

රනිලුත් සබීතාගේ බාල්දියේ

අප මේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කරන්නේ කිසිදු මාධ්‍යයක පළ නොවන සහ කිසිදු මාධ්‍යයකට නොලැබෙන දේශපාලනයේ තිරය පිටුපස අතිශය රහසිගත තොරතුරුය. එම තොරතුරු අප මෙහි පළකරන්නේද පාර්ශ්ව කීපයකින්ම ඒ සම්බන්ධයෙන් තහවුරු කරගැනීමෙන් අනතුරුවය. ඒ අනුව මීට සති කීපයකට ඉහතදී ‘මව්රට’ පුවත්පත ඔස්සේ අප විශේෂ අනාවරණයක් කරමින් පසුගිය කාලයේ සිදුවූ මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් මුල් කරගෙන හිටපු ජනාධිපතිවරයකුගෙන් ළඟදීම ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බව වාර්තා කර සිටියෙමු. එහිදී වැඩිදුරටත් කරුණු සඳහන් කරමින් අප කියා සිටියේ රාජගිරියේ පිහිටි ‘සබීතා බිල්ඩිම’ යනුවෙන් ප්‍රකට ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට කුලියට ගැනීම මුල්කරගෙන විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇති බවත්, එම ගනුදෙනුව පසුපස විශාල දූෂණයක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇති බවත්ය. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරෙන අතරවාරයේ හිටිහැටියේම පසුගිය සතියේ අල්ලස් කොමිසම මගින් හිටපු ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙසට කැඳවීමක් කොට තිබිණී.

නමුත් මෛත්‍රි මෙසේ අල්ලස් කොමිසමට කැඳවනු ලැබුවේ කුමන කරුණක් නිසාද, එහිදි මෛත්‍රීපාල ලබාදුන් ප්‍රකාශය කුමක්ද යන්න පිළිබඳ කිසිවකුත් දැන සිටියේ නැත. නමුත් අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙසේ මෛත්‍රී කැඳවා තිබුණේ සබීතාගේ ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට කුලියට ලබාගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා යැයි කියාය. මන්ද ඊට අදාළ කැබිනට් පත්‍රිකාව එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කොට තිබුණේ මෛත්‍රී ජනාධිපතිවරයාව සිටියදී ය. දැවැන්ත මුදලක් ඊට යෙදවීම සම්බන්ධයෙන් එකල මහත් ආන්දෝලනයක් හටගත් අතර, එය මුල්කරගෙන මෛත්‍රී හා රනිල් අතර ගැටුමක්ද එකල ආරම්භ වී තිබිණි. මේ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා මෛත්‍රී වෙනම කමිටුවක්ද පත්කිරීමට පියවර ගෙන තිබූ අතර, එහි අවසන් වාර්තාවද මේ වනවිට අල්ලස් කොමිසම සතුව ඇති බවක් ආරංචිය. දැන් එම පරීක්ෂණයද අවසන් අදියරට පැමිණ ඇති අතර, ඊට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ රනිල් වික්‍රමසිංහ මහතාව කැඳවීමට පෙර අල්ලස් කොමිසම ප්‍රකාශයක් ගැනීමට මෛත්‍රීපාලව කැඳවා තිබුණේ ඒ අනුවය. එහි ප්‍රතිපලයක් ලෙස නුදුරේදීම සබීතාගේ බිල්ඩිම කුලියට ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම හමුවට පැමිණ ප්‍රකාශයක් ලබාදීමට සිදුවනු ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

ඩාවුඩ් ලේසියට ගන්න එපා

මේ දිනවල දකුණු ආසියානු කලාපයේ ප්‍රධානම මාතෘකාව බවට පත්ව ඇත්තේ ඉන්දියාවේත්, පාකිස්තානයේත් අගනුවරවල සිදුවු මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයන්ය. පසුගිය සතිය ආරම්භයේදී ඉන්දියාවේ නවදිල්ලි නුවර කාර් බෝම්බයක් පුපුරා ගිය අතර, එය සිදුවී පැය 24ක් ඉක්ම යෑමට මත්තෙන් පාකිස්තානයේ අගනුවර වූ ඉස්ලාමාබාද් නුවරද කාර් බෝම්බයක් පුපුරා ගියේය. මෙම බෝම්බ පිපිරීම් සිදුවීමට දින කිහිපයකට පෙර ඉන්දියාවට අවශ්‍යව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම ලොව අංක එකේ පාතාල නායකයකු වශයෙන් සැලකෙන ඊබ්‍රාහිම් ඩාවුඩ් සම්බන්ධයෙන් අතිවිශේෂ පුවතක් ඉන්දීය මාධ්‍යවල මෙන්ම ලංකාවේ මාධ්‍යවලද පළවිය. එම පුවතින් කියැවුණේ ඉන්දියාවට අවශ්‍ය අංක එකේ පාතාල නායකයා වන ඊබ්‍රාහිම් ඩාවුඩ් ලංකාවේ එල්.ටී.ටී.ඊ.ය සමග එක්ව තමන්ගේ මත්ද්‍රව්‍ය ජාලය තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා ගිවිසුම්ගතව ඇති බවය. මෙම පුවත ඉන්දියාවේ ප්‍රධාන පෙළේ සියලු මාධ්‍ය වාර්තා කර තිබූ අතර, මෙරට සිංහල මාධ්‍ය වාර්තා නොකළද ඉංග්‍රීසි මාධ්‍යයේ පුවත්පත් කීපයක පමණක් මෙම තොරතුර වාර්තා කිරීමට කටයුතු කොට තිබිණි. පෙළක් මාධ්‍ය වාර්තා කොට තිබුණේ ඉන්දීය බුද්ධි අංශවලින් මෙම තොරතුර නිකුත් කොට තිබූ බවය. නමුත් ඉන්දීය ආණ්ඩුව හෝ ඉන්දීය බුද්ධි අංශ හෝ මෙම පුවත පිළිගත් බවක් හෝ ප්‍රතික්ෂේප කළ බවක් දැකගන්නට නොතිබීම විශේෂ සිදුවීමක් විය. ඉන්දීය මාධ්‍ය විශාල වශයෙන් මෙම තොරතුර වාර්තා කරමින් සිටියත් මෙරට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කියා තිබුණේ ඉන්දීය බුද්ධි අංශවලින් එවැනි තොරතුරක් මෙරට බුද්ධි අංශ වෙත ලබාදී නොමැති බවකි. නමුත් එම තොරතුරද ඉන්දියාව පැත්තෙන් තවමත් තහවුරු කොට ඇති බවක් හෝ ප්‍රතික්ෂේප කොට ඇති බවක් දැකගන්නට නැත.

කෙසේ වෙතත් මෙම තොරතුර වාර්තා කොට දින කීපයකට පසු නවදිල්ලි අගනුවර ත්‍රස්ත ප්‍රහාරය සිදුවූ අතර, ඉන් අනතුරුව ඉස්ලාමාබාද් නුවරත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුවිය. විමර්ශනවලින් අනතුරුව ඉන්දියාව මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස නිල වශයෙන් නම්කිරීමටද පියවර ගත්තේය. ඉන්දියාව සැක කරන්නේ මෙම ප්‍රහාරය පසුපස ඊබ්‍රාහිම් ඩාවුඩ් සිටින බවකි. ඊබ්‍රාහිම් ඩාවුඩ් යනු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින්ද අතිශය භයානක පුද්ගලයකු ලෙස නම්කර ඇති අයෙකි. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රබලයකු ලෙසත්, ත්‍රස්ත සංවිධාන කීපයක් සමගම දැවැන්ත සබඳකමක් ඇති පුද්ගලයකු ලෙසත් ඊබ්‍රාහිම් ඩාවුඩ් හඳුනාගෙන තිබේ. විශේෂයෙන්ම අල්කයිඩා සංවිධානය සමග මෙන්ම ලෂ්කාර් ඊ ටයිබා ත්‍රස්ත සංවිධානය සමගද ඩාවුඩ්ට විශේෂ සබඳතා ඇති බව පැවැසේ. කලක් ඩාවුඩ් ඩුබායිහි සැඟව සිට පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූවද මේ වනවිට ඔහු පාකිස්තානයේ සැඟව සිටිමින් කටයුතු කරන බව ඉන්දීය රජයේ චෝදනාව වී තිබේ.

කෙසේවෙතත් මේ කියන ඩාවුඩ් ඉන්දීය මාධ්‍ය කියන ආකාරයට ලංකාවේ එල්.ටී.ටී.ඊ.ය සමග මත්ද්‍රව්‍ය ජාලය ව්‍යාප්ත කිරීමට එකඟතාවක් ඇතිකරගෙන ඇත්නම් එය මෙරට ආරක්ෂක අංශවලට හෝ ආණ්ඩුවට පහසුවෙන් බැහැර කළ නොහැකි කාරණාවක් බව පසුගිය කාලයේ සිදුවූ සිදුවීම්වලින්ම වටහා ගැනීමට පුළුවන. මන්ද යත් ලංකාවේ දේශපාලන ඉතිහාසය ගතහොත් පසුගිය කාලයේදී දේශපාලන වශයෙන් විශාල වෙනස්කම් සිදුවීමට බලපෑ විවිධ ප්‍රහාර විවිධ මුහුණුවරින් සිදුවූ ආකාරයක් දැකගැනීමට පුළුවන. බොහෝ දෙනා චෝදනා කර සිටින, විශාල බල පෙරළියකට පාර කැපූ පාස්කු ප්‍රහාරය යනු අදටත් විසඳුමක් නොමැති දේශපාලන ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. එම නිසා ඉන්දීය මාධ්‍ය කළ මෙම අනාවරණය ඉතා පහසුවෙන් ඉවත දැමිය නොහැකි, ගණන් නොගෙන සිටිය නොහැකි කරුණක් බව බොහෝ දෙනාගේ අදහසය. කිසිදු මාධ්‍යයක් මේ සම්බන්ධයෙන් කතා නොකරන පසුබිමක අප මෙම තොරතුර මෙසේ වාර්තා කර තැබුවේද මේ පුවත පසුපස අතිශය භයානක සිදුවීම් පෙළක් ඇතිවීමේ අවදානමක් ඇති බව පෙනෙන්නට ඇති නිසාය. එම නිසා ඒ පිළිබඳ සූක්ෂ්ම විමර්ශනයක් සිදුකිරීම බලධාරීන්ගේ වගකීමය.

සජිත් නිසා කලබල

ඉන්දියාවේ නවදිල්ලි නුවර මෙම ත්‍රස්ත ප්‍රහාරය සිදුවීමට සතියකට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ එරට සංචාරය මුල්කරගෙන සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් අතිවිශේෂ හෙළිදරව්වක් පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි අනාවරණ කර සිටියෙමු. සාමාන්‍යයෙන් ඉන්දියාව ආවාට ගියාට මෙරට විපක්ෂ නායකවරයකුට ආරාධනා නොකරන බවත්, අතිශය තීරණාත්මක මොහොතක ඉන්දියාවෙන් සිදුකළ මෙම නිල ආරාධනාව පසුපස විශාල කතාවක් කියැවෙන බවත් අපි එහිදී වාර්තා කර සිටියෙමු. ඊට උදාහරණ ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ කාලයේ සිට අනුර කුමාර දිසානායක දක්වා මේ රටේ ජනාධිපතිවරුන් බලයට පත්වීමට පෙර ඔවුන් ඉන්දියාවට කැඳවූ ආකාරයත්, ඉන් අනතුරුව සිදුවූ බල පෙරළි පිළිබඳවත් අප මෙම තීරයේ වාර්තා කළෙමු. මේ හේතූන් නිසාම ඉකුත් සතියේ සජිත්ගේ ඉන්දීය ගමන මුල්කරගෙන එජාප නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ බොහෝ කලබලයට පත්වය. ඊට හේතුව ඉන්දියාව දැනටමත් සජිත්ගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් විශාල කියවීමක් සිදුකොට ඇති බව රනිල්ට වැටහී තිබීම නිසාය. ආරම්භයේ සිටම රනිල්ගේ එකම දේශපාලන න්‍යාය පත්‍රය වී තිබුණේ සජිත්වත්, සජබයත් විනාශ කිරීමය. ඒ නිසාම රනිල් ජනාධිපතිවරයා ලෙස පත්වූ දින සිටම කළේ එජාපය හෝ එජාප යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට කටයුතු කිරීම නොව, කෙසේ හෝ සජබය සහ සජිත්ව විනාශ කිරීමය. සජබය දෙකට කඩා සජිත්ව දුර්වල කිරීමය. මේ සඳහා එදා සිටම සජබයේ සිටින හය හත් දෙනකු අල්ලාගෙන තමන්ට අවශ්‍ය ආකාරයට හසුරුවා ගැනීමටද රනිල් කටයුතු කළේය. ඒ සඳහා දේශපාලන අල්ලස් වශයෙන් මත්පැන් බලපත්‍ර, කෝටි ගණන් විමධ්‍යගත අරමුදල්, වටිනා රජයේ ඉඩම් සහ ඉන්ධනහල් බලපත්‍ර යනාදිය ලබාදීමටද රනිල් කටයුතු කොට තිබිණි. ඒ හරහා අවස්ථානුකූලව සජබය සහ සජිත් අපහසුතාවට පත්කරන ආකාරයේ ක්‍රියාකාරකම් මෙන්ම ප්‍රකාශයන්ද ඔවුන් හරහා සිදුකරවා ගැනීමට රනිල් පසුගිය කාලය පුරාම පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත් මෙවැනි පසුබිමක් යටතේ මේ කරුණු කාරණා හොඳින් වටහාගෙන සිටි සජිත් පසුගිය කාලයේ රනිල් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී ඒ සියලු පසමිතුරුකම්, කුඩුකේඩුකම් පිළිබඳ නොසිතා රනිල්ව බේරාගැනීම සඳහා අවංක උත්සාහයක් ගත්තේය. දිනපතාම බන්ධනාගාරයටත්, ජාතික රෝහලටත් උදේ සවස ගොස් රනිල්ගේ දුක සැප සොයා බැලුවේය. පක්ෂයේ සහාය ඔහු නිදහස් කරගැනීම සඳහා අවංකව ලබාදුන්නේය. පාක්ෂිකයන් ඒ වෙනුවෙන් මෙහෙයවූයේය. මේ නිසාම බොහෝ දෙනා සිතුවේ රනිල්ද සජිත් සමග එකතු වී මේ පක්ෂ දෙක එකතු කොට ජයග්‍රාහී ගමනකට මුලපුරනු ඇතැයි කියාය. නමුත් රනිල් මේ සියල්ල අමතක කොට තමන්ට සුපුරුදු ප්‍රහාරය සජිත් ඉලක්ක කොට ආරම්භ කළේ රෝහලේ ඇඳ උඩ ප්‍රතිකාර ලබමින් සිටියදීමය. ඒ අනුව සජිත්ව අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පවසමින් බොරු පුවත් තමන්ගේ මස්සිනා වූ රුවන් විජේවර්ධන මහතාට අයත් ‘ලංකාදීප’ පුවත්පතේ පළකිරීමට රනිල් පියවර ගත්තේය. සජිත්ට එරෙහිව අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කොට ඇති බව කියමින් සජිත්ව අපහසුතාවට පත්කිරීමට පියවර ගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ මේ පක්ෂ දෙකට එකතු වීම සඳහා තිබූ ස්වර්ණමය අවස්ථාවක් රනිල් විසින් සැලසුම් සහගත ලෙස කඩාබිඳ දැමීමය.

සජිත්ගේ ඉන්දීය සංචාරය තුළදී ඉන්දීය රජයේ නායකයන්ගෙන් සජිත් ලැබුණු ඉහළ පිළිගැනීමෙන් පසු රනිල්ට නැවතත් මේ සුපුරුදු ලෙඩේ මතුවූ බවක් දැකගන්නට ලැබිණි. සාමාන්‍යයෙන් රනිල් පෙන්නාගෙන සිටින්නේ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති එකම නායකයා ඔහු යැයි කියාය. ජාත්‍යන්තර හිතවතුන් සිටින්නේ ඔහුට පමණක් යැයි කියාය. නමුත් සජිත්ට ඉන්දියාවෙන් ලැබුණු ඉහළ පිළිගැනීමත් සමග රනිල්ට ලොකු දේශපාලන ඊර්ෂ්‍යාවක් ඇතිවූ ආකාරයක් දැකගන්නට ලැබුණේ ඉකුත් සති අන්තයේ රනිල්ගේ පවුලේ පත්තරය වූ රුවන් විජේවර්ධනට අයත් ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ දේශපාලන තීරුවෙන් සජිත් ඉලක්ක කොට ප්‍රබල ප්‍රහාරයක් දියත් කොට තිබීම හරහාය. මේ දේශපාලන තීරුව ලියන අයද රනිල්ට ඇති ඥාති සබඳකම නිසාත්, හිතවත්කම නිසාත් මේසය උඩ වාඩිවී රනිල් කියන ඕනෑම දෙයක් ලියන තැනකට පත්ව තිබේ. මේ හේතුව නිසාම එදා බොහේ දෙනා කියවූ විශ්වාසදායක තොරතුරු ඇතුළත් තීරු ලිපියක් අද වනවිට කිසිවකුත් නොකියවන, කිසිදු තොරතුරක් නැති සහ විශ්වසනීයත්වයෙන් තොර දේශපාලන ලිපියක මට්ටමට වැටී ඇති ආකාරය දැකගන්නට පුළුවන. ඒ නිසාම ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ අලෙවියද විශාල වශයෙන් පහත වැටී ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන.

මෙහිදී රනිල්ට විශාල ප්‍රශ්නයක්ව තිබුණේ සජිත් ඉන්දීය සංචාරයට එක්කොට ගෙන තිබූ පුද්ගලයන් සම්බන්ධයෙනි. පක්ෂය ඇතුළේ ඉතා ඉහළ නම් ඇති පිරිස් සිටියද සජිත් මෙම ඉන්දීය සංචාරයට එක්කොට ගෙන තිබුණේ ඒ කවුරුවත් නොව, ඉහළම අධ්‍යාපනයක් ලැබූ විශේෂ තරුණයන් දෙදෙනෙකි. ඉන් එක් අයකු වන්නේ මෙරට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයකුව සිටි රියන්සි විජේතිලක මහතාගේ පුතා වන කුසුම් විජේතිලකය. ඔහු ආර්ථිකය සම්බන්ධයෙන්, බැංකු ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ප්‍රවීණයකු ලෙස ප්‍රකටය. එමෙන්ම රියන්සි යනු එජාපයට හිතවත් අයකු ලෙස සැලකුණද හැමදාම රනිල්ගේ ධනවාදී ආර්ථික ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කළ අයෙකි. ඒ නිසාම එදා සිට රනිල්ට රියන්සි සමග ලොකු දේශපාලන ආරෝවක් තිබිණි. සජිත් ඉන්දීය සංචාරයට මේ කියන රියන්සිගේ පුතා එක්කර ගැනීම රනිල්ට ඉවසුම් දුන්නේ නැත. එහි ප්‍රතිඵලය වූයේ සිය පවුලේ පත්තරය වූ ‘සන්ඩේ ටයිම්ස්’ දේශපාලන තීරු ලිපියෙන් ඉතා අසත්‍ය තොරතුරු රැසක් වාර්තා කොට පහත් අයුරින් ප්‍රහාර එල්ල කිරීමට පියවර ගෙන තිබීමය.

මීට අමතරව දිලිත් ජයවීර මහතාට අයත් ‘දෙරණ’ රූපවාහිනිය උපයෝගී කොටගෙනද සජිත් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කෙරිණි. ඒ, සජිත් ඉන්දියාවේදී 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බවට කර තිබූ ප්‍රකාශය මුල්කරගෙනය. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බව සජිත් පමණක් නොව වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාද ඉකුත් ජනාධිපතිවරණයේදී පැහැදිලිවම රටට පොරොන්දුවක් දී තිබිණි. ඒ නිසා සජිත් ඉන්දියාවේදී කළ මෙම කතාවේ අලුත් දෙයක් තිබුණේ නැත. මේ නිසාමදෝ ‘දෙරණ’ මගින් සජිත් ඉලක්ක කරගෙන ගෙනගිය ඒ කැම්පේන් එක කවුරුත් ගණන් ගත්තේ නැත. බොහෝ දෙනා සැක මතුකරන කාරණාවක් වන්නේ ‘දෙරණ’ හිමිකරු වන දිලිත් ප්‍රසිද්ධියේ සජබයට ප්‍රහාර එල්ල කළද, දිලිත් සහ රනිල් අතර ඉතා සමීප හිතවත්කමක් පවතින බවය. ‘දෙරණ’ මාධ්‍ය ජාලයේ න්‍යායපත්‍රය වී ඇත්තේද සජිත් අපහසුතාවට පත්වන ආකාරයේ වැඩසටහන් සිදුකිරීමය. මේ සම්බන්ධයෙන් අතිවිශේෂ හෙළිදරව් කිරීම් කීපයක් ඉදිරියේදී රටට හෙළිදරව් කිරීමටද අප සූදානම්ය.

හර්ෂත් කලබල වෙලා

මේ අතර, ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට අමතර සුපුරුදු පරිදි ‘ලංකාදීප’ පුවත්පතද උපයෝගී කරගනිමින් රනිල් මේ ප්‍රශ්නය සජබය ඇතුළේ අවුළුවාලීම සඳහා ඉන්දීය ගමනට සජිත් ගෙනගිය නියෝජිතයන් මුල්කරගෙන සජබය ඇතුළේ විශාල ප්‍රශ්නයක් මතුව ඇති බවත්, අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨයන් සිටියදී කිසිදු අත්දැකීමක් නැති තරුණයන් ඊට එක්කොට ගෙන ඇති බවත් කියමින් පුවතක් පළකිරීමටද පියවර ගෙන තිබිණි. රනිල් මෙම පුවත පළ කළේම සජබයේ ප්‍රධාන ආර්ථික ප්‍රකාශකයා වන ආචාර්ය හර්ෂ ද සිල්වා සිටියදී ඔහුව ලංකාවේ තබා තරුණ ආර්ථික විද්‍යාඥයකු සජිත් ඉන්දීය සංචාරයට එක්කර ගැනීම නිසා හර්ෂව උසිගැන්වීම සඳහාය. ඇත්ත වශයෙන්ම සජිත්ගේ ඉන්දීය සංචාරය මුල්කරගෙන හර්ෂටද ලොකු ගැටලුවක් තිබිණි. ඒ, ඉන්දීය මුදල් අමාත්‍යවරයා හමුවීමට නියමිත නිසා සජිත් මෙම ඉන්දීය ගමනට තමන්වද එක්කර ගනු ඇතැයි හර්ෂ සිතා සිටි නිසාය. නමුත් හර්ෂ සම්බන්ධයෙන් සජබය ඇතුළේ පසුගිය කාලයේ සිටම ලොකු ප්‍රශ්නයක් ඇතිව තිබිණ. ඒ, හර්ෂ රනිල්ගේ වුවමනාවට අනුව සජබය ඇතුළේ කටයුතු කරන්නකු බවට තොරතුරු වාර්තා වී තිබීමය. එදා සිටම රනිල් සජබය ඇතුළේ ගැටුම් ඇතිකිරීම සඳහා හර්ෂව පාවිච්චි කළ ආකාරය සජබය ඇතුළේ සිටින අයට රහසක් නොවේ. මේ නිසාම රනිල් ජනාධිපතිවරයාව සිටි සමයේ වෙනත් කිසිදු විපක්ෂයේ මන්ත්‍රීවරයකුට නොදෙන ආකාරයට විමධ්‍යගත අරමුදල් හරහා දැවැන්ත මුදල් කන්දරාවක් හර්ෂට ලබාදීමටද කටයුතු කොට තිබිණි. එවකදී විපක්ෂයේ සිටි අනුර පවා හර්ෂ ඇතුළු රනිල්ගේ හිතවතුන් කීප දෙනකුට මේ ආකාරයට මුදල් ලබාදීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකිරීමටද පියවර ගෙන තිබිණි. හර්ෂද පසුගිය කාලයේ සිටියේ සජිත්ව කෙසේ හෝ පක්ෂ නායකත්වයෙන් ඉවත් කර, සජබ නායකත්වයත්, විපක්ෂ නායකත්වයත් තමන් අතට ගැනීමේ උත්සාහයකය. හර්ෂට සජබයෙන් ලබාදුන් කෝට්ටේ ආසනය හෝ හරිහැටි සංවිධාන කරගැනීමට නොහැකි වීම නිසා පසුගිය මහ මැතිවරරණයේදී කෝට්ටේ ආසනය තුන්වැනි තැනට ඇදවැටී තිබිණි.

කෙසේ වෙතත් සජිත් ඇතුළු තවත් දෙදෙනකුට ඉන්දීය රජයෙන් ලැබුණු නිල ආරාධනාවට අනුව සජිත් පළමුව තෝරාගත්තේ අප පෙර කී පරිදි රියන්සි විජේතිලකගේ පුතාය. දෙවැනි නියෝජිතයා ලෙස සජිත් තෝරාගත්තේ කෝට්ටේ නාගරික මන්ත්‍රීවරයකු වූ චමිත් විජේසුන්දරය. චමිත් යනු කාලයක් සජිත්ගේ මාධ්‍ය අංශයේ කටයුතු කළ උපාධිධාරී අයෙකි. මීට අමතරව ඉන්දියාවේදී සියල්ල සම්බන්ධීකරණය සිදුකිරීමට අවශ්‍යව තිබූ නිසා තවත් එක් අයකු පමණක් සජිත් මෙම සංචාරයට එක්කර ගැනීමට කටයුතු කළේය. ඔහුද ඉතා උගත්, බුද්ධිමත් තරුණයකු ලෙස සැලකෙන අයෙකි. මීට අමතරව සජිත් මෙම ඉන්දීය සංචාරයේ තමන්ගේ තනි නොතනියට සිය හොඳම මිතුරා වූ ලකී ෆොන්සේකාවද රැගෙන ගියේය. ලකී ෆොන්සේකා යනු සජිත්ගේ හොඳම මිතුරා මෙන්ම ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකි. එදා සිටම සජිත්ගේ තනිනොතනියට සජිත්ගේ දුකට සැපට සිටි මිතුරා වූයේ මේ කියන ලකී ෆොන්සේකාය. ඒ අනුව ලකී තමන්ගේ පෞද්ගලික වියදමෙන් මේ සංචාරයට එක්ව සිටි නමුත් සජිත්ගේ නිල දූත පිරිසට ඔහු කිසිදු විටෙක සම්බන්ධ වූයේ නැත.

මේ ආකාරයට තමන්ගේ දූත පිරිසට පුද්ගලයන් ඇතුළත් කරගැනීම පක්ෂ නායකයා ලෙස සජිත්ට ඇති අයිතියකි. සජිත්ලා එජාපයේ සිටියදී එජාප නායක රනිල් අවස්ථා රැසකදී විදෙස්ගත වුවත් ඒ කිසිදු අවස්ථාවක පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ව හෝ දක්ෂයන්ව රැගෙන යෑමට රනිල් කටයුතු කළේ නැත. ඒ වෙනුවට රනිල් ඉන්දියාවට ගියද වෙනත් රටකට ගියද ඒ සෑම සංචාරයකටම එක්කර ගත්තේ සාගල රත්නායකය. එදා ඒ පිළිබඳ එජාපයේ කිසිවකුත් ප්‍රශ්න කිරීමට හෝ ගැටලුවක් ඇතිකිරීමට කටයුතු කළේ නැත.

කෙසේ වෙතත් ඉන්දීය රජයේ නිල ආරාධනාව ලැබීමත් සමග සජිත් විශාල වශයෙන් ප්‍රවේසම් වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ, යම් හෙයකින් එම තොරතුර එළියට ගියහොත් රනිල් හෝ ආණ්ඩුව හෝ විවිධ ක්‍රමවලින් මෙම ඉන්දීය ගමන කඩාකප්පල් කිරීමට කටයුතු කරනු ඇති බවට බොහෝ දෙනා අනතුරු අඟවා සිටි නිසාය. අනෙක් අතට සජබය ඇතුළේද රනිල්ගේ ඉත්තන් කීප දෙනකු සිටින බවද සජිත් හොඳ හැටි දැන සිටියේය. ඒ අනුව සිය ඉන්දීය සංචාරය පිළිබඳ පක්ෂය ඇතුළේ ප්‍රසිද්ධියේ කතාකළහොත් එය හැරෙන තැපෑලෙන් රනිල්ගේ කනට වැටෙන බවද සජිත් දැන සිටියේය. ඒ අනුව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ඉහළ නිලධාරීන් නිරතුරුව හමුවෙමින් ඔවුන් සමග ඉන්දීය ගමනේ කාලසටහන පිළිබඳ සාකච්ඡා කළත්, සජිත් ඒ කිසිදු අවස්ථාවක මෙම ගමන පිළිබඳ පක්ෂය ඇතුළේ කතා කරන්නට ගියේ නැත. අවසානයේදී විවිධ සංශෝධන සිදුකරමින් ඉන්දීය බලධාරීන් සමග අවසන් කාලසටහන පිළිබඳ එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව සජිත් අවසන් වරට පැවැති පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීමේදී සිය ඉන්දීය සංචාරය පිළිබඳ පක්ෂය දැනුවත් කිරීමට පියවර ගත්තේය. නමුත් එදින ඊට හර්ෂ ද සිල්වා සහභාගි වී සිටියේ නැත.

කෙසේ වෙතත් සජිත්ගේ යටිහිතේ තිබූ සැකය 100%ක්ම තහවුරු වූයේ සජිත් ඉන්දියාවේ නවදිල්ලි නුවරින් බහිද්දීම ඔහුගේ සංචාරය මුල් කරගෙන රනිල්ට හිතවත් වෙබ් අඩවි ඔස්සේ ප්‍රහාර එල්ල වීම ආරම්භ වීමත් සමගය. ඒ අනුව සජිත් සමග ඉන්දීය සංචාරයට එක්ව සිටි ලකී ෆොන්සේකාගේ ඡායාරූපය පළකරමින් මේ වෙබ් අඩවි කියා සිටියේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ලංකාවේ තබා සජිත් සිය හිතවතා ඉන්දියාවට රැගෙන ගොස් ඇතැයි කියාය. නමුත් රනිල්ගේ අනුදැනුම මත සිදුකෙරුණු මෙම මඩ මෙහෙයුමට වැඩි ආයුෂක් තිබුණු ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.

මේ ආකාරයට හර්ෂටද විවිධ පැතිවලින් සජිත්ගේ ඉන්දීය සංචාරය පිළිබඳ තොරතුරු වාර්තා වෙමින් තිබූ අතර, තමාගේ ආසනයේම නාගරික මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන චමිත් විජේසුන්දර සජිත් සමග ඉන්දියාවට ගොස් ඇති බවද හර්ෂට වාර්තා විය. ඒ අනුව දැඩි කලබලයට පත්වූ හර්ෂ ඒ මොහොතේම ඉන්දියාවේ සිටි චමිත් විජේසුන්දරට කතාකොට තමන්ට නොදන්වා ඉන්දියාවට යෑම පිළිබඳ ඔහුගෙන් විමසා සිටීමට පියවර ගත්තේය. එහිදී චමිත් කියා සිටියේ තමන් ගියේ පක්ෂ නායක සජිත්ගේ ආරාධනාවකට අනුව යැයි කියාය. සජිත්ගේ ඉන්දීය සංචාරය පිළිබඳ හර්ෂගේ කැලඹිල්ල වඩාත් උත්සන්න වූයේ එතැන් සිටය.

ඒ බව හොඳටම එළියට පැන්නේ හිරු නාලිකාවේ සලකුණ වැඩසටහනට එක්වෙමින් හර්ෂ පළකළ අදහස්වලදීය. මෙහිදී මාධ්‍යවේදීන් සජිත්ගේ ඉන්දීය සංචාරය පිළිබඳ විමසද්දී හර්ෂ කියා සිටියේ තමන් සජිත්ගේ ඉන්දීය සංචාරය පිළිබඳ කිසිවක් නොදන්නවා යැයි කියාය. සජිත් ඒ සම්බන්ධයෙන් පක්ෂය පවා දැනුවත් කොට නොමැති බවද හර්ෂ එහිදී කියා සිටියේය. හර්ෂගේ මෙම පිළිතුර ලබාදුන් විලාසයත්, හර්ෂගේ හf`ඩ් තිබූ ස්වරයත් හොඳ හැටි තේරුම් ගත් හිරු මාධ්‍යවේදීන් තව තවත් හර්ෂගෙන් හාර හාරා ඒ පිළිබඳ විමසද්දී සජිත් අපහසුතාවට පත්වන ආකාරයේ වචන කීපයක්ම ඔහුගේ කටින් පිටවන ආකාරය දැකගත හැකි විය.

නමුත් හර්ෂ මේ ප්‍රකාශය කොට පැය කීපයක් යෑමට මත්තෙන් සජබය ඇතුළෙන්ම ඊට එරෙහිව දැඩි විරෝධයක් මතුවන ආකාරයක් දැකගන්නට ලැබිණි. බොහෝ දෙනා එහිදී ප්‍රසිද්ධියේම කියා සිටියේ සජිත් ඉන්දීය සංචාරය ආරම්භ කිරීමට පෙර පැවැති අවසන් කළමනාකරණ කමිටුවේදී මේ සම්බන්ධයෙන් පැහැදිලිවම පක්ෂයට දැනුම් දුන් බවත්, හර්ෂ ඒ සම්බන්ධයෙන් දැනුවත් නොවීම ඔහුගේ වැරැද්දක් බවත්ය. ඊට පසු දිනම එස්.එම්. මරික්කාර් සජබ මාධ්‍ය හමුවේදී මේ බව තහවුරු කරමින් සජිත් සිය ඉන්දීය සංචාරය පිළිබඳ පක්ෂය දැනුවත් කිරීමට පියවර ගත් බව අවධාරණය කර සිටියේය.

හර්ෂ මුල්කරගෙන පසුගිය සතියේ පැනනැගුණු ඊළඟ බරපතළම ප්‍රශ්නය වූයේ අයවැයේ විපක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කරමින් හර්ෂ කළ කතාවේදී ආණ්ඩුව පැසසුමට ලක්කරමින් අදහස් ප්‍රකාශ කිරීමය. එහිදී හර්ෂ කියා සිටියේ ඉතිහාසයේ කවදාවත් සිදු නොවූ ආකාරයට මේ වනවිට භාණ්ඩාගාරය පිරී ඉතිරී ගොස් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අවංකව සතුටු විය හැකි බවත්ය.

මීට අමතරව අයවැයේදී හර්ෂ තවත් වැඩක් කළේය. ඒ, සජිත් හා සජබ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගේ සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය ප්‍රතික්ෂේප කොට තිබියදී හර්ෂ සහ කබීර් ඊට සහභාගි වී සිටීමය. එදින රාත්‍රියේ ජනාධිපතිවරයා සමග හර්ෂ සමීපව කතාබහ කරන රූපරාමු ගෙන ආණ්ඩුවේ මාධ්‍යවල ඉහළින් ප්‍රචාරය කරන ආකාරයක්ද දැකගත හැකි විය.
ඒ අනුව පසුගිය අඟහරුවාදා දිනයේදී විපක්ෂ නායක කාර්යාලයට රැස්වුණු සජබ මන්ත්‍රීවරුන් බොහෝ දෙනා හර්ෂ කළ මෙම අයවැය කතාව සහ ජනාධිපතිවරයාගේ තේ පැන් සංග්‍රහයට සහභාගි වීම දැඩිව විවේචනය කරමින් කියා සිටියේ අයවැය විවාදය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කිරීමට මේ හරහා හර්ෂ කටයුතු කළා යැයි කියාය. එහිදී ඔවුන් චෝදනාව එල්ල කළේ කෙළින්ම සජිත්ටය. ඒ, අයවැය විවාදය සම්බන්ධයෙන් ඊට පෙර පැවැති රැස්වීමේදී මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු අයවැය පළමු කතාව මුජිබර් රහුමාන්ට, සුජීව සේනසිංහට හෝ නලින් බණ්ඩාරට ලබාදිය යුතු බවට යෝජනා කරද්දී එය ප්‍රතික්ෂේප කරමින් සජිත් එම අවස්ථාව හර්ෂ ද සිල්වාට ලබාදීම මුල් කරගෙනය. සජිත් එහිදී සඳහන් කොට තිබුණේ හර්ෂ යනු සජබයේ ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් දක්වන ඉදිරිපෙළ සාමාජිකයකු වීම නිසා හර්ෂ එම කතාව ආරම්භ කළ යුතු යැයි කියාය. නමුත් එම කතාවේදී ආණ්ඩුවට ප්‍රශංසා කරමින් හර්ෂ අදහස් දක්වනු ඇතැයි සජිත් කිසිදු අවස්ථාවක සිතා සිටියේ නැත. ඒ අනුව හර්ෂ කළ කතාවෙන් විපක්ෂයට සිදුවූ අවාසිය මගහරවා ගැනීම සඳහා ඊට පසු දින විනාඩි 18ක් තිස්සේ සුජීවට ආණ්ඩුවේ අයවැය දැඩිව විවේචනය කරමින් කතාවක් කිරීමට සිදුවිය. එමෙන්ම සිය කතාවේදී සජිත්ද අයවැය ඉලක්ක කරගෙන ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් හර්ෂ වැට්ටවූ අයවැය විවාදය යළිත් ඔසවා තැබීමට සමත් විය. එම කතාවෙන් පසු බොහෝ දෙනා කියා සිටියේ සජිත් මෑත කාලයේ පාර්ලිමේන්තුවේ කළ කතාවලින් හොඳම එකක් ලෙස එය හැඳින්විය හැකි බවය.

හර්ෂ කනගාටු වෙයි

කෙසේ වෙතත් සජබ මන්ත්‍රීවරුන් හර්ෂ හිරු නාලිකාවට ගොස් අදහස් දක්වමින් සජිත්ව අපහසුතාවට පත්කිරීමත්, අයවැය විවාදයේදී ආණ්ඩුවට ප්‍රශංසා කරමින් අයවැය විවාදය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කිරීමට පියවර ගැනීම හේතුකොට ගෙන මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධය පළවීමත් සමග හර්ෂ ඒ සම්බන්ධයෙන් තම කනගාටුව සජිත්ට ප්‍රකාශ කොට ඇති බවක් දැනගන්නට ඇත. ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයේදී තමන්ට ඊට වඩා හොඳට ඊට පිළිතුරු දිය යුතුව තිබුණු බව එහිදී හර්ෂ පිළිගත් බවක්ද ආරංචිය. එහිදී හර්ෂ සඳහන් කළ කරුණු පිළිබඳ වැඩිදුර තොරතුරු නැතත් මෙම සාකච්ඡාවේදී මන්ත්‍රීවරුන් විශාල පිරිසක් හර්ෂට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කළ බව දැනගන්නට ඇත. එහිදී ඇතැමුන් පක්ෂය ඇතුළේ සිට රනිල්ගේ හෝ අනුරගේ කොන්ත්‍රාත් ඉටු නොකර පක්ෂයෙන් ඉවත්වී රනිල් සමීපයට හෝ අනුර සමීපයට ගොස් දේශපාලනය කරන ලෙසට හර්ෂට ප්‍රසිද්ධියේම දැනුම්දී ඇති බවක්ද රාජ්‍ය රහස් තීරයට ආරංචිය.

හරීන්ගේ අමුත්තිය

පසුගිය සතියේ එජාපයෙන් අලුත් තනතුරක් ලබමින් හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා සිරිකොත පක්ෂ මූලස්ථානයට ගොස් නියෝජ්‍ය මහලේකම් ධුරයේ වැඩ භාරගැනීමට කටයුතු කළේය. කෙසේ වෙතත් හරීන් එදින සිරිකොතට කැටුව ආ අමුත්තියක් හේතුකොට ගෙන සිරිකොතේ බොහෝ දෙනා පුදුමයට පත්ව සිටි බවක් ඔවුන්ගේ මුහුණුවලින් දැකගැනීමට ලැබිණි. සාමාන්‍යයෙන් රනිල් හෝ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සිරිකොත පක්ෂ මූලස්ථානයට සිය බිරින්දෑවරුන් රැගෙන එන සම්ප්‍රදායක් නැත. නමුත් හරීන් එදා සිරිකොතට පැමිණ සිටියේ මේ වනවිට එක වහලක් යට දිවිගෙවන මල්ෂා කුමාරතුංග සමගය. මල්ෂා කුමාරතුංග යනු හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංගගේ දියණියය. ඒ අනුව උත්සවයේ සිටි සියලු දෙනාගෙම පාහේ ඇස් යොමුව තිබුණේ හරීන් දෙසට නොව, හරීන් සමග පැමිණ සිටි මල්ෂා දෙසටය.

කෙසේ වෙතත් වැඩ භාරගැනීමෙන් පසු හරීන් කළ කතාව අතරතුරදී සජබයට යම් තර්ජනයක් එල්ල කිරීමට හරීන් පියවර ගත්තේය. සාමාන්‍යයෙන් අලුත් තනතුරක් ලැබීමෙන් පසු බොහෝ දෙනා සිතා සිටියේ හරීන් එජාපය සහ සජබය එකතු කිරීමේ වැඩපිළිවෙළට බොක්කෙන්ම බැස කටයුතු කරනු ඇතැයි කියාය. නමුත් ඒ වෙනුවට සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් කාරණාවකි. එහිදී හරීන් කියා සිටියේ සජබය එජාපය සමග එකතු වීමට කටයුත කළ යුතු බවත්, එසේ නොවන්නේ නම් සජබයෙන් මන්ත්‍රීවරුන් කඩාගෙන එජාපයට එක්කර ගැනීමට කටයුතු කරන බවත්ය.

හරීන් වැඩ භාරගනිමින් කළ මෙම ප්‍රකාශය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වූ අකිල, තලතා, වජිරට එතරම් දිරෙව්වේ නැත. පක්ෂ දෙක එකතු වීමේ ක්‍රියාදාමයට හරීන් කළ මෙම කතාව දැඩි පහරක් බව ඔවුන්ට වහා වැටහිණි. ඒ බව ඔවුන්ගේ මුහුණුවලින්ද දැකගන්නට ලැබිණි. එහිදී ඇතැමුන් සැක මතුකොට තිබුණේ හරීන් මෙවැනි ප්‍රකාශයක් කළේ පක්ෂ දෙක එකතු කරන වැඩපිළිවෙළ කඩාකප්පල් කරන ලෙසට ආණ්ඩුවෙන් ලැබුණු කොන්ත්‍රාත්තුවක් අනුවදැයි කියාය.

ඒ බව පැහැදිලිවම දැකගන්නට ලැබුණේ හරීන් කළ මේ කතාව සජබයට වාර්තා වූ ආකාරයෙන්ය. එහිදී බොහෝ දෙනා පක්ෂ නායක සජිත්ට කියා සිටියේ හරීන් එජාපයේ තනතුර භාරගත්තේ සජබය කැඩීමට යැයි කියාය. හරීන් සජබයෙන් මන්ත්‍රී ධුරය ලබාගෙන රනිල් ළඟට ගොස් ඇමැති ධුරයක් ලබාගෙන ඒ අවුරුදු දෙකේදීම සජබය කැඩීමට ගැසූ ගේම් එකින් එක මන්ත්‍රීවරු මෙහිදී සජිත්ට පෙන්වා දීමට කටයුතු කළහ. ඒ අනුව මන්ත්‍රීවරුන් පැහැදිලිවම කියා සිටියේ හරීන් කළ ප්‍රකාශය සජබයට තර්ජනයක් යැයි කියාය.
මන්ත්‍රීවරුන්ගේ මෙම ප්‍රකාශවලට හොඳින් සවන් දී සිටි සජිත් අවසානයේදී කියා සිටියේ එකම එක කාරණාවකි.

‘ඔය එක එක්කෙනා තැන් තැන්වල කියන කතා වැඩිය ගණන් ගන්න එපා. පක්ෂෙ කඩන්න ආවොත් ඒ කඩන හැටි මම බලාගන්නම්. එයා කලිනුත් ඒක කරන්න හැදුවනේ. හැබැයි බැරි වුණානේ. ඒ නිසා අපි අපේ වැඩ කොටස කරගෙන යමු…’ යන්න සජිත් එහිදී දුන් පිළිතුර විය.

එජාපය ඇතුළේ කැරැල්ල

මේ අතර, ලබන 21 වැනිදා විපක්ෂයේ පක්ෂ කිහිපයක ප්‍රධානත්වයෙන් නුගේගොඩ පැවැත්වෙන ආණ්ඩු විරෝධී රැලිය පිළිබඳ කිසිදු මාධ්‍යයක පළ නොවුණු තොරතුරු විශාල ප්‍රමාණයක් පසුගිය සති දෙක තිස්සේම ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කිරීමට අපි පියවර ගත්තෙමු. එහිදී 21 රැලිය සම්පූර්ණයෙන්ම තමන් අතට ගෙන තමන්ගේ නායකත්වයෙන් එය සිදුකෙරෙන බව රටට පෙන්වීම සඳහා රනිල් ගේමක් ගැසූ ආකාරයත්, පොහොට්ටුව රනිල්ට නුගේගොඩ රැලිය තහනම් කරමින් කිසිදු ජනාධිපතිවරයකු නුගේගොඩ රැලියට ගොඩවිය යුතු නැති බව කියමින් රනිල්ට පෙරළා ගේමක් ගැසූ ආකාරයත් තොරතුරු සහිතව අපි මෙම තීරයෙන් වාර්තා කළෙමු. මේ හේතුව නිසාම පසුගිය දින කීපය තුළ එජාපය ඇතුළේ තැන් තැන්වල ගිය සාකච්ඡාවල කියැවුණේ රනිල්ට වැටුණු තහනම් නියෝගය නිසා කිසිදු එජාප ජ්‍යෙෂ්ඨයකු නුගේගොඩ රැලියට සහභාගි විය යුතු නැතැයි කියාය. එජාපයෙන් නියෝජිතයකු පමණක් ඊට යවා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ඊට එක්වීමෙන් වැළකිය යුතු බවද එහිදී කියැවිණි. නමුත් රනිල් එහිදී තද ස්ථාවරයක සිටිමින් කියා සිටියේ සියලු දෙනාම ඊට සහභාගි විය යුතු බවත්, තමන් කියන ආකාරයට කටයුතු කරන ලෙසත්ය.

කෙසේ වෙතත් එජාපය ඇතුළේ 21 රැලිය මුල්කරගෙන පවතින මෙම අර්බුදය පසුගිය සතියේ තවත් ආකාරයකින් එළියට පැන්නේය. ඒ, පොහොට්ටුව හා එජාපය අතර 21 රැලිය සම්බන්ධයෙන් පැවැත්වුණු අවසන් සාකච්ඡාවේදීය. එජාපයට මෙම සාකච්ඡාව පළමු වටයේදී පැවැත්වීමේ අවශ්‍යතාව තිබුණේ සිරිකොත ඇතුළේය. එහිදී නාමල් ඇතුළු පොහොට්ටු ප්‍රධානීන් සිරිකොතට ගෙන්වාගෙන නාමල් සිරිකොතට පැමිණි බව කියමින් විශාල ෂෝ එකක් රඟදක්වන්නටය. නමුත් නාමල්ලා තීන්දු කළේ සිරිකොතට යෑමට නොව කොළඹ මල් පාරේ පිහිටි රනිල්ගේ කාර්යාලයට යෑමටය. ඒ අනුව නාමල්, පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම්, මන්ත්‍රී ඩී.වී. චානක, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සංජීව එදිරිමාන්න රනිල්ගේ කාර්යාලයට යද්දී එජාපයෙන් එම සාකච්ඡාවට සහභාගි වී සිටියේ එජාප ජාතික සංවිධායකවරයා වන සාගල රත්නායක මහතා පමණි. පක්ෂ සභාපතිවරයා වූ වජිර අබේවර්ධන, පක්ෂ මහලේකම්වරිය වූ තලතා අතුකෝරාල, නියෝජ්‍ය මහලේකම්වරයා වූ හරීන් ප්‍රනාන්දු, පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක වැනි කිසිවකුත් එම සාකච්ඡාවට එක්ව නොසිටීම විශේෂ සිදුවීමක් විය. වජිර, නාමල්ලා එද්දී මල් පාරේ ගේට්ටුව අසල සිට ඔවුන්ට අතට අත දී කතාකොට වහාම පිටව යන ආකාරයක්ද දැකගත හැකි විය.
ඒ අනුව බොහෝ දෙනා මෙම සාකච්ඡාවෙන් පසුව කියා සිටියේ එජාපයේ ජ්‍යෙෂ්ඨයන් සාගල රත්නායක මෙම සාකච්ඡාවට සහභාගි කරවීමට රනිල් ගත් තීන්දුවට විරෝධය පා එය වර්ජනය කිරීමට කටයුතු කළාද, එසේත් නැත්නම් පොහොට්ටුව සමග එජාපය එක්කරවීමට රනිල් ගන්නා උත්සාහයට විරෝධය පළකරමින් එය වර්ජනය කළාද යන්න පිළිබඳ බරපතළ සැකයක් මතුවනවා යැයි කියාය. මන්ද යත් මීට මාස 03කට පමණ පෙර පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකදී රනිල් යෝජනාවක් ඉදිරිපත් කරමින් එජාපය සහ පොහොට්ටුව එක්විය යුතු බව සඳහන් කර තිබිණි. නමුත් ඒ අවස්ථාවේදී තලතා, රුවන්, අකිල, නවීන් වැනි පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ඊට ඍජුව විරෝධය පළකරමින් සඳහන් කර තිබුණේ කිසිසේත්ම එජාපය පොහොට්ටුව සමග එකතු විය යුතු නැති බවත්, පක්ෂ දෙකේ දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් බවත්ය.

නුගේගොඩට එන සෙනග

මේ අතර, 21 නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්ද පොහොට්ටුව ඇතුළේ වෙනමම සාකච්ඡාවක් පසුගිය සතියේ පැවැත්වී තිබිණි. එහිදී රැලියට සෙනග සහභාගි කරවීම සම්බන්ධයෙන් විශේෂ කතාබහක් පිරිස අතර සිදුවිය. ඇතැමුන් කියා සිටියේ එහි බර සම්පූර්ණයෙන්ම පොහොට්ටුවට ගැනීමට සිදුවනු ඇතැයි කියාය. එජාපයට ඊට පාක්ෂිකයන් සහභාගි කරවිය නොහැකි බවත්, ඒ සඳහා එජාපයට පාක්ෂිකයන් නොමැති බවත් එහිදී වැඩිදුරටත් කියැවිණි. ඒ අනුව රැස්ව සිටි පිරිස පෙන්වා දුන්නේ මේ වනවිට පොහොට්ටුවෙන් බස් 270කට අධික ප්‍රමාණයකින් ඊට පාක්ෂිකයන් සහභාගි කරවිය හැකි බවකි. ඒ අනුව අවම වශයෙන් 15,000 ඉක්මවාගිය ප්‍රමාණයක් නුගේගොඩට ගෙන්විය හැකි බවද එහිදී කියැවිණි.

මෙහිදී නාමල් විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. ඒ, රැලියට සහභාගි නොවී සිටීමට සජබය ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන්ය.

‘දැන් සජබය තීන්දු කරලා තියෙනවා රැලියට එන්නේ නෑ කියලා. මම දැක්කා පහුගිය දවස්වල අපේ අය සජබය ගත්ත මේ තීන්දුවට ප්‍රහාර එල්ල කරනවා. හැබැයි මම කියන්නේ මේ කාරණාව උඩ සජබයට අපි ගහන්න යන්න ඕනේ නෑ. මොකද සජබය මේකට ආවේ නෑ කියලා ප්‍රශ්නයක් නෑ. ඒක ඒ අයගෙ ප්‍රතිපත්තිය. සමහර විට ඉදිරියේදී අපි ඔක්කොම විපක්ෂයක් විදියට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් හැදෙයි. ඒ නිසා කොයිම මොහොතකවත් මේ ප්‍රශ්නය මුල්කරගෙන සජබයට ගහන්න යන්න එපා…’ යන්න නාමල් එහිදී කී කතාව විය. ඒ අනුව පසුගිය සතියේදී උදය ගම්මන්පිල පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ඉදිරියේදී සියලු දෙනාම විපක්ෂයක් ලෙස ඒකාබද්ධව වැඩ කිරීමේ අවස්ථාවක් උදාවනු ඇති බවකි.

දිලිත්ගේ ගෙදරට සජිත්

මේ ආකාරයට විපක්ෂයේ පක්ෂ කීපයක් ඒකාබද්ධව නුගේගොඩ රැස්වීමක් පැවැත්වීමට සලසුම් කරද්දී කිසිවකුත් නොදැන පාර්ලිමේන්තුව ඇතුළේ විපක්ෂය ඒකාබද්ධ වූ සිදුවීමක් පසුගිය සතියේ සිදුවිය. ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමක් පැවැත්වුණු අතර, ඊට විපක්ෂ නායක සජිත්ද එක්ව සිටියේය. සජිත්ට අමතරව සුජීව, දයාසිරි, දිලිත්, ඩී.වී. චානක, අඩෙක්කිලනාදන් වැනි මන්ත්‍රීවරුද ඊට සහභාගි වූහ. මෙහිදී මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා වූ මාතෘකාව වූයේ මන්ත්‍රී සුබසාධනය සඳහා වෙනම සංවිධානයක් බිහිකළ යුතු යැයි කියාය. මන්ත්‍රීවරයකුගේ පවුලේ මරණයක් සිදුවුවහොත් හෝ යම්කිසි හදිසි අනතුරක් සිදුවුවහොත් ඒ වෙනුවෙන් යම් මුදලක් ලබාදීමටත්, ඊට අදාළව අරමුදලක් පිහිටුවීමත් මෙහි අරමුණ වී තිබිණි. ඒ අනුව සුබසාධක සංගමයේ අනුශාසකවරයා වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට ඒකමතිකව තීරණය කෙරිණි. එහි සභාපති තනතුර සුජිත් සංජය පෙරේරාට හිමිවූ අතර, ලේකම්වරයා වශයෙන් හෙක්ටර් අප්පුහාමි පත්විය. උපලේකම්වරයා වශයෙන් පත්වූයේ පොහොට්ටුවේ ඩී.වී. චානකය. කැඳවුම්කරුවන් ලෙස දිලිත් ජයවීර, සුජීව සේනසිංහ සහ දයාසිරි ජයසේකර පත්විය. ඒ අනුව මෙම සාකච්ඡාවේදී තීන්දු වූයේ මසකට වරක් මෙම කණ්ඩායම මුණගැසී සාකච්ඡාවක් පැවැත්වීමටත්, එය සුහද හමුවක් ලෙස සංවිධාන කිරීමටත්ය. ඒ අනුව එහි පළමු රැස්වීම සංවිධාන කිරීමේ වගකීම භාරවූයේ සර්ව ජන බලවේගයේ නායක දිලිත් ජයවීරටය. දිලිත් එහිදී කියා සිටියේ ඊට පසු දින එනම් සිකුරාදා රාත්‍රියේදීම තම නිවසේ එම සාකච්ඡාව සංවිධාන කළ හැකි යැයි කියාය. ඊට තමන්ද සහභාගි වන බව සජිත් එහිදී කියා සිටියේය.

පසුගිය දින කීපයේදී දිලිත් විපක්ෂයේ අනකුත් පක්ෂවලටද යම් යම් ප්‍රහාර එල්ල කර තිබූ පසුබිමක මේ ආකාරයට විපක්ෂයේ සියලු පක්ෂ වෙනුවෙන් සතුටු සාමීචියක් සිය නිවසේදීම සංවිධාන කිරීමට සිදුවීම විශේෂත්වයකි. ඒ අනුව දිලිත් එහිදී කියා සිටියේ, ‘මාර වැඩේ තමයි මට වුණේ. පහුගිය දවස්වල මම ඔක්කොම පක්ෂවලට ගගහා හිටියේ. දැන් මේ වැඩේ හින්දා මට කිසිම පක්ෂයකට ගහන්න වෙන්නේ නෑ.’ යනුවෙන් දිලිත් කියද්දී සාකච්ඡාවේ සිටි හැමෝම බඩවල් අල්ලාගෙන සිනාසුණු ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව 21 වැනිදා ආණ්ඩුවට එරෙහිව පක්ෂ කීපයක් එළියේ යම් දේශපාලන සන්ධානයක් ගොඩනගද්දී පාර්ලිමේන්තුව ඇතුළේ නිල නොවන වශයෙන් විපක්ෂයේ අලුත් සන්ධානයක් ගොඩනැගෙන ආකාරයක් දැකගත හැකි විය.

අනුරගෙන් උතුරට පණිවුඩයක්

පසුගිය සතියේ තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතාගේ පියාණන්ගේ අභාවය සිදුවිය. කොළඹ පැවැති ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එක්විය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා සහ රාසමානික්කම් අතර සුහද සාකච්ඡාවක් සිදුවීමය.

එහිදී රාසමානික්කම් ජනාධිපතිවරයාට දැනුම්දී සිටියේ උතුරු නැගෙනහිර වාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම සඳහා වත්මන් මාලිමා ආණ්ඩුව වසරක් තිස්සේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බැවින් ඊට විරෝධය පෑමක් වශයෙන් පක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරුන් අයවැයට විරෝධය පළකළ යුතු බවට සඳහන් කර ඇතැයි කියාය. එමෙන්ම ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාව ඉල්ලා යැවූ ලිපියට මාස 6කට වැඩි කාලයක් ගතවී ඇතත් අවම වශයෙන් ඊට පිළිතුරු ලිපියක් හෝ යොමු නොකිරීමට කටයුතු කර තිබූ තත්ත්වයක් යටතේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයක් එල්ලවී ඇති බවද රාසමානික්කම් ජනාධිපතිවරයාට දැනුම් දී සිටියේය. ඉකුත් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී යුද්ධය අවසන් වීමෙන් පසුව පවා මහින්ද දෙමළ සන්ධානයට සාකච්ඡාවට අවස්ථාව ලබාදී තිබූ බැවින් දෙමළ සන්ධානය ඒ කාලයේදී පවා මහින්දගේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ බවද මෙහිදී රාසමානික්කම් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබිණි. රාසමානික්කම්ගේ මේ කතාව අසා සිටි ජනාධිපතිවරයා කියා සිටියේ ඉතා ඉක්මනින් තමිල් අරසු කච්චි පක්ෂය සඳහා සාකච්ඡාවක් ලබාදීමට තමන් කටයුතු කරන බවකි.

ඒ අනුව පසුගිය සතියේ රාසමානික්කම් ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබාදී මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීමට පියවර ගෙන තිබිණි. එම විමසීමෙන් පැය කීපයකට පසු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රාසමානික්කම්ට ලැබුණු පණිවුඩයකින් දැනුම් දී තිබුණේ ලබන 19 වැනිදා හෝ 20 වැනිදා තමිල් අරසු කච්චි පක්ෂයට සාකච්ඡාවක් සඳහා වේලාව වෙන්කිරීමට ජනාධිපතිවරයා කටයුතු යොදා ඇතැයි කියාය. ඒ අනුව ලබන 19 වැනිදා හෝ 20 වැනිදා ජනාධිපතිවරයා හා තමිල් අරසු කච්චි පක්ෂය අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇති බවක් රාජ්‍ය රහස් තීරයට ආරංචිය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

පුදුම හිතෙන බල තියෙන බලවත් යෝග හතක්! එකක් හරි තිබ්බොත් ගොඩේ ගොඩ…! Sri Lanka Latest News

Next Post

ප්‍රසන්න ගැන පරීක්ෂණ දිගටම යනවා! අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දීලා!  I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.