• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ගේ ඉන්දීය ගමනෙන් දේශපාලන පෙරළියක්! කිසිම නායකයකුට නොලැබුණු අවස්ථාවක් ලැබෙයි! ලංකා ආණ්ඩුව දීපු වරප්‍රසාද එපා කියයි! සියල්ල පෞද්ගලික වියදමෙන්! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

November 9, 2025
in Exclusive, Rajya Rahas
Reading Time: 13 mins read
A A
Share on WhatsAppShare on Facebook

සමූපකාර පරාජය

අතීතයේදී දේශපාලඥයන් පමණක් නොව ජනතාවද රටේ දේශපාලන සුළං හමන දිශාව හඳුනා ගත්තේ ජාතික මැතිවරණවලට අමතරව අතුරු මැතිවරණ පැවැත්වීම හරහාය. ඒ අතුරු මැතිවරණවලදී පවතින රජයේ ජනප්‍රියතාව මැනගැනීමට ඒ ඒ ආණ්ඩුවලට හැකියාවක් ලැබිණි. නමුත් ව්‍යවස්ථා සංශෝධනවලදී අතුරු මැතිවරණ ඉවත් කිරීමත් සමග කාලයෙන් කාලයට ආණ්ඩුව තමන්ගේ ජනප්‍රියතාව මැන බැලුවේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම හරහාය. උදාහරණයකට 1993 පැවැත්වූ පළාත් සභා මැතිවරණය ඒ සමයේ දේශපාලන සුළං හමන දිශාව සහ ආණ්ඩුවේ ජනප්‍රියතාව මනාව පැහැදිලි කළ මැතිවරණයක් විය. 17 වසරක එජාප පාලනය පෙරළා දැමීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කෙරුණේ 93 මේ පළාත් සභා මැතිවරණයේදීය. චන්ද්‍රිකා බණ්ඩාරනායක බස්නාහිර මහ ඇමැතිවරිය වශයෙන් තේරී පත්වී පසුව ඇය රටේ ජනාධිපති ධුරයට දක්වා පැමිණීමට ඒ පළාත් සභා මැතිවරණ ජයග්‍රහණය පාදක කරගත්තාය.Sri Lanka Latest News

ඉන් අනතුරුව චන්ද්‍රිකාගේ පාලන සමයේදීම පැවැත්වූ වයඹ පළාත් සභා මැතිවරණය ඊළඟ බල පෙරළියේ සංකේතය විය. ඒ වනවිට ආණ්ඩුවේ ජනප්‍රියතාව පල්ලම් බැස තිබූ බැවින් ආණ්ඩුව ඇතුළේ බොහෝ දෙනා කියා සිටියේ වයඹ පළාත් සභා මැතිවරණය එවක පැවැති ශ්‍රීලනිප ආණ්ඩුව පරාජයට පත්වනු ඇතැයි කියාය. නමුත් චන්ද්‍රිකා පළාත් සභා මැතිවරණය පවත්වා දැවැන්ත ඡන්ද කොල්ලයක් සිදුකළාය. කාන්තාවන් නිරුවතින් මහ පාරේ ඇදගෙන ගොස් කළ කළු මැතිවරණයක් බවට එය ඉතිහාස පොත්වලට එක්විය. නමුත් එයින්ද ලබාදුන් සංඥාව වූයේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ජනප්‍රිය රැල්ල පහත වැටෙමින් පවතින බවය.

පළාත් සභා ඡන්දය පැවැත්වීමේ මේ භයංකර තත්ත්වය රනිල් රට ආණ්ඩු කරද්දී හොඳින් දැන සිටියේය. ඒ අනුව යහපාලන ආණ්ඩුව පත්වීමත් සමග රනිල් කළේ පළාත් සභා මැතිවරණය අතුරුදන් කිරීමය. නැතහොත් සීමා නිර්ණය කිරීමේ අලුත් මාතෘකාවක් පාර්ලිමේන්තුවට රැගෙනවිත් පාර්ලිමේන්තුව හරහාම පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට ඉඩකඩ පාදා ගැනීමය. මේ අයුරින් රනිල් පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්හිටුවූයේ නියත වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වූවා නම් ඒ වනවිටත් යහපාලන ආණ්ඩුවේ ජනප්‍රියත්වය පිරිහෙමින් පැවැති නිසා පරාජයට පත්වන බව හොඳ හැටි දැනගෙනය. නමුත් රනිල්ට යහපාලන ආණ්ඩුවේ අසාර්ථකභාවය වසාගැනීමට නොහැකි වූයේ ජනතාව වසර 3ක් ඉක්ම යෑමෙන් පසු 2018 වසරේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණය, පළාත් සභා මැතිවරණයක්, නැතහොත් අතුරු මැතිවරණයක් බවට විපක්ෂයත්, ජනතාවත් පෙරළාගත් නිසාය. මෙම පළාත් පාලන මැතිවරණයේදී ඉතිහාසයේ පළමු වතාවට පාලන බලයේ සිටි පක්ෂයක් පරාජයට පත්කරමින් පොහොට්ටුව අතිබහුතරයක් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සමත් විය. එය අවසන් වූයේ රනිල්ගේ යහපාලන ආණ්ඩුව පෙරළා දමා ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුව බලය පිහිටුවීමෙන් අනතුරුවය.

වත්මන් අනුර කුමාර දිසානායක රජයද ජනාධිපතිවරණය ජයග්‍රහණය කොට ඒ සමගම පැවැත්වූ මහමැතිවරණයෙන් තුනෙන් දෙකක අතිදැවැන්ත බලයක් ලබා මාලිමා ආණ්ඩුව පිහිටුවීමට සමත් විය. එසේ තුනෙන් දෙකක ආණ්ඩුවක් පිහිටුවා මාස 5කට පසු පැවැත්වූ පළාත් පාලන මැතිවරණය මාලිමා ආණ්ඩුවේ දිශානතිය පෙන්වන කැඩපතක් බඳු විය. එහිදී ආණ්ඩුවට බරපතළ සංඥාවක් ලබාදෙමින් ලක්ෂ 20ක ඡන්ද ප්‍රමාණයක් අහිමිව ගොස් තිබූ අතර, 100කට ආසන්න පළාත් පාලන ආයතනවල බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් පිහිටුවීමට සමත් විය. නමුත් අතිබහුතරයක් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව තනිවම තහවුරු කරගෙන තිබීම නිසා පළාත් පාලන ආයතන ප්‍රතිඵලවල සැඟව තිබූ බරපතළ සංඥාව කිසිවකුටත් පෙනීගොස් තිබුණේ නැත.
2024 ජනාධිපතිවරණය පැවැත්වීමට පෙරාතුව ඒ කාලයේදී ගමේ බලය පෙන්වන සමුපකාර ඡන්ද පැවැති අතර, ඒවා එකින් එක දිනාගෙන පැමිණියේ මාලිමාවය. ඒ අනුව වරක් රූපවාහිනී වැඩසටහනකට පැමිණි ජනාධිපති අපේක්ෂක අනුරත්, මාලිමාවේ ප්‍රබලයකු වූ හඳුන්නෙත්තිත් කියා සිටියේ ගම පොහොට්ටුවෙන් සහ සජබයෙන් ගැලවී මාලිමාව වටා එක්රැස් වන බව මේ සමුපකාර ඡන්ද ප්‍රතිඵල හරහා පෙනෙන්නට ඇති බවය. අනුර පැහැදිලිවම කියා සිටියේ සමුපකාර ඡන්ද ජයග්‍රහණය හරහා රටේ ජයග්‍රහණය මැනගත හැකි යැයි කියාය. සැබැවින්ම අනුර කී කරුණ සනාත කරමින් ඒ කාලයේ ගම ලැබූ ජයග්‍රහණයේ ප්‍රතිඵලයම මුළු රටෙන්ම ලබාගැනීමට අනුර සමත් විය.

ඒ අනුව දැන් මාලිමා ආණ්ඩුවට හරියටම වසරක් ගතවී තිබේ. එසේ නම් දැන් පවත්වන සමුපකාර ඡන්දවල ප්‍රතිඵලය කෙබඳුද? පසුගිය මාසය ඇතුළත පැවැත්වූ සමුපකාර ඡන්දවලින් අතිබහුතරයක බලය තනිවම සජබය විසින් ලබාගෙන තිබූ අතර, තවත් බොහෝ තැන්වල බලය විපක්ෂය සමග ඒකාබද්ධ වෙමින් ලබාගැනීමට සජබයට හැකිව තිබිණි. එහිදී ආණ්ඩුව ලැබූ බරපතළ පරාජය සහ දරුණුතම පසුබෑම දැකගන්නට ලැබුණේ පසුගිය සතියේ දකුණු පළාතේ කොටපොළ සමුපකාරය කේන්ද්‍ර කොටගෙන පැවැති ඡන්ද විමසීමේදීය. එහිදී ආණ්ඩුවට දරුණු සංඥාවක් කොටපොල සමුපකාර ඡන්ද ප්‍රතිඵලය හරහා ලබාදීමට ජනතාව සමත්ව තිබිණි. මෑත කාලයේ සමුපකාර ඡන්ද කීපයක් පරාජයට පත්වුවද ආණ්ඩුවට එල්ලවූ දරුණුතම පරාජය කොටපොළ බව බොහෝ දෙනාගේ විශ්වාසයය.

මීට බලපෑ විශේෂ කරුණු ගණනාවක් තිබේ. අප වරක් මෙම රාජ්‍ය රහස් තීරය ඔස්සේ සඳහන් කළේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් වන බවය. නමුත් අප එම අනාවරණය කොට සති දෙකක් ඉක්මගිය තැන නැවතත් අප අතිවිශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ තීන්දුව අත්හිටුවීමට කටයුතු කොට ඇති බවය. එහිදී අප කියා සිටියේ රනිල් පළාත් සභා මැතිවරණය අතුරුදන් කළ ආකාරයටම ඒ මාර්ගයේම යමින් වත්මන් ආණ්ඩුවද පළාත් සභා නොපවත්වා සිටීමේ තීන්දුවට එළඹ ඇතැයි කියාය. එහිදී තවත් විශේෂ අනාවරණයක් කිරීමට අපි කටයුතු කළෙමු. ඒ, පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගෙන ජනතා විමුක්ති පෙරමුණ මගින් මුළු රටම ආවරණය වන පරිදි කර තිබූ මත විමසුමක ප්‍රතිඵල පැලවත්තට ලැබී තිබූ බවය. එම ප්‍රතිඵල හරහා ගම් මට්ටමෙන් මාලිමාවේ ජනප්‍රියතාව විශාල වශයෙන් කඩාවැටී ඇති බව අනාවරණ කොට තිබිණි. එහිදී සමගි ජන බලවේගය විශාල පිම්මක් පනිමින් ගම් ඇතුළේ ඉදිරියට පැමිණ ඇති බවත්, නාමල් ප්‍රමුඛ පොහොට්ටුවද සැලකිය යුතු ප්‍රමාණයකින් ගම් මට්ටමෙන් ඉහළට ගොස් ඇති බවත් එම මත විමසුම්වලින් වාර්තා කොට තිබූ බවද අපි සඳහන් කර සිටියෙමු. ඒ අනුව එයද පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටීමට ආණ්ඩුවට බලපෑ හේතුවක් වී තිබිණි.

නමුත් කොටපොල මේ පරාජය ආණ්ඩුවට තීරණාත්මක වන්නේ ඇයි? ඉන් එකක් වන්නේ කොටපොල සමුපකාරය යනු ලංකාවේ පවතින විශාලතම සමුපකාරවලින් එකක් වන නිසාය. එය අනෙකුත් සමුපකාර ප්‍රාදේශිකවලට වඩා විශාල සාමාජික සාමාජික සංඛ්‍යාවක් සිටින බලවත් එකකි. ඒ අනුව එහි විශාල ඡන්ද සංඛ්‍යාවක් පවතින නිසා ගමේ දේශපාලන සුළං හැමීමේ දිශානතිය ඒ හරහා ඉතා පැහැදිලිව මැනගැනීමට හැකියාවක් තිබේ.

අනෙක දකුණ යනු ජවිපෙ බළකොටුවය. ආණ්ඩුවේ ප්‍රධානතම කැබිනට් ඇමැතිවරයකු වන සුනිල් හඳුන්නෙත්තිගේ ගමය. දකුණේ නායකයා වන්නේ හඳුන්නෙත්තිය. ආණ්ඩුව කොටපොල සමුපකාර මැතිවරණයට කෙතරම් බරක් තබා තිබුණාදැයි කියනවා නම් ඉතිහාසයේ කිසිදු දිනෙක දක්නට නොලැබුණු ආකාරයේ දැවැන්ත මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් කොටපොල ඉලක්ක කරගෙන මාලිමාව විසින් දියත් කළේය. කොටපොල ප්‍රාදේශිකය වටා පළමු වරට පෝස්ටර් ගැසුවේය. මහ මැතිවරණයක මෙන් කොටපොල ප්‍රාදේශිකයට තරග වදින සියලු සාමාජිකයන්ගේ මුහුණු සහ අංක දමා ගම වටේම ‘අපේක්ෂාවේ නියමුවෝ’ යනුවෙන් සඳහන් පෝස්ටර් ඇලවිණි. ඒ, මොනවත් නිසා නොව කොටපොල සමුපකාරයේ ජයග්‍රහණය මාලිමාවට අතිශය තීරණාත්මක නිසාය. නමුත් අවසන් ප්‍රතිඵලය වූයේ කොටපොලින් දරුණු පරාජයක් මාලිමාවට අත්වීමය. සජබය ප්‍රමුඛ විපක්ෂය සාමාජිකයන් 65ක් දිනද්දී මාලිමාව දිනා කිබුණේ 25ක් පමණි. මෙහි ඇති විශේෂත්වය වන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොටපොල ජයග්‍රහණය කොට ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස පත්වූ නීතිඥ චමින්ද ගුණසේකර, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වූ වික්‍රමසිංහ සහ හරිතා කරුණානායක යන මන්ත්‍රීවරුන්ද පරාජයට පත්ව තිබීමය. හරිතා කරුණානායක යනු කොටපොල විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපතිවරිය වශයෙන් ඊට පෙර කටයුතු කළ තැනැත්තියය. නමුත් අවසන් ප්‍රතිඵලය වූයේ කොටපොල ඡන්දය අතුරු මැතිවරණ ප්‍රතිඵලයක් හා සමානවම ආණ්ඩුවට බරපතළ අනතුරු ඇඟවීමක් සිදුකොට තිබීමය. අතුරු මැතිවරණයක හා සමාන සටනක් මාලිමාව හා සජබය අතර නිර්මාණය වී තිබීමය.

මෙහිදී දැකගැනීමට ලැබුණු තවත් විශේෂ සිදුවීමක් වූයේ මෙම පරාජයත් සමග මාලිමාවේ ප්‍රධානීන්ද වියරු වැටී තිබීමය. ඒ අනුව දකුණේ මන්ත්‍රීවරයකුගේ සහෝදරයකු විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා තිබුණේ ‘දිනුවා නම් මහා සභාව තියලා අධ්‍යක්ෂ මණ්ඩලයද පත්කරලා පෙන්නමු…’ යැයි කියාය. ඊට ප්‍රතිචාර දක්වමින් එක් පුද්ගලයකු තබා තිබූ පිළිතුරක් වූයේ, ‘පොඩ්ඩක් ඉවසන්න – ඇයි කලබල?’ යනුවෙනි. ඊට මේ මන්ත්‍රීවරයාගේ සහෝදරයා, ‘ඉවසුවත් කලබල වුණත් උඹලට සමිතිය ගන්න බෑ. දෙන්නෙත් නෑ…’ යනුවෙන් ප්‍රතිචාර දක්වා තිබීම විශේෂ සිදුවීමක් විය. නමුත් අවසානයේදී අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර ගැනීමේදීද මාලිමාවට කිසිදු සාමාජිකයකු ඊට පත්කර ගැනීමට නොහැකි විය. අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 7ක් සිටින අතර, එම 7ම පත්වූයේ විපක්ෂයෙන්ය. එහිදී සමගි ජන බලවේගයේ සාමාජිකයන් 6 දෙනකුම පත්වූ අතර, පොහොට්ටුවෙන් එක් සාමාජිකයෙක් පමණක් පත්වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ජනාධිපතිවරයා කී ආකාරයටම ගමේ රැල්ල සජබය විසින් මේ වනවිට අත්පත් කරගෙන ඇති බව මේ ප්‍රතිඵලය හරහා සියල්ලන්ටම දැකගත හැකි විය.

අප මෙම තීරයේ දිගින් දිගටම සඳහන් කළ කාරණාවක් වී තිබුණේ සජබය තනිවම ගමේ හිස එසවිය සඳහා සජබ නායකයා වූ සජිත් ගමින් ගමට යමින් විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින බවකි. නමුත් සජබයට සහ සජිත්ට ගමේ ඇති මේ ශක්තිය සජබය ඇතුළේ සිටින ඇතැම් ඔස්තාර්ලාට, රනිල්ට කඩේ යන ඩීල්කාරයන්ට නොතේරෙන බවද අප මෙම තීරයේ සඳහන් කර සිටියෙමු. අප එසේ කීවේ ආවාට ගියාට නොව සජබයට අද ඇති ආකාරයේ ගමේ බලයක් අද පොහොට්ටුවට හෝ නොමැති වීම නිසාය. එදා මේ ගමේ බලය තිබුණේ මහින්දටත්, පොහොට්ටුවටත්ය. ඉන් පසු ඒ ගමේ බලය අනුර විසින් අත්පත් කොට ගෙන තිබිණි. නමුත් මාලිමා ආණ්ඩුවට වසරක් පිරෙන මොහොතේදී මහින්දගෙන් අනුරට ගොස් තිබුණු ඒ ගමේ බලය සජබය වෙත හරවා ගැනීමට සජබ නායක, විපක්ෂ නායක සජිත් සමත් වී තිබේ. රට වටෙන්ම සමුපකාර ජයග්‍රහණය කරමින් සජිත් පෙන්වන්නේ තමන්ට ඇති ඒ ගමේ බලයය. නමුත් රනිල්ට කඩේ යන සජබය ඇතුළේ සිටින ඩීල්කාරයන් මේ රැල්ල තේරුම් නොගැනීම කනගාටුවට කරුණකි. ආරම්භයේ සිටම මේ ඩීල්කාරයන්ගේ උත්සාහය වී තිබුණේ මන්ත්‍රීවරුන් 50කට අධික පිරිසක් සිටින විපක්ෂයේ ප්‍රධානම පක්ෂය වන සජබය කිසිදු මන්ත්‍රීවරයකු නැති, ගමේ කිසිදු බලයක් නැති, ඉල්ලන ඉල්ලන ඡන්දය පරාජයට පත්වන රනිල්ගේ ඔඩොක්කුවට රැගෙන යෑමටය. අර කමිටු, මේ කමිටු දමමින් පසුගිය අවුරුදු 5 පුරාම මේ ඩීල්කාරයන් කළේ සජිත්වත්, සජබයත් ඔසවා තැබීමට නොව සජිත්වත්, සජබයත් බිමට වැට්ටවීමට ගේම් ගැසීමය. අප ඒ මොහොතේ එම සියලු තොරතුරු අනාවරණ කරමින් දිගින් දිගටම කියා සිටියේ ආණ්ඩුවේ ජනප්‍රියතාව හීන වීමත් සමග ගම් මට්ටමෙන් යළි සජබයට රැල්ලක් මතුවීමේ ඉඩකඩ ඇති බවකි. කොටපොල වැනි දකුණේ විශාලතම සමුපකාරයකින් ලැබුණු ප්‍රතිඵලයෙන් තහවුරු වූයේ අප පළකළ එම අනාවැකියය.

අනෙක් අතට දකුණේ මේ පළාත්වල බලය තහවුරු කරගෙන සිටියේ පොහොට්ටුවය. ඒවායේ ඡන්ද මෙහෙයවූයේ රාජපක්ෂලාගේ ඥාති පුත්‍රයා වන නිපුණ රණවකය. අනෙක සුනිල් හඳුන්නෙත්ති මේ ප්‍රදේශයේ ආණ්ඩුවේ ප්‍රබලයාය. ඔවුන්ගේ නම්ගම් වතගොත සියල්ලන්ම දනී. නමුත් කොටපොල ප්‍රාදේශිකය අයත් වන දෙනියායේ සජබ සංවිධායකවරයා කවුරුන්දැයි කියාවත් රටේ කිසිවකුත් නොදනී. එවැනි බලකණු රැසක් පෙරළාගෙන සජබය කොටපොල අතිවිශිෂ්ට ලෙස ජයග්‍රහණය කළේ ගම් මට්ටමෙන් සජබයටත් සජිත්ටත් යම් ප්‍රසාදයක් ගොඩනැගෙමින් පැවැතීම නිසාය. එම නිසා ගමෙන් ලබාදුන් මේ පණිවුඩය කොළඹ සිටින සජබ ඔස්තාර්ලා තේරුම්ගත යුතු බව බොහෝ දෙනාගේ විශ්වාසයය. මන්ද යත් පොහොට්ටුවේ සිටි දකුණේ ජනතාව මාලිමාවට ඡන්දය ලබාදුන්නේ පොහොට්ටුව අන්ත දූෂිත ආකාරයට රට පාලනය කළ බවට චෝදනා එල්ල වී තිබීම නිසාය. ඒ අවස්ථාවේදී ජනතාව බැලුවේ පිරිසිදු කණ්ඩායමකි. මාලිමාවෙන් අලුත්ම කණ්ඩායමක් ඉදිරියට රැගෙන එමින් පොහොට්ටුවේ ඡන්ද විශාල ප්‍රමාණයක් ලබාගැනීමට සමත් වුවද දැන් නැවතත් ජනතාව මාලිමාවද ප්‍රතික්ෂේප කරන තැනකට පත්වෙමින් සිටී. එවැනි අවස්ථාවකදී නැවතත් ඒ ඡන්ද පොහොට්ටුවට යනු ඇතැයි අනුමාන කළ නොහැක. ඒ ඡන්ද ලබාගත හැක්කේ පිරිසිදු කණ්ඩායමක් සිටින, දූෂණ චෝදනා රහිත කණ්ඩායමක් සිටින, වැඩ කළ හැකි අත්දැකීම් සහිත කණ්ඩායමක් සිටින සජබයට සහ සජිත්ටය. ජනතාව දැනටමත් සිතන්නේ පසුගිය ඡන්දවලදී එවැනි කණ්ඩායමක් සිටින සජබයට නොදීම හරහා තමන්ට අත්වැරැදීමක් සිදුවූවා යැයි කියාය.

අනෙක සජබය දිගින් දිගටම ජයග්‍රහණය කරමින් ආ මේ සමුපකාර ඡන්දවලදී කොතැනකදීවත් එක්සත් ජාතික පක්ෂය යනුවෙන් නමක්වත් ඇසුණේ නැත. රනිල්ගේ එජාපය ගමේ ඡන්දවලදී තිබුණාද කියා හෝ කවුරුවත් දන්නේ නැත. සජබය ඇතුළේ සිට පසුපසින් පැමිණ පිහියෙන් අනින ජුදාස්ලා සජබය අරන් යන්නට උත්සාහ කරන්නේ එවැනි කිසිවකුත් කතා නොකරන රනිල්ගේ දෙපා මුලටය. පසුගිය කාලයේ පැවැති සමුපකාර ඡන්දවලදී ගම්පොල හැරුණු විට අනෙකුත් ඒවා ජය ගැනීමට සජබය ප්‍රමුඛ විපක්ෂය සමත් විය. ගම්පොල සමුපාකාරය ශ්‍රීලනිපය ජයග්‍රහණය කළේ එහි බලය අල්ලාගෙන සිටින හිටපු අගමැති දිමු ජයරත්නගේ පුත්‍රයා වන අනුරාධ ජයරත්නට පින් සිදුවන්නටය. ඒ අනුව ශ්‍රීලනිපය එහි ආසන 4ක් දිනද්දී සජබය ආසන 3ක් ජයග්‍රහණය කිරීමට සමත් විය. ඒ හැරුණු විට අනෙකුත් සමුපකාර ප්‍රාදේශිකවල විපක්ෂය ජයග්‍රහණය කළ සියලු තැන්වල සජබය ඉදිරියෙන්ම සිටියේය. ආසනයක් දෙකක් දිනාගනිමින් පොහොට්ටුව දෙවැනි තැනට පත්ව සිටියේය. යූ.ඇන්.පී.යේ කිසිවකුත් ඒ කිසිදු තැනකදී තේරී පත්වන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ඒ අනුව මුල සිටම අප පෙන්වා දුන් පරිදි පසුගිය අවුරුදු 5ක කාලසීමාවේදී සජබය ඇතුළේ සිටින මේ ඔස්තාර්ලා මේ පක්ෂය රනිල්ගේ දෙපා මුලට ඇදගෙන යෑමට දැරූ උත්සාහය සජබය ප්‍රවර්ධනය කිරීමට දැරුවේ නම් අද සජබය සිටින්නේ මීටත් වඩා ප්‍රබල තැනකය. නමුත් මේ පිරිස කළේ පක්ෂය ඇතුළේ සිටිමින් රනිල් සමග ඩීල් දමා සජිත්වත්, සජබයත් විනාශ කරන තැනට වැඩ කිරීමය. පසුගිය කාලයේදී අප මෙම හත්අට දෙනාගේ කණ්ඩායමේ නම් කීපයක් ප්‍රසිද්ධියේම මේ තිරයේ වාර්තා කිරීමට කටයුතු කළෙමු. එසේ සිටින තවත් හතර පස් දෙනකුගේ නම් අප තවමත් මෙම තීරයෙන් ප්‍රසිද්ධියට පත්කොට නැත. නමුත් වෙලාව ආ සැණින් අප ඒ හතර පස් දෙනාගේ නම්ද රාජ්‍ය රහස් තීරය ඔස්සේ හෙළිකරන බව සඳහන් කළ යුතුය.

ඉන්දියාවේදී සජිත් දාපු සෙල්ලම්

ලංකාවේ ලොකුම සමුපාකාර ප්‍රාදේශිකය වූ කොටපොල ඇතුළු සමුපාකාර ප්‍රාදේශික රැසක් මේ ආකාරයට සජබය ජයග්‍රහණය කරද්දී පසුගිය සතියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට පැමිණි සජබ නියෝජිත නිරෝෂන් පාදුක්ක මහතා අපූරු කතාවක් කියා සිටියේය. එහිදී නිරෝෂන් කියා සිටියේ ලංකාවේ දේශපාලනයේ ගඳ සුවඳ දැනෙන ඉන්දියාව විපක්ෂ නායක සජිත්ට නිල වශයෙන් එරට සංචාරය කිරීමට පැමිණෙන ලෙසට ආරාධනා කර සිටීම හරහා ලංකාවේ ඉදිරියේදී සිදුවන්නට යන පෙරළිය පිළිබඳ ඉන්දියාවට කල්තියාම ගඳ සුවඳ දැනී ඇතැයි කියාය. නිරෝෂන් කී මේ කතාවේ විශාල දේශපාලන පණිවුඩයක් අන්තර්ගත වී ඇති බව බොහෝ දෙනාගේ හැඟීමය. සාමාන්‍යයෙන් ඉන්දියාව වැනි රටක් යම් යම් තීන්දු තීරණ ගන්නේත්, එම තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්නේත් ආවාට ගියාට නොව බොහෝ දුර දැකය. ඉන්දියාව ලංකාවේ දේශපාලනය ගැන කොච්චර දුර දකිනවාද කියනවා නම් පසුගිය වසර 30ක පමණ සිටම ලංකා දේශපාලනයේ සිදුවන වෙනස්කම් වසර ගණනකට පෙර පුරෝකථනය කිරීමට ඉන්දියාව සමත්ව තිබේ. එහි පළමු උදාහරණය වන්නේ 1992දී ඉන්දියාව චන්ද්‍රිකා කුමාරතුංගට ඉන්දීය සංචාරයක නිරත වන ලෙස නිල ආරාධනාවක් කිරීමය. එවකදී චන්ද්‍රිකා ලංකාවේ දේශපාලනයට අත්පොත් තබා තිබුණා පමණි. අඩුම වශයෙන් ඇය ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරියක්වත් නොවූවාය. නමුත් නුදුරු අනාගතයේදී ඇය ලංකාවේ දේශපාලන බලය අතට ගන්නා බව ඉන්දියාව අනුමාන කොට තිබිණි. එය තහවුරු කරමින් චන්ද්‍රිකා 17 වසරක එජාප පාලනය පෙරළා 94දී ජනාධිපති පුටුවේ වාඩිවීමට සමත් වූවාය.
ඉන් අනතුරුව ඉන්දියාව මහින්දට 2003දී ඉන්දීය සංචාරයක නිරත වන ලෙස ආරාධනා කළේය. මෙම සංචාරයෙන් පසු මහින්ද 2005දී මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් බලය අත්පත් කරගැනීමට කටයුතු කොට තිබිණි. ඉන් අනතුරුව ඉන්දියාව 2013දී එවක විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහට ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා කරනු ලැබීය. එහි ප්‍රතිඵලය වූයේ මහින්දගේ ආණ්ඩුව පෙරළා 2015 වසරේදී මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහණය කිරීමත්, රනිල් අගමැතිවරයා වශයෙන් පත්වීමත්ය.

ඉන් අනතුරුව 2018දී නැවතත් ඉන්දියාව එවක විපක්ෂ නායක මහින්දට ඉන්දියාවේ සංචාරයක් සඳහා ආරාධනා කළේය. ඒ, 2018 සැප්තැම්බර් මාසයේදීය. පසුව 2019දී මහින්ද යළිත් වතාවක් අගමැතිවරයා බවට පත්විය.

මේ ආකාරයට ආණ්ඩු පෙරළන ලංකාවේ සුළඟ ඉන්දියාවට කෙතරම් දැනෙනවාද කියනවා නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තිදෙනකු පමණක් සිටින ජවිපෙ අනුරට 2024 වසරේදී ඉන්දියාවේ සංචාරය කරන ලෙස එරටින් නිල ආරාධනාවක් සිදුකළේය. ඉන්දියාව එම නිල ආරාධනාව කළේ ජවිපෙ යනු අතීතයේ සිටම දැඩි ඉන්දීය විරෝධී පක්ෂයක් බව හොඳාකාරව දැනගෙනය. එම සංචාරයේදී අනුර ඉන්දීය ප්‍රබලයන් වන විදේශ අමාත්‍ය එස්. ජයශංකර්, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් හමුවී සාකච්ඡා පැවැත්වීමට පියවර ගත්තේය. මීට අමතරව අනුරගේ ඉල්ලීමක් මත තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින්ව හමුවීමටද පියවර ගත්තේය. අනුරගේ ඉන්දීය සංචාරයේ නිල හමු ඒ තුනට පමණක් සීමා විය. නමුත් අනුරට ඉන්දියාව ඒ කළ නිල ආරාධනාව අනුරගේ ජයග්‍රහණය සඳහා සැකසූ ප්‍රධානම සන්ධිස්ථානය විය. ඒ හරහා අනුරට ඉන්දියාවේ පූර්ණ අනුග්‍රහය, සහාය ලැබෙන බව ඉන්දියාව සංඥා කොට තිබිණි. මෙරට වැට උඩ සිටි ව්‍යාපාරික ප්‍රජාව සහ වැට උඩ සිටි ජාත්‍යන්තර ප්‍රජාව අනුරගේ ජයග්‍රහණය සඳහා තීරණාත්මක සහායක් ලබාදුන් සංඥාව එය විය. පසුගිය වසර 30ක කාලසීමාව පුරාම ලංකා දේශපාලනයේ ගඳ සුවඳ සහ ලංකා දේශපාලනයේ සුළං හමන දිශාව ඉන්දියාව කල් තියාම දැන සිටි බවට වූ උදාහරණ ඒ ආකාරයය.

නමුත් මෑත කාලයේදී ඉන්දියාවේ බලය හොබවන භාරතීය ජනතා පක්ෂය පැවැති කොංග්‍රස් ආණ්ඩුවලට වඩා වෙනස් ස්ථාවරයක් ගනිමින් ලංකාවේ විපක්ෂ නායකවරුන්ට නිල වශයෙන් ආරාධනා කිරීම සිදුකරනු ලැබුවේ නැත. කොංග්‍රස් ආණ්ඩු සමයේදී නම් ලංකාවේ විපක්ෂ නායකවරුන්ට ආරාධනා කළ අතර, එවක සිටි අගමැතිවරුන් මුණගැසීමේ අවස්ථාවද ලංකාවේ විපක්ෂ නායකවරුන්ට සලසා දීමට කටයුතු කොට තිබිණි. 2013දී විපක්ෂ නායකවරයා වශයෙන් කටයුතු කළ රනිල්ට කළ ආරාධනයේදී එවක ඉන්දීය අගමැති මන්මෝහන් සිං රනිල් හමුවූයේ ඒ අනුවය. නමුත් කොංග්‍රස් පාලනය බිඳවැටී භාරතීය ජනතා පක්ෂය බලයට පත්වීමෙන් පසු ගත් තීන්දුවක් වී තිබුණේ විපක්ෂ නායකවරුන්ට ආරාධනා කළද ඉන්දීය අගමැතිවරයා හමුවීමේ අවස්ථාව ලබා දී තිබුණේ නැත. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ අවසන් ශ්‍රී ලංකා සංචාරයේදී අප මෙම තීරයේ විශේෂ අනාවරණයක් කරමින් සජිත් සහ මෝදි අතර පැවැති හමුවක් පිළිබඳ වාර්තා කර සිටියෙමු. අප එහිදී අනාවරණ කොට සිටියේ මෝදි විසින් කරනු ලැබූ විශේෂ ඉල්ලීමක් මත මෙම හමුව සූදානම් වූ බවකි. මෝදි ලංකාවට පැමිණි අවස්ථාවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණක් නොව තවත් ප්‍රබල පුද්ගලයන් කීප දෙනකුම මෝදි හමුවීමට අවස්ථාව ලබාදෙන ලෙස වගකිව යුත්තන්ගෙන් ඉල්ලීම් කොට තිබිණි. නමුත් මෝදි ඒ කිසිවකුත් හමුවීමට අවස්ථාවක් ලබාදුන්නේ නැත. මෝදි විසින්ම කළ ඉල්ලීමකට අනුව විනාඩි 20කට සජිත් සමග හමුවක් සංවිධාන කොට තිබූ අතර, පසුව එම සාකච්ඡාව විනාඩි 40කට ආසන්න කාලයක් දක්වා දීර්ඝ වූ ආකාරයද අප එදා රාජ්‍ය රහස් තීරය ඔස්සේ වාර්තා කර සිටියෙමු. මෙම සාකච්ඡාවේදී මෝදි පළමු වතාවට සජිත්ට නිල ආරාධනාවක් කරමින් කියා සිටියේ හැකි ඉක්මනින් ඉන්දියාවට පැමිණෙන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන බවත්ය. එම කරුණ මෙරට කිසිදු මාධ්‍යයක් වාර්තා නොකළ අතර, අප පමණක් එය වාර්තා කිරීමට කටයුතු කළෙමු. අපගේ අනුමානය වන්නේ ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ නිර්ණායකයන්ට අනුව ඉන්දියාවේදී එරට අගමැතිවරයාට විපක්ෂ නායකවරුන් හමුවිය නොහැකි බැවින්, මෝදි ලංකාවට පැමිණි අවස්ථාවේදී විපක්ෂ නායක සජිත්ව මුණගැසීමට කටයුතු කළ බවය. ඉන්දියාවට පැමිණෙන ලෙසට නිල ආරාධනාවක් කිරීමට එහිදී මෝදි කටයුතු කළ බවය.

මෙහිදී සජිත් හා මෝදි අතර පවතින සබඳතාව පිළිබඳවද යමක් සඳහන් කළ යුතුය. වරක් සජිත් යහපාලන ආණ්ඩුවේ නිවාස ඇමැති වශයෙන් කටයුතු කරන විටදී මෝදි ලංකාවේ සංචාරයකට පැමිණියේය. එහිදී මෝදිගේ පරිවාර අමාත්‍යවරයා ලෙස කටුනායකට ගොස් මෝදිව පිළිගත්තේ සජිත්ය. එමෙන්ම සජිත් මෝදිගේ නමින් වතුකරයේ උදාගම් නිවාස සංකීර්ණයක්ද ඉදිකිරීමට පියවර ගත්තේය. මේ නිසා සජිත් සම්බන්ධයෙන් මෝදි තුළ කිසියම් කැමැත්තක් එදා සිටම පැවැතිණි. ඒ අනුව කල්යල් බලා ඉන්දියාව සජිත්ට දැනුම් දී සිටියේ නොවැම්බර් මස මුල් සතියේදී ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසටය.

ඒ අනුව සජිත් සිදුකළ මෙම ඉන්දීය සංචාරය එසේ මෙසේ එකක් නොව ඉතා තීරණාත්මක එකකි. ඊට බලපෑ හේතු ගණනාවකි. මෙම සංචාරයේ විපක්ෂ නායකවරයා ලෙස සජිත් මෙතෙක් විපක්ෂ නායකවරුන් අනුගමනය කළ ක්‍රියාපටිපාටිය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට පියවර ගත්තේය. මෙතෙක් ලංකාවේ සිටි විපක්ෂ නායකවරුන් සිදුකළ ඉන්දීය සංචාරයන්වලදී ලංකා ආණ්ඩුවේ අඩුපාඩු, දුර්වලතා උළුප්පා දැක්වුවද සජිත් ඒ සංස්කෘතිය වෙනස් කරමින් කිසිදු අවස්ථාවක ලංකාවේ ආණ්ඩුව විවේචනය කිරීමට කටයුතු කළේ නැත. සජිත් මෙම සංචාරයේදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය, ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර්, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල්, ඉන්දීය කතානායක ඕම් බිර්ලා, ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය නඩ්ඩා වැනි ප්‍රබල චරිත හමුවී සාකච්ඡා කළද ඒ කිසිදු තැනකදී වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කරමින් අදහස් දැක්වීමට සජිත් කටයුතු කළේ නැත. ඒ වෙනුවට සජිත් කළ එකම ඉල්ලීම වූයේ ලංකාවේ ජනතාවට උපකාර කරන්න යැයි කියාය. ආයෝජන ලබාදෙන්න යැයි කියාය. මේ සම්බන්ධයෙන් එක් අවස්ථාවකදී හිතවතෙකු දුරකතනයෙන් සජිත්ගෙන් කළ විමසීමකදී සජිත් කියා සිටියේ, ‘මම පිටරටකට ඇවිත් කිසිම වෙලාවක ලංකාව ගැන වැරැදි දෙයක් කියන්නේ නෑ. මම විපක්ෂ නායක වුණත්, මගේ නිල සංචාරයකදී ලංකාවේ දේශපාලනය ගැන වැරැදි තොරතුරක් ඒ රටවලට දැනුම් දෙන්නේ නෑ…’ යැයි කියාය.

එය පැහැදිලිවම දැකගන්නට ලැබුණේ ඉන්දියාවේ විශාලතම ප්‍රවෘත්ති ආයතනයක් වන ඒ.එන්.අයි. පුවත් සේවය සමග සජිත් සිදුකළ සම්මුඛ සාකච්ඡාවේදීය. මෙහිදී ලංකාවේ දේශපාලනය පිළිබඳ ඒ.එන්.අයි. පුවත් සේවයේ මාධ්‍යවේදීන් ප්‍රශ්න කරද්දී සජිත් පැහැදිලිවම කියා සිටියේ තමන් නිල වශයෙන් මෙම සංචාරයේ නිරත වන බවත්, එවැනි අවස්ථාවකදී ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළකිරීම තමන් සිදු නොකරන බවත්ය.

සජිත්ගේ මෙම ඉන්දීය සංචාරයේදී දැකගන්නට ලැබුණු අනෙකුත් විශේෂම සිදුවීම වූයේ මෙරට කිසිදු විපක්ෂ නායකවරයකු මුහුණ නොදුන් සිදුවීම්වලට සජිත්ට මුහුණ දීමට සිදුවීමය. ඒ, ඉන්දියාවේ ද්විපාර්ශ්වික ජාත්‍යන්තර ගිවිසුම් සම්බන්ධයෙන් එරට ආණ්ඩුවට උපදෙස් දෙන ප්‍රධානතම උපදේශක මණ්ඩලය වූ අයි.ආර්.ඩබ්ලිව්. වෙතින් විශේෂ සාකච්ඡාවකට සහභාගි වන ලෙසට සජිත්ට ආරාධනාවක් ලැබීමය. ඉතිහාසයේ කිසිදු විපක්ෂ නායකවරයකුට හෝ රාජ්‍ය නායකයකුට මෙවැනි ආකාරයේ අවස්ථාවක් ලැබී නොතිබුණු නිසා එම ආරාධනාව වහාම පිළිගැනීමට සජිත් පියවර ගත්තේය. මෙම මණ්ඩලයේ කටයුතු කරන්නේ ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධයෙන් විශාල දැනුමක් ඇති විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකි. එමෙන්ම ලංකාවට හුරුපුරුදු චරිතයක් වන ඉන්දීය සාමසාධක හමුදාවේ හිටපු ප්‍රධානී මේජර් ජනරල් අශෝක් මෙහෙතාද එම කණ්ඩායමේ ප්‍රබල චරිතයකි. ඒ අනුව පැයක් පුරා පැවැති මෙම සාකච්ඡාවේදී පළමුවෙන්ම සජිත් විනාඩි කිහිපයක කතාවක් කිරීමට පියවර ගත්තේය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සාකච්ඡාව මෙහෙයවූ තැනැත්තිය සජිත්ව සභාවට හඳුන්වා දීමේදී දැක්වූ අදහස්ය. එහිදී ඇය කියා සිටියේ ලංකාවේ බිම් මට්ටම හඳුනන, දුප්පත්, පීඩිත ජනතාව සමග දේශපාලනය සිදුකරන විශිෂ්ට දැනුමක් ඇති පුද්ගලයකු ලෙස සජිත් හඳුන්වා දිය හැකි බවය. එමෙන්ම මෙහිදී සජිත් ටෙලිප්‍රොම්ප්ටරයක් හෝ කිසිදු කොලයක් අත තබා නොගෙන සිදුකළ කතාව සියලු දෙනාගේම ප්‍රශංසාවට ලක්විය.

එමෙන්ම පසුගිය කාලයේදී මාලිමාවේ සමාජ මාධ්‍යද, රනිල්ගේ මාධ්‍ය නඩයෙන්ද සජිත්ට ගැසූ ප්‍රධාන මඩක් වූයේ සජිත් කතාකරන ඉංග්‍රීසි සාමාන්‍ය ජනතාවට නොතේරෙනවා යැයි කියාය. එම ඉංග්‍රීසි බර වැඩියි කියාය. එසේ සජිත්ට සමච්චල් කළ මාලිමාවේ පිරිස් අද විදෙස් රටවලදී ඉංග්‍රීසි කතාකරන්නට ගොස් මුහුණ දී ඇති අභාග්‍යසම්පන්න තත්ත්වය මුළු රටේම ජනතාව දනී. නමුත් සජිත් මෙම සංචාරයේදී සහ මෙම සාකච්ඡාවේදී ඉතා පැහැදිලි ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරුවමින් සිය අදහස් පළකළ ආකාරයක් දැකගත හැකි විය. එහිදී ඇතැමුන් සජිත්ගෙන් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේම සභාව ආරම්භ කරමින් සජිත් කළ කතාවට ස්තුතිය පළකරමින් වීමද විශේෂත්වයක් විය.

එහිදී ප්‍රශ්නෝත්තර වටයේදී උතුරු-නැගෙනහිර වාර්ගික ප්‍රශ්නය, ඊට ලබාදෙන දේශපාලන විසඳුම, ආර්ථික අර්බුදය විසඳීම යනාදිය පිළිබඳවද එහි සිටි පිරිස් සජිත්ගෙන් ප්‍රශ්න කර සිටියහ. එම ප්‍රශ්නවලට සජිත් ලබාදුන් ඍජු පිළිතුරු හේතුවෙන් සභාව අවසානයේදී ඔවුන් සජිත්ට විශේෂ ස්තුතිය පළකිරීමටද පියවර ගෙන තිබිණි.

එමෙන්ම ඉන්දීය විදේශ ඇමැති එස්. ජයශංකර් සමග පැවැති සාකච්ඡාවද ඉතා විශේෂ එකක් විය. දෙදෙනාට පමණක් සීමා වූ මුහුණට මුහුණ හමුවක් වූ මෙය මුලින් පැය භාගයකට සීමා කොට තිබුණත්, සාකච්ඡාවේ විශේෂත්වය හේතුකොට ගෙන එය පැයක කාලයක් දක්වා දීර්ඝ වූ ආකාරයක් දැකගත හැකි විය. එහිදී දෙදෙනා අතර අතිශය තීරණාත්මක කරුණු ගණනාවක් පිළිබඳ අදහස් හුවමාරු වී ඇති බවක් රාජ්‍ය රහස් තීරයට ආරංචිය.

මෙම සංචාරයේදී සජිත් නවාතැන් ගෙන සිටියේ නවදිල්ලියේ පිහිටි රත්නදීප මයුරා හෝටලයේය. ඒ අනුව ඉන්දියාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය කීපයක්ම සජිත් හමුවීම සඳහා ඉල්ලීම් රැසක් ඉදිරිපත් කොට තිබිණි. ඒ අතර එන්.ඩී.ටී.වී., වියොන්, ඒ.එන්.අයි. වැනි පුවත් සේවාවන්ද තිබිණි. සජිත් ඒ සියලු මාධ්‍ය සමග සාකච්ඡාවලට සහභාගි වීමටද පියවර ගත්තේය.

මෙහිදී දැකගන්නට ලැබුණු අනෙකුත් සිදුවීම වූයේ සජිත්ගේ න්‍යායපත්‍රයේ නොතිබූ විශේෂ හමුවක්ද සිදුවීමය. ඒ, භාරතීය ජනතා පක්ෂයේ සභාපතිවරයකු මෙන්ම මෑතකදී පත්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා වූ ජේ.පී. නඩ්ඩා සජිත් හමුවීම සඳහා වේලාවක් ඉල්ලා තිබීමය. සජිත්ගේ කාලසටහන අතිශය කාර්යබහුල එකක් වුවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ලැබුණු මෙම ඉල්ලීම සජිත් කෙසේවත් ඉවත දැමුවේ නැත. ඒ අනුව නඩ්ඩා හමුවී සාකච්ඡා පැවැත්වූ සජිත්, ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැනට උද්ගතව පවතින දැවැන්ත ප්‍රශ්නයක් වූ ඖෂධ හිඟයට පිළියම් ලබාදෙන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කිරීමටද පියවර ගත්තේය.

සජිත්ගේ මෙම ඉන්දීය සංචාරයේ කවුරුත් නොදන්නා තවත් විශේෂ සිදුවීමක්ද තිබේ. ඒ, සජිත්ගේ ගමන් බිමන් වියදම් සම්බන්ධයෙනි. සාමාන්‍යයෙන් ලංකාවේ විපක්ෂ නායකවරයකු නිල විදෙස් සංචාරයක නිරත වන්නේ නම් එහි නිල වියදම් කොටසක් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දැරිය යුතුය. යම් වියදම් ප්‍රමාණයක් ආරාධනාව සිදුකරන රට විසින්ද දරනු ලැබේ. ඒ අනුව සජිත් නවදිල්ලි ගුවන් තොටුපළෙන් ඉන්දියාවට ගොඩබට වහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය වූ මහේෂිනී කොලොන්නේ මහත්මිය පැමිණ සජිත්ව පිළිගෙන ප්‍රවාහන පහසුකම් සලසා දීමට පියවර ගෙන තිබිණි. නමුත් සජිත් ඒ සියල්ල ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කරමින් තමන් මෙම සංචාරයේදී රජයේ වියදම් භාවිත නොකරන බවටත්, සිය පෞද්ගලික වියදමින් ඒවා සිදුකරන බවටත් දැනුම් දී සිටියේය. ඒ අනුව සජිත් සිය ඉන්දීය සංචාරය තුළදී තමන්ට හිමි කිසිදු මුදලක් රජයෙන් ලබාගැනීමට කටයුතු කළේ නැත. ඇතැම් නායකයන් මෙවැනි කටයුතු මාධ්‍යවල පළකරමින් විශාල ප්‍රසිද්ධියක් ලබාගත්තද, සජිත් කිසිදු තැනකදී මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කිරීමට කටයුතු කොට නොතිබිණි.

ඒ අනුව සජිත්ගේ ඉන්දීය සංචාරය අවසන් වූයේ මේ ආකාරයේ විශේෂ සිදුවීම් රැසක් මධ්‍යයේය. ඒ අනුව දැන් හැමෝම බලා සිටින්නේ ලංකා දේශපාලනයේ ගඳ සුවඳ හොඳින් හඳුනන, ලංකා දේශපාලනයේ සුළං හමන දිශාව හොඳින් වටහාගෙන සිටින ඉන්දියාව විපක්ෂ නායක සජිත්ට ආරාධනා කිරීම හරහා තවත් දේශපාලන පෙරළියක ප්‍රබල ඉඟියක් ලෝකයට ලබාදී ඇද්දැයි කියාය.

21 පොහොට්ටුව අයිති කරගනී

ලබන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂයේ පක්ෂ කීපයක එකතුවෙන් පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලිය හේතුවෙන් පසුගිය සති කීපය පුරාම තොරතුරු විශාල ප්‍රමාණයක් රාජ්‍ය රහස් තීරය ඔස්සේ වාර්තා කිරීමට අපි කටයුතු කළෙමු. පසුගිය සතියේ අප තවත් විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ මෙම රැලියට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීම වැළැක්වීම සඳහා හිටපු කිසිදු ජනාධිපතිවරයකු ඊට සහභාගි නොවිය යුතු බවට පොහොට්ටුවෙන් කොන්දේසියක් ඉදිරිපත් කර ඇතැයි කියාය. යම් හෙයකින් තම පක්ෂයේ කොන්දේසිය කඩකරමින් රනිල් ඊට සහභාගි වන්නේ නම් තමන් එම රැලියට සහභාගි නොවන බව පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේම එජාප නියෝජිතයන්ට දැනුම්දී තිබූ බවද අපි වාර්තා කර සිටියෙමු. එමෙන්ම පසුගිය සිකුරාදා වනවිට අපට ලැබුණු අලුත්ම තොරතුරකින් කියැවුණේ එම කොන්දේසිය කඩකරමින් රනිල් නුගේගොඩ වේදිකාවට ගොඩවීමට තීරණය කොට ඇති නමුත් එහිදී කතාවක් සිදු නොකිරීමට සූදානමින් සිටින බවකි.

රනිල් මේ ආකාරයට නුගේගොඩ රැලිය මුල්කරගෙන ගේම් ගැසුවේ තමන් නුගේගොඩ රැලියේ වීරයා වීමට සැලසුම් සකස් කරගෙනය. මුලින් රනිල් සැලසුම් කර තිබුණේ සජබයත්, සජබ නායක සජිත්වත් නුගේගොඩ රැලියට ගෙන්වාගෙන විශාල පිරිසක් ඉදිරියේ තමන් නායකයා බවට රටට පෙන්වීමටය. නමුත් සජබය සහ සජිත් මුල සිටම තීරණය කර තිබුණේ දේශපාලන කරුණු මුල්කරගෙන මෙම රැලියට සහභාගි නොවී සිටීමටය. සජබය සහ සජිත් ඊට එක් නොවන බව දැනගත් රනිල් කළේ නාමල් අන්දවා නාමල්ට එහි නායකත්වය ගන්නා ලෙස දැනුම් දී පොහොට්ටුව නුගේගොඩට ගෙන්වාගෙන තරගයේ වීරයා වන්නටය.

පොහොට්ටුවේ හයිය මේ ආකාරයට තමන් අතට ගෙන රනිල් කටයුතු කළේ අද ඊයේ නොව පාර්ලිමේන්තුවේදී පොහොට්ටුවේ බලයෙන් ජනාධිපති වූ දිනයේ සිටමය. පොහොහොට්ටුවේ පිහිටෙන් ජනාධිපති වූ රනිල් එදා සිටම කළේ පොහොට්ටුව විනාශ කිරීමය. රාජපක්ෂවරුන් විනාශ කිරීමය. පොහොට්ටුවේත්, රාජපක්ෂලාගේත් දේශපාලන බලය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමය. එය කොච්චරද කියනවා නම් පොහොට්ටුවේ විශාල පිරිසක් රනිල් පාර්ලිමේන්තුව ඇතුළේ කඩාගෙන ඇමැතිකම් දී පොහොට්ටුව දෙකඩ කිරීමට පියවර ගත්තේය. පසුගිය ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ ඡන්දවලින් විශාල ප්‍රමාණයක් ගෙන පොහොට්ටුව 3%ට බැස්සවීමට කටයුතු කළේය. නමුත් මේ වනවිට රනිල්ට ලැබුණු එම පොහොට්ටු ඡන්ද 95%ක්ම නැවතත් පොහොට්ටුවට ලබාගැනීමට නාමල්ට හැකිවී තිබේ. එමෙන්ම රනිල් පොහොට්ටුවට කළ විනාශය තේරුම් ගැනීමටද නාමල් ඇතුළු රාජපක්ෂවරුන්ට හැකිවී තිබේ. ඒ අනුව අප වරක් නාමල් කළ ප්‍රකාශයක් රාජ්‍ය රහස් තීරය ඔස්සේ වාර්තා කිරීමට කටයුතු කළෙමු. එහිදී නාමල් කියා තිබුණේ, ‘රනිල් අපේ පවුලත් විනාශ කළා. පක්ෂයත් විනාශ කළා. හැබැයි එයාට මම හරි වෙලාවට පෙන්වන්නම් රාජපක්ෂලා කියන්නේ කවුද කියලා…’ යැයි කියාය. රනිල් පොහොට්ටුවේ කොන්දේසි උල්ලංඝනය කොට නුගේගොඩ රැලියට සහභාගි වීමට තීරණය කොට ඇති බවට අප කළ අනාවරණය නිසාදෝ නාමල් අවසානයේදී තීන්දු කොට තිබුණේ රනිල්ව කිසිසේත්ම නුගේගොඩ වේදිකාවට වද්දා නොගැනීමටය. ඒ අනුව රනිල්ට අවසානයේදී නුගේගොඩ රැලියට පැමිණීමට නොහැකි තත්ත්වයක් උදාවන තැනට වැඩේ දුරදිග ගොස් තිබිණි. ඒ අනුව පසුගිය බදාදා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා පැහැදිලිවම ප්‍රකාශ කර සිටියේ 21 රැස්වීමට කිසිදු හිටපු ජනාධිපතිවරයකු සහභාගි නොවන බවත්, ඔවුන්ගේ ආශීර්වාදය පමණක් ඊට හිමිවනු ඇති බවත්ය.

කෙසේ වෙතත් මේ සිදුවීම් පෙළ හරහා රනිල්ට විශාල ලැජ්ජාවකට මුහුණදීමට සිදුවීම නිසා රනිල්ගේ නිවුස් ප්ලාන්ට් කල්ලිය විවිධ මාධ්‍යවල, වෙබ් අඩවිවල පුවත් පළකරමින් විවිධ හේතු මුල්කරගෙන රනිල් ඊට සහභාගි නොවීමට තීරණය කර ඇති බව පවසමින් සිට ආකාරයක් දැකගන්නට ලැබිණ. රනිල්ගේ සමීපතමයකු වූ රාජිත මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අසනීප තත්ත්වය මුල්කරගෙන රනිල් නුගේගොඩ රැලියට සහභාගි නොවනු ඇතැයි කියාය. ඒ අනුව මේ වනවිට නුගේගොඩ රැලියේ සම්පූර්ණ බලය සියතට ගැනීමට නාමල් සමත්ව තිබේ. නුගේගොඩ රැලිය පොහොට්ටුවේ රැලියක් බවට පත්කිරීමට නාමල්ට හැකියාව ලැබී තිබේ.

ඒ අනුව පෙනෙන්නට ඇත්තේ රනිල් ගහන ගහන හැම දේශපාලන ගේමක්ම ආපිට කැරකී යන තත්ත්වයකි. රනිල් අත්අඩංගුවට පත්වීමෙන් පසු විපක්ෂය එක්වීමත් සමග රනිල් බැලුවේ සජිත්ව විනාශ කොට ඒ විපක්ෂයේ බලය අතට ගැනීමටය. එසේ බලය ගෙන නැවත වතාවක් ෂෝට් කට් එකකින් රටේ ඉහළ තනතුරකට පත්වීමටය. ඊට උල්පන්දම් දෙමින් වරක් වජිර මාධ්‍ය හමුවකදී කියා සිටියේ රනිල් දෙසැම්බර් මාසය වනවිට රටේ අගමැති වනවා යැයි කියාය. ඒ ප්‍රකාශයට සමගාමීව රනිල් සිය හිතවතෙකු වූ හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. සමරතුංග මහතා ලවා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දී තිබුණේ දෙසැම්බරය වනවිට රටේ යළි ආර්ථික අර්බුදයක් ඇතිවන බවත්, රට යළි කඩාවැටීමට නියමිත බවත්ය. නමුත් රනිල් ගැසූ ඒ ගේම් කිසිවක් හරිගියේ නැත. අවසානයේදී රනිල් නැවතත් බැලුවේ නාමල් සහ පොහොට්ටුව අල්ලාගෙන දේශපාලන ගේමක් ගසන්නටය. නමුත් මේ වනවිට නාමල්ද රනිල්ගේ ගේම් වටහාගෙන නුගේගොඩ රැලියටවත් රනිල්ව වද්දා නොගන්නා තැනට පත්ව තිබේ.

රනිල්ට එරෙහිව කැරැල්ලක්

නමුත් තවමත් සජබය ඇතුළේ සිටින රනිල්ගෙන් ඉන්ධනහල් බලපත් ගත්, මත්පැන් බලපත් ගත්, ඉඩම් ගත් කීප දෙනකු සැලසුම් කරන්නේ රනිල් සහ සජබය එකතු කරන්නටය. නමුත් මේ වනවිට එයද අසාර්ථක වී ඇති ආකාරයක් දැකගන්නට තිබේ. එමෙන්ම රනිල් ගසන මේ දේශපාලන ගේම් දැනට එජාපය ඇතුළේ ඉතිරිව සිටින ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනාටද හොඳ හැටි වැටහී ඇති බවක් දැකගන්නට තිබේ. ඒ අනුව අප මෙවර රාජ්‍ය රහස් තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටින්නේ රනිල්ට එරෙහිව නැවත වතාවක් එජාපය ඇතුළේ බරපතළ කැරැල්ලක් නිර්මාණය වෙමින් පවතින බවය. විශේෂයෙන්ම එජාපයට අරක් ගෙන සිටින රනිල්-වජිර-සාගල යන ත්‍රිමුර්තියට එරෙහිව එජාපයේ ජ්‍යෙෂ්ඨයන් දැඩි තීන්දුවකට යෑමට තීරණය කොට ඇති බවය.

එහි පළමු ඉඟිය වී ඇත්තේ එජාපයේ නියෝජ්‍ය නායකයා වූ රුවන් විජේවර්ධන සියලු දේශපාලන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කොට තිබීමය. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ රුවන් දැනටමත් තමන් එජාපයේ නියෝජ්‍ය නායකකමෙන් ඉවත් වන බවත්, ඒ වෙනුවට වෙනත් අයකු නියෝජ්‍ය නායක තනතුරට පත්කරන්නා ලෙසත් රනිල්ට දැනුම් දී ඇති බවය. තමන් ටික කාලයකට දේශපාලනය කිරීම නවත්වා පවුලේ ව්‍යාපාර වෙනුවෙන් කාලය කැපකරන බව රුවන් පක්ෂ නායකත්වයට දැනුම්දී ඇති බවද දැනගන්නට තිබේ. මෙම දැනුම්දීමෙන් අනතුරුව මේ දක්වා රුවන් පක්ෂයේ කිසිදු කටයුත්තකට සහභාගි වී ඇති බවක් දැනගන්නට නැත.

මෙය තමන්ට එරෙහිව එල්ල වූ ප්‍රබල ප්‍රහාරයක් නිසා පසුගිය සතිය පුරාම මෙම තොරතුර පිටතට යෑම වළක්වා ගැනීම සඳහා රනිල් විශාල උත්සාහයක් දරා තිබිණි. රුවන්ගෙන් හිස්වූ නියෝජ්‍ය නායක තනතුරට වෙනත් පුද්ගලයකු පත්කළහොත් ඒ හරහා පක්ෂ අර්බුදය එළියට යන නිසා එම තනතුර හිස්ව තැබීමටද රනිල් කටයුතු කොට තිබිණි.

එමෙන්ම තවත් එජාප ජ්‍යෙෂ්ඨයකු වන නවීන් දිසාසායක දැනටමත් ප්‍රකාශ කොට ඇත්තේ තමන්ද ලබන 21 වැනිදා පැවැත්වෙන නුගේගොඩ රැලියට සහභාගි නොවන බවය. ඒ අනුව අද අප මෙම තීරය ඔස්සේ තවත් විශේෂ අනාවරණයක් කරමින් කියා සිටින්නේ ලබන 21 වැනිදා නුගේගොඩදී පැවැත්වෙන රැලියට එජාපයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක්ම සහභාගි නොවීමට තීන්දු කොට ඇති බවය. රාජිතද පසුගිය සතියේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී කියා සිටියේ පොහොට්ටුව සමග තවදුරටත් දේශපාලනය කිරීමේදී හොඳ නරක දෙපැත්තක් ඇති බවත්, තමන් ඒ බව දැනටමත් එජාපයට දැනුම් දී ඇති බවත්ය. ඒ අනුව රාජිතද බොහෝ දුරට 21 පැවැත්වෙන රැලියට සහභාගි නොවනු ඇත. ඒ අනුව 22 වැනිදා වනවිට රනිල්ට යන්තමින් හෝ ඉතිරිවී ඇති දෙතුන් දෙනාද ඔහුගෙන් ඉවත්ව රනිල්ට එරෙහිව ගසන ඊළඟ කැරැල්ලේ ඉදිරිපෙළ සාමාජිකයන් වනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය.

රනිල්ට එරෙහිව එජාපය ඇතුළේ කැරැලි ආරම්භ වූයේ අද ඊයේ නොව, 2005 සිටය. එහි ප්‍රතිඵලයක් වූයේ 100කට ආසන්න මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් සිටි එජාපය රනිල්ගේ නායකත්වය යටතේ බින්දුවටම වැටී එකදු මන්ත්‍රීවරයකුවත් නොමැති තත්ත්වයට පත්වීමය. ඒ අනුව මෙවර රනිල්ට එරෙහිව පක්ෂය ඇතුළේ ඇතිවෙමින් යන කැරැල්ල බොහෝ දුරට රනිල්ට එරෙහි අවසන් කැරැල්ල වනු ඇත. අප එසේ කියන්නේ එජාප – සජබ සමගියට ඉඩදී වහාම පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසට වූ ප්‍රබල යෝජනාවක් පක්ෂයේ ඉතිරිව සිටින ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඉතා නුදුරු දිනෙකදී රනිල්ට ඉදිරිපත් වීමට නියමිතව තිබීම නිසාය. බොහෝ දුරට මෙම යෝජනාව ඉදිරිපත් වීමෙන් පසු ඊට වැඩි ප්‍රසිද්ධියක් නොලැබෙනු ඇති බව අපගේ අදහසය. නමුත් දැනටමත් ඒ සම්බන්ධයෙන් තැන් කීපයකදීම විශේෂ සාකච්ඡා වට ආරම්භ වී ඇති බව පමණක් සඳහන් කරමින් එජාප කැරැල්ලේ පළමු අදියර අවසන් කිරීමට අපි කටයුතු කරමු.

බිමල් තාම සද්ද නෑ

පළාත් පාලන මැතිවරණයේදී මාලිමාවට සැලකිය යුතු තරමේ පසුබෑමකට මුහුණ දීමට සිදුවූ බවට වූ යථාර්ථය හරිහැටි තේරුම් ගත් එකම පුද්ගලයා ලෙස බිමල් රත්නායක මහතා හැඳින්විය හැකි බව අපගේ තක්සේරුවය. පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව අයි.ටී.එන්. නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වී බිමල් ආණ්ඩුව ඇතුළේ වෙනසක් විය යුතු බවටත්, ආණ්ඩුවේ එන්ජිම වෙනස් විය යුතු බවටත්, තමාද ඇතුළුව ඇමැතිවරුන්ගේ වගකීම් වෙනස් විය යුතු බවටත් යනුවෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේ ඒ නිසා විය යුතුය. අනෙකුත් මාධ්‍ය සියල්ලම බිමල්ගේ මේ කතාවේ විශේෂත්වයක් නොදැක්කද අප එහි විශේෂත්වයක් දුටු නිසාම ඊට ප්‍රසිද්ධියක් ලබාදීමට කටයුතු කළෙමු. ඒ අනුව බොහෝ දෙනා ආණ්ඩුව ඇතුළේ වෙනසක් සිදුවනු ඇතැයි සිතා සිටියත්, අවසානයේ සිදුවූයේ ඊට දින කීපයකට පසු ආණ්ඩුවේම තවත් ප්‍රබල අමාත්‍යවරයකු වූ සුනිල් හඳුන්නෙත්ති ලවා බිමල්ගේ ප්‍රකාශයට පහර එල්ල කිරීමය. එහිදී හඳුන්නෙත්ති කියා සිටියේ ඇමැතිවරුන් හොඳට සිය රාජකාරි කරගෙන යන බවත්, ඇමැතිවරුන්ගේ වගකීම් වෙනස් කළ යුතු නැති බවත්, කැබිනට් සංශෝධනයක් සිදු නොවන බවත්ය. ඒ අනුව පැහැදිලිවම ආණ්ඩුව ඇතුළේ බරපතළ මත ගැටුමක් මෝදුවෙමින් පවතින ආකාරයක් මේ ප්‍රකාශ දෙක හරහා දැකගන්නට ලැබිණි.

නමුත් මේ වනවිට අපට පේන්නට ඇත්තේ එම ගැටුම තවත් ප්‍රබල ලෙස ඉදිරියට ගොස් ඇති බවය. හඳුන්නෙත්ති කැබිනට් සංශෝධනයක් නොවන බව කියා සිටියත් මාස කීපයකට පසු හදිසියේම කිසිවකුත් නොසිතූ ආකාරයට හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ බිමල් යටතේ තිබූ ප්‍රබල අමාත්‍යාංශයක් වූ වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය බිමල්ගෙන් ගැලවීමය. එහි ප්‍රතිඵලය වූයේ කැබිනට් සංශෝධනය සිදුවී දිනක් යෑමට මත්තෙන් බිමල් අතුරුදන් වීමය. ඔහු සිටින තැනක් සොයාගැනීමට කාටවත් නොහැකි විය. අඩුම තරමේ ඔහුට අලුතෙන් පැවරුණු නාගරික සංවර්ධන අධිකාරියේ කිසිදු සාකච්ඡාවකට හෝ බිමල් සහභාගි වී තිබුණේ නැත. දිනපතාම පාහේ තුන් හතර වතාවක් යාවත්කාලීන වන බිමල්ගේ ෆේස්බුක් එක හිටිහැටියේම කිසිවක් යාවත්කාලීන නොවන තැනට පත්ව තිබිණි.

මේ පිළිබඳ අප තොරතුරු වාර්තා කොට පැය කීපයක් ඉක්ම යෑමත් සමග බිමල් චීනයේ ගුවැංෂු පළාතේ සිටින බවට සිය ෆේස්බුක් පිටුවෙන් අනාවරණ කොට තිබිණි. බිමල් චීනයේ ගොස් ඇති බවක් බොහෝ දෙනා දැනගත්තේද එම යාවත්කාලීන කිරීමත් සමගය. ඉන් අනතුරුව බිමල් පාකිස්තානයේද සංචාරය කොට පසුගිය සතියේ ලංකාවට පැමිණියද සිකුරාදා පෙරවරුව වනතුරු බිමල් ප්‍රසිද්ධියේ කිසිදු අවස්ථාවක එළියට පැමිණ සිටින ආකාරයක් රූපවාහිනී කැමරාවකට හසුවූයේ නැත. අවම වශයෙන් බිමල්ගේ ෆේස්බුක් පිටුවේ හෝ පළවූයේ නැත. ආණ්ඩුවේ ප්‍රබලතම අමාත්‍යවරයකු මෙන්ම සක්‍රීය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ බිමල්, සිය අමාත්‍යාංශයට යනවාද, වැඩ කරනවාද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණ වූයේද නැත.

අනෙක් අතට මේ දිනවල මාලිමාව තවත් බරපතළ පසුබෑමකට මුහුණ දෙමින් සමුපකාර ඡන්දවලින් දිගින් දිගටම පරාජයට පත්වන ආකාරයක් දැකගන්නට පුළුවන. නමුත් ඒ සම්බන්ධයෙන් හෝ පක්ෂයේ වගකිව යුතු චරිතයක් වශයෙන් බිමල් කිසිදු ප්‍රකාශයක් කළ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ඒ අනුව දැන් දැකබලා ගැනීමට ඇත්තේ සිකුරාදා දිනයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැයේදී බිමල් සභානායකවරයා වශයෙන් කෙලෙස කටයුතු කරනවාදැයි කියාය.

ටිල්වින් ඉන්දියාවට යනවා

මේ සියලු කරුණු කාරණා මැද්දේ අද අප රාජ්‍ය රහස් තීරයෙන් තවත් සුවිශේෂ කරුණක් හෙළිදරව් කිරීමට සූදානම්ය. ඒ, ටිල්වින් සිල්නා සම්බන්ධයෙන්ය. සියල්ලන්ම දන්නා පරිදි ජනාධිපතිවරයා සිය චීන සංචාරයේදී හම්බන්තොට පිරිපහදුවක් ඉදිකිරීම ඇතුළු ගිවිසුම් රැසක් අස්සන් කිරීමට පියවර ගත්තේය. ජනාධිපතිවරයා ගිය පසු චීනයේ සති 3ක පමණ දීර්ඝ සංචාරයක නිරත වූ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාද මෙම ආයෝජන පසුබිම තවත් ඉදිරියට ගෙන යෑමට පියවර ගෙන තිබිණි. ටිල්වින්ගෙන් පසු චීනයේ ගිය බිමල්ද එම කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන ගිය ආකාරයක් අප රාජ්‍ය රහස් තීරයෙන් වාර්තා කළෙමු.

මෙහිදී ටිල්වින් සම්බන්ධයෙන් තවත් විශේෂ තොරතුරක් මෙවර අප රාජ්‍ය රහස් තීරයෙන් හෙළිදරව් කිරීමට සූදානම්ය. ටිල්වින් සැලකෙන්නේ ජවිපෙ ඉන්දීය විරෝධයේ මුල් පුරුකක් ලෙසය. 1987 ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කරද්දී ජවිපෙ පාරට බැස්ස අතර එම විරෝධයේ ඉදිරියෙන්ම සිටියකු වූයේ ටිල්වින්ය. නමුත් මේ වනවිට අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ඉදිරි දින කීපයේදී ටිල්වින් ඉන්දීය සංචාරයක නිරත වීමට සැලසුම් කොට ඇති බවය. ඉන්දීය පාලක භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයෙන් ටිල්වින් එසේ ඉන්දියාවට යනවාද, නැත්නම් වෙනත් පාර්ශ්වයකගේ ආරාධනයෙන් යනවාද යන්න පිළිබඳ තහවුරු කරන ලද තොරතුරු නැතත්, ටිල්වින්ගේ ඉන්දීය ගමන නම් මේ වනවිට තහවුරු වී ඇති බවක් අපට ලැබෙන තොරතුරුවලින් කියැවේ. ටිල්වින්ගේ චීන සංචාරයෙන් පසු ඇමෙරිකාවෙන් සහ ඉන්දියාවෙන් එල්ල වූ දැඩි පීඩනය අවම කරගැනීම සඳහා මෙසේ ටිල්වින් හදිසි ඉන්දීය සංචාරයක නිරත වනවාදැයි කියන්න දන්නේ නැත. ඒ අනුව ටිල්වින්ගේ ඉන්දීය ගමනේදී බොහෝ සිදුවීම් සිදුවිය හැකි බව පමණක් අවසන් වශයෙන් මෙහි ලියා තැබීමට අප කටයුතු කරමු.

මේ සියල්ල මැද ජනාධිපතිවරයා මේ වනවිට ලංකාවට වැඩි වශයෙන් ආයෝජන ගෙන්වා ගැනීමේ අරමුණෙන් වරාය නගර පනත සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති බවක් දැනගන්නට තිබේ. ඉදිරියේදී පෝර්්ට් සිටියට සියලු පහසුකම් සහිත ජාත්‍යන්තර මට්ටමේ රෝහලක් සහ ජාත්‍යන්තර පාසලක් මෙන්ම තවත් දැවැන්ත ව්‍යාපෘති දෙකක් පැමිණීමට තීන්දු වී ඇති නිසා ඊට පහසුකම් සැලසීමේ අරමුණෙන් මෙසේ ජනාධිපතිවරයා පෝර්ට් සිටි පනත වෙනස් කිරීමට තීරණය කොට ඇති බව පැවසේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සිය චීන සංචාරයේදී හම්බන්තොට පිරිපහදුව ඉදිකිරීම චීන සිනොපෙක් සමාගමට පැවරීමත් සමග ඉන්දියාවෙන් සහ ඇමෙරිකාවෙන් ඊට බරපතළ විරෝධයක් එල්ල විය. විශේෂයෙන්ම අප රාජ්‍ය රහස් තීරයෙන් වරක් වාර්තා කළේ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතීමට ඇමෙරිකාවට ගිය අවස්ථාවේදී මෙම සිනොපෙක් ගිවිසුම අවලංගු කරන ලෙසට ප්‍රබල බලපෑමක් ඇමෙරිකාව පැත්තෙන් ආ බවය. එය මුල්කරගෙන ජනාධිපතිවරයා ඇමෙරිකාවේ සිටිද්දී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ප්‍රබල නිවේදනයක්ද නිකුත් කිරීමට කටයුතු කොට තිබිණි. මේ හේතුවෙන් චීන පිරිපහදුව ඉදිකිරීම කල් අරිමින් පැවැතිණි. නමුත් මේ වනවිට ආණ්ඩුව තීරණය කොට ඇත්තේ සිනොපෙක් සමාගම ඉල්ලූ 40%ක තෙල් බෙදීමේ කෝටාව ඔවුන්ට ලබාදී, හැකි ඉක්මනින් මෙම ආයෝජනය ආරම්භ කිරීමටය.

එසේ තිබියදී ඇමෙරිකාවෙන් එන විරෝධය සමනය කරගැනීම සඳහා හම්බන්තොට පිහිටි තවත් දැවැන්ත ව්‍යාපෘතියක් ඇමෙරිකාවට ලබාදීම සම්බන්ධයෙන්ද මේ වනවිට ආණ්ඩුව ඇතුළේ කිසියම් සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. ඊට අදාළ වාර්තාවක් සකස් කරන ලෙසට ආණ්ඩුව පැත්තෙන් ඒ ඒ ආයතන සම්බන්ධ ඉහළ කළමනාකාරීත්වයට දැනුම් දීමක් කර ඇති බවද දැනගන්නට ඇත. මේ අනුව ආණ්ඩුව සැලසුම් කර ඇත්තේ හම්බන්තොට වරායේ පිරිපහදුව ඉදිකිරීම චීනයට ලබාදී තවත් ඒ හා සමාන වටිනාකමක් ඇති ව්‍යාපෘතියක් ඇමෙරිකාවට ලබාදී ඇමෙරිකාව බැලන්ස් කර ගැනීමටය.

මීට අමතරව ආණ්ඩුව ඉදිරියේදී විදේශ ආයෝජන ආරක්ෂා කිරීමේ පනත ශක්තිමත් කිරීම සඳහා තවත් විශේෂ පනත් කීපයක් සම්මත කරගැනීමට සැලසුම් කර ඇති බවක්ද වාර්තා වේ. පසුගියදා ජනාධිපතිවරයා ඩුබායිහි සංචාරයක නිරත වූ අවස්ථාවේ බොහෝ ආයෝජකයන් පෙන්වා දී ඇත්තේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී එමිරේට්ස් ආයතනය යටතේ පාලනය වූ ශ්‍රීලන්කන් ගුවන් සේවය එක රැයෙන් යළි ආණ්ඩුවට පවරා ගැනීමට රාජපක්ෂ පාලනය කටයුතු කිරීම හේතුවෙන් විදෙස් ආයෝජකයන් තවමත් යම් සැකයකින් ලංකාව දෙස බලන බවය. ඒ අනුව ජනාධිපතිවරයා මේ වනවිට තීන්දු කොට ඇත්තේ ලබන වසර මුල් භාගයේදී විදේශ ආයෝජන ආරක්ෂණ පනත තවත් ශක්තිමත් කොට ආයෝජකයන් තුළ ඇති මේ අනිසි බිය දුරුකිරීමටය.

දෙමළ සන්ධානය උණුසුම්

ජනාධිපතිවරයා 2026 වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරකසභාව පසුගිය අඟහරුවාදා වවුනියාවේදී රැස්විය. ඊට තමිල් අරසු කච්චි පක්ෂයේ මන්ත්‍රීවරුන් 8 දෙනාගෙන් 7 දෙනකු සහභාගි වී සිටි අතර, මධ්‍යම කාරකසභිකයෝ විශාල පිරිසක්ද ඊට එක්ව සිටියහ. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජනාධිපතිවරයා තමිල් අරසු කච්චි පක්ෂය නොසලකා හරින බවට බොහෝ මධ්‍යම කාරකසභිකයන්ගෙන් චෝදනාවක් එල්ල වීමය. අවම වශයෙන් ඉකුත් ජූලි මාසයේදී උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාට යොමුකළ ලිපියට මේ දක්වා ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වා නොතිබීම සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් එහිදී එල්ල විය. එමෙන්ම ජනාධිපතිවරයා පත්වී වසරක් ඉක්ම ගොස් තිබියදී අවම වශයෙන් උතුරු නැගෙනහිර වාර්ගික ප්‍රශ්නයට කිසියම් හෝ විසඳුමක් ඉදිරිපත් කොට නොතිබීමත්, පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටීමත් මෙහිදී පිරිසගේ දැඩි විරෝධයට හේතු වී තිබිණි. මේ හේතුවෙන් මෙවර අයවැයට විරෝධය පළකරමින් ඡන්දය භාවිත කළ යුතු බව පිරිසේ අදහස විය. කෙසේ වෙතත් අවසානයේ තීන්දු වූයේ ලබන 14 වැනිදා අයවැය ඡන්ද විමසීම පැවැත්වෙන බැවින් 13 වැනිදා රාත්‍රියේ සූම් සාකච්ඡාවක් පවත්වා අවසන් තීන්දුව ගැනීමටය. නමුත් ඊටද බොහෝ දෙනා විරෝධය පළකරමින් කියා තිබුණේ එවැන්නක් අවශ්‍ය නැති බවත්, ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් අයවැයට විරෝධය පළකරමින් ඡන්දය භාවිත කළ යුතු බවත්ය.

මේ අතර මධ්‍යම කාරකසභා රැස්වීමේදී රාසමානික්කම් සහ ශ්‍රීදරන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇතිවිය. ඒ, අතුරුදන් වූවන් වෙනුවෙන් වන්දි ලබා දීමේ කාර්යාලයට ව්‍යවස්ථාදායක සභාව හරහා සිදුකොට ඇති පත්වීම් මුල්කොට ගෙනය. මෙහිදී හිටපු හමුදා නිලධාරීන් ඊට පත්කොට ඇති අතර, ඒ සම්බන්ධයෙන් තමිල් අරසු කච්චි පක්ෂය වෙනුවෙන් ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන ශ්‍රීදරන් පක්ෂයේ මධ්‍යම කාරකසභාවට අසත්‍ය කරුණු ප්‍රකාශ කළ බව රාසමානික්කම්ගේ ස්ථාවරය වී තිබිණි. නමුත් ඊට එරෙහිව ශ්‍රීදරන් උස් හඬින් අදහස් දක්වද්දී රාසමානික්කම්ද කියා සිටියේ කෑගැසීමට දෙයක් නොමැති බවත්, ශ්‍රීදරන් පක්ෂයේ මධ්‍යම කාරකසභාව නොමග යවා ඇති බවත්ය. පසුව දෙදෙනා අතර පැවැති මත ගැටුම සමනය කළේ පක්ෂ සභාපතිවරයාගේ මැදිහත් වීමෙනි. කෙසේ වෙතත් අවසානයේදී අතුරුදන් වූවන් වෙනුවෙන් වන්දි ලබා දීමේ කොමිසමට හිටපු හමුදා නිලධාරීන් පත්කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකිරීමටද තමිල් අරසු කච්චි පක්ෂය කටයුතු කොට තිබිණි.

සමන් සහ පුටින්

පසුගිය සතියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන සුවිශේෂ පුද්ගලයකු රුසියාවේ මොස්කව් නුවර පිහිටි ක්‍රෙම්ලිනයට ගියේය. ඒ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් විශේෂ ස්ම්මානයක් ලබාගැනීම සඳහාය. පුටින් එහිදී මේ ලාංකිකයාට පිරිනැමුවේ එසේ මෙසේ සම්මානයක් නොව, රුසියාව විසින් සිවිල් පුරවැසියකුට පිරිනමන ඉහළම ගෞරව නාමය වන ‘මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය’ය. පුටින්ගේ අතින් මෙම සම්මානය ගත් ලාංකිකයා වෙන කවුරුවත් නොව වෛද්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටතමයකු ලෙස සැලකෙන වෛද්‍ය සමන් වීරසිංහ මහතාය. කලක් ඔහු රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර, දශක ගණනාවක් පුරා ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික, සංස්කෘතික සහ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට සිය දායකත්වය ලබාදී තිබිණි. ඒ අනුව මේ වසරේ මෙම සම්මානය ලැබූ එකම ආසියානු ජාතිකයා බවට පත්වූයේද වෛද්‍ය සමන්ය.

මෙම සම්මාන උළෙලේදී දැකගත හැකි වූ අනෙකුත් විශේෂ සිදුවීම වූයේ පුටින් විසින් තමන්ට යාබද ආසනය සමන්ට වෙන් කොට තිබීමය. එමෙන්ම පුටින්ගේ අතින් සම්මාන ගත් සමන් රුසියානු භාෂාවෙන්ම මිනිත්තු තුනක පමණ කතාවක් සිදුකිරීමටද කටයුතු කළේය. රුසියානු භාෂාවෙන් එම කතාව සිදුකිරීම සම්බන්ධයෙන් පුටින්ගේ විශේෂ ප්‍රශංසාවක්ද මෙහිදී සමන්ට හිමිවූ ආකාරයක් දැකගත හැකි විය.

මොස්කව් වෛද්‍ය විද්‍යාලයේ ගෞරව උපාධිධාරියකු වන වෛද්‍ය සමන් වීරසිංහ රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ලෙස (2015 – 2018) සේවය කළ අතර දැනට ශ්‍රී ලංකා-රුසියානු මිත්‍රත්ව සංගමයේ මහලේකම් සහ කොළඹ රුසියානු භූගෝලීය සංගමයේ සභාපති යන තනතුරු දරයි. ඔහුගේ නායකත්වය, දෙරට අතර සංස්කෘතික හුවමාරුව, සහයෝගීතාවය සහ කල් පවත්නා අන්‍යෝන්‍ය මිත්‍රත්වය වර්ධනය කිරීම සදහා මහෝපකාරී වී ඇත.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

රාජපක්ෂ ආණ්ඩුව පෙරළන්න මූලිකත්වය ගත් මාදුළුවාවේ සෝභිත හිමියන්ව කාට අමතක වුණත් විපක්ෂනායක සජිත්ට අමතක වුණේ නෑ! 10 වැනි ගුණසමරු පිංකමට කෝට්ටේ නාගවිහාරයට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

මෙහෙම පොරොන්දම් බලලා බැන්දොත් ගොඩම තමයි…! Sri Lanka Latest News

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.